ශ්‍රීනාත් ගනේවත්ත වියරණ ලිපි, අක්‍ෂර ශික්‍ෂාව, සිංහල අක්‍ෂර වින්‍යාසය ඇතුළු කෘති කිහිපයක් ම ලියා පළ කොට ඇති ශ්‍රීනාත් ගනේවත්ත මහතා සිංහල භාෂාව සහ ඉතිහාසය සම්බන්ධව විවිධ ගවේෂණවලට දායක වූ අයෙකි. කලක් හෙළ හවුලේ ලේකම්වරයා ලෙස ද කටයුතු කොට තිබෙන ගනේවත්ත මහතා මෙරට භාෂා සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ වැදගත් කෘති රැසක් සංස්කරණයට ද (තවත් අය සමග) දායක වූවෙකි. ජනමාධ්‍ය සඳහා භාෂා අත්පොත, පද බෙදීම, රැයිපියල් තෙන්නකෝන් ලිපි එකතුව, ජාතක කතා සරල බසට නැංවීම ආදිය එම සංස්කරණ අතුරින් කිහිපයකි මෙරට ඉතිහාසය නිවැරැදිව සරල බසින් දුවා දරුවන් වෙත දායාද කිරීමේ අරමුණ ඇතිව ”ළමා අතට යට ගියාව” නමින් ඉතිහාස පොත් පෙළක් රචනා කරමින් සිටින ගනේවත්ත මහතා ඉන් කෘති 6ක් මේ වනවිටත් එළිදක්වා තිබේ. ඒ විසිදුනු ප‍්‍රකාශන ලෙස ය. පණ්ඩුකාභය, මිහිඳු සමිඳු වැඩම කිරීම, සිරිමා බෝධිය රැුගෙන ඒම, ගැමුණු කුමරු ලක්දිව එක්සේසත් කිරීම, මහා සෑය ගොඩනැගීම ආදී කෘති ඒ අතර කැපී පෙනේ. මෙවර සංවාදය ගනේවත්ත මහතා සමගයි. ඉතිහාස කතා පොත් පෙළක් දරුවන් වෙනුවෙන් මෙසේ රචනා කිරීමට ඔබගත් තීරණය කාලීන වශයෙන් බෙහෙවින් වැදගත් වූවක්. ඒත් ඔබ මේ කෘති මාලාව අරඹන්නේ පණ්ඩුකාභය චරිතයෙන්. විජය රජු මුල්ම පාලකයා වශයෙන් පොදු පිළිගැනීමක් තිබිය දී ඔබ මේ කෘති පෙළ පණ්ඩුකාභය චරිතයෙන් පටන්ගන්නේ ඇයි? ”විජය” පිළිබඳව තොරතුරු ගොඩනැගෙන්නේ මහාවංශයේ සඳහන් විස්තර ඇසුරින්. ඊට පෙර පවා මෙරට ජනාවාස පැවැති බවට මතයක් තිබෙනවා. ඒත් ඒ බව පුරා විද්‍යාත්මකව ඔප්පු වී නැති බවයි පෙනෙන්නේ. ශිලා ලේඛනවල පවා සඳහන් වන්නේ පණ්ඩුකාභය හෙවත් ”පඬු අබා” ගැනයි. මූල ඉතිහාසයට අයත් වන විජය කතාව ශිලා ලේඛන මගින් ඔප්පු නොවන නිසා ඒ ගැන නිශ්චිතවම කීම ගැටලූ සහගතයි.අනෙක් අතට විජය පුවතේ දැක්වෙන පරිදි විජය යනු ඉන්දියාවෙන් පිටුවහල් කළා යැයි කියන චරිතයක්. ඒ නිසාම විජය පුරාවෘත්තය සලකා බැලූ විට එහි අපට ගත හැකි ආදර්ශයක් නැති තරම්. විජය පුවත දරුවන් පසුවට උගැනීම වෙනම කරුණක්. අපේ අරමුණ වන්නේ දරුවන්ට මෙරට ඉතිහාසය පිළිබඳව උදාර හැඟීමක් ඇතිකරවීමයි. මෙරට අධ්‍යාපනයේ විවිධ අර්බුද ඇතැයි සැලකෙන මේ යුගයේ ඔබ දරුවන් වෙනුවෙන් ඉතිහාස පොත් පෙළක් රචනා කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද? මෙම පොත් පෙළ ලිවීමේ අදහස මුලි‍න්ම මතු කළේ ගෙවිඳු කුමාරතුංග මහතායි. මගේ අදහසේ හැටියට  ඕනෑම රටක ජනතාවට ඉදිරියට ගමන් කිරීමට හැකි වන්නේ ප‍්‍රධාන කරුණු 2ක් දැන සිටියොත් පමණයි. පළමුවැන්න භාෂාවයි. දෙවැන්න ඉතිහාසයයි. කුඩා දරුවන්ට නිවැරැුදි ඉතිහාසය කියාදුන්නොත් තමයි තමන්ගේ මවුබිම පිළිබඳව ජාතිය පිළිබඳව ආදරයක්, ගෞරවයක්, හැඟීමක් හා අභිමානයක් ඇතිවන්නේ. ජාතියට වීරයන් පහළ වන්නේ ඒ තුළින්. අතීත සමාජය කළ වැරැදි ගැන ද ඉතිහාසය උගැනීමෙන් අපට දැනගන්න ලැබෙනවා. අනාගතයේ දී වැරැුදි අවම කර ගැනීමට මේ පාඩම් ප‍්‍රයෝජනවත් වෙනවා. ජනපි‍්‍රය සමාජයේ බොහෝ දෙනා හැරි පොටර්, සුපර්මෑන් ආදී බටහිර ලෝකයේ මවාගත් වීරයන් ගැන කතා කරන මේ යුගයේ අපේ ඉතිහාසයේ නියම වීරයන් මතු කොට දැක්වීමේ අවශ්‍යතාව කවරාකාර ද? අප මෙහිදී සොයා බැලිය යුත්තේ වීරයන් යනු කවුද යන්නයි. වීරයන් ගැන කතා කරන අපි බොහෝ විට පුරුදු වී සිටින්නේ යුද වීරයන් ගැන කතා කිරීමට පමණයි. ඒත් විවිධ ක්‍ෂේත‍්‍රවල වීරයන් සිටිනවා. ධර්ම වීරයන් සිටිනවා. අප කළ යුත්තේ නියම වීරයන්ගේ ස්වභාවය දරුවන්ට කියාදීමයි. පෙරදිග සමාජයේ ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ සහිත බව සහ උපදේශය සපයන පූර්ව කතාවයි ඉතිහාසය විදිහට සැලකුවේ. වීරයන් ගොඩනැගුණෙ ඒ මාර්ගවලින්. ලංකා ඉතිහාසයේ එබඳු වීරයන් සිටියා.එවන් වීරයන් සිටි සමාජයේ ”රොබින් හුඞ්” වැනි වීරයන් මතු කළේ මාධ්‍යවලින්. දුටුගැමුණු වීරයකු බව ඇත්ත. එසේම බුද්ධදාස රජතුමා, සිරිසඟබෝ රජතුමා, සීතාවක රාජසිංහ රජතුමා මෙන්ම ධර්මපාලතුමා ද වීරයන් බවට පත්වෙනවා. ජාතියක් ඉදිරියට යාමට භාෂාව හා ඉතිහාසය අත්‍යවශ්‍ය යැයි ඔබ කියනවා. එහෙත් පසුගිය වකවානුවේ සාහිත්‍යය හා ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් පවා ඉවත් කළා. එයින් ඇතිවූ අනිසි ප‍්‍රතිඵල කෙබඳු ද? භාෂාව, සාහිත්‍ය, ඉතිහාසයට නොසැලකීම නිසා සිදුවූ සමාජ පරිවර්තනය අති විශාලයි. එහි ප‍්‍රතිඵල හොඳින්ම පෙනෙන්නේ අද. ඒ නිසා තමයි ජාතිය ගැන හැඟීමක් නැති, අග මුල නොදන්නා, සංස්කෘතිය පිළිබඳ හැඟීමක් නැති ජාතියක් බිහිවුණේ. සාහිත්‍යය සමාජයෙන් දුරස්වීමෙන් බිහිවුණේ අසංවේදී පිරිසක්. සාරධර්ම නොතකන පිරිසක්. අද සමාජය බැලූවාම ඒ බව හොඳ හැටි අවබෝධ කරගන්න පුළුවන්.ජාතියක් යනු යම් කිසි ජන වර්ගයක් නොව සංස්කෘතියක් තිබෙන ජන වර්ගයක්. ඒ සංස්කෘතිය ඇතුළෙ කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි භාෂාව. තමන්ට අනන්‍ය භාෂාවක් නැති ජනතාවට උසස් සංස්කෘතියක් තිබෙන්නට විදිහක් නෑ. සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමට භාෂාව අත්‍යවශ්‍යයි. පෙරදිග භාෂා අතර සිංහල භාෂාවට ලැබෙන තැන කෙබඳු ද? පෙරදිග භාෂා සමග සසඳා බැලූවොත් සිංහල තරම් ජීව ගුණයෙන් යුත් වෙනත් බසක් නැතැයි කියන්න පුළුවන්. සිංහලයේ කතා බහ තුළ පවා ලාලිත්‍යයක් තිබෙනවා. සංස්කෘත භාෂාවේ පවා මේ තරම් ලාලිත්‍යයක් ඇතැයි සිතන්න බෑ. හින්දි භාෂාව ගතහොත් වසර 700කට වඩා එහා ගිය ඉතිහාසයක් නැහැ. හින්දි සාහිත්‍යය පවා තුල්සිදාස්ගෙන් ඔබ්බට යන්නේ නෑ. එහෙත් සිංහල භාෂාවත් සාහිත්‍යයත් වසර දහස් ගණනක් තිස්සේ නොමැරී පැවත එනවා. එහෙත් මේ තරම් ශක්තිමත් පදනමක් සහිත සිංහල භාෂාව අද අමු අමුවේ ඝාතනය වෙමින් විකෘති වෙමින් තිබෙන බවට විද්වතුන්ගෙන් චෝදනාවක් තිබෙනවා. මගේ අදහසේ හැටියට නූතන භාෂා ගැටලූ ඇතිවුණේ අපේ අයගේම වරදින්. භාෂාව එළදෙනක් බවට පත් කරගන්නේත් සුරබිදෙනක් බවට පත් කරගන්නේත් මිනිසුන්ගේ භාවිතය අනුව බව කියැවෙන සංස්කෘත කියමනක් තිබෙනවා.සිංහල භාෂාවෙන් කිව නොහැකි දෙයක් නැති තරම්.  ඕනෑම අදහසක් කියැවෙන පරිදි වචන ගොඩනැගීමේ හැකියාවක් ඊට තිබෙනවා. එසේ තිබිය දී වෙනත් භාෂාවක වචන යොදා ගැනෙන්නේ අපේ දුර්වලකම නිසයි. වෙනත් භාෂාවලින් එක්වුණු වචන සඳහා හෙළ වදන් සැකසීමට කුමාරතුංග මුනිදාස වැනි පඬිවරුන් ප‍්‍රයත්න දැරුවත් ඒවා ප‍්‍රාමාණික ලෙස සමාජගත වූ බවක් පෙණුනේ නැහැ නේද? කුමාරතුංගයන් මේ වදන් නිර්මාණය කිරීමට ක‍්‍රම කිහිපයක් අනුගමනය කළා. ඉංග‍්‍රීසියෙන් සිංහලට පැමිණි වචන වෙනුවට හෙළ වදන් හඳුන්වාදීම එක් ක‍්‍රමයක්. ”නර්ස්” යන ඉංග‍්‍රීසි වදනට ”හෙදිය” යන්න යෙදීම එක් උදාහරණයක්. අර්ථයෙන් හා රූපයෙන් සමාන වදන් නිර්මාණය කිරීමට ද එතුමා ප‍්‍රයත්න ගත්තා. ටෙලිෆෝනයට ”තලබනුව” යන නම යෙදීම ඊට උදාහරණයක්. එහෙත් මේ වදන් ජනතාව අතරට ප‍්‍රමාණාත්මක අන්දමින් නොගිය බව පෙනුණා. කෙසේ වෙතත් මහානාම දිසානායක වැනි පුවත්පත් කලාවේදීන් කුමාරතුංගයන් යෝජනා කළ හෙළ වදන් තම පුවත්පත් ලේඛනවල දී භාවිත කිරීමට උනන්දු වුණා. අලූත් සංකල්ප සඳහා නිවැරැදි වචන යොදා භාවිත කිරීම කළ යුත්තක්. එය භාෂාවේ දියුණුවට හේතුවක්. එබඳු නිවැරැදි භාවිතයකට පුවත්පත් කලාවේදීන් ඇතුළු බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පෙනෙනවා. ”දැනුවත්” යන්නෙහි සාවාද්‍ය බව විද්වතුන් පෙන්වා දුන් පසු පුවත්පත්වල ”දැනුම්වත්” යන වදන දැන් දැන් භාවිත කරන බව දක්නට ලැබෙනවා. එය හොඳ ප‍්‍රවණතාවක්. සිදුව ඇත්තේ විශ්වවිද්‍යාලවල සිටින ඇතැම් විද්වතුන් මේ හරි වැරැදි පෙන්වා නොදීමයි. පුවත්පත් කලාවේදීන්ටත් ලේඛකයන්ටත් අපහාස කිරීමෙන් පමණක් මේ අර්බුදය දිනාගන්න බෑ. අපේ විද්වතුන් කළ යුත්තේ භාෂාවට සේවය කොට ජාතිය නැංවීම මිස ඔවුන්ගේ පෞද්ගලික හපන්කම් කියා පෑම නොවේ. කෙසේ වෙතත් හෙළ හවුල හා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ජනගත නොවුණේ හෙළ හවුලේ අන්තවාදී භාෂා සංකල්ප නිසා යැයි ඇතැමුන් චෝදනා කළා. කුමාරතුංගයන් ඉදිරිපත් කළේ මූලික වශයෙන් නිවැරැුදි බස් වහර කුමක්ද යන්නයි. එහි අන්තවාදී බවක් පෙනෙන්නට නැහැ. භාෂාව හෙළ වදන්වලින් පමණක් සමන්විත කළ හැකි ද යන්න ගැන කුමාරතුංගයන් විමසා බැලූවා. නිදහස් ව්‍යාපාරය, ජාතිකාභිමානය, ජනතාව තුළ ඇතිවුණු අවධියේ පිරිසිදු ජාතියක් ලෙස පර භාෂාවෙන් යැපෙන්නන් නොවී ස්වදේශීය වහරක් භාවිතයට ගනිමුය යන අදහස බොහෝ රටවල මතුව තිබුණා. කෙසේ වෙතත් හෙළ හවුලේ මූලික අරමුණ නිවැරදි බස් වහර භාවිතයට හඳුන්වාදීමයි.හෙළ හවුල ඉදිරිපත් කළ සංකල්ප සමාජගත නොවුණේ හෙළ හවුලේ වරදක් නිසා නොව සමාජ සංස්කෘතික සෝදාපාළුව නිසයි. පනස් හයේ දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් මේ රටේ යම් ප‍්‍රබෝධයක් ඇති වුණා. ඒත් කල් ගතවීමෙන් නැවත මේ අදහස් යටපත් වී ඉංග‍්‍රීසි මාධ්‍යයට තැන ලැබීම නිසා ස්වදේශික වටිනාකම් අඩුවී ගියා. ”සම්මත සිංහලයක්” ගැන අපි එදා සිටම සාකච්ඡා කරනවා. එහෙත් ”සිංහල හෝඩිය” සම්බන්ධයෙන්වත් තවම අපට එකඟතාවකට පැමිණීමට නොහැකිවී තිබෙන්නේ ඇයි?‍ අයි.ඈම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සම්මත සිංහලය පිළිබඳව යෝජනාවක් රැගෙන ආවත් ඒ සඳහා එවකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධය පළ කළා.හෝඩිය යනු අකුරු වැලක්. හෝඩියේ පැවැති අකුරු පනස් හතරෙන්  ඕනෑම ශබ්දයක් මතු කිරීමේ හැකියාව තිබුණා. ඇතැමුන්ගේ නොදැනුවත්කම නිසා ”ඥ” යන්නද හෝඩියට ඇතුළත් විය යුතු යැයි තර්ක කළා. එහෙම බැලූවොත් ”ක්‍ෂ” වැනි අකුරුත් හෝඩියට එකතු කරන්න වේවි. කෙසේ වෙතත් ඇතැම් සිංහල භාෂා පඬිවරුන් කළේ සිංහල හෝඩිය අවුල් කිරීමයි. පසුව සඤ්ඤක අක්‍ෂර එකතු වුණා. ඉංග‍්‍රීසි ,F, වෙනුවට ”ෆ” යන්න එක් වුණා.ඉංග‍්‍රීසියේ ,Z, අකුර නියෝජනය කරන්නටත් සිංහල හෝඩියට අකුරක් අවැසියැයි ඇතැමුන් කියනවා. එසේම ඉංග‍්‍රීසියේ ,O, අක්‍ෂරයෙන් කියැවෙන ශබ්දය ”ඔයන්න” නොවන බවත් ඊටත් සුදුසු අකුරක් අවශ්‍ය බවත් ඇතැමුන් මත පළ කරනවා. මේ අන්දමට පර භාෂා හැමෙකෙකම ශබ්දවලට අකුරු හඳුන්වාදී ඒවා සිංහල හෝඩියට එක් කිරීම විකෘතියක්. භාෂා ශාස්ත‍්‍ර උන්නතිය සඳහා විශ්වවිද්‍යාලවල කාර්ය භාරය ඔබ ප‍්‍රමාණ කරන්නේ කොහොමද? විශ්වවිද්‍යාල ගැන අද බොහෝ දෙනාගේ විවේචන තිබෙනවා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සිංහල අංශ තරම් පරිහානියට පත් තවත් අධ්‍යයන අංශ තිබෙනවා දැයි සැක සහිතයි. අද සිටින විශ්වවිද්‍යාල උගතුන් පරිපූර්ණ උගතුන් නොවෙයි. ඔවුන්ට ඇත්තේ විෂය කොටස් පිළිබඳ දැනුම පමණයි. වියරණ දන්නා කෙනා සාහිත්‍ය නොදන්නේ ඒ නිසයි. භාෂා සාහිත්‍යයේ පරිහානියටත් මේ අංශභාග උගතුන් හේතුවුණා. විශ්වවිද්‍යාල කළ යුත්තේ ශිෂ්‍යයා අධ්‍යයන ඥාන මාර්ගයට යොමු කරවීමයි. එහෙත් විශ්වවිද්‍යාලවලින් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ. මහාචාර්ය හෙට්ටිආරච්චි වැනි උගතුන් බුද්ධිමතුන් සිටි යුගයට වඩා විශාල වෙනසක් අද විශ්වවිද්‍යාලවල තිබෙනවා. භාෂා ශාස්ත‍්‍ර පරිහානිය දේශපාලනික කාරණයක් හැටියට ද ඔබ දකින්නේ? නිදහසින් පසු ඇතිවූ පනස් හයේ ප‍්‍රබෝධය නිසා උගතුන්ගේ ලොකු පිබිදීමක් ඇතිවුණත් එය දිගින් දිගට ව්‍යාප්තව ගියේ නැහැ. එයින් පෙණුනේ 56 පෙරැළිය දේශපාලන ප‍්‍රයෝජන ලැබීමට යොදාගත් එකක් හැටියටයි. 56 පෙරැළියෙන් සේවාවක් සිදු නොවුණු බව මෙයින් කියැවෙන්නේ නෑ. හැත්තෑ හතේ වෙනසත් සමග සියල්ල තීරණය වුණේ මුදල මතයි. හැමෝම සිතුවේ සල්ලි ගැනයි. භාෂාවෙන්, සංස්කෘතියෙන් ඒ ක්‍ෂණික ලාබ ලබන්න බැරිවුණා. ගස් කපලා, දූෂණ කරලා හරි සල්ලි හොයන්න උනන්දු වුණා. සංස්කෘතික දියුණුව අමතකව ගියා. සාහිත්‍ය මාසයේ මේ සිදුවෙමින් තිබෙන කි‍්‍රයාකාරකම් දෙස භාෂා ශාස්ත‍්‍රඥයකු ලෙස ඔබ බලා සිටින්නේ කොහොමද? සංස්කෘතික අමාත්‍යාංශය මේ රටේ පිහිටවූයේ සංස්කෘතික වර්ධනය සඳහායි. එහෙත් මගේ පෞද්ගලික අදහස නම් සංස්කෘතික අමාත්‍යාංශයක් නොතිබීම වඩා හොඳ බවයි. සංස්කෘතික අමාත්‍යාංශයෙන් සාහිත්‍ය උත්සවයට අනුග‍්‍රහය දැක්වීම මගින් නිල පිළිගැනීමක් ලැබෙනවා. ඒ නිල පිළිගැනීම වංචා සහගත වුණොත් සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදුවන්නේ සංස්කෘතික වර්ධනයක් නොව සංස්කෘතික පරිහානියක්. 57 දී පවා කළේ සංස්කෘතිය දේශපාලනීකරණය කිරීමක්. ඔවුන්ට දිගුකාලීන වැඩපිළිවෙළක් වෙනුවට පැවැතියේ ඒ වසරේ වැඩසටහන පමණයි.මේ කියන දිගු කාලීන වැඩපිළිවෙළ අත්‍යවශ්‍යයි. පොතකට සම්මාන දීම හෝ පොත් ප‍්‍රදර්ශන පැවැත්වීම දේශපාලනික හා ආර්ථික කරුණු පමණයි. දැන් පැමිණ තිබෙන්නේ සල්ලිවලට පොත් ලියන කාලයක්. මෙහෙම ගියොත් සාහිත්‍ය විනිසුරුවන්ටත් පගාව දෙන කාලයක් ඒවි. ඒ නිසා සම්මාන නොදීම සාහිත්‍යයට කරන සේවයක්. පොත් සැණකෙළිවලින් පමණක් සාහිත්‍ය දියුණුවක් ඇති වන්නේ නෑ. කෙසේ වෙතත් සාහිත්‍ය කලාවේ පරිහානිය නර රකුසන්ගේ පිබිදීමක් හැටියටයි හැඳින්විය හැක්කේ. ශ්‍රීනාත් ගනේවත්ත