සුමුදු මුදු පෙණ කැටි වෙරළ තෙර සිපගෙන යළිඳු මුහුදට ගලායන්නේ නෙක විසිතුරු රටා මවමිනැයි මුහුද දෙස බලා සිටි මොහොතක දැනිණි. වරෙක මේ සයුරු තෙර ආපස්සට ඇදීගොස් පෑ විසිතුරු ආශ්චර්යය නරඹන්නට ගිය දහසකුත් දෙනා මෙන්ම ඉන්පසු සිදුවූ මහා රළපෙළ දරාගත නොහැකිව සිදුවූ ජීවිත, දේපළ හානිය මෙතෙකැයි කියා නිශ්චිතව කිව නොහැකිය. එකී සිදුවීමට සියවස් විසිදෙකකට පමණ පෙර එනම් ක‍්‍රි.පූ. දෙවැනි, තෙවැනි ශතවර්ෂ අතර කාලයේ මෙරට බටහිර වෙරළට මුහුද ගොඩගලා ගම්මාන රාශියක් යට කළ බවත් මිනිසුන් හා දේපල රැසක් විනාශ වූ බවත් වංශ කතාවල සඳහන්ය. එම විනාශය වැඩි වෙද්දී එයින් මිදීමට එකල බටහිර කොටස් පාලනය කළ කැලණිතිස්ස නම් රජුගේ දියණිය වූ දේවි කුමරිය බිල්ලට දුන් බව ඉතිහාස කතා පුවත් රැසකම සඳහන්ය. කැලණි රජ කුමරියක මාගමට පාවී ගොස් පසු කලෙක මාගම රජුගේ අග මෙහෙසිය වීමත්, ඔවුන් දෙදෙනාගේ දෙටු පුත් වූ දුටුගැමුණු මහරජ (ක‍්‍රි.පූ. 161-137) මෙරට එක්සේසත් කළ පළමු රජු වීමත්, ලොව දැනුදු මවිත කරන ඉදිකිරීම් රැසක් ඉන් අනතුරුව සිදුවීමත් වංශ කතාවල කදිමට විස්තර කර ඇත. මෙම සිදුවීම් පෙළ එක දිගට විවිධ අතුරු සිද්ධි ද සමග සිදුවීම වංශකථාකරුවන්ගේ ලේඛන දක්‍ෂතාවයක්ද? එවන් සිදුවීම් සත්‍ය ලෙසම සිදුවීද? මුහුද ගොඩගැලීමෙන් පසු රාජ දියණිය සත්‍ය ලෙසම දැනට ව්‍යවහාරයේ පවතින පරිදි කිරින්දට ගොඩ බැස්සාද? නැත්නම් වෙනත් ස්ථානයකට ගොඩ බැස්සාද? කැලණිතිස්ස රජු දවස සත්‍ය ලෙසම මුහුද ගෙඩ ගැලූවේද? එසේ නම් ඒ කුමන ස්ථාන වලටද? මුහුද ගොඩ ගලද්දී රාජ දියණිය බිලි දුන්නේ කුමන ස්ථානයෙන්ද, සැලළිහිණියේ සඳහන් තෙල් සැල පිළිමය ඉදිකර තිබුණේ කැලණිතිස්ස රජුගේ නියමයෙන් රහත් තෙර නම මරවනු ලැබූ ස්ථානයේමද? අදටත් එම ස්ථානය යැයි ප‍්‍රදේශවාසීන් කියන ස්ථානයේමද? එසේත් නැත්නම් මෙම මුහුද ගොඩ ගැලීම සිරිලකට බලපෑ පළමු සුනාමි අත්දැකීම වන්නේද? එයට පෙර සුනාමි අත්දැකීම් සිදුව තිබේද? එම සිදුවීම් සනාථ කරගත හැකි පරීක්‍ෂණ සිදුව තිබේදැයි පාර්ශ්ව කිහිපයකින් විමසා බැලීමි. මේ ඒ සම්බන්ධව විමසීමේදී ලැබුණු පිළිතුරුය.   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා: සාහිත්‍ය කතාවල කැලණිතිස්ස රජු දවස මුහුද ගොඩ ගැලීම විස්තර කර ඇත්තේ මෙසේය. ”කැලණිතිස්ස රජුගේ සොහොයුරෙක් වූ උත්තිය කුමරුන් අග බිසව සමග සබඳකමක් පවත්වා එය රජු දැනගත් නිසා ඔහු රහසේම පැනගොස් සැඟව සිට අග බිසවට ලිපි එවා ඇත. එම ලිපි එවීමට ඔහු යොදා ගත්තේ තම හිතවතකුට සිවුරක් පොරවා මාලිගයේ දානය පිළිගන්වන දිනයට සෙසු භික්‍ෂූන් වහන්සේලා සමග යැවීමෙනි. දිනක් මෙම ලිපි හුවමාරුව රජුට අසුවූවද එයට චුදිතයා යැයි රජු සිතාගත්තේ මහරහතන් වහන්සේ නමකි. ලිපියේ අත් අකුරුත් එම රහතන් වහන්සේගේ අත් අකුරුත් සමාන වීම එයට හේතුව විය. කෙසේ වෙතත් මහා වංශයේ මෙම කතා පුවතේ සඳහන් උත්තිය කුමරු රජුගේ සොහොයුරෙක් ලෙස හඳුන්වා නොමැත. රාජාවලියේ එන පරිදි කුමරු සැඟව සිට ඇත්තේ උඩුගම්පොළ ප‍්‍රදේශයේය.ලිපියේ අත්අකුරු නිසා සැක කළ මහරහත් තෙර උණු තෙල් කටාරමක ලා මැරවීමට රජු විසින් නියෝග ලබාදුණි. එම ක‍්‍රියාව සිදුවන විට මුහුද ගොඩ ගැලූ බව මහාවංශයේ සඳහන්ය. මහාවංශ ටීකාවේ හෙවත් වංශත්ථත් ප‍්‍රකාශනි හි සහ දඹදෙණි යුගයේ රචිත සද්ධර්මා ලංකාරයේත්්, රාජාවලියේත් මහා වංශයට වඩා සවිස්තරව එම සිදුවීම රචනා කර තිබේ. මුහුද ගොඩගැලීමේ සිද්ධිය ගැන එම ඉතිහාස ග‍්‍රන්ථවල දැක්වෙනුයේ ඉහත කී නිවැරදි රහත් තෙර තෙල් කටාරමේ ලූ ක‍්‍රියාවට දෙවියෝ කිපී මහ මුහුද ගොඩට එවූහ.... වශයෙනි. එයින් බේරීමට රාජකීය ලේ ඇති දියණිය බිලිදිය යුතු බැව් නක්‍ෂත‍්‍රකරුවන් උපදෙස් දී ඇත. ඔවුන්ගේ උපදෙස් මත නෞකා බඳෙහි රජුගේ දියණිය බවට පාඨයක්ද ලියා වස්තූන්ද සමග ආහාරද සහිතව රාජ දියණිය මහ මුහුදට පා කර යවා ඇත. මහාවංශයේ දක්වා ඇත්තේ දේවි කුමාරිය ලංකා විහාරය ආසන්නයට ගොඩ බැසූ බවත්ය. තෝලක නම් විහාරයක් අසලට ඇය ගොඩ බැසි බවත් තවත් ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන්ය. රාජාවලියේ සඳහන් වනුයේ මුහුද ගොඩ ගලනු අසා කැලණිතිස්ස රජු තම දියණිය සරසා ආභරණ පළඳවා ඔරුවක නංවා රජ දු බවට ඔරුවේ ලියා මුහුදට යැවීය..... කැලණිතිස්ස රජු මුහුද ගොඩගලනු පිරීක්සීමට ඉනික්බිති ඇතකු පිට නැගී ගියහ.... මුහුදට අධිපති දෙවියෝ කලකිරී ඇතු ගල්වා ඒ රජ අවීචි මහා නරකයේ ගිනි දැලින් වෙළුවාක් මෙන් දිය ජලින් වෙළාගෙන.... නරකාදියේ වැටී වද විඳිනාහ” යනුවෙනි. එහි විස්තර කර ඇත්තේ රජු මුහුද ගොඩගලන අයුරු පිරීක්සීමට ගොස් ජල පහරකට හසුවී මිය ගිය බවකි. අප රටට 2004 සුනාමි රළ පහර පැමිණි දිනයේ අත්දැකීම් සමඟ සසඳා බලනවිට එම සිද්ධිය දින මුහුද ගොඩ ගැලීම් දෙකක් සිදුව ඇති බැව් පැහැදිලිය. පළමු ගොඩ ගැලීමේදී රාජදුවණිය බිලි දී ඇති බවත්, දෙවැනි සුනාමියේදී රජු බිලිවීමත් සිදුවන්නට ඇත. සද්ධර්මාලංකාරයේ මෙම සිදුවීමට තවත් විස්තර එකතු කරමින් දක්වා ඇත්තේ රහතන් වහන්සේ පෙර ආත්මයක කිරි උණු කරන විට මැස්සෙක් වැටී මිය ගිය නිසා එම පාපය හේතුවෙන් රහත් භවයේදී උණු තෙලේ දැවෙන්නට වූ බවය. අවසන් මොහොතේදී එම රහතන් වහන්සේගේ මුවින් ගාථා කිහිපයක් පිටවූ බවත් තෙල් කටාරමක හිඳ වදාළ නිසා එය ථේල කඨා ගාථා ලෙස නම් වී යැයිද සාහිත්‍ය මූලාශ‍්‍ර වල සඳහන්ය.   යෝ සබ්බ ලෝක මහී සෝ - කරුණා දිවා සෝ මොක්ඛා කරෝ රවී කුලම්බර - පුණ්‍ය චන්දො” එම ථේල කඨා ගාථා අඩංගු තල්පතක් පසු කලක මෙරටට පැමිණි තායිලන්ත භික්‍ෂූන් නමක එරටට රැුගෙන ගොස් ලියා තබා ඇතත් මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාට පසුව එම ගාථා සහිත සන්නස තායි භික්‍ෂූන් ඉදිරිපත් කොට තිබුණි. ඒවා ථේල කඨා ගාථා ලෙස එතුමා ඒ වන විටත් අවබෝධයෙන් පසුවී ඇත. අප රටට මුල්ම සුනාමිය ඇතිවූයේ කැලණිතිස්ස රජු දවස යැයි ඇතැම්හූ වරදවා කියති. එහෙත් රාවණ යුගයේදී එනම් ද්වාපර යුගයේදී අධර්මයෙන් රාජ්‍ය විචාල රාවණ රජ නිසා මන්නාරමෙන් එපිට තූත්තුකුඩිය අතර මහා භූමි කොටසකට මුහුද ගොඩ ගලා මාලිගා 25ක්, නගර හාර ලක්‍ෂයක් මුහුදට බිලිවූ බව රාජාවලියේ සඳහන්ය. කැලණිතිස්ස රජු දවස මුහුද ගොඩ ගැලීමෙන් පටුනු ගම් 970ක් (කුඩා ගම්), කෙවුල් ගම් (ධීවර ගම්) 470ක්, සලා ගම් (මුතු කිමිදෙන ගම්) 11ක් මුහුදේ ගිලීගිය බවද රාජාවලියේ දැක්වේ. අප ජාතක පොතේ සමුද්දවාහිනී ජාතක කතාවේද දුපතක සිටි මිනිසුන් අසත්පුරුෂකම් කළ නිසා මුහුද ගොඩ ගැලූ බව සඳහන්ය. එහි පළමු රළ පහර දණහිස දක්වාත්, දෙවැනි රළ පහර උකුල දක්වාත්, තෙවනුව උරහිස් දක්වාත් මුහුදු ජලය පැමිණි බව සඳහන්ය.   පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දිසානායක කැලණිතිස්ස රජුගේ දියණිය වූ දේවි කුමරිය මුහුද ගොඩ ගලන විට 14 වැනි වියේ පසු වූවාය. ඇය විහාරයක් අසලට ගොඩ බැසි නිසා ”විහාර දේවියත්” පසුව රජ මෙහෙසිය ලෙස අභිෂේක වීමෙන් පසු ”විහාර මහා දේවියත්” ලෙස නම් කෙරිණි. මහා වංශයේ සඳහන් ආකාරයට දකුණුලක ”ලංකා” නම් ප‍්‍රදේශයකටත්, මහාවංශ ටීකාවේ පරිදි ”තෝලක” නම් විහාරයක් ආසන්නයටත් දේවි කුමරිය ගොඩ බැස ඇත. ඉහත තෝලක හෝ ලංකා යන ස්ථාන ඇත්තේ කොහේදැයි තවමත් කිව නොහැක. කුමරිය මුහුදට බිලිදුන් ස්ථානය හෝ එදවස කැලණියට මුහුද ගොඩ ගැලූ ස්ථාන කවරේදැයි යන්න වංශකතාවල ස්ථිරව සඳහන්ව නොමැත. දේවි කුමරිය කිරින්දට ගොඩ බැස්සා යැයි කීම එතරම් පිළිගත නොහැකි දෙයකි. තිස්සමහාරාමයට කිලෝමීටර් 08 දුරින් පිහිටි කිරින්දට කුමරිය පැමිණි යාත‍්‍රාව ළං කරන්නට හැකි වූවා යැයි සිතිය නොහැක. ඒ සඳහා සාක්‍ෂි ඉතිහාස මූලාශ‍්‍ර වල නොමැත. ක‍්‍රි.ව. 12 වැනි සියවසේදී පාලියෙන් ලියැවුණු රසවාහිනියේ දකුණු ලක ”තොට්ටල” නම් තැනකට දේවි කුමරිය ගොඩ බැස්ස බැව් සඳහන්ය. මෙහි සඳහන් ”තොට්ටල” වර්තමානය සසඳා බැලූවහොත් එය පොතුවිල් අසල පැරණි වරායක්දැයි සැකකළ හැකි සාධක වශයෙන් පොතුවිල් තානායම අසල ඉඩමක නටඹුන් රාශියක් දැක ගත හැක. ආරුගම් බොක්ක යන ස්ථානයේ පැවැති වරායක් ගැන මහනුවර යුගයේ ලියැවුණු ඉතිහාස මූලාශ‍්‍රවල පවතී. පන්කන්ද හෙළ තිබෙන කඳුවැටිය අසල නටඹුන්ව පවතින ප‍්‍රදේශය මහා වංශයේ සඳහන් ලංකා විහාරය ලෙස ඒ යුගයේ හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය. මහාවංශ ටීකාවේද තෝලක ප‍්‍රදේශය ගැන විස්තර ඇතුළත් වන අතර එහි තෝලක ලෙස හඳුන්වා ඇත්තේ පසු කාලයේදී ”තොට්ටල” ලෙස හැඳින්වූ පෙරකී ස්ථානය යැයි සිතිය හැකිය. පොතුවිල් අසල මුහුද ආසන්නයේ නටබුන්ව පවතින ප‍්‍රදේශය දැඩි සේ ඛාදනය වී නොමැති නිසාත් මුහුදේ ස්වභාවය අනුවත් එහි පැමිණියා යැයි අනුමාන කළ හැකිය. මහා වංශය ලියැවී වසර 400කට පසු ක‍්‍රි.වර්ෂ 08 වැනි, නව වැනි සියවස්වල පමණ ලියැවුණු ටීකාව යැයි හඳුන්වා ඇති ආකාරයට සමාන ජනප‍්‍රවාද හා ජන කතා ඉහත පොතුවිල් ප‍්‍රදේශයේ බහුලව පවතී. කැලණිතිස්ස රජු පාලනය කළ කැලණිය ප‍්‍රදේශය ගැන විවිධ මත පවතින අතර අටුවා කතාවල සඳහන් වනුයේ කාවන්තිස්ස රජු හා දේවි කුමරිය වැලි කෙළියේ පටන් එකට හැදුණු වැඩුණු බවය. කෙසේ හෝ මුහුද ගොඩගැලීම ගැන අපගේ පන්සිය පනස් ජාතක පොතේ එන සමුද්ද වාහිනී ජාතකයේද විස්තර කර ඇත. එහි සඳහන් පරිදි දුපතක සිට මිනිසුන් පිරිසක් කළ පාපී ක‍්‍රියාවකට දෙවියන් කිපී මුහුද ගොඩට ගලා ඇති බවය. ලංකා ඉතිහාසයේ මුහුද ගොඩ ගැලීම් ගැන සාහිත්‍ය කෘති, මූලාශ‍්‍ර ග‍්‍රන්ථ, අටුවා කතා ආදී විවිධ කෘති වල දක්වා ඇත. එහෙත් මෙම සිදුවීම වූ කාල වකවානුවෙන් සියවස් දහහතකට පමණ පසු එනම් 15 වැනි සියවසේදී ලියැවුණු රාජවලියේ සඳහන්ව ඇති කැලණියට මුහුද ගැලීමට පෙර යුගවල සඳහන් මුහුද ගොඩ ගැලීම් පිළිගත හැකිද යන්න ප‍්‍රශ්නයකි. කැලණිතිස්ස සිද්ධිය වූයේ ක‍්‍රි.පූර්ව තෙවැනි හා දෙවැනි සියවස් අතර කාලයකදීය. එහෙත් ලංකා ඉතිහාසය ලියැවෙන්නට පෙර සියවස් ගණනාවකට පෙර යුගවල මුහුද ගොඩ ගැලූවා කියා ඇතැමුන් සඳහන් කර ඇතත් එය මතභේදයට තුඩු දී ඇත. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පරමාණු විද්‍යා අංශයේ මහාචාර්ය ආර්. හේවාමාන්න, බී. මහවත්ත මහත්මීන් ආචාර්ය මොහාන් අබේරත්න මහතා සමග කිරින්ද ප‍්‍රදේශයේ කළ ගවේෂණයකදී වසර 1,600 කට පෙර හා 2,200 කට පෙර පැමිණි සුනාමි දෙකක් පිළිබඳව තොරතුරු ගවේෂණය කර ගෙන ඇත. ඒ අනුව මෙයට වසර 2,200 කට පෙර සිදුවූ සුනාමියත්, කැලණිතිස්ස රාජ සමයේ සිදුවූ සුනාමියත් අතර සබඳතාවක් ඇති බැව් පෙනේ. නමුත් විහාර මහා දේවි කුමරිය කිරින්දට ගොඩ බැස්සා යැයි කීම නිවරැදි නැත.   මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපති මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගෙන්ද අපි මෙම ඓතිහාසික සිද්ධීන් තහවුරු කර ගත හැකි ක‍්‍රමවේදයන් ඇත්තේදැයි විමසා බැලූවෙමු. ඒ මහතා ඊට ලබාදුන්නේ මෙවන් පිළිතුරකි. අතීත සාහිත්‍ය ග‍්‍රන්ථවල අඩංගු තොරතුරු සත්‍යමදැයි සොයා බැලීමට අපි විශේෂ පරීක්‍ෂණ කොට නොමැත්තෙමු. එයට හේතුව පරිසර පුරා විද්‍යාඥයන්ගේ හිඟකමයි. ශ්‍රී ලංකාවේ පරිසර පුරා විද්‍යාඥයන් ස්වල්පයක් පමණක් සිටින අතර ඔවුන්ද කොටසක් හදාරන ලද අය වේ. එමෙන්ම ඒ සම්බන්ධ ඉගැන්විය හැකි විශේෂ පුහුණුකරුවන්ද නොමැත. විහාර මහා දේවිය සම්බන්ධ කැලණි සුනාමි පුවත පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක් අප සිදු කොට නොමැත. එයට හේතුව ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධව පවතින යම් යම් මූලික පහසුකම්වල හිඟ කමය. එම නිසාම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම සිද්ධීන් විද්‍යාත්මකව ගවේෂණය කළ හැකි ප‍්‍රධාන විද්‍යාගාරයක්ද අනුරාධපුරයේ පිහිටුවන අතර විශ්ව විද්‍යාල, පුරාවිද්‍යා, ජාතික ලේඛනාරක්‍ෂක හා ජාතික කෞතුකාගාර භාවිතය සඳහා තවත් විද්‍යාගාරයක්ද පිහිටුවීමට කටයුතු යොදා ඇත. තව දෙවසරක් තුළ එහි වැඩ කටයුතු නිමවනු ඇත. තවද පොළවට අවම හානි වන එෆ්.පී.ආර්. පරීක්‍ෂණ මගින් භූමිය කැනීමටද අපි පියවර ගනිමින් සිිටිමු. එය මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ නව මානයකට කැඳවා යෑමක් වනු ඇත.   මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හා පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය මොහාන් අබේරත්න මහතා අතීත භූ චලන හෝ සුනාමි සිදුවීම් සම්බන්ධ පර්යේෂණ කිරීමට කාල නිර්ණ පරීක්‍ෂණ කළ යුතුය. කාබන් කාල නිර්ණය මුල් කාලයේදී සිදු කළ අතර මේ වන විට තාප සන්දීප්තතා කාල නිර්ණය හා ආලෝක සංදීප්තතා කාල නිර්ණය ලෝකයේ මෙවන් පරීක්‍ෂණවලට යොදාගෙන ඇත. එවන් පර්යේෂණයක් මෙයට වසර පහකට පමණ පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මා සේවය කළ අවධියේදී කරන ලදී. කිරින්ද මෝය කට ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පොළව (ආරක්‍ක්‍ෂිත ක‍්‍රමවේද මගින්) විද ලබාගත් පස් සාම්පල යොදා කළ කාල නිර්ණ පරීක්‍ෂණයකදීය. මෙයට වසර 1600කට හා වසර 2200කට පෙර මෙරටට සුනාමි දෙකක් පැමිණ ඇති බැව් සොයාගත හැකි විය. එම ස්ථානයෙන් අප ලබාගත් පස් සාම්පල පිරීක්සීමේදී එම භූමියේ පස්වලට අමතරව එම ප‍්‍රදේශයට කිසිසේත් අයිති නොවන රොන්මඩ ස්ථර කිහිපයක් එම පස් අතර තිබී සොයා ගත හැකි විය. එම සාම්පල සම්බන්ධව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රසායනාගාරයේදී පර්යේෂණය කරන ලදී. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ඨික විද්‍යා අංශයේ මහාචාර්ය රෝහිණී හේවාමාන්න හා බී. මහවත්ත යන මහත්මීන් කරන ලද විකීරණශීලී පරීක්‍ෂණයෙන්ද එය තහවුරු වීය. අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රසායනාගාරය වසා දමා පෞද්ගලික සමාගමකට ලබාදී ඇත. අප ඉහත කළ තාප සංදීප්තතා කාල නිර්ණය පරීක්‍ෂණය කළ උපකරණය අද වන විට අබලන් වී ඇත. අද එවැනි උපකරණයක් ඩොලර් ලක්‍ෂයක්වත් වනු ඇත. අද වන විට තාප හා ආලෝක සංදීප්තතා යන කාල නිර්ණ පරීක්‍ෂණ දෙකම එකම උපකරණයකින් කළ හැකි තරමට තාක්‍ෂණය දියුණු වී ඇත. එවන් උපකරණයක් ගෙන්වුවහොත් සුනාමි සම්බන්ධව පමණක් නොව පුරා විද්‍යා, කෞතුකාගාර, භූගෝල විද්‍යා, ගොඩනැලිගි පර්යේෂණ හා තාරකා විද්‍යා (උල්කාපාත වැටීම්) විශ්වවිද්‍යාල ආදී ආයතන ගණනාවකට ප‍්‍රයෝජනවත් විය හැකිය. මේ වන විට කාල නිර්ණය පිළිබඳ පුහුණු විශේෂඥයන් අප රටට නැත. අප කළ ඉහත ගවේෂණයෙන් පසු යුනෙස්කෝව විසින් සමුද්‍ර පුරාවිද්‍යා පර්යේෂණාගාරයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කළද ලංකාවෙන් ලද සහය මදි නිසා අද එය තායිලන්තයේ ස්ථාපිත කර ඇත.   භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශයේ සභාපති ආචාර්ය පී. විජයානන්ද මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා දැක්වූ අදහස් මෙසේය. ලංකා ඉතිහාසයේ සුනාමි තත්ත්ව පහක් පමණ සිදුව ඇති බැව් මෙයට දෙවසරකට පෙර කරන ලද පර්යේෂණවලින් සනාථ වී තිබේ. ඇමෙරිකානු කෙන්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමග හා අප කාර්යංශයේ ආචාර්ය නාලක රත්නායක මහතාගේ පශ්චාත් උපාධි පර්යේෂණ නිබන්ධනය උදෙසා කරන ලද ලංකාවේ සුනාමි ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක ගවේෂණවලදී එම තොරතුරු අනාවරණය වී ඇත. අතීතයේ සිදුව ඇති එම සුනාමි තත්ත්ව ගෙන බැලූවහොත් වඩා හානිදායක වූ අවස්ථා හා හානිදායක නොවූ අවස්ථාද තිබූ බව පැහැදිලිය. සුළු ලෙස වඩදිය මෙතෙරට ගලාවිත් තිබුණු බැව්ද සනාථ වී ඇත. මෙම භූමිකම්පා තත්ත්ව වැඩි වශයෙන් ඇතිවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ හා ගිනිකොණ දිග ප‍්‍රදේශවල බැව්ද පැහැදිලි වී ඇත. එම පර්යේෂණය පිළිබඳ තොරතුරු තවමත් ප‍්‍රසිද්ධ කර නොමැති නිසා මාධ්‍යයට තොරතුරු ලබාදීම කළ නොහැකිය” විජයානන්ද මහතා කියයි. කෙසේ වෙතත් කැලණියට පැමිණි සුනාමිය ගැන වංශකථා ඇතුළු අතීත මූලාශ‍්‍රවල සඳහන් තොරතුරු වල යම් නිවැරදි භාවයක් ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කරන ලද විද්‍යාත්මක පරීක්‍ෂණයේදීත්, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය කරන ලද පරීක්‍ෂණවලින්ද තහවුරු වන බව ඉහත මත විමසීම්වලින් දැනගත හැකිවිය.
සටහන හා ඡායාරූප - පුෂ්පා වීරසේකර
කැලණි විහාරය ආචාර්ය මොහාන් අබේරත්න ආචාර්ය රෝහිත දසනායක