චිත්‍රපට ප්‍රවර්ගයට අයත් ලක්ෂණවලින් “සූස්ති” චිත්‍රපටය සුසාධිතය.

අහම්බෙන් මුණගැසෙන යුවළක්, දින ගණනාවක් පුරා කෙරෙන සංචාරය ඒ අතරමග චරිත හැඩතල විවරණය, ජීවිතය හා සමාජය පිළිබඳ මතවාද යනාදී ලෙස මේ ලක්ෂණ විකාශනය වේ. ජීවිතය පිළිබඳ යථා දැක්ම හා චරිතවල ස්වභාව වෙනස්වීම එහිදී අපේක්ෂිතයි. අවසානයේ සිටින්නේ මුලින් හමුවු චරිත නොවේ. මේ ලක්ෂණ එකිනෙක ග්‍රහණය වුවද අවසානය වනවිට ඒ සියල්ල සිනමාකරුගේ මතිභ්‍රමයක් බව හෙළිවීමෙන් මූලික හැඩතල ප්‍රශ්නකාරී බවට පත්වේ.

කුෂාන් වීරරත්නගේ ප්‍රථම චිත්‍රපටය ලෙස සලකන විට කළණ ගුණසේකරගේ ප්‍රථම තිරරචනය ලෙස සලකනවිට මේ සුසංයෝගයෙන් බිහිවූ චිත්‍රපටය තුළ සාධනීය ලක්ෂණ බහුලය. එය අපගේ අවධානය දිනාගනී. එනිසාම එහි ගැබ්වන සාධනීය ලක්ෂණ පමණටම නිෂේධනීය ස්වාභාවයන්ද විමසීමට ලක් කළ යුත්තේ නව සිනමාකරුවන්ගේ දැක්ම හා කුසලතාවන් පිළිබඳ පොදු හැඩතළ එමගින් මතුකොට ගත හැකි හෙයිනි.

“සූස්ති” චිත්‍රපටයේ සිනමාත්මක ලක්ෂණ පැන නගින්නේ ප්‍රධාන චරිතයක් වන මාලක කියන තත්පරයක වෙනස ඇසුරේය. එබඳු කාල පරාසයකදී ජීවිතය කෙතරම් පරිවර්තනයන්ට ලක්විය හැකිද? මේ තත්පරය දින ගණනාවක් දිගුවීම සමග ජීවිත තුළට කිඳා බැසීම ඇරඹේ.

දිවි නසා ගැනීමට සැරසෙන සුසාට මාලක කියන්නේ තත්පරයක් සිතා බලන්න යනුවෙනි. ඔහුද දිවි නසා ගැනුමට පැමිණි පුද්ගලයකු බව හෙළිවේ.

ඇය හා සමග ඔහුද ගොඩනැගිල්ලෙන් පහළට පනින්නට සැරසෙන්නේ ටයිටැනික් චිත්‍රපටයේ පෙම්වතා පරිද්දෙනි. දෙදෙනා දින හතක් ජීවත්වීමට තීරණය කරති. ඔවුන් බෙහෙවින් ගමන් කරන්නේ ජනශුන්‍ය පාලු මංමාවත්වලය. ඝන වනාන්තරවලය. ඒ ඔවුන්ගේ ජීවිතවල ඉච්ඡාභංගය දැනවීම සඳහා උචිත සංකේතාත්මක පරිසරයකි. ඔවුන්ගේ ජීවිතවල හිස්බව යනු තාරුණ්‍යය මුහුණදී සිටින ගැටලුවලම පැතිකඩක් බවට පත් කරන්නට සිනමාකරු සමත්වෙයි.

 

වෛද්‍යවරියක වීමට සිතූ සුසා වෛද්‍යවරයකු හා විවාහයට අකමැතිව ජීවිතයෙන් පලායන්නියකි. මාලකගේ පසුබිම විවරණය නොවුවද ඔහුත් තමන්ට අභිමත නොවන ජීවිතයකින් සමාජ වටපිටාවකින් දුරස් වන්නට තැත් දරන අයකු බව පෙනේ. මේ බොහෝ හැඩ ඉස්මතු වන්නේ සංවාද මගිනි. එය සිනමාත්මක බවට හානි කරන්නක් නොවේ. එහෙත් දිගින් දිගටම සංවාදවල එල්බ සිටීමේ අනතුර වන්නේ ඒ සෘජු ප්‍රකාශනවලට යොමුවීමේ අවදානම සහිත නිසාය. දෙවිවරු ගැන, පාලකයන් ගැන, සමාජ අසාධාරණය ගැන කියැවෙන දීර්ඝ සංවාද විටෙක සෘජු ප්‍රකාශන බව සැඟවිය නොහැකියි.

මේ වීදි චිත්‍රපට ප්‍රවර්ගයේ සුලභ ලක්ෂණයක් වුවද ඒ සීරුවෙන් භාවිත කළ යුතු වන්නේ චරිත ස්වභාව බිඳ වැටෙන්නට තිබෙන අවකාශ බහුල බැවිනි. මෙයට පිලියම් ලෙස සිනමාකරු දීර්ඝ ලෙස භාවිත කරන තවත් චරිත දෙකක් තිබේ. ඒ සුසාගේ මව හා පියාය.

සුසාගේ ජීවිතය මේ තත්ත්වයට පෙන්වීමට හේතුවන සාධක කිහිපයක් ඔවුනතර සංවාදවලින් හෙළිවේ. මේ තම සිහින දරුවන්ගෙන් ඉටු කරගැනීමට අපේක්ෂා කරන දෙමාපියන් පිළිබඳ පොදු ලක්ෂණයකි. එයට වඩා පිටිවහලක් මේ චරිත දෙකේ සංවාද ඇසුරේ නොලැබේ. යුද්ධය, ජනපීඩාව, සංහිඳියාව පිළිබඳව ඔවුන්ගේ දීර්ඝ සංවාද බොහෝවිට සෘජු ප්‍රකාශන බවට පත්වේ. මේ අවස්ථාවන්හි වඩා සංවේදී වන්නේ සුසාය. එබඳු සිතිවිලි ඇගේ චරිතයට ආගන්තුකවීම නිසා ඉන් ඈ මානසිකව පීඩාවට පත්වන බව පෙනේ.

මේ සංවාදවලින් බැහැරවීම සඳහා සිනමාකරු යොදාගන්නා සමහර සිදුවීම්ද බලයෙන් ආදේශ කරන බවක් පෙනේ.

රාත්‍රී අතරමංවන ඔවුන්ට පිහිටට එන්නේ යුද්ධයෙන් අසරණ වූ දෙමළ ස්ත්‍රියකි. යුද්ධ කාලයේ ඇයට සිංහලයන් පිහිටවූ බව ඇගේ සංවාදවලින් හෙළිවේ. මේ අවස්ථාවේ තිබෙන එකම සිනමාත්මක හැඩය නම් ඇගේ මුහුණුවර ප්‍රේක්ෂකයාට නොපෙන්වීමයි.

යතුරුපැදියට ඉන්ධන සපයා සුසාගේ කරාබු ජෝඩුවට වැඩියෙන්ද මුදල් දෙන්නේ මුස්ලිම් ජාතිකයෙකි. මේ අවස්ථාවල දුබලතාව වන්නේ ජාතික සංහිඳියාව ප්‍රකාශ කිරීමට බලයෙන් එල්ලූ සක්ක බවක් පෙනීයාමයි. තිර රචනයේ සෙසු ගුණ හා සලකනවිට මේ අර්ථ මෙයට වඩා සියුම් අයුරින් මතුකරගත හැකිව තිබූ බවක් පෙනේ. චිත්‍රපටයේ අවසන් අදියර එළැඹෙන විට සුසාගේ ජීවිතයේ සිදුවන පරිවර්තනය පැහැදිළිය. මේ ඇය අපේක්ෂා කරන නිදහස් ජීවිතයයි. සියලු බාධක පරදවා ජීවත්විය යුතුය යන අරමුණ වෙත ඈ යොමුවන්නේ මාලක තම ගැලවුම්කරුවා ලෙස සිතමිනි. එහෙත් මේ සියලු සිහින සිනමාකරුගේ මතිභ්‍රම බවට පත්වන්නේ අවසන් දර්ශනයේදීය.

උස් කඳු මුදුනකින් පහළට පැනීමට මාලක යෝජනා කරයි. ඒ සඳහා ගිරිහිස සිටින ඇගේ සිත ක්ෂණිකව වෙනස්වේ. ජීවත්විය යුතුය යන අදහසින් හැරී බලනවිට මාලක එහි නැත. මේ සමග මාලක යනු ඇගේ සිතිවිල්ලක් යන අදහස ඉස්මතු වේ.

චිත්‍රපටයක අවසානය පිළිබඳව සිනමාකරුවකුට උපදෙස් දෙන්නට කිසිවකුට නොහැකියි. ඒ ඔහුගේ නිර්මාණ ආධිපත්‍යයේ අයිතියයි. එහෙත් මෙහිදී මාලක හුදු හිතලුවක් බවට පත්කිරීමේ අවශ්‍යතාව කුමක්ද? එතෙක් ඔහුගේ සංවාද ඇසුරේ ගොඩනැගුණු ජීවිතය පිළිබඳ සැබෑව සැබැවින්ම මායාවක්ද? මාලක නොමැතිව සුසී ජීවිතය හඳුනාගන්නේ කෙසේද?

මාලක ඇගේ සිතිවිල්ලක් නම් මේ දීර්ඝ සංචාරයද ඇයට කළ නොහැකියි. සත්‍යය හා මායාව සංකලනයෙන් බිඳ වැටෙන්නේ සුසීගේ චරිතයයි. එය චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයද වන්නේය. සියලු සාධනීය ලක්ෂණ ගොනුවන්නේ ඈ වටාය. ඇය මිථ්‍යාවක් වූ විට ඒ වටා ගොඩනැගුණු අර්ථ සමුදායට සිදුවන්නේ කුමක්ද? සිනමාකරු අපට කියන්නේ නවීණ තරුණියකගේ සිහින හා චර්යාවන් හුදු මායාවක් පමණක් බවද? එවිට කෙසේද මෙම චිත්‍රපටය ජීවිතය පිළිබඳ නවමු දැක්මක් සහිත නිර්මාණයක් බවට පත්වන්නේ. මා කියන්නේ මාලක සිතිවිල්ලක් බවට පත්කිරීම සිනමාවට ආගන්තුක අත්දැකීමක් බව නොවේ. එහෙත් චිත්‍රපටය පුරා ගොඩනැගුණු අර්ථ ඒ නිසා කඩා බිඳ වැටෙන විට චරිත හැඩතල බිඳ වැටෙන විට සිනමාකරු විනිවිදීමට උත්සාහ කරන තරුණ පරම්පරාවේ චර්යාවන් පොදු යථාවත් බවට පත් නොවන බවයි.

සිනමා කෘතිය අවසානයේ ආපසු හැරී බලා ඒ පිළිබඳව සිතන්නට, ජීවිතයට යමක් එකතු කර ගන්නට තිබූ අවස්ථාව සිනමාකරු පැහැරගත් සෙයකි. අවසානයේ දුම්රියකට පනින්නට සිතන තරුණියකට මාලක තත්පරයක් ඉවසන්න යැයි කීමෙන් සිනමාකරු උත්සාහ කරන්නේ මේ සිතිවිල්ල පොදු යථාවක් බවට පත් කිරීමට විය යුතුයි. සමහරවිට මදක් ඉවසන්න යන අරුත මතු කිරීම ඔහුගේ අරමුණ වන්නට ඇත. එහෙත් ඒ වනවිට ජීවිතය, සමාජය පිළිබඳව ඔහු කළ විනිවිදයාම ඔහු විසින්ම කඩා බිඳ දමා අවසන්ය.

දැක්ම පිළිබඳ අසමතුලිත බව බොහෝ නවක සිනමාකරුවන්ගේ පොදු ගුණාකාරය බවට පත්ව තිබෙන සෙයකි. එහෙත් ඔවුන්ගේ සිනමාඥානය පිළිබඳ ගැටලු අවමය. කුෂාන් අත්දැකීමට උචිත ආකෘතියක ආරම්භයේ සිටම පිහිටා සිටී. මුල් අදියර තුළ හස්තගත කැමරාව භාවිතයෙන් නිර්මාණය වන ජංගම රූප පෙළ චරිතවල අධ්‍යාත්ම හැඩතල සමග මනාව බැඳේ. සියුම්ව ගලා නොයන ජීවිතය, ඉච්ඡාභංගය, බිඳවැටුණු සිහින සතු කැඩුණු රිද්මය මේ රූප පෙළෙන් උද්ධරණය වේ. කෙමෙන් ජීවිතයට මුහුණ දෙන, ජීවිතයට ආදරය කිරීමට පටන් ගැනෙන අදියරේදී රූප නිර්මාණයද එයට උචිත ආකෘතියක පිහිටයි. චින්තක සෝමකීර්තිගේ රූප නිර්මාණය මේ ආකෘතිය සුරකියි. ඔහු සිනමාකරු හා එක්ව නිර්මාණය කරන රූප කෝණ හා චලන උචිත වර්ණ සංයෝජනය නිසා තවත් ශක්තිමත්වේ. සංස්කරණ රීතියද (ඩිමන්ත මහානාම) මනාව සැලසුම් කරන ලද්දක් බව පෙනේ. ආශා රාජපක්ෂගේ ශබ්ද සැලසුම මෙන්ම අවස්ථාවෝචිත නාද මාලාවන්ද සිනමාරූපී බව සුරකියි. එහෙත් ගීතය භාවිත වුයේ නවීන තාරුණ්‍යයේ ඉවක් බවක් නැති ජීවන රටාව උපහාසාත්මක ආකාරයකින් මතු කිරීමට දැයි සැකයක් මතුවේ.

චිත්‍රපටයේ ප්‍රාණ නාළිය බවට නැවත පත්වන්නේ සුසා ලෙස සමනලී ෆොන්සේකාගේ රූපණයයි. කළණ ගුණසේකර (මාලක) ඇය සමග සෑම රූපරාමුවකටම පාහේ සිටියද ඔහුගේ චරිතය තුළ උච්චාවචනයන්ට තිබෙන අවකාශ සීමිතය. අවස්ථා නිරූපණයට පමණක් නොව ප්‍රතිචාර සඳහාද වැඩි ඉඩහසර ලැබී ඇත්තේ සමනලීටයි. ඒ අවස්ථා උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා ඇය බිඳවැටුණු සිහින සහිත තරුණියකගේ ජීවිතය පොදු යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තම අභිනය භාවිත කරයි. ඉතා සංවේදී හා සියුම් රූපන භාවිතාවකි.

“සූස්ති” සිනමාත්මක මුහුණුවර පිළිබඳව අප තෘප්තිමත්ය. ජීවිතය හා සමාජය සමග බැඳෙන අත්දැකීම යහපත්ය. තාරුණ්‍යයේ ඉටුනොවන සිහින පිළබඳව සිනමාකරුගේ කියැවීමද ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් මේ අත්දැකීම නූතන තරුණ පරම්පරාවක පොදු හරස්කඩක් බවට පත්කිරීමට නම් ඔහුට හැකිවී නොමැත. එයට හේතුව ඔහුගේ සිහිනයද යථාව හා මායාව අතර සිරවී තිබීමයි.

සූස්තියක් ඇද අවසන් වූ පසු දැනෙන හැඟීම මෙන් චිත්‍රපටයක් නැරඹූ පසු ඇතිවන සංවේදනා අපතේ යා යුතුද? ඔහු කතා කරන්නේ තරුණ පරම්පරාවෙන් වෙන් කරගත් නියැදියක් පිළිබඳවයි. සැබෑව එක් චිත්‍රපටයකින් සියලු හැඩ ස්පර්ශ කළ නොහැකියි. එහෙත් තෝරාගත් වස්තු බීජය වුව වඩා පොදු අනුභූතියක් බවට පත් කළ හැකි ක්‍රමවේද පිළිබඳව තිර රචකයාගේ මෙන්ම සිනමාකරුගේද අවධානය යොමුවන්නේ නම් මේ සුසංයෝගය පිළිබඳව වඩා තෘප්තියකින් කතා කිරීමේ අවස්ථාව අපට ලැබෙනු ඇත.

(***)

- ගාමිණී වේරගම