අපි‍්‍රකානු මහද්වීපයේ පිහිටි ඇංගෝලාව බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන්නේ වාමාංශික රාජ්‍යයක් ලෙසිනි. අපි‍්‍රකානු කලාපයේ කීර්තිමත් නායකයකු මෙන්ම කවියකු වූ ඔගස්තීනුද නේටෝ ගේ මහජන විමුක්ති හමුදාව ඊට නායකත්‍වය සපයයි. එතැන් සිට  ඇංගෝලාව සාමාන්‍යයෙන් වමට බර හා සමාජවාදී ආණ්ඩු සමඟ සබඳතා පැවැත්වීමට වැඩි කැමැත්තක් දක්වයි. පැරණි සෝවියට් දේශය, වත්මන් රුසියාව හා මහජන චීනය එහිදී ප‍්‍රධාන තැනක් ගනී.


මෙවන් පසුබිමක් තුළ පසුගිය සමයේ ඇංගෝලාවේ චීන ආයෝජන වැඩි වන්නට වූයේ එම පැරැණි සබඳතා ද මුල්කර ගෙනය. චීනයෙන් සහ සමහර ආයෝජන ඇන්ගෝලාවට එන්නේම එරට හා චීනයේ ආර්ථිකය හසුරුවන නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. ඒකක 750 කින් සමන්විත ඇංගෝලාවේ ”එපාට්මන්ට්” සංකීර්ණය එවන් දැවැන්ත චීන ආයෝජනයකි. චීනයට තම ආර්ථික වර්ධනය ළඟාකර ගැනීමට තුන්වැනි ලෝකයේ රටවල කරනු ලබන මෙවන් ආයෝජනවලින් නිබඳ පිටිවහලක් ලැබී තිබෙන බව රහසක් නොවේ. එහිදී ඔවුන්ගේ ගනු දෙනු වාණිජ ක‍්‍රමයටම ඉටුකර ගැනීමට වගබලා ගත්තේය. අතයට ගනුදෙනු හා කොමිස් හුවමාරුවීම් ද ඊට අන්තර්ගතය. එහිදී සමාජවාදී මූලධර්ම ගණන් ගැනෙන්නේ නැත. එක් ඒකකයක් නිවාස 100 කින් සමන්විත මෙම ”එපාට්මන්ට්” සංකීර්ණය ඇංගෝලාවට සාපේක්‍ෂව තිරසාර ආයෝජනයක් වුවද එය එරට ආණ්ඩුවට සාධාරණීයකරණය කිරීමට ආර්ථිකය මෙහෙයවන බලධාරීහු සමත් වූහ.

අවසානයේ සිදුවූයේ කුමක් ද? මෙම දැවැන්ත නිවාස සංකීර්ණයේ අලෙවි වූයේ ඒකක 130 ක් පමණි. අලෙවි නොවූ ඉතිරි සියල්ල ඇතුළුව ණය වාරිකය පොලිය සමඟ චීනයට ගෙවීමට ඇංගෝලියානු රජයට සිදුවීමය. වැඬේ ඇටවූ සමහරුන් රටේ නැති වුණත් ණය බර පමණක් ආණ්ඩුවට ඉතුරු විය.  ‘ගෙවා ගැනීමට බැරි නම් අපට පවරන්න’ චීනය වෙනුවෙන් ඒ කපුකමට යෝජනා ඉදිරිපත් වන්නේ ද එරට බලධාරීන්ගෙන්මය. අන්තිමේ ඇංගෝලාවට තෙල් තිබුණ නිසා වැඬේ ගොඩින් බේරාගැනීමට හැකිවිය. ණය හා වාරික වෙනුවට වැඩිපුර තෙල් සැපයීමට ඇංගෝලා ආණ්ඩුව එකඟ විය. අපට නම් එවන් අකරතැබ්බකදී හුවමාරු කිරීමට තෙල් හෝ වෙනත් ස්වාභාවික ඛනිජ සම්පත් නොමැත.


අපේ රටේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන් ද සමහර නිලධාරීන් හරහා මතුවෙමින් පවතින්නේ මෙවන් යෝජනාවක් දැයි කියන්න දන්නේ නැත. මහින්ද චින්තනයට අනුව ද සාමාන්‍යයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කල්පනා කරන විධි ක‍්‍රමයට අනුව ද එවන් යෝජනාවකට ඉඩක් නැත. එහෙත් බියක් සැකක් නොමැතිව නොරොච්චෝලේ චීනයට පවරා අත පිසදාගන්නා යෝජනා ඉදිරිපත් වෙයි.


නොරොච්චෝලේ ඉදිකිරීමේ ප‍්‍රතිපත්තිය නිවැරදිය. එය නොතිබෙන්නට පැය 24 පුරාම අපට විදුලිය සැපයීමට හැකි නොවේ. මෙරට තුළ ගල් අඟුරු බලාගාර පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූයේ 1985 දී වුවද කි‍්‍රයාත්මක වන්නේ 2005 සිට මහින්ද චින්තනය යටතේය. මේ නිසා එම දේශපාලන තීන්දුවේ වරදක් නැත. එහෙත් එම බලාගාරය ණයට හිලව්වට චීනයට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් වීම ම කොතැනින් පැමිණිය ද එය සාහසිකය. අමාත්‍ය විමල් වීරවංශ ”ආර්ථික ඝාතකයන්” ලෙස සමහර අය නම් කරමින් සිය හඬ අවදි කරන්නේ මේ නිසා දැයි කියන්න දන්නේ නැත.


”පසුගිය දවස්වල පොල්වලට සෙස් බද්දක් දැම්මා. අමාත්‍යංශවලට කැබිනට් පති‍්‍රකාවක් ආව සෙස් බද්ද දැමීම ගැන. අමාත්‍ය මණ්ඩලය තීරණය කළා කැබිනට් පති‍්‍රකාව ගැන සාකච්ඡුා කරල පොල් නිෂ්පාදකයන් සමඟත් සාකච්ඡා කරල මේ ගැන අවසන් තීරණය ගත යුතුයි කියල. බ‍්‍රහස්පතින්දා උදේ අමාත්‍ය මණ්ඩලය ඒක තීරණය කළා.  දන්නෙම නැතුව සෙස් බද්ද පැනවෙනවා. එතකොට ඇමැති මණ්ඩලය මොකටද? හැමදාම වෙන්නේ මොකක්ද? ඉන්නවා ඒ ගොල්ලන්ට පගා දෙන තැරැව්කාරයො ටිකක්. ඒ තැරැව්කාරයො කියනවා දැන් බද්ද වැඩි කරන්න කියල. අපි ගබඩාවල බඩු ගොඩ ගසාගෙන තියෙන්නේ දැන් සෙස් බද්ධ ගහන්න කියල. එතකොට අහිංසක නිෂ්පාදකයා කඩා වැටෙනවා. ආයෙ තැරැව්කාරයන්ගෙ බඩු ටික ඉවර වුණාම සෙස් බද්ද අඩු කරනවා. මේක තමයි කතාව. මේවා කරන්නේ දේශපාලනඥයොද? දේශපාලනඥයන් වැරදි වෙන්නේ මේවා හොයල මේ තක්කඩින්ව හිර ගෙවල්වල යවන්නේ නැති එකට. මේ තක්කඩි ආර්ථික ඝාතක නිලධාරි මාෆියාවක් මේ රට අද සූප්පු කර කර ඉන්නවා.” ”අමාත්‍ය මණ්ඩලයේ බලය මොකක්ද පරමාධිපත්‍ය බලය හෑල්ලූ වෙලා නැද්ද?”


(ප‍්‍රවෘත්ති නිවේදනය: ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය) 


”කවුරු හරි බය නැතුව මේක කියන්න එපායැ.”
විමල්ගේ කතාව ගැන අවංකවම ආණ්ඩුවට හිතවත් අය කියන්නේ එහෙමය. අමාත්‍ය විමල් වීරවංශ මෙහෙම කියනකොට දේශපාලනය දන්නා අයට මතක් වෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වන ජී.එම්. පේ‍්‍රමචන්ද්‍රය.
”අපි ලිපිගොනු කිහිල්ලෙ ගහගෙන ඇමැතිවරු විධියට වරු ගණන් රස්තියාදු වෙනවා. අපට ඇපොයිමන්ට් නෑ. අමාත්‍යාංශය දුවන්න සල්ලි නෑ. ඒත් බිස්නස්කාරයන්ට ආපු ගමන් දොර ඇරිල. මේ ඇමැතිකම්වලින් ඇති වැඬේ කුමක්ද?”


එදා ජී.එම්. පේ‍්‍රමචන්ද්‍ර ඇමැතිවරයා මාධ්‍යවේදීන් සමඟ නිතර කතාබහ කළේ එලෙසිනි. ටික දිනක් ඇවෑමෙන් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයේ පෙරමුණ ගත්තේ ද මේ ජී.එම්. පේ‍්‍රමචන්ද්‍රය. එහෙත් අමාත්‍ය විමල් වීරවංශලා තම නායකයා වෙනුවෙන් එවන් කුමන්ත‍්‍රණකාරී වැඩ කිරීමට සූදානම් නැත. නායකයා වෙනුවෙන් හා එතුමා රැකගැනීමට ඔහුගේ පක්ෂයේ සමහර අයට වඩා අමාත්‍ය විමල් වීරවංශ සිටින්නේ ඉදිරියෙනි. අවංකවමය. ආණ්ඩුව සම්බන්ධයෙන්ද ඔහුගේ ස්ථාවරය එලෙසින්මය. 
එහෙත් ඔහු දේශපාලනඥයෙකි. ජනතාව අතරට යා යුතුය. ඔහු ප‍්‍රශ්න කරන්නේ මෙහෙම ගිහින් ජනතාවට මුහුණ දෙන්නේ කොහොමද කියලාය. ආණ්ඩුව වෙනුවෙන් කඬේ යෑම සුන්දර වුවද නිලධාරිවාදය නිසා ජනතාව වෙනුවෙන් කළයුතු සේවා අඩපණ කරගැනීමට කිසිසේත්ම සුන්දර වන්නේ නැත. වරද ඇත්තේ ආර්ථිකය මෙහෙය වන සමහර අය අත නම් ඊට ඇමැතිකම හෑල්ලූකර ගැනීමට ඔහු සූදානම් නැත. 


”ඇමැතිවරු හැටියට අපි ඉඳලා වැඩක් නැහැ. ඇමැති කමේ ඉඳගෙන මේවාට කතා කරන එක වරදක් නම් මම සූදානම් හෙට මේ ඇමැතිකම දීල මන්තී‍්‍ර කෙනෙක් විදියට සේවය කරන්න.” ඔහු මෙහෙමත් සිතන්නේ කැබිනට් සාමුහිකත්‍වය කියා දෙයක් තිබෙනවා කියලත් සිහිවෙලා විය හැකි ය. එහෙත් රැවුලත් කැඳත් දෙකම එකවිට රැකගත නොහැකි තත්ත්වයට ඔහු පත්ව ඇද්දැයි කියන්න දන්නේ නැත. තරුණකමට කැබිනට් සාමුහිකත්වය මඳකට අමතක වුවද අමාත්‍ය විමල් වීරවංශ කියන කතාවම ඊට වඩා වෙනස් ආකාරයකට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර ද, ආචාර්ය සරත් අමුණුගම ද මීට ඉහත කීපවිටක දී ම සඳහන් කර ඇත. 


මුළු ලෝකයේම ආණ්ඩුවේ ආයතන ඇතත් එම ආයතනවල සේවය කරන ආදායම් බදු ගෙවිය යුතු නිලධාරීන්ගේ ආදායම් බදු ගෙවන්නේ අපේ රටේ පමණකි. 2012 මැයි 8 වැනිදා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර පාර්ලිමේන්තුවේ හෙළිකරන තුරු මේ බව රට දැනගෙන සිටියේ නැත. ඒ අනුව රාජ්‍ය බැංකු තුනක් ඇතුළුව රාජ්‍ය ආයතන 7 ක් එම ආයතනවල සේවය කරන ආදායම් බදු ලාභීන්ගේ ආදායම් බද්ද  ගෙවා ඇත. එම  ප‍්‍රමාණය 2009 රු. ද. ල. 1244 කි. 2010 රු. ද. ල. 2093 කි. 2011 රු. ද. ල. 1422 කි. මෙය රටේ ආදායම් බදු ගෙවන අන් අයගේ මුලික අයිතීන් බිඳ වැටීමක් මෙන්ම නීති විරෝධීය. මෙය රජයට අය විය යුතු එහෙත් අහිමි වී ගිය ආදායමකි. මේවා ගැන සොයා බැලීමට කිසිවකු නැති ගානය. 


1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තම රජය බාර දෙන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 24% කි. 2004 නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරිය රජය බාරගන්නා විට රජයේ බදු ආදායම ද. දේ. නි. 13% කි. 2011 දී එය 12.4% කි. රජය දැවැන්ත සුබසාධන පැකේජයක් ජනතාවට මුදාහරිමින් සිටින්නේ තමන්ට ලැබිය යුතු ආදායම අඩුකරගෙනය. මීට හේතු ලෙස ආණ්ඩුවට උපදෙස් දෙන ආර්ථික විශේෂඥයන් පවසන්නේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට බදු විරාම ලබාදිය යුතු නිසා රජයේ ආදායම අඩුකර ගැනීමට සිදු වූ බවය. එහෙත් දෙන ලද බදු විරාමවල ප‍්‍රමාණයට රටට ආයෝජන ගලා ආවේ දැයි සොයා බැලීමද ඔවුන්ගේ වගකීමට යටත්ය. කිසි දිනෙක විධිමත්ව එවන් සොයා බැලීමකට ගොස් රජයට උපදේශයක් දෙන්නේ නැත. තවමත් යුද්ධය නිමා වී වසර 4 ක් ගත වී ඇති නමුත් වාර්ෂිකව ඇ. ඩොලර් බිලියනයකවත් විදේශ ආයෝජන ලබා ගැනීමට අපි අසමත් වීමු.


එහෙම නම් මෙය මහින්ද චින්තනයේ වරදක් ද? නැත.


”මහින්ද චින්තනයේ සඳහන් වෙනවා ශී‍්‍ර ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක්, වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක්, ගුවන් ගමන්වල කේන්ද්‍රස්ථානයක් කරනවයි කියල. ඒක හරි. ඒකෙ වරදක් නැහැ. එහෙම කිව්වටම වෙන්නේ නැහැනෙ”
(ආචාර්ය හර්ෂ ද සිල්වා - එ.ජා.ප. මන්තී‍්‍ර - ජනහඬ -  ටී. එන්. එල්. 18. 02. 2013)


විපක්ෂයේ ආර්ථිකය ගැන දැනුමක් තේරුමක් ඇති මන්තී‍්‍රවරයකු පවා එය නිවැරදි යයි පිළිගන්නා ගමන්ම එසේ නොවන්නේ ඇයි දැයි ප‍්‍රශ්න කරයි. අමාත්‍ය විමල් වීරවංශ වෙන විධියකින් සඳහන් කරන්නේ ද එයමය. එසේ නම් ක‍්‍රමවේදයේ ප‍්‍රශ්නය වගේ ය. එම ක‍්‍රමවේදය සැකසෙන්නේ මහජන මුදලින් දීමනා හා වරප‍්‍රසාද ලබන රටේ ආර්ථිකය හසුරුවන පිරිස අතින් බව අමුතුවෙන් කිවයුතු නැත. 


වැටෙන්නට ඉඩ නොදී මුදල් ටිකක් එහෙන් මෙහෙන් ලාච්චුවට දාගෙන සිල්ලර කඩයක් පවත්වා ගෙන යෑම ලෙහෙසි ය. එහි වැදගත්කමක් තිබුණද ”එම එදා වේල ටුවර්ස්” ක‍්‍රමයට එතරම් ආර්ථික ඥනයක් අවශ්‍ය වන්නේ නැත. ඉන් සිල්ලරට මුදල් ටිකක් එහෙ මෙහෙ වුණත් මුදලාලිට දැනෙන්නේ නැත. එහෙත් අවශ්‍ය වන්නේ එක සිල්ලර කඩය තව කඩ දෙක තුනක් වී තොග වෙළෙඳාම මුදලාලි අතට පත්කරගත හැකි කළමනාකරුවන්ය.

 

වසන්තප‍්‍රිය රාමනායක