​(මෙම ලිපියේ මුල්​ කොටස පසුගිය සතියේ පළවිය.

අගමැතිවරයාට වෙඩි තැබුවේ කවුද? 

පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ යුතු පළමුවැනි කාරණාව වූයේ සෝමාරාම සැබැවින්ම රිවෝල්වරයේ කොකා ගැස්සුවා ද යන්නයි. එසේ කිරීමෙන් තොරව කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ල සහ මුළු නඩුවම අසාර්ථක වනු ඇත. 

එදින උදයේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් එම ස්ථානයේ සිටිය ද පැමිණිල්ල විසින් සෝමාරාම සැබැවින්ම වෙඩි තැබූ තැනැත්තා ද යන්න සනාථ කරන්නට සාක්ෂියට කැඳවූයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් තුන් දෙනකු පමණි. ඒ අය නම්, 
a නිවන්තිඩියේ ආනන්ද නම් බෞද්ධ භික්ෂුව 
b වෙදගේ පියදාස නම් පොළොන්රුවෙන් පැමිණ සිටි ඇබිත්තියකු 
c විජේකෝන් වික්‍රමසිංහ නම් ගුරුවරයකු

වෙඩි තැබුවේ සෝමාරාමද? වෙනත් අයෙක්ද?

නිවන්තිඩියේ ආනන්දගේ සාක්ෂිය 

තමා සමග කතා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා සෝමාරාම වෙත පියවර කිහිපයක් තබා ඉන් පසු ආපසු හැරී තමා (ආනන්ද) සෑහීමකට පත්වූයේ දැයි විමසූ බව ආනන්ද කියා සිටියේය. ඔහු ඉන් පසු හිඳගෙන සිටි සෝමාරාම ළඟට ගොස් ඔහුට වැඳ පැමිණි කාරණය විමසුවේය. ඉන් පසු අගමැතිවරයා පියවරක් පසුපසට ආයේය. ආනන්ද ආපසු හැරී තමන්ට අයත් දේ ගන්නට පහත් වූයේය. ඔහුට පිට පිට වෙඩි පහර දෙකක් ඇසුණේ එවිටය. සෝමාරාම එවිට රිවෝල්වරය ආනන්ද වෙත එල්ල කළේය.

එවිට බියපත් වූ ආනන්ද දෑස් පියා ගත්තේය. ඔහුට එවිට තවත් වෙඩි පහර කිහිපයක් ඇසුණේය. එහෙත් ගුණරත්න තුවාල ලබනු ඔහු දුටුවේ නැත. ඔහු දෑස් හැර බලන විට තොල සපාගෙන නෙරාගිය දෑසින් යුතුව සිටි සෝමාරාම රිවෝල්වරය අල්ලාගෙන සිටිනු දුටුවේය. ඉන් පසු විසි වෙමින් ගෙතුළට ගිය අගමැතිවරයා පසුපස සෝමාරාම හඹා ගියේය. සෝමාරාම වෙඩි තබනු දුටු බව ආනන්ද සැබැවින්ම කීවේ නැත. මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහු කීවේ, ‘ඇත්තටම වෙඩි තබන ක්‍රියාවක් මා දුටුවේ නැත. මා හැරී බලන විට චූදිතයා අගමැතිවරයාට පිස්තෝලය මානාගෙන සිටිනවා මා දුටුවා’ කියාය. 

ඉන් පසු ආනන්ද මල් පෝච්චි කිහිපයක් උඩින් මිදුලට පැන ප්‍රධාන ගේට්ටුව වෙත දිව ගොස් එතැන සිටි මුර භටයාගේ අතින් අල්ලාගෙන ඔහුට කෑ ගැසුවේය. අගමැතිවරයාට වෙඩි තබන නිසා ඔහුව ආරක්ෂා කරගන්න යැයි ඔහු මුර භටයාට කීවේය. ඉන් පසු ආනන්ද නිවෙස වෙත ගිය විට තුවාල ලැබූ ගුණරත්න ලේ පෙරාගෙන විසි වෙමින් එනවා ඔහු දුටුවේය. ඔහුව ගේට්ටුව වෙත එක්කරගෙන ගිය ආනන්ද ඔහුව රෝහල වෙත ගෙන යන ලෙස එතැන බලා සිටි අයට කීවේය. ඉන් පසු අගමැතිවරයා වැතිර සිටි නිදන කාමරයට ගිය බව කී ආනන්ද සිදු වූ දේ මෙනෙහි කරමින් එතැන මඳ වේලාවක් ගත කළේය. ඉන් පසු කාමරයෙන් පිටත මැද කොරිඩෝවේ ගාලගෝට්ටියක් ඇසෙන්නට ගත්තේය.

ඔහු පිටතට පැමිණ බලන විට ලේ පෙරාගෙන බිම වැටී සිටි සෝමාරාමට කිහිප දෙනකු පහර දෙනවා ඔහු දුටුවේය. ඊට එක්වූ ඔහු පා පහර දෙන්නටත් සෝමාරාමට තමාගේ සෙරෙප්පුවලින් පහර දෙන්නටත් ගත්තේය. සෝමාරාම වතුර ඉල්ලූ විට වතුර ගෙනැවිත් දෙන්න යයි ආනන්ද සේවකයකුට කීවේය. ඔහුට වතුර දෙන්නට පෙර සෝමාරාම ලේ වමනය කොට ක්ලාන්ත වූයේය. ආනන්ද සහ ඔහුගේ ඇබිත්තයකු වූ (යටවර) සෝමාරාමගේ දෑත් එක්කොට බඳිමින් ඉන්නා විට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා ඒ වෙත පැමිණ ඔවුනට එය නවතා දමන ලෙස නියෝග කළේය. ඉන් පසු එතැනින් පිට වී ඔහු කොල්ලුපිටියේ පිහිටි තමාගේ පන්සලට ගියේය. 

කෙසේ වුව ද පොලිස් මුර භටයා ඔහුගේ සාක්ෂියේදී කීවේ, කිසිම හිමිනමක් ගේට්ටුව ළඟට පැමිණ තමා සමග කතා නොකළ බවයි. ඒ වෙනුවට ඔහු කියා සිටියේ, තමා වෙඩි හඬ ඇසී ගේ දෙසට දිව එනවිට ඝාතකයා ලෙස සෝමාරාමව, වයසක මහත්මයකු විසින් පෙන්වා දුන් බවයි. තවදුරටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිවුරුම් දී කියා සිටියේ, තමා පැමිණෙන විට සෝමාරාම හැර කිසිම භික්ෂුවක් එම පරිශ්‍රයේ නොසිටි බවයි. සෝමාරාමගේ දෑත් බැඳ තිබූ බවට සලකුණක් ද නොතිබූ බව ඔහු කියා සිටියේය. තුවාල ලැබූ ගුණරත්නව රෝහලට යවනු ලැබුවේ තමා විසින් බව ද හෙතෙම කියා සිටියේය. 

වෙදගේ පියදාසගේ සාක්ෂිය 

ආනන්දගේ සාක්ෂියේදී කී මුර භටයා දැනුවත් කිරීම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පියදාසගේ සාක්ෂියෙන් තහවුරු වූයේය. පියදාස, වෙඩි තැබීම්වලින් පසුව සැනෙකින් ආනන්ද සමග ගේට්ටුවෙන් පිටතට ගිය අතර, ඉන් පසු එම නිවෙසට පැමිණියේ නැත. ආනන්දට උපස්ථාන කිරීම පියදාසගෙන් බලාපොරොත්තු විය හැක්කකි. ආනන්දගේ අනුග්‍රහය මත ඔහු විශ්වාසවන්තව ඔහු මත යැපුණේය.

කෙසේ වුව ද සෝමාරාම හිතාමතාම ගුණරත්නට එල්ල කොට වෙඩි තැබූ බව පියදාස ද කීවේය. එය අමුත්තක් සේ පෙනී නොගිය ද තමාගේ මූලික ගොදුර තමාගෙන් බේරී ගෙතුළට යද්දී ඝාතකයා අහිංසකයකුට වෙඩි තබන්නට කාලය වැය කරයි ද යන්න සැකයකි. පැමිණිල්ල මෙම කතාව විශ්වාස කළේ නම් ඔවුන් ඇතැම් විට ගුණරත්න මරා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව ද සෝමාරාමට එල්ල කරන්නට ඉඩ තිබිණි. 

විජේකෝන් වික්‍රමසිංහගේ සාක්ෂිය 

වික්‍රමසිංහ සිටගෙන උන්නේ වැරැන්ඩාවේ සෝමාරාම සිටි පැත්තට විරුද්ධ අන්තයේය. ඔහුට පෙනෙන දෑ අගමැතිවරයා ඇතුළු මැද හරියේ සිටි අයගෙන් වැසී තිබිණි. වෙඩි තැබීම සිදු වී මාස කිහිපයකින් අනතුරුව පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු මෙසේ කියා තිබිණි. අගමැතිතුමා සහ අනෙක් හාමුදුරුවන් සිටි එහා කෙළවර පැත්තෙන් මට වෙඩි සද්ද ඇහුණා. එවේලේ මට කිසි දෙයක් පෙනුණේ නෑ. මට පෙනුණ දේ අගමැතිතුමාට වැහිලයි තිබුණේ. 

කෙසේ වුව ද ඔහු පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී දුන් සාක්ෂිය ඊට බොහෝ සෙයින් වෙනස් වූයේය. අගමැතිවරයා සෝමාරාම වෙත ගිය බව කී ඔහු, සෝමාරාම තමාගේ වම් පසට අඩි කිහිපයක් පැන (මිදුල පැත්තේ සිට) වෙඩි තබන්නට පටන්ගත් බව කීවේය. සතුටට කරුණ නම් අහම්බයකින් මෙන් සෝමාරාම මෙසේ වෙන තැනකට යාම නිසා සෝමාරාමව ඔහුට හොඳින් පෙනෙන්නට වීමයි. කෙසේ වුව ද සෝමාරාම වෙඩි තැබුවේ එසේ වෙන තැනකට පැනගෙන ද යන්න ගැන අපරාධ විද්‍යානුකූල අධිකරණ සාක්ෂියෙන් තවදුරටත් සැක පහළ වේ. ඒ පිළිබඳ විස්තර පහත සඳහන් වේ. 

තවදුරටත් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් සාක්ෂියේදී ආනන්දගේ සහ පියදාසගේ සාක්ෂියට පරස්පරව යමින් කියා සිටියේ, අගමැතිවරයා සෝමාරාම වෙඩි තැබීමට පෙර ඔහු වෙත ගොස් වැන්දේ නැති බවයි. 

ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙන සාක්ෂි, විශේෂයෙන් වැඩි පිරිසක් සාක්ෂි දෙන අවස්ථාවලදී ඇතැම් විට සාක්ෂිය නොගෙන මගහරින ක්‍රියාවකට යොමු විය හැක්කේ සාක්ෂි පරස්පර වුවහොත් ඒවායේ විශ්වසනීයත්වය තරමක් අඩු වන බැවිනි. කෙසේ වුව ද ඇසින් දුටු සාක්ෂිකරුවන් කියන විස්තර ප්‍රධාන කාරණාවලදී එකිනෙක සමග නොසැසඳේ නම්, එවිට සාක්ෂි සැක සහිත තත්ත්වයට පත්වේ.

මෙම සාක්ෂිකරුවන් තිදෙනාගේ විශ්වසනීයත්වය පිළිබඳව පාඨකයාට තීරණය කළ හැකි වේ. ඇසින් දුටු සාක්ෂිවල විශ්වසනීයත්වය සම්බන්ධ සවිස්තර තොරතුරු අන්තර්ජාලයේ එමට ඇත. සංක්ෂිප්තයක් වශයෙන් කිව හැක්කේ සෝමාරාම අවියෙන් වෙඩි තබනවා කිසිවකු දුටු බවට එකිනෙකාට අනුකූල, පැහැදිලි, නිශ්චිත සාක්ෂියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොවූ බවයි. පොලීසිය ප්‍රශ්න කිරීමට ලක් කළ දීර්ඝ ලැයිස්තුවක සිටි මිනිසුන් අතරින් වැඩි පිරිසක් පැමිණිල්ල විසින් සැකයෙන් තොරව කරුණු සනාථ කිරීම සඳහා සාක්ෂියට කැඳවූයේ නැත. එම නිසා එවැනි විශ්වාසදායී සාක්ෂි නොතිබුණේ යයි සිතා ගැනීම සාධාරණ වේ. 

පළමු උණ්ඩය 

නඩුවට ඉදිරිපත් වූ අපරාධ විද්‍යාත්මක සාක්ෂිවලින් වාචික සාක්ෂි තහවුරු වූයේ නැත. ඒවා කිසිදු සාක්ෂියක් මත රඳා තිබුණේ ද නැත. එම නිසා වැදගත් ප්‍රශ්න ඒ ඔස්සේ මතු වෙයි. වෙඩි තැබීම සිදු වී පැයක් ඇතුළත එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක, අනෙකුත් අදාළ කරුණුවලට අමතරව වෙඩි තැබීමෙන් සිදු වූ භෞතික සාක්ෂි නිශ්චිතව සටහන් කරගත්තේය. උණ්ඩයක් වැරැන්ඩාවට බොහෝ දුරට ඍජුකෝණාස්‍රාකාරව ගමන් කොට ගෙතුළට ගොස් ඇති බව ඔහු සටහන් කරගෙන තිබිණි.

එය ප්‍රංශ ජනේලයේ වීදුරුවක් සිදුරු කරගෙන ගොස් තිබිණි. වැරැන්ඩාවත්, ඇතුළත සාලයත් වෙන් කරනු ලැබුවේ එම ජනේලයෙනි. වැරැන්ඩාවේ පොළොවෙන් අඩි 4යි අඟල් 3ක් ඉහළින් ජනෙල් වීදුරුව සිදුරු කරගත් එම වෙඩි උණ්ඩය දෙවැනි සාලයේ පසු බිත්තියේ වැදී තිබිණි. ගෙතුළ තිබූ එම බිත්තියේ උණ්ඩය වැදී තිබුණේ අඩි 13ක් ඉහළිනි. බිත්තියේ වැදී තිබුණ ලේ සහ කුඩා මස් කැබැලිවලින් තහවුරු වූයේ එම උණ්ඩය අගමැතිවරයාගේ ශරීරයේ වැදී තිබුණු බවයි. වෙඩි පහර ඇසුණු සැනින් අගමැතිවරයා අත සොලවමින් කෑ ගැසූ බව එතැන සිටි බොහෝ දෙනා කීවෝය. 

වෙඩි තැබූ දිනයේ අගමැතිවරයාට සිදු වූ තුවාල පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය ඩබ්ලිව්.ඩී.එල්. ප්‍රනාන්දු එම තුවාල පහත අයුරින් විස්තර කළේය. 

1) වම් අතේ මැණික් කටුවේ ඉදිරිපස ඉරා සිදුරු කරගෙන ඇතුළට විහිදුණු තුවාලය
2) වම් අතේ පසුපස ඉරා දමා සිදුරු කරගෙන පිටතට විහිදුණු තුවාලය. 
1, 2 යන තුවාල සිදු වී ඇත්තේ එකම උණ්ඩයක් අතේ සම සිදුරු කරගෙන පිටව යාමෙනි. 

අගමැතිවරයාගේ මරණයට හේතු වූ ඔහුගේ බඳට ඇතුල් වුණු උණ්ඩ තුන වෙත බොහෝ සෙයින් අවධානය යොමු වූ බැවින් ඉහත කී තුවාලය ඊට සාපේක්ෂව සුළු තුවාලයකි. කෙසේ වුව ද සෝමාරාමගේ වැරැදිකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ සැක පහළ වන්නේ වෙඩි තබා ඇති පළමු උණ්ඩයට අදාළවයි. පළමු උණ්ඩයෙන් සිදු වී ඇති තුවාලයත්, එය ප්‍රක්ෂිප්ත වූ ගමන් මාර්ගයත් සැලකූ විට එය අනුකූල වන්නේ පිටත මිදුලේ සිට තැබූ වෙඩිල්ලකටය. එය වැරැන්ඩාවට වඩා පහත මට්ටමෙන් තැබූවකි.

දෙවැනි තුවක්කුකරුවකු හෝ දෙවැනි තුවක්කුවක් පිළිබඳ කිසිදු යෝජනාවක් නොවූ අතර රජයේ විග්‍රහයෙන් තහවුරු වූයේ එතැනින් සොයාගත් උණ්ඩ 6ම එකම රිවෝල්වරයකින් වෙඩි තැබූ ඒවා බවයි. තීරණාත්මක ප්‍රශ්නය වන්නේ සෝමාරාම හිඳගෙන සිටි ස්ථානයේ සිට තමා වෙත හැරී වඳින අගමැතිවරයාට තුවාල සිදුවන අයුරින් ඔහු එම උණ්ඩයෙන් වෙඩි තැබුවේ කෙසේ ද යන්නයි. 

වික්‍රමසිංහගේ සාක්ෂියේ පරිදි, වෙඩි තැබීමට පෙර අගමැතිවරයා සෝමාරාම වෙත එද්දී සෝමාරාම නැගිට ඔහුගේ වම් පැත්තට ගියේ නම්, පළමු උණ්ඩය ප්‍රක්ෂේපණය වූ ආකාරයෙන් වෙඩි තැබීම සෝමාරාමට කළ නොහැකි වූවකි. 

ඇතැම් නීතිමය කරුණු 

චූදිතයා වැරැදිකරු බව සාධාරණ සැකයනිත් තොරව ඔප්පු කිරීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලට බව සිත්හි තබා ගැනීම වැදගත්ය. තම සේවාදායකයා වැරැදිකරු නොවන බව විත්තියේ නීතිඥවරයා ඔප්පු කළ යුතු නැත. සැකයේ වාසිය යන්නේ විත්තියටයි. චූදිතයා සාක්ෂි දීමට පවා අවශ්‍ය නොවේ. මෙම නඩුවේදී නිව්ටන් පෙරේරාගේ නීතිඥයා ඔහු සාක්ෂියට කැඳවීම වාසිසහගත බව තීරණය කිරීම නිසා ඔහුගෙන් සාක්ෂි විමසනු ලැබුවේය. කෙසේ වුව ද සෝමාරාම තම ප්‍රකාශය කරනු ලැබුවේ විත්ති කූඩුවේ සිට නිසා ඔහු හරස් ප්‍රශ්න ඇසීමට (විවෘත) භාජන වූයේ නැත.

එවකට පැවැති ක්‍රියා පිළිවෙළ වූයේ පැමිණිල්ලේ නීතිඥවරයා නඩුව ආරම්භයේදී සාක්ෂිකරුවන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කිරීමයි. පැමිණිල්ලේ නීතිඥවරයා ඔවුන්ගේ ලැයිස්තුවෙන් සාක්ෂියට කැඳවන්නට තෝරා නොගත් අය විත්තියේ නීතිඥවරයාට (එයින් විශේෂ වාසියක් සැලසේ නම්) සාක්ෂියට කැඳවා ගැනීම කළ හැකි වූයේය. කෙසේ වුව ද එවිට විත්තියේ නීතිඥයා සාක්ෂි මෙහෙය විය යුතු වූයේ ඉන් පසු අනෙක් පාර්ශ්වයේ නීතිඥවරයා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසූ පසුව නැවත එම සාක්ෂිකරුගෙන් තොරතුරු විමසීමේ වාරය තමන්ට නැති බව දැනගෙනය. එය ඇත්තෙන්ම අවදානම් සහගත පියවරකි. මන්දයත් අනෙක් නීතිඥවරයා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසූ විට ජූරි සභිකයන්ගේ සිතෙහි පහළ වන අදහස් නැවත වෙනස් කිරීමට අවස්ථාවක් විත්තියේ නීතිඥවරයාට නොමැති වන්නේය.

(තව කොටසක් මීළගට)

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

සංජීව සේනානායක විසිනි