නිලානි විසි පස් හැවිරිදිය. විවාහක යැයි කිව නොහැකි තරම්ය. පාසල් දිවියෙන් සමුගත්තා පමණක් මෙන්ය. දඟකාර බවේත්, විසේකාර බවේත් අඩුවක් නැත. මිතුරකුගේ මාර්ගයෙන් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගත් බව ඇය කීවාය. කොතෙක් පෙරැත්ත කළද ඇය මගේ මිතුරාගේ නම කීවේ නැත. මේ ජොබ් එකේදී රහස්‍ය බාවය රැකීම හරියට වටිනවා. ඇය කීවාය. වෘත්තියේ ගරුත්වය වෙනුවෙන් නොපැකිලිව පෙනී සිටින බවක් මුල සිටම ඇය පෙන්නුම් කළාය. ඇය තරමක් අමුතු යැයි මට සිතුනේ එනිසාය. ”සමහරු මේ රස්සාවට ඇවිත් මේක විනාශ කරනවා.” කතාබහ අතරමගදී ඇය කීවාය. මේක උතුම් වෘත්තියක් කියලා මම කියන්නේ නෑ. නමුත් මේකත් වෘත්තියක්. මේ ලෝකේ මිනිසුන් වෙනුවෙන් තියෙන වෘත්තියක්. තරමක් වෙනස් තමයි. ඒත් මේකත් වෘත්තියක්. සයුරු රළ පරයමින් ඇගේ හඬ උස්ව නැගෙයි. ඇය තරමක් කෝපයට පත්ව සිටියාය. ඒ තමන් නියැලී සිටින වෘත්තීය සම්බන්ධයෙන් බොරු අසත්‍ය වාර්තා පැතිරී යාම සම්බන්ධයෙනි. සමහරු අප ගැන කිසිම දෙයක් දන්නේ නැතිව බොරු ලියනවා. අපිත් එක්ක එක වචනයක් හරි කතා කරපු කෙනෙක් නම් එහෙම ලියන්නේ නෑ. ඇය හැඳින්විය යුත්තේ කවර නමකින්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය. ඇගේ වෘත්තිය කුමක් වුවද ඒ සියල්ල ඉක්මවා ගිය විචාරකයකුගේ සෙවණැලි ඇගේ ආත්මයෙන් මතුව පෙනේ. මම බැන්දේ අවුරුදු 17 දී ඇය දිගු කතාවට මුල පිරුවේ එසේය. ඉතා ඉහළ වත් පොහොසත්කම් සහිත නිවෙසක මලක් ඇඟට වැටෙන දුකක් නොමැතිව ඇය හැදුණාය. වැඩුණාය. ඉගෙන ගන්නත් හපන්කම් පෑ නමුදු වයස අවුරුදු 17 දී ඇය විවාහ වූයේ එයට කිසිවකු හෝ බාධා නොකළ හෙයිනි. අපේ ගෙදර පාටියකදී තමයි මට එයා හම්බ වුණේ. අප කතාබහ කළා. ඒත් යාළු වුණේ නෑ. එයා ව්‍යාපාරිකයෙක්. කොහොම වුණත් තාත්තට එයාව අල්ලලා ගියා. අම්මයි, තාත්තයි කතා කරලා මට යෝජනාව දැම්මා. මමත් අකමැති වුණේ නෑ. අකමැති වෙන්න හේතුවක් නෑ. ඒ අයගේ ගෙදරිනුත් කැමති වුණා. ඊට පස්සේ අපට  ඕනෑ වුණේ ඉක්මනට එක වහලක් යටට එන්නයි. සල්ලි තිබුණ නිසා අධ්‍යාපනය පැත්තෙන් ඒ තරම් ඉස්සරහට යන්න  ඕනෑකමකුත් මට ඇති වුණේ නෑ. කොහොම හරි අපි ඉක්මනින්ම බැන්දා. මල් සිහින අතර මල් සමය ගෙවී යමින් තිබුණේය. කාටවත් වරදක් නැති කාගෙන්වත් වරදක් නැති ජීවිතයක් ඒ දෙදෙනාටම උරුම වී තිබුණේය. එසේනම් ඇය අද සම්බාහන මධ්‍යස්ථානයක් තුළ දවස ගෙවමින් පාපකාරී සිදුවීම් අතරේ ජීවිතය දියකරමින් සිටින්නේ ඇයිද කියා ඔබට සිතෙන්නට පුළුවන. ”ජීවිතය” යනු තනි වචනයක් නොවේ. ”ජීවත්වීම” යනු වචන ගණනාවක්ද නොවේ.  ජීවිතයට එරෙහිව ඉරණම සරදම් කරන්නේ කල් ඇතිව දැනුම්දී නොවේ. එහෙයින් ජීවත්වීම සඳහා සාදා නිම කළ ආකෘතියක් කිසිවකුට හෝ තිබිය නොහැකිය. නිලානිගේ ජීවිතය යනු ඒ පරම සත්‍ය ඇස්පනාපිටම ඔප්පු කළ අපේ කාලයේ දයාබර සොහොයුරියකගේ ජීවිතයකි. ”මම ලංකාවේ විතරක් නොවෙයි. තායිලන්තයේ බැංකොක් වලත්, මැලේසියාවේ ක්වාලාලම්පූර්වලත් ඉඳලා තියෙනවා. එහෙ ගිහිල්ලත් මම කළේ මේ රස්සාවමයි” නිලානි කීවාය. සම්බාහන මධ්‍යස්ථාන අතරේ ඇය කොතරම් ගැඹුරකට ගිහින් තිබේදැයි ඒ කියමනෙන්ම ඔබට තේරුම් ගත හැකිය. ඇය වෘත්තියක් නොමැතිකමට මෙම මග තෝරා ගත්තා නොව වෘත්තිය ලෙසම මේ මග තෝරා ගත්තීය. ”පසු තැවීමක් නැද්ද?” ඇයගෙන් මම විමසුවෙමි. ”මම ඒකනේ කිව්වේ මේකත් වෘත්තියක් කියලා.” ඇය කෙළින්ම උත්තරයක් දුන්නාය. ”අපේ පවුල් ජීවිතේ තිබුණේ මාස හතරයි....” ජීවිතයේ ඉරණම වෙනස් කළ අනුවේදනීය සිදුවීම් මාලාවක ආරම්භය ඇය පටන් ගත්තේ එසේය. ”ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ ඉණෙන් පහළ පණ නැතිව ගියා.” ඇය ඉකිබින්දා යැයි මම නොලියමි. එහෙත් මෙතෙක් වෙලා දීප්තිමත්ව තිබූ ඇගේ දෙනෙත පුරා රතු පැහැයක් ගලා ගියේය. මට ජීවිතයේ බර දැනෙන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. මෙච්චර කාලයක් මම හිතා ගෙන හිටියේ ජීවිතය කියන්නේ ඉර පායනවා... ඉර බැහැලා යනවා කියලා විතරයි. හැබැයි ඇත්ත ජීවිතය ඊට වඩා හුඟාක් වෙනස් කියලා මට තේරෙන්න පටන් ගත්තා. ඒවගේම මේ හැම අභියෝගයකටම මුහුණ දීලා ජයගන්නවා කියලත් මම හිතුවා.” නිලානි කීවාය. එය ඇත්තකි. ඔත්පල වූ සැමියා යළි දෙපයින් නගා සිටුවීමට ඇය අපමණ වෙහෙසක් දැරුවාය. සියලූ දේපොල උගස් කරමින්, විකුණමින් ඇය සැමියා වෙනුවෙන් වියදම් කළාය. මම මහත්තයාව ඉන්දියාවෙත් එක්කගෙන ගියා. මාස තුන හතරක් ඉන්දියාවේ නතර වෙලා බෙහෙත් කළා. මට ගොඩාක් වියදම් ගියේ ඒකටයි. නිලානි එසේ කියන්නීය. එහෙත් හඬෙහි පසුතැවීමක් නැත. යුතුකමක් ඉටු කිරීම සම්බන්ධයෙන් රළ ගසන ප‍්‍රීතියක් උද්දාමයත් ඇගේ හඬෙහි වෙති. මම මහත්තයාව ඉන්දියාවට එක්කගෙන ගියේ ගොඩාක් බලාපොරොත්තු ඇතිවයි. නමුත් මගේ මහත්තයාව සනීප කරගන්න බැරි වුණා. අපි ආපහු ලංකාවට ආවා. ඒ ආවේ කිසිම දෙයක් නැතිව. කොටින්ම කියනවා නම් හිඟන්නො වගෙයි. ජීවිතය යළිත් ආරම්භ කළ යුතුව තිබිණි. ”දුෂ්කරය කියා ජීවිතයෙන් පලා යා නොහැකිය. ඇය එසේ සිතුවාය. ඔත්පළ සැමියා සමග සැමියාගේ මහ ගෙදරට ගිය නිලානි එතැන් පටන් අලූතෙන් ජීවිතය ආරම්භ කිරීමේ මාවතක් සෙව්වාය. ඒ වෙනකොට ගෑනියකුගේ ”ලස්සනට” කරන්න බැරි දෙයක් නෑ කියලා මම දැනගෙන හිටියා. මට එහෙම අත්දැකීම්  ඕනෑ තරම් තිබුණා. නමුත් මට එහෙම ජරා රස්සාවක් කරන්න  ඕනෑ වුණේ නෑ. මම දන්නවා ඒ වගේ රස්සාවක් කරන්න පුළුවන් බොහොම ටික කාලයයි කියලා. ඊට පස්සේ කුණු මාළු කෑල්ලක් වගේ පාරට විසි කරනවා. සල්ලි ටිකක් වැඩිපුර හොයාගන්නත්  ඕනෑකම තිබුණා. ඉක්මනින් සල්ලි හොයා ගන්නත්  ඕනෑ කමක් තිබුණා. ඊට පස්සේ මම මේ රස්සාව තෝරා ගත්තා. ඇගේ ප‍්‍රකාශය අවසන් වනවාත් සමගම මම මේ දැන් ඔබේ සිතට දැණුනු ප‍්‍රශ්නය දැන්ම යොමු කළෙමි. ”මේ රස්සාව හොඳ රස්සාවක්ද?” මේ නිලානිගේ කඩ හඬය. ”මං ඒකයි කිව්වේ මේකත් රස්සාවක් කියලා. කැමති රස්සාවක් කිරීමේ නිදහස මිනිසුකුට තියෙනවානේ.” ඇය තරමක් සැරෙන් මෙන් කීවාය. සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන අපචාර ක‍්‍රියා පිළිබඳව මා දන්නා දේ කියමින් ඇයගෙන් මා විමසුවේ ඒ අර්ථයෙන් ගත්තාම ඔබ කොහොමද මේ රස්සාව වෙනුවෙන් පෙනී සිටින්නේ කියාය. මම මසාජ් කියන එක ඉගෙනගෙන තමයි කරන්නේ. මම මං ගාවට එන කෙනාව පැය එක හමාරක් මසාජ් එක හරියට දෙනවා. එක විද්‍යාත්මකව දෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන දේත් විද්‍යාත්මකව අත්‍යවශ්‍යයි. ඒකත් මසාජ් එකේම කොටසක්. නමුත් සමහරු ඒක එපා කියනවා. තව සමහරු ඒකටම එනවා. කවුරු ආවත් ඒ එන කෙනා සතුටු කරලා යවන එක තමයි මගේ ජොබ් එක වෙන්නේ. නෑසිය යුතු වුණත් අවලස්සන ප‍්‍රශ්නයක් මම ඇසුවෙමි. ”ඔබේ ආදායම කීයද?” ඈ ප‍්‍රශ්නය අසනතුරු බලා සිිටියාක් මෙන්ය. ප‍්‍රශ්නය පිටවීමට පෙර ඇය උත්තරය පටන් ගත්තාය. ”ඔයත් ලියලා තිබුණා..... එනකෙනා රුපියල් 1000 ක් දීලා ඇතුළට එනවා. ඒ දාහෙන් රුපියල් 500ක් අපට ලැබෙනවා කියලා. ඒක නම් බොරු. මම තැන් කීපයකම වැඩ කරලා තියෙනවා. මම දන්න එකම එක තැනයි තියෙන්නේ එහෙම දෙන. අනික් තැන්වල එහෙම නෑ. අප ළඟට එන කෙනා අපට දීලා යන ගාන තමයි අපේ ආදායම. සමහරු රුපියල් දාහ දෙදාහ දීලා යනවා. තවත් සමහරු රුපියල් හාර පන්දහ පවා දීලා යනවා. ඉතින් ඒවා ඔක්කොම එකතු කරලා ගත්තාම ලොකු ගානක් තමයි. ”මම කොහොම හරි මහත්තයාව සනීප කරනවා. ඊට පස්සේ මම මේ දවස්වල ගෙයක් හදාගෙන යනවා. ඒ ගෙදර පදිංචියට යනවා. මගේ එකම ඉලක්කය එච්චරයි.” යළිත් මෝඩ ප‍්‍රශ්නයකි. ”මහත්තයා මේ ජොබ් එක ගැන දන්නේ නැද්ද?” නිලානි මෙසේ කීවාය. එයාට ඒ ගැන එහෙම තේරුමක් නෑ. එයාට මං කියලා තියෙන්නේ කොළඹ ලොකු කොම්පැණියක වැඩ කරනවා කියලයි. දැන ගත්තා කියලා එයා මොනවා කරන්නද? ඇය තවත් බොහෝ දේ කීවාය. එහෙත් ඒවා ලිවිය නොහැකිය. ලෝකය යනු මෙහෙම තැනකි. ලබන සතියේදී හමුවෙමු.
සටහන ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්