ඇත් දළ ජාවාරම නිසා ඇත් ඝාතනය ඉතාමත්ම බහුලව සිදුවනුයේ අප්‍රිකානු මහාද්වීපයේයි. මේ තත්ත්වය කෙතරම්
බරපතළ ද යත් ගතවූ දශකයක පමණ කාලය තුළ අප්‍රිකානු ඇතුන්ගෙන් තුනෙන් එකක් දළ ජාවාරම්කරුවන් විසින් ඝාතනය කෙරුණු බව වාර්තාවේ. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ මහාද්වීපයේ ඇත් සම්පත වඳවීයාමේ තර්ජනයක් මතුව ඇත.

මෙම ඇත් ඝාතනය අඩු කිරීමේ අරමුණින් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ඇත් දළ වෙළෙඳාම තහනම් කිරීම ඇතුලු විවිධ පියවර ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් සිටී. මිනිසාගෙන් එල්ලවන මෙම මාරාන්තික තර්ජනයට ප්‍රතිචාරයක් ලෙස ස්වභාව ධර්මයේද විශ්මිත වෙනසක් දක්නට ඇත. එනම් අප්‍රිකාවේ අලුතින් උපදින බොහෝ ඇත් පැටවුන් දළ නොමැතිව හෝ ඉතා කුඩා දළ සහිතවීමයි. ජීවීන්ට (සත්ව හා ශාක) තම වර්ගයාගේ පැවැත්ම සාක්ෂාත් කරගත හැක්කේ අවට ලෝකයේ තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්වීම තුළින් බව චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය පෙන්වා දෙයි. දළ නැති, කුඩා දළ ඇති අලින් අප්‍රිකාවේ බිහිවීමෙන් දිස්වනුයේ වඳවීමේ තර්ජනයට මුහුණදීම සඳහා සත්ව වර්ගයක් පරිණාමය වන ආකාරයයි.

පරිණාමය වීමට සමත් ජීවී වර්ගයා දිගටම පවත්නා බවත් එලෙස වෙනස්වීමට අසමත් ජීවී වර්ගයා වඳවී යන බවත් ස්වභාව ධර්ම ඉතිහාසයෙන් (Natural History) පැහැදිලිවේ. මෙම සත්‍යය මිනිස් වර්ගයාටද අදාළය. එබැවින් එය මිනිස් නිර්මිතයන් වූ දේශපාලන පක්ෂ හා ආණ්ඩුවලටද අදාළය. තම වර්ගයාගේ පැවැත්ම රැක ගැනීම සඳහා අප්‍රිකානු ඇතුන් පරිණාමය වන ආකාරය සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ අවධානයට යොමුවිය යුත්තේ එබැවිනි.

අද ආණ්ඩුව සිටිනුයේ වෙනස් වුවහොත් පමණක් පැවැත්මක් ඇති වෙනස් නොවුණහොත් 2020 වනවිට මුලුමනින්ම වඳවන තත්ත්වයකය ගතවූ පෙබරවාරියේ පැවැත්වුණු පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල යනු 2020 වඳවී යාමේ තර්ජනය පිළිබඳව ආණ්ඩුවට ඡන්දදායකයන්ගෙන් ලැබුණු අනතුරු හැඟවීමකි. එහෙත් ඉන්පසු ගතවූ තෙමසක පමණ කාලය තුළ ආණ්ඩුවත් එහි ප්‍රධාන පාර්ශ්වකරුවන් වූ එජාපය හා ශ්‍රීලනිපයත් එහි නායකයන් වූ ජනපතිවරයාත් අගමැතිවරයාත් ක්‍රියා කළ හා ක්‍රියාකරන  ආකාරයෙන් පෙනී යනුයේ අවම වශයෙන්  තම පැවැත්ම රැක ගැනීම සඳහාවත් නිසි වෙනසක් සිදු කිරීමට ඇති නොහැකියාවයි.

එක් කකුලක් රාජපක්ෂ පිලේත් අනෙක් කකුල ශ්‍රීලනිපයේත් තබාගෙන සිටින මැති ඇමැතිවරුන් සමඟ තමාට අනාගත ගමනක් නොමැති බව ජනපතිවරයාට තවමත් වැටහී නොමැත.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල පමණක් නොව එහි ප්‍රතිපත්ති හා සංවිධාන ක්‍රමවේදයේද පැහැදිලි වෙනසක් සිදු නොකළහොත් තමන්ට දේශපාලන අනාගතයක් නොමැති බව අගමැතිවරයාටද වැටහී නොමැත. වෙනස්වීම හා වැනසීම යන තෝරා ගැනීම් දෙකෙන් මේ දෙදෙනාම තෝරාගෙන ඇත්තේ වෙනස්වීම නොව වැනසීමයි. 

එජාපයේ ‘ප්‍රතිසංවිධානය’ හැඳින්විය හැක්කේ කන්දක් විළිලා (මී පැටියකු වත්නො ව) මැස්සකු වැදීමක් ලෙසය. බැඳුම්කර දෝංකාරය නිසා රවි කරුණානායක මහතා පක්ෂයේ ඉහළ තනතුරකට පත් කිරීම යහපාලන පොරොන්දුවට එල්ල කළ පා පහරකට සමානය. මෙවැනි පත්වීමකින් පසුව එජාපයට යහපාලනය ගැන කතා කළ හැකිද? මෙවන් පත්වීම් තුළින් එජාපයේ දූෂණ විරෝධය විහිලුවක් බවට පත් නොවන්නේද? 

ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වයද මෙයට නොවෙනස්ය. විදුහල්පතිනියකට තර්ජනය කොට ඇය දණ ගැස්වූ සිද්ධිය නිසා ඌව පළාත් මහා ඇමැතිවරයාට තිබූ අධ්‍යාපන ඇමැතිකම ඔහුගෙන් ඉවත්කෙරිණි. තවමත් සිද්ධියට අදාළ පරීක්ෂණ නිමක් නොමැත. එසේ වුවද ජනපතිවරයා යළිත් මහා ඇමැතිවරයාට අධ්‍යාපන ඇමැතිකම ලබා දුන්නේය. මෙය “යහපාලනය” වනුයේ “යහ” යනු වචනයට අලුත් අර්ථකථනයක් දුනහොත් පමණි. 

දිවි නසා ගැනීමේ කලාව

2015 ජනවාරියේදී රාජපක්ෂවරුන් පරාජය වූයේ රටේ බහුතර ජනතාවකගේ අපේක්ෂාවන් ඉටු කිරීමට ඔවුන් අසමත්වීම නිසාය. ජනතාවගේ ජීවන වියදම් අර්බුදය ඔවුන්ට දැනුනේ නැත. අධිවේගී මාර්ග ඇතුලු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති තුළින් ජනතාවගේ ජීවන ප්‍රශ්න අමතක කළ හැකි බව ඔවුහු සිතුහ. ඔවුන් සැලකුවේ පවුලට හා හිතමිත්‍රාදීන්ට පමණි. තමන්ගේ පැත්තේ අය කළ වැරැදි ඔවුන්ට වැරැදි නොවීය. ඔවුන් ජීවත්වූයේ මවා ගත් ලෝකයකය. 2014 වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වුණු ජනතා විරෝධය ඔවුන්ට දැනුනේ පෙනුනේ නැත.

මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ 2015 දී ඔවුන් වරක් නොව දෙවරක් පරාජය වීමය.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය අද සිටිනුයේ 2014 වසරේ රාජපක්ෂ පාලනය සිටි ස්ථානයට සම තැනකය. අද රාජ්‍ය භීෂණයක්නැති බව සැබෑය. අධිකරණය බොහෝ දුරට ස්වාධීන වීම නිසා අවනීතිය අඩුව ඇත. ජනතාවට තමන්ගේ ආණ්ඩු විරෝධය බයක් සැකක්  නොමැතිව ප්‍රකාශ කිරීමට අද ඉඩකඩක් තිබේ.

මේවා සාධනීය කරුණු වුවද ආණ්ඩුවේ බැරිකම් මෝඩකම් හා නොපනත්කම් ඉදිරියේ මේවා ජනතාවට අමතකව යන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතී.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමාවූ වහාම ගෑස් මිල ඉතාමත් විශාල ලෙස වැඩි විය. ඛනිජ තෙල් මිලද ඉහළ යන ලකුණු තිබේ. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනු ඇත්තේ ජනතාවගේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අති බහුතරයක මිල ඉහළ යාමය.

මේ තත්ත්වය තුළ එළඹෙන පළාත් සභා මැතිවරණවල ප්‍රතිඵල කවරක් වනු ඇතැයි ආණ්ඩුව සිතන්නේද? ගෑස්මිල, තෙල් මිල, බස් ගාස්තු, පාන්, බනිස්, කිරිපිටි මිල බත්පා ර්සලයක, තේ කෝප්පයක මිල ඉහළ ගිය තත්ත්වයක් තුළ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයකින් තමන්ට අත්වනු ඇත්තේ 2018 පෙබරවාරියේ අත්වූ පරාජයටද වඩා දරුණු පරාජයක් බව වටහා ගැනීමට තරම් බුද්ධියක් ආණ්ඩුවට නොමැතිද?

තමන්ගේ නාස්තිකාර පාලනය නිසා ඉහවහා ගිය අය-වැය හිඟය පියවා ගැනීමට රාජපක්ෂවරුන් කළේද ජනතාව කන බොන දෑ ඇතුලු ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැටවීමයි. ඔවුන් 2015 දීලත් පරාජයට මෙම පිළිවෙත මූලිකම හේතුවක් විය.

තමන්ටත් ඒ විනාශය අත් නොවීමට ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුත්තේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවන බදු වැඩි කිරීම නොවේ. තමන්ගේ නාස්තිකාරත්වය අඩු කිරීමයි, අනවශ්‍ය රාජ්‍ය වියදම් අඩු කිරීමයි.

ස්ථුල ඇමැති මණ්ඩලයක් පවතින තාක් මැති ඇමැතිවරුන්ට රටේ වෙනත් කිසිම ජනතාවකට නොමැති වරප්‍රසාද හා සහනයක් ලැබෙන තාක් පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රි සංඛ්‍යාවක් ඔවුන් නඩත්තු කරන වියදමක් ඉහළ යන තාක්, නාස්තිකාර ව්‍යාපාරවලට හා ප්‍රදර්ශනකාරී ව්‍යාපෘතිවලට මුදල් බිලියන ගණනින් යට කෙරෙන තාක් රජයේ වියදම්අඩුකළ හැකිද?

මෙවැනි අනවශ්‍ය හා නාස්තිකාරි වියදම් අඩු නොවන්නේ නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ බදු බරත් ඒ නිසා බඩු මිලත් ඉහළ යාම නොවේද? එහි දේශපාලන ප්‍රතිවිපාක ආණ්ඩුව යළි යළිත් මැතිවරණමය පරාජයන්ට ලක්වීම නොවන්නේද?

වෙරිටි රිසර්ච් (Verite Research) නම් වූ ආයතනය සිදුකළ පරීක්ෂණයකට අනුව 2017 අයවැයෙන් වූ පොරොන්දුවලින් මුළුමනින්ම ඉටුකර ඇත්තේ 8%ක් පමණි. 22%ක් තරමකින්ද 24% සාමාන්‍ය මට්ටමින්ද ඉටුවී ඇත. 35%ක් මුළුමනින්ම හෝ සැලකිය යුතුමට්ටමකින් කඩවී තිබේ. මෙලෙස ඉටු නොවූ හෝ ඉතාමත්ම අඩු මට්ටමකින් ඉටුවූ පොරොන්දු අතර කුඩා වැව් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීම, ලක් සතොස ශාඛා ව්‍යාප්ත කිරීම, දක්ෂිණ සංවර්ධනය, උතුරට හා නැගෙනහිරට නිවාස ව්‍යාපෘතියක්, ආබාධිත සෙබලුන්ට විශ්‍රාම වැටුප්ද වේ. මේවා සියල්ලම ඉටු කිරීම සඳහා යන වියදම මධ්‍යම අධිවේගයේ තුන්වෙනි පියවර සඳහා යෝජිත වියදමට වඩා අඩු වෙතැයි අනුමාන කළ හැක. නියඟයෙන් පීඩිත පෙදෙස්වල ඇති ඉපැරැණි වැව් පිළිසකර කිරීම, යුද්ධය නිසා උන්හිටිතැන් නැතිවූ උතුරු-නැගෙනහිර ජනතාවට නිවාස ලබාදීම හා ආබාධිත සෙබලුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීම, කොළඹ සිට නුවර දක්වාත් නුවර සිට කොළඹ දක්වාත් අඩුකාලයකින් ගමනාගමනයට මඟ සැලවීමට වඩා බෙහෙවින් වැදගත් බව ආණ්ඩුවට නොවැටහෙන්නේ මන්ද? අඩුම තරමින් ජනතාව දශලක්ෂ ගණනකට සෙත සලසන ව්‍යාපෘති මගින් තමන්ට ලැබෙන දේශපාලන වාසිය අධිවේගී මගකින් ලැබෙන දේශපාලන වාසියට වඩා ඉතාමත් අධික බව වටහා ගැනීමට තරම්වත් බුද්ධියක් ආණ්ඩුවට නොමැතිද?

රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය එජාප මන්ත්‍රි
කණ්ඩායමකට පිස්තෝල පෙන්වා තර්ජනය කිරීම නිසා රටේම කුප්‍රකට නමක් දිනාගත් එවකට හම්බන්තොට නගරාධිපතිවරයා යළිත් එම තනතුරට පත්ව ඇත. ඔහුට පළාත්පා ලන ඡන්දය සඳහා නාමයෝජනා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනිපයයි. ඔහු නගරාධිපතිකමට පත් කිරීමට මදි පාඩුවූ ඡන්ද ටික ලබා දුන්නේ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවයි.මෙවන් ක්‍රියා මැද යහපාලනය ඛේදාත්මක විහිලුවක් (tragicomedy) බවට පත්වීම පුදුමයක්ද?

එළඹෙන ඇමැති මණ්ඩල සංශෝධනයේදී රවි කරුණානායක මහතාට ඇමැතිකමක්ල බාදෙන්නැයි එජාපය ඉල්ලූ බවත් එය ජනපතිවරයා ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍යය වාර්තා කළේය. මේ පුවත සත්‍යයක් නම්එ ජාපය කර ඇත්තේ යහපාලන පොරොන්දුව අමු අමුවේ පාවා දීමකි.ජනපතිවරයා කර ඇත්තේ නිවැරැදි ක්‍රියාවකි.

එහෙත් රවි කරුණානායක මන්ත්‍රීවරයා එජාපය අත්හැර ජනපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට ශ්‍රීලනිපයට එක්වුවහොත් ඔහු අපේක්ෂා කරන ඇමැතිකම ඔහුට නොලැබීයාද? මූලික අධ්‍යාපන සුදුසුකම් පවා නොමැති චාමර සම්පත් මහා ඇමැතිවරයාට පළාත් අධ්‍යාපන ඇමැතිකම ලබාදීමෙන් පෙනී යනුයේ පක්ෂපාතිත්වය මුල් සුදුසුකම ලෙස සලකන පුරුද්ද ජනපතිවරයාටත් ඇති බව නොවේද?

මේ රටේ නීති රීති උල්ලංඝනය කරමින් මෙවර අවුරුදු සමයේ අලි-රේස් තරග තුනක් පැවති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අලින්ට හෙණ්ඩුවලින් ඇන වධ දෙමින් පවත්වන මෙම එක් තරගයක් (කොළඹ පැවැති තරගය) සංවිධානය කර ඇත්තේ එජාපයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කිත්සිරි රාජපක්ෂය. මේ නීති විරෝධි අනුකම්පා විරහිත ක්‍රියාව පිළිබඳව එජාප නායකත්වය පියවරක් ගනීද? නැතහොත් මිනිහා ‘අපේ’ නිසා රාජපක්ෂවරුන් කලාක් මෙන් නිහඬව සිටීද?

විසුවියස් ගිනිකන්ද පුපුරා යන මොහොත තෙක්ම එහි බෑවුමේ හා පාමුල වූ පොම්පේ නගර වැසියෝ අනතුර නොතැකු බව කියවේ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයද පොම්පේ වැසියන්ගේ මෝඩකමට සමානය. අඩුම තරමින් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පසුවවත් ළඟ ළඟ එන රාජපක්ෂ අනතුර ඔවුන්ට වැටහිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවන බවක් මේ දක්වා පෙනෙන්නට නැත. වෙනස්වී රැකෙනවාට වඩා වෙනස් නොවී වැනසීම සැපයක් යැයි ආණ්ඩුව සිතන්නේද?

දේශපාලකයෝ වරදකරුවෝය. එහෙත් වරදකරුවෝ ඔවුහු පමණද?

ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලන කටයුතුවලට මැදිහත්වීම සඳහා ජනතාවට දෙයාකාරයකඉඩකඩක් තිබේ. එකක් නම් මැතිවරණයය. අනෙක නම් මැතිවරණ අතරතුර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදි ඉඩකඩ භාවිත කරමින් තම මතය දේශපාලකයන්ට දැන ගැනීමට කටයුතු කිරීමයි. මේ දෙකම එක ලෙස වැදගත්ය.

එහෙත් දේශපාලකයන්ගේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම සඳහා මැදිහත්වීමක් නොකර ඡන්දය පමණක් භාවිත කිරීමෙන් සිදුවනුයේ බොහෝවිට හිසරදයට කොට්ට මාරු කිරීමට සමාන දෙයකි. ජනතාවගේ ප්‍රශ්න විසඳනු බලයට පත්වන පාලනය ටික  පරාජිත පාලනය කළ වැරැදිම තමනුත් කිරීමට පෙළඹෙයි.

පක්ෂය පාට අනුව විරුද්ධවාදී දේශපාලකයන් විවේචනය කිරීම අපේ පුරුද්දයි. එහෙත් ඉන් එහා ගොස් දේශපාලකයන් නම් වූ කුලකයට/වර්ගයට පොදු වූ කාරණා ගැන කතා කිරීමට අපට නොහැකිව ඇත.

මෙරට මැති ඇමැතිවරු වැටුප් ලබති. වසර 5ක් මන්ත්‍රීකම් කොට විශ්‍රාම වැටුප් ද ලබති. එහෙත් ඔවුහු ආදායම් බදු
නොගෙවති.

මැති ඇමැතිවරුන් බදු නොගෙවන්නේ මන්ද? ඔවුන්ට බදු විරහිත රථ වාහන අයිතියක් ඇත්තේ මන්ද? ඔවුන් ලබන අනෙකුත් වරප්‍රසාද කවරේද?

මොන ආණ්ඩුව ආවත් මේ තත්ත්වය වෙනස් නොවන්නේ පක්ෂය පාට කුමක්වු වත් ජාතිය ආගම කුමක් වුවත් තම වරප්‍රසාද රැක ගැනීම සඳහා මෙරටේ සියලුම දේශපාලකයන් එකා මෙන්ම එක්වන නිසා නොවේද? එජාපය සිට පොහොට්ටුව දක්වාත් ශ්‍රීලනිපයේ සිට ජවිපෙ දක්වාත් ජාතික හෙළ උරුමයේ සිට දෙමළ මුස්ලිම් පක්ෂ දක්වාත් ඇති පොදුකාරකය මෙය නොවන්නේද?

මැති ඇමැතිවරුන් බදු ගෙවිය යුතුයි හෝ ඔවුන්ට බදු විරහිත වාහන නොලැබිය යුතු යැයි හඬක් ජනතාව වන අපෙන් නොනැඟෙන්නේ මන්ද? මෙවැනි දේ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැරි තරමේ බියක් රාජපක්ෂ සමයේ වූ බව සැබෑය. අද එවැනි බියක් නොමැත. රාජ්‍ය භීෂණයක්නො මැති වුවද අපේ නිහැඬියාවෙන් සනිටුහන් වනුයේ අපේ නොවුවමනාව නොවේද? ඉතින් ආණ්ඩුව කවරක් වුවත් දේශපාලකයන් රටේ ධනයෙන් සුර සැප විඳීම පුදුමයක්ද?

බඩු මිල ඉහළ යාමට තුඩු දෙන එක මූලික හේතුවක් වන බදු බරට පාදක වනුයේ රජයේ වියදම් ඉහළ අඩියක පැවැතීමයි. රජයේ වියදමින් ලොකුම කුට්ටිය වැය වනුයේ අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ කෘෂිකර්මය වෙනුවෙන් නොව ආරක්ෂාව වෙනුවෙනි. මෙවන් අති විශාල පිරිවැයක් යුද්ධය අතරතුර සාධාරණ වුවද යුද්ධය නිමාවී වසර 9 ක් ගතවූ තැන මෙවැනි වියදමක අවශ්‍යතාවයක් තිබේද? මේ මහා වියදමෙන් සාමාන්‍ය සෙබලුන්ගේ අවශ්‍යතාවලට ලැබෙනුයේ අවම ප්‍රමුඛතාවයක් බව 2017 අයවැයේ ඉටු නොවූ පොරොන්දු අතර වූ ආබාධිත සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් පොරොන්දුවෙන්පැ හැදිලි වේ. 

ආරක්ෂක වියදම් පාලනය නොකළහොත් හමුදා කාර්මික සංකීර්ණයක් (Military Industrial  complex) ගොඩනැගීමේ අවදානමක් ඇති බවත් රටේ ආරක්ෂාවට වඩා හමුදා ප්‍රධානීන් හා ව්‍යාපාරිකයන්ගේ ලාභ ප්‍රයෝජනය අරමුණු කරගත් එවැනි නිර්මිතයක් රටට ඉතා අහිතකර බවත් මුලින්ම අනාවැකි පළ කළේ හිටපු ඇමැරිකානු ජනපති අයිසන්හවර් මහතාය. ඒ 1961 දීය. ඇමරිකාව සම්බන්ධයෙන් ඔහු එදා කළ ඒ අනතුරු හැඟවීම මේ වනවිට යථාර්ථයක් බවට පත්ව ඇත.

ලංකාවේ ඇත්තේ හමුදා වණිජමය සංකීර්ණයකි.(Military Commercial complex) රාජපක්ෂ සමයේ ආරම්භ වූ හමුදාව ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවීමේ ප්‍රවණතාව වත්මන් පාලනය යටතේ දිගටම සිදුවෙයි. යුද්ධයක් නැති වුවද ඉතා මිල අධික අවි ආයුධ, ගුවන් යානා, නැව් පිටරටින් ආනයනය කිරීම මෙහි තව පැත්තක් වන අතර මෙවැනි ආනයන සඳහා අතර මැදියන් ලෙස කටයුතු කරන්නවුන්ට ලැබෙන කොමිස් මුදල ඉතාමත් ඉහළ බව නොරහසකි. ආනයන මත සිටින අපේ වැනි රටකට මෙවැනි වියදමක් පවත්වාගත හැක්කේ ණය වීමෙන් පමණි. අවසානයට ඒ ණයට වන්දි ගෙවන්නට සිදුවනුයේ (සාමාන්‍ය හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්ද ඇතුළත් වූ) මෙරට පොදු ජනතාවටය.

යුද්ධයක් නැති තැන ආරක්ෂක වියදම්ඉ හළ නගින්නේ කාගේ යහපතටද යන්න පිළිබඳ සහේතුක කතිකාවක් මේ සමාජයෙන් ජනිත නොවන තාක් මෙවැනි ප්‍රශ්න උග්‍රවීමත් එහි වන්දිය බදුබර බඩුමිල හරහා ජනතාව මත පැටවීමක් නතර කළ නොහැක.

තවත් උදාහරණයක් සලකා බලමු. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වාර්ෂික වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගුවන් සේවය යළිත් රජයට පවරා ගත් වසරේ සිට එකදු වසරක් වත් ගුවන් සේවය ලාභ ලබා නොමැත. 2009 දී රුපියල් බිලියන 9.3ක පාඩුවක් ලැබූ සමාගම අද දක්වා ලබා ඇත්තේ පාඩුමය. 2013 දී ලද පාඩුව රුපියල්  බිලියන 26ක් ද 2013 දී 32.4ක් ද 2017 දී 27.9ක් ද විය. මේ මුදලින් කුඩා වැව් කීයක් නම් පිළිසකර කොට ජනතාව කී ලක්ෂයක පිපාසාව සන්සිඳවිය හැකිද? නිවාස කීයක් තනා පවුල් කීයකට හව්හරණයක් ලබාදිය හැකිද? ආබාධිත සෙබලුන්ට කොතරම් විශ්‍රාම වැටුපක් ලබාදිය හැකිද?

ශ්‍රී ලන්කන් වැනි සමාගම් මෙලෙස පිට පිට පාඩු ලබමින් රජය විසින් පවත්වාගෙන යාමෙන් රටට හෝ ජනතාවට සෙතක් වේද?

මෙවැනි දෑ ගැන පුරවැසියන් ඡන්දදායකයන් ලෙස අපේ උනන්දුවක් නැත්තේ මන්ද?

ඕනෑම රටක දේශපාලකයන් කරන අමන  ක්‍රියාවලට වැඩිපුරම වන්දි ගෙවන්නට වනුයේ ජනතාවටය. ලංකාවේ තත්ත්වයද මෙලෙසමය. මැතිවරණවලදී ඡන්දය භාවිත කරන අපි අතරතුර කාලවල දේශපාලකයන් කරන කියන දෑ ගැන සැලකිල්ලක්නො දක්වමු. එහි ප්‍රතිඵලය වනුයේ ආණ්ඩු මාරුවුවද රටේ අති බහුතරයක් ප්‍රශ්න නොවිසඳී පැවැතීමයි.

දේශපාලකයන්ට දොස් නැගිය යුතුය. ඔවුන් දොස් ඇසීමට සුදුස්සෝය. එහෙත් ඉන් පමණක් ප්‍රශ්නය විසඳේද? අපට ඇති ප්‍රජාතන්ත්‍රීය ඉඩකඩ භාවිත කරමින් පක්ෂය පාට කුමක් වුවද දේශපාලකයන්ගේ නොපනත්කම්වලට හා මෝඩකම්වලට වැට බැඳීමට අපට නොහැකිවී ඇත්තේ මන්ද? සමාජයක් ලෙස මෙම වගකීමට උරදීමට අප කටයුතු නොකළොත් එහි වන්දිය ගෙවීමට වනුයේ අපටම නොවේද?