ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නමින් නව නීතියක් යෝජනා වී තිබේ . එකී පනතට අදාල කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා අදහස් විමසමින් තිබේ. එය අවසානාත්මක කෙටුම්පත නොවේ. යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ දැනට බලාත්මක 1978 අංක48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර - ඒ වෙනුවට යෝජිත නීතිය ආදේශ කිරීමයි.
2011 සැප්. ඇමරිකානු ප්‍රහාරයට පෙර
2001.09.11 දින ඇමරිකාවේ සිදුකල මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදය මැඩලීමේ නව යුගයක් බිහිවිය. ඊට පෙර පැවතියේ දැඩි දඬුවම් පැමිණවීම මගින් ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමේ නීතිය. ඒවා -
(අ) ත්‍රස්ත ක්‍රියාවට පසුව ක්‍රියාත්මක වන,
(ආ) යම් නිශ්චිත රටක්/භූමියක් විෂය කරගත්,
(ඇ) හුදෙක් තාවකාලික/සුවිශේෂී වූ,
(ඈ) ආයුධ, ත්‍රස්තවාදීන්, ආරක්ෂක අංශ ඉලක්ක කරගත්,
….යනාදී වශයෙනි.
1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පදනම් කර තිබෙන්නේ ද එම සිද්ධාන්ත මතය. එහෙත් ත්‍රස්ත ක්‍රියාව සිදුවීමෙන් පසුව දඬුවම් ලබාදීම මගින් පමණක් ත්‍රස්තවාදය මැඩලිය නොහැකි බවත්, ඒ සඳහා නව නීති සිද්ධාන්ත නිර්මාණය කළ යුතු බවත්, 9/11 සිද්ධියෙන් පසුව ලෝකයටම අවබෝධ විය.
2011 සැප්. ඇමරිකානු ප්‍රහාරයට පසු
2001.09.28 දිනැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අංක1373 දරන යෝජනා සම්මතය පශ්චාත් 9/11 යුගයේ ත්‍රස්තවාදයට එරෙහි නීති වලට පදනම දැමීය. එහි අරමුණ වූයේ ප්‍රහාරයක් සිදුවීමට පෙර එය වැලැක්වීමය. ත්‍රස්තවාදයට මුදල් යෙදවීම, උපකාර කිරීම, සහය දැක්වීම යනාදිය වැළැක්වීම, ත්‍රස්තවාදී ව්‍යාපාරවලට අයත් දේපොළ තහනමට ගැනීම, ත්‍රස්ත කණඩායම්වලට බඳවා ගැනීම් වැළකීම හා ප්‍රහාරයක් අවසන් වන තෙක් නොසිට ඒවා වළකාලීමට නීති පැනවීම යනාදිය ඊට අයත්ය. ත්‍රස්තවාදය සඳහා සැලසුම් කිරීම, පුහුණු කිරීම, ප්‍රවර්ධනය මැඩලීම සඳහා තවත් යෝජනා සම්මතයන් පසුකාලීනව සම්මත විය (1624, 2178).
නව යුගයට අයත් සිද්ධාන්ත හා අරමුණු මත ත්‍රස්ත විරෝධී පනත් බොහෝ රටවල්වල පනවන ලදී. එහෙත් එම සිද්ධාන්ත මත පදනම්ව 2001 වන විටත් එක්සත් රාජධානියේ ත්‍රස්තවාදය පිළිබඳ පනත සම්මත කර තිබුණි. එම පනත අපට වැදගත් වන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බහුතරයක් වගන්ති එම පනත අනුසාරයෙන් සකස් කර තිබීමයි. තවද ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඉන්දියාවේ පනවා තිබෙන නීතිවල ආභාෂය ද ඊට ලැබී තිබේ. එය කෙටුම්පත් කිරීමේදී නව ප්‍රවණතා මෙන්ම මානව හා මූලික අයිතිවාසිකම් ද සැලකිල්ලට ගෙන තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික විධිවිධාන සැලැස්වීම පිණිස වූ එකකි. එහෙත් එහි 28 වන වගන්තිය හේතුවෙන් වසර 45 කට වැඩි කාලයක් වෙනත් නීති අබිබවා එම පනත ක්‍රියාත්මක වේ. තාවකාලික පනතක් එසේ ක්‍රියාත්මක වීම නීතියේ විකෘතියකි.
වරද හා දඬුවම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පදනම වන්නේ වරදට දඬුවම ය. ත්‍රස්තවාදී ක්‍රියා යනු කවරේද යන්නට අර්ථකථනයක් එහි නොමැත. පනතේ 2(1), 3, 5 වන වගන්තිවල වැරදි ක්‍රියා සඳහන් ය. ඒවාට ලබා දෙන දඬුවම් එහි 2(2), 3, 4, 5 හි සඳහන් ය. එහිදී ක්‍රියාව කරන්නාගේ චේතනාව සලකන්නේ නැත.
නිදසුන- පනතේ 2(1)(එ) ට අනුව පොදු ස්ථානයක පිහිටි යම් පුවරුවක දැක්වෙන වචන, නිරූපණ හෝ අකුරු නීත්‍යානුකූල බලයක් නොමැතිව මකන හෝ විරූප කරන අයකු වරදක් සිදු කරයි. ඊට දඬුවම අවුරුදු 5 ත් 20 ත් අතර කාලයකට බන්ධනාගාර ගත කිරීමකි.
ශිෂ්‍ය පිරිසක් විසින් විශ්වවිද්‍යාලයක පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් දැක්වීමක් අතරතුර එහි පිහිටි පුවරුවක තාර ගා අකුරු මකා දමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය වරදක් වේ. ඒ අනුව වසර 20 ක් දක්වා බන්ධනාගත කළ හැකිය. එහිදී තීන්දුවට පෙර ඇප ලබා ගැනීමද දුෂ්කරය.
(එහෙත් එම ක්‍රියාවම දණ්ඩනීති සංග්‍රහය හෝ වෙනත් අපරාධ නීතියක් යටතේ ද වරදක් විය හැකිය. එවැන්නක් සඳහා නියම කරනු ලබන දණ්ඩනයද ලිහිල්ය.) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතිකව ඉලක්ක ගත පිරිසකට එරෙහිව රාජ්‍ය මර්දනය සඳහා පාවිච්චි කළ හැකි නීතියකි.
කාර්යය-චේතනාව-දැනුම-වරද-දඬුවම
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටය. ඉහත සඳහන් ශිෂ්‍ය ක්‍රියාකාරකම සිදුකළ පමණින් නව පනත යටතේ වරදක් සිදුවන්නේ නැත. ඒ සඳහා එම ශිෂ්‍යයින්ගේ ක්‍රියාව කෙටුම්පතේ 3(1) (අ) (ආ) (ඇ) (ඈ) හි සඳහන් කාර්යයක් සඳහා සිදුකළ යුතුය. ඒවා නම්,
(අ) භීෂණකාරී තත්වයක් ඇති කිරීම.
(ආ) මහජනතාව හෝ මහජනතාවගෙන් යම් කොටසක් බියගැන්වීම.
(ඇ) යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත බල කිරීම.
(ඈ) යුද්ධය ව්‍යාප්ත කිරීමේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රාජ්‍යයක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ එහි ස්වෛරීභාවය කඩ කිරීම.
යන කාර්යයන් වේ.
එයද ප්‍රමාණවත් නැත. එම ක්‍රියාව සිදු කරන විට3(2) වගන්තියේ සඳහන් ප්‍රතිඵලයක් ඇති කරනු ලබන බවට චේතනාවක් හෝ දැනුමක් තිබිය යුතුය. ඒවා එහි (අ) සිට (ඔ) දක්වා සඳහන් කර ඇත. (උදා- කෙටුම්පතේ 3(ඉ) යටතේ සඳහන් පොදු දේපළකට අලාභ හානි සිදුකිරීම)
නව පනතේ 3(1) හි සඳහන් කාර්යය සඳහා 3(2) හි සඳහන් ප්‍රතිඵලයක් ඇති කිරීමේ චේතනාවෙන් ක්‍රියා කළ හොත් පමණක් එම තැනැත්තා ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදුකරනු ලබන්නේය. ත්‍රස්තවාදය පිළිබඳ වරද අර්ථ දක්වා ඇත්තේ ඒ ආකාරයට ය.
ව්‍යාතිරේඛය3(4)
නමුත් ඊට තවත් ව්‍යාතිරේඛයක් ඇත. ඊට අනුව යම් තැනැත්තෙකු විසින් යම් විරෝධතාවක, මහජන සහය ලබාගැනීමක හෝ විරුද්ධ මතයක් පළ කිරීමක යෙදී සිටීම හෝ යම් වැඩවර්ජනයක, පිටමං කිරීමක හෝ වෙනත් ක්‍රියාමාර්යක යෙදී සිටීම යන කරුණම පමණක් චේතනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් නැත.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සඳහන් වරදක් වන ක්‍රියාවක් සෑම විටම නව පනත යටතේ වරදක් වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාව - කාර්යය - ප්‍රතිඵලය ගෙන ඒමේ චේතනාව අතර බැඳියාව ඔප්පු කළ යුතු ය.
ඒ අනුව යෝජිත නීතිය යටතේ සෑබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සාමාන්‍ය නීතිය යටතට ගැණෙන වරදකින් වෙන් කර ගත හැකිය. එබැවින් ඉහත නිදසුනේ සඳහන් ශිෂ්‍යයින්ගේ ක්‍රියාව නව නීතිය යටතේ වරදක් නොවීමට ඇති ඉඩකඩ වැඩිය.
අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් අධිකාරි ට හෝ බලය ලැබූ පොලිස් පරීක්ෂකවරයෙකුට වරෙන්තුවක් නොමැතිව යමෙකු අත්අඩංගුවට ගැනීමටත්, පැය 72 ක් දක්වා කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමටත් හැකිය. පොලිස් අධිකාරිවරයෙකුගේ ඉල්ලීමක් මත නඩු විභාගය අවසන් වන තෙක් එවැන්නෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත් අධිකරණයකින් ආඥාවක් ලබා ගත හැකිය.
යම් තැනැත්තකු නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ බව විශ්වාස කිරීමට හෝ සැක කිරීමට අමාත්‍යවරයාට (දේශපාලකයෙකි) හේතු ඇති අවස්ථාවක දී වරකට මාස 3 ක් බැගින් මාස 12 ක් දක්වා ඔහුව රඳවා තැබීමටත් ගමන් බිමන් යාම සීමා කිරීමටත් නියම කළ හැක.
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යටතේ තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමේ දී අත්‍යාවශ්‍යයෙන්ම අනුගමනය කළ යුතු පටිපාටියක් තිබේ. එහි දී සැකකරුගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය. සැකකාර ස්ත්‍රියක ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෝ සිරභාරයට ගැනීමේ දී ඊට නිලධාරිනියක සහභාගි විය යුතුය. අත් අඩංගුවට ගැනීමෙන් පැය 24 ක් ඇතුළත ළඟම ඥාතියාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දිය යුතුය. පැය 48 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
යෝජිත පනතට අනුව රඳවා තැබීමේ නියෝගයක් ලබා දිය හැක්කේ ආරක්ෂක ලේකම්වරයාටය (පරිපාලන නිලධාරියෙකි). ඒ පොලිස්පතිවරයාගේ හෝ බලය ලත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මතය. එසේ රඳවා තැබිය හැක්කේ වරකට මාස 2 බැගින් වසර එකක් දක්වා පමණි. එසේ රඳවා සිටින අවස්ථාවේ දී දැනුම් දීමකින් තොරව වුවද මානව හිමිකම් කොමිෂම් සභාවේ නිලධාරීන්ට එම තැනැත්තාව පරීක්ෂා කළ හැකිය. රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ කළ හැක්කේ මහේස්ත්‍රාත්වරයාට පමණි.
සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ තබාගත හැකි උපරිම කාලය වසර දෙකකි. ඒ අනුව යෝජිත නීතිය යටතේ රඳවා ගැනීමේ හා රිමාන්ඩ් භාරයේ තැබීමේ කාලය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා අඩුය.
සැකකරුවකුගේ සුරක්ෂිතභාවය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයෙකුට අවම තරමින් මාසයකට වරක් තැනැත්තෙකු රඳවා ඇති ස්ථානයට ගොස් පරික්ෂා කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද එසේ කළ හැකිය. කෲර වද හිංසාවලට ලක්ව සිටින තැනැත්තන්ව වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට ද ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමටද හැකිය. නීතිඥවරයෙකුට රැඳවුම්කරුවෙකුව පරීක්ෂා කිරීමට හැකිය.
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ඊටත් වඩා පුළුල්ය. කෲර වදහිංසාවලට පත් සැකකරුවන් හා රැඳවුම්කරුවන් සම්බන්ධයෙන් ගත හැකි පියවර හා එම අයව පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ලබා දී ඇති අවස්ථාවන් හා බලය වැඩි කර ඇත. සැකකරුවකුට මානුෂීය ලෙස සැලකිය යුතුය. රඳවා තැබීමක දී සෑම දින 14 කට වරක්ම සැකකරුව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. නීතිඥ සහය ලබාගැනීමේ අයිතිය අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සිටම ඇත. ඥාතීන්ට ද ප්‍රවේශ අයිතිය ලබා දී ඇත.
ඇප ලබාදීම
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇප ලබාගැනීම ඉතාම දුෂ්කරය. රැඳවුම්කරුවෙකුට ඇප ලබාගත හැක්කේ වසරකින් පසුව අභියාචනාධිකරණයෙන් ය. නැතහොත් සුවිශේෂී අවස්ථානුගත කරුණු යටතේ පමණක් මහාධිකරණයට ඇප ලබාදිය හැකිය.
එහෙත් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යටතේ රැඳවුම්කරුවෙකුට හෝ රිමාන්ඩ් භාරයේ සිටින තැනැත්තෙකුට ඕනෑම අවස්ථාවක දී ඇප ලබා දීමට පුළුල් බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට තිබේ.
පාපොච්චාරණය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඇති දැඩි විවේචනයක් වන්නේ අත් අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් භාරයේ සිටිය දී පොලිස් අධිකාරිවරයෙකුට කරන ලද පාපොච්චාරණයක් සාක්ෂියක් ලෙස අදාළ කර ගැනීමේ හැකියාව යි. එසේම පනත යටතේ ප්‍රවාදක සාක්ෂි (අසා දැනගත් සාක්ෂි) අදාළ කර ගැනීමට ද හැකිය.
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යටතේ එසේ කළ නොහැක. එවැනි ප්‍රකාශයක් වුව ද ලබා දිය හැක්කේ සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපිට දී මහේස්ත්‍රාත්වරයෙකු වෙත පමණි. එවැනි ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ දැඩි ක්‍රමවේදයක් පනවා තිබේ.
දඬුවම් ලබා දීම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවකුට ජීවිතාන්තය දක්වා බන්ධනාගත කිරීමක් පැනවීම, ඒ තැනැත්තාගේ සියලු චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කිරීම සිදුකළ හැකිය.
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යටතේ වරදකරුගේ ක්‍රියාව හේතුවෙන් යම් තැනැත්තකුට මරණය හෝ බරපතළ තුවාල සිදුව නොමැති නම් හෝ රාජ්‍යයේ හෝ ජනතාවගේ ආරක්ෂාව දැඩි ලෙස අන්තරායකට හෝ බලපෑමකට ලක් වී නොමැති නම්, එම සැකකරුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර 20 කට නොවැඩි කාලයකට කල් තැබිය හැකිය. ඒ සඳහා එම තැනැත්තා නීතිපතිවරයා සමග පූර්ව එකඟතා ගිවිසුමකට එළඹ, මහාධිකරණයේ අවසරය ලබා ගත යුතුය.
එහිදී මහාධිකරණය ඉදිරියේ පසුතැවිල්ල ප්‍රකාශ කිරීමට, වරදේ වින්දිතයන්ට වන්දි ලබා දීමට, පුනුරුත්ථාපනයට යොමු කිරීමට, වරදක් කිරීමෙන් වැළකෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමකට හෝ ප්‍රජා හෝ සමාජ සේවාවක නිරත කිරීමකට වරදකරුව යටත් කළ හැකිය.
දඬුවම් ලබා දීමේ මාර්ගෝපදේශ
බන්ධනාගාරගත කිරීමක දී එම දඬුවම වැඩි කළයුතු හේතූන් හා අඩු කළ යුතු හේතූන් ඇතුළත් දඬුවම් ලබා දීමේ මාර්ගෝපදේශයක් යෝජිත පනතට ඇතුළත් කර ඇත.
වරදකරුවකුට පුනරුත්ථාපනය වී හෝ ආධ්‍යාත්මීය පරිවර්තනයක් සිදුකරගෙන සමාජගත වීමේ අවස්ථාවක් එමගින් ලබා දී ඇත. එය නව ප්‍රවණතාවකි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
විදෙස් නීතියක වගන්ති ඒ ආකාරයෙන්ම දේශීය කෙටුම්පතට ඇතුළත් කිරීමේ දී අහිතකර ප්‍රතිඵල ද ඇතිවේ. ඊට නිදසුනකි යෝජිත 10(2) වගන්තිය. යම් ත්‍රස්තවාදී වරදක් සිදුකිරීමට ජනතාව පොලඹවන්නේ ද හෝ දිරිගන්වන්නේ ද යන්න (එම වගන්තිය දීර්ඝ එකකි) පිළිබඳව අනවධානීව (Reckless) යම් (ත්‍රස්තවාදී) ප්‍රකාශයක් විකිණීම, බෙදාහැරීම, ඉලෙක්ට්‍රෝනිකව සම්ප්‍රේෂණය කිරීම ආදී එහි සඳහන් ක්‍රියා කරන්නෙකු වරදකරුවෙක් බවට එම වගන්තියේ සඳහන්වේ.
මෙහි අනවධානීව යන වචනය භයානකය. එමගින් යම් ප්‍රකාශයක් ත්‍රස්ත ක්‍රියාවකට මහජනතාව පොලඹවන ආකාරයේ එකක් බවට නොදැනුවත් තැනැත්තෙකු වදරකට යටත් කර තිබේ. එම වචනය අඩංගු වගන්තිය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන්නක් ලෙස එක්සත් රාජධානියේ ද විවේචනය වූවකි.
සංශෝධනය විය යුතු තැන්
ඒ අනුව යෝජිත කෙටුම්පතේ සංශෝධනය විය යුතු තැන් හා ඉවත් කළ යුතු වගන්ති තිබේ. ඒ සියල්ල මෙහිදී සාකච්ඡා කළ නොහැක. පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ඇත. එම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළහොත් එවැනි වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් තීරණයක් ලැබෙනු ඇත.

නීතිඥ
කණිෂ්ක විතාරණ
COMMENTS