කේ. ජයතිලක මහතා අභාවප‍්‍රාප්තවන්නට සති කීපයකට පෙර ඔහු සමඟ කළ සංවාදයකි.

කළුඅච්චිගමගේ ජයතිලක මෙලොව එළිය දකින්නේ 1926 ජුනි 27 දා කොළඹ දිස්ත‍්‍රික්කයේ සියනෑ කෝරළයේ, ගඟබඩ පත්තුවේ, රදාවාන පේරුවේ, කන්නිමහර, මැදිහේන ග‍්‍රාමයේදීය. කළුඅච්චිගමගේ අර්නෝලිස් අප්පුහාමි සහ මද්දුමාගේ පොඩිනෝනා යුවලට දා වූ සොයුරු සොයුරියන් නවදෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා මෙන්ම පවුලේ මුල්ම පිරිමි දරුවා ද වූ ජයතිලක ‘අ’ යනු ‘ආ’ යනු කරවූයේ රදාවාන හන්දියේ පිරිමි පාසලෙනි. පසුව  රදාවාන මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් අවධියේ සිට සාහිත්‍ය නිර්මාණකරණයේ විවිධ අභ්‍යාසයන්හි නිරත වූයේය. පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන පෞද්ගලික ආයතන කීපයක විවිධ රැුකියාවන්හි නිරතවන ජයතිලක තරුණයා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සිංහල පිළිබඳ ගෞරව උපාධියක් හිමිකර ගන්නේ බාහිර ශිෂ්‍යයෙකු වශයෙන් ස්ව අධ්‍යනයන්හි නිරතවීමෙනි. නවකතා ප‍්‍රමුඛව විවිධ පොත් ලිවීම ද ප‍්‍රකාශනය ද පසුකාලයේ ජයතිලකගේ ජීවිතය හා බද්ධවන අතර ‘චරිත තුනක්’ සහ ‘පරාජිතයෝ’ ඔහුගේ නවකතා අතරින් බෙහෙවින් ජනප‍්‍රිය වූ නවකතාවය. ‘පුංචිරාළගේ මරණය’, ‘රාජපක්ෂ වලව්ව’, ‘මතු සම්බන්ධයි’, ‘මායා මාලිගා’, ‘කාලෝ අයංතේ’, ‘දෙලොවට නැති අය’, ‘අප‍්‍රසන්න කතාවක්’, ‘පිතාමහ’, ‘අර්ධ නවකතාවක්’, ‘අධිෂ්ඨාන’, ‘පුංචිරාල’, ‘පියා සහ පුත්තු’ සහ ‘මහල්ලෙකුගේ පේ‍්‍රමකතාවක්’ කේ ජයතිලක විසින් රචිත සෙසු නවකතාවය.‘එකගෙයි අවුරුද්ද’, ‘නොනිමි සිත්තම’, ‘අතීරණය’, ‘වජිර පබ්බත’, ‘පුනරුප්පත්තිය’, ‘කටු සහ මල්’, ‘දියණිය ආපසු යයි’ නමින් කෙටි කතා පොත් හතක්ද එළිදක්වා ඇති ඔහු නාට්‍ය, සාහිත්‍ය විචාර, ළමා පොත් ඇතුළුව විවිධ විෂයයන් යටතේ වන පොත් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විට එළිදක්වා තිබේ. ඔහුගේ කෘති පාඨක විචාර අගය කිරීම්වලට ලක්ව ඇතිවා පමණක් නොව විශ්ව විද්‍යාල කීපයකම මානව ශාස්ත‍්‍ර විෂයය නිර්දේශවලටද ඇතුළත්ව තිබේ.
  • මේ දවස්වල කොහොමද ජීවිතේ ගතවෙන්නේ ?

සාමාන්‍යයෙන් මම හැමදාම වගේ උදේට අලූත්කඬේ මගේ පොත් සාප්පුවට යනවා. දවල් වෙනකම් එතන තියන වැඩකටයුතු කරලා එකොළහ දොළහ විතර වෙනකොට ආපහු ගෙදර එනවා. නිර්මාණාත්මක සාහිත්‍යය කටයුතු නම් කරන්නේ නෑ. පර්යේෂණ ග‍්‍රන්ථ, විචාර ග‍්‍රන්ථ වගේ දේවල් සීමිත ප‍්‍රමාණයක් කරනවා.
  • ඇයි නිර්මාණ සාහිත්‍යයෙන් ඉවත් වෙන්නේ ?

>මම හිතන්නේ වයස අවුරුදු තිස්පහත් පනහත් අතර කාලය තමයි කෙනෙකුට සාර්ථකව නිර්මාණ සාහිත්‍යයේ යෙදෙන්න පුළුවන් කාලය. පනහ පැන්නට පස්සේ සාර්ථක නිර්මාණ කළ අය ඉතාම අඩුයි. වයසට යනකොට මතක ශක්තිය පිරිහෙනවා. එතකොට කතාවක් ගලපා ගන්න අමාරුයි. මගේ අන්තිම නවකතාව 1992 ‘මහල්ලෙකුගේ පේ‍්‍රමකතාව’ කියලා කළා. පිටපත් පන්දහක් විතර ගැහුවත් විකුණුනේ නෑ. ඒක තමයි මම ලියපු පොත්වලින් අසාර්ථකම නවකතාව.
  • ඔබ සාහිත්‍ය නිර්මාණකරුවෙක් විදිහට මතුවෙන්න මොනවගේ හේතුද මුල්වෙන්නේ ?

අපි කුඩා කාලේ ගම්වල හැම ගෙදරකම වගේ තිබුණ දෙයක් තමයි හවස බත ඉදෙනකන් ගෙදර ඉන්න ළමයින්ව වට කරගෙන වැඩිහිටියෙක් කතන්දර කියලා දෙන එක. අම්මා, තාත්තා, ආච්චි, සීයා වගේ කෙනෙක්. අපේ ගෙදර මේ කතන්දර කියන එක කළේ අම්මා. අම්මා ජන කතා, සුරංගනා කතා, බණ කතා වගේ විවිධ කතා විශාල ප‍්‍රමාණයක් දැනගෙන හිටියා. එක වතාවක් කියපු කතාවක් නැවත නොකියන්න තරම් විශාල කතා ප‍්‍රමාණයක් ඇය දැනගෙන හිටියා. ඉතිං හැමදාම වගේ හවසට අපි මේ කතා අහන්න පුරුදුවෙලා හිටියා. තාත්තත් පොත් කියවන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලේ දැන් වගේ පොත් සාප්පු තිබුණේ නෑ. ගමේ සති පොළට එනවා පොත් වෙළෙන්දෙක්. ලොකු කුඩයක් දිගෑරලා ඒකේ පොත් තියාගෙන විකුණන එක තමයි එදා පොත් වෙළදාම් කරන ක‍්‍රමේ වුණේ. මේ පොත් වෙළෙන්දා ළඟ වැඩිපුර තිබුණේ කවි පොත්. අතක් කණ ළඟට අරගෙන මහ හයියෙන් මේ පොත්වල තියන කවි වෙළෙන්දා කියනවා. තාත්තා මේ වෙළෙන්දගෙන් පොත් අරගෙන එනවා. අපිටත් ඒවා කියවන්න තහංචියක් දාල තිබුණේ නෑ. ඒ නිසා කුඩා කාලේ ඉදළම ඒ පොත් කියවන එකත් මගේ පුරුද්දක් වෙලා තිබුණා. මම හිතන්නේ මේ කාරණා දෙක තමයි මාව සාහිත්‍යයට යොමු කරන්න පොළඹවන්න ඇත්තේ.
  • පොතක් කියවන්න සාමාන්‍යයෙන් ඔබට කොච්චර විතර කාලයක් ගතවෙනවද ?

ඒ කාලෙ නම් හොද වේගයකින් කියවන්න පුළුවන්කම තිබුණා. විජයබා කොල්ලය පොත එක දවසින් කියෙව්වා. කියෙව්වා විතරක් නෙවෙයි. පොතේ තියන දෙයක් කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා කියන්න මතකයකුත් ඒ කියවීමෙන්ම තිබුණා. දැන් නම් බොහොම හිමින් තමයි කියවන්නේ. දැන් විජයබා කොල්ලය වගේ පොතක් කියවන්න මාසයක්වත් යනවා.
  • සාහිත්‍ය ඇරුණම වෙන මොනවගේ කලා අංශවලටද මුල් කාලෙ ඔබ උනන්දුවක් දැක්වුවේ ?

අනෙක් සියුම් කලා අංශවලට පුංචි කාලේ ඉදළම මගේ දක්ෂතාවයක් තිබුණේ නෑ. මට හරියට අඳින්න පුළුවන්කම තිබුණේ ගොනාගේ චිත‍්‍රය විතරයි. ගායනයටත් හැකියාවක් මට තිබුණේ නෑ. දවසක් ඉස්කෝලෙදි මට කවියක් කියන්න වුණා. කවිය අහගෙන හිටිය අපේ පන්තිය භාර ගුරුවරයා කිව්වා නාකි හරකුන්ට බඩ යනකොට ඔයිට වැඩිය මිහිරියි කියලා. නැටුම් වගේ දේවල්වලටත් මගේ දක්ෂතාවයක් තිබුණේ නෑ. ඒවට විතරක් නෙවෙයි ගෙදරදොරේ වෙනත් වැඩක් කරන්න වුවමනා සාමාන්‍ය හැකියාවන් අතින් ගත්තත් කුඩා කාලේ මම හිටියේ පහළ තැනක. අම්ම වුණත් මාව සැළකුවේ මෝඩයෙක් අදක්ෂයෙක් විදිහට. මල්ලි මට වඩා දක්ෂයෙක් විදිහට හැම වෙලාවෙම අගය කෙරුණා. කැත්තක් උදැල්ලක් අල්ලලා වැඩක් කරන එකවත් වෙනත් මොනම කර්මාන්තයක්වත් හරියට කරන්න මට කවදාවත්ම හැකියාවක් තිබුණේ නෑ. මේ පාරිහාරික ඥානයෙන් තොරකම මගේ ආත්මගත ලක්ෂණයක් වගේ දෙයක්. ඒ නිසාම මම කුඩා කාලේ ගෙදරිනුත් කොන් වුණා
  • ඔබ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධියක් ලබාගන්නේ රටේ අධ්‍යාපන පහසුකම් ඉතාම පහළ මට්ටම පැවතුන කාලයක. කොහොමද මේ කඩඉම පැනගත්තේ ?

ඒ කාලේ තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලය විතරයි. අපේ ගම් පළාත්වලින් විශ්වවිද්‍යාලෙට කෙනෙක් යනවා කියන්නේ බොහොම කලාතුරකින් අහන්න ලැබෙන දෙයක්. මටත් විශ්වවිද්‍යාලෙට යන්න බැරිවුණා. පස්සේ මම ලන්ඩන් විශ්වවිද්‍යාලෙ බාහිර සිංහල ගෞරව උපාධිය කළේ මෙහෙ ඉදලා. ඒ කාලේ එහෙම කරන්න පුළුවන්කම තිබුණා.
  • මුලින්ම ලියපු පොත මොකක්ද ?

පාසල් යන කාලෙම තමයි මම මගේ පළවෙනි නවකතාව ලිව්වේ. හැබැයි ඒක මුද්‍රණය කෙරුණේ නෑ. ඒ කාලේ මුද්‍රණය කියන එක ගැන හිතන්නවත් බෑ. ඒ නව කතාවට වුණේ මොකක්ද කියලත් දැන් මට මතක නෑ. ඔය කාලෙම ඒ කියන්නේ හතලිස් තුනේ මම ‘වියෝ දසුන’ කියලා කවි පොතකුත් ලිව්වා. ඒකනම් පස්සේ කාලේ මට ආය හමුවෙලා 1969දි මුද්‍රණයකුත් කළා. පරාජිතයෝ තමයි මුලින්ම මුද්‍රණය කරපු නවකතාව. මේක ලියලා කාලයක් තිස්සේ මම බලාගෙන හිටියා මුද්‍රණය කරගන්න ප‍්‍රකාශකයෙක් නැතුව. ඒ කාලේ ඔය වැඬේට ඉහළින්ම තිබුණේ සමන් ප්‍රෙස් කියලා ආයතනයක්. ඒකට පොත බාරදීලා අවුරුදු එකහමාරකට පස්සේ එතනින් මට පොත ආපහු දුන්නා මේක මුද්‍රණයට සුදුසු නෑ කියලා. පොත අරගෙන මම ඊළගට ගියේ එම් ඞී ගුණසේන එකට. ඒ අය මේක සලකළා බලන්නවත් බාරගත්තේ නෑ. පස්සේ මරදානේ තිබුණ ගුණරත්න ප්‍රෙස් එකට දීලා ටික ටික ගහන්න මම තීරණය කළා. මුද්‍රණය වුණාට පස්සේ පොත හොදට විකිණුනා. පස්සේ මුලින්ම පොත ප‍්‍රතික්ෂේප කළ සමන් ප්‍රෙස් එකෙන් පොත ඉල්ලූවා දෙවැනි මුද්‍රණයකට. දුන්නා. ඊළගට තුන්වෙනි මුද්‍රණයට පොත ඉල්ලූවේ මුලින් සලකා බලන්නවත් බෑ කියපු එම්.ඞී. ගුණසේන එක. ඒකටත් දුන්නා.
  • කොහොමද පොත් ගහන්න සල්ලි හොයාගත්තේ ?

ඔය වෙනකොට ඉස්කෝලෙන් අස්වෙලා මම තැන් තැන්වල රස්සාවල් කීපයක්ම කරලා තිබුණා. අනික ඒ කාලේ පොත් ගහන්න මහ විශාල වියදමක් ගියෙත් නෑ. රුපියල් දෙසිය පනහක්, තුන්සීයක් වගේ තමයි ගියේ.
  • ඔබ ලියූ නවකතා අතරින් වැඩිම අලෙවියක් තිබුණේ මොන පොතටද ?

මගේ ජනප‍්‍රියම පොත වුණේ ‘චරිත තුනක්’. පිටපත් පන්දාහක් විතර ගියා. ඒක මුද්‍රණය කළාට පස්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලේ විෂය නිර්දේශයට ගත්තා. ඒ නිසා පොත ඉක්මනින් විකිනුනා. පස්සේ මම දන්නෙත් නෑ පොත ගහපු ප්‍රෙස් එකෙන් මට හොරෙන් පොත නැවත මුද්‍රණයක් කරලා. ඒ කාලේ ඔෆ්සෙට් ප‍්‍රින්ටින් තිබුණේ නෑ. අකුරු අමුණලා තමයි මුද්‍රණය කළේ. ප්‍රෙස් එක පළවෙනි මුද්‍රණය විදිහටම අකුරු අමුණලා හොරට ගහලා තිබුණත් පස්සේ මේක අහුවුණා. ඒකට විරුද්ධව මම නඩුවකුත් දැම්මා. රුපියල් දෙදාස් පන්සීයක් ගෙවලා ඒ ගොල්ල නඩුව සමතයකට පත්කරගත්තා.
  • කොහොමද නවකතාවක් ලියන්නේ ?

හුගාක් වෙලාවට පෞද්ගලික අත්දැකීම් ආශ‍්‍රය කරගන තමයි නවකතාවක් ලියන්නේ. අත්දැකීම් මුල්කරගෙන කතාවක් ගොතා ගන්න සමහර වෙලාවට අවුරුදක් දෙකක් යනවා. ඊට පස්සේ ලියන්න පටන් ගන්නවා. මම නවකතාවක් පිටපත් තුනකින් තමයි ලියන්නේ. පළවෙනි පිටපත ඉතාම සීඝ‍්‍රයෙන් ලියාගෙන ලියාගෙන යනවා. ඒක සමහර වෙලාවට මටවත් කියවන්න අපහසු තත්ත්වයේ එකක්. ඊට පස්සේ ඒක බලාගෙන වෙලාව අරගෙන කල්පනා කර කර දෙවැනි පිටපත ලියනවා. අවසාන පිටපතේදි ලියවෙන්නේ දෙවනි පිටපතට සංශෝධන. පොතක් ලියනකොට මම ඒක කිසිම කෙනෙකුට පෙන්වන්නේවත් ඒ ගැන කිසිම කෙනෙක් එක්ක සාකච්ඡුා කරන්නෙවත් නෑ. එහෙම කළොත් ඒ අයගේ අදහස් නිසා මගේ සැළැස්ම වෙනස්වෙයි කියන බයක් හිත ඇතුළේ තියනවද දන්නේ නෑ.
  • මොනවගේ අත්දැකීම්ද තෝරගන්නේ ?ඒවා කොහොමද කතාවට යොදාගන්නේ ?

තදින්ම හිතට දැනුන අත්දැකීම්වලින් තමයි නවකතාවක සිද්ධි නිර්මාණය කරන්නේ. අපේ පවුලේ වැඩිමල් දෙන්නම ගෑනු ළමයි. මේ දෙන්නම කුඩා කාලෙදිම මියගියා. ලොකු අක්කා චන්ද්‍රාවතී වයස අවුරුදු නවයෙදි මියගියා. ඒ කාලේ ඒ සිදුවීම මට තදින් දැනුනේ නැති වුණත් පස්සේ කාලෙදි මතක් වෙනකොට සංවේගයක් දැනෙන්න ගත්තා. මම සාහිත්‍ය නිර්මාණයක් සඳහා යොදාගත්ත මුල්ම තීව්ර අත්දැකීම මේක. චරිත තුනක් නවකතාවේ පියාගේ මිනිය තැන්පත් කරන්න මිනී පෙට්ටිය හදන ආකාරය මම විස්තර කළේ බතලවත්තේ සේතන් බාස් අක්කගේ මිනී පෙට්ටිය හදපු ආකාරය ගැන මගේ හිතේ තිබුණ මතකයෙන්.
  • ඔබ මුලින්ම ලියන්න පෙළඹිලා හිටියේ නවකතා සහ කවි කියලා කිව්වා. කෙටි කතා ලියන්න පටන්ගත්තේ මොන විදිහටද ?

ඉස්කෝලෙ යන කාලේ ඉදළම කෙටි කතාත් ලියනවා. පත්තරවලට කාලයක් තිස්සේ කෙටි කතා ලිව්වත් එකක්වත් පළවුණේ නෑ. පස්සේ මම ලියපු කෙටිකතා එකතුවක් ‘පුනරුප්පත්තිය’ කියලා පොතක් විදිහට මුද්‍රණය කළා. මොන හේතුවක් නිසාද මම දන්නේ නෑ ඒක පුදුම විදිහට විකුණුනා. මුල් කාලයේ මම පත්තර සඟරා ගණනාවකටම ලිපි රචනා ලිව්වා. ඒත් එකක්වත් පළවුණේ නෑ. දුම්බීමේ ආදීනව විස්තර කරලා ‘ධර්ම රශ්මි’ කියන සඟරාවට ලියපු කවි පන්තියක් තමයි පළවුණ මුල්ම රචනාව වුණේ. ‘සුබස’ ‘නුවණ’ ‘සිංහල බෞද්ධයා’ වගේ පත්තර සගරාවලට තමයි ලියපු තරමක් ලිව්වේ.
  • වෙනත් පොත් ලියන්න යොමුවෙන්නේ ?

නිර්මාණ සාහිත්‍ය ලියන එක අත්හැරියාට පස්සේ මම ශාස්ත‍්‍රීය පොත් ලියන්න යොමුවුණා. බුද්ධාගමේ අද තියන පිළිගැනීම් ගැන ලියපු විවේචනාත්මක පොතක් නිසා වතාවක් මට ලොකු විරෝධතාවයකට මුහුණ දෙන්න සිදුවුණා. හාමුදුරුවරු පිරිසක් ගාලූපාර හරස්කරලා රැුස්වීමකුත් පැවැත්තුවා මේකට විරුද්ධව. ඊට පස්සේ ඒක මුද්‍රණය නොකර කාලයක් හිටියා. වර්තමානයේ බුද්ධාගමේ තියන පිළිගන්න අමාරු දේවල් ගැන මම ඉස්කෝලේ යන කාලේ ඉදළම විවේචනාත්මකව බලලා තියනවා. පොළොව යට අවීචි මහ නරකයක් තියනවා කියන එක ගැන මම පන්තියෙදි ප‍්‍රශ්න කළාම ගුරුවරයෙක් ටිකක් කල්පනා කරලා කිව්වා අර පොතේ මෙහෙම තියනවා. මේ පොතේ තියෙන්නේ මෙහෙමයි. තවත් පොතක මෙහෙමත් තියනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ කියලා. ඒ කාලේ ඉදළම මට අගමික භක්තියක් කියලා දෙයක් තිබුණේ නෑ. නමුත් මම ත‍්‍රිපිටකය පවා කියවලා මේ ගැන උනන්දුවෙන් හැදෑරුවා. එතකොට පෙණුන දෙයක් තමයි මේ අද හුගදෙනෙක් කියන භූත ත‍්‍රිපිටකයේ නෑ කියන එක.
  • ඔබේ දරුවන් කවුරුත් සාහිත්‍යයට යොමුවෙලා නෑ. ඇයි ඒ ?

මට දුවලා දෙන්නයි පුතාල දෙන්නයි ඉන්නේ. ඒ හැම කෙනෙකුටම මම හොඳට ඉගැන්නුවා. හැම කෙනෙක්ම අඩුතරමින් එම්.එස්සී. එකක්වත් කරලා තියනවා. දෙන්නෙක් දැන් පිටරට ඉන්නේ. අනෙක් දෙන්නගෙන් එක දුවෙක් එක්ක තමයි මම මෙහෙ ඉන්නේ. දරුවෝ සාහිත්‍ය පැත්තට ඒ තරම් යොමුවුණේ නෑ. මම යොමු කළෙත් නෑ. ඒ අයට කැමති පාරක යන්න මම පහසුකම් සළසල දුන්නා.
  • අනාගත බලාපොරොත්තු මොනවද කියලා මම ඇහුවොත් ?

එහෙම කිසිම දෙයක් නෑ. කරන්න පුළුවන් හරිය පුළුවන් කාලේ කළා. දැන් ඉතිං අසූවත් පැන්නට පස්සේ තව මොනවද අනාගත බලාපොරොත්තු?

 

ප‍්‍රවීණ ලේඛක  කේ. ජයතිලක