අදට (14) යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.

තෛපොංගල් උත්සවය මූලික වශයෙන් සශ්‍රීකත්වය, කෘතවේදීත්වය සහ සාමය සමගිය උදාකරවන්නක් සඳහා කෙරෙන උත්සවයකි. මෙම උත්සවය දකුණු ඉන්දියාවෙන් පහළ වූ උත්සවයක් බව බොහෝ පඬිවරු පවසති. මෙය හින්දු ධර්මයෙන් නිපන් උත්සවයක් වන්නේ ඒ ගැන පැවසෙන පුරාවෘත්ත නිසාය.

 

පුරාවෘත්ත

තෛපොංගල් ඉතිහාසය හෙළිදරව් වන ජනප්‍රියම පුරාවෘත්තය වන්නේ ශිව දෙවියන්ගේ ගවයා සම්බන්ධ පුරාවෘත්තයයි. ශිව දෙවියන්ගේ ගවයා වනුයේ භාෂවය.

භාෂාව ඇමතු ශිව දෙවියෝ පෘථිවියට ගොස් මනුෂ්‍යයන්ට තෙල් සාත්තුවක් හා සෑම දිනකදීම ස්නානය කරන ලෙසට දැනුම් දෙන ලෙස පැවසුවේය. ඒ වගේම මසකට වරක් පමණක් ආහාර ගන්නා ලෙසටත් උපදෙස් දෙන ලෙසට ශිව දෙවියෝ භාෂවට ප්‍රකාශ කර සිටියහ.

එහෙත් ශිව දෙවියන්ගේ පණිවිඩය වරදවා වටහා ගත් නිසාදෝ භාෂව මනුලොවට පැමිණ සෑම දිනකම ආහාර ගන්නා ලෙසටත් මසකට වරක් තෙල් සාත්තු කර ස්නානය කිරීම සිදු කරන ලෙසටත් මානව සමාජයට පැවසුවේය. මෙම වරද පිළිබඳව කුපිතව කෝපයෙන් පසුවූ ශිව දෙවියෝ සිය ගවයා වන භාෂවයන්ට සාප කළහ.

භාෂාව සදාකාලිකවම මනු ලොවේම වාසය කරන ලෙසට එම ශාපයෙන් අපේක්ෂා කෙරිණි. එමෙන්ම භාෂව සී සාමින් කුඹුරු වැඩ ඇතුළුව මානව සමාජයේ වෙනත් කටයුතු උදෙසා සහාය වෙමින් ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමට දායක වීමටත් ගවයාට සිදු වනුයේ මෙම පසුබිම තුළය යන්න ඉන්දියානු පුරාවෘත්තයේ සඳහන් වේ.

මෙසේ මනු ලොවේ ගොවිතැනට උදව් වන ගවයන්ට කෘතවේදී වීමට ජනයා පෙළැඹී ඇත. කෘතවේදීත්වයේ සංකේතයක් හැටියට තෛපොංගල් උත්සවයේ තෙවැනි දිනයේ පට්ටි පොංගල් නමින් හැඳින්වෙන උත්සවය ඇතිවිය.

 

තෛපොංගල් සංක්‍රාන්තිය

පුරාවෘත්තවලින් තෛපොංගල් ඇති වුවත් ක්‍රි.පූ. 200 සිට ක්‍රි.ව. 300 දක්වා යුගයේ දකුණු ඉන්දියාවේ මේ තෛපොංගල් ඇති වූ බව වියත්හු පෙන්වා දෙති.

තෛ මාසයේ එනම් සිංහල ක්‍රමයට දුරුතු මාසයේ පළමුවැනි දින සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රාන්තිය සිදු කරනු ලබයි. දුරුතු මාසයේ සිට පොසොන් මාසය තෙක් එනම් දෙමළ ක්‍රමයට තෛ මාසයේ සිට ආනි මාසය තෙක් සූර්යයා උතුරු දෙස බලා ගමන් කරන හෙයින් උත්තරායන කාලය ඇති වේ.

මේ කාලයේදී සූර්යාගෙන් බොහෝ ශක්තිය ලැබෙන බව දෙමළ හින්දු ජනයෝ විශ්වාස කරති. එමෙන්ම සූර්යා දිවා රාත්‍රී දෙකෙහි එක සමාන වන බැවින් උතුරු දෙසට ගමන් කිරීම සිදුවන සමයත් රත්වීම හෝ ඉතිරි වීම සිදුවේ.

මෙම රත්වීම නිසා පොළවේ පවතින ජල කඳ වාෂ්ප වී මහා වැසි වසින්නටත් එම වැස්ස නිසා මිනිසුන්ට ජීවත් වන්නට අවශ්‍ය සියලුම භව බෝග අස්වැන්න ලැබෙන්න පටන් ගන්නා බවත් ඔවුන්ගේ විශ්වාසයයි. මේ නිසාම සූර්යයාට කෘතවේදී වීමට ඉනුවිලා උත්සව පැවැත්වීමට හින්දූහු අමතක නොකරති. එය පසුකාලීනව තෛපොංගල් විය.

තෛපොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දෙමළ හින්දූන් විසින් සමරන උත්සවය දින හතරක් තිස්සේ සමරන උත්සවයක් කරගෙන ඇත. එහි පළමුවැන්න පෝහි පණ්ඩිගෛ නම් විය.

 

පෝහි පණ්ඩිගෛ

මෙය ආරම්භ වන්නේ මාර්කලි මාසයේ අවසාන දිනයෙනි. එනම් උඳුවප් මස අවසාන දිනයෙනි. මෙම දිනය එම අවුරුද්දේ අවසාන දිනය වේ.

මෙම දිනයේදී පැරණි උපකරණ සියල්ලම පුළුස්සාගේ ගේදොර සුද්ධ පවිත්‍ර කර ‌ගොම මැටි හා පිරිසුදු කර ගන්නා දවස පෝහි පණ්ඩිගෛයි වශයෙන් හැඳින්වේ. මෙම සිරිත අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. මෙහි දෙවන දිනය වන්නේ පොංගල් පණ්ඩිගෛ නමින් හඳුන්වන උත්සවයයි.

 

පොංගල් පණ්ඩිගෛ

මෙම දිනයේදී හිරු දෙවියන් උදෙසා වැඳුම් පිදුම් සිදු කරනු ලබති. මේ අනුව නිවසෙහි නැගෙනහිර පැත්තට වන්නට භූමි භාගයක් තෝරා ගැනේ.

විශේෂයෙන් මෙම භූමි භාගයට ගොම මැටි ගල්වා කහ දියර ඉස කෝලම් දමා සතර කොනේ කෙසෙල් ගස් සිටුවා ගත යුතුය. ඉන් අනතුරුව එම භූමි භාගයේ ලිපක් බැඳ ගිනි මොළවා කිරි උතුරවා අලුත් අස්වැන්නෙන් කිරිබතක් පිස ගනු ලැබේ.

ඉන් අනතුරුව මෙම කිරිබත හිරු දෙවියන් උදෙසා පුදනු ලැබේ. මෙම පිදීමට කැවිලි පෙවිලි සහ කෙසෙල් ගෙඩිද තබනු ලැබේ. මෙයට පොංගල් උත්සවය යැයි කියනු ලැබේ. ඊළඟට එළැඹෙන්නේ තෛපොංගල් තෙවැනි දිනයයි. මෙම දිනයට පට්ටි පොංගල් නොහොත් මාටු පොංගල් යයි කියනු ලැබේ.

 

පට්ටි පොංගල්

දෙමළ හින්දූහු ගොවිතැනට උදව් උපකාර කරන හරකුන්ට පොංගල් දිනට පසු දින සුවිශේෂ වත්පිළිවෙත් රැසක් ඉටු කරති. මෙම උත්සවයේදී ගව පට්ටි සෝදා සුද්ධ පවිත්‍ර කර ගව මහේෂාධීන් නහවා ඔවුන්ගේ අංවලට වර්ණ ආලේප කර පිරිසුදු කර ගනු ලැබේ. ඉන් පසුව ගව මඩුව ඉදිරිපස භූමි භාගයක් තෝරා ගොම පිරියම් කර වටේට ගොක් කොළ එල්ලා භූමි භාගයේ කෝලම් දමා ‘ගෝ’ පූජාව සිදු කරනු ලැබේ.

මෙහි සකස් කරගත් භූමි භාගයේ කිරි උතුරවා කිරිබත් පිස දෙවියන්ට පුදනු ලැබේ. අනතුරුව සෑම ගවයකුටම කැවිලි කිරිබත් කවා උන්ව සතුටු කරනු ලැබේ.

ගෝ පූජාවේදී දෙනුන් සඳහා විශේෂ පූජාවක් සකස් කර ගනු ලැබේ. ඍග් වේදයේ සඳහන් වන ආකාරයට එළ දෙනුන්ගේ පසුපස මහා ලක්ෂ්මිත් ඇගේ සිරුර පුරාම තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් පැතිරී සිටින බව කියැවේ.

ගෝ පූජාවේදී එළ දෙනත් පැටියාත් නහවා එළ දෙනගේ මුහුණේ කහ ගල්වා කුංකුම ගල්වා ගෙලට මල්මාලයක් දමා වස්ත්‍රයක් පොරවා ඇගේ පිටුපසෙහි කහද කුංකුමද ගැල්විය යුතුය. පසුව දීප දූප අල්වා වේද මන්ත්‍ර ගයා කපුරු දල්වා දීප ආරාධනාව සිදුකළ යුතුය.

සිකුරාදා හෝ අමාවක දිනවලදී ‘ගෝ’ පූජාව සිදු කරනු විට ලක්ෂ්මි දෙවඟනගේ දයාව අනුකම්පාව ලැබෙන බව හින්දූහු විශ්වාස කරති.

හින්දු දෙමළ වැසියන් ගෝ පූජාවට දක්වන්නේ ඉමහත් භක්තියකි. එම නිසාම දෙමළ ගීත සාහිත්‍ය දියුණු වී ඇත. මෙහිදී කිවිවර කන්නදාසන් ලියූ ගීතයක් මෙසේ වෙයි.

ගෝ මාදා එන්ගල් කුලමාදා
කුල මාදර් නලම්කාක්කුම් ගුණමාදා
පුවි වාල්විල් අරුල් පොංගුම්
තිරු මාදා වන්න පූ මාදා
පලූට්ටුම් අන්බිලේ අන්නෙයි නීසේ
පලකුම් උරවිලේ පිල්ලෛ නියේ
කරුණෛ මනදිල් ගංඟයි නියේ
කල්ලාරුක්කුම් තීට්ටු වරුක්කුම්
දෙයිවම් නියේ

මෙහි තේරුම වන්නේ,

ගෝ මාතාව අපේ ශ්‍රියා කතයි
කුල මවගේ සුව රකිනා ගුණ මාතාවයි
මිහි දිවියේ මහිමය ඉතිරෙන
මිහිර මවයි වන්න පුෂ්ප මවයි
කිරි පොවනා සෙනෙහසිනේ
මව ඔබ වේ
සිත් කරුණා උපදන ගංගාව
ඔබ වේ
ගල් හිත මිනිසුන්ටත් සැමගේ
දෙවඟන ඔබමයි.

මෙම ගීතයෙන් කියැවෙන පරිදි ඵළ දෙනක් දෙවඟනකට එම කවිය සම කරන්නේ ඉතාම ගෞරවයෙනි. මේ ආකාරයෙන් දෙමළ ගීත තෛපොංගල් නිසා ගීත සාහිත්‍යය පෝෂණය වී ඇත.

මෙහිදී දවස් හතරක තෛපොංගල් අවසාන දිනය වන්නේ කාණුම් පණ්ඩිගෛ නමැති උත්සවයකි.

 

කාණුම් පණ්ඩිගෛ

මෙම උත්සවය කාන්තාව උදෙසා සිදු කරනු ලබන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. පොංගල් මුට්ටියේ බඳින ලද කහ කැබැල්ල ලිහාගෙන ගොස් එය වැඩිහිටියන් පස් දෙනකුට දී එයින් තමන්ගේ නළලත ගාවා ගනිති. වැඩිහිටි අය නැතිවුවහොත් තම සැමියාට දී ගා ගෙන ආශිර්වාද කර ගනිති. මෙදින කාණුම් නමැති පිංඩ තැබූ පසු කාන්තාවෝ ස්නානය කර අලුත් ඇඳුම් ඇඳ තෑගි භෝග ලබති.

මේ ආකාරයෙන් බලන කලට තෛපොංගල් උත්සවය මිනිස් දිවියට වැදගත් උත්සවයක් ලෙස සැලකිය හැක්කේ එහි අඩංගුවන සංස්කෘතික අංග සමාජයට බද්ධ වී ඇති නිසාය.

තෛපොංගල් නිසා දියුණු සාහිත්‍යයත් දියුණු ගීත සාහිත්‍යයත් චිත්‍රපට සාහිත්‍යයත් නවකතා, කෙටිකතා සාහිත්‍යයත් කවි සාහිත්‍යයත් දියුණු වී ඇත.

මේ නිසා මෙහිදී සාමය සතුට පමණක් නොව ලංකාව වැනි රටක සංහිඳියාවට ද උපකාරී වන ඉතා වටිනා උත්සවයකි. එම නිසා මෙම උත්සවය කෘතවේදීත්වයෙන් ආරම්භ වී මිනිසා යහ මගට හරවන ගුණධර්මයන්ගෙන් පෝෂණය වන උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජය සතුට පිරි තෛපොංගල් දිනයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.

 

(***)
ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි
විත්තහර් පන්මොළි පුලවර් සාහිත්‍යවේදී
දෙමළ ජනශ්‍රැති පර්යේෂක මඩුළුගිරියේ විජේරත්න