ඒ.ඩී. රන්ජිත් කුමාර

ඔහු සැලකෙන්නේ ඕනෑම කාලයක මතක හිටින චිත්‍රපට ගීත රචකයින් අතරින් වඩාත් සිත් ඇදගත් ප්‍රේමනීය ගීත රචකයා ලෙසය. ඔහු එනවිට මාවත වල් බිහි වී තිබුණි. දැවැන්ත දේවදාර ගස් වටා එතුනු ලිය මඩුළුවලින් ගහණ වූ මේ වන පෙතට හිරු පෑවුවද අඳුරට නිජ බිමක් වී තිබුණි. ඔහු සිය ආත්මික වේදනාවන් දරා ගනිමින් වන පෙත හෙළි කරන්නට වීය.

දැවැන්ත දේවදාර ගසක හිඳ කඩා පනින විසතුරු සර්පයින්ගේ කුරුරු දළ පහරට ඔහු ලක්විය. එහෙත් ආත්ම ශක්තිය ඉන් මිදිනි. අනන්ත දුක් ගැහැට විඳිමින් ඔහු වන පෙත හෙළි කළේය. ඉන්පසු රිසි සේ ඉර එළිය ගලනා නොයෙකුත් උයන් පල්ලෝ ඇති වූහ. එහෙත් මේ කුසුම් ඝාතනය හෙළි පෙහෙළි කළ කරුණාරත්න අබේසේකර නම් එක් ගීත රචකයකුගේ දැවැන්ත හෙවනැල්ල ඔහු මිය ගියත් තාමත් සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයේ හරි අඩක් වසා පැතිරී ඇත.

කලා ලෝකය “කරු” නමින්ද ළමා ලෝකය හා අංකුර කලාකරුවන් “කරු අයියා” නමින් හඳුනන ඔහු උපන් 1930 ජුනි 03 වෙනිදා සවසත් වෙනදා මෙන් මළ හිරු අවරට යමින් තිබුණි.

මාතර බඹරැන්දේ පෝසතුගොඩ එක් නිවෙසක යහනක් මත වැතිරී සිටි ප්‍රේමවතී නම් ගැබිනියට වේදනාව අතරින් වෙනදා විඳ නුපුරුදු පහන් හැඟීමක් දැනෙන්නට විය. පියවි ලොවේ හිරු බැස ගියත් ඇගේ මනෝමය ලොවෙහි හිරු උදාවන්නාක් මෙන් දැණින. ඈ තම කුළුඳුල් දරුවා ලොවට බිහි කළාය.  ඒ කිරිකැටි බිළිඳාට නමක් තැබිණ.

“කරුණාදාස” ඒ ඔහුගේ මුල් නම විය.

එවකට කොළඹ සුළු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පොඩි අප්පුහාමි අබේසේකර, කරුණාදාස බිළිඳාගේ පියා තම කුළුඳුල් පුත් රුවන දුටුවේ සති කිහිපයකට පසුවය. දරුවා කෙමෙන් වැඩුනත් නිතර නිතර රෝගාතුර විය. ඔහු ගැන බලාපොරොත්තු තබා ගැනීමට පවා අමාරු අවස්ථාවක සිටියදී දෙමාපියෝ කොළඹ පැමිණියහ. වෛද්‍ය උපදෙස් මත දරුවා වැඩිණ. කරුණාදාස මුලින් අධ්‍යාපනය ලැබුවේ මාලිගාකන්ද ආණ්ඩුවේ ඉස්කෝලයෙනි. යළිත් උපන් ගමට ගිය ඔවුන් දරුවා මාතර බඹරැන්දේ ගල්කන්ද විහාරස්ථානයේ ආනන්ද නායක හිමියන් වෙතින් පාලි, සිංහල, සංස්කෘත භාෂා ඉගැන්වූහ.

යළිත් කොළඹ පැමිණ නාලන්ද විද්‍යාලයේ ඉගෙනීම ලැබු කරුණාදාස කවියට පෙම් බැන්දේය. කීමෙහි බිනීමෙහි මෙන්ම ගැයීමෙහිද චතුරයෙක් විය. ගුවන් විදුලියේ “ළමා තීරයට” කවි ලීවේය. ගී ලීවේය. ගුවන් විදුලි විරිදු ගායකයකු හා නාට්‍ය හා කවි රචකයෙක් විය. නාලන්දයේ ගුරුවරයෙකු වූ යූ.ඒ.එස්. පෙරේරා ගුවන් විදුලියේ “ළමා තීරය” මෙහෙය වූ “සිරි අයියා” මෙම පුංචි කරුණාදාසගේ නිර්මාණ ශක්තිය ඔප මට්ටම් කිරීමට උපකාරී විය.

1942 වසරේ ඔහු ලියූ කුළුඳුල් කවි පන්තිය  “රත්මලේ කරුණාරත්න අබේසේකර” නමින් ලියුවේය. කරුණාදාස, කරුණාරත්න වූයේ එතැන් සිටය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 12කි. එම කාලයේ ලංකාවේ ප්‍රථම කලා සංවිධානයක් ව තිබූ “නව කලා මණ්ඩලය” වෙනුවෙන් ඒ.ඩී.ජේ. මාතුපාල විසින් පවත්වන ලද සමස්ත ලංකා සාහිත්‍ය තරගයකදී කරුණාරත්න අබේසේකරගේ කවි රචනා මුල්තැන ලබා දුන්නේ නාලන්දාවට ගෞරවය ලබා දෙමිනි. සාහිත්‍යයට ලැදි සිසුන් වූ ගුණදාස අමරසේකර, හෙන්රි ජයසේන, රිජ්වේ තිලකරත්න, සුමන අක්මීමන, චිත්‍රානන්ද අබේසේකර, රවීන්ද්‍ර රූපසේන මෙන්ම ක්‍රිකට්වලට දස්කම් පෑ ස්ටැන්ලි ජයසිංහ ද කරුණාරත්නගේ එදා පන්ති සගයෝ වූහ. නාලන්දේ දක්ෂතම කථිකයා වූයේද ඔහුය.

කරු ඉගෙනීමට දක්ෂයකු වුණත් පවුලේ ආර්ථික ශක්තිය යහපත් තත්ත්වයක නොතිබුණේය. අම්මාත්, තාත්තාත් තමාට බාල සහෝදරයන් අට දෙනාත්, සහෝදරියන් දෙදෙනාත් රැක බලා ගැනීමේ වගකීම පැවරුණේ කරුටය. වරෙක ඔහු ගුවන් විදුලියේ තාවකාලික නිවේදක තනතුරට ඉල්ලුම් කළේය. ගුවන් විදුලියේ පාලන අධිකාරි ජෝන් ලැම්සන්, මහාචාර්ය ගුණපාල මලලසේකර, ආචාර්ය නන්දදේව විජේසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර, ඇස්.ජේ. ද ඇස්. වීරසිංහ දේවගැතිතුමාගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණාරත්න නම් නොමේරූ තරුණයා තමා සතු කුසලතා සහතික ඉදිරිපත් කළේය.

“ඔබ තවම රැකියාවක් කිරීමට වඩා වැඩිදුර ඉගෙනීමට සුදුසුකම් තියෙන ශිෂ්‍යයෙක්. අපිටත් පුළුවන් ශිෂ්‍යත්වයක් අරන්දෙන්න උදව් කරන්න. ඔබට තව වයස තියෙනවා රැකියාවක් කරන්න” ලැම්සන් මහතා කීවේය.

“බොහොම ස්තුතියි සර්. මට ඒ ඉල්ලීම පිළිගන්න අමාරුයි. මම විශ්වවිද්‍යාලයට ගියොත් මට උපාධියක් ලැබේවි. මේ රස්සාව ලැබුණොත් මගේ දෙමව්පියනුත් රැකගෙන සහෝදර සහෝදරියන් හදාගන්න පුළුවන්.”
කරුට තාවකාලික නිවේදක තනතුරක් ලැබුණි. වැඩ කළ එක්දිනකට ශත හත බැගිනි. ඔහු චතුර නිවේදකයකු විය. 1952 අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ අවමගුල් විස්තරය කිරීමට භාර වූයේ කරුටය. මහ රැජින ලංකාවට පැමිණි දින හා එතුමියගේ සංචාරය හා දිවයිනෙන් සමුගැනීම සාර්ථක ලෙස නිවේදනය කළ කරු මුළු රටම හැඬ වූ පුවතක් ද වාර්තා වී ඇත. ඒ බණ්ඩාරනායක මහතාගේ අවමගුල් උත්සවයයි. රොස්මීඞ් පෙදෙස, පාර්ලිමේන්තුවේ සිට හොරගොල්ල වලව්ව තෙක් ඒ දුක්බර නිවේදන කටයුතු ඔහුට කිරීමට වරෙක තම කනිටු සොහොයුරු ගුණරත්න අබේසේකර ද සහාය විය. ගුවන් විදුලියෙන් කරු අගමැතිතුමාගේ අවසන් කටයුතු තම සිහින් සෝබර හඬින් නිවේදනය කළේ අසා සිටි ජනතාව දුක් සයුරේ ගිල්වමිනි. මේ විස්තර කථනය අසන්නාගේ සිතේ චිත්තරූප මවමින් ඔහු නිවේදනය කළදා මගේ මව ඇඬු කඳුළින් එයට සවන් දුන් අයුරු එවකට දොළොස් හැවිරිදි ළමයකු වූ මට හොඳට මතකය.

තම වැඩිමහල් අයියා කරු හා පුරා ගීතයක් ගුවන් විදුලියට ලියු දිනය සොහොයුරු දයා අබේසේකරට මතකය. ඒ එදා නාලන්දයේ තමාගේ පන්තියේම ඉගෙන ගත් ඩබ්ලිව්.කේ. රූපසේන මිතුරා වෙනුවෙනි. ඒ ගීතය “අනුරාපුරේ මේ නීල ජල ධාරා” ය. ඉන්පසුව කරු මිතුරාට ලියු මේ ගීතය ඉතාමත් ජනප්‍රිය විය.
“පෙම් පැණි බී මා හද උදම් කළා

මගෙ සකුන්තලා, මගෙ සකුන්තලා
මේ ගීතය කරු, රූපසේනට ලියා දුන්නා පමණ නොව ඔහුගේ නම “රවීන්ද්‍ර රූපසේන” යයි වෙනස් කළේය.
“සුරතලී” චිත්‍රපටයෙන් රඟපෑමට එක්වූ ඔහුගේ නම ජනප්‍රිය වුයේ එතැන් සිටය.

“මුලින්ම මට ගීත ලියන්න ආරාධනය ලැබුණේ “අසෝකා” (1955) චිත්‍රපටයට. සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාලත්, චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ධර්මදාස කුලතුංගගේත් ඇරයුමෙනි. “සටනකී ජීවිතේ හී දැන්”, කතරගමේ දෙවිගෙ බිමේ”, තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ”, “ලෝකේ සිහිනයක් වගේය”, “සීයා මනමාලයා නාකි ඉලන්දාරියා” මේ ගීතයි. මේ කාලෙම ඩොමී ජයවර්ධනත්, ප්‍රේමනාත් මොරායස් විසින් මා සිනමාස් අධිපති ගුණරත්නම් මහත්තයාට හඳුන්වා දෙනවා. ඔහුට “වරද කාගේද” 1955 චිත්‍රපටයට ගීත ලියන්න අවස්ථාව ලැබෙනවා. මගේ ගීත ඇතුළත් මුල්ම චිත්‍රපට ගීත අහන්න ලැබෙන්නේ “වරද කාගේද” චිත්‍රපටයෙන්. “දලු ලා ප්‍රේම ගසේ”, වියළී කැඩිලා වැටුණා නෑඹුල් සමන් මලේ” ගීත එදා හුඟාක් ජනප්‍රිය වුණා.

1969 ජුනි 27 “විසිතුර” පත්‍රය සඳහා මා ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස කරු අයියා කීවේ චිත්‍රපටයකට ගීතයක් ලියන විට හුඟාක් දුරට ගීත රචකයාගේ නිදහස සීමාවන බවය. ඇතැම් සංගීතඥයන් මා ලවා ගීත නිබන්ධය කර ගැනීමේදී එහි තාල ස්වර නිර්මාණය හින්දි බසින් අරන් එනවා. එහිදී මට ගීතයට වචන යෙදීමේදී හින්දි වචනවල ස්වර විලාසයට යටත් වෙන්න සිදුවෙනවා. ජාඕ, බදාවෝ ආදි වශයෙන් “ආවෝ”, “නොආවෝ” ආදී වචන යොදන්න සිදුවුණා. මා ඇතුළු එකල සිංහල චිත්‍රපටවලට ගීත රචනා කළ ගීත රචකයන්ට සිදුවුණේ සාදා නිම කළ රාමුවකට සරිලන සේ ස්වකීය චිත්‍රය සකස් කිරීමයි. ඔවුන්ට කාව්‍යමය අදහස් ගැන ව්‍යංගය ගැන සංකේත හෝ උපමා උපමේය ගැන තබා සාමාන්‍ය වචන ගැනත් අවබෝධයක් තිබුණේ නැහැ. “සඳට” ඔවුන් දන්නේ “චන්ද්‍රයා” යන වචනයත්, හින්දියෙන් “සඳකිරණ” යන වචනයත් පමණයි. කුමුදුපති, තාරපති, නිශාකර, සිසි, සවස්පති ආදී වචන සඳ වෙනුවෙන් යෙදුවහොත් ඔවුන්ගේ තර්කය වන්නේ සාමාන්‍ය ජනතාවට මේ වචන නොතේරෙන බවයි.”

කරුගේ කවිත්වය මතුවු ප්‍රබල අවස්ථාව වූයේ තම ජීවිත පොතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ තමාට ඉරානි හේරත් නම් යුවතිය පෙම් බැඳි සමයයි. අනන්ත අප්‍රමාණ බාධක බිඳ දා ජයගත් ලස්සන මේ පෙම් කතාවේ ඇතැම් තැන් අරාබි නිසොල්ලාසයේ එන කතාවක් මෙන් අත්භූතය. ඇතැම් තැන් සුරංගනා කතාවක් මෙන් සුන්දරය. මීට වසර 60කට පමණ එපිට සිදුවූ ඒ අත්දැකීම ඉරානි අක්කා විස්තර කළේ මෙසේය.

“කරු මට ආදරය කරන්න ඉස්සර වෙලයි මම කරුට ආදරය කළේ. ඒ එයාගේ කටහඬය. ඔහු ගුවන් විදුලියෙන් කතා කළ හැම වෙලාවෙම මට නොදැනිම වාගේ මගේ දෙසවන් ඒ හඬට ඇදී ගියා. කරු පුවත්පත්වලට ලියු කවිත් ගායක ගායිකාවන්ට රචනා කර දුන් ගීතත් මට දැනුණේ මටම ලියූ ඒවා වගෙ. මම එදා එහෙම කරු ගැන සිහින මවද්දී ඔහු මා ගැන හාන්කවිසියක්වත් දැන හිටියේ නැහැ. කරු ගැන මට තිබුණු ඇල්ම මගේ යෙහෙළියන් කීප දෙනෙක් දැන සිටියා. මමයි, මගේ යෙහෙළියන් හයදෙනෙකුයි කිසිම ආරාධනයක් නැතිව එකල ජනප්‍රිය ගායක යුවළ වූ චිත්‍රා සහ සෝමපාලගේ මංගල උත්සවයට ගියේ නිසැකව කරුව හමුවන බලාපොරොත්තුවෙන්. මගේ එක් යෙහෙළියක් කරු ළඟට ගොස් තමා විසින්ම තමන් හඳුන්වා දී අනතුරුව ඔහු අප සිටි මේසය ළඟට කැඳවාගෙන ආවේ වදෙන් පොරෙන්.

“මේ ඉන්නේ ඉරාණි හේරත්. අපි හය දෙනාටම පෙම්වතුන් ඉන්නවා. මෙයාට විතරයි එහෙම කෙනෙක් නැත්තේ. ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවද? කරු මගේ මිතුරියගේ ප්‍රශ්නයට තිගැස්සුණා” ඉරාණි කීවාය.
කරු නිරුත්තරව ඉරාණි දිහා බලා සිටියේය. යහළුවන් හය දෙනා සටන එතැනින් නොනැවැත්වීය. ඉරාණිව කරු ළඟ වාඩි කළ මිතුරිය ඒ දෙදෙනා කමින් සිටි අයිස් ක්‍රීම් කප් දෙකක් මාරු කළාය. එදා ඉරාණි නිවසට ගියේ දහසක් හැඟුම් පැතුම් පොදි බැඳ ගෙන. ඉරානිගේ මිතුරියෝ ගුවන් විදුලියේ කරුගේ ටෙලිෆොන් අංකයට කතා කොට කතා කිරීමට අවස්ථාව සළසා දුන්හ. “කරු හා ඉරාණි”ගේ ආදරය ආරම්භ වුවත් එයට දෙපැත්තේම දෙමාපියන්ට ආරංචි වී තහංචි පැණ විණ. “අපි මියෙනතුරුම එකට ඉමු” ඔවුන් කතිකා කර ගත්හ. වැඩිම විරෝධය ආවේ ඉරාණිගේ පැත්තෙනි. පාසලින් අස් කරගත් ඇයට ගුවන් විදුලිය ඇසීමට තහනම් විය. මිතුරියන් ඇසුර ද තහනම් විය. ඉරාණි ධනවත් තරුණියක් වූවාය.

“මම එකවර දහස් වරක් මිය යන්න ඇති. කොටින්ම මම සිරකාරියක් හැටියට ජීවත් වුණේ” ඉරාණි කීවාය.
මේ අතර කරු ජීවිතයේ වේදනාවන්ගෙන් මිරිකී සිටි අවස්ථාවක ඉරාණි වෙනුවෙන් ගීතයක් ලියා තිලකසිරි ප්‍රනාන්දු ලවා තනුවක් නිර්මාණය කොට ඔහු ලවා ගායනා කොට තම විරහා වේදනාව ප්‍රකාශ කළේය. (මේ ගීතය පසුව රෝහණ සිරිවර්ධන ද ගයා තැටිගත කොට ඇත).


“එන්න මඳ නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි නුඹට පමණි
සිරගෙයට ඇගේ
දිවා රැයේ වැළපිලා
දැස ඈගෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගේ
කනට ළංවෙලා

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වළා
ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ලංවෙලා

සන්දේශයකින් යවන්න
මෙදුක උන් අතේ
හංස ගිරා කොවුල් කොබෙයියන් නැතේ
සුළඟේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි”
මේ ගීතය කරු සැළකුවේ තම ජීවිතයේ ලියු හොඳම ගීතය ලෙසය. ඉරාණිගේ දෙමාපියන් තම අනාගත බෑණා ලෙස සැළසුම් කර තිබු ධනවත් තරුණයාද සමග කතරගම යාමටය. එහෙත් මේ ගමනින් වැළකී සිටීමට ඉරාණි සමත් වුයේ තම බාප්පා හා පුංචි අම්මාගේ ආරක්ෂාව තිබු නිසාය. ඔවුන්ගේ සහාය ඇතිව ඉරාණි, කරු සමග විවාහ වුයේ ඔවුන්ට හැම අතින්ම උපකාර කළ ස්ටැන්ලි වීරසිංහ හා ජිනප්‍රේමටත් නොකියාය.
“කරු මගෙන් එක ඉල්ලීමක් කළා එදා.” රාණි මගේ ජීවිතයේ හුඟක් දේවල් දෙමාපියන් හා සහෝදරයන් වෙනුවෙන් මම පරිත්‍යාග කරලයි තියෙන්නේ. ඉතුරු අඩ ඔයා වෙනුවෙන් පරිත්‍යාග කරනවා. හැබැයි ඔයා කවදාවත් ඒ අයට වෙනස්කම් කරන්න එපා” කියලා. මම ඒක අකුරටම ඉටු කළා” ඉරාණි පැවැසුවාය.
1959 නොවැම්බර් 30 වෙනිදා ගාලු මුවදොර මහ හෝටලයේදී කරු හා ඉරාණි සියලු බාධක බිඳ විවාහ වූහ. එහෙත් වසර 10ක් ගතවනතුරු දරු සුරතල් බැලීමට නොහැකි විය. විවාහ වී වසර තුනකින් පසු කරු ගායක මිල්ටන් පෙරේරාට ගීතයක් ලියා දුන්නේය.

“අඩකී පිරිලා ඇත්තේ
රස මිහිරි මීවතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ”

1969 ජුනි 30 වෙනිදා එනම් කරු හා ඉරාණිගේ පුතු දිලීප ජගදීශ් අබේසේකර උපන්නේය. ඒ කරුගේ උපන් දිනය වීමද විශේෂය. පුතු උපන් දිනයදා කරු අපුරු කවි පෙළක් පුවත්පතක ලිව්වේය.

දිලීප පොඩි  පුතු සනීපයට නිදි
මවගේ උකුළු යහනේ
කුමාරයාණනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

මේ කවි පෙළ දුටු ගායක ක්ලැරන්ස් විජේවර්ධන තනුවක් නිර්මාණය කොට ගීතයක් ගැයුවේය. දිලීප අද වෙළෙඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. “හීන්සැරේ” ප්‍රචාරක ආයතනයේ නිර්මාතෘ ඔහුය.

චිත්‍රපට ගීත රචනයට සම්මාන දිනු කරුගේ පෞද්ගලික ජීවිතයේ නොකී කතා අපට හෙළි කළේ සොහොයුරු දයා අබේසේකරයි.

“කරු අයියා හවසට ගෙදරදී පැයක් විතර බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙනවා. හරියට දේවාලයක කපු මහත්තයෙක් වගේ. ස්තෝත්‍ර, ගාථා කියනවා. අයියා කතරගම දෙවියන්ට අප්‍රමාණ භක්තියක් තිබුණා. කතරගම දෙවියන් ගැන චිත්‍රපට ගීත කිහිපයක් ලිව්වා. “මහ රෑ හමූ වූ ස්ත්‍රිය” චිත්‍රපටයේ ලියූ මේ ගීතයට 1968 සරසවි සම්මානය ලැබුණා. මෙහි සංගීත නිර්මාණය ඇම්.කේ. රොක්සාමි ගෙනි. ගායනය මොහිදීන් බෙග් ගෙනි.

“සරවන බව කඳසුරිඳුගෙ තෙද බලේ
පළකර තුරුලිය ඔද කළ මද නලේ
සිඹ සිඹ දෙවි සැපැති මැණික් ගං තලේ
සැතපුන මැන සුව යහනක තුන් හෙළේ”

අයියා ගීත රචනා කිරීමෙන් ලැබුණු මුදලින් කතරගම දේවාලයේ තාප්පයේ ඇති මොනරුන්ට විදුලිය ලබාදීම විශේෂයි. අයියා තමාගේ හිස මසාජ් කර ගැනීමට කැමැතියි. මේ සඳහා ඔහු තෝරා ගත්තේ අපේ බාලම මල්ලී රන්ජන් අබේසේකරයි (රාජා) මේ සඳහා අයියා මල්ලීට පැය භාගයකට ශත 5ක් ගෙව්වා. අයියා විවාහ වෙන්න ඉස්සර එයාගේ භාණ්ඩාගාරික මම. අයියාට මාසිකව 1958දී පමණ ලැබෙන වැටුප රු. 260 මගේ අතේ තබන්නේ අවශ්‍ය වෙලාවට ගන්න. මම ඒ ලියුම් කවරය මගේ ට්‍රන්ක පෙට්ටියේ තියල ඉබ්බෙකුත් දානවා.
“දයා මට රු. 10ක් දෙන්න” කියලා දවසේ වියදම ඉල්ල ගන්නේ මගෙන්.

අයියාට දවසකට ඇඳුම් කට්ටල තුනක් ඕනෑ. ලාපාට බුෂ් ෂර්ට් එක ප්‍රියතම ඇඳුම. උදේට එකක්. දවල්ට කෑම කාලා නැවත ගුවන් විදුලියට යන කොට තව එකක්. හවස ගෙදර ඇවිත් නැවත එළියට යන්නේ තවත් ඇඳුම් කට්ටලයකින්. අයියා කොණ්ඬේට පරෙස්සමින් සාත්තු කළා. ඒ කාලේ මිල අධිකම හෙයා ක්‍රීම් තමයි අය්යා පාවිච්චි කළේ. “ලැවන්ඩර් බි්‍රලියන්ට් හෙයා” ක්‍රීම් බෝතලයක් රු. 3ක්. ඔහුගේ පනාව “බාබර් කොම්බ්” එකක්. කෙස් ගස් ටික හරියට නූලට පීරනවා. කොණ්ඩය ඇලෙන්න. කිසිම අවුලක් නැහැ. පුංචි බොරැල්ලේ බෝගහ ගාව තිබුණ බාබර් සාප්පුවේ ධර්මදාස අයියා තමයි අයියාගේ කොණ්ඬේ කැපුවේ. අයියා ගාව නිතරම සුවඳයි. අයියා හරිම පිරිසුදුයි. හිනාව හිත් ඇද ගත් සුළුයි. ගමන් ගියේ ට්‍රැම්ප් කාර් එකෙන්. අය්යා හවසට ඇස් වාට්ටුවේ “ලංකා කෙමිස්ට්” ෆාමසි එකේ ඉස්සරහා ලියනගේ අයියා එක්ක කදේ දාගෙන ඉන්නවා. අයියා හැන්දක ප්‍රමාණයකට වත් බීර එකක් බීල නැහැ. මත්පැන් බීලම නැහැ. ෆෝඒසස් සිගරට් නම් බිව්වා තදේට. ඉරාණි අක්කා අයියට සීනිදාල තේ දුන්නේ නෑ. ඒ නිසා පුංචි බොරැල්ලේ ඩිමැල් බේකරියට ගිහින් සිනිදා තේ බිව්වා” අපේ ගෙදර නිතර ආව ගිය ජෝතිපාල හා මිල්ටන් පෙරේරා. ජෝතිපාල ආව ගමන් සරමක් ඉල්ලගෙන අයියත් එක්ක බැල්කනියට වෙලා ගීත ගැන කතා කරනවා.

අයියාට චිත්‍රපට ගීත ලියන්න ගිහින් වුණ අත්දැකීම් දෙකක් මට මතකයි. “ශූරයා” චිත්‍රපටයේ අයියා ලිව්වා “දුප්පතාට නෑ සැප ලෝකේ” කියලා. නමුත් ගීත ගැයූ මොහිදීන් බෙග්ට “නෑ සැප” කියන්න බැහැ. කියන්නෙම “නේ” කියලා. සංගීත අධ්‍යක්ෂ එස්. දර්ශන මූර්තිත්, අයියාත් කොතරම් වෑයම්කළත් බෙග් කියන්නෙම “දුප්පතාට නේ” කියලයි. පස්සේ අයියා “දුප්පතාට කෝ සැප ලෝකේ” කියලා වෙනස් කළා. දවසක් අයියා ගියාලු හෝටලයකට තේ බොන්න. තේ හදපු ළමයා අතින් කෝප්පයක් කැඩුණාලු. මුදලාලිට හොඳටම කේන්ති ගිහින්. “උඹ මේ සුමානෙට කෝප්ප කීපයක් කැඩුවද?      මම උඹේ පඩියෙන් සේරම අඩු කර ගන්නවා” කිව්වලු. අය්යා පුංචි කඩදාසියක අරන් සින්දුවක් වචන පෙළක් සටහන් කළා.

“වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුණාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනම පඩියෙන් අඩු කරනවා.”

දයා අබේසේකර කරු අයියා ජීවිතයෙන් සමුගත් දිනය සිහිපත් කළේ කඳුළු පිරි දෙනෙතිනි.
“අයියා උදරාබාධයකින් පෙළුණා. මාස කිහිපයක් වැඩක් නොකරම හිටියා. මේ අතර අයියාට මරණයේ පණිවිඩය ලැබිලා තිබුණි. “ආයුදායකයාණි” කියන ගීතය අවසන් වරට ලියල තිබුණා. එයින් කියවුණේ මට තව වසර කිහිපයක් ජීවත් වෙන්න ඉඩ දෙන්න” කියන ආයාචනය. එදා රෑ (1983 අප්‍රේල් 20) අයියා රූපවාහිනිය බලන් හිටියා.

“අද නං වෙනදා වගෙ නොවෙයි. මට ටිකක් අමාරුයි” අයියා අමාරුවෙන් කිව්වා.
මම අපේ හිතවත් විශේෂඥ වෛද්‍ය එච්.එච්.ආර්. සමරසිංහ මහතාව කැඳෙව්වා. ඔහු සරම පිටින්ම අයියා බලන්න ආවා. අපේ අම්මාට පඩි නගින්න හොඳ නැහැ. අම්ම යන කොට ඉරාණි අක්කා අයියගේ පපුව අතගානවා. අම්මා දැනන් හිටියා අයියා නැතිවෙන බව. “මොන ජීවකයා ආවත් දැන් වැඩක් නැහැ” අම්මා කිව්වා. දොස්තර සමරසිංහ එනවිට අයියා දරුණු හෘදාබාධයකින් අයියා නැතිවෙලා.”