බත්තලන් ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි. කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111ක් පමණය.

සිරි ලක් සිතියමේ වයඹ දිග මුහුදේ වැතිරී පැතිරී තිබෙන දුපත් සමූහය දා හතරකි. සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත් සමූහය, කල්පිටිය යෝජිත සංචාරක ව්‍යාපෘතියේ ද සුවිශේෂී සාධකයකි. පසෙකින් පුත්තලම් කළපුවෙනුත්, මහ සයුරෙනුත් මායිම් වූ, සොඳුරු දසුනින් පිරිපුන් මෙම දුපත් සමූහය සංචාරක ආකර්ශනයට බෙහෙවින් තුඩු දී ඇත්තේ ය. එසේ වී නමුදු අවිනිශ්චිත අනාගතයක් දෝතින් දරාගෙන, ගරා වැටෙන ධීවර දිවි පැවත්මක් දායාද කොට ගත්, ධීවර ප‍්‍රජාවක් මෙම දුපත් සමූහයේ දිවි ගෙවන්නෝය.

බත්තලංගුංඩුව, පල්ලිය වත්ත, වෙල්ල 1, වෙල්ල 2, වෙල්ල 3, උච්චිමුණේ, ඉප්පන්තිව්, පෙරිය අරිච්චල්, සින්නාරිච්චල්, එරමුතිව්, සින්න එරමුතිව්, එරමුතිව් බටහිර, කාකතිව්, සහ මොහොත්තුවාරම යන දුපත්, මෙම දුපත් වේ. මෙම දුපත් සමූහයෙන් මොහෝත්තුවාරම, උච්චිමුනේ, බත්තලන්ගුංඩුව සහ පල්ලිය වත්ත යන දුපත් ධීවර ප‍්‍රජාව වෙසෙන දුපත් වෙයි. අනෙකුත් දුපත් වසරේ කලකට පමණක් සංක‍්‍රමික ධීවරයන් වෙසෙන දුපත් ය.

බත්තලංගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි. කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111ක් පමණය.

 

 

කල්පිටිය ජැටියේ සිට මගී ප‍්‍රවාහන බෝට්ටු දෙකක් මෙම දුපත් කරා ගමන් ගනී. පෙරවරු අටයි තිහට දිනපතා, සාමාන්‍ය මගී ප‍්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ වෙයි. පැය තුනකට ආසන්න කාලයකදී දුපත් කරා ළඟා විය හැකිිය. එක් මගියකුගේ එක් වාරයක් සඳහා ගමන් ගාස්තුව රුපියල් 270කි. පහසු ආසන සහ සුරක්‍ෂිත බවින් යුතු සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන සේවාවක් ද කි‍්‍රයාත්මක වේ. එහි ගමන් සඳහා කලින් දින වෙන් කළ යුතු ය. මෙම බෝට්ටු දෙකේම හිමිකරු වන්නේ මීගමුවේ පදිංචි මාක් සුජිත් මහතා ය. දුපත් වාසින් තම එදිනෙදා අවශ්‍යතා රැසක්ම සපුරා ගන්නේ මෙම මගී ප‍්‍රවාහන බෝට්ටු මගින් ය. පානීය ජලය, කරවල සඳහා ලූණු, අයිස් සහ ආහාර ඒ අතර වෙයි.

බත්තලංගුන්ඩුව දුපත හා පල්ලිය වත්ත දුපත කරා ළඟා වීමේ දී ආණවාසල, ඉරමතෙව්, සින්න අරිච්චල්, පෙරිය අරිච්චල්, ඉප්පන්තීව්, අලිගහ කැලේ, කිඹුලා බොක්ක, ආදි දුපත් රැසක්ම පසු කර යනු ලැබේ. බත්තලංගුන්ඩුව සහ පල්ලිය වත්ත, පිහිටා ඇත්තේ නැගෙනහිරින් සේරක්කුලිය, වනාතවිල්ලූව, එලූවන්කුළම, ගගේ වාඩිය, වෙල්ල මුන්දලම, බටහිරින් එරටිය තීව්, වෙල්ල, කොල්ලන් කනත්ත, පලූගහතුරේ, කුදිරමලේ කන්ද පිරිවරා ගෙනය.
දුපතේ ජීවත්වන්නෝ බහුතරය මීගමුව ආශි‍්‍රත සංක‍්‍රමණික ධීවරයෝ ය. එහෙත් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කලක් ගෙවී ඇත්තේ බත්තලංගුංඩුව හෝ පල්ලියවත්ත දුපතේ ය. එම නිසා මෙම ධීවරයන්ගේ මහ ගෙදර ලෙස දුපත හැඳින්වීම සුදුසු ය.

හැට එක් හැවිරිදී ඇන්ටනි මීගමුවේ පදිංචිකරුවෙකි. එහෙත් ඔහුගේ ජීවිතයෙන් වසර පනහකට වඩා ගත වී ඇත්තේ දුපතේ ය. ‘‘මම මැරෙන්නෙත් දුපතේම තමයි.’’ ඔහු පවසයි.

දුපත්වාසින් අතරින් බොහෝ දෙනකු සිංහල සම්භවයකින් යුතු වුවද, දමිළ බස හසුරුවයි. දැනට වියපත්ව පසුවන බොහෝ ධීවරයන්ට නිශ්චිත නමක්, පෙලපත් නාමයක් හෝ උප්පැන්න සහතිකයක්, නොමැත්තේ ය. කිරා, බබා, යකා, රාජු ආදි අන්වර්ත නාම රැසකින් ඔවුන් හැඳින්වේ. එහෙත් අපට දැනගන්නට ලැබුණේ දුපතේ පහසුකම් නොමැති නිසා එවැනි වියපත් ධීවරයන් බොහෝ දෙනකු, ඔවුන්ගේ ඥාතීන් විසින් දුපතින් ඉවත්කර ගෙන ගොස් ඇති බවය.

 

මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාව

 

‘‘අපේ ලොකු තාත්තා දුපතින් යන්න අකමැතෙන්නුයි ගියේ. එයාට දුපතේ හුළගත් සැපයි කීවා. ඒ වුණාට හදිසි ලෙඩකට දුකකට බේත් ටිකක් ගන්න කෙනෙක් දුපතේ නැහැ. ධීවර සමිතියෙනුත් අපට කීවා ඒ නිසා මීගමු අරින එක හොඳයි කියලා’’ සිය පියාගේ පියා පිළිබඳව මුණුබුරකු වූ නිරංජන් ප‍්‍රනාන්දු අප හා පැවසුවේය. මෙම ආදිතමයෝ මීට දශක කිහිපයකට පෙර දිවයිනේ නන් දෙසින් පැහැරගෙන විත් දුපතේ කරවල වාඩිවලට විකුණූ දරුවන් ලෙස සැලකේ.
එවන් අතීත මතකයක් අප හා දිගු හරින්නට සිය වයස පිළිබඳව නිශ්චිත මතකයක් නැති ‘‘ජෝෂා මාමා’’ මෙසේ ඉදිරිපත් විය.

‘‘ඒ කාලයේ ලංකාවේ, නොයෙකුත් ප‍්‍රදේශවල ළමයින්ව ලොරිවල පටවාගෙන අරන් එනවා. හොඳට කන්නත් දෙනවා. වඩ හා අයිස් කී‍්‍රම් කෑව හැටි මට මතකයි. ඉන් පස්සේ කල්පිටිය ටවුන් එකේ පිච්චර් හෝල් එකට එක්ක එනවා. දවසක්ම ෂෝ දෙකක් හෝ තුනක් දෙමළ පිච්චර් බලනවා. ගෙවල් දොරවල් අම්මා තාත්තා ඔක්කෝම අමතකයි. මේ ජොලියෙන්ම හැමදාම ඉන්න පුළුවන් කියලයි හැමෝම හිතන්නේ. ඉන් පස්සේ ලොකු වල්ලම් වලට ළමයින්ව පටවනවා. කෙළින්ම දුපතට පදිනවා.’’

‘‘වයස අවුරුදු අටේ, දහය, ළමයින් තමයි වැඩිපුර ඉන්නේ. හුඟක් ළමයින්ට මුහුදු ගමන නුහුරු නිසා වමනය යනවා. දුපතට යන කොට හොඳටම හෙම්බත් වෙලා. ඔන්න දැන් තමයි ළමයින්ට අම්මා තාත්තා ගෙදර දොර මතක් වෙන්නේ. එතකොට ප‍්‍රමාද වැඩියි. වැඩිය දැඟලූවොත් වේවැල් කසාය ලැබෙනවා. සමහර හිතුවක්කාර දරුවන්ව මරල, මිනිය මුහුදට විසි කරන බවත් මම අහලා තියෙනවා. ළමයින්ව අරන් ආව තැරව්කාරයෝ, කරවල වාඩියේ මුදලාලිගෙන් ගාන මරා ගෙන යන්න යනවා.’’

මීට වසර හැට හැත්තෑවකට පෙර දුපතේ කරවල වාඩිවල ශ‍්‍රමික අවශ්‍යතා සපුරාගෙන ඇත්තේ එලෙසය. එම පරපුරේ බොහෝ දෙනෙක් අද දුපතින් සමු ගෙන දරු මුණුපුරන් සෙවණේ ජීවිතයේ සැදෑ සමය ගෙවති. ඇතැමුන් ජීවිතයෙන් ද සමුගෙනය.

දුපත්වාසී ජනතාවගේ අභිමානවත් ධීවර දිවි පෙවෙතට මේ වන විට බලවත් ලෙස අභියෝග පැමිණෙමින් පවතී. වත්මන් ආර්ථික, සාමාජීය පසුබිම මොවුන් පිට පටවා ඇත්තේ දැරිය නොහැකි පීඩනයකි. එපමණක් නොව, ස්වභාවධර්මය පවා මෙම මිනිසුන්, දැන්, දැන්, දුපතින් පලවාහැරීමේ කුමන්ත‍්‍රණයක නිරතව සිටින බව පෙනේ.

 

 වැල්ලේ කණින ළිඳෙන් ජලය ලබාගන්නා ධීවර කාන්තාවෝ

 

දුපතේ දිවිය සඳහා මේ වන විට ඉහළ මිලක් වැය වන්නේ ය. ඉන්ධන මිල ඉහළ යාම, ධීවර රැකියාව පැරදෙන සූදුවක් බවට පත් කොට ඇතැයි බොහෝ ධීවරයෝ අපට පැවසූහ. ‘‘ඉන්ධන මිලවත් නැතුව ගෙදර එන, දවස් අනත්ත’’ බැව් ඔවුහු පවසති. දුපතේ ජීවන වියදම ද ඉතා ඉහළයි. අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති මුහුදු ඛාදනය ද අකාරුණික ලෙස මොවුන් දුපතින් පළවා හරිමින් සිටියි. මේ නිසා ඇතැම් ධීවරයෝ දුපත් හැරදා යාමේ ප‍්‍රවනතාවක්වේ. බත්තලන්ගුන්ඩුව දුපතේ මෙන්ම පල්ලිය වත්ත දුපතේ ද ධීවරයන් මෙසේ සිය දුපත් ගම්බිම් හැරදා යාමේ ප‍්‍රවනතාව ඉහළ ගොස් ඇත්තේය. ඒ අනුව ධීවර වෘත්තියේ ද පැහැදිලි පසු බෑමක් දිස්වෙමින් පවතියි.

මීට වසර ගණනාවකට ඉහත දුපතේ දැකිය හැකිවූ මාදැල් රැකියාව දුපත් ඉතිහාසයට එක්වෙමින් පවති. ගණනින් තිහක් පමණවූ මාදැල් වලින් අද දුපතේ ඉතිරිව ඇත්තේ එකම එක මා දැලක් පමණි. අන් මා දැල් හිමියෝ සිය වෘත්තියට ආයුබෝවන් කියා හමාරය. ඉතිරිව ඇති මෙම එකම එක මා දැලේ හිමිකරු වූ, පල්ලිය වත්ත දුපතේ ‘‘සහනය’’ ධීවර වාඩියේ ධීවර ව්‍යාපාරික ජෝෂප් නිව්ටන් ලෝව් (අවුරුදු 50) මහතා, හමුවීමේ දුලබ වාසනාව අප සතු විය.
‘‘ආර්ථික සාමාජීය සුනාමියන්ට මුහුණ දෙමින් දුපතේ, මා දැලක් පවත්වාගෙන යන එකම ධීවර ව්‍යාපාරිකයා වශයෙන්, මේ අදහස් දැක්වීමට ලැබීම අභිමාණයක්. මේ දුපතේ සශ්‍රීක සමයක් තිබුණා. පසුව ක‍්‍රමයෙන් මෙම දුපතේ සියලූ ව්‍යසන අභිබවා මුහුදු කෑම බලවත් වුණා. පල්ලිය වත්ත දුපත අසළ තිබුණු, මුක්කලේ, සෙත්තු කුඩාව දුපත් මුලූමනින්ම මුහුදු බත් වුණා. වෙල්ල කියන දුපත පල්ලිය වත්ත දුපතින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා, කිඹුලා බොක්ක අලූතින් නිර්මාණය වුණා. වෙල්ල දුපතේ පොල් ගස් තුන්සියයක් විතර තිබුණා. අසල්වාසී දුපත් වාසින්ට පානීය ජලය සැපයූ විශාල ළිඳක් තිබුණා. අද ඒ කිසිවක සළකුණක් වත්නැහැ. මේ වන විට පල්ලිය වත්තෙන් තුනෙන් එකක් පමණයි, ඉතිරිව තිබෙන්නේ. පල්ලිය වත්ත කතෝලික දේවස්ථානය, මුලූමණින්ම මුහුදුබත්. සාමයේ සැතපුණු දුපත්වාසින් දැන් ඉන්නේ මුහුදේ.’’

‘‘ධීවර බෝට්ටු සංඛ්‍යාව තුන් සියයේ සිට මේවන විට හතළිහ දක්වා අඩුවෙලා. මේ දුපත ස්වභාවික දිය කඩනයක් ලෙස පාවිච්චි වෙනවා. වසරකට මීටර පනහක් මුහුදට යනවා. මගේ විශ්වාසයේ හැටියට තව අවුරුදු දහයකින් දොළහකින් පල්ලිය වත්ත දුපත නැහැ. මේ දුපත් මුහුදු බත් වුණාට පස්සේ බත්තලන්ගුන්ඩුව දුපතටත් අත් වන්නේ මේ ඉරණම තමයි. මේ වාතාවරණ මැද ධීවරයෝ දුපත් හැරයාම හැර වෙනත් විකල්පයක් කොහින්ද?’’
බත්තලංගුන්ඩුව දුපතේ මුහුදු ඛාදනය ප‍්‍රබලව දැකිය නොහැකිය. නමුත් ආර්ථික හා වෙනත් දුෂ්කරතා මෙම ජනතාව දුපත් ජීවිතයෙන් පළවා හරියි.
‘‘අප දන්න කාලයේ සිට බොන්නේ වැල්ලේ හාරන වළකින් ගන්නා ජලය. මේක අවුරුද්ද පුරාම ගන්න බැහැ. කාලෙකට වතුර කිවුල් වෙනවා. බොන්න බැහැ. කිසිම බලධාරියෙක් මේ ගැන හිතන්නේ නැහැ.’’ දුපත්වාසි ධීවරයකු වූ මිගෙල් ප‍්‍රනාන්දු පවසයි. දුපත් සඳහා ජලය සැපයුමේ ප‍්‍රයත්නයක් වේදැයි, අප කල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් රංගන ප‍්‍රනාන්දු මහතාගෙන් විමසූවෙමු.

 

දුපතේ ළමයි
 
දුපත් පාසල

 

‘‘පලූගහතුරේ සිට කළපුව හරහා ජල නළ එළීමෙන් පානිය ජලය දුපතට ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. අවශ්‍ය තාක්ෂණික දැනුම හෝ මුදල් ප‍්‍රතිපාදන පිළිබඳව තවම අදහසක් ඉදිරිපත්ව නැහැ. මෙම යෝජනාව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාව කි‍්‍රයාත්මක වුනොත් දුපත්වාසි ජනතාවට විශාල සෙතක් සැලසෙනවා.’’

මෙම දුපත්වාසින් සඳහා කිසිදු සෞඛ්‍ය පහසුකමක් නොමැත. නාවික හමුදා කඳවුරින් ඉල්ලා ගන්නා බෙහෙත් පෙත්ත හැර වෙනත් විකල්පයක් ද නැත. රෝගි වූ විටක හෝ හදිසි අනතුරකදි පැය තුනක හමාරක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව කල්පිටිය රෝහලට ළඟාවිය යුතුය. දුපත් ඉතිහාසයේ කිහිප විටක, කල්පිටිය රෝහල කරා යමින් සිටිය දී බෝට්ටු තුළ සිදුවූ දරු උපත් පිළිබඳව වාර්තාවේ. බත්තලන් ගුංඩුවේ මෙන්ම පල්ලිය වත්තේ සිටි සාම්ප‍්‍රදායික වින්නඹු මවුන් මෙන්ම අත් බෙහෙත් කළ වෙදුන් පවා මේ වන විට දුපත හැර ගොසින්. ගැබිනි මවුන් මෙන්ම නිධන්ගත රෝගින් ද දුපතේ රඳවා ගැනීම තහනම්ය. ඔවුන්ගේම යහපත උදෙසා දුපත් ධීවරයෝ මෙම සාමූහික තීරණයට එළැබ ඇත.

චමින්ද
 
ෆ්නෑන්ඩො
 
ඇන්ටන්

 

පල්ලිය වත්ත දුපතේ රජයේ පාසලක් ආරම්භ කොට ඇත්තේ 1979 වසරේය. හැරල් මංචනායක, තෙන්නකෝන් යන උපගුරුවරුන් මෙම පාසල වත්වාගෙන ගොස් ඇත. 1989 මැයි දාහතර වැනි දින එවකට ධීවර ඇමති වූ පෙස්ටස් පෙරේරා දුපත් ජැටියක් විවෘත කොට ඇත. 1990 පල්ලියවත්ත පොලිස් මුරපොළ අරඹා ඇත. අද වන විට පාසලක් නොමැත. සිසුන් ද නැත. පොලිස් මුර පොළේ නටබුන් හැර වෙනත් කිසිවක් දුපතේ ඉතිරිව නොමැත.
බත්තලංගුන්ඩුව පාසල ද මේ වන විට වැසී ගොස් ඇත. රජයේ පාසලක් නොවුණු මෙහි 2000 වසරේ අපේ‍්‍රල් 30 දින දී හලාවත කතෝලික සභාව මුල්වී, සෙඩෙක් ආයතනයේ ආධාර ඇතිව හිටපු රදගුරු ගරු ප‍්‍රෑන්ක් මාර්කස් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් අරඹා ඇත. මෙහි අවසන් විදුහල්පති ලෙස සේවය කළ චමින්ද දිල්රුක් ප‍්‍රනාන්දු මහතාගෙන් අපි මේ පිළිබඳව විමසූවෙමු.

‘‘2002 වසරේ දී මම පාසල භාර ගත්තේ. එතකොට හිටියේ ළමයි හය දෙනයි. මමත් මගේ බිරිඳ සරෝනා නියෝමි ප‍්‍රනාන්දුත් මේ පාසලේ ඉගැන්වීම් කටයුතු කළා. පසුව සිසුන් සංඛ්‍යාව සියය දක්වා ඉහළ ගියා. අපට ලැබුණේ එක් අයකුට රුපියල් හාරදහක වැටුපක්. අපට අනුග‍්‍රහ වශයෙන් දුපතේ ධීවර සමිතියෙන් ආහාර සලාකයක් ලබා දුන්නා.’’

‘‘අපි මෙහෙ ඉගැන්වූයේ පහ වසර දක්වා පමණයි. අපට හැකිවුණා දක්ෂ දරුවන් රැසක්ම හඳුනාගෙන ඔවුන් ඉහළ අධ්‍යාපනයට යොමු කරන්න. 2012 සැප්තැම්බර් මාසය දක්වා මමත් මගේ බිරිඳත් අධ්‍යාපනය ලබාදුන්නා. අපට ලැබුණේ එදා ලැබුණු රුපියල් හාරදහේ වැටුපම තමයි. හැබැයි ධීවර සමිතියෙන් ලැබුණු ආහාර සලාකය ඒ අයගේ ආර්ථික ප‍්‍රශ්න නිසා අත්හිටෙව්වා. ඒ සමඟම එම වැටුපින් අපට ජීවත් වෙන්න අසීරු වුණා. මටත් වයස අවුරුදු නවය, තුන වන දරු දෙදෙනෙකු ඉන්නවා. එම නිසා අපි අකමැත්තෙන් වුණත් දුපතින් සමුගෙන ආවා ඒ වන විට දරුවෝ තිස් දෙනකු දුපත් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියා.’’ දස වසරක සේවය නිමවා චමින්ද දිල්රුක් මහතා සිය බිරිඳ ද සමගින් හිස් අතින්ම ගෙදර ගියෝ ය. ‘‘මේ බත්තලන්ගුන්ඩුව පාසල වැසීයාමේ ඛේදවාචකයයි.’’ ළමා අයිතිවාසිකම් පිළිබඳව ඉහළින් හඬ නගන රාජ්‍ය ආයතන මෙන්ම ළමා හිමිකම් විකුණමින් ඩොලර් ගණින්නන්ට ද මෙම දුපත් දරුවන්ගේ දරු දුක ඇසේදැයි පෙනේ දැයි ගැටලූවකි.

ධීවර පවුල් තුන්දහසකට පමණ සෙවණ සැලසූ බත්තලන්ගුන්ඩුවේ අද වන විට පවුල් 1500ක් පමණ වෙති. දුපතේ විදුලිය පහසුකම් සපයනුයේ විදුලි උත්පාදන යන්ත‍්‍රයක් මගිනි. මෙම හිමිකම සැලසෙනුයේ සීමිත පිරිසකටය. වාඩි හැටකට පමණ සූර්්‍ය විදුලි උත්පාදන කට්ටල තිබේ. මෙම දුපත් දෙකම යෝජිත කල්පිටිය සංචාරක ව්‍යාපෘතියට අනුගත කොට ඇත්තේ 2008 වසරේ සිටය. ඒ අනුව කාමර හයසියයකින් යුතු හෝටල් පහක් බත්තලන්ගුන්ඩුවේ ද කාමර තුන්සියයකින් යුතු හෝටල් හතරක් පල්ලිය වත්තේ ද ඉදි වීමට නියමිතය. එහෙත් කල්පිටි දුපත් දිවයිනේ අන් පුරවැසියන්ට හිමි අයිතීන් අහිමි, ලාංකිය පරිපාලනයෙන් මිදුණු වෙනත් රාජ්‍යක් දැයි අපට සැක සිතේ.

 

(ධවල මන්දිරය, රාෂ්ඨපති භවන්, අරලිය ගහ මැදුර හා සිරිකොත ද තම අණසකට නතු කර ගත් පල්ලිය වත්තේ අපූරු රොබින් හුඞ් සොයා ගිය ගමන මීළඟ සතියේ)

 

සටහන හා ඡායාරූප -  පද්මා කුමාරි කන්කානම්ගේ