දැවැන්ත වූ අරගලයක නිමාව සටහන් වෙමින් තිබිණ. අපේක්ෂිත අරමුණු අනපේක්ෂිත අන්දමින් මැකී ගියේය. දැන් ඇත්තේ අරගල කිරීමට නොව ජීවිතය බේරා ගැනීමටය යන අදහස සිරි අයියාගේ හිතේ හොල්මන් කරන්නට පටන් ගත්තේය. ඒ අනුව සිරි අයියා ජීවත් වෙන්නට හෙවත් පණ ටික රැක ගන්නට උපා සෙවීය. සියලූ සැලසුම් පමණක් නොව, එකට සිටි සගයන් පවා අලූ අඟුරු වුණු මොහොතක බේරී සිටීමද වාසනාවකි. තව අතකින් මරණය සඳහා තෝරාගත් ලැයිස්තුවේ ‘හරියක්’ දෙකක් හෝ දිනපතා ‘දා’ ගන්නට හමුදාව අර අදින මොහොතකි. ඊළඟට හමුදාවට අසුවූ පක්ෂයේ සමහරු ‘බිල්ලන්’ ලෙස පාවා දෙමින් සිටී.
මේ සියල්ල අතර ජීවිතය බේරාගැනීමේ සටන සිරි අයියාට ලෙහෙසි විනැයි කිව නොහැක.
‘‘එක මොහොතක් ආවා... සම්බන්ධීකරණය අවුල් ජාලයක් වුණා. එකිනෙකා ගැන විශ්වාසය තබන්නට බැරිවුණා. සාමාන්‍යයෙන් සංවිධානයක් කඩන් වැටුණාම ඒක වෙනවා.
ඊළඟට පක්ෂයට අභියෝගයක් තිබුණා පක්ෂයේ නොවන අය ඇවිත් පක්ෂයේ ක‍්‍රියාකාරීන් ලෙස පෙනී සිටීම. සේරම මැරුණට පස්සේ ඕනෑම කෙනෙකුට පුළුවන්, මමත් පක්ෂයේ හිටියා, මමත් නායකයෙක් කියලා කියන්න. මොකද ඇත්තටම පක්ෂයට වැඩ කළාද නැද්ද කියන එක හරියට දන්න කෙනෙක් ඕනෑ. ඒ නිසා පක්ෂයේ අනන්‍යතාව තියා ගන්න නම් ඉතුරු වෙච්ච මම කොහොම හරි නොමැරී ජීවත් වෙන්න ඕනෑ. ඒකත් විශාල අභියෝගයක් වුණා. මොකද පක්ෂය අයිති එය ගොඩනගන්න දහඩිය, ලේ, කඳුළු හෙළපු ජනතාවට. ඒ අයිතිය සැබෑ අයිතිකාරයන්ට බාර විය යුතුයි. බාර කළ යුතුයි.... ඒ නිසා ජීවත්වෙනවා නම් තිබුණු එකම උපක‍්‍රමය විදේශගත වීම. රහසේ මා හමුවූ සියළු දෙනා එම යෝජනාව ඉදිරිපත් කළා...’’
ඒ අනුව සිරි අයියා රටින් පැනීමට තීන්දු කළේය. එහි මුඛ්‍ය අරමුණ වූයේ තමා ජීවත් වී ජනතා විමුක්ති පෙරමුණ සැබෑ අයිතිකාරයන්ට බාර දීමය.
රෙජිනෝල්ඞ් නමින් ගත කළ ජීවිතය අවසන් කර දැන් සිරි අයියා ‘දිසානායක’ වී ඇත. එහෙත් දිසානායකට වුණත් ගුවන් තොටුපළින් නීත්‍යානුකූලව යාම ලෙහෙසි නොවන්නකි. පළවෙනිව, සිරි අයියා තමන්ගේ පවුලේ අය ගුවන්තොටින් ඉන්දියාවට පිටත් කළේය. ඔවුහු දකුණු ඉන්දියාවට සේන්දු වූහ.
දෙවැනිව තමන් රටින් පිටවීමට සැලසුම් ඇන්දේය.
මට රටින් පිටවෙන්න සහෝදරයෝ කීප දෙනෙක් ගොඩක් මහන්සි වුණා. අපි හොයා ගත්ත එකම විදිහ ධීවරයෙක් විදිහට ධීවර වරායකින් බෝට්ටුවෙන් රටින් යාම. ඒකත් ලෙහෙසි වැඩක් නොවෙයි. දවස් ගාණක් ඇවිද ඇවිද ඊට සුදුසුම තැනක් හෙවුවා. මෙතනදී අමතක කරන්න බැරි සහෝදරයෙක් ඉන්නවා. ඔහු තමයි රන්සිරි සිල්වා. එයා මේ වැඬේට ගොඩක් මහන්සි වුණා.
සමහර අවස්ථාවල මේක භයානක අමාරු වැඩක් කියලා තේරෙද්දි මම කිවුවා. ‘‘රන්සිරි සහෝදරයා, ඔය වැඬේ නතර කරමු. රටේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් කරමු’’ කියලා. ඒත් රන්සිරි කිවුවෙම, ‘‘නෑ... නෑ... ඔබ රටින් යන්නම ඕනෑ කියලා. ඇත්තටම රන්සිරි සිල්වා සහෝදරයා කියන්නේ පක්ෂයේ හිටපු ඉතාම ක‍්‍රියාකාරී, ඉතාම එඩිතර කෙනෙක්. මම වැඬේ අත ඇරියත් එයා වැඬේ අත ඇරියෙ නෑ. ඒ අනුව 1990 මුල් කාලේ මම මීගමුවට නුදුරු තැනක ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට ගියා.
හැබැයි මට උදවු කරපු රන්සිරි සහෝදරයාගෙ ඊට ටික දවසකට පසු ජීවිතය අහිමි වුණා. ඔහු පරදින්නේ නෑ කියන අදහසින් වැඩ කරපු කෙනෙක්. එපා කියපු දෙයක් කරන්න ගිහින් ඔහු අත්අඩංගුවට පත්වෙලා තිබුණා...’’
ඒ පිළිබඳව ඊට එහා යමක් සිරි අයියා නොදෙයි. දැන් ඉන්දියාවට ගිය සිරි අයියාට පවුලේ අයද හමුවිය. ඊටත් වඩා ජයග‍්‍රාහී දෙය වූයේ මතු පක්ෂය රැුක ගැනීම උදෙසා එකම දේශපාලන මණ්ඩල සභිකයා ලෙස තමන්ගේ ජීවිතයට පැහැදිලි ජීවත්වීමේ අයිතියක් තහවුරු වීමයි. ඉන්දියාවේ කෙටි දිනක් ගත කළ සිරි අයියා එතැනින් තායිලන්තයට ගියේය. තායිලන්තයේ මාස තුනක් ගත කරමින් ඉන්පසු ඉතාලිය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යයට වරින් වර පැමිණියේය.
ඒ සෑම විටම ලංකාව පිළිබඳව, පක්ෂයේ ආපසු සංවිධානය පිළිබඳ සෘජු මැදිහත් වීමෙහි උන්නේය. ආපසු පක්ෂය ගොඩ නැගීමට දායක වුණු අයගෙන් සමහරු දැන් දේශපාලනේ නෑ. සමහරු දේශපාලනයේ ඉන්නවා. කොහොම වුණත් ආපසු දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව, පිහිටුවාගෙන පක්ෂය ගොඩ නැගුණා. ඒ හැම විටම මම එතෙර සිටියත් ලංකාවේ ගත කළා වගේම තමයි.’’
මම සිරි අයියාට තව ප‍්‍රශ්නයක් යොමු කළෙමි.
‘‘මුළු දේශපාලන මණ්ඩලයම එක රොත්තට මරා දාද්දී ඔබ විතරක් බේරුණේ ආණ්ඩුවේ දේශපාලකයකුට ඥාතිකමක් තිබුණ නිසා නොවෙයිද?
මා විමසන්නේ එදා ජනපති පේ‍්‍රමදාසගේ දකුණු අත බඳුවූ සිරිසේන කුරේගේ ඥාතිකම ගැන බව සිරි අයියා දනියි.
‘‘මගේ එක අක්කා කෙනෙක් විවාහ වුණේ සිිරිසේන කුරේගේ අයියා එක්ක. ඒ නවසිය පනස් ගණන්වල. ඒක නිසා මම බේරුණා කියන එක මඩ ගහන්න ලේසියට හදා ගත්ත එකක්. ඕක කවුද පාර්ලිමේන්තුවෙත් කතා කළා. කිසිම සත්‍යතාවක් නැති බොරුවක්.’’ සිිරි අයියා කියයි.
1993 මහා මැතිවරණය වන විට ජනතා විමුක්ති පෙරමුණ යළි නැගිට තිබිණි. විප්ලවයේ අලූ දූවිලි ගසා රටේ පිළිගත් පක්ෂයක් වීම රෝහණ විජේවීරට පවා ජීවය ලද සිදුවීමක් විය. ඒ අනුව 1993 පාර්ලිමේන්තු මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කළ නිහාල් ගලප්පත්ති සහෝදරයා ජ.වි.පෙ.න් පාර්ලිමේන්තු ආවේය.
නිහාල් ගලප්පත්ති කියන්නේ විජේවීර සහෝදරයා පවා ළඟින් ඇසුරු කරපු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක්. ඔහු පාර්ලිමේන්තුවට ඒම යනු ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා කරනු ලැබූ දැවැන්ත අරගලයේ තීරණාත්මක සහ අති විශිෂ්ඨ වූ ජයක්...
එතැනින් පසු නැවත නැවතත් පක්ෂය ක‍්‍රමයෙන් ප‍්‍රතිසංවිධානය විය. දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සුදුස්සන්ගෙන් පත් කෙරිණි. රටේ පැහැදිලි තත්ත්වයක් උදාවන විට සිරි අයියා 2000 වසරින් පසු ලංකාවට ගොඩ බැස්සේය.
ඔහුගේ පැමිණීමෙන් පසු මුලින්ම ගිය ගමන් කීපය අතරට ගුණරත්න වනසිංහ සහෝදරයා හමුවීමට යද්දී ජීවිතය බේරා දුන් මවගේ නිවස විය. ඒ වන විට ඇය ජීවත්ව නොසිටියාය.
ඊළඟට විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් දේශපාලන මණ්ඩලය අවසන් වරට රැුස්වූ 1989 නොවැ. 12 දිනදී තමා මහනුවර කුලියට රැුඳී සිටි නිවස වෙත ගියේය. එදින රාත‍්‍රියේ සිරි අයියා මළ ගෙදරක යන මුවාවෙන් මීගමුව වෙත ගියේ එහි සිටය.
සිරි අයියා දුටු සැනින් නිවෙස් හිමිකරුවෝ පුදුම වූහ. සතුටට පත්වූහ.
‘‘මම ගියාට පස්සේ මොකුත් ප‍්‍රශ්නයක් වුණාද’’ සිරි අයියා ඇසුවේය.
‘‘නෑ... කිසිම ප‍්‍රශ්නයක් වුණේ නෑ. හමුදාව, පොලිසිය ඇවිත් අපෙන් විස්තර ඇහුවා. අපි ඇත්ත කිවුවා. කුලියට හිටපු කට්ටියක් බව.’’
මේ කඩාවැදීම, නොවැම්බර් 13-20 අතර දිනක සිදුවී තිබුණි. 13 වැනිදා අලූයම මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ළඟ එදා සිරි අයියා කුලියට සිටි නිවස මාර්ගය සම්පූර්ණ හමුදා, පොලිස් බල ඇණි යොදා තිබුණු බවටද අනාවරණය විය.
මේ සියල්ල අතරින් උකහා ගත යුතු දේ නම් 1989 නොවැ. 12 රාත‍්‍රිය තුළ සිිරි අයියාද ඩැහැ ගැනීමේ මෙහෙයුම මහනුවර ක‍්‍රියාත්මක වූ බවය. එහෙත් හමුදාව එන්නට හෝරා දෙක තුනකට පෙර සිරි අයියා ඉක්මන් විය.
අද මේ සියල්ල මතකයකි. හුදු මතකයක් නොව මේ රටෙ අති දැවැන්ත විප්ලවයක මතකයකි. සංහාරයක් මැද තිබුණු අභ්‍යන්තර දේශපාලන ගැටුමක මතකයකි. ඒ විප්ලවයේ නිහඬ මිනිසුන් අපි සොයමු.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සිරි අයියා ඉන්දියාවට පනියි
චන්න බුවනක Thursday, 26 November 2015 06:02 PM
මේ කියන වකවානුව තුල නිරපරාදේ ජීවිත අහිමිවූවන් ගැන මොකද කියන්නේ. මේවා අනුව සිද්ද වූ හැම දෙයක්ම මතකයේ රැඳී තියෙනවා. අදත් එදා සිද්ද වූ දේ නිසා දුක් විඳින අය ඉන්නවා , ඒ උදවියට මොනවාද පක්ෂය කලේ. විජේවීරගේ පව්ල ගැන පක්ෂය මොකද කලේ. අන්න ඒවා ගැන කතා කරන්න, නිකන් බයිලා කතා කරන්න එපා මහත්තයෝ.(රේ)
ලලිත් Friday, 27 November 2015 09:40 PM
අවංකවම මේකට දායකවෙලා දිවි නැති කරගත් අය ගැන කණගාටුවෙනවා. (නි)
ඇන්ජලෝ Friday, 27 November 2015 02:13 AM
ඕක තමා ඇත්ත කතාව. අහිංසකයෝ මැරෙනවා, වැඩකාරයා බේරෙනවා (නි)
දිපාල් Thursday, 26 November 2015 11:40 AM
ඔබට තුති (ම)
චන්ද්‍රසිරි Thursday, 26 November 2015 12:13 PM
සම්පූර්ණ ලිපියම කියෙව්වා. (ස)
අනුර Thursday, 26 November 2015 03:31 PM
හොද ලිපියක්.(හේ)
ඉරේෂ් Friday, 27 November 2015 07:55 AM
ආශාවෙන් කියවූ කතාවක් (නි)