කවියකු, කෙටිකතාකරුවකු මෙන්ම  සන්නිවේදකයකු ද වන කපිල එම්. ගමගේ නිර්මාණ රැසක් සාහිත්‍යයට දායාද කළ අයෙකි. දෙවියන්ට  පලි ගැසු ගැහැනිය, සෝදා පාළුව සහ තවත් කතා, තරුණ සන්නිවේදකයා සහ ගුවන් විදුලිය, හේමන්ත නිද්‍රාව, විසිරි වලාකුළු, තෙරියුම් කෝකිලා, මුහුදට මුහුණලා සොහොනකි.

අපරාදෙ ඒ නොවැම්බර්, මීඩියා, මතක වැනි කෘති ඒ අතර කැපී පෙනේ. අපරාදෙ ඒ නොවැම්බර් කෙටිකතා සංග්‍රහය රජත පුස්තක, විද්‍යෝදය, ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ විය. ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය කපිලගේ නවතම  කාව්‍ය සංග්‍රහයයි. එය සුරස ප්‍රකාශනයකි. මෙවර සංවාදය කපිල එම්. ගමගේ සමගයි.

 

• ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය කාව්‍ය සංග්‍රහය ඔබ  තවදුරටත්   හඳුන්වන්නේ ජීවිතය දෙස කුරුලු ඇසකින් බැලීමක් ලෙසයි. මේ කාව්‍යමය අත්දැකීම්වල අපූර්වතා ගැන මුලින්ම කතා කරමු.
    
කෙනෙකුට තමන්ගේ ස්වායත්ත භාවයෙන් මිදිලා තම ජිවිතය දෙස පුළුල් දෘෂ්ටියකින් බලන්න පුළුවන් නම් ඒ තුළ සංස්කරණමය අපූර්වත්වයක් දැක ගන්න පුළුවන්. සංස්කරණමය කියලා මම කීවේ අප තුළ ඇති යම් යම් අඩු ලුහුඬුකම් මෙන්ම වැරැදීම්  නිවැරදි කර ගන්න පුළුවන්.
    
ඇසතු ගහ යට  පහර කෑ ප්‍රේමය කාව්‍ය එකතුව තුළ අප දෙසම වෙනස්  මානයකින් බලන්න උත්සාහ කළා. ඒ නිසා  මට හිතෙනවා බහුතරය තුළ ඒ ආත්මීය හුදෙකලා නිරික්ෂණය තිබෙනවා කියලා. අත්දැකීම් සියල්ල දෙස පටු සිදුරකින් බලන්න නොවෙයි මට අවශ්‍ය වුණේ. ඒ දිහා පුළුල් ඇසකින් බලන්න. මේක ඇතුළේ ප්‍රේමයේ විවිධ මානයන්, අත්හැරීම,  තමන්ව සොයා යෑම, නිරර්ථක ගමන, රැවටීම වැනි මානවීය ධර්මතා කැටිවෙලා තියනවා කියලා මට හිතෙනවා. පාඨකයාට ඒක කොහොම හිතේවිද දන්නෙ නෑ.


• අත්දැකීමක් තිබුණ පලියට කවියක් නිර්මාණය වන්නේ නෑ. අත්දැකීම පරිකල්පනය සහ භාෂාව අතර සිදුවන මෙම අපූර්ව නිපදවීම ඔබ සරලව විග්‍රහ කොට ගන්නේ කොහොමද?
    
ඕනෑම කෙනකුට සිය ජීවිත කාලය තුළ අපමණ අත්දැකීම් විඳින්නට  ලැබෙනවා. ඉන් සමහර ඒවා ගැඹුරු මතකය තුළ තැන්පත් වෙනවා. කලාවට සම්බන්ධ කෙනකු තුළ ඇතිවන තත්ත්වය තමයි ඒවා තමන් තුළම යළි ප්‍රතිනිර්මාණය විම කවියක් ලියන්නට තැත් කරන කෙනෙක් කරන්නේ ඒ අත්දැකීම් පොදු බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් යම් කාලයක් ගැනෙනවා.
    
ඒත් සමහර අය කියනවා අද අත්දැකීම හෙට කවි කරන්න පුළුවන් කියලා. ඒත් මගේ අත්දැකීම අනුව නම් එවිට බිහිවන්නේ කවි කළලයි. කාලයක් ගන්නා විට ඒවා තුළට කවියාගේ හෝ කිවිඳියගේ පරිකල්පය එකතු වෙනවා. එතකොට අර අත්දැකීම් මූලබීජය සරුවට වැඩෙන්න ගන්නවා. සමහරවිට වෙන හැඩයක් පවා ඇති වෙනවා. වෙන පර්යායලෝකයකින් අත්දැකීම නිරීක්ෂණය වෙනවා. භාෂාව කියන්නේ එය ප්‍රකාශ කරන ප්‍රධාන මාධ්‍යයයි. ඒ නිසා භාෂා දැනුමත් අත්‍යවශ්‍යයි.
    
කවිය යම් රූප සොබාවක් ගන්නේ භාෂාවෙන්. භාෂාවෙත් වෙනත් වෙනත් තල තිබෙනවා. ඒවා ගැන අවබෝධයක් කවියකුට අවශ්‍යයි. කවියට ගැනෙන අත්දැකීමේ ස්වභාවය අනුව භාෂාව සකසා ගන්නට හැකි නම් කවිය  ඉතා ප්‍රබල තැනකට එනවා. ඒ නිසා කිසියම් කාලයක් අරන් මේ මූලික යෙදවුම් තුන පසු කරන කවියක් ඉතා ප්‍රබල ප්‍රකාශන තලයකට පත් වෙනවා.


• නූතනයේ බොහෝ කවියන්ට විවිධ දෙස් විදෙස් කවියන්ගේ ආලෝක දහරාවන් වැටී ඇති බව දකින්නට පුළුවන්. කවිය ඔබට සමීප වන්නට බලපෑ එබඳු හේතු මොනවාද? ඔබට බලපෑ දෙස් විදෙස් කවියන් සිටිනවා නම් එසේ වීමට විශේෂිත හේතු මොනවාද?
    
ඕනෑම කවියකුට තමන් නියෝජනය කරන සමාජයේ සිටිය සහ ඉන්නා පූර්වජ කවීන්ගේ බලපෑම ඇති වෙන්න පුළුවන්. කවි ලියන්නෙක් තම ළදරු අවදියේ ඒ පූර්වජ කවීන්ගේ පියලකුණු මතම ඇවිද යන්නත් පුළුවන්. හැබැයි එක් තීරණාත්මක ඔවුන් ඒ මාර්ගයෙන් තමන්ගේ ස්වාධීන මගකට පිවිසෙන්න ඕනෑ කියන එකයි මගේ පෞද්ගලික අදහස. කුමාරගම කෙනෙක්, සේකර කෙනෙක්, රත්න ශ්‍රී කෙනෙක්, ආරියවංශ රණවීර කෙනෙක් බිහිවෙලා ඉවරයි. තවත් එවැනිම කෙනෙක් බිහිවීම අවශය නෑ. හැබැයි දැන් බොහෝ කවීන්ගේ කවිමත මේ අයගේ සෙවණැලි තවම වැටී තිබෙනවා. ඒක වෙන්නෙ කවි කුලක නඩත්තු කරන්න යාමෙන්.
    
මට වුණත් පුරාතන කවියේ ඉඳලා මෑත පරම්පරාව දක්වා පූර්වජ කවීන්ගෙන් විශාල උත්තේජනයක් ලැබුණා. ඒත් හැම වෙලාවෙම උත්සාහ ගන්නේ මගේ විදිහක් හදා ගන්න. ඒකට හොඳම දේ තමයි කවි කුලකයකට අයත් නොවී හිඳීම.

විදෙස් කවියන්ගේ කවියත් යම් යම් බලපෑම් කළා. අලෙක්සන්දාර් පුෂ්කින්, මායාකොව්ස්කි, මායා ඈන්ජලෝ, ඇනා අක්මනෝවා, පැබ්ලෝ නෙරූදා, ජලාල් අල්දීන් රූමි, රවීන්ද්‍රනාත් තාගෝර්, චාර්ලිස් බ්‍රකව්ස්කි, වික්‍රම් සෙත්. රාජේන්ද්‍ර බන්දාරි වගේ කවීන්ගේ කාව්‍යාලෝකය හඳුනා ගැනීම අපට හරි වැදගත් කියලා මම හිතනවා. සමහර වෙලාවට මම මේ අයගේ කවි මගේ නැණ පමණින් පරිවර්තනය කරලා කියනවා. විවිධාකාරයෙන් මේ අය මගේ කවි ලිවීම වෙනස් කළා. ඔවුන්ගේ අනුභූතීන් පර්යාලෝකයන්, ආකෘතික වෙනස්කම් වගේ  දේවල් හරි වැදගත්.


• කවියකු පහළවීමට ප්‍රතිභාව, සතතාභ්‍යාසය, ව්‍යුත්පත්තිය වැනි කාරණා මූලිකව බලපාන බව තවමත් අපේ පාසල් අධ්‍යාපනය තුළ ඉගැන්  වෙනවා. මේ පැරැණි මත සම්බන්ධයෙන් ඔබේ තහවුරුව කෙබඳුද?
    
මේවා අඩු වැඩි වශයෙන් බලපාන බව තමයි මගේ පිළිගැනීම. කවියක් ලියන කෙනකුට ඇත්තටම ප්‍රතිභාවක් අවශ්‍යයි. නැත්නම් එහෙම පද ගැළපුමක් කරන්න හිතෙන්නේ නෑ. හැබැයි ඒක අභ්‍යාස කරන්න වෙනවා. අපි දන්නවනේ කිසිම දෙයක නියැලෙන්නේ නැතුව ඒක කරන්න අවශ්‍ය පුහුණුව අපට ලැබෙන්නෙ නෑ. ඒ වගේම තමයි ජීවිතයෙන් හා පොත පතින් ලෝකය කියවා ගැනීමත් අවශ්‍යයි. හැබැයි මේකටම කොටුවෙලා කවියෙක් වෙන්නත් බෑ.
    
ඒ සඳහා සමාජ-දේශපාලන දෘෂ්ටියක් පවා ගොඩනගා ගන්නට  අවශ්‍යයි. ඒ වගේම තමයි සමහර විශේෂිත නැත්නම් අසාමාන්‍ය (exceptional)  ඉඳහිට හමුවෙනවා සත්‍යාභ්‍යාසයකින් තොරව වුණත් අපූරු ප්‍රතිභාවක් පෙන්වන මගේ අදහස මේ පැරණි මතිමතාන්තරවල පමණක් සිරවී සිටිය යුතු නැහැ කියන එකයි. ඒත් තමන් යම් සාහිත්‍යමය නිර්මාණ කටයුත්තක නිරත වෙනවා නම් ඒ පිළිබඳව යම් හැදෑරීමක් කියැවීමක් තිබිය යුතුයි. ඊටත් වඩා සමාජ දේශපාලන දෘෂ්ටිවාදයක් ගොඩනගා ගත යුතුයි.

 
• මෙකල පැවැත්වෙන සම්මාන උත්සව ආදියේදී එකල ප්‍රවීණයැයි පිළිගත් කවියන් අභිබවා නූතන තරුණ කවි කිවිඳියන් පෙරට ඒමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කවියේ මේ නූතන වෙනස්වීම ඔබ දකින්නේ කොහොමද?

මේක ඉතාමත් ධනාත්මක දෙයක් විදිහටයි මම දකින්නේ. තරුණ කවි කිවිඳියන් පිළිබඳව මට තියෙන්නේ ලොකු  විශ්වාසයක්. ඔවුන්ගේ බහුතරයක් කෘති මම කියවනවා. ඉතාම දුර්වල කෘති වගේම ඉතා විශිෂ්ට කෘති ඒ අතර තිබෙනවා. ඒ වගේම පෙර පරම්පරාවල කවි කිවිඳියන්ගේ ඉතාම දුර්වල කෘති නුතනයේ පළ වෙනවා. අවාසනාවකට ඔවුන්ගේ සිවිල් බලය හා රැස් වළලු නිසා ඇතැම් තැන්වල දක්ෂ තරුණ කවියන්ගේ නිර්මාණ කෘති පැත්තකින් තියලා අර ප්‍රවීණ අයට සම්මාන දුන් අවස්ථා තිබෙනවා. එහෙමත් නැත්නම් ඒ සම්මාන ප්‍රවර්ගය අවලංගු කරනවා. සමහර විනිශ්චය මණ්ඩල සාමාජිකයන් මෙයාට තව වයස තියනවනේ වගේ බාල ගණයේ ප්‍රකාශ කළ අවස්ථා පවා තිබෙනවා.
    
ඉතාම හොඳින් දන්නා කාරණයක් තිබෙනවා. ප්‍රවීණ කවියන් කිහිප දෙනකු සමග තරුණ කවියකු සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ වුණ වෙලාවක තරුණ කවියාට සම්මානය ලැබුණොත් ඉඳලා වැඩක් නෑ කියපු ප්‍රවීණ කවියො ඉන්නවා. මේක ඉතාම නරක තත්ත්වයක්.
    
ඉතාම ප්‍රතිභාසම්පන්න නවකවි පරපුරක් වැඩෙමින් ඉන්නවා. මෙය නව ශ්‍රී ලාංකික කවියේ සෞඛ්‍ය සම්පන්නභාවයට ඉතාම හොඳයි. ලක්ශාන්ති අතුකෝරල, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, ධනුෂ්කා නිෂාදි කුලරත්න, කල්පනා ඇම්බ්‍රෝස්, ළහිරු කරුණාරත්න, ටිමිණන් කීර්ති වැනි අය විශේෂයි. බසෙහි ඇති විවිධ උප ලක්ෂණ හරි අපූරුවට ඔවුන් කවියට අරන් එනවා. ලක්ශාන්ත අතුකෝරල වැනි කවියකුගේ කවි බස හරිම පොහොසත්. ටිම්රාන් කීර්ති ඉතාම අපූරු ආකාරයෙන් සහ වේගයෙන් තම නාට්‍ය අනන්‍යතාව ගොඩනගා ගන්නා කවියෙක්. ඔහුගේ මුල් කෘතියේ සිටම එය දකින්න ලැබුණා. කාව්‍ය අනුභූතිය වගේම බස ආකෘතිය වගේ අංශවලින් ඔහු ඔහුටම අනන්‍ය වන කවියක් ගොඩනගනවා. ඒ නිසා මට නම් නව කවිය පිළිබඳව තිබෙන්නේ ඉතාම සුබදායී හැඟීමක්.
    
නූතන කවියේ වර්ධනයට සමගාමීව කාව්‍ය විචාරය වර්ධනය වී නැතැයි චෝදනාවක්  නැඟෙනවා. ඔබ හිතනවාද පැරැණි විචාර මිණුම් දඬු වෙන්ම නුතන කවිය සාධාරණව විමසා බැලිය හැකිය කියා.
    
මම හිතන්නේ ඒ චෝදනාව කවදත් තිබුණා. ඒක කවියට විතරක් නොවෙයි. සෑම කලා අංශයකටම අදාළයි. ඇතැම් විචාරකයන් තමන්ගේ  ගුරුකුලයේ නොවන අයගේ කෘති විචාරය කරන්නේ නැහැ. ඒ නිසා සාහිත්‍ය විචාරයේ පක්ෂග්‍රාමී බවක් තිබෙනවා. ඔබ කියනවා වගේ පැරැණි විචාර සිද්ධාන්ත පමණක් භාවිත කරමින් නූතන කවිය වගේම නුතන කලාව විචාරය කරන්න බෑ  කියන මතයේ මමත් ඉන්නවා.
    
ඒ සඳහා නව විචාර මිනුම් දඬු සොයා යා යුතුයි. නූතන විචාරකයන් කියන දෙයක් තමයි සාහිත්‍ය කෘතියක් ස්වයං අන්තර්ගත,  ස්වයං යොමු  සෞන්දර්යාත්මක වස්තුවක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද? යන්න සොයා බැලීම සඳහා විචාරය යොමුවිය යුතුයි කියන එක. විශේෂයෙන් කවිය සමීප කියැවීමකට බඳුන් කළ යුතු බව  ඔවුන් අවධාරණය කරනවා. සමීප කියැවීමකදී (close reading) හුදෙක් පේළි අතර කියැවීමකට වඩා පේළි තුළට කිඳා බැස ඇතුළතින්  මතුවන බහු අරුත් හඳුනා ගැනීමට විචාරකයාට හැකිවිය යුතුයි. ඒනිසා ශ්‍රී ලාංකික නව කවිය විචාරය කිරිමේදී පැරැණි විචාර සිද්ධාන්ත හා  මිණුම් දඬු පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ අදහස. එසේ කිරීම නව කවියට කරන සාහසික අපරාධයක්.

(*** සංවාද සටහන - ගාමිණී කන්දෙපොළ)