26_SLMA_P20_Back

 

 

ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් විවිධ කතාබහ එළි දැක්වෙමින් තිබේ. එහිදී මහ බැංකුවේ අධිපති ප්‍රධාන මාතෘකාවකි. මේ ඒ සම්බන්ධයෙන් විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

 

■ ප්‍රශ්නය :- දැන් රට යන අත ගැන ඔබ සතුටුද?
■ පිළිතුර :-
ඒ ප්‍රශ්නයට විවිධ එළැඹුම් තියෙනවා. එකක් තමයි මානව හිමිකම් හා නිදහස පිළිබඳ එළැඹුම. ඒ එළැඹුම බලාපොරොත්තු වූ තත්ත්වයටම ආවේ නැතත් මේ රටේ නිදහසින් පස්සේ ඉතිහාසය බලනකොට මේ රජයෙන් සාර්ථක ප්‍රවිශ්ඨයක් ඇතිවෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න පුළුවන්.

 


■ ප්‍රශ්නය :- මහින්ද යුගයේදී ඒවා තිබුණේ නෑ?
■ පිළිතුර :-
ඉන්න මම පැහැදිලි කරන්නම්කෝ. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය යටතේ එක පැත්තකින් සීමාවකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම අහෝසි වුණා. ඒ වගේම විධායක ජනාධිපතිධුරයේ තිබුණ අසීමිත බලතලත් අහෝසි වෙලා තියෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා තියෙනවා එතුමා ජනාධිපතිවරණයකට ආපසු එන්නේ නැහැ කියලා.

 


■ ප්‍රශ්නය :- ඔබ ඒ ප්‍රකාශ ඒ ආකාරයෙන්ම විශ්වාස කරනවද?
■ පිළිතුර :-
එතුමා ඒ බව පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් ඒ වගේ වඩාත් නිදහස් පරිසරයක් තියෙනවා. මහ ජනතාව, රජයේ සේවකයන් ශිෂ්‍ය ප්‍රජාව, වෙළඳ ප්‍රජාව ඒ හැම කොටසක් ගත්තාම ඉස්සරට වඩා මැදිහත් වෙන්න තමන්ගේ හඬ අවදි කරන්න අවස්ථාව සැලසිලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පහුගිය අවුරුදු එක හමාර තුළ පත්තරයක් බැලුවත්, රූපවාහිනියක් බැලුවත් හැම දෙනාගෙම අදහස් වඩාත් විවෘතව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා.

 


■ ප්‍රශ්නය :- මේ මතුවෙලා තියෙන්නේ හඬද? විරෝධයද?
■ පිළිතුර :-
ඔවුන්ට කතා කිරීමේ අවස්ථාවයි මේ මතුවෙලා තියෙන්නේ. මේක ප්‍රගතිශීලී තත්ත්වයක් කියලා ගන්න පුළුවන්. ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පනතක් එනවා. ඒ නිසා ඒ පැත්තෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සමාජීය පැත්තෙනුත් සැලකිය යුතු වර්ධනයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. රජයේ සේවකයන් සියලු දෙනාට රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් වුණා. ඒ වගේම සමෘද්ධිලාභීන්ට රුපියල් දෙදහකින් විතර වැඩිවීමක් වුණා. සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් දාහකින් දීමනාව වැඩි වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය තෙල්, භූමිතෙල්, ගෑස් වගේ දේවල්වල මිල අඩුවුණා.

 


■ ප්‍රශ්නය :- ආණ්ඩුව ඔය මොනවා කිව්වත් ජනතාව නම් කියන්නේ ජීවත්වෙන්න අමාරුයි කියලයි?
■ පිළිතුර :-
ඔව්. පවුල කියන සාධකය ගත්තොත් ඔවුන්ගේ ආර්ථිකය ඉස්සරට වඩා දියුණුවෙලා කියලා කියන්න අමාරුයි. විශේෂයෙන්ම ඔවුන් බලන්නේ ප්‍රධාන කාරණා දෙකක් දිහායි. එකක් තමයි ජීවන වියදම. අනික තමයි රැකියා. ඇත්ත වශයෙන් වෙන වෙන වීර වික්‍රමයන් කළත් රජයක සාර්ථකත්වය ජනතාව දකින්නේ ඔය මාතෘකා දෙක යටතෙයි මොකද ඒ දෙක කෙටි කාලීන අවශ්‍යතා අනෙක් ඒවා දීර්ඝ කාලීන අවශ්‍යතා මානව නිදහස, සමාජ සාධාරණත්වය, දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය ඒවා ඔක්කොම අත්‍යවශ්‍ය දේවල්. සාර්ථක රජයක් මේ දෙකම හරි විදියට කළමනාකරණය කළ යුතුයි.

 


■ ප්‍රශ්නය :- ඔබ කියන්නේ ඒ අනුව මේ ආණ්ඩුව අසාර්ථකද? 
■ පිළිතුර :-
නෑ. මේ රජය දිගු කාලීන ආර්ථික වර්ධනයකට යන අතරම එදිනෙදා ඔය මම කියපු කාරණාවලටත් අවධානය යොමු කරලා තියෙනවා. නමුත් ලෝකයේ කිසිම රටකට මේ දෙකම ස්වතන්ත්‍රව කරන්න බෑ. මේකට දේශීය හා බාහිර බලපෑම් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ලෝකය විශාල ආර්ථික අර්බුදයකින් ක්‍රම ක්‍රමයෙන් ගොඩ එන තත්ත්වයක් තියෙන්නේ. ඒ ආර්ථික අර්බුදයේ විශේෂ ලක්ෂණයක් තමයි රැකියා විරහිත බව ඇමරිකාවේ ඔබාමා බලයට ආවේ කොහොමද? අපි කවුරුවත් හිතුවේ නෑ. අපේ ජීවිත කාලය තුළ ඔබාමා වගේ කළු මිනිහෙක් ජනාධිපති වෙයි කියලා. ඒ රටේ ව්‍යූහය තුළ ඒක ආකර්ෂනීය තත්ත්වයක්. ඒක ආවේ විශාල ආර්ථික බිඳ වැටීමක් තුළ දැන් අද වුණත් ඇමෙරිකාවේ ලොකු විපර්යාසයක්. අර සාම්ප්‍රදායික විදියට ඡන්දය දෙන්නේ නැහැ. සාම්ප්‍රදායික විදියට නායකයන් තෝරා ගන්නේ නැහැ. මේකට කියන්නේ ආර්ථික හා දේශපාලනික සුළි සුළඟ කියලයි. මේ සුළි සුළඟ ලෝකය පුරා හමාගෙන යනවා. ඒක අපේ රට තුළත් කළමනාකරණය කරන්න වෙන්නේ ඒ පරිසරය තුළයි. නමුත් මම කියන්නේ නැහැ ඒ මතම රැඳෙන්න පුළුවන් කියලා. ඒ පරිසරය තුළ වුණත් දේශීය වශයෙන් යම් යම් තීන්දු තීරණ ගන්න පුළුවන්. දැන් ඕනෑම කෙනෙක් ඕනෑම රටක ඕනෑම ආර්ථිකයක ප්‍රධාන අරමුණ තමයි අය හා වැය තුළ යම් ආකාරයක සමතුලිත බවක් ඇති කිරීම. ඒකෙන් කියැවෙන්නේ නැහැ සීයට සීයක්ම එහෙම යන්න ඕනෑ කියලා. ලෝකයේ කිසිම රටක් සවුදි අරාබිය වගේ රටක ඇරෙන්න ආදායම හා වියදම එකම මට්ටමකට එන්නේ නැහැ. නමුත් පරතරය වැඩිවෙන්න වැඩිවෙන්න ආයෝජකයෝ හිතන්නේ මේක අස්ථාවර රටක් කියලා ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් ලෝකයේ කිසිම රටක සර්ව සම්පූර්ණ ආර්ථිකයක් නැහැ.

 


■ ප්‍රශ්නය :- ඔබ මේ කියන්න යන්නේ ඉතින් ලංකාවෙත් එහෙම තමයි කියලද?
■ පිළිතුර :-
නෑ. ඔය සමහරු කිව්වේ ඔය පැරණි නායකයෝ කිව්වේ තේ පැළ ගලවලා මඤ්ඤොක්කා හිටවලා. අමුඩ පිටින් නගරවලට ඇවිල්ලා සුළු චේතනයකට සියලු දෙනාටම රැකියා දීලා. ඔය ආර්ථික ක්‍රමය කවුරුවත් දැන් පිළිගන්නේ නැහැ. මීට අවුරුදු තිහකට පමණ පෙර ඒ විදියේ මොඩලයක් තිබුණා. දැන් ඒක විහිළුවක් වෙලා. නමුත් අපි කරන්න ඕනෑ අය වැය අතර යම් සමතුලිත බවක් ඇති කිරීමයි.

 


■ ප්‍රශ්නය :- දැන් ආණ්ඩුව ඒකට කරන්න යන්නේ මොකක්ද?
■ පිළිතුර :-
ඒකට කරන්න ඕනෑ ප්‍රධානම දේ තමයි විදේශ ආයෝජන ගෙනල්ලා නැත්නම් ණය අරගෙන අපේ අපනයනය වර්ධනය කරන්න ඕනෑ. ඒක කරන්න ඕනෑ ඉතාම තරගකාරී පදනමක. අලුත්ම වාර්තාවලට අනුව අපේ තේ වෙළෙඳපොළ පාඩුයි. රබර් පාඩුයි. පොල් පාඩුයි. විදේශ රැකියාවලින් එන ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා. දියුණුවෙලා තියෙන්නේ දෙකයි. ඉහළින්ම ප්‍රවර්ධනය වෙලා තියෙනවා සංචාරක කර්මාන්තය අනික් එක තමයි තොරතුරු තාක්ෂණය. ඒ දෙකෙන් අපි ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒ විදියට අපි මේ ආර්ථිකය සකස් කරගන්න ඕනෑ. අපේ ප්‍රධානම  ඉලක්කය වෙන්න ඕනෑ කාරණා දෙකක්. එකක් ආයෝජන ගෙන ඒම. දෙවැනි එක තමයි දැන් විශේෂයෙන් මුදල් වැය කරන දේවල්. පුනරාවර්තන වියදම් පුළුවන්තරම් සීමා කරන්න ඕනෑ. අපි ඇත්ත වශයෙන්ම අර ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා කිව්ව වගේ -රා බොන සමාජයකට ෂෑම්පේන් දීලා” තියෙනවා. ඒ විදියට හැමදාම යන්න බෑ. ආර්ථිකය අපේ ඒ ක්‍රමයට ඔරොත්තු දෙන්නේ නැහැ.

 


■ ප්‍රශ්නය :- සහන කප්පාදු කිරීමද ඔබ යෝජනා කරන්නේ?
■ පිළිතුර :-
ඒක කරන්න බෑනේ. අවුරුදු පහෙන් පහට මැතිවරණ තියෙන රටක එකපාරට ඒ ව්‍යූහය වෙනස් කරන්න බෑ. එහෙමනම්  පරිපාලන වියදම් අඩුකරලා කාර්යක්ෂම කරන්න ඕනෑ. එතකොට අපේ ඉලක්ක ගත්තොත් අපනයනය දියුණු කිරීම, අපේ සම්පත් ඉහළම මට්ටමට ගැනීම, පුනරාවර්තන වියදම් දැඩිලෙස සීමා කිරීම. ඔය අතරතුර  දුප්පත් අයට දෙන සහන රැකගත යුතුයි. ඒ අරමුණු වෙනුවෙන් තමයි අපි රජයක් විදියට වැඩ කරන්නේ.

 


■ ප්‍රශ්නය :- ඔබ එහෙම කිව්වත් ඒකට වැඩපිළිවෙළක් රජයට  තියෙනවද බදු ගහනවා මිසක් වෙන වැඩපිළිවෙළක් මේ රජයට නෑ?
■ පිළිතුර :-
එහෙම කියන්න බැහැ. ඔය විවේචනය කරන එක අපි දන්නවා. විවේචනය කරන්නේ පහුගිය නොවැම්බර් මාසයෙ ඉදිරිපත් කරපු අයවැය නොවෙයි. අද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව් ඒක සංශෝධනයවෙලා තියෙනවා හැම අතින්ම දීපු සහන ඇරෙන්න. රජය කොහොමද මුදල් ලබා ගන්නේ කියන අංශයෙන් ව්‍යාකූලතාවක් තියෙනවා. අපිට විදේශ ආයෝජන ඉතාම අඩු තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. අපිට විතරක් නොවෙයි මහින්ද රාජපක්ෂ යුගයේදීත් ඒ තත්ත්වය තිබුණා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ නිසා තමයි මහින්ද රජයට වුණේ ණය ගන්න. මොකද යටිතල පහසුකම් නැතිව ආයෝජන ගන්නත් බෑ. ආයෝජන නැතිව යටිතල පහසුකම් හදන්නත් බෑ. මේක නිකම් දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. යුද්ධයක් අවසන්වෙලා තිබියදීත් මහින්ද යුගයේදී ආයෝජන ආවේ නෑ. එතකොට රජයකට වෙනවා එක්කෝ බකන් නිලාගෙන ඉන්න. එහෙම නැත්නම් ණයගන්න. මම ඒකට විරුද්ධ නෑ.

 


■ ප්‍රශ්නය :- මේ ආණ්ඩුව කියන්නේ මහින්ද රාජපක්ෂ රජය ණය අරගෙන මේ රට ණය උගුලක හිරකරලා කියලයි. ඒත් ඔබ කියන්නේ වෙනත් කතාවක්?
■ පිළිතුර :-
රටක් ණය ගන්නවට මම විරුද්ධ නෑ. සීමාව තුළ අපි ණය ගන්න ඕනෑ යුද්ධයක් තියෙන රටකට කවුරුවත් ආයෝජනය කරන්නේ නෑ. ඒ නිසා රජයට සිද්ධවුණා ණය ගන්න. යුද්ධයක් තියෙන නිසා වැඩි පොලියට ගන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා පක්ෂයක් හැටියට අපිට ඒක විවේචනය කරන්න බැහැ. ඒක ක්‍රියාත්මක කිරීමේදී ඇති දූෂණ කොමිස් ඒවා වෙනම කතාවක්. නමුත් අසීමාන්තිකව ණය ගත්තාට පස්සෙ එන අයට තමයි ඒවා ගෙවන්න වෙන්නේ. ඒකයි තත්ත්වය. ඔබ කොහොම කිව්වත් ලෝකයේ අඩුම බදු ගෙවන රට තමයි අපේ රට. ඒ මදිවට බදු දැලට හසුවෙන අයත් බොහොම ටිකයි. ඒ නිසා තමයි වක්‍ර බදු දාන්න වෙන්නේ. පාර්ලිමේන්තුවේ එක එක ඒවා කියන්න පුළුවන්. නමුත් යථාර්ථය ඕකයි. පාර්ලිමේන්තුවේදීත් මම කිව්වා.

පොතෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන ආවට ඒවා යල් පැනපු පොත් ඒ පොත්වලින් සැබෑ ලෝකයට මුහුණ දෙන්න බෑ. අද කවුද ඔය විරුද්ධ පක්ෂයේ. ඒ විතරක් නොවෙයි. ආණ්ඩු පක්ෂයෙ ඉන්න අයගෙනුත් නවතම ආර්ථික ප්‍රවණතා ගැන දන්නේ කවුද? මේක කැතයි. ඒත් මම කියන්න ඕනෑ. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැතිව අද නූතන ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන්ද? මේ ප්‍රවණතා දවසෙන් දවස වෙනස් වෙනවා. ලෝකයේම ආර්ථිකය කඩා වැටෙනවා කියලා මුලින්ම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒක කිව්වේ ඉන්දියාවේ හිටපු මහ බැංකු අධිපති රසුරාජි, අවුරුද්දක් තුළ ඒක වුණා. අද ආර්ථිකය කියන්නේ ටියුෂන් පන්තියක දෙන දෙයක් නොවෙයි. විශ්වවිද්‍යාලක උගන්වන ආර්ථික විද්‍යාව නොවෙයි ඇත්ත ආර්ථික විද්‍යාව ඒ දැනුමක් අවශ්‍යයි. නමුත් ඊට වැඩිය ජාත්‍යන්තරව හා කාලීන ආර්ථික ප්‍රවණතා හා වර්ධනයක් දැකගන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැටේ දශකයේ පොත් ගෙනල්ලා කියෙව්වට වැඩක්  නැහැ.

 


■ ප්‍රශ්නය :- තත්ත්වය ඕකනම් ඇමැතිවරුන්ට සැප වාහන ගන්න කෝටි 118 ක් වෙන් කරන්නේ ඇයි? කැපකිරීම් කළ යුත්තේ ජනතාව විතරක්ද?
■ පිළිතුර :-
ඕක අහපු එක හොඳයි. ඕක සම්පූර්ණ මිථ්‍යාවක්. මේ වාහන දීලා තියෙන්නේ ඒ ඒ අමාත්‍යාංශවලට. මං දන්නෑ ඇයි ඇමැතිවරුන්ගේ නම් දැම්මේ කියලා. දැන් බලන්න මම. මම යන්නේ ලේකම්තුමාගේ වාහනයක. අලුතෙන් හදපු කිසිම අමාත්‍යාංශයකටවත් නිල වශයෙන් වාහන දීලා නැහැ. මටනම්  තියෙන්නේ එක වාහනයයි. මාව හෙට ගෙදර යැව්වොත් නැත්නම් වෙන අමාත්‍යාංශයකට ගියොත් මට ඒ වාහනය අරගෙන යන්න බෑ. මගේ අනුප්‍රාප්තිකයා ඒක පාවිච්චි කරයි. පත්තරවල මේක දැම්මේ ඇමැතිවරු ගෙදර අරගෙන යන වාහන කියලයි.

 


■ ප්‍රශ්නය :- කෝටි 8 ක් 9 ක් වටිනා වාහන මොකටද කියලයි මිනිස්සු අහන්නේ?
■ පිළිතුර :-
මිනිස්සු වාහනවල මිල දන්නේ නැහැ. අපට මුදල් වගයක් සඳහන් කරලා ලැයිස්තුවක් එවලා තිබුණා. ඒකෙන් අපි එකක් තෝරා ගත්තා. ඒක අපිට තවම දීලත් නෑ. වාහනයෙ බද්ද ඔය තියෙන්නේ. ඒ බදු මුදල් යන්නේ ආණ්ඩුවට. ඔය විපක්ෂයේ මන්ත්‍රීවරු වාහන ගන්නේ නැද්ද? මීට අමතරව ව්‍යාපෘතියක් තියෙනවා මන්ත්‍රීවරු හැටියට සහන ක්‍රමයකට බදු රහිතව වාහන දෙන්න. ඒක ඔය ඔක්කොමලා අරන් තියෙන්නේ. මට කියන්න එක්කෙනෙක් ඒ වාහනය ගත්තේ නැති. හැම පක්ෂයකම හැම මන්ත්‍රීවරයෙක්ම ඒ වාහනය ගත්තා.

 


■ ප්‍රශ්නය :- මහ බැංකු අධිපති ඉවත් කරන්න කියලා ඔබේ පක්ෂය ඉල්ලනවා. ඔබලාගේ  චෝදනාව ඔහු දුෂිතයෙක් කියලයි?
■ පිළිතුර :-
ඒකට දැන් උපාය මාර්ගයක් හොයාගෙන තියෙනවනේ. අප අනුමාන කරන විදියට. තවම මේක නිල වශයෙන් දීලා නැහැ. මෙතැන දැන් අස් කිරීමක් නැහැ. මෙයාගේ ධුර කාලය ඉවරයි.

 


■ ප්‍රශ්නය :- ඔබේ පක්ෂය ඇයි ඔහුට විරුද්ධ වෙන්නෙ?
■ පිළිතුර :-
පක්ෂයක් හැටියට අපේ අදහස මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා. යම් සැකයක් තියෙනවා. ඒ පරීක්ෂණයෙ අවසන් නිගමනය එනකම් ඔහු ඒ තනතුර හොබවන එක සුදුසු නැහැ. කියන එකයි අපේ මතය.

 


■ ප්‍රශ්නය :- කෝප් කමිටුවේ පරීක්ෂණය නිමවනතුරු වෙනත් කෙනෙක් පත් කරන්නෙත් නැහැ කියලා පුවත් පළවුණා.
■ පිළිතුර :-
කෝප් එක කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන කමිටුවක්. ඒකට සාමාන්‍යයෙන්  වැඩි බරක් තියෙන්නේ විපක්ෂයට. දැන් සභාපති සුනිල් හඳුන්නෙත්ති. කවුරුත් පිළිගන්නවා ඔහු හොඳ කෙනෙක් කියලා. එතැනින් කෙරෙන පරීක්ෂණයෙන් පස්සේ ඔහු නිදහස් වුණොත් ඔහුට ඒ චෝදනාව එල්ල වෙන්නේ නෑ. අපි බලමු අවසන් තීන්දුව මොකක්ද කියලා.

 


■ ප්‍රශ්නය :- ඔබේ පක්ෂය මුදල් ඇමැතිට පක්ෂයි. මහ බැංකු අධිපතිට විරුද්ධයි. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?
■ පිළිතුර :-
සම්පූර්ණ වැරදියිනේ. ඔය ප්‍රශ්නය වැරදියිනේ. මහ බැංකුව කියන්නේ ස්වතන්ත්‍ර ආයතනයක්. අවාසනාවට ලංකාවේ ඒ ස්වතන්ත්‍ර ආයතනයත් හැදිලා ඇවිල්ලා තියෙනවා දේශපාලනයට. නමුත් නෛතිකව එහෙම නෑ. රජය ඒකට සම්බන්ධ වෙන්නේ එකම විදියටයි. මොනචරින් බෝඞ් එක්ක තියෙනවා. ඒ අධීක්ෂණ මණ්ඩලයට පස් දෙනෙක් ඉන්නවා. ඒක පත් කරන්නේ රජයෙන්. භාණ්ඩාගාරයේ ලේකම් ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක්. ඒ අයට රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන්නත් පුළුවන්. අපේ රටේ මුදල් ප්‍රමාණය එක්තරා විදියකින් සීමාවෙන් පස්සට බැස්සොත් මහ බැංකුවේ අධිපතිට ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා මුදල් අමාත්‍යවරයාට අවවාදාත්මක ලිපියක් යවන්න. ඒ නිසා මේ දෙක එකක් නොවෙයි. එකක් කරන්න ගියොත් ඒකත් ලොකු වැරැද්දක්. ටියුෂන් පන්තියේ උගන්වන ආර්ථික විද්‍යාවෙන් රටේ ආර්ථිකය මනින්න බෑ. අපේ මහ බැංකුවේ පී.එච්.ඩී. කාරයෝ හතළිස් ගාණක් ඉන්නවා. අපේ තියෙනවා. -රිසර්ච් ඩිවිෂන්” හැම ක්ෂේත්‍රයක් ගැනම ඒ අය පර්යේෂණ කරනවා. මන් දන්නෑ කරනවාද කියලා. නමුත් කළ යුතුයි.

මගේ මුල් පත්වීම මොකක්ද දන්නවද? මම ඒක ගත්තේ නෑ. මහ බැංකුවේ රිසර්ච් ඩිවිෂන් එකට. විශ්වවිද්‍යාලයෙන් ආපු ගමන්. ඒ කාලේ හිටියේ ගාමිණී කොරයා, එයා මට එන්න කිව්වා. මම සිවිල් සේවයට ගිය නිසා මම ඒක බාරගත්තේ නෑ. මම ගියානම් සමහරක්විට මම මහ බැංකු අධිපති වෙන්නත් තිබුණා. කවුද දන්නේ. හැබෑද ගියානම් මම මේ වගේ ගෝරි දාගන්නේ නෑ. මම මේ කිව්වේ ආණ්ඩුවයි මහ බැංකුවයි වෙනස්. මේ දෙක මචං ලෙවල් එකට යන්න හොඳම නෑ. එකක් කියන්න ඕනෑ. පී.බී. ජයසුන්දර මහත්තයගෙ කාලෙ මුදල් අමාත්‍යාංශය වෙනම වැඩ කළා. මම මුදල් ඇමැති. මහින්ද මුදල් ඇමැති වුණාම මම නියෝජ්‍ය මුදල් ඇමැති. කොහොම වුණත් හැම වෙලේම ඒ පරතරය තියාගත්තා. මගේ අදහස හැටියට ලංකාවේ ඉතාම හොඳ නිලධාරියෙක් තමයි පී.බී. ජයසුන්දර. ඕන කෙනෙක් ඕනෑ දෙයක් කියපුදෙන්. කවුරු තරහ වුණත් මට කමක් නෑ. ලංකාවේ අර්ථ ශාස්ත්‍රය ගැන හොඳම දැනුමක් තියෙන උපරිම හොඳ අවංක නිලධාරියෙක්. ඊට වඩා මට කියන්න දෙයක් නැහැ. මම එයත් එක්ක අවුරුදු දහයක් වැඩ කරපු නිසා මම දන්නවා.

 


■ ප්‍රශ්නය :- ඉතින් ඔබට පුළුවන්නේ පී.බී. ජයසුන්දර මේ ආණ්ඩුවට සම්බන්ධ කරගන්න?
■ පිළිතුර :-
මට කරන්න බෑනේ. මම දැන් මුදල් ක්ෂේත්‍රයේ නැහැනේ. මම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මම ගන්නවා. ඔහු අතිදක්ෂයෙක්. ඔහු මහ බැංකුවේ සේවකයෙක්. එතැනින් තමයි භාණ්ඩාගාරයට ආවේ.

 


■ ප්‍රශ්නය :- ආණ්ඩුවට එරෙහි අප ඉලක්ක කරලා කරන දඩයම් මෙහෙයුම වේගවත් කරලා බවයි දැන් පේන්න තියෙන්නේ?
■ පිළිතුර :-
දීර්ඝ කාලයක් තිස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල එනව. පරීක්ෂණ පටන් ගත්ත දවසෙම ගන්න බැහැනේ. දැන් ඉතින් පරීක්ෂණවල තව ප්‍රතිඵල එයි. මගේ මතය නම් කල්යනවා වැඩියි කියල.

 


■ ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ ශ්‍රිලනිපයේ දෙවැනි පෙළ නායකත්වයට ගෙන ආ යුතුයි කියලා ඇමැති ජෝන් සෙනෙවිරත්න කිව්වා. ඔබ ඉන්නෙත් ඒ මතයෙමද?
■ පිළිතුර :-
නෑ. ඒකේ තත්ත්වය මෙන්න මේකයි. අපේ නායකත්වය ව්‍යූහය වෙනස් කිරීමේදී එක එක්කෙනාගේ මොන මත තිබුණත් අවසානයේදී ඒක මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් වෙන්න ඕන. ඇත්ත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාම දක්ෂ කෙනෙක් හැටියට මම පිළිගන්නවා. මම අවංකවම පිළිගන්නවා එතුමාගෙ හුඟාක් දේවල් ගැන මගේ ප්‍රසාදයක් තියෙනවා. නමුත් දෙන තනතුරු ගැන අපේ පෞද්ගලික මතය ඉස්මතු කරන්න බෑනේ. පක්ෂයක් වුණාම උපක්‍රම සැලසුම් හදන්න ඕනෑ. ඒක පක්ෂයෙ වැඩක්. පුද්ගලයන්ගේ අදහස් ඉස්මතු කරන්න බෑ.

 


■ ප්‍රශ්නය :- ඔබ හිතන විදියට මහින්ද, මෛත්‍රී සමගි කළ හැකි වෙයිද?
■ පිළිතුර :-
දැන් තියෙන හැටියට කරන්න අමාරුයිනේ. දැන් අලුත්ම තත්ත්වය තමයි මහින්ද කියල තියෙනවා එයා අගමැති අපේක්ෂකයා හැටියට එනවා කියලා. ඒක තහවුරු වෙලාද නැද්ද දන්නේ නෑ. මාධ්‍යයෙන් මමත් දැක්කේ. ඒ ප්‍රකාශයෙන් යම්කිසි මතයක් ඉදිරිපත් කෙරෙනවානේ. එයා දේශපාලන ක්ෂේත්‍රයෙ දිගටම ඉන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ඒක උපක්‍රමික දෙයක්ද? ඇත්ත එකක්ද කියලා මම දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නෑ. ඒක එතුමා විතරයි දන්නේ. එතකොට අපේ පක්ෂය ඒක පිළිගන්නේ නෑ. ජනාධිපතිතුමා අපේ නායකයා. එතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. රාජපක්ෂවරුන් සමඟ කිසිම සම්බන්ධයක් වෙන්නේ නෑ.” කියලා ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රකාශිත මතය. ඉතින් පක්ෂයෙ මතයත් ඒක තමයි.

 


■ ප්‍රශ්නය :- බැසිල්  රාජපක්ෂ අලුත් පක්ෂයක් හදනවා කියලා තියෙනවා?
■ පිළිතුර :-
ඒක ගැන ඒක හැදුවාම කතා කරමුකෝ.

m