IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


​හොඳටත් නරකටත් විධායකය

අපේ රටේ ජනශ්‍රැතියේ එන කියමනක් වන්නේ ‘‘හොඳට – නරකට දෙකට කටමය’’ යන එකය. එයින් අදහස් කරන්නේ එකම දෙයක් හොඳ පැත්තටත් නරක පැත්තටත් යොදාගත හැකි බව විය යුතුය. මා මෙහි එම කියමන උපුටා දැක්වූයේ මෙවර කිවිදා දැක්මෙන් මූලික වශයෙන් ලියන්නට යන කාරණයට යම් ආකාරයක හැඳින්වීමක් ලබාගැනීමටය.  මගේ මෙවර සටහන මූලික වශයෙන් අරමුණු කර ගත්තේ විධායක ජනාධිපති ධුරය සමග ගැට ගැසී ඇති කරුණු කීපයක් සාකච්ඡා කිරීමටය. විශේෂයෙන්ම මේ දිනවල වත්මන් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම් පිළිබඳවත් සමාජයේ සාකච්ඡාවක් තිබෙන නිසා මේ පිළිබඳව ලිවීම වැදගත්ය.

 

‘‘බංකොලොත්වීම’’ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පසුගිය සතියේ කිවිදා දැක්මේ දී මහින්ද පතිරණ විසින් සාකච්ඡා කර තිබූ ප්‍රධාන කාරණය වූයේ පසුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කෙරුණු තීරණය ගැනය. රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූයේ විධායකය මුල් කරගත් කණ්ඩායමක වැරදි තීරණ බව එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ පෙන්නුම් කරන එක අදහසක්ය. ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා ලෙසින් සහ අගමැති මුදල් ඇමැති ඇතුළු කණ්ඩායම මේ බංකොලොත්භාවයට වගකිව යුතු බව එහිදී ඉදිරිපත් වන මූලිකම තීරණය බව පිළිගැනීම නිවැරැදිය.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධව මගේ මේ සටහනට ඍජුවම ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් මතු කරන ‘‘වගකීම’’ සම්බන්ධ කාරණය අදාළය. රටේ ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරයත් වෙනමම ඡන්ද පත්‍රිකාවකින් තෝරා ගැනීම 1978 ව්‍යවස්ථාවේ මූලික අභිලාෂයකි. එසේ තෝරන විධායක ජනාධිපතිවරයාට ස්වකීය පාලනය සඳහා හවුල්කාරිත්වයක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයක් තෝරා ගැනීමේ හැකියාව ඇති අතර ඒ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් විය යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පමණක් බවද ඒ ව්‍යවස්ථාවේම දක්වා ඇත.

මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ විධායක ජනාධිපති ධුරය වෙනමම ඡන්ද පත්‍රිකාවකින් තෝරාගන්නා බොහෝ රටවල කැබිනට් මණ්ඩලය තෝරාගන්නේ පාර්ලිමේන්තුවට පිටින් බවයි. ඒ නිසා ඒ ඒ විෂයයන්ට ගැළපෙන වෘත්තීය සුදුසුකමක් ඇති අය ඇමැතිවරුන් ලෙසින් පත් කිරීමේ හැකියාවක් ලැබේ.  එහෙත් 1978 මෙරට ව්‍යවස්ථාවෙන් ඒ බලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් පමණක් තෝරා ගැනීමට සිදුවී තිබීම නිසාම ජනාධිපතිවරයා කොතරම් දක්ෂයෙක් වුවත් රටේ පාලනය කරගෙන යාමට සිදුවන්නේ ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් කිසිදු දැනීමක් නැති බහුතරයක් කැබිනට් ඇමැතිවරුන් ලෙසින් පත් කර ගනිමින්ය).

රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු වූ කාරණා රාශියක් තිබෙන බවත් ඒ හේතු නිර්මාණයවීමට පසුගිය වසර 40 කට ආසන්න කාලයේ පාලනය සිදුකළ ආණ්ඩු සහ ජනාධිපතිවරුන් වගකිව යුතු බවත් සත්‍යයක්ය. එහෙත් 2020-22 කාලයේදී පමණක් විශේෂයෙන් මතු වූ හේතු කවරේද යන්න සොයා බැලීම වැදගත් වන්නේ එතෙක් කාලයක් ‘‘අල්ලාගෙන සිටි ආර්ථික ගැටලුව’’ එකවිටම කඩා  වැටුණේ හුදු ස්වභාවික හේතුවක් (කොවිඩ් 19 වසංගතය වැනි) නිසාද එසේත් නැතිනම් ‘‘ප්‍රතිපත්ති වැරැද්දක්’’ නිසාද යන්නය.

ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පෙන්වා දෙන්නේ මෙම ක්ෂණික කඩා වැටීමට හේතුව ප්‍රතිපත්ති වැරැද්දක් කියාය. මේ නඩු, තීන්දුවේම වෙනස් මතයක් ප්‍රකාශ කළ ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකාරතුමන් ගේ මතය පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට මහින්ද පතිරජා මහතා උත්සාහ දරා තිබුණි. මගේ අදහස වන්නේ ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකාරතුමන්ගේ තීරණයේ කේන්ද්‍රිය කාරණය වන්නේ මෙම නඩුවේ විත්තිකරුවන් ‘‘මහජන විශ්වාසය’’ (Public trust) කැඩීම යන කාරණය යටතේ සැලකිය නොහැකි බවයි. එහෙත් මගේ අදහස වන්නේ තීරණයේ මුඛ්‍ය කාරණය වන ‘‘ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කරුණු සහිතව මෙම නඩු තීන්දුව සලකා බැලූ විට ඉතාමත් පැහැදිලිව පෙනෙන ‘‘ප්‍රතිපත්ති වැරදි’’ හෙවත් ‘‘කරුණු සලකා නොබලමින් ගනු ලැබූ ආර්ථික තීරණ’’ රාශියක් 2020-22 කාලය තුළ තිබූ බව පෙනී යන බවයි.

මේ කාරණය පිළිබඳ පළල් සාකච්ඡාවක් අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය. විගණකාධිපති වාර්තාව සහ අනෙකුත් වාර්තා සහිතව සිදු කළ යුතු එවැනි පළල් විමර්ශනයක් සිදුකිරීමට 2022 කෝප් කමිටුව වශයෙන් අප ගත් උත්සාහය කඩාකප්පල්වීම ඉතාමත් කනගාටුදායක කාරණයකි.

මගේ මෙවර කිවිදා දැක්මේ මූලික මාතෘකාවට මේ කාරණය සම්බන්ධය. විධායක ජනාධිපති ධුරය සම්බන්ධව මෙරට සමාජයේ තිබෙන මතවාදය වන්නේ එය මගින් රටේ ප්‍රශ්න ගණනාවක් ඇති කළ බවයි. රටට එතරම් හුරු නොවූ ‘‘ඡන්ද පත්‍රිකා 02 පාලනය’’ (Two ballot paper system) පිළිබඳව ගොඩනැගී ඇති මෙම බරපතළ අවිශ්වාසයට පදනමක් තිබෙන බවත් සැබෑවක්ය. ඒ කියන්නේ සමහර ජනාධිපතිවරුන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් මේ පාලන ක්‍රමයම අවිශ්වාස කරන තැනට රට ගමන් කර ඇති බවය. එහෙත් මේ ක්‍රමය මගින් ලෝකයේ සමහර රටවල් ඉතාමත් වේගවත් ආර්ථික ජයග්‍රහණයක් ලබාගත් බව පැහැදිලි කාරණයකි.

1994 න් පසුව විධායක ජනාධිපතිවරුන් අතර ප්‍රධානතම ගැටලුවක් වන්නේ ඒ බොහෝ ජනාධිපතිවරුන් (මෛත්‍රිපාල ජනාධිපති හැර) මුදල් ඇමැතිකම තමා යටතේම තබා ගැනීමට දරන ලද උත්සාහය ය. මේ තත්ත්වය අදටත් එසේමය. අමාත්‍ය මණ්ඩල පත් කර ගන්නේ ජනාධිපති විසින් නිසා මුදල් ඇමතිකම තමන්ම තබා ගැනීමේ නෛතික වැරැද්දක් නැත. එහෙත් හේතු දෙකක් නිසා එය එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවන බව මගේ අදහසය.

එක් හේතුවක් වන්නේ රටක මුදල් අමාත්‍යාංශය යනු යම් ඇමතිවරයකුගේ පූර්ණ කාලය යෙදිය යුතු විශේෂ අමාත්‍යංශයක් වීමය. එය සම්පූර්ණ කාලය යෙදවිය හැකි අයකු විසින් මිස ‘‘පාට් ටයිම්’’ (part time) තනතුරක් නොවිය යුතුය. 1994 න් පසු බොහෝ ජනාධිපතිවරුන් ඔවුන්ගේ ‘‘අමතර කාලයේ වැඩක්’’ (part time job) බවට මුදල් ඇමතිකම පත් කර ගැනීම නිසා එම අමාත්‍යාංශයට නිවැරදි හා නිසි මගපෙන්වීමක් ලැබුණේ නැති බව ඉතාමත් පැහැදිලිය. ‘‘මුදල් ඇමතිකම පාට් ටයිම් කරන රටකට විය හැකි එකම දේ ඒ රට බංකොලොත් වී කඩා වැටීමය.’’ සිදු වුණේ ඒකමය.

මා මුලින් කියූ දෙවැනි හේතුව වන්නේ ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව රටේ මහජන සේවාවලට අයිති මූල්‍ය පරිපාලනය ඇත්තේ පාර්ලිමේන්තුවටය. එහි තේරුම වන්නේ කැබිනට් මණ්ඩලයේ අනෙක් කිසිම ඇමතිකමකට වඩා මුදල් ඇමතිකම පාර්ලිමේන්තුවට සම්බන්ධ බවය. එයින් කියවෙන්නේ ජනාධිපතිවරයකු වෙන ඕනෑම ඇමතිකමක් පවරා ගැනීම සාධාරණීකරණය කළ හැකි වුවත් මුදල් ඇමතිකම ගැනීම සාධාරණීකරණය කළ නොහැකි බවයි. පාර්ලිමේන්තුවේ ඡන්දයක් නැති අයෙක් වන ජනාධිපති ව්‍යවස්ථාවේ 148 වගන්තියෙන් පාර්ලිමේන්තුවට බලය දී ඇති විෂයයක් වන මුදල් ක්ෂේත්‍රයේ ඇමතිකම දැරීම ස්වභාවික යුක්තියේ නාමයෙන් වැරැදිය.

 

ව්‍යවස්ථාදායක සභාව විධායකයට අයිතිද?

පසුගිය දිනක වත්මන් ජනාධිපතිතුමන් විසින් මතු කළ එක් කාරණයක් වන්නේ 17, 18, 19, 20, 21 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් සාකච්ඡා කර ඇති ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයේ දිගුවක් බවයි. මේ අදහස සනාථ කිරීමට එදා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය උපුටා දක්වමින් අදහස් ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දෙකක් සඳහා අවධානය යොමු විය යුතු බව මගේ මතයයි.

එක් අදහසක් වන්නේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමට පදනම් වූ න්‍යායික පදනමට අපගේ අවධානය යොමුවිය යුතු බවයි. එනම් විධායක තීරණවලට යම් ආකාරයක තුලනාත්මක විමර්ශනයක් පාර්ලිමේන්තුවට සහ සිවිල් සමාජයට ලබා දීමයි. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධුරය කථානායකට ලබා දී ඇත්තේම ඒ කාරණය නිසාය. මේ සභාව විධායකයේම දිගුවක් යැයි තර්ක කරන්නේ නම් එහි සභාපති ධුරය හිමිවිය යුත්තේ කැබිනට් මණ්ඩලයේ මෙන්ම ජනාධිපතිවරයාට යැයි පැවසීමේ විභවයක් ද පවතී. එසේ වුවහොත් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ න්‍යායික පදනමින් ඉවතට ගමන් කරන බව ඉතාමත් පැහැදිලිය.

 අනෙක් අදහස වන්නේ ව්‍යවස්ථාදායක සභාව යනු පත්කිරීමේ බලධාරියකු නොව අනුමත කිරීමේ යාන්ත්‍රණයක් බවයි. මේ සභාව අනුමත කරන පත්වීමක් වුවද පත්කිරීමේ හෝ නොකිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුය. එසේම එම සභාව තුළ ජනාධිපතිවරයාගේ අභිලාෂය වෙනුවෙන් නියෝජිතවරයකු ද පත්කර තිබෙන බව සඳහන් කිරීම වැදගත්ය.

 මේ කරුණු මත මගේ යෝජනාව වන්නේ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා විසින් සිදුකරන මැදිහත්වීම හේතුවෙන් අනවශ්‍ය ව්‍යවස්ථා ගැටුමක් ඇතිවන බවයි.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථිකය

 මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින තවත් කාරණයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධ වත්මන් ප්‍රගතියයි. රටේ ආර්ථිකය වැටුණු වළේ හැටියට මේ ආකාරයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමක් අවශ්‍ය වූ බව සත්‍යයක්ය. IMF යෝජනාවලියේ ආකෘතියට අනුව ගමන් කිරීමේ මේ ගමන් මාර්ගයෙන් එපිට කළ හැකි දෙයක් නැත. මෙසේ කියන විට ආණ්ඩුවේ සමහරෙක් අසන ප්‍රශ්නය වන්නේ ‘මේ ක්‍රමය නොමැති නම් වෙනත් ක්‍රමයක් කියන්න’ කියාය. මේ ක්‍රමයට මිස වෙනත් ක්‍රමයකට එළියට යා නොහැකි අයුරින් මේ ආර්ථික අගාධය කැපුවේම IMF උපදේශකලා විසින් බව මගේ මතයයි. දැන් සිදුකර තිබෙන්නේ ‘ඇඳුමේ හැටියට ශරීරය කපා එම ශරීරයට වෙනත් ඇඳුමක් ගැළපෙන්නේ නැතැයි’ කීම ය.

 මා මීට පෙර කිවිදා දැක්මක සඳහන් කළ ආකාරයට 17 වතාවක් IMF බෙහෙත් වට්ටෝරුව පොවා සුවපත් කළ නොහැකි රෝගයකට මේ වන විට රටේ ආර්ථිකය ගොදුරු වී ඇත. එයින්  සුවවීමේ උත්සාහය ගැනීම සහ රෝගියා ICU එකෙන් එළියට ගැනීමේ උත්සාහය යනු දෙකක් බවට පත් වී ඇත. මගේ අදහස වන්නේ මෙම ආර්ථික ගැටලුවෙන් දීර්ඝ කාලීනව සුවවීමේ උත්සාහය පදනම් වන්නේ පළල් දේශපාලන – ආර්ථික ප්‍රතිපත්ති මැදිහත්වීමක් (Political Economic Policy intervention) හරහා බවය. එසේ නොවන තාක් මේ කඩාවැටීම හුදු පැලැස්තර හරහා සමනය කරගන්නවා මිස සම්පූර්ණයෙන් සුවවීමක් සිදුකරන්නට හැකියාවක් නැත. ඒ පිළිබඳව පළල් ආකෘතියක් මගේ මීළඟ කිවිදා දැක්මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තු වෙමි.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (1)

​හොඳටත් නරකටත් විධායකය

wedage Thursday, 07 December 2023 10:24 AM

මෙහි නරකට විධායකය කියලා නිවැරැදි කරන්න හොඳක් නම් වෙලාම නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 97 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 151 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 161 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 604 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 105 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2533 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 271 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 280 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site