වැදි ජනතාවගේ නිජබිම වූ සුවිසල් වනපෙත රජයේ අණසකට යටත් කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ රජය මාදුරුඔය අභය භූමිය ආරම්භ කිරීමත් සමග ආදිවාසීහු ගැටලූ රැසකට මුහුණ දුන්හ. මේ සමගම තමන්ට පාරම්පරිකව උරුමව තිබූ වනය තුළ නිදහසේ ජීවත්වීමේ අයිතිය අහිමි වූ බව හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි නිරන්තරයෙන්ම කියා සිටියේය. තමා කිසිසේත්ම තම නිජබිමෙන් ඉවත් නොවන බවට අරගල කළ තිසාහාමි, මරා දැම්මත් පිටමං නොවන බවට රජයට අභියෝගයක් ද කළේය. තම සංස්කෘතියට අනුව පෙරසේම එදිනෙදා අවශ්‍යතාවට සරිලන සේ සතුන් දඩයම් කිරීම, වගා කිරීම, වනයේ නිදහසේ සරමින් මීවද එකතු කිරීම, පලතුරු හා ඖෂධ එකතු කිරීම ඇතුළු රැහේ ජීවන අංගයන්ට අත නොගසන ලෙස බලකරමින් ඔහු මේ රටේ පාලකයන් සමග සටන ඇරඹුවේය. වඩාත්ම බුද්ධිමත්ම ආදිවාසියා ලෙස සැලකෙන වත්මන් නායක ඌරුවරිගේ වන්නියා පියා ළඟම සිටිමින් සටන් මුවහත් කළේය. ශ්‍රී ලාංකේය පාලකයන් තම ප‍්‍රශ්න හමුවේ අන්ධයන්, ගොළුවන් හා බීරන් සේ සිටීම නිසා අසරණව සිටි ආදිවාසීන්ව සොයා ස්වීඩන් ජාතික ”විවේකා” නම් වූ කාන්තාව දඹානට ආවාය. ඇයගේ මාර්ගෝපදේශකත්වය යටතේ ලෝක ආදිවාසීන්ගේ සමුළුවට සහභාගි වී මේ ප‍්‍රශ්නය ලෝකය හමුවේ තබා උදව් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් නියෝජනය කරමින් එවකට නියෝජ්‍ය නායකයා වූ වත්මන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියා තවත් ආදිවාසීන් දෙදෙනෙකු සමග ගුවන් මගින් ස්විස්ටර්ලන්තයට ගිය අයුරු ගිය සතියේ ඔබට විස්තර කළෙමි. නවාතැන් ලැබූ සුවිසල් හෝටලය වනපෙතේ ජීවත්වූ මේ තිදෙනාට නුහුරු නුපුරුදු බියකරු තැනක් විය. ජනපති ජේ.ආර්. අවසර නොදුන් ඉන්පසු ලෝක ආදිවාසී සමුළුවේ බලපෑම් නිසා ජනපති චන්ද්‍රිකා අවසර දුන් ලෝක ආදිවාසී සමුළුවට ගිය ගමන පුරාම රජයේ බුද්ධි අංශ ඇස ගසාගෙන සිටි බව වන්නියලැ ඇත්තෝ දැන සිටියේය. ”චන්ද්‍රිකා නෑනිල ඇත්තන්ගේ ආණ්ඩු පොජ්ජෙන් මේ ඇත්තෝ මංගච්චන්න සූදානම් පොජ්ජ මන්දොවෙලා කතා දැම්මම ඒ ඇත්තෝ කතා දැම්මා හොඳමයි මංගච්චන්න” මොන එකක්වත් තහනම් පොජ්ජ මන්දො කරන්නත් කොදොයි. අවසර පොජ්ජ ඇනොව් කලෙව්වා. ඒ ඇත්තෝ මේ ඇත්තෝ මංගච්චනකොට මෙයිබෙන් රහස් තැනින් කට්ටිපොජ්ජ මේ ඇත්තොත් එක්ක මංගැච්චුවා. මේ ඇත්තෝ මොන එකද කතා දමන්නේ. මොන එකද මන්දො කරන්නෙ. ඒ වගේ එතැන මේ ඇත්තො හිත්ලාන හැටියට දෙකමක් හරි හතරමක් හරි මංගැච්චුවා. මේ ඇත්තො මංගච්චන තැනමවල්වල මේ ඇත්තො කතා දමන තැනමවල්වල ඒ ඇත්තෝ හිඳ තිබෙව්වා. ඒ කාලේ ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිව සිටියේ බර්නාඞ් ගුණතිලක මහතාය. ඔහු හඳුනා ගැනීමට අපේ ආදිවාසී ඳුත පිරිසට හැකි විය. රටවල් (136)ක් නියෝජනය කරමින් මේ ආදිවාසී සමුළුවට සහභාගිවීම සඳහා ආදිවාසී නියෝජිතයෝ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පැමිණ සිටියහ. විවේකා නම්වූ මාර්ගෝපදේශිකාව සමග අපේ ආදිවාසී නියෝජිත පිරිස සමුළුව පැවැත්වූ ශාලාව වෙත ගමන් කළහ. වන්නියලැ ඇත්තෝ සුපුරුදු විපරමින් පසුවිය. අපේ රටේ වගේ තොරණ, සැරසිලි, පිළිගැනීමේ ගී, නැටුම් බෙර කිසිවක් නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ මෙම සමුළුවේ සභාපතිනිය ලෙස මුලසුන දැරුවේ එම සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවූ කාන්තාවකි. සෑම දිනම සමුළුව ආරම්භ වීමට පෙර මියගිය ආදිවාසීන් අනුස්මරණය කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් රැකිය යුතුය. බොහෝ රටවල් මේ සමුළුවට සහභාගිවීම සඳහා තම රටවල ආදිවාසීන්ට අවසර නොදේ. ඊට හේතුව මෙම සමුළුවට එන වැඩි දෙනෙක් එම රටවල ක‍්‍රියා පිළිවෙත දෝෂ දර්ශනයට ලක්කිරීම නිසා එම රටවල රාජ්‍යයන් මෙසේ තහංචි පනවා තිබේ. ඇතැම්විට සමුළුවට එනවිට ආදිවාසීන් ඝාතනය කළ අවස්ථා ද, ගුවන්යානයේ එද්දී මියගිය අවස්ථා ද, සමුළුවට සහභාගිවීමට පැමිණ සිටිය දී මියගිය අවස්ථා ද තිබේ. එවැනි සියලූදෙනා මෙම විනාඩිය තුළ සිහිපත් කෙරේ. අදහන දෙවියන් හා යකුන් සිහිපත් කිරීමට තවත් විනාඩියක කාලයක් වෙන්කර ඇත. මාසයක් පුරා පැවැති මෙම සමුළුවට සහභාගිවීමට ගියවිට දිනපතා දැන්වීම් පුවරුව පරික්ෂා කර බැලිය යුතුය. සමුළුව අමතන්නේ කුමන රටක්දැයි කල්තියා දැනුම් නොදෙන අතර එය එදින දැන්වීම් පුවරුවේ සඳහන් කර තිබීමට කටයුතු කරයි. දිනපතා දැන්වීම් පුවරුව පරික්ෂා කරන ලද්දේ ”විවේකා” විසිනි. ඒ අනුව වන්නියලැ ඇත්තන්ට සමුළුව ඇමතීමේ වරය ලැබුණේ සමුළුව අවසන්වීමට දින 3 ක් තිබියදීය. එක රටකට ලබාදෙන කාලය විනාඩි 5කි. කොච්චර කතා කරන්න තිබුණත් විනාඩි 5 කට කතාව සීමා කළ යුතුව තිබිණ. ඒ ඒ රටවලින් පැමිණි ආදිවාසීන්ගේ ඇඳුම් ආයිත්තම් එකිනෙකට වෙනස්ය. කතා බහ ඉරියව් හැසිරීම් එකිනෙකට වෙනස්ය. බුද්ධිය හා උගත්කමද වෙනස්ය. තමාන් නමැති වැදි පරම්පරාවේ ඉනාවා මහාචාර්ය වරයෙකි. තවත් එවැනි උගතුන් රැුසක්ම ආදිවාසී පරපුරෙන් එන බවත් සමහරු මහා සල්ලිකාරයන් බව වන්නියලැ ඇත්තන්ට දැනගන්නට ලැබුණි. ශ්‍රී ලංකේය ආදිවාසීන්ගේ හඬ අවදිකිරීමේ දිනය හා වේලාව උදාවිය. උඩුකය නිරුවත් පොරව උරේ පැළඳගත් වන්නියලැ ඇත්තෝ මහා පෞර්ෂයෙන් යුතුව නැගී සිටියේය. මේ කතාවේ දී ආණ්ඩුවට දොස් කීමට හැකියාවක් නැති බව වන්නියලැ ඇත්තෝ දැන සිටියේය. නායක තිසාහාමි එපා කියද්දී වනබිම් අතහැර පිරිසක් මහවැලි ජනපදවලට ගියේ ඔවුන්ගේ කැමැත්තෙනි. තිසාහාමිටත් නොදන්වා රහසින් ඔවුන් එසේ ගිය නිසා රජයට ඍජුව දොස් නගන්නේ නැතිව කතාකිරීමට වන්නියලැ ඇත්තෝ වගබලා ගත්තේය. විනාඩි 5ක නියමිත කාලය අවසන් වනවිටම නිලධාරි කාන්තාවක් පැමිණ කාලය අවසන් බව වන්නියලැ ඇත්තන්ට දැනුම් දුන්නාය. වන්නියලැ ඇත්තන් ළඟ එසේ විනාඩි 5ක කාලයක් තුළ කතාකිරීමේ අපහසුතාවය වූයේ ඔහු කළ කතාව කොළයක සටහන් කළ එකක් නොවූ බැවිනි. ඔහු අත තිබූ එකම දෙය නම් බුලත් පුවක් මල්ලය. කර කියාගත දෙයක් නොහැකිවූ ඔහු බුලත් මුල්ලට අත දැම්මේය. කාලය අවසන් බව දැන්වූ කාන්තාව යළිත් ඔහු ළඟට ආවාය. තවත් විනාඩි 5ක කාලයක් ලබාදීමට සභාපතිනිය අවසර දුන් බව ඇය දන්වා සිටියාය. බුලත් කැබැල්ලක් කටේ දමාගත් වන්නියලැ ඇත්තෝ යළි කටහඬ අවදි කළේය. ඒ විනාඩි 5ක කාලයත් අවසන් වෙද්දී වන්නියලැ ඇත්තන්ට කැමති තරම් කතා කරන්නැයි විශේෂ අවසරයක් ලබාදීමට සභාපතිනිය අවසර දුන්නාය. කතාව අවසන් විට ඔහු කතා කළ කාලය විනාඩි (45)ක් බව සටහන් විය. ශාලාවේ සිටි දහ දහසකට අධික ආදිවාසීන් විමතියෙන් බලා සිටිය දී ශ්‍රී ලාංකික ආදිවාසීන්ට වැඩි කාලයක් ලබාදීමට හේතුව පැහැදිලි කිරීමට සභාපතිනිය අමතක කළේ නැත. මෙතැන තියෙන සම්ප‍්‍රදාය තමයි හැම රටකටම විනාඩි 5 බැගින් ලබාදීම. ලංකාවට වැඩිවේලාවක් දෙන්න එක හේතුවක් තමයි. අනෙක් ඔක්කොම ලියාගෙන ආව දේවල් කියෙව්වා හැබැයි ලංකාවෙන් ආපු කණ්ඩායම කතා කළේ එවැනි කිසිම ලියවිල්ලක් නොමැතිවයි. ඒ ගොල්ල මුළු හදවතින්ම කතා කළේ ඇත්තටම තියෙන ප‍්‍රශ්න පිළිබඳවයි. එය හැඟුම්බරයි. ඔළුවට විතරක් කතා කරල වැඩක් නැහැ. හදවතට කතා කරන්න  ඕනෑ. ඒක අනෙක් අයත් හිතට ගත යුතු දෙයක්. අනෙක් හැම රටක් ඔවුන්ගේ සන්දේශ මගින් ඉල්ලා සිටියේ වරිගේ වෙනුවෙන් මුදල්. ඒත් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේ මේ ප‍්‍රශ්න විසඳීම සඳහා අපේ සංවිධානයේ සහයෝගය පමණයි. මේක කවුරුත් හිතන එක තමයි විය යුත්තේ. සභාපතිනිය එසේ පැවසූ පසු සිදුවූයේ කුමක්ද? ඒ වෙලා පොජ්ජෙ මංගච්චලූ තිබාපු හැම මිනිග්ගජ්ජෙක්ම මේ ඇත්තන්ට සතුටු තැන මන්දො කෙරෙව්වා. මේ ඇත්තෝ ඉස්සුම් පොජ්ජ මන්දො කරගෙන තමයි එලි පොජ්ජට මංගැච්චුවේ. මංගච්චල කතා දැම්මා මේ සමුළුපොජ්ජේ රඳන සභාපති මෑණිල ඇත්තන්නේ හිත් පොජ්ජ ගල් පොජ්ජ වගෙයි. මේ තැන වෙනස් කරපු මිනිග්ගජ්ජ තමයි වන්නියලැ ඇත්තෝ කොයි කාලෙක මැච්චකවන් මේ නෑනිගෙ හිත්පොජ්ජ වෙනස් තැන මංදොකරන්න මේ මොනකෙකුටවත් අමාරු තැනයි මාමකැච්චක් සන්තෝෂ පොජ්ජ මන්දො වෙනවා කියලා කතාදාල මේ ඇත්තන් ඉස්සුම් පොජ්ජ මන්දො කරගෙන තමයි මං ගැච්චුවේ. ගලක් වගේ තද සභාපති නෝනාගේ හිත වෙනස් කරපු එකම මිනිහා වන්නියලැ ඇත්තන් බව පවසා ඔල්වරසන් දුන් සෙසු ආදිවාසීහු වන්නියලැ ඇත්තෝ ඔසවාගෙන අත්පොඩි ගසමින් සමුළු ශාලාවෙන් එළියට පැමිණියහ. මෙම සමුළුවට ස්විස්ටර්ලන්තයේ එවකට ශ්‍රී ලංකා තානාපතිව සිටි බර්නාඞ් ගුණතිලක මහතාට ද සතුටේ නිමක් නැත. ඔහු වන්නියලැ ඇත්තන් ප‍්‍රමුඛ ආදිවාසී නියෝජිතයන් තිදෙනාට හා විවේකා මෙනෙවියට රාත‍්‍රී භෝජනයට ආරාධනා කළේය. තානාපති නිල නිවසේ දී පැවැති මෙම භෝජන සංග‍්‍රහයට පෙර ආදිවාසීන්ගේ ගැටලූ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා සටහන්කර ගැනීමට තානාපතිවරයා පියවර ගත්තේය. සමුළුව නිමාවී නියෝජිත පිරිස යළි ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ වන විට කට කතාවක් පැතිර ගියේය. මොකක්ද ඒ කට කතාව. වෙලා පොජ්ජකට කතා දමනවා මිනිගජ්ජු විවේකා නෑනිල ඇත්තො මේ ඇත්තො බැඳුම් පොජ්ජ මන්දො කරන්න මංගැච්චුව කියල කතා දැම්මා... මේ ඇත්තො මොන එකටවත් හිත්පොජ්ජ පට ඇරගත්තෙ කොදොයි. මේ ඇත්තො හිත්ලානවා මේ ඇත්තන්ගේ රට පොජ්ජ හැටිම නෑනියක් එක්ක කතා දැම්මොත් හිත පොජ්ජ මන්දො උනොත් ඒ නෑනිත් එක්ක යාළු තැන මන්දො උනා කියල නේ මිනිග්ගජ්ජු කතා දමන්නේ. තැනමක් නොදවාගේ හිත් පොජ්ජ තිබෙන මොල පොජ්ජ තිබෙන මිනිග්ගජ්ජුත් ඒවාගේම කතා දැම්මා. විවේකා නෑනිල ඇත්තන්ට ප‍්‍රශ්න පොජ්ජ මංගැච්චුවා පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජුන්ගේ ලේ පොජ්ජ හොරකම් පොජ්ජකරන නෑනි ඔය වාගේ කතා දැම්මා. ඒ ඇත්තොත් ඉතින් හිත පොජ්ජ මන්දො උනා. ඒ ඇත්තෝ ජර්මනියේ සාමි කියන පරම්පරා පොජ්ජේ. කට කතාව වූයේ වන්නියලැ ඇත්තෝ විවේකා නෝනා සමග විවාහ වීමට ගිය බවය. මොලේ නැති මිනිස්සු වාගේම උගත් යැයි කියන සමහරු ද මේ කට කතාව සමග බැඳී සිටියහ. ආදිවාසීන්ගේ ජාන සොරකමට විවේකා පැමිණ ඇති බවත් ආදිවාසීන්ගේ රුධිරය ඇය ලබාගත් බවටත් කතා පැතිර ගියේය. වන්නියලැ ඇත්තෝ ඒ සියල්ල සිනාවෙන් විඳදරා ගත්තේය. ජර්මනියේ සාමි නමැති ගෝත‍්‍රයට අයත් විවේකා මෙනෙවිය ද සිනාසුනාය. ගෑනියක් එක්ක කතා කළොත් හිනා උනොත් ඒ දෙන්නා යාළුවෙලා කියා පදහදන අපේ රටේ මිනිස්සු ගැන දන්නා වැදිනායකයා හා විවේකා තවමත් යටි සිතින් සිනාසෙන්නෝය. ලබන සතියට
සටහන හා ඡායාරූප බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 ආදිවාසී සංස්කෘතිය නියෝජ්‍ය නායක ලෙස තරුණ වියේ ගිය සමුළු ගමන නායකයා ලෙස  අද සිහිපත් කරන වන්නියලැ ඇත්තෝ සමුළුවට ගිය වන්නියලැ ඇත්තෝ සහ විවේකා