IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


විපරිත ලෝකයක ශාපය

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය සිරි හෙට්ටිගේ

වසංගත යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. පසුගිය දශකවලද ලොව තැනින් තැන එවැනි වසංගත වාර්තා විය. එහෙත් ඒවා ගෝලීය වසංගත තත්ත්වයට පත්වුණේ නැත. විශේෂයෙන්ම කොරෝනා වසංගතය මේ අයුරින් ඉදිරියට ගලායාම කිසිවකුත් අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. එහෙත් එයට මුහුණ දීම යථාර්ථයයි.

එය තීරණය වන්නේ පසුගිය කාලයේ දී අප ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාකළ ආකාරය අනුවය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛව ලෝකයේ ගමන්මග සම්බන්ධයෙන් අනාවැකි පළ කළ ආයතනවල යෝජනා පිළිබඳව නෑසූ කන්ව සිටීම ලොව පුරාම වූ ආවේණික දුර්ගුණාංගයක් විය. පරිසරය නොතකා ලෝකය ගිය ගමන එහි ප්‍රමුඛතම නිදසුනක් පමණි.

දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රශ්නය යනු වසර ගණනාවක් සිට ලෝකයේ පවතින කතිකාවකි. එම කතිකාව මතු වූයේම කාලයක් තිස්සේ ලොව රටවල් අනුගමනය කළ ආර්ථික වැඩපිළිවෙළ හේතුකොටගෙනය. උදාහරණයකට 1960 දශකයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සන්තර්පණය කරන සංවර්ධන මාවතකි. ලෝකයේ අනවරත ගමනේ විනාශය ගැන ‘සංවර්ධනයේ ශීමා’ මැයෙන් පර් යේෂණ මත පදනම් වී එක්සත් ජාතීන් සකස් කළේ 1971 තරම් ඈතකදීය. එම කාලය යනු ලෝකයෙන් බාගයක් පමණ සංවර්ධනය නොවූ රටවල් පැවැති අවධියකි. ආසියාව හා අප්‍රිකාව ගත්තත් අද තරම් පරිභෝජන සමාජයක් එදා තිබුණේ නැත. එහෙත් ඊට එදා අවශ්‍ය තරමින් ලෝකයේ අවධානය යොමුවුණේ නැත. ඊට හේතු වූයේ සමස්ත ලෝකයම ශීඝ්‍ර සංවර්ධනයක් හා සුඛෝපභෝගී ජීවිත අත්පත් කරගැනීමේ ගමනක නිරතව සිටීමය. ලංකාව පවා සිටියේ එම මනෝභාවයේය. කෙසේ වෙතත් ඒ දක්වා, එනම් 1977 දක්වා ලංකාවේ තිබූ සංවර්ධනය යනු චිරස්ථායි සංවර්ධනයක් බව මෙහි දී කිව යුතුය. ඊට හේතුව නම් මූලික ක්‍ෂේත්‍රවලට අයත් කර්මාන්ත ඒ වනවිට ක්‍රමිකව රට තුළම ගොඩනැගෙමින් තිබූ බැවිනි. ඊට සාපේක්ෂව විදේශ රටවලින් දේවල් මිලදී ගැනීමේ අවශ්‍යතාව ක්‍රමිකව පහළ යමින් තිබිණ. ස්වයංපෝෂිත ආර්ථිකයක් මුළුමනින්ම අත්පත් කරගැනීම යථාර්ථයක් නොවුණත් කෘෂිකර්මය අතින් ද කිසියම් සැලකිය යුතු මට්ටමක ලංකාව පැවැතිණි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව විමසුවහොත් බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දියුණුවට අවශ්‍ය පදනමක් වැටී තිබිණි. නිදසුනකට මේ වෛද්‍ය කර්ම දෙකටම අදාළව ඖෂධ නිෂ්පාදනය කිරීමේ සංස්ථා ආරම්භ කර තිබීම දැක්විය හැකිය. එහෙත් 1977 දී මේ ගමන සහමුලින්ම වෙනස් විය. ලොව දියුණු යැයි සම්මත රටවල් හඹායන ජීවන ශෛලිය උදෙසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ නව සංවර්ධන මාවතකට දොරටු විවර කරනු ලැබුවේ ඒ අනුවය. ඒ විවෘත ආර්ථික ක්‍රමය මගිනි.

1972 වනවිටත් ලොව ඇතැම් රටවල් පැවැතියේ සංවර්ධනයේ සීමා අභිබවා යමිනි. චීනයේ ආර්ථිකය පවත්වාගෙන යෑම වූ කලීම ඊට කදිම නිදසුනකි. විසල් ආර්ථිකයක් හිමි චීනය සිය අර්ථිකය නඩත්තු කරන්නේ ලොව පුරා අමුද්‍රව්‍ය ඒකරාශි කිරීමෙනි. චීනයට මේ සඳහා ආරම්භක ප්‍රාග්ධනයක් තිබුණේ නැත. එය සපයනු ලැබුවේ ලොව වෙනත් කාර්මික රටවල් විසිනි. මුල් කාලයේ සිදුවූයේ ඔවුන් සතු තාක්ෂණික ඥානය හා යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් ඊට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමය. එහෙත් අද වනවිට තත්ත්වය වෙනස්ය. ලොව ප්‍රමුඛම කාර්මික රාජ්‍ය බවට චීනය පත්ව ඇත. ලංකාව අත්පත් කරගෙන තිබෙන්නේ එහි ප්‍රතිපක්ෂයයි. ලංකාව එතෙක් ගොඩනගාගෙන තිබූ කර්මාන්ත ද 1977 න් පසුව ක්‍රමයෙන් බිඳ වැටුණේ කෘෂිකර්මාන්තය ද අර්බුදයට තල්ලු කරමිනි. මෙය රටේ සමාජ ජීවිතයට ද සෘජුව බලපෑවේය. ග්‍රාමීය හා නාගරික වශයෙන් වූ සමබරතාව ලංකාවේ පැවැති විශේෂ සාධකයක් විය. 1977 දක්වා මෙම අංශ දෙකෙහි ජන ව්‍යාප්තිය පැවැතියේ සමබර අනුපාතයකිනි. දිවයින පුරා ව්‍යාප්තව සිටි ජනතාවට අවශ්‍ය මූලික කළමණා සිය ප්‍රධාන නගරවලින් සම්පාදනය කර ගැනීමේ හැකියාවක් ද තිබිණි.

එහෙත් 1977 න් පසුව මෙය වේගයෙන් වෙනස් වූ අතර එහි අන්තර්ගත වූයේ කොළඹ මුල්කරගත් සංවර්ධනයකි. එහි ප්‍රතිඵලය වූයේ රටේ ජාතික නිෂ්පාදනයෙන් සියයට 55ක් පමණ වූ විශාලම පංගුව බස්නාහිර පළාත විසින් පරිභෝජනය කරනු ලබන තත්ත්වයක් නිර්මාණය විය. මේ කොළඹ සංකේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමය නිසා ඊළඟට සිදු වූයේ රටේ වෙනත් නගරවල ජනයා ද කොළඹට සංක්‍රමණය වීමය. මෙම අසමබරතාවට හොඳම නිදසුනක් හැටියට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා දැක්විය හැකිය. ඉහළම මට්ටමේ පෞද්ගලික රෝහල් අදටත් තිබෙන්නේ කොළඹය. ඉහළ යැයි සම්මත ජාත්‍යන්තර පාසල් තිබෙන්නේ ද කොළඹය. මෙහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ජීවත්වීමට වඩාත් වාසිදායක කොන්දේසි යන පදනමින් ගම්වැසියන් පවා බස්නාහිරට සේන්දු වීමත් ග්‍රාමීය ප්‍රදේශවල ජන ඝනත්වය තවත් අඩුවීමත්ය.

එහෙත් මේ පරිභෝජනවාදී ජීවන රටාවට සමස්ත ජනයාට මුහුණ දීම පහසු නොවූ අතර විදේශ රැකියා සඳහා විගමනය ද එහි අතුරු ඵලයකි. නිදසුනකට 1976 පමණ වනවිට විදේශ රැකියා සඳහා වාර්ෂිකව පිටත් වී තිබුණේ 700 ක් වැනි ඉතාම සුළු පිරිසකි. එහෙත් ඉන්පසුව මෙය වේගයෙන් වෙනස් වූ අතර 1990 පමණ වනවිට රටේ ශ්‍රම බළකායෙන් සියයට 20ක් වැනි පංගුවක් විදේශගත වන තැනට කටයුතු සිදුවිය. මේ නිසා වූයේ රටට අවශ්‍ය විදේශ විනිමයෙන් වැඩිම පංගුවක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සපුරාගන්නට ආර්ථිකය මෙහෙයවන්නන් ද පුරුදු වීමය. මීට සාපේක්ෂව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරුණු අතර කර්මාන්තයක් හැටියට අපට ඉතිරිව තිබුණේ ඇඟලුම් පමණි. කෙසේ වෙතත් මෙසේ නිර්මාණය වන ජාතික ධනය අධිපරිභෝජනය කරන ධනවත් අතලොස්සක් ද ඊට සමගාමීව නිර්මාණය වූ අතර ප්‍රධාන නගර රථවාහනවලින් පිරී යන්නට පටන් ගත්තේ ද ඒ සමගය.

1970 දශකයේ මුල අප විශ්ව විද්‍යාල සිසුන්ව සිටිය දී කොළඹ නගරයේ රථවාහන යැයි කියා තිබුණේ රජයේ බස් රථය. බොහෝ මිනිසුන් කොළඹට බැහැරින් පැමිණියේ දුම්රියෙනි. වාහන තදබදයට අත වනමින් මේ චිත්‍රය වෙනස් වූයේ 1990 පමණ වනවිටය. රටේ චිත්‍රය රැඩිකල් ලෙස වෙනස්වෙද් දී වේගයෙන් ගලායන සමාජ ප්‍රවාහයට එක්වූවෝ ධනපතියෝ පමණක් නොවෙති. එසේ මෙම ප්‍රවාහයට එක් වූ ධනපතින් නොවන විශේෂ කණ්ඩායමක් වූවෝ මේ රටේ දේශපාලකයෝය. ඊට ප්‍රමුඛ හේතුවක් වූයේ 1977 න් පසුව ආරම්භ වූ දේශපාලන ක්‍රමය විසින් විශාල වශයෙන් වරදාන වරප්‍රසාද දේශපාලකයාට ප්‍රදානය කරනු ලබන තත්ත්වයක් නිර්මාණය කිරීමය.

එය නතර වූයේ අවසානයේ දී විශ්‍රාම වැටුපක හිමිකාරිත්වය ද ලබාදීමෙනි. මේ නිසා ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ධනපතින් පාවිච්චි කරන වාහනවලටත් වඩා ලොකු වාහන පාවිච්චි කරන්නට දේශපාලකයන්ට අවස්ථාව ලැබිණි. 70 දශකයේ දී පමණ ඇතැම් මැතිවරණවලට දේශපාලකයන් පැමිණියේ බොහෝවිට කබල් වාහනයකිනි. රැස්වීම අවසන් වූ පසු ඒවාට තල්ලු ස්ටාට් අවශ්‍ය වීම සුලබ දසුනක් විය. එහෙත් මේ නව දේශපාලන ජීවන දර්ශනය සමග එකී සිදුවීම් පැරැණි රසාංග බවට පත් වූ අතර වාහනය තල්ලු කළ ජනයා හා දේශපාලකයා අතර ඊට පරස්පරව නොපෑහිය හැකි වෙනසක් ද නිර්මාණය විය.

කෙසේ වෙතත් 1972 තරම් ඈතදී අනාවරණය කළ සංවර්ධනයේ සීමා ඉක්මවීම අද වනවිට මුළු ලෝකයටම පොදු ප්‍රශ්නයක් වී තිබේ. එහි ප්‍රමුඛ ප්‍රශ්නයක් හැටියට ඉන්ධන දහනයෙන් නිර්මාණය වන තාපයෙන් දැවෙන නගර (Heat Island) දැක්විය හැකිය. මෙහිදී සිදුවන්නේ ගහකොළ හැකි තරම් කප්පාදුවට ලක්වෙමින් උසට උසේ ඉදිවන ගොඩනැගිලි සමග මිනිසුන් කුරා කුහුඹුවන් වන නගර නිර්මාණයයි. චීනය, කොරියාව, තායිවානය ආදී කවර රටක් ගත්තත් අද මුහුණ දී තිබෙන්නේ මේ තත්ත්වයටය. අද අප දකින්නේ එදා ඇමෙරිකාවේ තිබූ නිව් යෝක් ආකෘතිය පෙර අපර භේදයකින් තොරව අභ්‍යාස කරන ලෝක පර්යායකි. කෙසේ වෙතත් මෙය මහත් ආතතිකාරී පරිසරයකි. විශාල වශයෙන් සිදුවන නාගරීකරණය නිසා පරිසරයේ උණුසුම වැඩිවෙද්දී සාමාන්‍ය නිවැසියන්ට වායු සමීකරණයක් නැතිව ජීවත්වීම අපහසු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂඥ කමිටු මේ ව්‍යසනකාරීත්වය ගැන අනතුරු ඇඟවූයේ කල්තියාය. මෙසේ වූ අවධාරණයන් නිසා රටවල් එක්ව විවිධ අවස්ථාවල සම්මුතිවලට එළඹුණ අතර දේශගුණික විපර්යාස යනු දේශපාලන ගෝලයේ ප්‍රධාන තේමාවක් බවට ද පත්විය.

එහෙත් අදටත් මේ ප්‍රකට සම්මුතිගතවීම් තත්ත්වය පාලනයට ප්‍රමාණවත් වී නැති අතර ඒ සම්බන්ධයෙන් වූ අත්‍යවශ්‍ය ආකල්ප වෙනස්වීම් පොදු ජනයා අතරට ගලාගෙන ගොස් ද නැත. දැනටත් සාමාන්‍ය මිනිසුන් සිතන්නේ වසංගතය අවසන් කරගෙන පරණ පුරුදු ජීවිතයට යන්නටය. මේ පිළිබඳව සාකච්ඡාව සිදුවන නපුරේ භයානකත්වය ගැන දැනුවත් සහ ඒ ගැන කණස්සළු වන පිරිසට සීමා වී තිබේ. මේ කොරෝනා වසංගතය අතරේ පවා මේ දේශගුණික විපර්යාසවල අනිසි බලපෑමට ලක්වීමට බොහෝ රටවලට සිදුව ඇත. ගිනි නිවන බළඇණිවලට පාලනය කරගත නොහැකි අයුරින් බටහිර කලාපයේ පැතිර යන ලැව්ගිනි ඊට ආසන්න නිදසුනකි. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ දින ගණනක් තිස්සේ පැතිර ගිය ලැව්ගින්න එකී ප්‍රාන්ත ඉතිහාසයේ දෙවැනි විශාලතම ලැව්ගින්නයි. ගං ඉවුරු කඩා බිඳගෙන ජර්මනියේ නගර යට කරමින් සිය ගණනක් ජනයා මියැදුණු ගං වතුර ද එවැනිම තවත් අවස්ථාවකි. ලංකාව ගත්තත් පසුගිය අවුරුදුවල විටින් විට මුහුණ පෑ පාරිසරික ආපදාපන්න තත්ත්ව කොතෙක්ද? කලක් තිස්සේ ලංකාවේ හඳුනාගෙන තිබූ කාලගුණ තත්ත්වය අද කිසිසේත් ස්ථාවර නැති අතර එය දේශගුණ විපර්යාසයේ ගොදුරක් බවට අප ද පත්ව ඇති බවට සලකුණකි.

 කොරෝනා වසංගත තත්ත්වය නිසා දැඩි අවිනිශ්චිතභාවයකට පත්ව ඇති අපට ඉතාම භයානක විපත්වලට මුහුණ දීමට සිදුවනු ඇත්තේ තවත් ඉදිරියටය. වැදගත් වන්නේ අප ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. එහිදී අත්‍යවශ්‍ය පියවර වන්නේ රාජ්‍ය සතුව පවතින ආයතන පාවිච්චි කරගෙන දිගුකාලීන වැඩපිළිවෙළක් යටතේ මහජනයා ඊට මෙහෙයවීමය. එහෙත් පවතින තත්ත්වය ගැන නිරීක්ෂණය කරනවිට අපට අනාවැකියක් වශයෙන් කිව හැක්කේ එවැනි මුහුණ දීමකට අපට ඇති හැකියාව දැන් තිබෙන්නේ ඉතාම අඩු මට්ටමක බවය. අඩුම තරමින් එවැනි වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කතිකාවක්වත් අපට නැත. අමිහිරි යථාර්ථයකට මුහුණ දීමේ දී පළමු වැදගත්ම කරුණ නම් දැනුවත්භාවයයි. එම දැනුවත්භාවය මත පිහිටා ඉන් පසුව අපට පුළුල් ජාතික වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට හැකිය.

නිදසුනකට වැඩිපුරම ජල ගැලීම් පිළිබඳ ප්‍රශ්නය මතුවන්නේ ගංගා නිම්න ආශ්‍රිතවය. නාය යෑම්වලට මුහුණ දෙන්නේ කඳුකර වැසියන්ය. කාලයක් තිස්සේ විටින් විට මතුවන මේ ප්‍රශ්න සඳහා විකල්ප ක්‍රියා මාර්ගවලට යා යුත්තේ මේ නිශ්චල කාලයේය. එහෙත් දැනටත් මාධ්‍ය මගින් වාර්තා පළවන්නේ දිගුකාලීනව අනතුරුදායක කලාපවල ජීවත් වන වැසියන්ගේ අවනඩුය. අනතුරක් නොවේවා යැයි ප්‍රාර්ථනා කළ ද අනතුරු යනු දැන් අභව්‍ය සිදුවීම් නොවන බව අපි අත්දැකීමෙන් දනිමු. එහෙත් ගෝලීය වසංගත තත්තවයේ ආගමනයෙන් සිදුව ඇත්තේ කාලයක් තිස්සේ මේ රටේ කුණු වූ ප්‍රශ්නත් ඒ සමග මුහුවීමෙන් ලිහාගත නොහැකි අර්බුදයකට අප ගමන් කර තිබීමය.  

අපට හැමදාම රාජ්‍යක් හැටියට දිගුකාලීන සැලසුම් වැඩසටහන් තිබුණේ නැත. ආණ්ඩුකරණය රඳා පවතින්නේ එදා වේල ක්‍රමයක් මතය. සදාකාලික ගැටලුවක් බවට පත්ව ඇති ණය පියවා ගැනීමේ ප්‍රශ්නය ඊට එක් නිදසුනක් පමණි. විශාල වශයෙන් ලබාගත් ණය ආයෝජනය කර ආරම්භ කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එක තැන පල්වෙමින් තිබෙන්නේ යෙදවුම්වලට සරිලන ප්‍රතිලාභයක් ලබාගත නොහැකි පරිද්දෙනි. එහෙත් එසේය කියා ණය නොගෙවා සිටින්නට අපට බැරිය. ලංකාවත් අද සිටින්නේ ණය බරින් මිරිකී ගමක අප්‍රසාදව සිටින මිනිසකුගේ තත්ත්වයටය. මේ නිසා සිදුව තිබෙන්නේ ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ අසරණව සිටින රටවැසියාට සහන සැලසීමේ ස්වාමිත්වයෙන් රාජ්‍ය ඈත්වීමය. සරලව කිවහොත් රටවැසියාගේ සුරක්ෂාව සහතික කරගත නොහැකි තැනට ආණ්ඩුව පත්වීමය. අනෙක් අතට අනාගත තිරසර සංවර්ධනයක් සඳහා ආයෝජනයට ප්‍රාග්ධනයක් ද දැන් අපට නැත. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව අද රාජ්‍යයක් හැටියට මුහුණ දී සිටින්නේ උභතෝකෝටික ඉරණමකටය. කෙසේ වෙතත් මේ නූල් බෝලය ලිහා ගැනීමට මුල පිරිය යුතු වන්නේ ද රජයයි. අඩුම තරමින් මේ මූලික ගැටලු අරභයා රාජ්‍ය සතුව පවතින ආයතන ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් සැකැසීමෙන් විසඳුම් සඳහා ප්‍රවේශයක් හෝ ගැනීමට හැකිවනු ඇත. අඩුම තරමින් සාම්ප්‍රදායික ආණ්ඩුකරණයට විකල්ප ආණ්ඩුකරණයක් සඳහා පාදමවත් සකස් කරගැනීමට හැකිවනු ඇත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (1)

විපරිත ලෝකයක ශාපය

Udage Wednesday, 25 August 2021 08:18 AM

මෙම ඇගයීම විනාශකාරී දේ කෙරෙහි අපේ අවධානය යොමු කරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 162 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 201 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 225 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 702 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 124 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2741 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 289 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site