වයඹ ඇළ ඉදිකිරීම සමග චීන කොන්ත්‍රාත් සමාගමක් ගලේවෙල ආඳ‌ාගල ප්‍රදේශයේ ගල් කොරියක් ඇරැඹීමට යන බව පවසමින් ප්‍රදේශවාසීන් එම වැඩ බිම ආසන්නයට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. වැඩ බිම ආශ්‍රිතව ගල් කොරියක් ඇරැඹීමෙන් ආසන්නයේම ඇති වැවට හා පාසලට විශාල හානියක් වන බව පවසන එම ප්‍රදේශවාසීන් වළගම්බා රජ සමයට අයත් වටිනාකමකින් යුත් සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා ස්ථාන ද කැණීම්වලට හසුවී තිබෙන බවට චෝදනා කරන්නේ යැයි ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

අප පුවත්පත එම වැඩබිමේ ව්‍යාපෘති නිලධාරියාගෙන් මේ ගැන විමසූවිට ඔහු පවසා තිබුණේ ඉදිකෙරෙමින් පවතින වයඹ ඇළ ආඳාගල අඩි 40 ක් හරහා උමං මාර්ගයක් ඔස්සේ කැණීම් සිදුවන හෙයින් කළුගල් වැඩබිම ආසන්නයේම මෙසේ ගල් කොරියක් දමා වයඹ ඇළ සංවර්ධනය සඳහා යොද‌ා ගැනීමට පියවරක් වශයෙන් එම තීරණය ගෙන ඇති බවය.

සංවර්ධනය යන වචනයට දිය හැකි එක් සරල අර්ථයක් වනුයේ යහපත් ලෙස වර්ධනය කිරීම යන්නය. එහෙත් බොහෝවිට වර්ධනය කිරීමේ දී එය යහපත් ලෙස සිදු නොවේ. අතුරු ප්‍රශ්න හානි හා විනාශ සිදු කරමින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘති සංවර්ධනය ලෙස අර්ථ දැක්විය නොහැක. එහෙත් අප රටේ සංවර්ධනය යනුවෙන් බොහෝවිට සිදුවන්නේ එයමය.

එක්තරා යුගයක දී රටේ පාලකයා ‘සාහිත්‍ය කන්නදැයි’ ඇසුවේය. රටේ පාලකයා එම ප්‍රශ්න කිරීම සිදු කරනු ලැබුවේ රාජ්‍ය සාහිත්‍ය මහෝත්සවයේ දීය. ඉන් ඉක්බිත්තෙන් කාලය තුළ දී නිර්මාණය වී තිබෙන්නේ සංස්කෘතික කාන්තාරයකි. උසස් රස වින්දනයකින් තොර පරපුරක් අද බිහිවී තිබේ. මෙම විනාශය යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමට වර්ධනය වී තිබේ.

‘‘සාහිත්‍ය කන්නදැයි’’ ඇසුවාක් මෙන්ම යමකුට ‘පුරාවිද්‍යා කන්නදැයි’ විමසිය හැකිය. ඇතැමුන් කටයුතු කරන ආකාරය අනුව එය පැහැදිලිය. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියක් යනු අපගේ අදීන අනම්‍ය ශ්‍රේෂ්ඨ අපරාජිත ඉතිහාසය සම්බන්ධ මතක ශේෂ වේ. අපගේ ඉපැරැණි ඉතිහාසය වණපොත් කිරීමට ඉතිරිව ඇති සාධක ඒවා වේ. එහෙයින් එම පුරාවස්තු ආරක්ෂා කළ යුතුය. විශේෂයෙන්ම කඩද‌ාසි ඉතිහාසයට වඩා මෙම පුරාවිද්‍යා සාධක බලවත්ය. වසර සිය දහස් ගණනකට අතීතයට අපට යා හැකි එකම මාර්ගය වැටී ඇත්තේ ඒ පුරාවිද්‍යාත්මක භූමි මතය.

ඉතිහාසය ගවේෂණය කිරීම යනු නොවැහැරෙන ශක්තියක් නිපදවා ගැනීමය. අහස සිඹින මහ ද‌ාගැබ් සයුර පරයන මහ වැව් නිර්මාණය කිරීම සම්බන්ධ ඉතිහාස ගවේෂණය නූතන දියුණු සමාජයට අතිශයින්ම වැදගත්ය. අප කොතැන සිට කොතැනට පැමිණ සිටී ද යන ඇත්ත තත්ත්වය හඳුනා ගැනීම ඇතැම්විට ලජ්ජාව රැගෙන එන්නක් විය හැකි වුවද අනාගතය ගොඩ දැමීමට මහා බලයක් එනු ඇත.

කරුණු කාරණා එපරිදි වුවද අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ වළගම්බා රජ සමයට අයත් වටිනාකමකින් යුත් සංරක්ෂිත භුමියක ගල් කොරියක් දැමීමට සූද‌ානමක් තිබෙන බවය. වඩාත් වටින්නේ වළගම්බා රජ සමයට අයත් ඓතිහාසික භූමිය සංරක්ෂණය කිරීම ද නැතහොත් ඒ මත ගල් කොරියක් දැමීම ද යන්න රුපියලක් උඩ විසිකර තීරණය කළ යුතු දෙයක් නොවේ. එහෙත් අප ගමන් කරමින් සිටින්නේ එබඳු නරුම යුගයකට බව පැහැදිලිය.

නරුමයා යනු යමක මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාට යෙදෙන නාම පදයකි. ගල් කොරියක මිල දන්නා පුද්ගලයන්ට පුරාවිද්‍යා භූමියක වටිනාකම නොපෙනී යාම මෙහි ඇති බරපතළ තත්ත්වය වේ. මෙම තත්ත්වය ඒ බිමට පමණක් සීමා වූවක් ද නොවේ. රටේ බොහෝ තැන්වලින් මෙම තත්ත්වය දක්නට ලැබේ. රට යනු ත්‍රස්තවාදීන්ගෙන් පමණක් ආරක්ෂා කරගත යුතු එකක් නොවේ. රටේ උරුමයන් ද ආරක්ෂා කළ යුතුය. රටේ … සම්පත් ආරක්ෂා කළ යුතුය. වන්දනීය පූජනීය ඉතිහාසයට අයත් දෑ දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුය. සංවර්ධනයේ නාමයෙන් ඒවා බුල්ඩෝසර් නොකළ යුතුය.

සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවටය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. භෞතික සංවර්ධනයෙන් පමණක් මිනිස් සමාජය පරිපූර්ණත්වයට පත් නොවේ. සොබාදහමේ සුරක්ෂිත බව තහවුරු වූ ඉපැරණි අතීතයට අයත් සම්පත් ආරක්ෂා කර සංවර්ධනයක් කරා යොමු විය යුතුය. සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ඉහළම ප්‍රතිලාභ ජනතාවට හිමිකර ගැනීමට හැකිවනු ඇත්තේ එමගින් පමණි. එසේ නොවන සංවර්ධනය පතුළ නොපෙනෙන මහා අගාධයක් වෙත මිනිස් සමාජය තල්ලු කිරීමකි.

(***)