කොළඹ, වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටි සුබ‍්‍රමනියම් සිවතමි හෙවත් තමලිනී වවුනියාවේ පුන්තෝට්ටම්හි ආරක්ෂිත රඳවා ගැනීමේ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජූනි 26 වැනිදා මාරු කර යැවිණි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ.) කාන්තා දේශපාලන කොමිසාර්වරියව සිටි ඇය මෙසේ මාරු කර යවන ලද්දේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි ජූනි 22 දා ලබාදුන් නියෝගයක් අනුවය. සමුපකාර පුහුණු මධ්‍යස්ථානයක් ලෙස කි‍්‍රයාත්මක වන පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට තමලිනී මාරු කර යැවීම යම් කාලයක පුහුණුවකින් පසුව ඇය නිදහස ලබන බව පෙන්නුම් කරන්නකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ කර්නල් තනතුරක් දැරූ තමලිනී දැනට අත්අඩංගුවේ සිටින හිටපු සාමාජිකාවන් අතර ඉහළම තත්ත්වයේ සිටින්නියයි. එල්.ටී.ටී.ඊ. කාන්තා අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමලිනී එහි පිරිමි අංශයේ දේශපාලන කොමිසාර් බාලසිංහම් මහේන්ද්‍රන් හෙවත් නඬේසන්ට සමාන තත්ත්වයේ සිටියාය. මාලතී අංශයේ අණ දෙන්නාව සිටි කන්දයියා ඥානපූරණී හෙවත් විදුෂා සහ සෙප්තියා අංශයේ අණ දෙන්නියව සිටි කලයි චෙල්වි පොන්නතුරෙයි හෙවත් දුර්ගා සහ තමලිනී යන තිදෙනා එල්.ටී.ටී.ඊ.යේ අවසන් කාලයේ එහි කාන්තා අංශයේ සිටි ඉහළම නායිකාවෝ තිදෙනා වෙති. විදුෂා එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ වූයේ 1986දී අතර දුර්ගා සම්බන්ධ වූයේ 1989දීය. තමලිනී එල්.ටී.ටී.ඊ.යට එක් වූයේ 1991දීය. තමලිනී පුන්තොට්ටම් වෙත මාරු කිරීම සලකනු ලබන්නේ ඇයට සම්පූර්ණ නිදහස ලබාදීමේ ප‍්‍රථම පියවර වශයෙනි. පුන්තෝට්ටම්හිදී යම් කාලයක් පුහුණුව ලැබීමෙන් පසු එදා ”නිදහසේ කිරිල්ලියක” (එල්.ටී.ටී.ඊ. කාන්තා අංශය හඳුන්වනු ලැබුවේ එලෙසය) සිටි ඇයව නිදහස් කළ විට එය නිදහස් කිරිල්ලියක් වනු ඇත. කොළඹ සිට වවුනියාවට තමලිනී මාරු කර යැවීමෙන් පසුව නිදහස් කිරීමේ සූදානමත් මගින් පෙන්නුම් කරනුයේ අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් නිදහස් කිරීමේ දැවෙන ප‍්‍රශ්නයේදී ආණ්ඩුව පැත්තෙන් ඇති වී තිබෙන නම්‍යශීලීභාවයයි. එමෙන්ම වඩාත් වැදගත් කාරණයක් වන්නේ එල්.ටී.ටී.ඊ. සබඳතා නිසා අත්අඩංගුවේ සිටින තවත් පිරිස් ඉදිරියේදී නිදහස ලබන බවට මෙය පෙර නිමිත්තක් වීම නිසාය. එල්.ටී.ටී.ඊ.ය තුළ තමලිනීගේ කි‍්‍රයාකාරිත්වය, ඇය අත්අඩංගුවට පත්වීම, සිර බාරයේ තැබීම, මාරු කර හැරීම හා පසුව නිදහස් කිරීමට යාම යන කි‍්‍රයාදාමය මගින් පෙන්නුම් කරන්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා එල්.ටී.ටී.ඊ. සබඳතා තිබූ අය දිගින් දිගට රඳවා තබා ගැනීමේ කි‍්‍රයාවලියේ වත්මන් තත්ත්වයයි. තමලිනීගේ ඉරණම මගින් පෙනෙන්නේ මෙම දිග්ගැසුණු කි‍්‍රයාවලියේ මානවවාදී පැතිකඩයි. දැන් එයට ලැබී තිබෙන විසඳුමෙන් පෙනෙන්නේ ගැටුම් පවතින ක්ෂේත‍්‍රවල වඩාත් හොඳ ප‍්‍රගතියක් ලබාගත හැකි වන්නේ සහයෝගීතාවෙන් මිස ගැටුම මගින් නොවන බවයි. මෙම ලියුම්කරු රටින් ඈත සිටියද තමලිනී නිදහස ලබන්නට ආසන්න බව දැන සිටියේය. එය කිව යුතු කතාවකි.   පරන්තන් තමලිනීගේ නියම නම ”සුබ‍්‍රමනියම් සිවකමි”යි. ඇය උපන්නේ 1972 අපේ‍්‍රල් 23දා පරන්තන්හිදීය. ඇගේ පවුලේ මුල් ගම් බිම් යාපනයේ වුවද කිලිනොච්චි හා එලිෆන්ට්ෆාස් අතර  පරන්තන්හි ඔව්හු පදිංචි වී සිටියෝය. පසුව ඔවුහු කිලිනොච්චිහි උදයනගර්හි කනකපුරම් පාරේ නිවසක පදිංචියට ගියහ. ඇගේ පවුලේ සිටියේ ඇගේ මව සහ සහේදරියන් දෙදෙනෙකි. සහෝදරියෝ දෙදෙනාම විවාහ වී සිටියෝය. ඇගේ මව සහ සහෝදරියක කිලිනොච්චියේ පදිංචිව සිටි අතර අනෙක් සහෝදරිය සිටියේ නෝර්වේහිය. ඇගේ පවුලේ සිටි තවත් සහෝදරියක් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකව සිටියදී 1998 සැප්තැම්බර්වලදී පරන්තන්හිදී ”සත් ජය-2 මෙහෙයුම” සමග සටනේදී මියගියාය. සිවකමි සුබ‍්‍රමනියම් ඇගේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලැබුවේ පරන්තන් හින්දු විද්‍යාලයේය. ඉන් පසුව ඇය උසස් පෙළ හැදෑරීම සඳහා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූවාය. උසස් පෙළ හදාරමින් සිටියදී පාසලට පමිණි එල්.ටී.ටී.ඊ.යට සාමාජිකයන් බඳවා ගන්නන්ට ඇහුන්කන් දීමෙන් පසුව ඇය එම සංවිධානය වෙත ආකර්ශනය වූවාය. 1991 ජූලි 27 වැනි දින එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ වූ ඇය කිලාලි හා යාපන අර්ධද්වීපයේ නිර්වෙලි එල්.ටී.ටී.ඊ. කඳවුරුවලදී පුහුණුව ලැබුවාය. සංවිධානය තුළ ඇගේ හැඳුනුම්පත් අංකය වූයේ 1736යි. සිවකමිගේ අන්වර්ත නාමය තමලිනී යන්නයි. ඇයට යාපනය අර්ධද්වීපයේ වලිකාමම් ප‍්‍රදේශයේ නොයෙකුත් ස්ථානවල වැඩකටයුතු පැවැරණි. පසුව ඇයව කිලිනොච්චියේ හා කිලාලිහි සේවයේ යොදවනු ලැබුවාය. මුලදී එල්.ටී.ටී.ඊ. හමුදා අංශයේ කි‍්‍රයාකාරී වූ තමලිනී සටන් බොහොමයකට සහභාගී වූවාය. ඇයගේ පළමු මහ සටන වූයේ 1993 සැප්තැම්බර්වලදී හමුදාව එලිෆන්ට්පාස් කඳවුරෙන් ඉදිරියට විත් කිලාලි අල්ලා ගැනීමට දියත් කළ ”යාල්දේවි” මෙහෙයුමට එරෙහි සටනයි. 1993 නොවැම්බරයේ පුනරීන් හා නාගතෙවන්තුරෙයි කඳවුරුවලට එල්ල කළ ප‍්‍රහාරයටද ඇය සහභාගී වූවාය. තමලිනී සමග කළ සාකච්ඡාවකින් පසුව ඇය කෙරෙහි පැහැදුනු එල්.ටී.ටී.ඊ. දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් හා ඔහුගේ බිරිඳ ඇඬේලා තමිලිනීව දේශපාලන අංශයට මාරු කරවා ගත්තෝය. තමලිනීට පැවරුණේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ කොහු කර්මාන්ත ශාලාවක් හා ගොවිපලක් භාරව කටයුතු කිරීමයි. එල්.ටී.ටී.ඊ. කාන්තා සඟරාව වූ ”නිදහසේ කිරිල්ලියෝ”හි සංස්කාරක මණ්ඩලයටද තමලිනී පත් කරගනු ලැබුවාය. ඇඩෙලා බාලසිංහම්ගේ ආශ‍්‍රයෙන් ඇය දැඩි ස්තී‍්‍රවාදියක බවටද පත් වූවාය. හමුදාව විසින් සාර්ථකව කි‍්‍රයාත්මක කරන ලද රිවිරැස මෙහෙයුමෙන් පසුව එල්.ටී.ටී.ඊ.යට සිදුවූයේ තම වැඩකටයුතු වන්නි ප‍්‍රදේශයට රැුගෙන යාමටය. තමලිනී දිගටම දේශපාලන අංශයේ වැඩකටයුතු කළාය. එසේ වුවද 1997-98 කාලයේ ”ජයසිකුරු මෙහෙයුම” කි‍්‍රයාත්මක වීමත් සමග තමලිනීටද සිදුවූයේ සටන්වලට සහභාගීවීමටය. මාන්කුලම් ප‍්‍රදේශයේ සටනට යොදවන ලද ඇයට ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවූවාය. එක් අවස්ථාවකදී පිසූ ආහාර නොමැති වූ ඔවුන්ට සිදුවූයේ කැලයේ වැවෙන පලතුරු ආදිය කමින් දිවි ගෙවීමටය. තමලිනී, බාලසිංහම්ගේ මෙන්ම එවකට දේශපාලන අංශ ප‍්‍රධානියාව සිටි සුප්පයියා පරමු තමිල් සෙල්වම්ගේද සිත් දිනාගෙන සිටියාය. එමගින් ඇයට සංවිධානයේ වේගයෙන් ඉහළ නිලවලට නැගීමට හැකිවූ අතර 2000 ජූනි මාසයේදී කාන්තා අංශයේ දේශපාලන නායකත්වයට පත් කරනු ලැබුවාය. එලිෆන්ට්පාස් නැවත අල්ලා ගැනීම සඳහා 2001දී හමුදාව අග්නිඛීල මෙහෙයුම දියත් කිරීමත් සමග නැවතත් සටනට සම්බන්ධ වීමට තමලිනීට සිදු වූවාය.   කිලිනොච්චි නෝර්වේ මැදිහත්වීමෙන් ඇති වූ සටන් විරාම ගිවිසුමෙන් පසුව එල්.ටී.ටී.ඊ.ය කිලිනොච්චියේ ස්ථිර දේශපාලන ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරනු ලැබීය. ස්තී‍්‍රවාදියක ලෙස එල්.ටී.ටී.ඊ. ව්‍යුහය තුළද සමානත්වය සඳහා සටන් කළ තමලිනීට එහිදී යම් සාර්ථකත්වයක් ලබාගත හැකි විය. මුලදී කාන්තා අංශය සලකනු ලැබුවේ ප‍්‍රධාන දේශපාලන අංශයේම කොටසක් වශයෙනි. තමලිනී සටන් කොට දිනා ගත් ”ස්වායත්තතාව” සමග ඇයට තත්ත්වය පෙන්වන සංකේතද හිමි විය. එනම් ඩබල් කැබ් රථයක්, පරිවාර වාහන හා ශරීර ආරක්ෂකයන් ආදියයි. සටන් විරාමය පැවති අවධියේදී තමලිනීට තමන්ගේ වැඩ ක්ෂේත‍්‍රය විවිධ ආකාරයෙන් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබිණි. එල්.ටී.ටී.ඊ. කාන්තා සාමාජිකාවන් කණ්ඩායමක් සමග කොළඹට පැමිණි ඇය ස්තී‍්‍ර අයිතීන් හා ප‍්‍රශ්න පිළිබඳ සම්මන්ත‍්‍රණ සහ සාකච්ඡාවලට සහභාගී වූවාය. 2003දී හා 2005දී යුරෝපයේ සංචාරය කළ එල්.ටී.ටී.ඊ. නියෝජිත කණ්ඩායමේ කොටස්කාරියකු වීමටද තමලිනීට අවස්ථාව ලැබිණි. යුරෝපයේදී ඇයට ඩයස්පෝරාවේ නොයෙකුත් කණ්ඩායම් හමු විය. නොයෙකුත් රැුස්වීම් ඇමතූ ඇයට තමන්ගේ සවන් දෙන්නන්ට විශාල බලපෑමක් කිරීමේ හැකියාව ලැබිණි. මා විසින් ”කේ” යනුවෙන් හඳුන්වනු ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සමග තමලිනීගේ ආදර සම්බන්ධයක් ඇති වන්නේ මෙම කාලයේදීය. ඊට හෝ පෙර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා සාමාජිකාවන් ජෝඩු කොට විවාහ කරවීමට ප‍්‍රභාකරන් කටයුතු කරද්දී තමලිනී විවාහ වීමට අකැමැති වූවාය. එසේ වුවද යුරෝපා සංචාරයේදී ඇයට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු මුණගැසිණි. ඔහු දැන් පදිංචිව සිටින්නේ යුරෝපයේය. ඔවුන් එකිනෙකා අතර ආකර්ශනයක් හා යම් පමණක ආදර සම්බන්ධයක් ඇති විය. වන්නියට පැමිණි ”කේ” කිලිනොච්චියේ ටික කලක් ගත කළේය. ඔවුහු තවමත් විවාහ නොවූවෝය. සටන් විරාමය බිඳවැටී යුද්ධය ආරම්භ වී එය වර්ධනය විය. ආරක්ෂක හමුදා හෙමින් නමුත් ස්ථාවර ලෙස ඉදිරියට ගිය අතර එල්.ටී.ටී.ඊ.යට පසුබසින්නට සිදු විය. අවසානයේ එල්.ටී.ටී.ඊ.ය මුලතිව්හි කරයිතුරයිපත්රු උපදිසාපති කොට්ඨාසයේ කුඩා බිම් කඩකට කොටු කරනු ලැබීය. 2009 අපේ‍්‍රල් 4-5 දිනවල ආනන්දපුරම්හි ඇති වූ ගැටුමේදී එල්.ටී.ටී.ඊ. උතුරේ අණදෙන නිලධාරි තීපන් මියයාමත් සමග අවසානය නිශ්චිත බව පෙනෙන්නට තිබිණි. කාන්තා අංශයේ නායිකාවන්ව සිටි විදුෂා සහ දුර්ගාද මෙම සටනේදී මියගියෝය. මෙම සටනට සහභාගි වූ තමලිනීද මියයනු ඇතැයි සිතුවද ඇයට සුළු තුවාල ලැබීම පමණක් සිදු විය. සටනේදී තමන් සමග සිටි සගයන් වූ විදුෂා හා දුර්ගාගේ මරණ තමලිනීගේ කම්පනයට හේතු විය. පරාජය නොවැළැක්විය හැකි බව තේරුම් ගියද සංවිධානයට ඇති භක්තිය නිසා තමලිනී දිගටම පුදුමාතලන්හි රැඳී සිටියාය.   වවුනියා අවසානය ළඟා වෙද්දී තමන් සමග සිටි සාමාන්‍ය ජනයාට ආරක්ෂාව පතා හමුදාව වෙත ගොස් යටත්වීමට ඉඩදීමට එල්.ටී.ටී.ඊ. නායකත්වයට බල කෙරී තිබිණ. මැයි 15 දා තමලිනීත් ඇගේ මව සහ සහෝදරියත් ඒ ආකාරයෙන්ම යටත් වූවෝය. තමන්ගේ ආයුධය, නිල ඇඳුම, සයනයිඞ් කරල සහ හැඳුනුම්පත විසි කර දැමූ තමලිනී විශාල මහජන කණ්ඩායමක් සමග පැමිණියේ තම පවුලේ උදවියද සමගය. ඔවුන් සියලූ දෙනා එල්.ටී.ටී.ඊ. නොවන පුරවැසියන් ලෙස සලකා 2009 මැයි 20දා වවුනියාවට රැගෙන එනු ලැබූහ. ඔවුන්ව රඳවන ලද්දේ සුබසාධන කඳවුරකය. එසේ වුවද ඉහළ පෙළේ නායිකාවක වූ තමලිනීව එහි සිටි පිරිස් විසින් ඉතා ඉක්මනින් හඳුනාගනු ලැබුවාය. බලධාරීන්ට ලැබුණු ඔත්තු අනුව 2009 මැයි 27 දා තමලිනීව අත්අඩංගුවට ගනු ලැබුවාය. ඇය කොළඹට රැගෙන එන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ප‍්‍රශ්න කිරීම් සඳහාය. ඇගෙන් ප‍්‍රශ්න කිරීමට ජාතික හා හමුදා බුද්ධි අංශයද කටයුතු කළේය. පසුව ඇය හදිසි නීති රෙගුලාසි යටතේ 2009 ජූනි 17දා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එවකට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි හමුවට ඉදිරිපත් කරනු ලැබුවාය. එල්.ටී.ටී.ඊ.යේ ඇගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මූලික වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබීය. තවදුරටත් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීය. ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ 2009 ජූලි 17 දා ඇයව නැවතත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. පසුව තවත් සති දෙකක අවස්ථාවක් ලබා දුන්නේය. තමලිනී පිළිබඳ සිදුවීමේදී අවධානයට ලක් විය යුතු කාරණයක් වන්නේ එල්.ටී.ටී.ඊ. කාන්තා අංශයේ නායිකාවට සාධාරණ ලෙස සැලකීම ගැන අධිකරණය දැක්වූ පැසසුම් සහගත විමසිලිමත්භාවයයි. තමලිනීට සාධාරණ ලෙස සැලකිය යුතු බව මෙන්ම තවදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීම ඇත්ත වශයෙන්ම අවශ්‍යද යන්නද අධිකරණය විසින් අවධානයට ලක් කරන ලදී. රඳවා ගැනීම සඳහා තවත් දිනයක් ලබාදීමට පෙර 2009 අගෝස්තු 5 වැනිදා ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හපුආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට ගොස් හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ඇති බලතල අනුව පෞද්ගලික පරීක්ෂාවක් කළේ තවත් දිනයක් ලබාදීමට පෙර තත්ත්වය සමාලෝචනය කිරීම සඳහාය. හිටපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙන්ම දැන් සිටින ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලිද නීති කි‍්‍රයාත්මක කරන ආයතනවලට නිතරම ඉක්මන් දින ලබාදුන්නේ පොලිස් අත්අඩංගුවේ දිගින් දිගට රඳවා ගැනීමේ ප‍්‍රවනතාවට බාධා වන ආකාරයෙනි. පරීක්ෂණ අවසන්ව තමලිනී සම්බන්ධ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමෙන් පසුව තමලිනී රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබීය. වෙනත් බොහෝ දෙනකුගේ නඩු මෙන් තමලිනීගේ නඩුවද කල් අදිමින් තිබීම වැළැක්වීම සඳහා අධිකරණය දිගින් දිගටම කළේ ඉක්මන් දින ලබාදීමයි. ඇය අවස්ථා රාශියකදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් දිගටම කළේ කල් ගැනීමයි. එයට ප‍්‍රධාන හේතුව ආරක්ෂක අංශවලින් ස්ථිර උනන්දුවක් නොමැතිවීමයි. මතු සම්බන්ධයි...