පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයකින් කොටසකි.

මොහමඩ් මුහුසින් සර්ෆාස් නිලාම් සමඟ ඔහුට කිට්ටු සම්බන්ධතා පැවති අතර, 2014 දී පමණ දෙමටගොඩ, මල්ලිකාරාම පාරේ පිහිටි සමස්ත ලංකා තවුහිද් ජමාත් (ACTJ) මුස්ලිම් පල්ලියේ දී ඔහුට ප්‍රථම වරට මුණගැසුණි. නිලාම් සහ අරූස් ඥ‌ාතීහුය. ඔවුන් දෙදෙනාම සිරියාවට ගියේ අයි.එස් සංවිධානයට බැඳීමටය. අයි.එස් වෙනුවෙන් සටන් කරමින් සිටියදී සිරියාවේදී ඝාතනය වූ පළමු ශ්‍රී ලාංකිකයා නිලාම්ය. නීලාම් සිරියාවට යාමට පෙර ජමීල් සහ ඔමර්කත්තා නිලාම් වෙනුවෙන් සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූහ. 2014 නොවැම්බර් 12 වැනිද‌ා ජමීල් තම සහෝදරයා වන හකීම් සමඟ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ටී.කේ 31 ගුවන්යානයෙන් තුර්කියට පියාසර කර 2014 නොවැම්බර් 19 වැනිද‌ා ටී.කේ 731 ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේය. එසේ යළි පැමිණි පසු ඔහු සිය සහෝදර ලතීෆ්ගේ තේ අපනයන ව්‍යාපාරය හා සම්බන්ධ විය. ඉන්පසු ජමීල් දෙවරක් තුර්කියට යාමට ඉල්ලුම් කළ නමුත් වීසා බලපත්‍ර අයදුම්පත ප්‍රතික්ෂේප විය. ඔහුට අවශ්‍ය වූයේ තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස් සංවිධානයට බැඳීමටය.

ජමීල් මුස්ලිම් රාජ්‍යයක ජීවත් විය යුතු බවට තදින් විශ්වාස කළ අයෙකි. අයි එස් විසින් ප්‍රකාශයට පත් කරන ලද කැලිෆේට් ගැන ඔහු තරයේ විශ්වාස කළේය. ෂරියා නීතිය බලාත්මක කරන ලද ඉස්ලාමීය රාජ්‍යයකට (හිජ්රාත්) යාමට ඔහුට අවශ්‍ය විය. 2019 මුල් භාගය වන තුරුම සහරාන්ට අයිඑස් සංවිධානය සමඟ තිබූ සම්බන්ධතා පුරුක අරූස් හරහා සලසා දුන්නේ ජමීල්ය. 2015 අග භාගයේ සිට ඔහු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීම ගැන දේශනා කරමින් සිටියේය. එක්සත් රාජධානියේ ඉස්ලාමීය අන්තවාදී දේශකයකු වන අංජම් චෞද්‍රිගේ දේශනවලට ජමීල් සවන් දුන්නේය.

කොළඹ මූලික කරගත් ජමාත් ඉල් ඉස්ලාමියා (ජේ.එම්.අයි) පිහිටුවීමේ දී ජමීල් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ද ඔහු එහි නායකයා ලෙස පත් නොකෙරිණි. මේ නිසා ජේ.එම්.අයි. හි නායක උමයර් මොහොමඩ් සමඟ මතභේදයක් ඇති විය. ජමිල් සහ උමයර් අතර සහයෝගීතාවක් ඇතිකර ගැනීම සඳහා සහරාන් මල්වානේ පැන්ඩා ක්‍රීඩා මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.
ජමීල් 2017 දී ඉල්හාම් සමඟ දින දහයක් මක්කම බලා ගිය අතර සංචාරයට අනුග්‍රහය දැක්වූයේ ඉල්හාම් විසිනි.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යනු, අයි.එස්. සංවිධානයට බැඳීම සඳහා සිරියාව සහ ඉරාකය වෙත සංචාරය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සපයන පුද්ගලයකු බව 2016 ජූලි මාසයේ දී පොලිස්පති වෙත රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නේය.

ජමීල්ගේ ජෛව දත්ත, ඔහුගේ අන්තවාදී අදහස් හා ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර සහ ශ්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍යයක් බවට පරිවර්තනය වීම දැකීමට හෝ ඉස්ලාමීය රාජ්‍යයකට සංක්‍රමණයවීමට ඇති ආශාව පිළිබඳව දන්වමින් 2017 නොවැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ. මේ පිළිබඳව විමර්ශන කටයුතු මෙහෙය වූ ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෙත යොමු කෙරිණි.

ජමීල්ගෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් 2018.04.12 වැනිද‌ා ප්‍රශ්න කරන ලද අතර ප්‍රකාශයක් වාර්තා කර ඇත. ඔහු අයි.එස් ආධාරකරුවකුවේද, අයිඑස් සංවිධානයෙහි දෘෂ්ටිවාදය ප්‍රචාරය කරන්නේද, අයිඑස් සංවිධානයට බැඳීමට ඔහුට ආශාවක් වේද, එමෙන්ම ඔහු ඉස්ලාමීය රාජ්‍යයක ජීවත් වීමට කැමති ද යන්න පිළිබඳව නිශ්චිත ප්‍රශ්න ඔහුගෙන් විමසීය. ජමීල් අනෙක් යෝජනා ප්‍රතික්ෂේප කරමින් ඉස්ලාමීය රාජ්‍යයක ජීවත් වීමට කැමති බවට පිළිතුරු දුන්නේය.

පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට පෙර ජමීල් පිළිබඳ පොලිස්පතිවරයාට වරින් වර වාර්තා 8 ක් ත්‍රස්ත විමර්ශන අංශය විසින් යවා තිබුණි. එසේ වාර්තා වූ කරුණු අතර සිරියාවේ අයි.එස් වෙනුවෙන් සටන් කරමින් සිටියදී මියගිය නිලම් මල්ලිකාරාම පාරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක දී ජමීල් දැන ඇති බවද සඳහන් විය. මෙම සියලු වාර්තාවලින් පෙනී ගියේ ජමීල් අන්තවාදී අදහස් දරන පුද්ගලයකු බව පරීක්ෂණවලින් හෙළි නොවූ බවයි. ජමීල්ට නිලාම් සමඟ සමීප සම්බන්ධයක් ඇති බවට තහවුරු කිරීමට කිසිදු තොරතුරක් හමු නොවූ බව ද වාර්තා විය. අවසන් වාර්තාව 2019 අප්‍රේල් 10 දිනැතිව ඔහු කර ඇති අතර එහි ජමීල්ගේ කිසිදු අන්තවාදී ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු නොමැති බව කියැවේ.

කෙසේ වෙතත්, අවම වශයෙන් 2016 දෙසැම්බරයේ සිට හමුද‌ා බුද්ධි අංශ විසින් ජමීල් ආගමික අන්තවාදියකු ලෙස හඳුනාගෙන ඔහු පිළිබඳව නිරතුරුවම සෝදිසියෙන් සිට ඇත. මෙය බුද්ධි අංශ විසින් හමුද‌ාපතිට වාර්තා කරන ලදී. ජාතික ආරක්ෂක මණ්ඩලයේ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලදී ජමීල්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සඳහන් කළ බව හමුද‌ා බුද්ධි අංශ අධ්‍යක්ෂ විසින් සාක්ෂි ලබා දුන්නේය.

ජමීල් 2014 සහ 2015 අතර ජමාතේ මිල්ලති ඊබ්‍රාහිම් ජාත්‍යන්තර වට්ස්ඇප් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඊබ්‍රාහිම් නබිගේ දෘෂ්ටිවාදය අනුගමනය කරන පුද්ගලයන් ජමාතේ මිල්ලති ඊබ්‍රාහිම් ලෙස හැඳින්වේ.
2019 අප්‍රේල් 19 වැනිද‌ා ජමීල් ඔමාර්කතාට දන්වා සිටියේ ඔහු මිතුරන් කිහිප දෙනකු සමඟ පිටතට යන බවත් ඔහු මිල දී ගත් ගමන් බෑගයක ඇඳුම් කිහිපයක් ඇසුරුම් කරන ලෙසත්ය. රාත්‍රී 10 ට පමණ ඔහු ත්‍රීරෝද රථයකින් නිවෙසින් පිටත්ව ගියේය. ළමයින් නිද‌ා සිටියදී, ඔහු ඔවුන්ගේ මුහුණු මත සිඹ, ඔහුගේ බිරිඳගේ නළලත සිපගෙන සමුගත්තේය.

අප්‍රේල් 21 වැනි ද‌ා උදේ 8.30 ට පමණ ඕමාර්කාතාට නාඳුනන අංකයකින් වට්ස්ඇප් හඬපට පණිවිඩයක් ලැබුණි. හිජ්රාත් යාම ගැන තමා බොරු කියා ඇති බවත්, ඔහු අල්ලාහ් මුණගැසීමට යන බවත් ජමීල් විසින් එයින් දැනුම් දී තිබෙන අතර එම පණිවිඩය පොලිසියට පෙන්විය හැකි බවත් ඔහු ඒ සමඟ පවසා තිබුණි. ඇය එම අංකයට වට්ස්ඇප් ඇමතුමක් ගැනීමට උත්සාහ කළ නමුත් දුරකතනය නාද වුවද පිළිතුරක් නොලැබුණ බවත් ප්‍රකාශ විය.

2019 අප්‍රේල් 26 වැනිද‌ා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ සිදු වූ පිපිරීමෙන් ජමීල් මිය ගියේය.


භයාතු මොහමදු අහමදු මිල්හාන්
සහරාන්ගේ කණ්ඩායම තුළ අබු සීලා/ අබු හලිත් ලෙස හැඳින්විණි
මිල්හාන් 1989 ජූලි 18 වැනිද‌ා කාත්තන්කුඩිහි උපත ලැබීය. ඔහුගේ පියා ආදම් ලෙබ්බේ භයාතු මොහමදු සහ මව මොහමදු කාසිම් සිත්ති නජිමා නම් විය.

ඔහු 1 ශ්‍රේණියේ මෙත්තයි මුස්ලිම් පල්ලියේ, කාත්තන්කුඩි බදූරියා පාසලෙන් 2 වන ශ්‍රේණියේ දක්වාද කාත්තන්කුඩි, අල් අහමින් මහා විද්‍යාලයෙන් 3 සිට 5 ශ්‍රේණිය දක්වා, 6 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ විභාගය දක්වා කාත්තන්කුඩි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහු වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටිමින් සාමාර්ථ තුනක් ලබා ගත්තේය.

2006 දී පමණ මිල්හාන් එල්ටීටීඊයට එරෙහි සටනේදී ශ්‍රී ලංකා හමුද‌ාවේ බුද්ධි අංශ නියෝජිතයකු ලෙස සේවය කරමින් සිටි රාසික් මොහොමඩ් ෆයිස් නොහොත් පොලිස් ෆයිස් සමඟ සම්බන්ධතා පැවැත්වීය. එකල මුස්ලිම් තරුණ තරුණියන් බුද්ධි අංශ නියෝජිතයන් ලෙස බඳවා ගනු ලැබුවේ ඔවුන්ගේ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණතාව හේතුවෙනි. ඉන්පසුව මිල්හාන් පොලිස් ෆයිස් සමඟ ශ්‍රී ලංකා හමුද‌ාවේ බුද්ධි අංශ නියෝජිතයකු ලෙස සේවය කළේය. 2007 දී පොලිස් ෆයිස් විසින් මිල්හාන්ට ටී-56 ආයුධයක් භාවිතයෙන් පුහුණුව ලබා දී එය ගලවා සවි කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. ඔහු මිල්හාන් සහ තවත් තරුණයන් කිහිප දෙනකු කැලෑවට ගෙන ගොස් කායවර්ධන පුහුණුව ලබා දුන්නේය. ඔවුන්ගෙන් එක් අයෙක් පාස්කු ඉරිද‌ා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙයි. සහරාන් විසින් සංවිධානය කෙරුණ පුහුණු කඳවුරුවල ආයුධ පුහුණුවීම් කිරීමට මිල්හාන්ට මෙම අත්දැකීම නිසැකවම ඉවහල් විය.

2009 දී මිල්හාන් මරදාන මහාචාර්ය ජයසූරිය අනුස්මරණ ජාත්‍යන්තර පාසලේ වෛද්‍ය රසායනාගාර කාර්මික පාඨමාලාවක් හැදෑරීය. 2010 සිට 2011 දක්වා ඔහු කාත්තන්කුඩිහි සීපා සායනයේ සේවය කළ අතර, 2011දී රසායනාගාර කාර්මිකයකු ලෙස නවලෝක රෝහලට සම්බන්ධ විය.

මිල්හාන් 2012දී කටාර් රාජ්‍යයට ගොස් වෛද්‍ය නියෝජිතයකු ලෙස වසර එකහමාරක් පමණ සේවය කළේය. ඔහු 2013 ජූනි මාසයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මාස 8ක් පමණ ශ්‍රී ලංකාවේ සේවය කළ අතර, 2014දී නැවත කටාර් බලා ගියේය.

මිල්හාන් පෙර සිටම ෆේස්බුක් ඔස්සේ නවුෆර් හඳුනාගෙන තිබුණ ද, 2016දී කටාර්හිදී අවස්ථා කිහිපයකදී පෞද්ගලිකව ඔහු මුණගැසීමට හැකි වී ඇත. 2015 අග භාගයේදී පමණ නවුෆර් අයිඑස් විවේචනය කර තිබුණි. කෙසේ වෙතත් 2016 වන විට ඔහු අයිඑස් සංවිධානයට සහාය පළ කරමින් සමාජ මාධ්‍යවල ලිපි පළ කරමින් සිටියේය. මිල්හාන් අයිඑස් දෘෂ්ටිවාදයේ ආධාරකරුවකු බවට පත් කළේ නවුෆර්ය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට අයුක්තියක් සිදුව ඇති බවත්, ඔවුන් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඔහු නවුෆර්ට පැවසීය.

2017 දී මිල්හාන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පාසල් කාලයේ සිටම රිල්වාන්ගේ මිතුරෙකි. දිනක් රිල්වාන් ඔහුට කතා කර සහරාන් සමග කතා කිරීමට රැගෙන ගොස් ඇත. එහිදී ඔහුට සහරාන් විසින් දිගන සහ අලුත්ගම සිදුවීම් සහ රැස්වීමක් පැවැත්වීමේ අවශ්‍යතාව ගැන කතා කළේය. ඔවුන් මුණගැසුණු අතර, සහරාන් ප්‍රකාශ කර ඇත්තේ නවුෆර් ඔහුට රැස්වීමේ විස්තර දැනුම් දෙනු ඇති බවය. ඉන්පසු නවුෆර් විසින් කරනු ලැබූ දැනුම්දීම මත මිල්හාන් 2017 නොවැම්බරයේදී මැදවච්චියේ රාඹා වැව ප්‍රදේශයෙහි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෂාෆිගේ නිවෙසේ පැවැති පුහුණු කඳවුරට සහභාගි විය. පුහුණුවට සහභාගි වූවෝ අයිඑස් ධජය ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දුන්හ.

ඉන්පසුව ඔහු සහරාන් විසින් පවත්වන ලද පුහුණු කඳවුරු 16ක් හෝ 17ක් අතරින් 13ක හෝ 14ක ආයුධ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

දිගන – තෙල්දෙණිය සිදුවීම්වලින් පසු ඉන්ෂාෆ් අහමඩ්, මුස්ලිම්වරුන්ට සෑමවිටම තාඩනයට පීඩනයට ලක්වෙමින් සිටිය නොහැකි බව සිතා කඩු එකතු කිරීමට පටන් ගත්තේය. ඔහු මොහොමඩ් ෂිෆාස් සත්තාර්ගේ සහාය පැතුවේය. ඔහු කුරුණෑගල සහ මීගමුවෙහි නිපදවන ලද කඩු කිහිපයක් ඉන්ෂාෆ්ට ලබාදුන්නේය. පසුව ඔහු වෙළෙඳපොළෙන්ද කඩු මිලදී ගෙන ඉන්ෂාෆ්ට ලබා දුන්නේය.

පසුව කඩු කිහිපයක් සොයා දෙන ලෙස මිල්හාන් සහ රිල්වාන් විසින් මොහොමඩ් ෂිෆාස් සත්තාර්ගෙන් ඉල්ලීමක් කළහ. එම කඩු බේරුවල සහ කුරුණෑගල ප්‍රදේශවලට යැවීය. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික කොමසාරිස් ලෙස කටයුතුකළ මොහොමඩ් අර්ෂාඩ් සහ මවුලවි මොහොමඩ් ගවුස් මොහොමඩ් ෆර්හිම්ගේ සහභාගිත්වයෙන් මස්ජිඩ් දුල් කාදර් ජුම්මා පල්ලියට කඩු 50ක් ලබා දුන්නේය.
2018 නොවැම්බර් 30 වැනිදා නවුනතිව්හිදී ආයුධ ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට මිල්හාන් සම්බන්ධ වී තිබේ. අනතුරුව 2019 මාර්තු 9 වැනිදා මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ඝාතන තැත සඳහා ද ඔහු සම්බන්ධ වී ඇත.

ඇත්ත වශයෙන්ම ඔහු වනතාවිල්ලුවේ පුහුණු කඳවුරක් පිහිටුවීමේදී මොහු වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. හස්තුන් සහ රිල්වාන් සමග වනාතවිල්ලුව සහ මීගමුව ආරක්ෂිත නිවෙස්වල පුපුරණ ද්‍රව්‍ය සැකසීමට ද ඔහු සම්බන්ධ විය.

මිල්හාන් සහ රිල්වාන් 2018 මැයි මාසයේදී පිටකොටුවෙන් බෝම්බ නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සම්බන්ධ වූහ. ඔහු සිරියාවේ අයිඑස් ක්‍රියාකාරිකයකු සමග සම්බන්ධකම් පැවැත්වූයේ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු ජාලයේ හවුල් ක්‍රියාකරුවකු ලෙස කටයුතු කළ අබු දාවුඩ් හසාකි නොහොත් අබු සුලෙයිමාන් සමගය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කටාර්හි දී අත්අඩංගුවට ගැනීමෙන් පසු මිල්හාන් මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.


6. මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා
සහරාන්ගේ කණ්ඩායම තුළ ඔහු අබු උමර් ලෙස හැඳින්විණි.
සාදික් දෙල්ගහගොඩ පාසලෙන්ද පසුව මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් ගණිත අංශයෙන් (දෙමළ මාධ්‍යයෙන්) අධ්‍යාපනය ලැබීය. ඔහු මහනුවර අයිසීබීටී කැම්පස් හරහා අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ කළමනාකාරණ විද්‍යාවේදී උපාධියක් ලබාගෙන ඇත. ඔහුගේ පාසල් කාලය තුළ ඔහු SLJISM හි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔහු මාවනැල්ලෙහි හිඟුල ඔය පල්ලියේ දින පහක පාඨමාලාවකට සහභාගි විය. ඉන්පසු ඔහු උසස් පෙළ විභාගයෙන් පසු දින හයක පාඨමාලාවට සහභාගි විය.

පසුව ඔහු SLJISM සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ අතර, ගංවතුර සහනාධාර සහ රුධිර පරිත්‍යාග කඳවුරු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් වැනි සමාජ සේවා ව්‍යාපෘති කිහිපයකට සහභාගි වූ අතර. ඒවායේ තනතුරු කිහිපයක්ද දැරීය. 2012දී සබරගමුව පළාතේ සම්බන්ධීකාරක ලෙසත්, පසුව ඔහු 2013 සිට 2015 දක්වා ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය. මෙය පූර්ණකාලීන තනතුරක් වූ අතර, ඔහුට රු. 18,500ක මාසික ගෙවීමක් සිදු කරන ලදී. එය 2015 වන විට රු. 25,000 දක්වා වැඩි විය.

සාදික්ට එස්එල්ජේඅයි හරහා 2014දී තුර්කියට යාමට අවස්ථාවක් ලැබුණු අතර, පසුව සිරියාවට ගොස් ආයුධ පුහුණුව ලැබීය. 2011 දී SLJISM හි ජාතික සංවිධායක ලෙස කටයුතු කළ අහමඩ් මුන්ෂිෆ් නමැත්තකු මෙම අවස්ථාව සම්බන්ධව ඔහුට පවසා, සිරියාවේ අවි පුහුණුව සඳහා අවස්ථාවක් ඇති බව ඇඟවීය. එස්.එල්.ජේ.අයි හි ප්‍රධාන කාර්යාලයේදී අබු අබ්දුල්ලා නම් විදේශිකයකු හමුවීමට ඔහු සාදික්ට අවස්ථාව ලබා දුන්නේය. අබු අබ්දුල්ලා යනු ලූක්මන් තාලිබ් අහමඩ්ය. 2014 මැයි මාසයේදී තුර්කියට පැමිණි අවස්ථාවේදී සාදික් රැගෙන යාම සඳහා පැමිණියේ අබු අබ්දුල්ලා වන අතර, සාදික් නවාතැනට ගෙන යන ලද්දේ ඔහු විසිනි. ගමන සඳහා ටිකට් පත එවකට එස්.එල්.ජේ.එස්.එම්. හි නායකයා වූ සුෆියන් විසින් සාදික්ට දී තිබිණි. සාදික් මාස දෙකක් පමණ ඉස්තාන්බුල්හි නැවතී සිටි නමුත් ඔහුට භාෂාව නොවැටහෙන නිසා ඔහු ලියාපදිංචි වූ පාඨමාලාවට සහභාගි නොවීය. අබු අබ්දුල්ලා සියලුම වියදම් දැරීය. මෙම නවාතැනේදී ඔහුට තවත් SLJISM ක්‍රියාකාරිකයකු වන ඉර්ෆාන් මුණගැසුණි.

ඉන්පසු සාදික් තුර්කි-සිරියානු දේශ සීමාව හරහා සිරියාවට ගොස් ඇලෙප්පෝ වෙත ගෙන ගියේය. එහිදී ඔහු යුද්ධය හේතුවෙන් තරමක් හානි වූ විශාල නිවසක නැවතී සිටි අතර, ඊට සහභාගි වූ තවත් දොළොස් දෙනකු සමග නැවතී සිටියේය. ඔවුන් දින හතළිහක පුහුණු වැඩසටහනකට සහභාගි වූ අතර, කාය වර්ධන හා ආයුධ පුහුණුවකින් සමන්විත උපායමාර්ගික පුහුණුවක් ඊට ඇතුළත් විය. දින 56ක් පමණ සිරියාවේ සිටි සාදික් නැවත තුර්කියට ගිය අතර, දින දෙකක් ඇතුළත 2014 ඔක්තෝබර් මාසයේදී පමණ ශ්‍රී ලංකාවට පැමිණියේය.

අයි.එස්.අයි.එස් වෙනුවෙන් සටන් කරමින් සිටියදී සිරියාවේදී මොහොමඩ් මුහුෂින් සර්ෆාස් නිලාම් නොහොත් අබු සුරයි සෙලානි නම් ශ්‍රී ලාංකිකයකු ඝාතනය වූ බව 2015 මැද භාගයේදී ප්‍රසිද්ධ විය. නොබෝ කලකින්ම ශ්‍රී ලංකා ජමතේ ඊබ්‍රාහිම් සංවිධානයේ නිලධාරීන් කිහිපදෙනකු සාදික් හමුවී ඔහු සිරියාවට ගොස් පුහුණුව ලැබූ බව දැනගත් අතර, එය ප්‍රසිද්ධ වීමත් සමග ශ්‍රී ලංකා ජමතේ ඊබ්‍රාහිම් සංවිධානයට කැළලක් වන නිසා ඔහු නෙරපා හරින බව දන්වා සිටියේය.

2015 දී ඔහු විවාහ වී ගොවිපොළක් ආරම්භ කළේය. සාදික් පවසන පරිදි 2018 මාර්තු මාසයේදී ඔහු සහරාන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල දකින අතර, එහිදී ඔහු කියා සිටින්නේ, මුස්ලිම්වරුන් පසුනොබසිමින් සටන් කළ යුතු බවත්, මුස්ලිම් විරෝධී ක්‍රියාවලට බෞද්ධයින්ගෙන් පළිගත යුතු බවත්ය. දිගන සිද්ධියෙන් මාසයකට පමණ පසු ඔහුට සහරාන් හමුවිය. සහරාන් අයිඑස් සමග සම්බන්ධ වී සිටින බව සාදික්ට දැනුම් දුන්නේය.

සහරාන් විසින් පවත්වන ලද පුහුණු කඳවුරු දෙකක් සඳහා ඔහු සහභාගි විය. මෙම කඳවුරු දින දෙකක කාල පරාසයක් සහිතව 2018 ජූනි  මාසයේදී නුවරඑළියෙහි පැවැත්විණි. ඔවුන්ට ටී-56 ආයුධයක්ද පෙන්වීය.
ඊට අමතරව ඔහු විසින්ම තනිවම පුහුණු කඳවුරු පැවැත්විය. ඉන් එකක් 2017 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී මුතූර්හි තෝපූර්හිදී විය. මෙය සාදික් විසින් මෙහෙයවන ලද අතර, ඊට 6 දෙනෙක් පමණ සහභාගි වූහ. සහරාන් මෙම පුහුණු කඳවුරට සහභාගි වූ බවට මෙතෙක් කිසිදු සාක්කියක් නොමැත. සාදික් ටී 56 ආයුධය ගැලවීම හා වෙඩි තැබීම සඳහා සූදානම් කිරීම පිළිබඳ ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් සිදු කර තිබුණි. පුහුණුවට භාවිතා කෙරුණ නිවස අයිති වන්නේ සාදික්ගේ මිතුරෙකු වන හජා මොහිදීන්ට වන අතර, එය එක් දින කඳවුරක් ලෙස පැවැත්විණි.
2018 දෙසැම්බර් 14 සිට 18 දක්වා හිඟුල, දෙල්ගහගොඩ අංක 130/- බී දරණ ස්ථානයේ හයිරියා මස්ජිඩ් තවුහිද් පල්ලියේ සාදික් තවත් කඳවුරක් පැවැත්විය. ඔහුට සහාය වූයේ ඔහුගේ සහෝදර ෂාහිඩ් විසිනි. මාවනැල්ල, කඩුගන්නාව සහ දෙල්ගොඩ යන ප්‍රදේශවලින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් 30ක පමණ පිරිසක් උදෙසා මෙම නේවාසික කඳවුර පැවැත්විය. දේශන පැවැත්වූයේ අයි.එස්. පිළිබඳවය. සහභාගි වූවන්ට අයිඑස් විසින් කුඩා දරුවකු ඝාතනය කරන ආකාරය වීඩියෝ දර්ශනයකින් පෙන්වීය. දිගන සිද්ධිය පිළිබඳව ද මෙහිදී සඳහන් කර ඇති අතර, සහභාගිවන්නන්ට එහිදී උපදෙස් දෙන ලද්දේ පහර දෙන්නේ නම් තමා ද යළි පහර දිය යුතු බවයි.

ඔහු දැනට අත්ඩංගුවේ පසුවෙයි.


7. අච්චි මොහම්මදු මොහමදු හස්තුන්
 සහරාන්ගේ කණ්ඩායමේ ඔහු අබු මොහොමඩ් ලෙස හැඳින්විණි
ඔහු 1994දී උපත ලැබීය. ඔහුගේ පියා උසනාර් හජ් මොහමදු සහ මව අබ්දුල් ලතීෆ් රවුමන් උම්මා ය. ඔවුන් පදිංචිව සිටින්නේ වාලච්චේනෙහි ය. ඔහුට සහෝදරයෝ දෙදෙනෙක් ද එක් සහෝදරියක්ද සිටිති.
ඔහු කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයෙන් දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යා අංශයෙන් නියෝජනය කරමින් විභාගයට පෙනී සිටියේය.

කාත්තන්කුඩිහිදී සහරාන්ගේ දේශන වීඩියෝ ගත කිරීම ඔස්සේ ඔහු සහරාන් දැන හඳුනා ගත්තේය. ඔහු 2015 දී ජාතික තවුහිද් ජමාත්  ආයතනයට සම්බන්ධ විය. සහරාන් විසින් සංවිධානය කෙරුණ බොහෝ පුහුණු කඳවුරුවලට සහභාගි වූ ඔහු, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අවධානයට ලක් නොවන ලෙස ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය මෙන්ම දුරකතන භාවිත කිරීම පිළිබඳ දේශන පවත්වා ඇත.
මිල්හාන් බෝම්බ සෑදීම පිළිබඳ අන්තර්ජාලය හරහා හොඳ දැනුමක් ලබා ගත්තේය. මරාගෙන මැරෙන බෝම්බ සෑදීම සඳහා ඔහු සම්බන්ධ විය. උපදෙස් ආදිය ඉංග්‍රීසියෙන් වූ බැවින් වරින් වර ඒවායේ අදහස තේරුම් ගැනීමට ඔහු සහරාන්ගේ සහාය පැතීය. ඔහු සාරා සමග විවාහ විය.

ඔහු අවසන් වරට තම පවුල දුරකතනයෙන් අමතා ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය. ඔහු කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ තැනැත්තා විය.


8. අහමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස්
1982දී උපත ලැබූ ඔහු 1 වසරේ සිට 10 වසර දක්වා කාන්තන්කුඩි මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර, පසුව හමුදා බුද්ධි අංශයට බැඳුණි.
ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්වාධීන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර, වර උරෙයිගල් සහ ශ්‍රී ලංකා මුස්ලිම් වර්ල්ඩ් ප්‍රෙස් යන වෙබ් අඩවි දෙකක් පවත්වාගෙන ගියේය. ඔහු ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක අලුත්වැඩියා කරමින් සිටියේය. ඔහුහට අරාබි ඇතුළු භාෂා පහකින් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ද තිබුණි. අලියාර් හන්දිය සිදුවීමෙන් පසු ප්‍රදේශයෙන් බහරේනයට පලා ගිය ඔහු පසුව 2018 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු අයි.එස්. සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමේ දකුණු ආසියා නියෝජිතයා ලෙස කටයුතු කළ බව වාර්තා වේ.
ඔහු 1997 සිට කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජිහාඩ් ව්‍යාපාරයේ කොටස්කරුවෙක් විය. 2004 සිට ඔහු හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. 2007 දී ඔහු රැකියාව සඳහා කුවේටයට ගොස් 2016 ජූනි 31 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුව ඔහු ජාතික කවුහිද් ජමාත් සමග සම්බන්ධ වෙමින් සහරාන් සමග සමීපව කටයුතු කළේය.
ඔහු 2019 අප්‍රේල් 16 වැනිදා සයින්දමර්දු හිදී මරණයට පත්විය.


9. මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්
සහරාන්ගේ කණ්ඩායමේ මුබාරක් අබු අබ්දුල්ලා ලෙස හැදින් විණි.
ඔහු ඉපදී හැදී වැඩුණේ කොළඹ 12 හි බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පිහිටි මාලිගාවත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා ජාත්‍යන්තර පාසලින් සාමාන්‍ය පෙළ විභාගය තෙක් අධ්‍යාපනය ලබා ඇත. ඔහු සපත්තු ව්‍යාපාරයක නිරත වූ අතර. ඒ හේතුවෙන් ඔහු කිහිප දෙනෙකුගෙන් ණය ලබාගෙන තිබුණි.

ඔහුගේ නොගෙවූ ණය නිසා ඔහු සැඟවුණු ජීවිතයක් ගත කළේය. මෙම මරාගෙන මැරෙන බෝම්බකරු භාවිත කළ අංක ලෙස මේ වන විට ජංගම දුරකතන අංක 14ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 11ක් ඔහුගේම හැඳුනුම්පත් අංකයෙන්ද, සෙසු දුරකතන අංක තුන වෙනත් පුද්ගලයන්ගේ නමින් ද ලියාපදිංචි කර ඇත. මුබාරක් අරක්ෂිත නිවාස කුලියට ගෙන වෑන් රථයක් මිලදී ගෙන ඇති අතර, ඔහුගේ නමින් බැංකු ගිණුම් 32ක් තිබී ඇත.

මුබාරක් සම්බන්ධයෙන් කිසිදු අපරාධයක් සිදු කිරීම පිළිබඳ වාර්තාවක් නොතිබිණි. මුබාරක්ට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක (අංක N 672589 සහ N 1782827) ඔහු සෞදි අරාබිය (2006 සහ 2015), ඉන්දියාව 2012, පකිස්තානය 2013, බංග්ලාදේශය 2016, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ චීනය 2018 යන රටවල් කිහිපයක සංචාර කර ඇති බව පෙන්නුම් කරයි.
මුබාරක් 2016.04.16 වැනිදා කාත්තන්කුඩිහි පැවැති ප්‍රහාරයකට කලින් යතුරුපැදියක අටවන ලද බෝම්බ පිපිරවීමේ පෙර සූදානම සඳහා ද සහභාගි විය. ඔහු අවස්ථා කිහිපයකදී සහරාන්ගේ රියැදුරු ලෙස කටයුතු කර ඇත. කිංස්බරි හෝටලයට පහර දුන් මරාගෙන මැරෙන බෝම්බකරු ඔහු විය.


10 මුම්ඩ් නසාර් මොහොමඩ් අසාද්
ඔහු සහරාන්ගේ කණ්ඩායම තුළ අකා අබු මුක්තාර් ලෙස හැඳින්විය.
අසාද් 1985 නොවැම්බර් 05 වැනිදා ආරියම්පතිහි උපත ලැබීය. ඔහුගේ පියා මසුන් ඇල්ලීමේදී එල්.ටී.ටී.ඊ.ය විසින් මරා දමන ලදී. ඔහුගේ බිරිඳ අබ්දුල් රහීම් ෆෙරෝසාය.
ඔහු 2005 සිට 2010 දක්වා සහ 2010 සිට 2012 දක්වා කටාර්හි සිටියේය.

මඩකළපුවෙහි සියොන් පල්ලියට පහර දුන් මරාගෙන මැරෙන බෝම්බකරු අසාද්ය.
ඉහත දක්වා ඇති කරුණු කාරණා ජනාධිපති පර් යේෂණ කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙයවන ලද වාචික හා ලිඛිත සාක්ෂිවල කොටසක් වන අතර, විමර්ශකයන්ගේ සහ බුද්ධි අංශවල සාක්ෂි ද ඇතුළත් වේ.

(***)
(මතු සම්බන්ධයි)