සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ වාහන හා සෙබළුන් ආපසු කැඳවන ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මට කළ දැනුම්දීමකට අනුව අදාල වාහන හා භටයන් යළි ගෙන්වාගැනීමට මා කණ්ඩායමක් යැව්වා යැයි හමුදා භටයන් 12 දෙනෙකු රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදැයි සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහි නඩුවේ විත්තියේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් බි‍්‍රගේඩියර් අශෝක් වීරසිංහ මහතා පැවැසීය. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එලෙස කරන ලෙස දැනුම් දුන්නේ කවුරුන්ද යන්න තමන් දන්නේ නැතැයි කී බි‍්‍රගේඩියර් වීරසිංහ මහතා ජෙනරාල් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම හමුදා භටයින් යළි ගෙන්වීමට හා හමුදා නිල නිවස ලබාගැනීමට කටයුතු කළේ යැයිද කීය. කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ නඩුව විභාග කෙරේ. 2009 නොවැම්බර් මස 16 වැනිදාත් 2010 ජනවාරි මස 27 වැනිදාත් අතරතුර කොළඹදී සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම යෑමෙන් අනතුරුව ඔහුගේ ආරක්ෂාවට අනුයුක්ත නොකොට සිටි යුද හමුදා පොලිස් සේවා බළකායේ සෙබලූන් හට පැවරී තිබූ කාර්යයෙන් හා රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කරවා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව යුද හමුදා සෙබලූන් 12 දෙනෙකුට ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් විසින් දෙන ලද නීත්‍යානුකුල නියෝග ඉටු කිරීම වැළැක්වීමෙන් හා එම නීත්‍යානුකුල නියෝග අනුව කටයුතු කිරීම පැහැර හැරීමට උපදෙස් දෙන ලදැයි ව්තිතිකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත. එමෙන්ම අදාළ හමුදා සෙබළුන් හට නවාතැන් ලබා දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා 41 අතර වේ. සරත් ෆොන්සේකා මහතාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප‍්‍රිය ආනල්ඞ් ද සිල්වා හෙවත් ෂා සිල්වා නමැත්තාට එරෙහිවද නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ දෙවැනි දිනයටත් සාක්කි දුන් යුද හමුදාවේ හිටපු විනයාරක්ෂක නිලධාරි දැනට උතුරු මැද පළාත් ආඥාපති බි‍්‍රගේඩියර් අශෝක් වීරසිංහ (52) මහතා මෙසේද කීය. මෙම වෙනස්වීමේ ලිපියේ පළමුවැනි යුද හමුදා පොලිස් සේවා බළකායේ නිලධාරීන් තිදෙනාම දින 22ක් සේවයට වාර්තා කොට නොමැති බව සඳහන් වෙනවා. හමුදා සෙබළෙකු දින 21ක් නොදන්වා සේවයට වාර්තා නොකළොත් ඔවුන් පැනගිය සෙබලූන් ලෙස සළකනවා. මෙම වෙනස්වීමේ ලිපිය අනුව අදාළ සෙබලූන් ඔවුන්ගේ බළකායේ සෙබළ සංඛ්‍යාවෙන් අඩු කරනවා. එය එක්ස් (x) ලැයිස්තුගත කරනවා ලෙස හඳුන්වනවා. එම සෙබළුන් යළි හමුදා සේවයට ආවොත් ඒ බව යළි වෙනස්වීමේ සටහනක් යොදනවා. ඒ අවස්ථාවේදීත් සෙබළ සංඛ්‍යාව වෙනස් කරනවා. නොදන්වා සේවයට නොපැමිණීම යුද හමුදා පනතේ 206 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. යුද හමුදාවෙන් පැනගිය සෙබලෙකු යුදහමුදා විනය රෙගුලාසිවල 70 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. හමුදා කඳවුරකදී සෑම දිනකම උදේ සහ හවස නම් ලකුණු කරනවා. එලෙස නම් ලකුණු කිරීමේදී නොසිටින අය පැනගිය සෙබලූන් ලෙස සළකනවා. අවසර නොගෙන සරත් ෆොන්සේකා මහතා විසින් රඳවාගෙන සිටින වාහන හා සෙබලූන් රැගෙන ඒම සඳහා 2009/11/25 වැනිදා මා භට කණ්ඩායමක් යවන විට එහි සිටි සෙබළුන් නිවාඩු නොගෙන නොපැමිණ සිටින සෙබළුන් ලෙස සළකා තිබුණේ නැහැ. නමුත් ඔවුන් නොදන්වා නොපැමිණෙන සෙබළුන් ලෙස සැළකුවේ 2009/11/27 වැනිදා 12.00 වැනි පැයේ සිටයි. 2009/12/18 වැනිදා සිට ඔවුන් හමුදාවෙන් පැන ගිය සෙබලූන් ලෙස සැළකීමට පටන් ගත්තා. ඒ බව සඳහන් ලිපි 5ක් බි‍්‍රගේඩියර් වීරසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මේ අවස්ථාවේදී බි‍්‍රගේඩියර් වීරසිංහ මහතාට ලිපියක් පෙන්වන ලදුව එය හමුදා සංඥා ලිපියක් බවත් එය යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සම්බන්ධයෙන් යුද හමුදා වැටුප් හා සලාක අංශයට හා යුද හමුදා දෙවැනි පොලිස් සේවා බළකායට යවා තියෙනවා. මූලස්ථාන බළකායේ රාජකාරි කරන මේජර් එම්. පේ‍්‍රමරත්න විසින් එම ලේඛනය යවා තියෙනවා. මෙම සෙබළුන් තිදෙනාද පැන ගිය සෙබළුන් ලෙස සළකා ඔවුන් සම්බන්ධයෙන්ද වෙනස්වීමේ සටහන් යොදා තියෙනවා. මේ ආකාරයෙන්ම ඉතිරි සෙබළුන් 6 දෙනා සම්බන්දයෙන්ද යුද හමුදාව පැනගිය සෙබළුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත අනුවම කටයුතු කළ බව කියමිනි. එම ක‍්‍රියා පිළිවෙත පැහැදිලි කළ සාක්කිකාර බි‍්‍රගේඩියර් වීරසිංහ මහතා ඊට අදාළ ලේඛනද පැමිණිල්ලේ ලේඛන ලෙස ලකුණු කරමින් අධිකරණයට ඉදිරිපත් කළේය. නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින සෙබලූන් එම කාලය තුළ සේවයට ආවොත් හෝ අල්ලා ගනු ලැබුවහොත් ඔවුන් සේවයට වාර්තා නොකළ කාරණාව විමසා එය සාධාරණ හේතුවක් නම් ඒ ගැන සලකා බලන අතර නැත්නම් ඔවුන්ට දඬුවම් නියම කරනවා. නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන අය යළි සේවයට ගෙන්වාගැනීම සඳහා අපි ඔවුන්ගේ නිවෙස්වලට දැනුම් දනෙවා. ඒ අනුව මෙම සෙබළුන් දොළොස් දෙනාගේ නිවෙස් වලටද දැනුම් දෙන ලෙස මා ඔවුන්ගේ සේනාවිධායක කර්නල් ඇටිපොළට මා දැනුම් දුන්නා. මගේ නියෝග අනුව ඔහු කටයුතු කර තිබුණා. එක් යතුරු පැදියක පැදිකරුවන් දෙදෙනකු ගමන් කරනවා. මුල් අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා වෙත යතුරු පැදි 9ක් සමග සෙබළුන් 18 දෙනෙකු ලබා දී තිබුණා. මෙම සෙබළුන් හා යතුරුපැදි ගෙන්වාගැනීමට ගිය දිනට පසු දින යතුරු පැදි 8ක් එවා තිබු අතර ඉතිරි යතුරුපැදිය අලූත්වැඩියා කටයුතු සඳහා ඊට පෙරම බාරදී තිබුණා. ඒ අනුව යතුරුපැදි සියල්ලම බාර දී තිබුණත් පැමිණ තිබුණේ සෙබළුන් 6 දෙනෙකු පමණයි. ජේ.ර.නි. තොටවත්ත: හමුදා නිලධාරියකුට නිල ඇඳුම් ඇඳගෙන පෞද්ගලික වාහනයක් එළවන්න පුළුවන්ද? සාක්කිකරු: බැහැ ර.නි.තොටවත්ත: නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින සෙබළුන්ට හමුදා නිල ඇඳුම් ඇඳගෙන සිටීමට පුළුවන්ද? සාක්කිකරු: කොහොත්ම බැහැ ර.නි. තොටවත්ත: මෙම සෙබළුන්ට පිටත්වර ලබාගත් ගිනි අවි පාවිච්චි කරන්න පුළුවන්ද? සාක්කිකරු: බැහැ. ර.නි. තොටවත්ත: ඔබ බි‍්‍රගේඩියර් ධුරය දරන විට ෆොන්සේකා මහතාගේ නිලය කුමක්ද? සාක්කිකරු: තරු හතරේ ජෙනරාල්වරයෙක් ර.නි. තොටවත්ත: ඔහු ඔබට වඩා තනතුරු කීයකින් උසස්ද? සාක්කිකරු: තුනකින් පමණ. බි‍්‍රගේඩියර්, මේජර් ජනරාල්, පසුව ජෙනරාල් ර.නි. තොටවත්ත: ජෙනරාල්වරයෙකු විශ‍්‍රාම ගිය පසු ඔහුට තනතුරේ නම කියා කතා කරන ලෙස පනතකින් සම්මත වී තියෙනවද? සාක්කිකරු: නැහැ නමුත් සම්ප‍්‍රදායානුකුලව එසේ කරනවා. ෆොන්සේකා මහතාට අපේ ගෞරවයක් තිබුණා. ඔහු ළඟ තිබූ හමුදා වාහන හා සෙබළුන් ලබා දෙන ලෙස අපි ඔහුගෙන් ඉල්ලීමක් කළා මිස ඒවා බලහත්කාරයෙන් ගෙන ඒමට මා භට කණ්ඩායමක් යැව්වේ නැහැ. මේජර් පේ‍්‍රමලාල් පිළිබඳව ෆොන්සේකා මහතා තර්ජනය කරමින් මට දුරකතන ඇමතුමක් දුන් පසු මා පේ‍්‍රමලාල්ට කතා කොට එතැනින් ඉවත් වන්නැයි කීවා. මා එසේ කීවේ ෆොන්සේකා මහතා කළ තර්ජනය ක‍්‍රියාත්මක වෙයි කියා හිතුනු නිසයි. ජෙනරාල් ෆොන්සේකා මහතා මේ වනවිට පොදු අපේකෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටියා. ඒ වනවිට සෙබලූන් 12 දෙනා ඔහු ළඟ හිටියා. මා ඔවුන් ගෙන්වා ගැනීමට උත්සාහ කළා. ඒ කාලයේදී සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබූ නිල නිවස යළි ලබාගැනීම සඳහා 2009/12/11 දින මා භට කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ද සමග යැවුව අතර ඒ වනවිට එම නිවෙසේ දොරගුලූ දමා තිබූ අතර එහි ආරක්ෂාවට හිටපු භටයින් නිවෙසේ කිසිවෙකුත් නොමැකි බව දැනුම් දී තිබුණා. පැමිණිල්ලේ සාක්කි මෙහෙයවීම එතෙකින් අවසන් විය. ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සාලිය පීරිස් මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් බි‍්‍රගේඩියර් අශෝක් වීරසිංහ මහතා මෙසේද කීය. මා හමුදාවට බැඳුණු 1981දී පමණ තමයි එල්ටීටීඊ යුද්ධය ආරම්භ වුණේ. මා අවුරුදු 30ක් හමුදාවේ හිටියත් කොටි සමග පැවැත්වූ කිසිම සටනකට මා සම්බන්ධ වෙලා නැහැ. කොටින්ට එරෙහිව යුද්ධ කළ මේ නඩුවේ පළමු විත්තිකරු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොටි සංවධානය පරාජය කරන්න විශාල මෙහෙයක් කළා. මා ඔහු රාජකාරි මට්ටමින් හා පෞද්ගලිකව දන්නවා. කොටි සංවිධානය පරාජය කළ දිනයේදී තමයි සරත් ෆොන්සේකා මහතා ජෙනරල් නිලයට උසස් කළේ. 2006 අපේ‍්‍රල් මාසයේදී හමුදා මූලස්ථානය තුළදීම ජෙනරාල් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්වුණේ. ඔහුට කොටින්ගෙන් විශාල තර්ජනයක් තිබුණා. ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුරෙන් විශ‍්‍රාම යන විට ඔහුට රජයෙන් ලබාදී තිබූ ආරක්ෂාව පිළිබඳව විස්තරාත්මකව කීමට මා දන්නේ නැහැ. නමුත් ආරක්ෂාවක් ලබාදී තිබු බව මා දන්නවා. විනිසුරු රාජපක්ෂ: ඔබ හමුදාවේ උසස් නිලධාරියෙකු නේද? සාක්කිකරු: ඔව්. විනිසුරු රාජපක්ෂ: හමුදා නිලධාරීන්ට ඇති තර්ජන ගැන ඔබ දන්නවාද සාක්කිකරු: ඔව්. හැබැයි විනිසුරුතුමනි හමුදා නිලයෙන් විශ‍්‍රාම ගිය පසු එම තනතුරට එරෙහිව එල්ල වී තිබු තර්ජන අඩු වෙනවා. විනිසුරු රාජපක්ෂ: මේ විත්තිකරුට තිබූ තර්ජන ගැන හා එම තර්ජන අඩු වූ බව ඔබ දන්නවාද? සාක්කිකරු: නැහැ. නීතිඥ පීරිස්: සරත් ෆොන්සේකා මහතාට එල්ල වී තිබූ තර්ජන හේතුවෙන් ඔහුට හමුදා භටයින් 500කගේ පමණ ආරක්ෂාවක් ලබා දී තිබූ බව ඔබ දන්නවාද? සාක්කිකරු: ඔව් නීතිඥ පීරිස්: යතුරු පැදිකරුවන්ගේ සේවය ලබා ගන්නේ ඇයි? සාක්කිකරු: ප‍්‍රභූවරයා යන මාර්ගය හා වාහනය පිළිබඳ ආරක්ෂාව ලබාදීම සඳහායි යතුරු පැදිකරුවන් යොදවන්නේ. නීතිඥ පීරිස්: යතුරු පැදිකරුවන් නැත්නම් ත‍්‍රස්තාවාදින්ගේ ප‍්‍රහාර කෙළින්ම ප‍්‍රභුවරයාට එල්ල විය හැකිද? සාක්කිකරු: ඔව්.පැත්තකින් එල්ල වන ප‍්‍රහාර හා සිය දිවි නසා ගන්නා අයගෙන් අනතුරු විය හැකියි. මේ අනුව ෆොන්සේකා මහතා කොටින්ගේ ප‍්‍රධාන ඉල්කකයක්, ඔහුට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වුණා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ පසුවද ෆොනසේකා මහතාට තර්ජන තිබුණාද කියා මා දන්නේ නැහැ. නීතිඥ පීරිස්: මේ රටේ සමහර නිලධාරින්ට හා ප‍්‍රභූවරයන්ට දැනුත් තර්ජන තියෙනවද? සාක්කිකරු: ඒ ගැනත් මා දන්නේ නැහැ. ලූතිනන් ජනරාල් ජගත් ජයසුරිය මහතාට දැනුත් හමුදාවෙන් ආරක්ෂාවක් සපයනවා. ඒ ගැනත් මා දන්නේ නැහැ. මට ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී තියෙනවා. හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික තනතුරට උසස් වූ පසුවද එතුමාට තර්ජන තිබුණා. 2009 නොවැම්බර් 18 වැනිදා එතුමා විශ‍්‍රාම ගිය පසුව ඔහුට ඇති තර්ජන ඉවත් වුණේ නැහැ. නීතිඥ සාලිය පිරිස්: එවැනි තර්ජන තිබියදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ භටයන් ගෙන්වා ගැනීමට ඔබ කටයුතු කළේ? සාක්කිකරු: මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මතයි මා ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ වාහන හා භටයන් යළි කැඳවීමට මා ක‍්‍රියා කළේ. නීතිඥ සාලිය පිරිස්: මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එලෙස භටයන් ඉවත් කිරීමට උපදෙස් දුන්නේ කවුද කියා ඔබ දන්නවාද? සාක්කිකරු: නැහැ වැඩිදුර හරස් ප‍්‍රශ්න ඇසීම අද (16) දක්වා කල් තබන ලදී. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් වන සුදර්ශන ද සිල්වා, රියාස් බාරි සමග ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පෙනී සිටියේය. පැමිණිල්ලට සහය වීම සඳහා යුද හමුදා නීති අංශයේ මේජර් නුවන් ලියනගේ මහතා පෙනී සිටියේය. ෆොන්සේකා මහතා වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නිලන්ති පීරිස්, බුද්ධික රාජකීර්ති, තනුක නන්දසිරි, ලසිත සචින්ත, වරුණ ද සේරම්, අමිල සුයාමිය, අංජන රත්නසිරි, ලිලාන් වරුෂවිතාන, චන්දිම ධර්මසේන සහ රූක්ෂාන් නානායක්කාර සමග නීතිඥ සාලිත පීරිස් මහතා පෙනී සිටියේය. ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥ සඳමාල් රාජපක්ෂ, කැලූම් කුමාරසිංහ, මධුභාෂණ ආරියදාස සමග නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.
මනෝප‍්‍රිය ගුණසේකර