බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට හා භක්තියට ලක්වූ ග‍්‍රන්ථ දෙක ලෙස සැලකෙන්නේ පිරුවානා පොත් වහන්සේ සහ ජාතක කතා පොත් වහන්සේය. මෙතරම්වූ ගෞරවයක් සහ භක්තියක් ඊට හිමි වන්නේ එම ග‍්‍රන්ථ දෙක අසන, කියවන සෑම මොහොතකදීම බුදුන්වහන්සේ ජීවමානව සිටින සෙයක් බෞද්ධයන් හට දැනීම හේතුවෙන්ය. මෙරට බෞද්ධයින්ගේ ඉහළම ගෞරවාදරයට ලක්ව තිබෙන සිංහල ජාතක කතා පොතේ මුල් පිටපත අදටත් සුරක්ෂිතව තිබෙන බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි. පාලි ජාතක කතාවේ සිංහල අනුවාදය වූ මෙය කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරයේ ඉතා සුරක්‍ෂිතව තැන්පත් කර තිබේ. ජාතක කතා පොත් වහන්සේ තනි පුද්ගලයෙකුගේ කෘතියක් නොව එය පරිවර්තනයේ දී කර්තෘ මණ්ඩලයක් විසින් කර ඇතැයි සලකනු ලබයි. ජාතක පොතේ දිගම කතා ලෙස සලකන දස ජාතකවලින් එකක් වන උම්මග්ග ජාතකය හතර වැනි පරාක‍්‍රමබාහු රජුගේ ඇමැතිවරයකු වූ වීරසිංහ ප‍්‍රතිරාජ ඇමැතිවරයා විසින් පරිවර්තනය කරනු ලැබ ඇත. මෙම පොත් වහන්සේ පරිවර්තන කාර්යයේ දී කර්තෘ මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස වනරතන මේධංකර හිමියන් කටයුතු කර තිබෙන අතර, එය කෙරුණු ස්ථානය ලෙස ඇත්කඳ විහාරය සලකනු ලැබේ. ලංකාවේ කුරුණෑගල ප‍්‍රසිද්ධියට පත් වූයේ දඹදෙණි රාජ්‍ය සමයේදීය. එවකට කුරුණෑගල දඹදෙණිය රාජධානියේ උපනගරයක් විය. මුල්ම රාජකීය සම්භවයක් ඇතිව පදිංචිවූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ දඹදෙණියේ රජ කළ පැරකුම්භා රජුගේ සහෝදර බුවනෙකබාහු කුමාරයාය. රජුගේ අවසරය මත බුවනෙකබාහු කුමරු  කුරුණෑගල නැවතී සිට නගරය දියුණු කළ බව ද, එහි දී ඔහු විසින් කරවන ලද විහාරය ඇත්කඳ විහාරය ලෙස ද සැලකේ. කුරුණෑගල රාජධානි සමයේ සිදුවූ සුවිශේෂම සිද්ධිය ලෙස සැලකෙන්නේ පාලි ජාතක කතා පොත සිංහලට පරිවර්තනය කිරීමය. හතර වැනි පැරකුම්බා රජු මෙම කාර්යයේ පුරෝගාමියා බව සඳහන් වේ. ඔහු මෙම කාර්යය සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහාය ලබාගෙන ඇති බව ද, එහි දී මේධංකර හිමියන් පොතේ භාරකරු වශයෙන් සිටින බව ද සඳහන් වේ. මෙම මේධංකර හිමියන් දිඹුලාගල පරපුරට සම්බන්ධ බව පැවසේ. මේ අනුව ඇත්කඳ විහාරය සහ දිඹුලාගල අතර එකල සම්බන්ධයක් පැවති බව ද තහවුරු වෙයි. අස්ගිරි තල්පතේ සඳහනට අනුව මහනුවර අස්ගිරි විහාරය ඇරඹුණේ ද හතර වැනි පරාක‍්‍රමබාහු රජ සමයේදීය. මේ නව විහාරය සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කරවා තිබුණේ ඇත්කඳ විහාරයේ සිට බව ද සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ එකල ඇත්කඳ විහාරය ශාසනික වශයෙන් ප‍්‍රබල ස්ථානයක් තහවුරු කරගෙන සිටි බවය. පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ වැනි රාජධානි සමයක් තරම්ම උසස් නොවුව ද කුරුණෑගල යුගය ද එක්තරා ප‍්‍රමාණයකට සාහිත්‍යයෙන් බැබලූණු යුගයක් සේ ප‍්‍රකටය. විද්‍යා චක‍්‍රවර්ති, කවි චක‍්‍රවර්ති, කවිරාජ ශේඛර යන මෙරට පඬිවරුන් ලැබූ විද්‍යා උපාධි ගණයට ෂඞ් භාෂා පරමේශ්වර යන උපාධිය එක්වූ බව කියැවෙන්නේ කුරුණෑගල යුගයේදීය. එබැවින් මේ යුගයේ රචනාවූ සිංහල බෝධිවංශය, උම්මග්ග ජාතකය, දළදා සිරිත, සඳ කිඳුරුදාකව, දඹදෙණි අස්න, අනාගත වංශය, දළදා පූජාවලිය යන ග‍්‍රන්ථ ලිවීමේ දී ඇත්කඳ විහාරයේ විසූ මහ තෙරවරුන්ගෙන් යම් ආකාරයක සහායක් ලැබෙන්නට ඇති බව සැලකේ. එකල රජු තම ආගමික කටයුතු සඳහා ඇත්කඳ විහාරය භාවිත කළ බැවින් එම ග‍්‍රන්ථ සම්පාදනයේ දී රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්නට ඇතැයි ද සිතිය හැකිය. නමුත් කුරුණෑගල යුගයට අයත් ඉතාම වැදගත් ග‍්‍රන්ථය ලෙස සැලකෙන්නේ ජාතක කතා පොතය. ජාතක කතා පොත මෙරට පැතිර ගියේ මිහිඳු හිමියන් රැගෙන ආ බුදු දහමෙන්ය. ඉන්දියාවේ පැරණි බෞද්ධයන් සේම මෙරට පැරණි බෞද්ධයන් ද ජාතක කතා පොත බොහෝ ගරු කොට සලකා ඇති බව පැවසේ. පොළොන්නරු යුගය වන විට මෙරට විසූ පඬිවරුන් ජාතක කතා සාමාන්‍ය ජනයාට අවබෝධ කරවීම පිණිස උත්සාහ ගත් බව පෙනී යයි. එකල ලියන ලද සෑම ග‍්‍රන්ථයකම පාහේ ජාතක කතා සංග‍්‍රහයේ කොටසක් තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. එහෙත් මුළු ජාතක පොතම සිංහලෙන් නොලියවීම බරපතළ අඩුවක් ලෙස කුරුණෑගල යුගයේ දී ඉස්මතු වී ඇත. ඒ අනුව පාලි ජාතක කතා පොත සිංහලයට පෙරළීමේ උතුම් කාර්යයට හතර වැනි පරාක‍්‍රමබාහු රජු මූලිකත්වය ගෙන තිබේ.ඒ අනුව සාහිත්‍යමය අතින් කුරුණෑගල යුගයේ දී සිදුවූ වැදගත්ම කර්තව්‍යය මෙයවූ අතර, එකල මේධංකර හිමියන්ට භාරකාරත්වය පවරා තිබූ මෙම පොත් වහන්සේ එකල වාර්ෂිකව කුරුණෑගල නගරය වටා ප‍්‍රදක්ෂිණා කරවා ඇත. මෙම පොත සිංහලයට පරිවර්තනය කිරීමෙන් රට තුළ ඇතිවූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා ජාතක කතා සිතුවමට නැගීමටත් පෙතිකඩ චිත‍්‍ර ලෙස භාවිත කිරීමටත් කටයුතු කර තිබූ බව ද පෙනී යයි. මේ අනුව සිංහලට පෙරළුණු ජාතක පොත් වහන්සේට බෞද්ධයන් කොතරම් ගරු කළා දැයි කිවහොත් ඊට පුද පූජා පවත්වා ඇත. එදා සිට අද දක්වාම ඇත්කඳ විහාරයේ තිබෙන මෙහි මුල් පිටපත වාර්ෂික කුරුණෑගල ශ්‍රී දළදා පෙරහරේ ඓතිහාසික අංගයක් ලෙස වැඩම කරවනු ලබයි. ‘‘සිංහල ජාතක පොත් වහන්සේ ඇතු පිට තබා වර්ෂයකට වරක් නගරයේ ප‍්‍රදක්ෂිණ කළ යුතුය’’ යනුවෙන් හතර වැනි පරාක‍්‍රමබාහු  රජු නියෝගයක් ද පනවා තිබේ. මෙම ඉපැරණි රාජ නියෝගය කුරුණෑගල ශ්‍රී දළදා පොසොන් පෙරහර පැවැත්වීමෙන් වාර්ෂිකව ඉටු කරයි. මෙම ග‍්‍රන්ථය පිළිබඳ ජනතාවගේ විශ්වාසය, ගෞරවය කොතෙක් ද යත් අතීතයේ සිටම එය සාක්ෂි කරගෙන දිවුරුම් දී ඇති බව ද පෙනී යයි. පොලිස් උසාවියේ සහ කම්කරු ආරවුල් විසඳීම සඳහා ජාතක පොත මත අත තබා දිවුරුම් දීමේ රාජ නියෝගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ද ඇත්කඳ විහාරයට බලය පවරා තිබී ඇත. අදටත් ඇතැම් අවස්ථාවල දී කුරුණෑගල තිබෙන අධිකරණවලින් ලබා දෙන නියෝග සහිතව දිවුරුම් දෙන්නේ ඇත්කඳ විහාරයෙහි සුරක්ෂිතව තැම්පත් කර තිබෙන ඉපැරණි ජාතක පොත් වහන්සේ සාක්ෂි කරගෙනය. මෙරට බෞද්ධයන්ට මහා දායාදයක් බඳුවූ මෙම පොත් වහන්සේ ඉතා අලංකාර ලෙස සැකසූ කුඩා මේසයක සුරක්ෂිතව තැම්පත් කර තිබෙනු ඇත්කඳ විහාර මන්දිරයට පිවිසෙන  ඕනෑම අයකුට දැකගත හැකිම අනර්ඝ වස්තුවකි. ඇත්කඳ රාජමහා විහාරයේ ඓතිහාසික වටිනාකම මෙම ග‍්‍රන්ථයෙන් මනාව කියාපායි. මෙහි විහාරාධිපති ධුරය දරන අස්ගිරි මහා විහාරයීය ලේඛකාධිකාරි ආණමඩුවේ ධම්මදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි මහසෙන්ගම පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ ඉපැරැණි ජාතක පොතේ වත්මන් භාරකරු ලෙස කටයුතු කරති. මේධංකර හිමියන් මෙම පොත් වහන්සේ ග‍්‍රන්ථාරූඪ කරන ආකාරය දැක්වෙන ඉපැරැණි සිතුවමක් මේ වන විට ජර්මනියේ කෞතුකාගාරයක තිබෙන බව ද, එහි පිටපතක් මේ වන විට මහනුවර කෞතුකාගාරයේ තිබෙන බව ද පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ පැවසූහ. එම සිතුවමේ දැක්වෙන ආකාරයට දැනට විහාරස්ථානයේ පවතින ඉපැරණි ලෙන් විහාරයේ සිට ජාතක කතා පොත් වහන්සේ ලියන්නට ඇති බව ද උන්වහන්සේ පැවසූහ. ‘‘අපේ සිංහල සාහිත්‍යයේ වැදගත්ම ග‍්‍රන්ථය මෙයයි. සිංහල සාහිත්‍යය ජනතාව අතරට ගියේ මේ ග‍්‍රන්ථය නිසයි. උපදේශන සාහිත්‍යය කෘතියක් ලෙස ගත් විට ජාතක කතා පොත් වහන්සේ ඉතාම ඉහළ ස්ථානයක තිබෙනවා.’’ ‘‘මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතා පවසා තිබෙනවා මෙය සම්පූර්ණයෙන්ම කියවූ අයකු සිටී නම් ඔහු වසර හාරසියයක් ජීවත්වූ අයකු ලෙස සලකන්න පුළුවන් තරම් පරිණත භාවයක් මෙයින් ලබා ගන්න පුළුවන් කියලා.’’ ‘‘මෙම ග‍්‍රන්ථයෙන් සමාජයට උපදෙස් රැසක් ලැබෙනවා. උම්මග්ග ජාතකය ගතහොත් එයින් ප‍්‍රඥාව පිළිබඳව උපදෙස් රැුසක් සපයනවා. සමාජයේ ජීවත් විය යුතු ආකාරය මෙයින් මනාව කියා දෙනවා. ඒ නිසාම මේ පොත් වහන්සේ උතුම් ආගමික ග‍්‍රන්ථයකට වඩා උතුම් සාහිත්‍ය ග‍්‍රන්ථයක් ලෙස අපට සැලකීමට පුළුවන්,’’ යැයි පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ පෙන්වා දුන්හ. ඉපැරැණි පුස්කොළ පොතක් ලෙස සුරක්ෂිතව තිබෙන ජාතක කතා පොත් වහන්සේට අමතරව තවත් ඉපැරණි පුස්කොළ පොත් රැසක්ම මෙම විහාරයේ සුරක්ෂිතව තිබීම ද විශේෂය. එබැවින් ඇත්කඳ විහාරස්ථානය මෙම සුරක්ෂිතතාව බෙහෙවින් ඇගැයීමට ලක් කළ යුතුය. කුරුණෑගල නගරය පසුබිම් කරගෙන බිහිවී තිබෙන ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුත් බොහෝ දේ පිළිබඳව මෙතෙක් ප‍්‍රමාණවත් තරමට පර්යේෂණ හෝ අවධානයක් සිදු නොවීමෙන් මේ වන විට ඒවා විනාශයට ලක් වෙමින් පවතින ආකාරය දැකගත හැකිය. එවැනි යම් පර්යේෂණයක් සිදු වූවා නම් අදට ද සුරක්ෂිතව තිබෙන ජාතක කතා පොතේ මුල් පිටපත සේම සමාන තවත් වටිනා ඓතිහාසික තොරතුරු රැුසක්ම හෙළි කර ගැනීමට පුළුවන් වනු ඇත. (මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් සහ පුරාවිද්‍යා කථිකාචාර්ය සී.ජී. කුමාරතුංග මහතා එක්ව රචිත ‘‘ඇත්කඳ රාජ මහා විහාරය’’ ග‍්‍රන්ථය ද මීට සහාය කර ගතිමි)
සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
ඉපැරණි ලෙන් විහාරය ඇත්කඳ රාජ මහා විහාරය ජාතක කතා පොතේ සිංහල මුල් පිටපත පුක්‍ද්ක්‍දානන්ද හිමි