ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය වශයෙන් විරුදාවලිය ලත් ‘රුක්මණී දේවි’ හෙවත් ඬේසි රාසම්මා ඩැනියෙල් සිය ජීවන ගීයේ අවසාන ඛණ්ඩය ගයා වසර 40 ක් ගෙවී ගියේය. ඇය මිය යන අවස්ථාව වනවිට සිංහල රිදී තිරයේ චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබිණි. භාරත නිළියකගේ විලාසය සිහිකැඳවන රූප සෞන්දර්ය රංගනයටද කන්කලු හඬ රටා ගායනයටද යොමමින් ඒ සඳහා සම දක්ෂතා දැක්වූ ඇය ලාංකේය ග්‍රැමෆෝන සංගීත අවධියේ ප්‍රමුඛතම ගායිකාව ද වූවාය.  

1923 ජනවාරි 15 වැනිදා ඬේසි රාසම්මා ඩැනියෙල්ස් නමින් නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ විසූ කොළඹ  දෙමළ ක්‍රිස්තියානි පවුලක දෙවැන්නිය ලෙසින් ඈ උපත ලැබුවාය. ඇයගේ පියා වතුකම්කරුවකු ලෙසින් සේවය කළ ජෝන් ඩැනියෙල් මහතාය. ගුරුවරියක වන ඇගේ මෑණියෝ හෙලන් රෝස් නම් වූහ. කුඩා ඬේසි කොළඹ හැදී වැඩුණු අතර සාන්ත මැතිව් විද්‍යාලයේන් සිය මූලික අධ්‍යාපනය ලැබුවාය. ඉන්පසු ඈ වැල්ලවත්ත පිහිටි සාන්ත ක්ලෙයාර්ස් විද්‍යාලයට මාරු වූවාය.

ළදරු අවධියේදීම ඬේසි ගායනටත් නර්ථනටත් උපන් හපන්කම් දැක්වූවාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය සත් හැවිරිදි වියට එළඹෙත්ම නත්තල් කැරොල් ගී ගායනය වෙනුවෙන්  ඇයව තෝරාගන්නා ලදී. ඬේසි දැරියගේ ගායනයෙන්, නර්ථනයෙන් මෙන්ම රංගනයෙන් ද තෘප්තිමත් වූ සංවිධායකවරු ‘සපතේරුවාගේ බිරිය’ නම් නත්තල් නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇයට භාරදුන්හ. මෙම වේදිකා නාට්‍ය වැල්ලවත්තේ සාන්ත ක්ලෙයාර්ස් පාසලේ පුහුණුකර එහිම වේදිකාගත කරන ලදී.

ඇගේ රංගන භූමිකාව උද්යෝගයෙන් නරඹමින් සිටි නාට්‍ය නිෂ්පාදක වෝල්ටර් අබේසිංහ මහතා ‘රාමායණය’ නම් සිය වේදිකා නාට්‍යයේ මුඛ්‍ය චරිතයක් වන සීතාගේ චරිතය වෙනුවෙන් රංගනයේ යෙදීමට ඇගේ පියාගේ අවසර ඉල්ලීය. 1935 දී සිංහල නාට්‍ය සභාව විසින් ඉදිරිපත් කළ මෙම වේදිකා නාට්‍යය සඳහා රංගනයෙන් දායකවන විට ඇගේ වයස අවුරුදු 12 ක් පමණි. 

මෙයින් පසුව ඇයට වේදිකා නාට්‍යවල ප්‍රධාන නිළියගේ භූමිකාව සඳහා ඇරුයුම් ගලා එන්නට වූ අතර ඇය සිංහල වේදිකාවේ බලාපොරොත්තු තැබිය හැකි නිළිය බවට පත්වූවාය. 

සුප්‍රකට නාට්‍ය රචක චාල්ස් ඩයස් විසින්ිජානකී හරණය’ සහිමායාවතී’ නම් සිය වේදිකා නාට්‍යද්වය සඳහා ඇයව තෝරාගන්නා ලදී. ‘මායාවතී’ නාට්‍යයේ මායාවතී වෙමින්ද, ‘රෝමියෝ ජුලියට්’ නාට්‍යයේ සිංහල අනුවර්තනයෙහි ජුලියට් වෙමින් ද එලෙසින් ම සෙසු වේදිකා නාට්‍යවල ප්‍රධාන නිළි චරිතය බවට පත්වෙමින් ඇය අතුරුසිදුරු නැතිව පිරී ගිය රඟහල්වලට පැමිණි ප්‍රේක්ෂක ජනයාගේ ගෞරවාදරයට ලක්වූවාය. ඬේසි මෙම අවස්ථා ලද්දේ ඇගේ චිත්‍රපට හඬ කැවීමටත් පෙරදීය. දශක සතරකුත් ඉක්මවූ කීර්තිමත් ගමන් මගක ගිය රුක්මණී දේවියගේ පළමු පියවර කිහිපය තැබුණේ එලෙසිනි. 

ඬේසි සිය පළමු ගීය පටිගත කළේ 1938 දී එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟිනි. ඒ ලාංකිකයන් අතර මහත් ජනාදරයට පත්ිසිරි බුද්ධගයා විහාරේ’ නමැති ගීයයි. 

HMV ආයතනයේ භ-9300 ලේබලය දරන, විනාඩියකට වට 60 ක වේගයකින් යුතුව කරකැවෙන තැටියකට ග්‍රැමෆෝනයකින් මෙම ගීය පටිගත කර ඇත. ඊට වසරකට පසු කාගිල්ස්හි දේශීය නියෝජිතවරුන් විසින් HMVආයතනය වෙනුවෙන් මෙහි පිටපත් බෙදාහරින ලදී. මේ ගීයත් සමඟ ඇය පොදු ජනයාගේ හදවත් දිනාගත් අතර රංගන ශිල්පිනියකගේ සිට ගායිකාවක දක්වා සිය ගමන්මග සාර්ථකව හැඩගස්වා ගැනීමට ද ඇයට හැකිවිය. 
මෙකී දෑ සිදුවෙමින් පවතින විට ඬේසි ඩැනියල් නමැති නාමය ‘රුක්මණී දේවී’ නමට පරිවර්තනය වී තිබුණි. එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් විසින් හෝ ජයන්ත වීරසේකර හා මයිකල් සන්නස් ලියනගේ යන අය විසින් එම නාමය යොදන්නට ඇතැයි කලා ක්ෂේත්‍රයේ මත පවතී. 

මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමයේ ප්‍රාරම්භකයා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවියගේ රංගන දායකත්වය සිය වේදිකා නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් නිර්ලෝභීව ලබාගැනීමට සමත්විය. සිංහල සිනමාවේ ප්‍රථම කතා නාද සිනමාපටය වූිකඩවුණු පොරොන්දුව’ද බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ දෙබස් අධ්‍යක්‍ෂණයෙන් යුතුව නිර්මාණය වූවකි. එය 1947 ජනවාරි 21 වැනිදා තිරගත කෙරිණි. එහි රංජනීගේ චරිතයට පණ පෙවූ ‘රුක්මණී දේවී’ තම පළමු සිනමා පටයෙන්ම ලාංකේය සිනමාවේ පළමු නිළිය වීමේ භාග්‍යය ද ලද්දාය. එක් රැයකින් ඇය සිනමාලෝලී රසික ජනයාගේ හද දිනූ නිළිය බවට පත් වූවාය. 

පසුකලෙකදී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ සොහොයුරා වූ එඩී ජයමාන්න සමගින් ඇය කඩ නොවනා පොරොන්දුවක් ඇති කරගත්තාය. කෘතහස්ත නාට්‍යකරුවකු, රංගන ශිල්පියකු මෙන්ම ගායකයෙකුද වන ජයමාන්නයන් හා එතරම්ම කෞෂල්‍යයකින් හෙඹි රුක්මණී දේවි විවාහපත් වීම රසික ජනයාගේ නොමද පැසසුමට හේතු විය. ඔවුහු මීගමුව, අඟුරුකරමුල්ලේ පදිංචි වූහ. ඔවුන්ගේ විවාහපත් වීම සම්බන්ධයෙන් රුක්මණි දේවි වරක් මෙසේ පැවසුවාය.


 "එඩී සහ මගේ විවාහයේ කතාන්දරයත් සිංහල සිනමාවේ කතාන්දරයත් එකින්එක වෙන් කළ නොහැකි ඒවා දෙකක් ලෙසයි මට පෙනෙන්නෙ. මම මේ සම්බන්ධයෙන් දක්වන අදහස ඉතා වටිනා එකක් නොවෙන්න පුළුවන්.

ඒත් මම රුක්මණී දේවිය කියා සිතන්නේ නැතිව ඒ දිහා වෙනත් කෝණයකින් බැලුවොත් මට සිතෙන්නේ අපි දෙන්නා මුණ නොගැසී විවාහ නොවුණා නම් සිංහල සිනමා ඉතිහාසය ලියවෙන්නේ මීට වෙනස් විදියකින් බවයි. අපි විවාහ නොවුණා නම් පළමු සිංහල සිනමාපටය කඩවුණු පොරොන්දුව නොවීමට ඉඩ තිබුණා. අපි සිනමා නළු නිළියන් ද නොවීමට ඉඩ තිබුණා. මම හිතනවා අපි දෙන්නාගේ දෛවය ලියැවී තිබුණේ සිංහල සිනමාවේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කියලා. මම අවංකව විශ්වාස කරනවා මේ ප්‍රකාශය සත්‍ය විකෘති කර වැරදි ලෙසට පරිවර්තනය නොවෙයි කියල” 

නුවන් නයනජිත් කුමාර විසින් රචනා කළිශ්‍රී ලාංකේය සිනමා වංශය’ කෘතියෙහි දැක්වෙන්නේ  කඩවුණු පොරොන්දුවේ (1947) සිට ඇර සොයිසා (1984) දක්වා වූ ඇගේ රංගන දිවියේ ඇය චරිත 99 කට රංගනයෙන් දායක වී ඇති බවයි. මේ අතර ඇය රංගනයේ යෙදුණු කැළෑ හඳ (1956) සිනමාපටය ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වශයෙන් සැලකේ. 

ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් රචිත කැළෑ හඳ නවකතාව ඇසුරින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය, ලාංකේය සිනමාපටයක් බවට පත් වූ පළමු නවකතාවද වෙයි. ලංකාදීප පුවත්පත විසින් සංවිධානය කරන ලදිදීපශිකා’ සම්මාන උලළේදී කැළෑ හඳේ මාලිනීගේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිළියක් වශයෙන් තමාව පෝෂණය කරන ලද වැදගත්ම චරිත අතරින් එය ද එකක් බවත්, එය තිරගත වීම නිසා තමා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බලවත් ප්‍රහර්ශයකින් පසුවූ බවත් ඈ වරක් පැවසුවාය. 

1960 දී ජයමාන්නයන්ගේ මල් යහනාව නම් වේදිකා නාට්‍යත් සමඟින් වසර 13කට පසු නැවත වේදිකා නිළියකගේ භූමිකාවට එළඹි රුක්මණී දේවීය එතැන්හිදී සිනමාපට රැසක රඟපා ලද පන්නරය ප්‍රයෝජනයට ගනිමින් වඩා සුවපහසු සහ තාත්වික ආකාරයෙන් රංගනයේ නියැලුණාය. ප්‍රකට වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වන ධම්ම ජාගොඩගේ වෙස්සන්තර නාට්‍යයේ මන්ද්‍රි දේවියගේ චරිතයත්, වෙස් මුහුණු නාට්‍යයේ කුමාරි උඩුවෙලගේ චරිතයත් ඇගේ රංගනයෙන් හැඩවිණි.

නිළියක සතු විය යුතු ගුණාංග සම්බන්ධයෙන් ඇය වරක් මෙසේ පැවසුවාය.

 "සාර්ථක නිළියක් වීමට නම් පළමුව ඔබ නිළි වෘත්තිය සමඟම පැමිණෙන කීර්තිය හා ජනප්‍රියත්වයෙන් මුළා නොවිය යුතුයි. මේ ගුණාංගය නිළියක් අනිවාර්යයෙන් පවත්වාගත යුතුයි. නිළියක් වූවායින් පසුව පවත්වාගැනීමට අසීරු වන්නේත් එයමයි.”

රංගනය මෙන්ම සංගීත දිවිය ද සමගාමීව ගෙන ගිය රුක්මණී දේවිගේ ගායන ප්‍රතිභාව වඩාත් වර්ධනය වීමට දකුණු ආසියවේ පැරණිතම ගුවන්විදුලි සංස්ථාව වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලද දායකත්වය ඉවහල්  විය. සෑම මසකම එහි විකාශය වූ වැඩසටහනක ඇයට ගීයක් ගැයීමේ ඉඩහසර ලැබිණි. ඇයගේ ගීත අතරින් සැප නෑ සංසාරේ’, තේ පැන් දින දින’,පුන් සඳ පායා’,මේ භවයේ අනිත්‍යයේ’ වැනි සුප්‍රකට ගී ඒ අතර විය. 

පසුව ඇය චිත්‍රපට ගායනයටද පිවිසියාය. කඩවුණු පොරොන්දුවේ 'සන්ධ්‍යාවේ ශ්‍රියා’, කපටි ආරක්ෂකයාහිි 'පින්සර මගේ සොයුරා’, වැරදුණු කුරුමාණමෙහිි 'ගලා කන්දේනි’ හා 'මෝරනවා ප්‍රේමේ හදේ’, පෙරළෙන ඉරණමෙහි 'නින්දේදේ රාත්‍රී යහනේ’, කැළෑ හඳෙහිි 'මැවිලා පෙනේවි රූපේ’, මතභේදයෙහිි 'පෙම් සිහින ලෝකේ මායා’, දෛවයෝගයෙහි  'මැළවී යන්නා හද මාගේ’, ලා දලුහිි 'සුව දෙන සිත සැනසුම’, අහසින් පොළොවටහිි 'දොයි දොයිය පුතා’ ආදී ගීත ජනාදරයට පත්වූ ගී වේ. මේ සියලු ගීත අතුරින් කැළෑ හඳ චිත්‍රපටය වෙනුවෙන් ඈ ගැයූ ‘මැවිලා පෙනේවි රූපේ’ ගීය ඇසුණු සැණින් කැළෑ හඳේ මාලිනිය ශ්‍රාවකයන්ගේ සිත් තුළ මැවී ගියේය. 

ඈ 1975දී  ගායක ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතා සමඟින් 'පෙම් රජදහනේ’ ගීය ගැයුවාය. 

60 දශකයේ මැද භාගයේදී  නෙවිල් ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ උපන් ලොස් කැබෙලෙරොස් නම් කැලිප්සෝ සංගීත කණ්ඩායම හා එක් වූ රුක්මණී දේවීිමල්බර හිමිදිරියේ’,ිමැණිකේ ඔබේ සිනාවේ’ හාිසඳක් නැඟේ’ වැනි එදාමෙදාතුර රසික හදවත් දිනූ ගී ගායනයෙන් සිය සංගීත දිවිය වෙනත් මානයක් කරා රැගෙන යාමට සමත් වූවාය. 1976 ජනාධිපති සම්මාන උලළේ හොඳම පසුතල ගායනය වෙනුවෙන් වන සම්මානය රුක්මණී දේවී විසින් දිනා ගන්නා ලදී. ඒිඅහසින් පොළොවට’ සිනමාපටය සඳහා ගැයූිදොයි දොයිය පුතා’ ගීය වෙනුවෙනි. 

සුප්‍රකට ඉන්දීය සිනමා සඟරාවක් වන ‘ෆිල්ම්ෆෙයාර්’ සඟරාවෙහි කවරයේ සේයාරුවක් පළ වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික නිළියද රුක්මනි දේවියම වේ.

වසර 40 කට ඉහතදී, 1978 ඔක්තෝම්බර් 28 වැනිදා, ජා ඇල තුඩැල්ල ප්‍රදේශයේ සාන්ත මේරි පල්ලියට නුදුරෙහි සිදු වූ මාර්ග අනතුරකින් රුක්මණී දේවී සදහටම සමුගත්තාය. මාතර උයන්වත්ත ප්‍රදේශයේ පැවති සංගීත වැඩසටහනකින් පසු නිවස බලා එමින් සිටියදී ඇය ගමන්ගත් වෑන් රථය හා මුහුණට මුහුණ ගැටුණු ඉන්ධන බවුසරයක පැමිණි මාරයා රුක්මණි දේවිය සහෘදයන්ගෙන් පැහැරගෙන ගියේය. 

කලාකරුවකුට ජීවිත කාලයට එක්වරක් පමණක් පිරිනැමෙනි 'රණ තිසර’ සම්මානය 1979 දී ඇගේ නමට හිමි වූයේ ඇයගේ මරණයෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා සම්මානයට පාත්‍ර වූ නිළි රැජන වෙනුවෙන් ජා ඇල කනුවන හන්දියේදී පිළිමයක් ඉදි වූ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මීගමුව ඇගේ කෞතුතාගාරය පිහිටි මාර්ගය ඈ නමින් නම් කරන ලදී.

සැකසුම - ඩිල්ෂානි චතුරිකා දාබරේ