පාඨලී චම්පික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, සුදු වෑන් සාකච්ඡාවේ දේශපාලනය, අරලියගහ මන්දිරයෙන් හමු වූ ලිපිගොනු, හම්බන්තොට වරාය හා එම්.සී.සී. ගිවිසුම්, 19 වෙනස් කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරණයේ මුදල් ගනුදෙනු හා විපක්ෂයේ භූමිකාව ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතායි.

ප්‍රශ්නය:- පාඨලී චම්පික හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රිය අනතුරක් සිදුකර පලායාම, රියැදුරු මාරු කිරීම හා තොරතුරු වසන් කිරීම යන චෝදනාවලටයි. ඉතින් මෙය දේශපාලන පළිගැනීමක් හැටියට එක්සත් ජාතික පක්ෂය අර්ථකථනය කරන්නෙ කොහොම ද?

පිළිතුර:- මෙම සිදුවීම ගැන පොලිසිය විමර්ශනයක් කර උසාවියෙන් තීන්දුවක් දී තිබෙනවා. පසු කාලෙක එය නැවත ගැනීමට අවශ්‍ය නම් ක්‍රමවේදයක් තිබෙනවා. එහෙත් මෙම අත්අඩංගුවට ගැනීමේ සිට එය සිදුවුණේ දේශපාලන පළිගැනීමක ස්වරූපයෙන් බව පේනවා. මේ හිටපු ඇමැතිවරයෙක්. පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු රට හැර යන්නේ නෑ. පොලිස් බලඇණියක් රෑ දෙගොඩ හරියේ අරන් ගිහින් ගේ වට කරලා අත්අඩංගුවට ගත යුතුත් නෑ. සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අංඩගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කරලාත් නෑ. කතානායකවරයා දැනුවත් කරලාත් නෑ. මේ ලංකාවේ පළමු වැනි රිය අනතුර නෙවෙයි. රිය අනතුරට භාජන වූ තැනැත්තා මිය ගිහින් නෑ. අනික මේක හිතාමතා හප්පලා නෙවෙයි. පසුපසින් පැමිණ හැප්පිලා තිබෙන්නේ. ඒ වගේම පොලිසිය ගාල්ලට ගොස් අදාළ සිදුවීමේ රියැදුරුගේ බිරිඳයි අවුරුදු එකහමාරක දරුවායි බලෙන් අරගෙන එනවා. රෑ එළිවෙනතුරු වාහනය ඇතුළේ තියාගෙන හිටපු බිරිඳට දරුවාට කිරි ටිකවත් දෙන්න විදියක් නෑ. මේ දේවල් අසීලාචාරයි. පහුගිය කාලේ තවත් දේශපාලකයන්ගේ රිය අනතුරුවලින් පොලිස් නිලධාරීන් මිය ගිය අවස්ථා පවා තිබුණා. ඒවායෙදි මෙහෙම පළිගත්තේ නෑනෙ. ඒකයි මෙතන ප්‍රශ්නය.

ප්‍රශ්නය:- සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා අපේක්ෂිත ඇප අයැදුම් කරද්දී ඊට සම්බන්ධ වූ රියැදුරන් දෙදෙනා පවසා තිබෙන්නේ එය මුළුමනින්ම පැවැත්වුණේ හිටපු ඇමැතිවරයාගේ උපදෙස් මත කියලයි. එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු හැසිරී ඇත්තේ වගකීම් සහගත ආකාරයට ද?

පිළිතුර:- මම හොඳින්ම දන්නා විදියට තවත් දේශපාලනඥයකු පුද්ගලයන් දෙදෙනකු රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත රැගෙනවිත් තිබෙනවා. සුදු වෑන් ගැන ඔවුන් පාපොච්චාරණයක් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ භාෂණයේ නිදහස පාවිච්චි කර රාජිත මහතා ඔවුන්ට කතා කිරීමේ අයිතිය ලබාදෙනවා. මහජන සුබසිද්ධිය සඳහා ඒක මාධ්‍යවලට දෙනවා. ඉතින් මොකක් ද මේකෙ වර ද? දෙන්නෙක් දම්මලා බලෙන් එවැන්නක් කියන්න එතුමාට වුවමනාවක් තිබෙනවා යැයි ජනතාව හිතන්නෙත් නෑ. ඒ දෙදෙනාට තර්ජනය කරලා ආණ්ඩුවට වුවමනා විදියට ප්‍රකාශ නොදුන්නොත් වසර ගණනාවක් සිරබත් කන්න වෙයි කියලා රජයේ සාක්ෂිකරුවන් කරගෙන මේක අනෙක් පැත්ත පෙරළන්න හදන බව අපට පේනවා. මේ සියල්ල දේශපාලන දඩයම් හැටියටයි මම නම් දකින්නේ.

ප්‍රශ්නය:- හිටපු ඇමැතිවරුන්ගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැර ගනුදෙනුවල තොරතුරු ඇතුළත් ලිපිගොනු සමූහයක් අරලියගහ මන්දිරයෙන් හමුවී තිබෙන බවට වූ පුවත එ.ජා.ප.ය ප්‍රතික්ෂේප කළත් වත්මන් අගමැතිවරයා නැවත නැවතත් එය තහවුරු කර තිබෙනවා. එ.ජා.ප.ය ගහන්නෙ ගේමක් ද?

පිළිතුර:- ඔය කතාවම ගේම් එකක්නෙ. පැහැදිලවම පේනවා මේ පටලවන්නයි හදන්නේ කියලා. යූ.එන්.පී. එක ඩීල් එකක් දාන්න හදනවා කියලා පටලන්නනෙ එයාලට ඕනෑ. මේ හැම දෙයක්ම එ.ජා.ප.යේ කුමන්ත්‍රණ යැයි අපෙත් සමහර අඳබාලයෝ කියලා තිබෙනවා මම දැක්කා. තමන්ගෙ පහත් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාවට නගන්න සමහරු එ.ජා.ප.යට චෝදනා කරනවා. ඔය වගේ දේවල් නෙවෙයි. ඇත්තටම ගත්තොත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනා සිරගත විය යුතු අයනෙ. අපි ඒ සිදුවීම් නීතියට බාරදුන්නා විනා මේ වගේ අතගැසීම් කළේ නෑනෙ. හොරු මංකොල්ලකාරයෝ ඔක්කොම අපේ කාලයේ බේරිලා ගියා කියලයි මටත් හිතෙන්නේ. විවිධ ආකාරවලට ඒවා බේරාගත්තා කියලත් අපට පේනවා. පොලිස් දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී., අධිකරණය වෙන්න පුළුවන්. අපි කොච්චර නිදහස දී තිබුණත් ඒවා හරියාකාරව ක්‍රියාත්මක වුණා ද කියලා ජනතාවගෙන් අහන්න අපි කැමැතියි.

ප්‍රශ්නය:- හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීම වරදක් බවත් ඒ සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍යයකට පැවැසුවත් එම ගිවිසුම ගැන තමන්ට ගැටලු‍වක් නැතැයි විදේශ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන්ට පසුගියදා පැවැසුවා. ගිවිසුමට මැදිහත් වූ පැරැණි ආණ්ඩුව හැටියට මේ ප්‍රකාශ ගැන මොකද හිතන්නේ?

පිළිතුර:- ජනාධිපතිවරයා දෙවැනියට කරපු ප්‍රකාශයේම උත්තරය තිබෙනවා. එවකට තිබුණු වරද අපි හදන්න උත්සාහ කළා. ඒ බව අද රටට විතරක් නෙවෙයි ලෝකයටම පේනවා. මේ ප්‍රකාශයෙන් වෙන්නේ ඒ බව ජනාධිපතිවරයා විසින්ම තහවුරු කිරීමයි.

ප්‍රශ්නය:- අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රජයේ රැකියා දීමට ආණ්ඩුව නව ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. මේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන එ.ජා.ප.යේ අදහස කෙබඳු ද?

පිළිතුර:- අපේ ආණ්ඩු කාලේ ස්ථිර පත්වීම් ගත්තු දහස් ගණනක් අද එළියට දාලා. මොන ආණ්ඩුවෙන් දුන්නත් මේ රැකියාවලින් නඩත්තු වෙන්නේ අහිංසක දරු පවුල්. මම අධ්‍යාපන ඇමැති විදියට එද්දී බන්දුල ගුණවර්ධන මහතා දීපු රැකියා තිබුණා. ඒවා මාස දෙකක්වත් නෑ. අපි ඒවා ස්ථිර කළේ මිනිස්සු අනාථ කිරීම හොඳ නැති නිසයි. හැබැයි වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන්නේ වෙනම පිළිවෙතක්. පුරාවිද්‍යා එකේ පෙට්‍රෝලියම් එකේ මේ ප්‍රශ්නය තිබෙනවා. විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණවලින් බඳවාගත් ව්‍යාපෘති සහකාරවරුන් රස්සාවෙන් එළියට දාලා. ජනාධිපතිවරයා සියලුම පුරවැසියන්ට වගකියන්න ඕනෑ. ඒ නිසා ඉස්සෙල්ලා විය යුත්තේ රැකියා කරන මිනිස්සුන්ගේ සුරක්ෂාව තහවුරු කිරීමයි.

ප්‍රශ්නය:- වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා සුරක්ෂා පාසල් සිසු රක්ෂණය අගයමින් කතා කළත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට පැවැසුවේ එය වැරැදි වැටහීමකින් කළ ප්‍රකාශයක් කියලයි. සුරක්ෂා ගැන මේ මතය වැරැදි ද?

පිළිතුර:- සුරක්ෂා නිසා මේ රටේ ලක්ෂ 45ක් වූ පාසල් දරුවන්ට රෝගී තත්ත්වයකදී ගෙවීමක් කරනවා. මේක මධ්‍යස්ථ ඇමැතිවරයකු විදියට එය ඉදිරියට ගෙනයෑමට කටයුතු කිරීම ගැන ඩලස් ඇමැතිවරයාට මම ස්තුතිය පුදකරනවා. මේ වසරේ විතරක් මවුපියන් අහිමි වීම ඇතුළු කාරණාවලට ලක්ෂ දෙක ගාණේ හයදාහකට වැඩි සංඛ්‍යාවක් දීලා තිබෙනවා. මෙවැනි දේ කඩාකප්පල් කිරීම කුහක වැඩ. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාටත් අධ්‍යාපනයට මුදල් ලැබෙන්නේ නෑ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අපි ආරම්භ කළ පාසල් 3000ක් පමණ මේ වනවිට මුදල් නැතිව නතර වී තිබෙනවා. අයවැයෙන් මුදල් අනුමත කරලා තිබියදී ටැබ් පරිගණක 4000 ව්‍යාපෘතිය නතර කරලා ඒ මුදල් වෙන දේවල්වලට අදින්න හදනවා. මේ දේවල් කරන්න අධ්‍යාපන ඇමැතිවරයාට උදව් කළ යුතු වුණත් ඒ සල්ලි ඔක්කොම දැන් යන්නේ රාජපක්ෂවරුන්ගේ අමාත්‍යාංශවලටයි. වෛද්‍ය ස්ථාන මාරුවලටත් මම සාධාරණ ක්‍රමයක් හැදුවා. මේ නිසා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වෙනදා වගේ අතකොළුවක් කරගන්න යහපාලන ආණ්ඩුව කාලේ ඒ අයට බැරි වුණා. ඒ නිසා තමයි ඔවුන් මෙවැනි කතා කියන්නේ.

ප්‍රශ්නය:- දැඩි ආන්දෝලනයට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන ආණ්ඩුවේම අභ්‍යන්තර මත දෙකක් තිබෙනවා. රාජ්‍ය භාරකාරීත්වය විදේශ ගිවිසුමක් සම්බන්ධයෙන් දක්වන මතය ගැන ප්‍රධාන විපක්ෂයේ මතය පැහැදිලි කළ හැකි ද?

පිළිතුර:- ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන රකුසෙක් බිල්ලෙක් මැව්වා. ඒක රට පාවලා දෙන විකුණන ගිවිසුමක් වුණා. හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ එම්.සී.සී. ගිවිසුම ක්‍රීම් ක්‍රැකර් වුණා. දැන් කියන්නේ සියයට 70ක් හොඳයි කියලයි. පරීක්ෂා කරන්න ඕනෑ කියලයි. එතකොට පාරවල් ගානේ යුද්ධ කළේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උපවාසවලට යොමු කළේ මේවා පරීක්ෂා කරලා නෙවෙයි ද? මේවා ජනමාධ්‍යවල දාගෙන දිගට හරහට අපට ගැහුවේ රට විනාශ කරන්න යනවා කියලනෙ. එ.ජා.ප.ය බුද්ධාගම විනාශ කරනවා කියල කරපු චෝදනාවත් මීට නොදෙවැනි නෑ. කෙටියෙන් කිව්වොත් ජනාධිපතිවරණය කියන්නේ වේදිකා නාට්‍යයක්. හොඳට රඟපාපු අයට ආණ්ඩු බලය ගියා. අපට රඟපාන්න බැරි නිසා අපි විපක්ෂයට ගියා.

ප්‍රශ්නය:- එළවළු හා සහල් මිල අහස උසට ගියත් ඒ ගැන කතා කරන්න විපක්ෂයක් නැති බවටත් ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා යටිබිම්ගත වූ බවටත් දේශපාලන විචාරකයන්ගෙන් චෝදනාවක් එල්ල වුණා. චෝදනාව පිළිගන්නවා ද?

පිළිතුර:- ඕනෑම ඡන්දයක් ජයගැනීමට නොහැකි වූ විට මනුෂ්‍යයන් හැටියට අපි හැමෝටම වගේම මානසික බලපෑමක් එතුමාටත් වෙන්න ඇති. හැබැයි දැන් එතුමා දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉස්සර මේ වගේ වෙලාවට පොල් ලූණු උස්සගෙන ආපු විපක්ෂය ජනතාවගෙන් ඇහුවේ දැන් සැප ද කියලයි. අපි නම් එහෙම අහන්නේ නෑ. මොකද මේකෙන් ජනතාවට පීඩාවට පත්වෙන බව අපි දන්නවා. මැතිවරණයක් කට ළඟ තියාගෙන මේ වගේ තැනකට ආවා නම් මේ ආණ්ඩුව නැවත බලයට පත්වුණොත් මහ මැතිවරණයෙන් මාස තුනකින් පස්සේ මේ රට ඉතාම නරකම තැනකට ගෙනියනවා.

ප්‍රශ්නය:- 19 වන සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරැදි කිරීමට ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා තිබුණා. මේ සාකච්ඡා ආරම්භයේ පදනම මොකක් ද?

පිළිතුර:- අඩුපාඩුවක් තිබෙනවා නම් සාකච්ඡා කිරීම කියන්නේ වෙනම කරුණක්. එහෙත් මේ ආණ්ඩුවට ඇත්තටම එහෙම අඩුපාඩු තිබෙන්න විදියක් නෑ. විධායකයේ සහෝදරයා අගමැති වෙද්දී, ඔවුන්ගේම ආණ්ඩුවක් බලයේ තිබෙද්දී අඩුපාඩු තිබුණත් ඒවා අකාමකා රට පාලනය කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. අපේ කාලයේ වගේ නෙවෙයි. අපි තීන්දුවක් ගත්තාම එදා හිටපු ජනාධිපතිවරයා ඒක වළක්වන්න උත්සාහ කළා. අපි තමයි අමාරුවෙන් ගියේ. ඒත් 19 හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා. රාජ්‍ය මාධ්‍ය, අධිකරණය ස්වාධීන වුණා. දැන් මේ අය හදන්නේ 19 පුච්චලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කරලා ඒකාධිපතිත්වයකට නැවත යන්නයි.

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ මහතා තව අවුරුදු දෙකක් නායකත්වයේ ඉන්න ඕනෑ යැයි හඬක් එද්දී කොන්දේසිවලට යටත් නොවන බවත් පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය බාර නොගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. මේ ආරාවුල එක්ක ද එ.ජා.ප.ය මහ මැතිවරණයට යන්නේ?

පිළිතුර:- සමහර මන්ත්‍රීවරු හොඳ පාක්ෂිකයකු කවදාවත් නොකරන වර්ගයේ ප්‍රකාශ කර තිබෙනවා. එන මහ මැතිවරණයේදි තමන්ගෙ මනාප ගොඩ වැඩි කරගන්නත් සමහරු පක්ෂයේ බෙදීම් කරනවා. මේ ආණ්ඩුවේ මර්දනය වේගවත්. ඉතින් අපි එකිනෙකා රණ්ඩු කර කර හිටියොත් වෙන්නේ ජය ගැනීමට තිබෙන ශක්තිය අඩුවීමයි. ඒ නිසා පෞද්ගලික ප්‍රශ්න පසෙකලා කණ්ඩායමක් සේ කටයුතු කරමු යැයි මම යෝජනා කරනවා. මෙතන මත කිහිපයක් තිබෙන නිසා සියලුදෙනාට අසාධාරණයක් නොවන විදියට ඉදිරියට යන්නයි අපි බලන්නේ. පක්ෂයේ සියලුදෙනා එකතු කර වැඩපිළිවෙළක් හදලා ඉවත්වෙන්න බලාපොරොත්තු වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට නොඉල්ලන බව පැහැදිලිව කියා තිබෙනවා. එතුමා යම් කාලයක් ඉල්ලලා තිබෙන නිසා වඩා හොඳ අපි හැමෝම එකතු වෙලා එක වැඩපිළිවෙළක් හදලා ගමන යෑමයි.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ගැන එ.ජා.ප.යේ පිරිසක් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තා වෙනුවට ඔහු හැමවිටම පසුපසින් සිටි බව ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී කල් තියා දැනගත් බව පක්ෂ නායකත්වය දැන් කියනවා. එ.ජා.ප.යෙන් සමීක්ෂණ දෙකක් කළා ද?

පිළිතුර:- සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හර්ෂ ද සිල්වා, මලික් සමරවික්‍රම මැතිතුමන්ලා සමීක්ෂණ දෙකක් කළ බව මට දැනගන්න ලැබුණා. ඒවාට අනුව ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව ඔවුන් කී බව මන්ත්‍රීවරුන්ගෙන් මම දැනගත්තා. මම නම් ඒක දැකලා නෑ. ඒ වගේම පක්ෂ නායකතුමාත් සමීක්ෂණයක් කළ බවත් ඊට අනුව පහළින් සිටින බවත් බෞද්ධ හා මධ්‍යම පන්තික ඡන්ද අඩු බවත් දැනගන්න ලැබුණා. ඒ සමීක්ෂණයත් මට දැකගන්න ලැබුණේ නෑ. කොහොම වුණත් ඒ වාර්තා අනුව අපට ඡන්ද අඩු කොටස් සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණා. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ කැම්පේන් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට වුණේ නෑ.

ප්‍රශ්නය:- එ.ජා.ප.යේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ ව්‍යවස්ථාවේ පටන් පක්ෂ අභ්‍යන්තරය ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතුව තිබෙනවා යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ම කියනවා. නායකත්වය මෙන්ම ව්‍යවස්ථාවත් වෙනස් කළ යුතු යැයි ඔබ හිතනවා ද?

පිළිතුර:- ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ නම් ඒක සාකච්ඡා කර කළ හැකියි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපට හොඳටම තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නම් පවතින බලතල අනුව විනය විරෝධී ප්‍රකාශ කළ කිහිපදෙනකුටම විරුද්ධව කටයුතු කර පක්ෂයෙන් නෙරපන්න පවා තිබුණා. අපේ සමහරු මන්ත්‍රීවරු පත්තරවලට රූපවාහිනිවලට කරන ප්‍රකාශ පක්ෂයට කොතරම් හානියක් ද කියල ජනතාව දන්නවා. ඒගොල්ලො නොදැන කරනවා වෙන්න බෑ. එහෙම වෙද්දිත් හැමෝගෙම එකඟතා මැද තීරණ ගත්තා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව මොකක් ද කියලත් ඉදිරියේදී අප හඳුනාගත යුතුව තිබෙනවා.

ප්‍රශ්නය:- එ.ජා.ප. ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී විශාල වශයෙන් මුදල් අවභාවිත වී ඇති බවට ඔවුනොවුන් කරගන්නා චෝදනා ගැන පක්ෂය හොයා බැලීමක් කළ යුතු නැද්ද? මේ චෝදනා පක්ෂයට හානිකර නැද්ද?

පිළිතුර:- මම මේ සම්බන්ධයෙන් පක්ෂ නායකතුමන්ගෙන් ඇහුවා. ඒ සියල්ල කරනු ලැබුවේ අපේක්ෂකතුමාගේ කාර්යාලයෙන් මිස එතුමා මුදල් එකතු කළේ නැති බවයි නායකතුමා මට කිව්වේ. එතුමාට සම්බන්ධ වූ අයවත් සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බව තමයි නායකතුමා මට කිව්වේ. ඒ චෝදනා ගැන අපට වගකීමක් නෑ. මොකද ඒ කාර්යාලය අපේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වුණේ.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ