13-Page-4-Rasa-2

 

 

 

බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලූනි කිරට
අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට

 


පරිසරය පුරා පැතිර ගත්තේ මළ ශෝකී පාළුවකි. අප වැඩිහිටි නිවහනට ගොඩවෙනවිට හැන්දෑව ගලා එමින් තිබුණි. 
‘‘අද සීයා කෙනෙක් මැරිලා මිස්’’ අප යන පෙරමගට පැමිණි පාලිකාව පැවසුවේ සඟවා ගත් දුකකින් කියලා අපට දැනුණා.


තමාගේ නොවුණ අම්මා, තාත්තා, වෙනුවෙන් දුකට පත්වෙන මේ පාලිකාවගේ හිතේ ඇති සෙනෙහසින් අංශුමාත‍්‍රයක්වත් මේ මව්පියවරුන්ගේ දරුවන්ගේ සිත්හි නැත්තේ ඇයි?
ඔවුන්ට තමාගේ අම්මා තාත්තා මතක් වෙන්නේ නැද්ද?


දහසක් සිතුවිලි ඇති වී නැතිවී යන නිමේෂයේ සිය දුක්බර කතාව ඔබට කියන්නට එක්වුනේ නොන්නෝ හාමි.


අත රැඳි ලේන්සුවෙන් නිරන්තරයෙන් මුහුණ පිස දමන නොන්නෝ හාමි සිහින් සිනාවකින් මුව සරසාගෙන සිටියා.

 

1


”කොහොමද අම්මා? අප විමසුවා
”වරදක් නෑ නෝනා, හොඳින් ඉන්නවා
ඇය පැවසුවාය.


ඉතින් අද අපි අහමු නොන්නෝහාමි ගේ කතාව. 


‘‘මම ඉපදුනේ මහබෙල්ලන. මගේ පවුලේ අක්කලා තුන්දෙනයි, අයියලා තුන්දෙනයි හිටියා. මම පවුලේ බාලයා. 


මගේ අම්මා නම් රක්ෂාවක් කළේ නෑ. තාත්තා විතරයි රස්සාවක් කළේ. අපේ අම්මා තාත්තා අපට හොඳට ඉගැන්නුවා. ඒ උගත්කම නිසාම අක්කලා අයියලා හොඳ රැුකියා කළා. මගේ එක අක්කා කෙනෙක් හිටිය. එයා ගුරුවරියක්. අයියා විදුහල්පතිවරයෙක්. අපේ ජීවිත ගෙවිලා ගියේ බොහොම නිස්කලංකව. 


හත් දෙනෙක්ගෙන් යුත් පවුලේ අයියලා, අක්කලා මඟුල් තුලා කළේ යාළුවෙලා නෙවෙයි, ජෝඩු කරලා.


අක්කලා අයියලාගේ මඟුල්තුලාවලින් පස්සේ මටත් මඟුලක් ජෝඩුකළා. එයා හඟුරන්කෙත පැත්තේ කෙනෙක්. 


ජෝඩුකරලා කසාද බැන්ද වුණත් අපේ මහත්තයා බොහොම ගුණයහපත් කෙනෙක්. මටත් බොහොම කරුණාවෙන් සැලකුවා.


කසාද බැන්දට පස්සේ අප වෙනම ගෙදරක ජීවත් වුණා. අපි අපේ මව්පියන්ට වෙනසක් කළේ නෑ. බොහොම හොඳින් සැලකුවා. එයාලා රැකබලා ගත්තා. කසාදයෙන් පස්සේ අපි දෙන්නගේ එකම බලාපොරොත්තුව වුණේ ඉක්මණින් දරු සම්පතක් ලබාගැනීම.

 

2

 


කාලය අවුරුද්දක් ගතවුණත් අපට දරු පැටියෙක් ලැබුණේ නෑ. දරු පැටියෙක් ලැබෙන්න පරක්කු වෙනකොට අපි හිටියේ බොහොම හිතේ අමාරුවෙන්. අපි පන්සල් පල්ලි ගානේ ගියා. බාරහාර වුණා. දොස්තරලා වෙදමහත්තුරු හොයාගෙන ගියා. දරුවෙක් උපදිනකන් අප දෙන්නා ආසාවෙන් බලන් හිටියා. කාලය අවුරුදු හතරකින් ගෙවිලා යනකොට අපට ලොකු සතුටක් අරගෙන මගේ කුසටත් දරුවෙක් ආවා. 


එදා අප දෙන්නා අපේ දරුවා වෙනුවෙන් මගබලපු විදිහ කියන්න වචන නෑ. 


පුංචි පුංචි ඇඳුම් පොඩි මහගෙන, තොටිලි හදාගෙන අපේ දරු පැටියා උපදිනකන් අපි ඇඟිලිගැන්නා. අවුරුදු හතරක් දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරපු කෙනෙකුට මිස කාටවත් අපේ සතුට අපේ දරුවා අපිට කොයිතරම් වටිනවද කියන එක තේරෙන්නේ නෑ.


අපේ මහත්තයා ආස කළේ පුතකුට. මට නම් එහෙම වෙනසක් තිබුණේ නෑ. මහත්තයගේ ආසාව ඉටුවුණ දවසක් උදාකරගෙන අපිට ඉපදුනේ පුතෙක්. ලස්සන පුතෙක්. පුතාට අපි සුදේව කියලා නම තිබ්බා. අපේ මහත්තයයි, මායි පුතාව රැුකබලා ගත්තේ මැණිකක් වගේ. කවන්න පොවන්න නිදිකරන්න මේ හැමදේටම අපි දෙන්නම එකතුවෙලා වැඩකළා. නිකන් හරි දරුවා අසනීප වුණොත් මා විතරක් නෙවෙයි අපේ මහත්තයත් නින්දක් නැතිව ? එළි කළා.
කාලය ගෙවිලා ගියේ සතුට විතරක් අපේ ජීවිතවල  තියලා. 


ඒත් පුතාට අවුරුදු තුනක් වෙනකොට අපේ සතුට හොරු අරගෙන ගියා වාගේ විපතක් වුණා. අපේ මහත්තයා හදිසියේ ඇතිවුණ පපුවේ අමාරුවක් නිසා ඇස් පියා ගත්තා. එදා තමයි මම තනිවෙන්න පටන් ගත්තේ. දන්නේ නෑ දරුවෙක් එක්ක සමාජයට යන්න. දරුවෙක් ජීවත් කරන්න මට හයියක් ලැබුණේ කොහොමද කියලා. 

 

3

 


කොහොම වුණත් මහත්තයා මැරුණ වේදනාව හිතේ තදකරගෙන මට ඉස්සරහට යන්න වුණා. අදටත් මට මගේ මහත්තය මතක් වෙනකොට බොහොම වේදනාවයි. එයා හිිටියා නම් අපට මෙහෙම වෙන්නේ නෑ.


මගේ කාලේ ගෙවිලා ගියේ පිස්සුවෙන් වගේ. 


නොන්නෝහාමිගේ මුව ගොළුවූ සෙයකි. කඩා වැටෙන්න පොරකන කඳුලක් කම්මුල දිගේ ගලා විත් ගවුම් කරේ ගිලී ගියේ නොන්නොහාමිගේ ඉකිබිඳුම වැඩිවන අතරය.


නොන්නොහාමිගේ මතක ආවර්ජනය හමුවේ කඩා වැටෙන කඳුලට ඉඩදී අපි බලා සිටියෙමු. 


මහත්තයා නැතිවුණාට පස්සේ මට ජීවත් වෙන්න මගක් තිබුණේ නෑ. 


මගේ අක්කලා අයියලා පුළුපුළුවන් විදිහට උදව් උපකාර කළා. ඒ අතරේ මා එක එක රස්සා කළා. කෑම පැකට් හැදුවා. ගාමන්ට් එහෙක තේ  හැදුවා, ඇඳුම් මැහුවා නොයෙකුත් වැඩකළා. කොහොම කොහොම හරි මගේ හිතේ හයියෙන් කටයුතු කරලා මා මගේ කොල්ලට ඉගැන්නුව.


පුතා නරක ළමයෙක් නොවේ, බොහොම ගුණ යහපත්. මගේ වචනෙට පිටින් කටයුතු කළේ නෑ. දරුවා ලොකු මහත්වෙනකොට මා විඳපු දහදුක් ඉවරවුණා. පුතා රස්සාවක් කරලා මාව රැකබලා ගත්තා. මම ඉතුරු කොරපු සල්ලිවලින් ඉඩං කෑල්ලක් මම අරන්දාල තිබුණා. පුතා ඒකේ පුංචිවට ගේ කෑල්ලක්  හැදුවා. 


පුතාට හිටියේ මම විතරයි. මට හිටියෙත් පුතා විතරයි. අප දෙන්නා අතරේ තිබුණේ ලොකු ආදරයක්, කැක්කුමක්. පුතා මාව බලා ගත්තේ ඇස්දෙක වගෙ. මා පුතාව බලා ගත්තේ මගේ ජීවිතේ වගේ. 


එහෙම ඉන්න අතරේ අපේ පුතා අහළ පහළ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.  ඒ ගෑනු ළමයාගේ නම ප‍්‍රශන්තිකා. අපේ පුතා සුදේවට ඒ දුව බොහෝම ආදරේ කරන නිසා එයාලව දෙපැත්තට කරන්න මට හිත දුන්නේ නෑ. මහා ලොකුවට වත්පෙහොසත්කම් නැතත් ඒ දරුවා ගුණ යහපත් ගෑනු ළමයෙක් කියලා එදා මට හිතුණා. ඒ නිසාම පුතා ඒ දුවව කසාඳ බදින්න ගත්තු තීරණේට මා විරුද්ධ වුණේ නෑ. 


මහා ලොකුවට නැතත් චාමෙට මංගල්ලෙකුත් අරගෙන අපේ පුතා කසාද බැන්දා. එදා ඒ දුව මාවයි පුතාවයි මේ විදිහට දෙපැත්තකට කරාවි කියලා මා හීනෙකින්වත් හිතුවේ නෑ.

 

4

 


නොන්නොහාමි කතා කරනවාට වඩා කරනුයේ හඬා වැටීමය. ලෝකයට මහලොකු මිනිසෙකු වූ සුදේව ඇයට තවමත් ළදරුවෙකි. ඒ අම්මාගේ සිතුවිලිවල සිය දරු පැටියා වෙනුවෙන් උපන් සිතුවිලි මෙතෙකැයි කියා නිමකළ නොහැකි තරම්ය. 


පුතා කසාද බැන්දට පස්සේ අපට වගේ අවුරුදු හතරක් පෙරුම් පුරන්න වුවමනා වුණේ නෑ. ලේලිට මුලින්ම ලැබුණේ පුතෙක්. දුවෙක් දෙවැනි වතාවට බලාපොරොත්තු වුණත් තුන්වැනියා, හතරවැනියා, පස්වැනියා වුණෙත් පුතාලම තමයි. 


මගේ පුතා මහා ලොකු සල්ලිකාරයෙක් නොවේ. නමුත් අගහිඟකමක් තිබුණේ නෑ. කොල්ලොම පස්දෙනෙක් කියන්නේ පවුලකට බරක් නෙවේනේ නෝනා. දවසක මුළු පවුලටම හයියක්. මගේ පුතා වාසනාවන්තයි. ඒකයි පිරිමි දරුවෝ පස්දෙනෙක් ලැබුණේ. මට හිතුණේ එහෙමයි. 


දවසක් මහ රාත්තිරියේ අපේ පුතාට අසනීප වුණා. එදා මගේ පුතාට හැදුනේ පපුවේ අමාරුවක්. මට හිතුණේ මගේ පුතා නැතිව මා තනිවුණා කියලා. ඒත් මා ඒ තරම් අවාසනාවන්ත වුණේ නෑ. ඒත් මගේ පුතාට ලොකු ඔපරේෂන් එකක් කරන්න දොස්තර මහත්තුරු නියම කළා. 


ඒක කළේ කොළඹ ජාතික රෝහලේ. ඔපරේෂන් කරනකොට මා හිිටියේ ලොකු ගින්දරක. මට මගේ පුතා නැතිව එක දවසක්වත් ගෙවා ගන්න බෑ නෝනා.


අප දෙන්නා අතරේ තිබුණේ ලොකු බැඳීමක්. කොහොම කොහොම හරි පුතාගේ ඔපරේෂන් එක කළා. පුතාට කරදරයක් නොවී ජීවිතේ බේරුණා. පුතා ඔපරේෂන් කරලා ගෙදර එක්ක ආවට පස්සේ දවසින් දවස ලේලි වෙනස් වුණා. අදටත් එහෙම වුණේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.පුතා කසාද බැඳපු අලූත අපි අතරේ පුංචි පුංචි හිත් අමනාපකම් තිබුණා තමයි. නමුත් ඔපරේෂන් එකෙන් පස්සේ ලේලි නිතර නිතර මා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා.
මගේ පුතාට සාත්තු සප්පායම් කරනවාට වත් ඒ දුව කැමති වුණේ නෑ. මම අම්මා කෙනෙක් නෝනා. තමන්ගේ දරුවා අසනීප වුණාම අම්මා කෙනකුට දැනෙන ගින්දර දන්නේ අම්මා කෙනෙක් විතරයි.


ලේලි කොයිතරම් රණ්ඩු ඇල්ලූවත් මම මගේ කොලූ පැටියා බලා ගත්තා. එයාව තනි කළේ නෑ. මාස දෙක තුනක් යනකොට මගේ දරුවට හොඳටම හොඳ වුණා.  ඒ වගේම ලේලිගේ කෙනෙහිලිකම් හොඳටම වැඩිවුණා. මං දවසක් ඒ දුවට අඬලා කිව්වා දුවේ, මට ඉන්නේ මගේ පුතා විතරයි ඔයාලව රැුකබලා ගත්ත මගේ පුතාව ඔය තැනට ගේන්න මම බොහොම දුක් වින්දා එයාගේ තාත්තත් නැතිව. එයාව මා අවුරුදු තුනේ ඉඳලා රැුකබලා ගත්තේ ඇස්දෙක වාගේ කියලා කිව්වා.


ඒවා අහල උණුවෙන හිතක් ලේලිට තිබුණේ නෑ. සමහර දවසට මම නිදාගත්තේ පාන් කෑල්ලක් කාලා. ලේ්ලි ගෙදර කෑම හදලා මට නොපෙනෙන්න භාජනවලට දාලා හැංගුවා. එහෙම කළේ මාව බඩගින්නේ තියන්න. කන්න ලැබුණ දවස්වලට වඩා බඩගින්නේ  ඉඳපු දවස් ගාන වැඩියි.


හුඟක් වෙලාවට මගේ බඩගින්න නිවා ගත්තේ කහට කෝප්පයකින්. එහෙම නැත්නම් පාන් කෑල්ලකින්. බඩගින්න ඉවසන්න බැරි දවසට මම හැතැප්ම ගානක් එහායින් ඉන්න මගේ අක්කව හොයාගෙන ඇවිදගෙන ගියා.


එහෙම ගිය දවසට සමහරදාට අක්කලත් කාලා ඉවරයි. ඒත් මගේ අක්කා මට පාන් හරි ගෙනත් දුන්නා.


ලේලි හුඟ වෙලාවට රඟපෑවා ගෙදර උයලා ඉව්වේ නෑ වගේ. මුල් කාලෙදි එයාගේ කතා මා විශ්වාස කළා. නමුත් දවසක් මම දැක්කා උයලා නෑ කියපු දවසක කුස්සියේ දුම යට වළං අස්සේ ව්‍යංජන තසිම් හංගලා තියෙනවා. 


දෙවියනේ කෙනකුගේ බඩගින්න ඉස්සරහා ගෑනියකුට මෙහෙම කරන්න පුළුවන්ද? දිගින් දිගටම මේ විදිහෙ වෙනස්කම් වුණත් මම හැමදේම පුතාට නොකියා ඉවසන් හිටියා. මොකද මම පුතාට කේලම් කිව්වා නම් එයාගේ පවුල් ජීවිතේ උනත් විනාස වෙන්න ඉඩ තිබුණා. මගේ වයස දැන් ඉවරයි නෝනා. මට හිතුණේ මගේ දරුවාගේ  දරුවන්ට ගින්දර දෙන්නේ මොකටද කියලා. මම මගේ පුතාට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. කාමරේට වෙලා වරු ගානක් අඬන මං පුතා ඉස්සරහා හිනාවෙලා ජීවත් වුණා. 


දවසක් මම හොඳටම අසනීප වුණා. සාමාන්‍යයෙන් මට මහන්සිය ඇදුම හැදෙනවා. මා බෙහෙත් ගන්න ගියා. ගිහිල්ලා එනකොට පුතා ගෙදර හිටියේ නෑ. කාමරේ තිබුණ මගේ ඇඳ ගලවලා දාලා තිබුණා. එතැන මේසේ හයිකරලා තිබුණා. රෙදි ටික බෑග්වලට දාලා එළියෙන් තියලා තිබුණා. එදා මම ඇහුවා ‘‘ඇයි ළමයෝ මෙහෙම කළේ කියලා’’ 


එතකොට කිව්වා ‘‘කතා  ඕන නෑ උඹ එළියට ගියේ නැත්නම් මම එළියට බහිනවා’’ කිව්වා. ඒ වෙලාවේ මං කිව්වා ‘‘පුතේ මගේ කොලූ පැටියාගෙන් ඈත් කරන්න එපා මාව. ඔයා දන්නවා නේද අපි දෙන්නා හිටපු හැටි. ඔයාගේ දරුවන්ගෙන් වෙන් වෙන්න බෑ නේද ඒ වගේ මං මගේ දරුවට ආදරෙයි’’ කිව්වා.
මට යන්න බෑ කියලා මම කිව්වා. එතකොට කුණුහරුප කියන්න පටන් ගත්තා. මම මගේ මහත්තයා නැති වුණාට පස්සේ තව කසාදයක් ගැන හිතුවේ නෑ. මට හිතුණේ මගේ දෙවැනි කසාදයක් කරගත්තොත් මගේ දරුවට වෙනසක් වෙයි කියලයි.මා කළ කිසිම කැපකිරීමක් වැඩක් වුණේ නෑ. පුතා හිටපු නැති ගෙදර මට කියන්න කෙනෙක් හිටියේ නෑ. ලේලි එළියට දාලා තිබුණ රෙදි පොට්ටනිත් අරගෙන මා එළියට බැස්සා. මගේ අම්මා තාත්තා දැන් ජීවතුන් අතර නෑ. සහෝදරියෝ සහෝදරයෝ මැරිලා. ඉන්නේ එකම අක්කයි. මං එයා ළඟට ගියා. ගිහින් මට වෙච්ච දේ කිව්වා. මගේ අක්කා දැන් වයසයි.  එයාටත් මාව බලා ගන්න බෑ. ඒ නිසා මම මේ වැඩිහිටි නිවහනට ආවා.


මෙතැන ඉන්න හැමෝම එක වගේම හොඳයි. බොහොම කරුණාවයි. අඩුපාඩුවක් නෑ. වෙලාවට බෙහෙත් ටික, වෙලාවට කෑම ටික අඩුනැතුව දැන් මට ලැබෙනවා. පුතා ලේලියි මායි අතර වුණ කිසිම දෙයක් දන්නේ නෑ. ඇයගේ දෑසට කඳුළු උනන්නේ එක සීරුවටය. පහදා කිව නොහැකි සිතුවිලි සිතට වද දුන්නා පමණයි. 


m