ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු වෘත්තීය සමිති හා දේශපාලන කණ්ඩායම් විසින් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ දී පවත්වන ලද උද්ඝෝෂණය හේතුවෙන් ගුරු වෘත්තීය සමිති නායකයන් පිරිසක් හා දේශපාලන ක්‍රියාකාරීකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.
එදිනම ඔවුන් අධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබීමෙන් පසු පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කළේය. ඊට එරෙහිවත්, ඉහළ යන ජීවන වියදමට එරෙහිවත් සමඟි ජන බලවේගය පසුදින එනම් ජූනි 9 වැනිදා නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබ තිබිණි.
ඊට දෙමළ ජාතික සන්ධානය වැනි විරුද්ධ පක්ෂවල නියෝජිතයෝ ද සහභාගි වූහ. එම උද්ඝෝෂණයේ දී ප්‍රදර්ශනය සඳහා භාවිත කරන ලද උද්ඝෝෂණ පුවරු කිසිවක් දෙමළ භාෂාවෙන් නොතිබීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා හා ප්‍රගතිශීලි දෙමළ සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා විරෝධය පළ කළ බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඉන්පසු 8 වැනිදා සිදු වූවා වැනි මර්දනකාරී පියවරවලට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ වෙනත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයද ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවල සම්ම්න්ත්‍රණයක් පැවැත්වීය. එම ව්‍යාපාරයේ සමාරම්භක සභාපති වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වීමෙන් පසු දැන් එහි සභාපතිත්වය දරන හිටපු කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැති අතර පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි වූයේ නැත.
මෙම සම්මන්ත්‍රණයේ දී ප්‍රධාන කාරණා හතරක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කරන්නට ඊට සහභාගි වූවන් අතර එකඟතාවක් ඇතිවූ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන වගන්ති බල රහිත කරමින් පසුගිය ඔක්තෝබර් මාසයේදී වත්මන් ආණ්ඩුව විසින් සම්මත කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ආර්ථික සංවර්ධනය සඳහා වූ උපාය මාර්ග සෙවීම, මේ වනවිට රටට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන්නට හේතු වී ඇති රටේ මානව හිමිකම් තත්ත්වය යහපත් අතට හැරවීම හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම එසේ එම සම්මන්ත්‍රණයේදී පොදු එකඟතාවක් ඇතිකර ගන්නා ලද කරුණු හතරයි.
මෙහිදී ද ඊට සහභාගි වූ දෙමළ පක්ෂවල නායකයන්ට බරපතළ මැසිවිල්ලක් තිබිණි. එනම් ඉදිරියේදී විරුද්ධ පක්ෂවල නායකයන් එක්ව විසඳුම් සොයන්නට එකඟ වූ කාරණා අතර ජාතික ප්‍රශ්නය, ජනවාර්ගික ප්‍රශ්නය යනාදී වශයෙන් හැඳින්වෙන මෙරට දෙමළ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න ඇතුළත් නොවීමයි.
එම කාරණය විරුද්ධ පක්ෂවල වත්මන් අරගලයට අදාළ කරුණක් නොවේ යැයි කිසිවෙක් ඊට පිළිතුරු වශයෙන් කිවේ නැත. මෙහිදීද මේ සම්බන්ධයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේ සුමන්දිරන් මහතා හා මනෝ ගනේෂන් මහතායි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ ගෙන යන අරගලය තමන් අනුමත කරන බව පැවසූ සුමන්තිරන් මහතා එහෙත් එම අරගලයට දෙමළ ජනතාවගේ ප්‍රශ්න ද අදාළ කර නොගන්නේ නම් විරුද්ධ පක්ෂ සමඟ ගමනක් යන්නට තමන් නොඑන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.
දෙමළ භාෂාව හා දෙමළ ජනතාව නොතකා හැරීම පිළිබඳ දෙමළ නායකයන් දෙදෙනකුගේ මෙම චෝදනා වෙතට අපගේ අවධානය යොමු වන්නේ නම් රටේ මෑත ඉතිහාසයේ විශේෂ කඩඉමක් සනිටුහන් කළ 1983 කළු ජූලියේ 38 වැනි සංවත්සරයද මේ සතියට යෙදී තිබෙන පසුබිමකය. එසේම මෙම චෝදනා පිටුපස බරපතළ දේශපාලනයක් ද තිබීම සැලකිය යුත්තකි.
1983 දී සිදුවූ එක්තරා දුරකට රාජ්‍ය අනුග්‍රහයලත් දෙමළ විරෝධී ප්‍රහාර බොහෝ විට ජනමාධ්‍ය තුළ සංවාදයට ලක් වන්නේ කතාන්දරයක් වශයෙනි. එහෙත් එය මෙරට ඉතිහාසයට විශාල වශයෙන් බලපෑම් කළ විශේෂ තත්ත්වයකට මුල පිරූ සිද්ධි මාලාවකි.
එම වසරේ ජූලි 23 වැනිදා යාපනය නගරය අසල තිරුනෙල්වෙලි ප්‍රදේශයේ දී කොටි සංවිධානයේ බිම් බෝම්බ දෙකකට හසුව හා ඒ සමඟ එල්ල වූ වෙඩි ප්‍රහාරවලට ලක්ව හමුදාවේ නිලධාරියකු හා සෙබළුන් 12 දෙනකු මියයාම මෙම සිද්ධි මාලාවේ ආරම්භයයි.
ඒ වනවිට උතුරේ දී තැන තැන හමුදා භටයන් එක් අයකු හෝ දෙදෙනකු මිය ගිය ද 13 දෙනකු මිය ගිය පළමුවැනි සිද්ධිය මෙය විය. එහෙයින් මෙය දකුණේ බොහෝ දෙනකුට තදින් දැනිණි. ඒ වනවිටත් උතුරේ දෙමළ සන්නද්ධ සංවිධානවල ක්‍රියාකාරීත්වය විටින් විට දකුණට වාර්තා වීම නිසා ගොඩ නැඟෙමින් තිබූ දෙමළ විරෝධය ආණ්ඩුවට පාලනය කරගත නොහැකි වූ නිසා හෝ ආණ්ඩුවට එය අවශ්‍ය නොවු නිසා 24 වැනිදා රාත්‍රිය වනවිට කොළඹ නගරය ගිනි ගත්තේය. පසුදින සිට ආණ්ඩුවේ ඇතැමුන්ගේ සහාය ලැබූ පිරිස් පෙරමුණ ගැනීම නිසා දෙමළ විරෝධී ප්‍රහාර රට පුරා පැතිර ගියේය.
දින පහක් පමණ පැවැති මෙම පහරදීම් නිසා 400 දෙනකු පමණ ඝාතනය කෙරුණු බව කියවේ. රුපියල් කෝටි සිය ගණක් වටිනා දේපළ කොල්ලකෑමට හා ගිනි තැබීම්වලට ලක්විය.
ඉතා සෙමෙන් වර්ධනය වන්නට හෝ මර්දනය වී වියැකී යන්නට හෝ නියමිතව තිබූ දෙමළ බෙදුම්වාදී අරගලය එක්වරම පිමි ගණනාවක් පැන මහා විශාල අරගලයක් වීමට මෙම ප්‍රහාර මාලාව හේතු විය. දකුණේ සිද්ධීන්ගෙන් කෝපයට පත් දෙමළ තරුණයෝ දහස් ගණනින් දෙමළ සන්නද්ධ සංවිධානවලට, විශේෂයෙන්ම කොටි සංවිධානයට බැඳුණහ. ජාත්‍යන්තර ජනමාධ්‍යය ඝාතනය කිරීම් හා ගිනි තැබීම් ගැන විශාල වශයෙන් වාර්තා කිරීමත් සමඟ මෙරට දෙමළ ජනතාව වෙතට ජාත්‍යන්තර අනුකම්පාව ද යොමු විය.
එවකට ඉන්දියානු සාගර කලාපයේ පැවැති භූ දේශපාලන තත්ත්වය ද දෙමළ සන්නද්ධ අරගලයට වාසිදායක විය. ඒ කාලයේ දී ලෝකය සෝවියට් කඳවුර හා ඇමරිකාව ප්‍රමුඛ කඳවුර වශයෙන් බෙදී තිබිණි. ඉන්දියාව සෝවියට් කඳවුරට හිතවත් වූ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බටහිර කඳවුරට හිතවත් විය.
ඉන්දියාව වටා පිහිටි පාකිස්ථානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් තුනම බටහිර ගැති රටවල් වීම නිසා කලාපයේ තම ආරක්ෂාව පිළිබඳව ඉන්දියාව සැලකිල්ලෙන් සිටියේය. මේ තත්ත්වය යටතේ ජයවර්ධන ආණ්ඩුව මට්ටු කරන්නට එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිට අවශ්‍ය විය.
1983 දෙමළ විරෝධී ප්‍රහාර නොහොත් කළුජුලිය ඇයට මෙය කදිම අවස්ථාවක් පාදා දුන්නේය. ජාත්‍යන්තර අනුකම්පාවට ලක්වී සිටි දෙමළ සන්නද්ධ සංවිධානවලට මුදලින්, ආයුධ වලින් හා අවි පුහුණුවෙන් සහය දෙන්නට ඇය පෙළඹුණේ ඒ අනුවය. එමඟින් වසරක් පමණ කාලයක් තුළ දී උතුර ආරක්ෂක හමුදාවන්ට අනාරක්ෂිත ප්‍රදේශයක් විය.
මේ විශාල පරිවර්තනයට ප්‍රධාන සාධකයක් වූයේ කළු ජුලියයි. එහෙත් වසර 38කට පසු කළු ජුලි සැමරුමක් ආසන්නයේ දී දෙමළ නායකයන් තවමත් නොතකා හැරීම් හා වෙනස්කම් කිරීම් ගැන චෝදනා කිරීම අවධානය යොමුවිය යුතු තත්ත්වයකි.
කළු ජුලිය දශක තුනකට වැඩි කාලයක් දිග්ගැස්සුණු භයානක යුද්ධයක් නිර්මාණය කළේය. නැත්නම් නිර්මාණය වන්නට තිබූ එම යුද්ධය දශකයකින් පමණ ඉක්මන් කර වූයේය.
එම යුද්ධයෙන් සෘජුව හා අනියම් ලෙස මියගිය දකුණේ හා උතුරේ මිනිසුන් ගණන ගැන විශ්වාස කටයුතු නිශ්චිත කතාවක් ගැන දැන ගන්නට නැත. එහෙත් වසර තිහකට වැඩි එම කාලය තුළ ජීවිත ලක්ෂයක් පමණ විනාශ වන්නට ඇතැයි ද රුපියල් කෝටි දහස් ගණනක් නොවේ නම් සිය ගණනක් වටිනා රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය.
අවසානයේ දී 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් විය. එහෙත් ඉන්පසු ඇති වූ තත්ත්වය ඇතැම් සමාජ විද්‍යාඥයන් හඳුන් වන්නේ නිශේධනීය සාමය (Negative peaee) යනුවෙනි. ඒ යුද්ධයක් ද නැති පැවැති යුද්ධයේ මූලික හේතුවලට පිළියම් ද නොදුටු තත්ත්වයක් යන අර්ථයෙනි.
කළු ජුලියෙන් විශාල ජවයක් ලබා ගත්තද බෙදුම්වාදී සන්නද්ධ අරගලයට දෙමළ තරුණයන් යොමුවන්නේ තම භාෂාව හා තමන් නොතකා හරින බවටත් වෙනස්කම් කිරීමකට ලක් කෙරෙන බවටත් චෝදනා කරමිනි. අධ්‍යාපනයේ ප්‍රමිතිකරණය, ජනපදකරණය ආදියට විරුද්ධ අරගල හා භාෂා අයිතිය සඳහා වූ අරගල ලෙස මෙම චෝදනා ආරම්භයේදීම කරළියට පැමිණියේය. මෙතැන ඇති විශේෂත්වය නම් සුමන්දිරන්, මනෝ ගනේෂන් වැනි දෙමළ නායකයන්ට දැනුදු එම චෝදනාව නඟන්නට සිදුවී තිබීමය.
විවිධ රටවල ජනවාර්ගික ප්‍රශ්න ගැන කතා කිරීමේ දී දේශපාලනඥයෝ, සමාජ විද්‍යාඥයෝ, ආගමික නායකයෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එ.ජා. මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර ආයතන සමාජමය අන්තර් ග්‍රහණය (inclusiveness) ගැන සඳහන් කරති. එක් ප්‍රජාවක් ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය වැනි කටයුතුවල දී අනෙක් ප්‍රජාවන් ද සමසේ සම්බන්ධ කර ගැනීම ඉන් අදහස් වේ. මෙය වාර්ගික වශයෙන් බෙදුණු රටවලට ඉතා වැදගත් වුවද එය ක්‍රියාත්මක කළ නොහැක්කේ ද එම රටවලටය. වෙනත් වචනවලින් පවසන්නේ නම් සමඟිය අවශ්‍ය තැනම සමඟිය සඳහා කටයුතු කිරීම දුෂ්කර වී ඇත.
උදාහරණයක් වශයෙන් සමඟි ජන බලවේගය දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට ද වැදගත් තැනක් දුනහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය උපයෝගී කරගෙන සිංහල ජනතාව අවුස්සනු ඇත. පසුගිය කාලයේ එජාපය හා දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සමීප සබඳතාව යොදාගෙන ද එජාපයට කොටි ලේබලය අලවනු දක්නට ලැබිණි.
මෙම ප්‍රශ්නයම දෙමළ නායකයන්ට ද ඇත. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කොටි සංවිධානය භාවිත කළ අරගල ක්‍රමය තමන් පිළිගන්නේ නැතැයි තමන් ශ්‍රී ලංකා ජාතික ධජය හා ජාතික ගීය පිළිගන්නේ යැයි ද සුමන්දිරන් මහතා පසුගිය වසරේ මැයි මස සිංහල යූ. ටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයක දී පැවසූ විට ඔහුට විරුද්ධව දෙමළ සමාජය වෙතින් එල්ල වූයේ විශාල විරෝධයකි. ඔහුගේ පක්ෂය වන ඉලංගයි තමිල් අරසු කච්චි හි ඇතැම් නායකයෝ ද ඔහු විවේචනය කළහ.
සුමන්දිරන් මහතා පැවසුවේ සත්‍යයකි. ඔහුගේ පක්ෂය බිය නිසා කොටි සංවිධානයට 2000 වසරෙන් පසු සහය දුන්න ද එම පක්ෂය කිසිදා සන්නද්ධ අරගල මාවත තෝරා ගත්තේ නැත. ඔහු විවේචන කළ ඇතැම් පක්ෂ පවා 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු රජයට ආයුධ භාරදීමෙන් අනතුරුව සන්නද්ධ අරගලයකට යොමුවූයේ නැත. එහෙත් ඒ සියලු දෙනා සන්නද්ධ අරගලය අනුමත කරමින් ඔහු හෙළා දුටහ.
කොටින්ම සිංහල නායකත්වයක් ඇති පක්ෂවලට දෙමළ හා මුස්ලිම් ජනතාව අන්තර් ග්‍රහණය කර ගත හැකි ආකාරයේ සටන් පාඨ පාවිච්චි කළ නොහැකිය. එසේම දෙමළ පක්ෂවලට ජාතික දේශපාලන දේහයට ඒකාබද්ධ වීමේ සටන් පාඨ භාවිත කළ නොහැකිය. එනම් රට මතවාදී වශයෙන් පවතින්නේ වසර 38කට පෙර, එනම් කළු ජූලියට පෙර පැවැති තත්ත්වයේමය.
(*** එම්.එස්.එම්. අයුබ්)
නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ
වංශකථා ආරම්භයේ පටන් විවිධ තැන්හි ජලය හා සම්බන්ධ කතිකාවත් පවතී. වාරි කර්මාන්තයේ ආරම්භය ජනාවාස ආරම්භ වීමත් සමගම සිදුවිය. ඉපැරණි වාරි තාක්ෂණයට උරුමකම් ක
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම කැපී පෙනෙන අයුරින් පහළ වැටෙන ආකාරය මේ දිනවල දැක ගන්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමගියෙන් සමගිය නසා ගැනීම