ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් පවතින මට්ටමෙන් පහළ නොයෑම පිළිබඳව සමාජය තුළ පවතින්නේ දැඩි කතාබහකි. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද විවිධ මතවාද ගැටෙමින් පවතී. ලෝක වෙළඳපොළේ මිල අඩු වන විට රට තුළ මිල අඩු නොවීම පිළිබඳව බොහෝ දෙනා චෝදනා නඟති. ඇත්තටම ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙද්දී ලංකාවේ මිල අඩු නොවන්නේ ඇයි? මේ ඒ පිටුපස ඇති සැබෑ තත්ත්වයයි.
බොරතෙල් මිල සහ ඉන්ධන මිල කියන්නේ දෙකක්!
අප පළමුවෙන්ම තේරුම් ගත යුතු ප්‍රධාන කරුණක් තිබේ. එනම්, ‘බොරතෙල් මිල’ සහ ‘ඉන්ධන මිල’ යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් සාධක දෙකක් බවයි. බොරතෙල් යනු පිරිපහදු නොකළ අමුද්‍රව්‍යයකි. ලංකාවට අවශ්‍ය පරිදි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන ලෙස වෙන් කරගනු ලබන්නේ මේවා පිරිපහදු කිරීමෙනි.
අවසාන වශයෙන් පාරිභෝගිකයා අතට පත්වන ඩීසල් හෝ පෙට්‍රල් ලීටරයක මිල තීරණය වීමට බොරතෙල් බැරලයක මිල පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පහත සඳහන් අමතර පිරිවැයන් රැසක් ඍජුවම බලපානු ලබයි:
පිරිපහදු කිරීම සඳහා යන පිරිවැය
ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තු සහ නැව් ගාස්තු
රක්ෂණ වියදම් සහ වරාය ගාස්තු
රජයේ බදු සහ අලෙවි පිරිවැය
පවතින විනිමය අනුපාතය
රුපියලේ අගය සහ ඩොලර් සෙල්ලම
ලංකාවට ඉන්ධන ආනයනය කරනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර් ගෙවීමෙනි. මේ නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල කොතරම් අඩු වුවත්, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වුවහොත් අපට ඉන්ධන වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදු වේ.
උදාහරණයක් ලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සිට 70 දක්වා පහළ බැස්ස ද, ඒ හා සමගාමීව රුපියල බාල වුවහොත් ලංකාවට ගෙවීමට සිදුවන පිරිවැය අඩු වන්නේ නැත.
"අද ලෝකේ මිල අඩු වුණොත්, අදම ලංකාවේ අඩු කරන්න බෑ" - පැරණි තොගවල කතාව
ශ්‍රී ලංකාවට ඉන්ධන ඇණවුම් කර ලබාගන්නේ මාස කිහිපයකට පෙරය. උදාහරණයක් ලෙස, ජූනි මාසයට අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කරන්නේ ඊට අවම වශයෙන් මාස එකහමාරකට හෝ දෙකකට පෙරය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වෙනත් සමාගම් සතුව පවතින්නේ කලින් වැඩි මිලට ගෙන්වන ලද පැරණි තොග බැවින්, ලෝක වෙළඳපොළේ මිල වෙනස් වූ සැනින් මෙරට මිල එකවරම අඩු හෝ වැඩි කිරීම තාක්ෂණිකව අපහසුය.
කෙසේ වෙතත්, මෙහිදී මතුවන සාධාරණ ගැටලුවක් තිබේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වූ විට "පැරණි තොග තියෙනවා" කියමින් මිල අඩු නොකරන බලධාරීන්, ලෝක වෙළඳපොළේ මිල වැඩි වූ සැනින් මෙරට මිල එකවරම ඉහළ දැමීමට කටයුතු කිරීම ජනතාවට කරන අසාධාරණයකි. ලෝක වෙළඳපොළේ මිල ඉහළ යන විට ක්ෂණිකව මිල වැඩි කරන්නේ නම්, මිල පහළ යන විට ද ඒ හා සමගාමීව ක්ෂණිකව මිල පහළ හෙළීමට රජය කටයුතු කළ යුතුය.
මිල සූත්රය සහ IMF බදු උගුල
ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ‘ඉන්ධන මිල සූත්‍රයක්’ භාවිත කරයි. ජාත්‍යන්තර මිල, ප්‍රවාහන පිරිවැය ඇතුළු සියලු වියදම් ගණනය කර මෙම සූත්‍රය අනුව මිල සංශෝධනය කරනු ලබන්නේ මාසයකට වරක් පමණි.
නමුත් මිල සූත්‍රයට වඩා මෙහි ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ රජය ඉන්ධන මත පනවා ඇති අධික බදු මුදලයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනු වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලබන ආයතනයකි. එම පාඩුව පියවා ගැනීමට වෙනත් විකල්ප උපක්‍රමයක් නොමැති වීම නිසා රජය ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යන විට අධික බදු පනවමින් එම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරනවා විය හැකිය.
අනෙක් අතට, රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් මත, රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම යැපෙන්නේ බදු ආදායම මතය. රජයට ලැබෙන බදු ආදායමෙන් විශාල ප්‍රතිශතයක් උපයා ගන්නේ ඉන්ධන මත පනවන බදු වලිනි.
ජනතාවට සහනයක් දිය හැකි එකම විසඳුම
ඉන්ධන මිල ඉහළ යෑම යනු හුදෙක් වාහන හිමියන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ; ඉන්ධන මිල වැඩි වන විට රටේ ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ හා සේවා ඇතුළු සෑම දෙයකම මිල දම්වැලක් මෙන් ඉහළ යයි.
එබැවින්, වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට සැබෑ සහනයක් ලබා දීමට නම් රජය කළ යුතු වැදගත්ම දේ වන්නේ ඉන්ධන සඳහා පනවා ඇති අධික බදු මුදල් සංශෝධනය කර ඒවා ඉවත් කිරීම හෝ අඩු කිරීමයි . එසේ නොමැතිව මිල සූත්‍ර දමමින් ලෝක වෙළඳපොළට මුවා වී ජනතාව මත බර පැටවීම කිසිසේත්ම සාධාරණ නැත.

M.R.කලණ ගයන්ත.
කථිකාචාර්ය (ජාත්‍යන්තර සම්බන්ධතා සහ දේශපාලන විද්‍යාව)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.
D.N.අභයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් ආණ්ඩු යටතේ වුණු පාඩුව ඔබ විසින් ගෙවනවද? එසේ කළොත් ආණ්ඩුව බදු අඩුකරයි.