සිංහල ශබ්දකෝෂ දිනය පසුගිය 21 වැනිද‌ාට යෙදුණි. සිංහල ශබ්දකෝෂයේ වර්තමාන ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය සමඟ මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.

• ‘සිංහල ශබ්දකෝෂ දිනය’ යෙදී තිබුණේ මෙම මස 21 වැනිද‌ාටයි. ශබ්ද කෝෂ දිනයක් අපේ රටේ නම් කිරීමට බලපෑ පසුබිම් කාරණා මොනවාද?
රාජකීය ආසියාතික සමිතියේ පාලනය යටතේ සිංහල ශබ්දකෝෂ සම්පාදනය ආරම්භ වුණේ 1927 මාර්තු මාසෙ 21 වැනිදා. ඒ නිසා එය අපි සිංහල ශබ්දකෝෂ දිනය හැටියට නම් කරනවා.
හැබැයි එහෙම වුණත් ශබ්ද කෝෂ පිළිබඳ අවබෝධය පුරාණයේ පටන්ම අපේ රටේ පැවතුණා. සිංහල සාහිත්‍යය ආරම්භ වුණ කාලයේදීම පාලි ග්‍රන්ථ ඇසුරු කරගැනීම සඳහා සන්න ගැටපද සකස්වුණා. භාෂාවේ වචනවලට අර්ථ දක්වන්නට ඉන් පස්සෙ නිඝණ්ඩු සැකසුණා. දඹදෙණි යුගයේදී ලියැවුණු පියුම් මල් නිඝණ්ඩුව සහ කෝට්ටේ කාලයේදී ලියැවුණු රුවන්මල් නිඝණ්ඩුව, නව නාමාවලිය, පුරාණ නාමාවලිය වගේ කෘති ඒ අතර වැදගත්. මේවයේ තිබුණේ වචනවලට තේරුම් දැක්වීමයි.
කවිය ඇතුළු සාහිත්‍යකරණයේ යෙදෙන අයට ඔවුන්ගේ නිර්මාණවල ඒ ඒ ස්ථානයට සුදුසුම වචනය සොයා ගැනීමට මේ ශබ්ද කෝෂවලින් ලොකු මෙහෙවරක් එද‌ා ඉඳලම ඉෂ්ටවුණා. වචනවලට අර්ථ කීමේ ව්‍යාපාරය අපේ ඉතිහාසයේ බොහෝ කලක පටන් පැවැති දෙයක්.

• ඔබේ පැහැදිලි කිරීම් අනුව ‘ශබ්ද කෝෂයක්’ යන්නට දියහැකි පැහැදිලි උත්තරය මොකද්ද?
ඇත්තටම ශබ්ද කෝෂයක් කියන්නෙ මොකද්ද කියල ඇහුවොත් දෙන්න පුළුවන් සරල පැහැදිලි උත්තරය නම් යම්කිසි භාෂාවක වචන සඳහා ඒ භාෂාවෙන්ම හෝ වෙනත් භාෂාවකින් හෝ භාෂා කීපයකින් හෝ අර්ථ, නිර්වචන, උච්ඡාරණ විධි, වචනයේ ඉතිහාසය දැක්වෙන නිරුක්ති ආදි ශබ්ද විද්‍යාත්මක භාෂාමය තොරතුරු දක්වන ශබ්ද ගොනුවක් යන්නයි. එය මුද්‍රිත වෙන්නත් පුළුවන්. විද්‍යුත් මාධ්‍යයෙන් වෙන්නත් පුළුවන්.
සිංහල භාෂාව පිළිබඳව උනන්දු වුණ බ්‍රිතාන්‍යයන් කල්පනා කළා මේ භාෂාවේ තියන විශේෂත්වය හා විවිධත්වය ගැන. ඒ අනුව සිංහල භාෂාවටත් විධිමත් ආකාරයේ ශබ්ද කෝෂයක් අවශ්‍යයි කියල ඔවුන් කල්පනා කළා. ඒ සම්බන්ධයෙන් 19 වැනි සියවසේ අගභාගයේ උනන්දුවක් ඇති වුණා ඒ අය අතර. මේ උනන්දුව මත තමයි 1927 දී සිංහල ශබ්ද කෝෂ සම්පාදනය ආරම්භ වෙන්නෙ.

•  ඩී.බී. ජයතිලක මහත්මාගෙන් ආරම්භ කෙරුණු මේ ශබ්දකෝෂ සම්පාදනය අද වන විට ක්‍රියාත්මක වන්නේ කොහොමද? එහි යම් මන්දගාමී බවක් තිබෙන බවටත් ඇතැමුන්ගේ චෝදනා අහන්න ලැබෙනවා නේද?
ඩී.බී. ජයතිලක මහත්මා ප්‍රාචීන භාෂා සාහිත්‍යය පිළිබඳ මනා දැනීමක් තිබුණ කෙනෙක්. ඩී.බී. ජයතිලක මහතා ප්‍රධාන කර්තෘවරයා ලෙස සිටිමින් එතුමා ඒ ශබ්ද කෝෂ සම්පාදන කටයුතු භාර කළේ ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන, මැන්දිස් ගුණසේකර සහ ජූලියස් ද ලැනරෝල් කියන මහත්වරුන්ට උපදේශකත්වය ලබාදුන්නෙ ගෛගර් මහතා. මේ කටයුතු මෙහෙයවූයේ රාජකීය ආසියාතික සමිතිය.
කල්යාමේදී මේ කාර්යය බාර දුන්නා ලංකා විශ්වවිද්‍යාල සිංහල අධ්‍යයන අංශයට. එතනිනුත් පස්සෙ 1972 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට පැවරුණා. මේ කාලය තුළ අද දක්වා ආචාර්ය ඩී.බී. ජයතිලක මහතාගේ සිට මහාචාර්ය එම්.ඩී. රත්නසූරිය මහතා, මහාචාර්ය පී.බී.එෆ්. විජේරත්න මහතා, මහාචාර්ය ඩී.ජේ. විජේරත්න මහතා, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා, මහාචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මහතා, මහාචාර්ය විමල් බලගල්ලේ මහතා, මහාචාර්ය විනී විතාරණ මහතා, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා යන අය සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘධුර දරා තිබෙනවා.
ඒ අය දිගින් දිගටම මේ ශබ්ද කෝෂයේ වර්ධනය සඳහා කටයුතු කළා.

ශබ්දකෝෂ සම්පාදනය හෙමින් මන්දගාමීව කෙරෙන බවට චෝදනාවක් තිබෙනවා යැයි ඔබ කීවා. ඒත් ඔය ප්‍රශ්නය හැමද‌ාම නැඟුණු එකක්. මේකට හේතුවක් තියනවා. ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේදී මූලිකවම ‘වචන’ අවශ්‍ය වෙනවා. ඒ වචන සොයා ගැනීම සඳහා කාලයක් ගතවෙනවා. ඩී.බී. ජයතිලක මහත්මාගේ කාලයේ වුණත් ඒ වචන සොයාගෙන නිවැරැදිව ගොනු කිරීමට විශාල කාලයක් ගත වුණා. ඒ වචනයේ පසුබිම ඉතිහාසය හොයන්න වෙනවා. විශාල වැඩකොටසක් එක වචනයක් වෙනුවෙන් කරන්න වෙනවා. ඒක සංකීර්ණ කටයුත්තක්.

කොහොම හරි 1992 වන විට සිංහල සිංහල මහා ශබ්දකෝෂය ලිවීම නිමා කළා. ඒ මහාචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මහතාගෙ කාලයේ. දැනට කලාප තිහක් තිබෙනවා. මීට සමගාමීව සිංහල – ඉංග්‍රීසි ශබ්ද කෝෂයකුත් සම්පාදනය වුණා. එය තවමත් අවසන්ව නැහැ.

•  එහෙම වුණත් මේ රටේ ශිෂ්‍ය පරපුර තවමත් සිංහල ශබ්ද කෝෂ උනන්දුවෙන් භාවිත කරන බවක් පෙනෙන්නට නැහැ. මේ ගැන ඔබේ අවධානය යොමු වී තිබෙනවාද?
නිවැරැදි සිංහල වචනය තෝරාගෙන ඒ ගැන අධ්‍යයනය කරන, හොයල බලන තත්ත්වයට පාසල් දරුවන් උනන්දු කරවීමයි කළයුත්තේ. ඒ උනන්දුව පාසලෙනුත් ඇති කළ හැකියි.
අපි අර කියපු ප්‍රධාන ව්‍යාපෘති දෙකට අමතරව සිංහල, සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයක් මීට කලිනුත් සම්පාදනය කෙරුණා. අලුතින් භාෂාවට එකතු වී ඇති වචන රාශියකුත් ඇතුළත් කරලා නැවතත් සිංහල – සිංහල ශබ්දකෝෂයක් අලුතින් සකස් කරල තියනවා. සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්ද කෝෂයක් වගේම සිහංල – දෙමළ – ඉංග්‍රීසි ත්‍රෛභාෂා ශබ්ද කෝෂයක්, අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂයක් සම්පාදනය වෙලා තියනවා. මේ හැම එකක්ම පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දරුවන් තුළ මේ සොයා බැලීම ගැන උනන්දුව ඇති කරවීමයි කළ යුත්තේ.

•  සිංහල භාෂාව නිවැරැදිව භාවිත කිරීම ගැන විවිධ ප්‍රශ්න විද්වත් සමාජයේ අදටත් සාකච්ඡා වෙනවා. භාෂාවක නිවැරැදි භාවිතයේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද?
භාෂාවක් හරියට ලියන්න ඕනෑ. හරියට කියන්න ඕනෑ. හරියට කියවන්න ඕනෑ. භාෂාවක් අර්ථවත්ව භාවිත කළ හැක්කේ එවිටයි.
අද සමාජයේ බැලුවාම සිංහල වචන උච්ඡාරණය හරිම දුර්වලයි. වචන ලියන විධියත් දුර්වලයි. ඇතැම් පුවත්පත්වල වගේම ඇතැම් පොත්පත්වලත් මේ වැරැදි අපි දකිනවා. වැරැදි උච්ඡාරණ අහන්න ලැබෙනවා. ඇත්තටම ජනතාවට ශබ්ද කෝෂ පරිහරණය සමීප කළොත් මේ වැරැදි අවම වෙනවා. අකුරු නිවැරැදිව ලියන විධිය ගැන දරුවන්ට කුඩා කාලයේම අවබෝධය ලබාදීම වැදගත්. ඒත් සිංහල අකුරු නිවැරැදිව ලියන්නට උගන්වන්න ඇතැම් මවුපියන් ඒ තරම් උනන්දුවන බවක් පෙනෙන්නට නැහැ. ඒත් ඉංග්‍රීසිය ගැන මුල සිටම දරුවන් උනන්දු කරවනවා.
ඉංග්‍රීසිය හරියට ලියන්න උනන්දු  කරනකොට සිංහල කොහොම ලිව්වාම මොකද කියන මතයේ බොහෝ දෙනා ඉන්නවා.

•  එවැනි ආකල්පයක් සමාජයේ තියෙනවා නම් ඒ තත්ත්වය අනාගත සමාජයට කොහොම බලපායිද?
අධ්‍යාපනයේ තියන අඩුපාඩුවක් තමයි ඒක. භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් ඇති අවධානය අඩුකම. සිංහල පිළිබඳ විශ්වවිද්‍යාල මට්ටමින් හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. උපාධි තියනවා. ඒ අයට මේ සම්බන්ධව දැනීමක් තියනවා. ඒත් මම බොහෝ අය මුණගැහුණාම ගුරුවරුන් වැනි අය එක්ක කතාකරපුවාම ඒ අය කවද‌ාවත් විශ්වවිද්‍යාලයක සිංහල ඉගනගත්ත කියන්නෙ නෑ, ලැජ්ජයි. අනික් පැත්තෙන් සමහරු පාසල්වල උගන්වන්නෙ සාමාන්‍ය පෙළ උසස් පෙළ සිංහල. ඒත් වැඩිදුර සිංහල ඉගනගෙන නෑ.

සමහරු හිතනව අපි සිංහල නම් සිංහල අමුතුවෙන් ඉගන ගන්නෙ ඕනෙ නෑ කියල. නමට සිංහල, ඒත් වාක්‍යයක් හරියට ගැට ගහගන්න බෑ. මේක අධ්‍යයනය කළ යුතු ඉතා වැදගත් විෂයක්. අපේ භාෂාව මේ.
සමහර අයට සිංහල වචනෙ මතක නෑ. ඉංග්‍රීසි වචනෙ හොඳට මතකයි. අපේ ආකල්ප වෙනස්වීමයි මූලිකවම විය යුත්තේ. ඉංග්‍රීසි වැරදියට ලියන එක ලැජ්ජාවක් කියල හිතුවට සිංහල වැරදුණාම ප්‍රශ්නයක් නෑ කියල හිතනවා. සිංහල බැරිකම ලොකුකමක් ගෞරවයක් කියල හිතනවා. අනේ මට නං හරියට සිංහල බෑ කියල සමහරු කියන්නෙ මහා ගෞරවයකින්. ආකල්ප වෙනස් වෙනකල් මොන මහන්සිය ගත්තත් වැඩක් නෑ. සිංහල භාෂා හීනමානය එන්නෙ මේ ආකල්ප අවුලත් එක්ක.


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)