ජනාධිපතිවරණය සම්බන්ධව දරන ස්ථාවරය කෙබඳුද? ජනතාවට දෙන පොරොන්දු ඉටුකළ හැකිද? බදු අඩුකිරීම ප්‍රායෝගිකද? ජාතික ආරක්‍ෂාව පිළිබඳව දෙන සහතිකය කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තව ඇත්තේ දින දෙකයි. ඔබේ ස්ථාවරය මොකක්ද ?

පිළිතුර:- මෙම මැතිවරණයෙන් අපි ඉතාමත්ම පැහැදිලි ජයග්‍රහණයක් ලබන බවයි මගේ ස්ථාවරය. මගේ විතරක් නෙමෙයි මුළු රටේම ස්ථාවරයත් එයයි.

ප්‍රශ්නය:- ප්‍රතිවාදී අපේක්ෂකයන් ගණනාවක් ඔබට එරෙහිව පිටියේ සිටින මොහොතක, ඔවැනි ස්ථාවරයක් ගැනීමේ හැකියාවක් තිබෙනවාද ?

පිළිතුර:- මෙම මැතිවරණයේ ප්‍රතිඵලයට  බලපෑමක් කළ හැකි  ප්‍රධාන කඳවුරු තිබෙන්නේ දෙකයි.  ඉන් මා නියෝජනය කරන්නේ රටට ආදරය කරන, රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින,  රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන කඳවුරයි. ඒ කඳවුරේ මට නාමයෝජනා දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු  පක්ෂ ගණනාවක්,  විවිධ ජාතික සංවිධාන, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, පූජ්‍ය පක්ෂය හා රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් සිටිනවා. මේ අවස්ථාවේ ප්‍රබලම කඳවුර එය බව සියලු සමීක්ෂණ වාර්තාවලින් පෙනී යන නිසා මට ඒ ස්ථාවරය ගන්නට පුළුවන්.

ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන බලවේග සුළු ජාතික ජනකොටස් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වටා ගොනු වී සිටිනවා. සුළු ජාතික සහාය නැතිව ඔබට ජයගත හැකි ද ?

පිළිතුර:- උතුරේ දේශපාලන බලවේග අද  සිටින්නේ එක මතයක නොවෙයි. ඔවුන්ගෙන් සමහර අය දෙමළ අපේක්ෂකයකුට සහාය දක්වනවා. තවත් අය කිසි කෙනකුට සහාය දක්වන්නේ නැහැ. අපටත් ඍජුවම සහාය දෙන පක්ෂත් උතුරේ තිබෙනවා.  ඒ නිසා උතුරේ සියලු දේශපාලන බලවේග එක් අපේක්ෂකයකුට සහාය දෙනවා යන්න සාවද්‍ය මතයක්. අනෙක් අතට උතුරේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වසර 5 ක් තිස්සේ පළාත් සභාවේ බලය දරා සිටි දෙමළ සන්ධානය අසමත් වීම නිසා අද ඔවුන්ගේ ජන පදනම් දුර්වල වී තිබෙනවා.  ඒ නිසා උතුරේ ජනතාව මෙවර බුද්ධිමත්ව කල්පනා කොට ඔවුන්ගේ ඡන්දය භාවිතා කරනවා ඇතැයි අප විශ්වාස කරනවා. මුස්ලිම් ජනතාව සම්බන්ධයෙනුත් තත්ත්වය එලෙසමයි. අද ඔවුන් තේරුම් ගෙන තිබෙනවා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා මෙන්ම ආරක්ෂාව සඳහා ශක්තිමත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව. මේ අනුව 2015 ට වඩා වැඩි සුළු ජාතික ඡන්ද ප්‍රතිශතයක් අපට ලැබෙන බව අප හොඳින්ම දන්නවා. එයත් අපේ ජයග්‍රහණයට රුකුලක්.

ප්‍රශ්නය:- ජාතික ප්‍රශ්නය විසඳීමට අලූත් ව්‍යවස්ථාවක් ගැන බලය බෙදීම ගැන වේදිකාවේ කියැවෙනවා. ජාතික ප්‍රශ්නය විසඳීමේ ඔබේ වැඩපිළිවෙළ මොකක් ද ?

පිළිතුර:- අප පෙනී සිටින්නේ ඒකීය රටක් තුළ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. මේ රටේ සෑම පුරවැසියකුටම තම අනන්‍යතාව රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමේ අවස්ථාවත්, ආර්ථික වශයෙන් දියුණු වීමට සමාන අවස්ථාවත් ලබා දිය යුතුයි.  ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක අරමුණ විය යුත්තේ සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටුකළ හැකි  ධනාත්මක  රාජ්‍ය තන්ත්‍රයක් ස්ථාපිත කිරීමයි.

ප්‍රශ්නය:- ආර්ථීක කරුණු කෙරෙහි දේශපාලන වේදිකාවේ වැඩි බර තැබීමක් ඇති බව පෙනෙනවා. ඔබේ ආර්ථීක ප්‍රතිපත්තිය මොකක් ද ?

පිළිතුර:- මම රටට හඳුන්වාදෙන්නේ ‘ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක්’.  ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක මූලික ගුණාංග හතරක්  තිබෙනවා. පළමුවැන්න මේ රටේ ජීවත්වන සෑම පුරවැසියකුටම යම් කිසි ආර්ථික ස්ථාවරත්වයක් ලබාදිය යුතුයි යන්නයි. ඒ අනුව දිළිඳුකම මේ රටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙනවා. දෙවැන්න සෑම පුරවැසියකුටම දියුණු වීම සඳහා සම අවස්ථා ලබා දිය යුතුයි. දේශපාලන බලය, මුදල් බලය, නෑදෑ හිතවත්කම් නොමැතිව ඕනෑම අයකුට මේ රට තුළ රැකියා කරන්නට, ව්‍යපාර කරන්නට  අවස්ථාව තිබිය යුතුයි. තුන්වැන්න සෑම පුරවැසියකුගේම ගෞරවය හැම විටම ආරක්ෂා විය යුතුයි යන්නයි.  නීතිය සැමට සමානව හා සාධාරණ ලෙස ක්‍රියාත්මක වීම, අල්ලස් දූෂණවලින් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවය ආදිය මේ තුන්වැනි කොටසට අයිති වෙනවා. සිව්වැන්න තමයි දේශීයත්වයට ප්‍රමුඛත්වය දීම. මේ යටතේ දේශීය ව්‍යපාරවලට විශේෂ රැකවරණයක් ලැබෙනවා. එසේම රැකියා අවස්ථා ලබාදීමේදීත් ස්වදේශිකයන්ට පහසුවෙන් කළ හැකි රැකියාවලට විදේශිකයන් යොදා ගැනීම දිරිමත් නොකළ යුතුයි..

ප්‍රශ්නය:- සහන පැකේජ, බදු අඩු කිරීම, ණය කපා හැරීම්, නොමිලේ පොහොර දීම ආදිය ගැන පොරොන්දු රැසක් ලබා දී තිබෙනවා. මේවායේ ප්‍රායෝගික බවක් තිබෙනවාද ?

පිළිතුර:- අප ඉදිරිපත් කරනා සෑම යෝජනාවක් පිටුපසම තිබෙන්නේ කාලයක් තිස්සේ කළ  දීර්ඝ හා ගැඹුරු සාකච්ඡා හරහා මතු වූ අදහස්.  ඒ සියල්ලේ ප්‍රයෝගික බව සලකා බලා තමයි ඒ යෝජනා ඉදිරිපත් කොට තිබෙන්නේ. අද මේ රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් ඉන්නේ ඉතා අසීරු තත්ත්වයක. ව්‍යාපාරවල තත්ත්වයත් එසේමයි. මේ අසීරුතාවලට කෙටිකාලීනව යම් සහන සලසන අතර  නිද්‍රෝපගතව සිටින ආර්ථිකය යළි පණගැන්වීම සඳහා අපට යම් තීන්දු ගන්නට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම මන්දෝත්සාහීව සිටිනා ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය යළි ගොඩ නැංවීම හා ඔවුන්ව නැවතත් සක්‍රීයව ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම කාලින අවශ්‍යතාවක්.

ප්‍රශ්නය:- රාජ්‍ය ආදායම් පහළ ගොස් ඇති පසුබිමක බදු අඩු කිරීම් කොතරම් දුරට ප්‍රායෝගිකව කළ හැකි ද ?

පිළිතුර:- වර්තමාන රජය බලයට ආ පසු රාජ්‍ය වියදම් පෙර තිබුණාට වඩා සියයට 100 කටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ජනතාවට ලැබුණ විශේෂ සහනයක් හෝ ඵලදායි ආයෝජනයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ඉහළ ගිය වියදමෙන් විශාල ප්‍රතිශතයක් වංචා දූෂණ හා පරිපාලන දුර්වලතා නිසා නාස්ති වෙනවා. අපට මේ නාස්තියෙන් සුළු කොටසක් කෙටිකලක් තුළ පාලනය කරගත හැකිනම් අපි පොරොන්දු වී ඇති සියලු සහන ඒ මගින් පමණක් පියවා ගන්න පුළුවන්. මීට අමතරව අඩු කරන බදු මුදල් ආයෝජන ලෙස, ඉතිරිකිරීම් ලෙස හා පාරිභෝගික වියදම් ලෙස යළි ආර්ථිකයට එකතුවෙනවා. අපේ ප්‍රතිපත්තී ක්‍රියාත්මක වන විට සමස්ත ආර්ථික ක්‍රියාවලියම පණගැන්වී එමගින් ජාතික ආදායම වැඩිවෙනවා. සමස්තයක්  වශයෙන් ගත් කල බදු අඩු කිරීම නිසා රටට සිදුවන්නේ යහපතක්.

ප්‍රශ්නය:- ගොවියාට නිකං පොහොර දුන්නාට වතුකම්කරුවන්ට රුපියල් 1,000ක් දුන්නාට ආර්ථීකය දියුණු වෙන්නේ නැහැ. ආර්ථීකය නංවා ජනතාව ශක්තිමත් කරන වැඩපිළිවෙළ මොකක් ද ?

පිළිතුර:- ගොවියාට පොහොර නොමිලේ දෙන්නේ කෘෂිකර්මාන්තය යළි පණ ගන්වා රටේ ආහාර සුරක්ෂිත භාවය ඇති කරන්නටයි.  අපට අවශ්‍ය වී ඇත්තේ පුරන් වී ඇති කුඹුරු පවා වගා කරන්නටයි. ඒ සමගම ගොවියාව ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතයට යොමු කොට ලංකාව කාබනික පොහොර යොදා කරනා කෘෂි නිෂ්පාදන සඳහා ලෝක වෙළෙඳපොළේ පවා ඉල්ලුමක් නිර්මාණය කර ගන්නටයි. ඊට සමාන්තරව වැව් පිළිසකර කිරීම, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිතය වැනි පුළුල් ජාතික වැඩපිළිවෙළක්  දියත්වෙනවා. වතුකම්කරුවන්ට ජිවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන් දිරිමත් කරනා ගමන් වැවිලි කර්මාන්තය නගා සිටවන්නටත් රාජ්‍ය මැදිහත් වීම සැලසුම් කොට තිබෙනවා. මේ සියලු තීරණ ආර්ථිකය නගා සිටවීමේ පුළුල් වැඩපිළිවෙළක කොටස්.

ප්‍රශ්නය:- ජාත්‍යන්තරය සමඟ රාජපක්ෂලාට යහපත් සබඳතා නැති බව බොහෝ විට කියැවෙනවා. ඔබේ විදෙස් පිළිවෙත කෙබඳුද ?

පිළිතුර:- අපට යුද්ධය අවසන් කරන්නට එදා පුළුවන් වුණේ ඉන්දියාව හා තවත් බොහෝ රටවල සහාය ලබා ගැනීමට අපට හැකියාව තිබුණ නිසායි. එහෙත් ජාත්‍යන්තර අත පෙවීම් වලට අප ඉඩ නොදුන් නිසා රටවල් කිහිපයක් ඒ අවස්ථාවේ උරණ වන්නට ඇති. අපි අනාගතයේ ක්‍රියාත්මක කරන්නේත් සියලු රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වන, කිසිදු රටකට අපේ  ස්වෛරීත්වය පවා නොදෙන, ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා හඳුනාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ලබන විදේශ ප්‍රතිපත්තියක්.

ප්‍රශ්නය:- රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඔබලාගේ පාර්ශ්වයෙන් විවේචනයට ලක්වන මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කියන්නේ කුමක් ද ? ඔබගේ පාලනයක් යටතේ එයට අත්සන් තබනවා ද ?

පිළිතුර:- ඕනෑම ගිවීසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයටම අවශ්‍යතාවක් තිබිය යුතුයි. දෙපාර්ශවයටම ඉන් වාසියක් සිදු විය යුතුයි. පසු කාලයේ වර්තමාන රජය විසින් අත්සන් කළ ගිවිසුම්වල එම තර්කානුකූල විග්‍රහය අප දුටුවේ නැහැ. ඒවා බොහෝ විට ඒකපාක්ෂික, ලංකාවට ආවාසි ගෙන දෙන ගිවිසුම්. එහෙත්  රටට අහිතකර කිසිදු ගිවිසුමක් අපේ රජයක් යටතේ අත්සන් කරන්නේ නැහැ. ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අවසන් තීරණය ගන්නේ අදාළ විෂය පිළිබඳ  පුළුල් අධ්‍යයනයකින් පසුවයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසීමත් වැදගත්.

ප්‍රශ්නය:- ගෝඨාභය ආවොත් රටේ බිහිවන්නේ මිලිටරි පාලනයක් ය, යන චෝදනාව ප්‍රතිවාදී වේදිකාවෙන් නැගෙන්නක්. ජනතාවට අද තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේවි කියා ඔවුන් කියනවා. මේ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්න.

පිළිතුර:- මිලිටරි පාලනයක් බිහිවන්නේ රටක පාලනය මිලිටරි නායකයකු විසින්  බලය යොදා අල්ලාගත් විටයි. මම ජනාධිපති බවට පත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් ලබා ගන්නා මහජන වරමින්. ලෝකයේ ඕනෑ තරම් රටවල හමුදා පසුබිමක් ඇති නායකයන්  ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණ ඉතා  සාර්ථක රාජ්‍ය නායකයන් බවට පත් වී තිබෙනවා. මටත් ඒ අවස්ථාව තිබෙනවා. දිගින් දිගටම ඡන්ද කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අයිතිය වන ඡන්දය දීමේ අයිතිය පවා ජනතාවගෙන් උදුරාගත් අය තමයි අද මට මේ ආකාරයට ඇඟිල්ල දික්කරන්නේ. පසුගිය කාලයේ රාජ්‍ය බලය  අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන්ව මර්දනය කළ හැටි ඔවුන්ගේම කඳවුර තුළින් අද හෙළිදරව් වෙමින් පවතිනවා.  අප ජනතා වරම ඉල්ලන්නේ ඒ තත්ත්වය වෙනස් කොට ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දීමටයි.

ප්‍රශ්නය:- සුරක්ෂිත රටක් බිහි කිරීම ගැන ඔබ නිතරම කියන්නේ ඇයි? ජාතික ආරක්ෂාවට  ඔබ දෙන සහතිකය කුමක් ද ?

පිළිතුර:- ආරක්ෂිත පරිසරයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්.  රට සාම කාමී නැත්නම් දේශීය හෝ විදේශීය ආයෝජන සිදු වන්නේ නැහැ. මිනිස්සුන්ට නිදහසේ රැකියා කරන්න බැහැ.  සමස්ත ආර්ථික ක්‍රියාවලියම දුර්වල වෙනවා.  ඒ වගේම සාමකාමී නොවන රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමත් දුර්වල වෙනවා. අද මේ සියලු ගැටලු අප රට තුළ ඇතිවී තිබෙනවා. ඒනිසා ඉදිරියේදි බලයට පත්වන රජයක මූලික වගකිමක් වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. ජාතික ආරක්ෂාවේ වැදගත්කම මම හොඳින්ම හඳුනාගෙන තිබෙන නිසාත් වසර 30 ක යුද්ධයක් අවසන් කොට රට තුළ සාමකාමී පරිසරයක් බිහිකිරීමෙන් ලද පළපුරුද්ද නිසාත් මට ඒ සඳහා අවශ්‍ය නායකත්වය පහසුවෙන්ම සපයන්නට පුළුවන්.  මේ භූමිය මත මොනම ආකාරයේවත් ත්‍රස්තවාදයකට යළි ඉඩ නොතබා සෑම පුරවැසියකුටම බියෙන් සහ  සැකෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නට මම කටයුතු කරනවා.

ප්‍රශ්නය:- වංචාව, දූෂණය තුරන් කරන බව ඔබේ පොරොන්දුවක්. මෙය ප්‍රායෝගිකව කළ හැක්කක්ද ?

පිළිතුර:- නිදහසින් පසු සෑම ආණ්ඩුවකටම දූෂණ චෝදනා තිබුණා. මේ චෝදනා දේශපාලනඥයන්ට වාගේම නිලධාරීන්ටත් එල්ල වුණා.  හැමදාමත් මේ දූෂණ වංචා ගැන කතාකරමින් සිටියාට කිසිවෙක් මේ ගැටලුවට තවමත් තිරසාර විසඳුමක් සොයාගෙන නැහැ. දූෂණය මර්දනය කරන්නටනම්  කළ යුත්තේ රෝග නිධානයට පිළියම් කිරීමයි. අද බොහෝ රටවල් දූෂණය  පිටු දැකීමට  විසඳුම ලෙස  යොදාගෙන ඇත්තේ තාක්ෂණය භාවිතයයි. අපටත් පහසුවෙන්ම මෙය හඳුන්වාදෙන්නට පුළුවන්.  වංචා දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව  තරාතිරම නොබලා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. මා නායකත්වය දෙන රජයක් තුළ දූෂණයට කිසිම ඉඩක් නොතබන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය:- ප්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකළ ගෝඨාභය රටක් පාලනය කරන්නේ කොහොමද? කියා ඇතැම් අය ප්‍රශ්න කරනවා. ඊට දෙන පිළිතුර කුමක් ද ?

පිළිතුර:- මගේ විසි වසරක යුද හමුදා සේවය තුළත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දීත්  පැවරුණ සෑම වගකීමක්ම  මම සාර්ථකව ඉටුකළා. මම හැම විටම උත්සාහ කළේ මට යම් වගකීමක් බාරදුන් විට සීමාවලට කොටු නොවි, සම්මතයෙන්  ඔබ්බට ගොස් ඒ වගකීම ඉටුකරන්නටයි. දැනට වසර 35 කට පමණ පෙර මම තරුණ හමුදා නිලධාරියකු වශයෙන් සේවය කරන කාලයේ මා විසින් නායකත්වය දුන් එක් ක්‍රියාන්විතයක් අගය කරමින් මට ප්‍රශංසා ලිපියක් එවු එවකට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජෙනරාල් සිරිල් රණතුංග මා හඳුන්වා තිබුණේ පවරා දුන් වගකීමෙන් ඔබ්බට ගොස් සේවය කරන නිලධාරියෙක් ලෙසයි (AN OFFICER WHO TAKES INITIATIVE OVER AND ABOVE THE NORMAL CALL OF DUTY)  වසර තිහකට  ආසන්න කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය වසර තුන හමාරක් වැනි කෙටි කලකදී අවසන් කිරීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය උපායමාර්ගික හා පරිපාලනමය සහාය  ලබාදෙන්නට මට පුළුවන් වුණේත් ඒ ගුණාංගය නිසායි.  එසේම පසු කලක නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් කිරීමට  හැකි වූයේත්, නගරයේ ක්ෂිතිජ රේඛාව වෙනස්කරන  දැකුම්කළු. ආයෝජන රැසක් ගෙන ඒමට හැකිවූයෙත් මා කිසිවිටක සීමාවලට කොටු නොවී  මගේ වගකීම් ඉටු කළ නිසායි. මා වටා රටේ පිළිගත් වෘත්තිකයන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන් විශාල පිරිසක් පෙළ ගැසී ඉන්නවා. අප සියලු දෙනාටම අවශ්‍ය  ලංකාව සෞභාග්‍යමත්  රටක් බවට පත් කරන්නටයි.

ප්‍රශ්නය:- අවසන් වශයෙන් ඔබට ජනතාවට කියන්න යමක් තිබෙනවා ද ?

පිළිතුර:- අද  මේ රටට අවශ්‍යව තිබෙන්නේ අනාගතය පිළිබද දැක්මක් ඇති, රට සංවර්ධනයට සැලැස්මක් ඇති,  එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති,  විනය ගරුක, දූෂණයෙන් තොර ජනතා හිතවාදී, දේශප්‍රේමී, නායකත්වයක්. ජනාධිපතිවරයකුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි නායකත්වයකුයි. ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක්‍රියාවෙන් ඔප්පු කොට තිබෙනවා. නිදහසින් වසර 70 කට වැඩි කාලයක් ගත වෙලත් අපට තවමත් දියුණු රටක් වන්නට නොහැකි වූ හේතු දැන්වත් අප වටහා ගත යුතුයි.  ඒ සඳහා අපට දැක්මක් හා සැලැස්මක් තිබෙනවා, ඒ වගේම  ඒ සඳහා දක්ෂ කණ්ඩායමක් අප සමඟ ඉන්නවා. එළඹෙන ජනාධිපතිවරණයේදී මහජනතාව ලෙස ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. මම මගේ වගකීම ඉටුකරන්නම්. අපි සියලු දෙනාම එක්වී අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යවත් දේශයක් ගොඩ නගමු.

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ