ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක සිට ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කී රටකි. එහෙත් යටත් විජිතවාදීන්ගේ ලංකාගමනයත් සමග එම ස්වයංපෝෂිත ආර්ථික රටාව යැපුම් ආර්ථිකයක් බවට පෙරළිණි. ඒ අනුව තේ, පොල් සහ රබර් යන ප්‍රධාන භෝග අපනයනයෙන් ඉපැයූ විදේශ විනිමයෙන් රටට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම මුල් කාලයේ දී සිදු විය. යැපුම් ආර්ථිකයේ දී කෘෂිකර්මයට ඉහළ අවධානයක් යොමු නොවිණි. ඒ වෙනුවට බොහෝ දේවල් පිටරටින් ගෙන්වන සංස්කෘතියකට අපි හුරු වුණෙමු. අදට ද එම තත්ත්වය දැකිය හැකිය. මිනිස්සු ක්‍රමයෙන් නිෂ්පාදනයෙන් ඈත් වූහ.

ජීවන වියදම ද ක්‍රමයෙන් වැඩි විය. ආදායම් මට්ටම් සැලකීමේ දී මිනිසුන්ට යැපිය හැකි ප්‍රමාණයක් තිබේ. කලින් කලට ගත් ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථිකයේ හටගත් ව්‍යාකූලතා සංකෝචන හේතුවෙන් ජීවන වියදම ප්‍රජාවට දරාගත නොහැකි මට්ටමකට ළඟා වෙමින් ඇත. අද ආර්ථිකයේ උද්ගතව ඇති ප්‍රධාන අර්බුදය නම් ඩොලර් හිඟයයි. එම නිසා අඛණ්ඩව ඩොලරයේ රුපියල් අගය ඉහළ යමින් තිබේ. ඊට සාපේක්ෂව භාණ්ඩ මිල ගණන් ද වැඩි වෙමින් ඇත. එහෙත් මිනිසුන්ගේ ආදායම් ඉහළ නොයයි. එය ප්‍රධාන ප්‍රශ්නයකි. මිල වැඩි වීමට සාපේක්ෂව ආදායම් වැඩි නොවීම හේතුවෙන් මිලදී ගැනීම් සීමා කිරීමට මිනිසුන්ට සිදු ව ඇත. උද්ධමන අනුපාතිකය මේ වන විට සියයට 45 කට ආසන්න අගයක පවතියි.

ඩොලරයේ රුපියල් අගය ඉහළ යෑමත් සමග ඉන්ධන ගෑස් මෙන්ම සෙසු භාණ්ඩවල මිල ගණන් ද වැඩි වේ. ඊට සාපේක්ෂව මිනිසුන්ගේ ආදායම් ඉහළ නොයෑම නිසා ජීවන වියදම අඛණ්ඩව වැඩි වෙමින් තිබේ. මේ චක්‍රය දැන් නතර කර ගත නොහැකි මට්ටමකට ළඟා වී ඇත. ජීවන වියදම ඉහළ යෑමට බලපෑ තවත් හේතුවක් ඇත. එනම්, අඛණ්ඩව මුදල් අච්චු ගැසීමය. එනිසා මේ වන විට මුදල් විශාල වශයෙන් වෙළෙඳපොළේ සංසරණය වුවද මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් භාණ්ඩ වෙළෙඳපොළේ නැත. එසේම භාණ්ඩවල මිල ගණන් ද තව තවත් වැඩි වේ. එමගින් සිදු වන්නේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වීමය. මේ තත්ත්වය මත මිනිසුන්ට ජීවත් වීමට ඉතා අපහසු කාලයක් දැන් උදා වී ඇත.

අද ඇති ව තිබෙන ආර්ථික අර්බුදයට නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම වග කිව යුතු බවට වන සමාජ කතිකාවක් මතු ව තිබේ. එය මුළුමනින්ම පිළිගත හැකි අදහසක් නොවූවත් එහි යම් පමණක සත්‍යතාවක් ඇත. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සිදු විය. එසේම හොඳ සාර්ව ආර්ථික කළමනාකරණයක් ද තිබිණි. මගේ නිරීක්ෂණය අනුව, මෙරට ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරුණේ 1994 න් පසුය. විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබා දෙන බවද එකල ප්‍රකාශ විය. ඊට අදාළ ක්‍රියාකාරීත්ව සමග ආර්ථිකය යම් මට්ටමකට උසස් වූ බව අප පිළිගත යුතුය. හොඳ ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩසටහන් එවක දී ඉදිරිපත් විය. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු පැන නැගිණි. වෙසෙසින්ම නිලධාරීන්ගේ දුර්වලතා, ආර්ථිකය සම්බන්ධයෙන් ගත යුතු තීරණ සඳහා දේශපාලනඥයන්ගේ මැදිහත්වීම් සිදුවීම යනාදී තත්ත්ව ඊට ප්‍රධාන වශයෙන් හේතුපාදක විය. පසුගිය වසර දෙකහමාරක කාලය ඇතුළත මේ තත්ත්වයේ වර්ධනයක් දැකගන්නට ලැබිණි.

ආර්ථිකමය වශයෙන් තීන්දු ගත යුතු අවස්ථාවලදී ඒවා නොගැනිණ. අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසු ගන්නා තීරණ ඵල රහිතය. වර්තමානයේ අප දකින්නේ එවැනි තත්ත්වයකි. ඩොලරයේ රුපියල් අගය මහ බැංකුව විසින් තීරණය කරනු ලැබිණි. පසුව එම අගය පා කිරීමට ගත් තීරණය ද එවැන්නකි. එයින් ආර්ථිකයට විශාල බලපෑමක් සිදු විය. මුදල් අඛණ්ඩව අච්චු ගැසීම මගින් ද ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය. එයින් උද්ධමනය ඉහළ ගියේය. නූතන මුදල් න්‍යායට අනුව මුදල් අච්චු ගැසූ පමණින් උද්ධමනය ඉහළ නොයන බවට වන තර්කය වැරදි එකකි. අප ඉගෙන ගත් ආර්ථික විද්‍යාවට අනුව ඕනෑම රටක වැඩියෙන් මුදල් අච්චු ගසා වෙළෙඳපොළට දැමූ විට මුදල් සංසරණය වැඩි වේ. එහෙත් ඊට සාපේක්ෂව නිෂ්පාදනය වැඩි වීමක් සිදු නොවන නිසා උද්ධමනය ඉහළ යෑම සිදු වෙයි.

නූතන මුදල් න්‍යායට අනුව මුදල් අච්චු ගැසූ පමණින් උද්ධමනය ඉහළ නොයන බව ප්‍රකාශ කළේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. කවර පදනමකින් ඔහු එය පැවසුවේද යන්න අපට ප්‍රශ්නයකි. දේශපාලනඥයන් සතුටු කිරීමට ඒ මහතා එවැනි ප්‍රකාශයක් කළේ ද යන සැකය තිබේ.

පවතින ආර්ථික අර්බුදයත් සමග විරැකියා අනුපාතය ද වැඩි වෙමින් තිබේ. ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන කටයුතු ද කඩා වැටී ඇත. පොහොර ප්‍රශ්නය නිසා පසුගිය මහ කන්නයේ අස්වනු අඩු විය. එලෙසින්ම මේ යල කන්නයේදී ද සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් අස්වනු අඩු විය හැකි බවට පුරෝකථන ඉදිරිපත් වෙමින් තිබේ. එළවළු වගාව කෙරෙහි ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපා ඇත. එළවළු නිසි පරිදි වෙළෙඳපොළ වෙත නොපැමිණෙන තත්ත්වයක් දැකිය හැකිය. මේ සියලු තත්ත්වයන් සමග ග්‍රාමීය ජනයා දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති. එය දුක්ඛිත තත්ත්වයක් යැයි කිවහොත් නිවැරැදිය.

ආණ්ඩුව පොහොර ගෙන්වනවා යැයි නොයෙක් අවස්ථාවල කීවද මේ දක්වා වෙළෙඳපොළට ඒවා පැමිණ නැත. මේ අවස්ථාවේ යම් ප්‍රමාණයකින් හෝ කෘෂි බිම්වලට පොහොර සැපයීම සිදු කරන්නේ නම් අස්වනු අඩුවීම යම් තරමකට හෝ අවම කර ගැනීමට පිළිවන.

අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක සමෘද්ධිය වැනි රජයේ සහනාධාර ලැබෙන්නේ ප්‍රමාදයකින් පසුවය. ඇතැම් ස්ථානවල එම ගෙවීම් සිදු නොවන බවට ද තොරතුරු වාර්තා වෙයි.

ඇතැම් ස්ථානවල මිනිස්සු දින දෙක තුනක කාලයක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටිති. එයින් රටට අහිමි වන මිනිස් ශ්‍රමය අතිමහත්ය. එම තත්ත්වය කෘෂිකර්මයෙහි නියුතු ප්‍රජාව කෙරෙහි ද අහිතකර ආකාරයට බලපා තිබේ. වී අස්වනු නෙළීම බොහෝ ගොවිබිම්වල යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරෙන නිසා පවතින ඉන්ධන හිඟය හමුවේ ඒ සඳහා අවශ්‍ය ඩීසල් ලබා ගත හැකි ද යන්න ප්‍රශ්නයකි. ජනතාව මුහුණ දෙන මේ ප්‍රශ්න නිරාකරණය කිරීම පිණිස ආණ්ඩුව මැදිහත් වී කෙටි කාලීන විසඳුම් ගත යුතුය.

සහල් ඇතුළුව ජනතාව පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් තිබේ. එබැවින් එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට සෘජු මිල පාලනයක් පැනවිය යුතු බව මගේ අදහසයි. ඒ අරබයා කෙටි කාලීන නිශ්චිත මිල පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීම අවැසිය. ගොවීන්ට වැය වන නිෂ්පාදන පිරිවැය සහ වෙළෙඳපොළේ පවතින පිරිවැය සාධාරණ ලෙස ආවරණය වන ආකාරයේ මිල පාලනයක් කෙටි කාලයකට හඳුන්වා දීම වැදගත්ය. එවැන්නක් දිගු කාලීනව පවත්වා ගත යුතු යයි මම නොකියමි. ඒ, දීර්ඝ කාලීනව සහන ලබා දීම මගින් රටක් ආර්ථිකව දියුණු කළ නොහැකි නිසාය.

ඛනිජ තෙල් මිල ගණන් යළිත් වතාවක් ඉහළ නංවා තිබේ. එයින් ජනතාව තවත් පීඩාවට පත් වේ. ඉකුත්දා සිදු කළ මිල වැඩි කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් සහ පෙට්‍රල් අලෙවියෙන් ලාභ ලබන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එය සත්‍යයක් ලෙස පිළිගත හැක්කේ ඊට අදාළව සිදු කරන විගණනයකින් ඒ බව තහවුරු වුවහොත් පමණි. එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව පාඩු ලැබුවේ එම ආයතනයේ අකාර්යක්ෂමතාව නිසා මිස ජනතාවගේ වරදින් නොවේ. විෂය භාරව කටයුතු කළ ඇතැම් අමාත්‍යවරුන් එම සංස්ථාවට අධික ලෙස සේවකයන් බඳවා ගැනීම එහි මුල්‍යමය පිරිහීමට බලපෑ එක් හේතුවකි. දෙවැන්න නම්, ආයතනය පාඩු ලබද්දීත් එහි සේවකයන්ට විශාල ප්‍රසාද දීමනා ලබා දීමය. සාමාන්‍යයෙන් ආයතනයක සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවන්නේ එම ආයතනය ලාභ ලබන්නේ නම් පමණි. එම ලාභය වෙනුවෙන් කැප වූ සේවක දායකත්වය ඇගයීමේ අරමුණ ද එහි තිබේ. එහෙත් ලෝකයේ කිසිදු රටක පාඩු ලබන ආයතනයක සේවකයන්ට මෙපරිදි ප්‍රසාද දීමනා ලබා දීම පිළිබඳ පුවත් අප අසා නැති තරම්ය. මේ තත්ත්වය තෙල් සංස්ථාවේ මතු නොව ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් යන රාජ්‍ය ආයතනවල ද දැකිය හැකිය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ යන විට ඊට සරිලන පරිදි දේශීය වෙළෙඳපොළේ තෙල් මිල ගණන් තීරණය කිරීම සඳහා දැන් මිල සූත්‍රයක් පිළිබඳ සාකච්ඡා සිදු වේ. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටි අවධියේ තෙල් මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් ගෙනා අතර එවක දී වත්මන් පාලකයෝ ඊට සමච්චල් කළහ. අදාළ මිල සූත්‍රය එදා ක්‍රියාත්මක කළේ නම්, ජනතාව පීඩාවට පත් වන්නේ නැත. එසේම තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලාභ ලැබීමට ද ඉඩ තිබිණි. ඛනිජ තෙල් මිල ගණන්වල ද යම් පාලනයක් තිබිය යුතුය. ඒ, ඒවායෙහි මිල ගණන් වැඩිවීම රටේ සමස්ත ආර්ථිකයට බලපාන නිසාය.

පවතින අර්ථික අර්බුදය විසඳීමට අදාළ වැදගත් යෝජනා සහ මතවාද විශාල වශයෙන් එක්රැස් වෙන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. රට මුහුණ දී සිටින අර්බුදයේ ස්වභාවය අනුව විදේශ රටවල් සහ සංවිධානවලින් සහනාධාර ලබා ගැනීම වැරදි තීරණයකැයි මම නොකියමි. එහෙත් අපට දිගටම විදේශ ආධාර මත රටේ ආර්ථිකය පවත්වාගෙන යා නොහැකිය. එසේනම් කළ යුත්තේ කුමක්ද? කියා අපි බැරැරුම්ව සිතිය යුතු වෙමු. ඊට අදාළව රජය පාර්ශ්වයෙන් මේ දක්වා සුබවාදී ප්‍රවේශයක් දකින්නට නොමැත. වැඩි වශයෙන් තිබෙන්නේ අඳෝනාය. මේ සතිය දුෂ්කරය ඊළඟ සති දෙක තවත් දුෂ්කර වීමට ඉඩ ඇතිය යනුවෙන් කෙරෙන ප්‍රකාශවලට වඩා වැඩි යමක් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඇතුළත මම නොදකිමි. එම ප්‍රකාශවලින් ඔබ්බට ගොස් අප ක්‍රියාකාරී විය යුතුය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත් වූ පළමු සාකච්ඡා වටයේ දී එහි කළමනාකරණ අධ්‍යක්ෂතුමිය ලංකාණ්ඩුවේ නියෝජිතයන්ගෙන් විමසුවේ ලංකාවේ සාර්ව ආර්ථික රාමුව කුමක්ද යනුවෙනි. වරෙක වත්මන් මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය උපමා කර තිබුණේ වේගයෙන් අගාධයකට යන වාහනයකටය. අගාධයට නොවැටී එය නවත්වා ගත යුත්තේ කෙසේද යන්න ගැන අප කල්පනා කළ යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විමසූ සාර්ව ආර්ථික කළමනාකරණය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැනත් සිතිය යුතුය. එය කරන විට කෘෂිකර්මාන්තය, කර්මාන්ත අංශය, සංචාරක කර්මාන්තය ආදී ආර්ථිකයේ ප්‍රධාන අංශ නගාසිටුවීමට අදාළ ප්‍රතිපත්ති පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. මේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතුය. ඒ ඔස්සේ අපනයන ආදායම් වැඩි කර ගැනීම කෙරෙහි ප්‍රමුඛාවධානයක් යොමු කිරීම අවැසිය. අනවශ්‍ය ආනයන පාලනයකට යටත් කිරීමද කළ යුතුය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් 2024 වර්ෂයේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කර ගත හැකි වනු ඇත.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)