IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


විදුලිබිල් කතාවට බෙල්ල දීම

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ නොයෙල් ප්‍රියන්ත මහතා පසුගිය 22 වැනිදා එම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ජනමාධ්‍යවේදියකු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී විදුලි පාරිභෝගිකයන් සම්බන්ධයෙන් කළැයි කියන ප්‍රකාශයකට අදාළව උද්ගතවූ ආන්දෝලනාත්මක තත්වය ඊට හේතු වී යැයි කියැවෙයි.

දරුවන්ට පාඩම් කරන්නට විදුලියම අවශ්‍යද? කුප්පි ලාම්පුවෙන් එම කටයුත්ත කළ නොහැකි දැයි ඔහු එම සම්මුඛ සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ප්‍රශ්න කළේය. එසේම විදුලි බිල දරා ගැනීමට නොහැකි අය ඇඳුම් මැදීම අත්‍යවශ්‍ය නොවන බවත් ඔහුගේ මතය විය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ දරුවන්ගේ අවශ්‍යතා සඳහා යාබද නිවසකින් විදුලිය ගන්නට උත්සාහ කළ පියකු මියගිය පුවතද සඳහන් කරමින් විදුලි ගාස්තු නියම කිරීමේදී දුප්පතුන් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය මීට වඩා  සංවේදී විය යුතු බවට අදහසක් සම්මුඛ සාකච්ඡාව කළ ජනමාධ්‍යවේදියා ඉදිරිපත් කළ අදහසකට පිළිතුරු වශයෙනි.

ජනමාධ්‍යවේදියා සඳහන් කළ ඉහත කී පියාගේ මරණයට  ඍජුව හා නීතිමය වගකීමක් විදුලි බල මණ්ඩලයට නැති වුවද එම පියා  එම ඉරණමට තල්ලු කිරීමේ සදාචාරමය වගකීමෙන් විදුලිබල මණ්ඩලයට ගැළවිය නොහැකිය. සම්මුඛ සාකච්ඡාව කළ ජනමාධ්‍යවේදියාද එම සිද්ධියට මෙම සාකච්ඡාවට ඈඳා ගත්තේ එනිසා බව පෙනේ. මෙතැන මණ්ඩලය  වෙනුවෙන් එම වෘත්තීය සදාචාරමය වගකීම නොපිළිගැනීමක්ද සිදුවී ඇති බව පෙනේ.

ආර්ථික අර්බුදය නිසා වසර තුනක් තුළ බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තුන් ගුණයකින්  හෝ හතර ගුණයකින් වැඩි වී අනෙක් අතට රටේ බහුතරයකගේ විශේෂයෙන්ම පහළ ආදායම් ලබන්නන්ගේ ආදායම් විශාල වශයෙන් කඩා වැටී ඇති තත්වය තුළ විදුලි බල මණ්ඩලයේ ගාස්තු වැඩි කිරීම නිසා බොහෝ පවුල්වල විදුලි බිලද පස් ගුණයකින් පමණ වැඩි වී තිබේ. එම බිල නොගෙවීම නිසා ඉකුත් වසරේ පවුල් දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ විදුලි සබඳතා අත්හිටුවා ඇති බව විදුලි බල ඇමැති කංචන විජේසේකර මහතාම සති  කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි.  රටේ දුප්පතුන් එවැනි දුෂ්කර තත්වයකට පත්ව සිටියදී ඔවුනට විදුලිය වෙනුවට කුප්පි ලාම්පු පත්තු කර ගැනීමට කීම අතිශයින්ම සාහසිකය.

කෙසේ වෙතත් ඇමැතිවරයාම සඳහන් කරන පරිදි දැනටමත් විදුලි සබඳතා අත්හිටුවනු ලැබූ පවුල් දස ලක්ෂයෙන් එක්තරා කොටසක් හෝ කුප්පි ලාම්පුවටද යොමු වී සිටිනවා විය හැකිය. එම ප්‍රකාශයේ ඇති හාස්‍යජනක පැත්ත නම් රටට විදුලිය සැපයීමේ වගකීම දරන ආයතනයේ ප්‍රකාශකයා කුප්පි ලාම්පු ප්‍රවර්ධනය කිරීමයි.

එසේ වුවද මේ කාරණයේදී ඔහු අවංකය. අධික විදුලි ගාස්තු පිළිබඳ මැසිවිලි ඇසෙන විට ආණ්ඩුවේත් විදුලිබල අමාත්‍යාංශයේත් විදුලිබල මණ්ඩලයේත් තවත් බොහෝ දෙනකුටද මේ ආකාරයෙන්ම සිතෙන්නට ඇත. එහෙත් ඔවුන් එසේ පවසා නැත. නැත්නම් පවසන්නට අවස්ථාවක් ඔවුනට නොලැබෙන්නට ඇත. එසේම සුළු කාලයක් තුළ ආණ්ඩුව පිට පිටම විදුලි ගාස්තු දරාගත නොහැකි මට්ටමකට ඉහළ දැමීය. එහෙයින් ජනතාව පිළිබඳ අසංවේදී වීම සම්බන්ධයෙන් ප්‍රියන්ත මහතාට පමණක් දොස් නැගීම සාධාරණ නොවේ.

මෙම අසංවේදී බව දක්නට ඇත්තේ විදුලි බිලෙහි පමණක් නොවේ. පසුගියදා රුපියල් 500ක පමණ මිලක සිට රුපියල් දෙතුන් දහස දක්වා එළවළු මිල ඉහළ ගියේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා නොව අතරමැදියාගේ කෲර ගසා කෑම නිසාය. සමහර විට එම අතරමැදියන්ද කුප්පි ලාම්පු කතාවට සිනාසෙනවා විය හැකිය.

තම සේවකයන් හට අනෙක් රජයේ හා රජයට අනුබද්ධ ආයතනවල සේවකයන්ට වඩා විශාල වශයෙන් වැටුප් ගෙවන ආයතන ගණනාවක්ද තිබේ. විදුලි බල මණ්ඩලයද එවැනි ආයතනයකි. එම මණ්ඩලයට හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවලට එසේ කළ හැකි වී ඇත්තේ වැඩි මිලට තම නිෂ්පාදන විකිණීම නිසාය. එවැනි ආයතනවල නිලධාරීන් හා සේවකයන් තම පාරිභෝගිකයන් වන සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් අසංවේදී වුවහොත් එය සමාජයට ඉතා තදින් දැනේ.

විදුලි බල මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිට පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක් විශාල වශයෙන් විදුලි ගාස්තු ඉහළ දැම්මේය. එසේම පසුගිය වසරේ අවසාන හය මාසය  තුළ  ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු විශාල වර්ෂාපතනයෙන් විශාල ලාබයක් ලැබීය. ඒ නිසා මේ වසර මුලදී විදුලිබිල අඩු කරන බව විදුලිබල ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබිණි. එහෙත් මුලින්  විදුලි බල අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය ගාස්තු අඩු කිරීමට සැරසුණේ සියයට තුනකිනි.

එය ප්‍රායෝගිකව ගළපා බැලුවහොත් ඒකක 90කට මදක් අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පවුලක් 2022 දී ගෙවූ රුපියල් දහසකට අඩු විදුලි ගාස්තුව දැන් රුපියල් පන්දහසකට ආසන්නව තිබියදී මණ්ඩලය අඩු කරන්නට සැරසුණේ රුපියල් 150කිනි. එය  ජනතාව සම්බන්ධයෙන් කොතරම් අසංවේදී බවක් පෙන්නුම් කරන්නක්දැයි කෙනකුට සිතා ගත හැකිය. එසේම එය එක්තරා ආකාරයක අපහාසයකි. මහජන උද්ඝෝෂණ නිසා දැන් සියයට 18කින් විදුලි ගාස්තු  අඩුකිරීමට මණ්ඩලය සූදානම් යැයි කියැවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා සිය කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට 70කින් පමණ වැඩි කිරීමද මෙහිදී සැලකිල්ලට භාජන විය යුතුය.  එය සාධාරණී කරණය කිරීමට මහ බැංකු නිලධාරීන් ඉදිරිපත් කරන තර්ක වී  ඇත්තේ  රටේ ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකුවද බුද්ධි ගලනය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දී  සිටිය යන්න හා මහ බැංකුව තමන්ම උපයා ගන්නා මුදලින් මෙම වැටුප් වැඩි කිරීම කළ බවය.

බුද්ධි ගලනය පිළිබඳ ප්‍රශ්නය බරපතළය. එම තත්වය උදා වූයේ විදේශ බැංකුවල හා මෙරට පෞද්ගලික අංශයේ බැංකුවල වැටුප් තල ඉහළ වීම නිසාම නොව ආර්ථික අර්බුදය හේතුවෙන් මහ බැංකු සේවකයන්ගේද වියදම් හා බදු ඉහළ යාම නිසාය. එහෙත්  ආර්ථික අර්බුදයට දේශපාලනඥයන්ගේ වගකීම පමණක් නොව මහ බැංකුවේ වකීමද ඉතා ඉහළය. ආර්ථික අර්බුදය පිළිබඳව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේද ඊට වගකිවයුත්තන් ලෙස මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මෙන්ම මහ බැංකුවේ හිටපු මුදල් මණ්ඩලයද සඳහන් කොට තිබිණි.

දැන් මහ බැංකුව උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටී. තමන්ද වගකිවයුතු ආර්ථික අර්බුදය නිසා ඇතිවූ බුද්ධි ගලනය පිළිබඳ තර්ජනයට මුහුණ දීම එක් ප්‍රශ්නයකි. එම අර්බුදය නිසාම ජනතාව පීඩා විඳිද්දී තම කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට 70ක තරම් විශාල ප්‍රමාණයකින් වැඩි කර ගැනීමේදී ඇතිවන සදාචාරමය ප්‍රශ්නය හා එම ජනතාව කෙරෙහි අසංවේදී වීමේ ප්‍රශ්නය අනෙක් ගැටලුවයි. මහ බැංකුව තමන්ම උපයා ගන්නා මුදලින් වැටුප් වැඩි කරගත් බව කීවද එම ඉපයීම් ජනතාවට බල නොපාන්නේද යන්න මෙහිදී මතුවන ප්‍රශ්නයකි. අතීතය කුමක් වෙතත් ප්‍රායෝගිකව වත්මන් තත්වය හමුවේ මහ බැංකුව රැක ගැනීම එම බැංකුවේ නිලධාරීන් හා ජනතාව යන  දෙපාර්ශ්වයේම වගකීමකි.

ජනතාව සම්බන්ධයෙන් වූ අසංවේදී බව කුප්පි ලාම්පු කතාව තරම්ම හෝ ඊටත් වඩා හොඳින් ප්‍රකාශ වූ අවස්ථාවක් ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ මිනී පෙට්ටි කතාව සැලකිය හැකිය. බාල ඖෂධ හා ඖෂධ හිඟය නිසා රෝගීන් මියයාම පිළිබඳ සිදුවීම්  වාර්තා වන්නට පටන් ගත් විට ඔහු පැවසුවේ රෝහලකට ප්‍රතිකාර ගන්නට එන සියලු දෙනාම සුව වී නිවෙසට නොයන බවත් රෝහල් අසල මිනී පෙට්ටි සාප්පු ඇත්තේ ඒ නිසා බවත්ය.

 ඔහුගේ ප්‍රකාශය වචනාර්ථයෙන් ගත් විට සියයට සියයක්ම සත්‍යය. එහෙත් ප්‍රමිතියෙන් තොර ඖෂධ හා ඖෂධ හිඟය නිසා රෝගීන් මියයාම්, ඇස් අන්ධ වීම් වාර්තා වන වටපිටාවක සෞඛ්‍ය සේවය භාර ඇමැතිවරයා වශයෙන් ඔහු එම මරණ සුළු කොට සලකා කතා කිරීම සාහසිකය. ජනතාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මුදල් වියදම් කොට ප්‍රතිකාර ගත නොහැකි දුගී රෝගීන් සම්බන්ධයෙන්  අසංවේදී වීමකි.

ඇමැතිවරයාට ඒ සම්බන්ධයෙන් චෝදනා කළ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති හදිසියේ තීරණය කොට කරන වැඩ වර්ජනවලින් සිදුවන්නේද එයමය. එයද පෙන්වන්නේ එම අසංවේදීතාවමය.  වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනය කිරීම ඔවුන්ගේ අයිතියක්ය යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. එහෙත් අනෙක් කේෂ්ත්‍රවල මෙන් නොව රෝහල්වල වැඩ වර්ජන වැනි වෘත්තීය ක්‍රියාමාර්ග ඍජුවම රෝගී ජීවිතවලට දැඩි ලෙස බලපායි. විශේෂයෙන්ම එය බලපාන්නේ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගත  නොහැකි දුගී රෝගීන්ගේ ජීවිතවලටය. එම වෘත්තීය ක්‍රියාමාර්ග හිටි අඩියේ ක්‍රියාත්මක කිරීම පැහැදිලිවම රෝගී ජීවිත  කෙරෙහි අසංවේදී වීමකි.

දේශපාලනය වෙතට යොමු වුවහොත්  මෑතකදී අසන්නට ලැබුණු අසංවේදී ප්‍රකාශයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි. විධායක ජනාධිපති  ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති සංවාදය ගැන ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්ෂ  මහතා ‘‘මම  ඕක භුක්ති වින්දානේ, දැන්  ඕක අහෝසි කළාට කමක් නෑ’’යි කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි  කරන බවට පොරොන්දු දී දෙවතාවක් ජනාධිපති වී එම ක්‍රමය තවත් ශක්තිමත් කළ ඔහු දැන් තමන් එය භුක්ති වින්ද බව කියයි. මෙය ඔහුට එම දෙවතාවේම ඡන්දය දුන් ඡන්ද දායකයා සම්බන්ධයෙන් කළ අසංවේදී ප්‍රකාශයකි.

පොදුවේ ගත් කල මෙරට දේශපාලනය තුළත් රාජ්‍ය සේවය තුළත් ජනතාව පිළිබඳ අසංවේදී බව පොදු තත්වයකි. කුප්පි ලාම්පු කතාව හා මිනී පෙට්ටි කතාව මෙන් ඒවා ආන්දෝලනයට ලක් වන්නේ කලාතුරකිනි. එහෙත් සංවේදී සුළු පිරිසක්ද එම ක්ෂේත්‍ර තුළ උඩුගං බලා පිහිනමින් සිටින බවද ඔවුන්ට  ගෞරවයක් පිණිස සඳහන් කළ යුතුමය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

විදුලිබිල් කතාවට බෙල්ල දීම

Senjee Sunday, 03 March 2024 01:43 AM

ඉතා හොඳ ලිපියක්. දේශපාලකයින් පමණක් නොව ඉහළ නිලධාරීනුත් ඉතා අසංවරව ජනතාව හූරා කෑම මැනවින් පිළිඹිබු කරයි. ලාම්පු එළියෙන් පාඩම් කළා කියන උගතා, ආදායම් බදුත් විදුලිබල මණ්ඩලයෙන් ගැනීම, සේවා සපයන ඒකාධිකාරී ආයතනයකින් බෝනස් ලබා ගැනීම කොතරම් අශිෂ්ඨද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 239 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 202 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 223 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 508 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 413 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 152 1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1561 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site