IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


හිටිගමන් මතක් වූ දහතුන

උතුරේ ඇතැම් දේශපාලනඥයන් ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන්නේද නැත්නම් වෙනම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේදැයි විවාද කරමින් සිටින අතර තුර දකුණේ ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ උතුර පිළිබඳ උනන්දුව වර්ධනය වෙමින් පවතින බව පෙනේ.

තම අපේක්ෂකත්වය පිළිබඳව තවමත් අවිනිශ්චිතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේ මුල් මාස පහ තුළ මාස දෙකෙන් දෙකට තුන් වතාවක් උතුරේ සංචාරය කළේය. ඒ ජනවාරි, මාර්තු හා මැයි මාසවලදීය.

ජනතා විමුක්ති පෙරමුණේ හා එහි නායකත්වයෙන් ගොඩ නගනු ලැබ ඇති සන්ධානය වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ගතවූ මාස දෙක හමාර තුළ දෙවතාවක් යාපනයේ සංචාරය කළේය. ඒ ඉකුත් අප්‍රේල් මාසයේදී හා මේ මාසයේ දී වශයෙනි.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සතිය මුල දී උතුරේ සංචාරයක නිරත විය. මෙම සංචාරවලින් දකුණේ කතා බහට ලක්වූයේ ප්‍රේමදාස මහතාගේ සංචාරය පමණි. ඒ ඔහු උතුරේ ටෙස්ට් ක්‍රිකට් පිටියක් පිළිබඳව උතුරේ පිරිසකගෙන් කළ විමසීම නිසා හා තමන් බලයට පත්වුවහොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට උතුරේදී දුන් පොරොන්දුවක් නිසාය. අවාසනාවකට මෙන් මෙම සිද්ධි දෙක සම්බන්ධයෙන් දකුණේ කෙරෙන සංවාදය ඔහුට වාසිදායක වන අයුරින් නොව අවාසිදායක වන අයුරින් සිදුවේ.

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් මේ රටේ ක්‍රියාත්මක වන්නකි. එහෙත් පූර්ණ වශයෙන් නොවේ. එසේ වන්නේ එම සංශෝධනය යටතේ වසර 36කට පෙර පළාත් සභාවලට බෙදා දෙනු ලැබූ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා  වූ යාන්ත්‍රණය එදා සිට බලයට පත් වූ කිසිම ජනාධිපතිවරයකු සකස් නොකිරීම නිසාය. පොලිස් හා ඉඩම් බලතල එදා සිටම උතුරේත් දකුණේත් සාකච්ඡා කෙරෙන්නේ අතිශයින් සංවේදී කාරණා ලෙසය.

රනිල් වික්‍රමසිංහ මහතා ද විටින් විට 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ගැන අදහස් පළ කළද දැන් වැඩි දෙනකු ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. ඒ ඔහුගේ එම ප්‍රකාශ වලින් නිරවුල් ස්ථාවරයක් පෙන්නුම් නොකරන හෙයිනි.

ජනවාර්ගික ප්‍රශ්නය ඉතා සංකීර්ණ හා මේ වනවිට අවුල් සහගත එකක් වී තිබීම නිසාත් ඉතා සංවේ දී කාරණාවක් නිසාත්දෝ සජිත් ප්‍රේමදාස මහතා ඒ ගැන කතා කරන්නේ කලාතුරකිනි.

ප්‍රේමදාස මහතා 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට දකුණෙන් එල්ල විය හැකි විරෝධය ඔහුගේ පක්ෂයේ ඇතැම් නායකයෝ ක්ෂණිකවම වටහා ගත්හ. වික්‍රමසිංහ මහතා එම සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව කළ ප්‍රකාශයකට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ත්‍රෛනිකායික මහා නායකහිමිවරු ලිඛිතවම විරෝධය පළ කොට සිටියහ.

ඒ නිසාදෝ ප්‍රේමදාස මහතා උතුරේ සිටියදීම එම පක්ෂයේ නායකයකු වන තිස්ස අත්තනායක මහතා හානි අවම කිරීමේ ව්‍යායාමයක නිරත විය. ප්‍රේමදාස මහතා තම ප්‍රකාශයෙන් අදහස් කළේ පළාත් සභා  ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හා පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම යැයි අත්තනායක මහතා ප්‍රකාශ කොට තිබිණි. සමඟි ජන බලවේගයේ තවත් නායකයකු වූ එස්.එම්. මරික්කාර් මහතාද පොලිස් බලතල පළාත් සභාවලට දෙන බවක් ප්‍රේමදාස මහතා අදහස් නොකළ බව කීවේ යැයි වීරකේසරි පුවත්පත වාර්තා කළේය.

ඒ සමගම දෙමළ ජනමාධ්‍ය ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයේ අවංකභාවය පිළිබඳ සැක පහළ කොට තිබිණි. පළාත් සභාවලට හිමි බලතල පිළිබඳ නිරවුල් අදහසකින් තොරව ප්‍රේමදාස මහතා තම ප්‍රකාශය කර ඇතැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළ බව වීරකේසරි පුවත්පත වාර්තා කළේය. බලය බෙදීම පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රේමදාස මහතාට පැවසූ බවද එම පුවත්පත සඳහන් කොට තිබිණි. තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයෙන් පසු ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කළේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පවසා සමඟි ජන බලවේගය දැන් ඊට අදි මදි කරන බවය.

 මින් පෙනෙන්නේ මෙම ප්‍රශ්නයේ සංකීර්ණ  බව හා සංවේදී බවයි. මෙම ප්‍රශ්නය ගැන කතා කරන්නට ඉදිරිපත් වන බොහෝ දේශපාලනඥයන්ට සිදුවන්නේ උතුර දකුණ යන දෙකේම විවේචනයට මුහුණ දීමටය. දැනටමත් දකුණේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කොට තිබේ.

තමන් ‘‘රැඩිකල්’’ යැයි හෝ ජාති ප්‍රේමීන් යැයි ලෝකයට පෙන්වා ගැනීමේ අරමුණෙන් නම් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට ඉතා පහසුවෙන් විසඳුම් ඉදිරිපත් කළ හැකිය. එවැනි පිරිස්ද සිටිති. එහෙත් මැතිවරණයක දී උතුරේත් දකුණේත් ජනතාවගේ කැමැත්ත ලබාගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීම කිසිඳු පක්ෂයකට කළ හැකි දෙයක් ලෙස දැනට නම් පෙනෙන්නේ නැත. විසඳුමක් ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් යමක් කරනු ඇතැයි දෙපාර්ශවයේම විශ්වාසය දිනා ගැනීම පවා අනෙක් පක්ෂවලට වඩා මෙතෙක් රට පාලනය කළ පක්ෂවලට දුෂ්කරය.

ජනවාර්ගික ප්‍රශ්නයට පාදක වූ ගැටලු 13 වැනි සංශෝධනයෙන් විසඳුණේද? නැද්ද? යන්න කෙසේ වෙතත් එම ප්‍රශ්නය සඳහා මෙතෙක් ඉදිරිපත් කොට ක්‍රියාත්මක කරනු ලැබූ එනම් ‘‘විසඳුම’’  එම සංශෝධනයයි. එහෙත් සිය ශ්‍රී ලංකාවේ නායකයන්ගේ තීරණයක් නොව ඉන්දියාව විසින් ඉන්දු- ලංකා  ගිවිසුම මගින් 1987 දී ශ්‍රී ලංකාව මත පටවනු ලැබූවකි.

එජාප විසින් ආරාධනා කොට ගෙන්වා ගත් තත්වයකි. එසේ නොවේ නම් ඉතා සුළුවෙන් පැවැති ප්‍රශ්නයක් දැවැන්ත අර්බුදයක් බවට පත් කර ගත්තේ එජාපයයි. 1977, 1981හා 1983 දෙමළ විරෝධි කෝලාහල පාලනය කිරීමට අසමත් වීම හා සීතල යුද්ධය පැවැති කාලයේ දී සෝවියට් ලැදි රටක් වූ ඉන්දියාවට එරෙහිවි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මඟින් එජාපය මෙම ගැටලුව උදා කළේය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙන් උරණ වූ ඉන්දියාව මෙරට  දෙමළ සන්නද්ධ සංවිධානවලට ආයුධ හා යුද පුහුණුව දුන් විට කෙණෙහිලි කම් නොකොට මේ රට ආක්‍රමනය කරන ලෙස එවකට අගමැතිවූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි අමතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් පවා කළේය.

අවසානයේදී  1987 දී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම ශ්‍රී ලංකාව මත පැටවිණි. ඒ අනුව බොහෝ දුරට ඉන්දියාවේ උපදේශකත්වය යටතේ සකස් කෙරුණු බව පෙනෙන 13 වැනි සංශෝධනය හා පළාත් සභා පනත සම්මත  කෙරිණි. 13 වැනි සංශෝධනය යටතේ පොලිස් හා ඉඩම් බලතල පළාත් සභා වෙතට බෙදා දෙනු ලැබූ අතර පළාත්  සභා පනත යටතේ උතුරු හා නැගෙනහිර පළාත් පරිපාලන වශයෙන් ඒකාබද්ධ  කෙරිණි. ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එවක අගමැති වූ රණසිංහ ප්‍රේමදාස මහතා හා ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි මහතා වැනි කිහිප දෙනකු විරුද්ධ වූ බව කියවුණාද 13 වැනි සංශෝධනයට හා පළාත් සභා පනතට ඔවුන්ගේ පූර්ණ සහයෝගය හිමිවිය.

දේශපාලන වශයෙන් මෙම තත්වය හරිද වැරැදිද යන්න කෙසේ වෙතත් මෙය  එජාපය කෙරෙහි දකුණේ ජනතාව අතර ඉතාමත් අප්‍රසන්න හැඟීමක් එමගින් ඇති කළ බව අමතක කළ නොහැකිය.

ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් මාස දෙකක් ගතවනවාත් සමගම කොටි සංවිධානය එම ගිවිසුම ප්‍රතික්ෂේප කොට මෙරට හමුදාවන්ට එරෙහිව හා එවක මෙරට සිටි ඉන්දීය හමුදාවට එරෙහිව යුද්ධය ආරම්භ කළේය. 1988 දී ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා 1989 දී එම සංවිධානය සමග සාම සාකච්ඡා ආරම්භ කළේය. ඔහු මෙම පරිශ්‍රමයේ දී කෙතරම් කැප වීමකින් හා විශ්වාසයකින් කටයුතු කළේ ද යන්න ඉන්දීය හමුදාවට එරෙහි සටනට යැයි කොටි සංවිධානය අවි ආයුධ ඉල්ලූ විට එහි ඇති අනතුර නොතකා ඊට එකඟ වීමෙන් පෙනේ. සාම සාකච්ඡා බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලින් නිලධාරීහු කොටි සංවිධානයට යටත් වීමට සිදුවිය. එහි දී 600කට අධික පොලිස් භටයන් පිරිසකට ජීවිත අහිමි වූ අතර එජාපය පිළිබඳවත් සාම වෑයම් පිළිබඳවත්  දකුණේ විශ්වාසය තවදුරටත් බිඳ වැටිණි.

එජාපයේ ඊළඟ සාම වෑයම වූයේ 2002 දී ඇති කරගත් සටන් විරාම ගිවිසුම යටතේ තායිලන්තයේ, නෝර්වේ හා ජපානයේ කෙරුණු  සාම සාකච්ඡායි. එහිදී ෆෙඩරල් සැකැස්මක් යටතේ විසඳුමක් සොයා ගැනීමට එකඟතාවක් ඇති කරගන්නා ලද අතර එතෙක් ක්‍රියාත්මක කළ යුතු අන්තර් කාල පරිපාලනයක් පිළිබඳ වැඩපිළිවෙළක් කොටි සංවිධානය 2003 දී ඉදිරිපත් කළේය.

ඒ වනවිට එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වී සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු විය. කොටි සංවිධානය ඉදිරිපත් කළ අන්තර් කාල පරිපාලන වැඩපිළිවෙළ අනුව පිහිටුවන්නට යෝජිත වූ ‘‘අන්තර් කාල ස්වයං පාලන අධිකාරියේ’’ බහුතර බලය කොටි සංවිධානය සතුවේ. උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලනය මුළුමනින්ම  එම අධිකාරිය යටතට පත්වේ. එහි මුදල් විගණනය කරන්නේ එම අධිකාරිය යටතේ පත් කෙරෙන විගණකාධිපතිවරයෙකි. එම අධිකාරිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයකු ද පත් කෙරේ. මෙය පැහැදිලිවම ස්වාධීන රාජ්‍යයක සැලැස්මක් වූ නමුත් ඒ ගැනද සාකච්ඡා කිරීමට එදා එජාප ආණ්ඩුව එකඟ විය. එම සාකච්ඡා ඇන හිටියේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2004 පෙබරවාරි මාසයේ දී එජාප ආණ්ඩුව විසුරුවා හැරීම නිසාය.

දේශපාලන පක්ෂ සංහිඳියාව හා සාම වෑයම් ආදිය පිළිබඳ ජන මනස සකස් වී ඇත්තේ මේ ඉතිහාසය තුළ සමාජයේත් ජනමාධ්‍ය තුළත් කෙරුණු සංවාදවල ප්‍රතිඵලයක් වශයෙනි. 13 වැනි සංශෝධනය මුළු මනින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දකුණෙ ප්‍රතිචාරය සකස් වී ඇත්තේ ද ඒ අනුවය. ජනවාර්ගික ප්‍රශ්නයට අදාළ මේ ඉතිහාසය විසින් එජාපය කෙරෙහි යහපත් අදහසක් දකුණේ ගොඩනැඟී ඇත්ද යන්න සැක සහිතය. ජන පදනම අනුව එජාපයේ සැබෑ උරුමක්කාරයා විය යුතු සජබට ද එය අදාළය. තමන් දෙමළ ජනතාවට ‘‘ තර්ටීන් ප්ලස්’’ දෙන බව මහින්ද රාජපක්ෂ මහතා පවසන විට එය තුට්ටුවකටවත් නොතකන පිරිස් එජාප ඉතිහාසයේ උරුමක්කාරයකු 13 පූර්ණ වශයෙන් ඉටු කරන බව කියන විට තිගැස්සීම තේරුම් ගත යුතුව ඇත්තේ ඒ අනුවය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

හිටිගමන් මතක් වූ දහතුන

චන්දිම ෆොන්සේකා Saturday, 15 June 2024 01:48 PM

13 න් කියලා තියෙන බරපතලම දේවල් තමයි ඉඩම් බලය, පොලිස් බලය, සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම. වැඩිය අනවශ්‍ය කාලයක් ගත කරන්න ඕනි නැහැ. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනාම එක තැනකට ගෙන්න. ඔය තුන දෙනවද නැද්ද කියලා ඔය තුන් දෙනාගෙන් එක එල්ලේ කෙලින්ම අහන්න. ඔවුද නැත්ද එච්චරයි. අර එක එක වටරවුම් කතා අරක මේක කතා බැහැ. කෙලින්ම මේ ගැන කියන්න කියන්න. එතකොට උතුරේත් දකුණේත් සියලු ජනතාවට තමන්ට කැමති තීරණයක් ගන්න පුළුවන්

:       0       9

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර
2024 ජුලි මස 13 206 1

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 258 0

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


රජිව්ගේ පරිප්පු මෙහෙයුම
2024 ජුලි මස 12 520 1

එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තව


ජනපති අපේක්ෂක අභියෝග
2024 ජුලි මස 12 179 0

මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 167 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


ආර්ථිකය වැටීමට හේතු සාධක
2024 ජුලි මස 11 139 1

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්‍රශ්නය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 8 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1788 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site