තම හමුදා කිසිම ආකාරයකින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉලක්ක කර නොගත් බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති පුටින්ගේ නිල නිවසට යුක්රේන හමුදාව ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක් වී රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ගන්නා උත්සාහය කඩාකප්පල් කිරීමට රුසියාව උත්සාහ ගන්නා බවට ද සෙලෙන්ස්කී වැඩිදුරටත් පවසා ඇත.

රුසියාව දිගින් දිගටම චෝදනා නගා ඇත්තේ යුක්රේන හමුදාව රුසියාවේ රාජ්‍ය ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවය.

මේ අතර රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ චෝදනා නගා ඇත්තේ නොව්ගොරොඩ් ප්‍රහාරය පිටුපස බ්‍රිතාන්‍යයේ සම්බන්ධයක් ඇති බවය.