පවතින අර්ථික අර්බුදය නිසා හෙම්බත්ව කෝපයට පත්ව සිටින මෙරට ජනතාව තමන්ගේ සියලු බලාපොරොත්තු තබා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතය. තමන්ගේත් තම දරුමල්ලන්ගේත් අනාගතය සුඛිත මුදිත කිරීම කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන්  වත්මන් ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුද විසඳී වසරකට පෙර සිටි තත්ත්වයට හෝ රට පත්වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

එහෙත් මෙවැනි තත්ත්වයක් ඇතිවූ 1970 ගණන්වල අත්දැකීම් අනුව නම් භාණ්ඩ හිඟය පිළිබඳ ප්‍රශ්නය විසඳුණද ඉහළ ගිය බඩු මිල නම් යළි කිසි දිනෙක පැරැණි තත්ත්වයට එනු ඇතැයි සිතිය නොහැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන්  වත්මන් ප්‍රශ්න කුමන ආකාරයකට කොතරම් දුරට විසඳේද යන්න තීරණය වනු ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් එම සහාය කෙසේ ප්‍රයෝජනයට ගන්නේද යන්න පිළිබඳ ගන්නා තීරණ අනුවය. එනම් ඔවුන් එම අරමුදල හමුවේ තබනු ලැබූ සැලැස්ම අනුවය. කෙසේ වෙතත් එම සැලැස්ම හුදෙක් වත්මන් විදේශ ණය තාවකාලිකව කළමනාකරණය කර ගැනීමක් හා සුළු මූල්‍යමය සහනයක් ලබා ගැනීමක් පමණක්ද නැත්නම් එසේ ලබා ගන්නා සහනය යොදාගෙන අනාගතයේ ඇතිවිය හැකි ආර්ථික කුණාටුවලට මුහුණ දිය හැකි ආකාරයේ ශක්තිමත් පදනමක් දමා ගැනීමක් වනු ඇත්ද යන්න පැහැදිලි නැත.

ලබා ගන්නට යන්නේ දැනට  මුහුණ දී සිටින ප්‍රශ්නවලට තාවකාලික සහනයක් පමණක් නම් ඉතා සුළු කලෙකින්ම රට යළිත් වත්මන් තත්ත්වයට සමාන තත්ත්වයකට මුහුණ දීම වැළැක්විය නොහැකිය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගන්නා පළමුවැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙරද බොහෝ අවස්ථාවලදී මෙරට ආණ්ඩු එම සහයෝගය ලබාගෙන ඇති අතර එය සැමදාම පාහේ මතභේදකාරී ද විය. එසේම විටින් විට ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ආර්ථික කුණාටු, සුළි සුළං ආදියට දිය හැකි ආකාරයට ආර්ථිකය ශක්තිමත් කිරීමක් එම සහයෝගයෙන් සිදු වූයේ නැත. වෙනකක් තබා දශක ගණනාවක් තිස්සේ උග්‍රවන විදේශ ණය අර්බුදයට හෝ එමගින් විසඳුම් සොයා ගැනීමට රටට නොහැකි විය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ  ලෝක බැංකුවට දෝෂාරෝපණය කළ නොහැකිය. මන්දයත් එම ආයතනවලින් සහයෝගය ලබාගෙන කරන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ රටේ පාලකයන්ය. එම සහයෝගය අවස්ථාවක් කර ගෙන වෙනත් රටවලද සහයෝගයෙන් ආර්ථිකය සැලසුම් කිරීම පාලකයන්ගේ වගකීමකි.

මෙම ආයතන යම් රටකට ආධාර උපකාර කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කොන්දේසි ද පනවයි. මෙරට දේශපාලනඥයින් අතර මෙම කාරණය මතභේදකාරී වන්නට ප්‍රධාන හේතුව එයයි. එම කොන්දේසි අතර ප්‍රධාන වන්නේ රජයේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමයි. මෙය බොහෝ විට රාජ්‍ය වියදම් කප්පාදුව මගින් හා රාජ්‍ය ආදායම් මාර්ග වැඩි කිරීමේ යෝජනා මගින් සිදුවේ. වියදම් කප්පාදුව සඳහා ඇතැම් විට රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග යෝජනා කෙරේ. ආදායම් වැඩි කිරීම බොහෝ විට විවිධ බදු උපක්‍රම මගින් සිදුවේ.

මේවා ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. එහෙත් රාජ්‍ය මූල්‍ය ශක්තිය තර කිරීමද අත්‍යවශ්‍යය. 2019 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මහා පරිමාණයෙන් කළ බදු කප්පාදුව  මෙරට ආර්ථිකය කඩා වැටීමට හේතු වූ ආකාරය රටම දනී. කෙසේ වෙතත් මෙම කොන්දේසි අපේ ඉදිරි අනාගතයට යහපතක් වුවත් නැතත් ඉදිරි මැතිවරණයේදී තමන්ට අහිතකර අයුරින් බලපෑ හැකියැයි සිතන හෙයින් දේශපාලනඥයෝ එම කොන්දේසි  යටතේ මෙම ආයතනවලින් සහයෝගය ලබා ගැනීමට පැකිළෙති. වත්මන් අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුවද පසුබෑවේ එනිසා විය හැකිය.

කෙසේ වෙතත් මෙම කොන්දේසි සෑම විටම අයහපත් යැයි නිගමනය කළ නොහැකිය. උදාහරණයක් වශයෙන් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර දෙන්නට ඉදිරිපත් වී ඇතැයි පළවූ ඇතැම් ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ලෝක බැංකුව ඉකුත් මැයි 22 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වූ කොන්දේසිය සඳහන් කළ හැකිය.

එම නිවේදනයේ සඳහන් වූයේ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අලුතින් මූල්‍යමය ආධාරයක් දෙන්නට සැලසුම් කරන්නේ නැති බවය. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් යනු නරක දෙයක් නොවේ. එය කුමක්ද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවය. ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැන්නක් ඉදිරිපත් කරන්නට යන්නේ නැත.

‘‘ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් අපගේ කනස්සල්ල පළ කරන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් පදනමකින් යුත් වර්ධනයක් යළි ඇති කර ගැනීම සඳහා වූ යෝග්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් සංවර්ධන සහායකයන් සමග එක්ව කටයුතු කරන්නෙමු’’ යනුවෙන්ද ලෝක බැංකුවේ නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පසුගිය බ්‍රහස්පතින්දා සඳහන් කළේ පහළ මට්ටමේ ආදායම් තත්ත්වය හා ගැඹුරු බදු ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අනුව සාර්ව ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ගැනීම සඳහා වූ ශ්‍රී ලංකාව සමග කරන ලද සැකච්ඡා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් බවය. මෙමගින්ද පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළවල්  සකස් කිරීම වෙනුවට එවැනි වැඩපිළිවෙළවල් සඳහා වූ ප්‍රතිපත්තිමය පදනම සකස් කිරීමට උපදෙස් දෙන බවය.

මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලෝකයේ බලවත් රටවල ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කරමින් මෙම උපදෙස් දෙන බවද අමතක නොකළ යුතුව ඇත. එම ආයතනවල  උපදෙස් දුෂ්කර තත්ත්ව යටතේ එක්තරා දුරකට පිළිපැදිය යුතු වුවත් ඒවා අනුව දීර්ඝ කාලීනව කටයුතු කිරීම ඒ අනුව එතරම් නුවණට හුරු නැත.

දැන් රට හමුවේ ඇති ප්‍රශ්නය නම් පවතින දුෂ්කර තත්ත්වය කෙටි කාලීනව මග හරවා ගැනීම හා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට දීර්ඝ කාලීනව ආර්ථිකය නඟාසිටුවීම සඳහා සැලැස්මක් සකස් කිරීමය. එවැනි දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් පිළිබඳව මෙරට නායකයන් හා අදාළ නිලධාරීන් සිත් යොමුකොට ඇති බවක් නම් නොපෙනේ.

ඔවුන්ගේ අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන දැනට ඇති පීඩනය අඩු කරගෙන රටේ අවශ්‍යතා සඳහා තවදුරටත් ණය ගැනීම නම් ඔවුන් වත්මන් අර්බුදයෙන් පාඩම් ඉගෙන ගෙන නැතුවා පමණක් නොව රට ඉදිරියේදී ද යළි යළිත් අර්බුදවලට මුහුණ දීමද වැළැක්විය නොහැකිය.

පසුගිය දශක ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනඥයෝ නිෂ්පාදන ආර්ථිකයක් මගින් රටේ ආර්ථික ස්වාධීනත්වය තහවුරු කිරීම හා විදේශ සංචිත ශක්තිමත්  කිරීම ගැන කතා කරති. එහෙත් දශක ගණනාවකට පසු ආපසු හැරී බැලීමේදී  නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම කෙසේ වෙතත් රටේ එක්තරා කාලයක තිබූ කර්මාන්ත ද වැසී ගොසිනි. එම කර්මාන්ත නවීන තාක්ෂණය යොදාගෙන නවීකරණය කරනු වෙනුවට ඔවුහු  ඒවා විකුණා දැමූහ. දැන් රටට අවශ්‍ය කරන සියල්ලම පාහේ ආනයනය කරන්නට සිදුවී තිබේ.

වත්මන් අර්බුදයෙන් අප පාඩම් උගත්තේ නම් මෙතෙක් ගිරවුන් සේ කියමින් සිටි නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් මගින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට සිත් යොමු කළ යුතුය. දේශපාලනඥයන් අතර එවැනි සංවාදයක් ඇති වී තිබෙන බවක්  නම් නොපෙනේ.

නිශ්චිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ප්‍රධාන වශයෙන්ම අප මෙරට බලශක්ති අර්බුදය ගැන සැලකිලිමත් විය යුතුව ඇත. එම කාරණය වත්මන් සමස්ත ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය බවට පත්වී තිබේ. එහෙත් බල ශක්ති ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරී තන්ත්‍රය පුනර්ජනනීය බලශක්තිය මගින් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය හා ශක්තිය තහවුරු කිරීමට මැලිකමක් දැක්වීම ඉතා ප්‍රකට කරුණකි. ඇතමුන් ඔවුන් හඳුන්වන්නේ මාෆියාවක් ලෙසය. දැනට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී සෑම ක්ෂේත්‍රයකටම බලශක්ති අර්බුදයෙන් ඇති වී තිබෙන බලපෑම ඉතා පැහැදිලිය.

එම කාරණයේදී ප්‍රශ්නය මෙන්ම විසඳුමද පැහැදිලිය. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාද පසුගියදා මෙම ක්ෂේත්‍රයේ බලධාරීන් ඛනිජ තෙල්වලට ඇති බලවත් කැමැත්ත ගැන අදහස් දක්වා තිබිණි. රට ජාත්‍යන්තරය හමුවේ සිඟන්නකු බවට පත් කිරීමට විශාල වශයෙන් දායක වූ මෙම ප්‍රශ්නය විසඳීමට දේශපාලනඥයන් තීරණාත්මකව මැදිහත් නොවන්නේ නම් ඔවුන් දැනට රට මුහුණ පා ඇති මේ සා විශාල අර්බුදයෙන් උගත් දෙයක් නැති බව ඉන් පෙනේ.

ප්‍රවාහනය ද එවැනිම ප්‍රශ්නයකි. මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පසුගිය සතියේ ඩේලි එෆ්.ටී. පුවත්පතට ලියන ලද ලිපියක වර්තමාන ප්‍රවාහන අර්බුදය හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් සංඛ්‍යා ලේඛන ගණනාවක් ඉදිරිපත් කොට තිබිණි.

එම ලිපිය අනුව ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ඉන්ධනවලින් සියයට 51ක් යොදා ගනු ලබන්නේ සුඛෝපභෝගී වාහන ඇතුළු මෝටර් රථ සඳහාය. මගීන්ගෙන් හරි අඩක්ම ප්‍රවාහනය කරන බස්රථ සඳහා යොදා ගැනෙන්නේ ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ඉන්ධනවලින් සියයට 17කි. තවත් වැදගත් කරුණක් නම් දුම්රිය සඳහා  වැය කෙරෙන්නේ ඉන් සියයට එකක් පමණ වූ ඉන්ධන ප්‍රමාණයකි. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ සඳහා සියයට 31ක ඉන්ධන ප්‍රමාණයක් යොදා ගැනේ.

මේ වාහන අතුරින් මෝටර් රථ සංඛ්‍යාව දස ලක්ෂයකට වැඩිය. බස්රථ සංඛ්‍යාව 59,000කි. ඒ අනුව මගීන්ගෙන් හරි අඩක් වූ බස් මගීන් සඳහා ප්‍රවාහනය  සඳහා වූ ඉන්ධනවලින් සියයට 17ක් වැය වන අතර තවත් ලක්ෂ ගණනක් වන මෝටර් රථ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් භාවිත කරන ඉතිරි අඩ සඳහා එම ඉන්ධනවලින් සියයට 82ක් යොදා ගැනේ.

ඒ අනුව පොදු ප්‍රවාහනය විනීත සේවයක් ලෙස දියුණු කිරීමෙන් මාර්ග තදබදයත් ඉන්ධන වියදමත් දිනපතා මහ මග නාස්ති වන මිලියන ගණනක් වූ මිනිස් පැය ගණනත්, පරිසර දූෂණයත් විශාල වශයෙන් අඩුකළ හැකිය. මෙය අප අලුතින් සොයාගත්  කරුණක් නොව දශක  ගණනාවක් තිස්සේ බොහෝ දෙනා  පෙන්වා දෙන කරුණකි. එහෙත් මෙම ප්‍රශ්නය තමන්ට පෞද්ගලිකව බල නොපාන නිසා දේශපාලනඥයන් හා ඉහළ නිලධාරී තන්ත්‍රය එම ප්‍රශ්නය විසඳන්නට ඉදිරිපත් වන්නේ නැත. මෙරට නායකයන් වත්මන් අර්බුදයෙන් පාඩම් උගත්තේ නම් මෙය ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තකි.

රාජ්‍ය ආයතනවල සිදුවන මහා පරිමාණ දූෂණ නාස්තිය හා අක්‍රමිකතා පිළිබඳ මේ දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ බොහෝ දේ කියවේ. ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින නිසා ජනතාවගේ අවධානයද ඊට පෙරට වඩා යොමුවන බව පෙනේ.

එහෙත් මීට පෙර මෙම ආයතනවල සිදු වූ රුපියල් බිලියන සිය ගණන් මුදල් රටට අහිමි කළ අක්‍රමිකතා මෙන්ම මේ දිනවල හෙළිවන  අක්‍රමිකතා ද ටික දිනකින් යටපත් වී යනු ඇත. එම  තොරතුරු ගැන තවදුරටත් සොයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන බවත් නීතිපතිවරයාට යොමුකළ යුතු බවත් කියවුණද අතීත අත්දැකීම් අනුව ඒවා ගැන එතරම් විශ්වාසය  තැබිය හැකි දැයි  සැක සිතේ.  එසේ වුවද අප මත කඩා වැටී ඇති මහා ආර්ථික විනාශය ගැන සිතා ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතු යැයි බලධාරීන්  සිතන්නේ නම් මෙම කරුණටද වැදගත් තැනක් හිමිවිය යුතුය.

හුදෙක් වත්මන් අර්බුදයෙන් යම්තම් ගොඩවී යළිත් ණයෙන් ජීවත් වන්නටත් එම ණයෙන්ද කොටසක් ගසා කන්නටත් බලධාරීන් නොසිතන්නේ නම් රට පුරා ඉහළ සිට පහළට සිදුවන සියලු දූෂණ, නාස්තිය හා අක්‍රමිකතා අවම කළ හැකි යාන්ත්‍රණයක්ද ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන සාර්ව ආර්ථික සැලැස්මට ඇතුළත් විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ මෙරට බලධාරීන් මෙවැනි විනාශයකින්වත් පාඩම් ඉගෙන නොගන්නා නිසාය.

 

(*** එම්.එස්.එම්.අයුබ්)