ඇය ලලිතා පද්මිණීය. තම පා පැදියේ නැගී හමුදා මාර්ග බාධක ළඟ නතර වී තමාගේ අනන්‍යතාවය තහවුරු කර කොටි කටේ ගම්මානවල ඈ ඇවිද ගියාය. යුග දිවියට පිවිසි අලූතින් කැදලි හැදු බොහෝ පිිරිස් ඈට ඉලක්ක වූවාය. එලෙසම කිරි සුවඳ පැතිරියා වූ සෑම නිවසක් ළඟම ඇය නතර වූවාය. ඇගේ උපදෙස් මේ හැම කෙනකුටම නොඅඩුව ලැබුණු අතර ඒ සියල්ල හැම මවකටම බොහෝ සෙයින් උපකාර විය.
 

ලලිතා පද්මිණි තමා ලද සම්මානයක්ද සමගින්
 
 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් උතුරු මැද පළාතේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් තේරී ඉදිරියටම ආ ලලිතා, 2000-2006 එන්නත් ලබාදීම පිළිබඳව දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නිය ලෙසද පත් වූවාය. දරුවකුට එන්නතක් ලබා දීමේදී දරුවා හඬන විට ලලිතා පද්මිණී ඒ දරුවාට මවක වූවාය. මවට දරුවා සනසවා ගන්නට නොහැකි වූ විට ලලිතා පද්මිණී නම් වූ පවුල් සෞඛ්‍ය සේවා මිතුරිය දරුවා මවගෙන් තම දෝතට ගෙන නළවා සනසවාගන්නට තරම් නිහතමානී වූවාය. දරුවාට එන්නත ලබා දී ‘‘මැණික’’ ඔයාට බුදු සරණයි කීවෙ ඇගේ වූ උත්තම මනුසත්කම නිසාවෙනි.

2010 වසරේ ඔක්තෝබර් මස 4 සහ 6 වැනි දින දක්වා ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවති ආසියානු ශාන්තිකර කලාපයේ රටවල හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව තේරීම තරගයේදී ලංකාවෙන් ඉදිරිපත් වූ පී.ඞී. ලලිතා පද්මිණි මහත්මිය ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට පත් වූයේ මේ සියල්ල සත්‍යයක් බවට පත් කරමිනි.

ඇය ලංකාවට කීර්තියක් ගෙන දුන්නාය. ලංකාවේ සෞඛ්‍ය සේවයට අභිමානයක් ඈ එක් කළාය. ලලිතාට දසතින් සුබ පැතුම් ගලා ආ අතර ඇය ගැන බොහෝ දෙනෙක් කථා කළහ.

මේ අතර 2011 වසරේ ජනවාරි 29 දා ඈ ලෝකයේම ඇස ලංකාව දෙසට හරවන්නට සමත් වූ කන්තාවක් වූවාය. ඒ ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරිනියක ලෙස තේරී පත් වීමත් සමගිනි. ලෝක සෞඛ්‍ය කාර්ය බළකා සන්ධානය 2011 වසරේ පැවැත්වූ ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරින් තේරීමේ තරගයෙන් ලංකාවෙන් ඉදිරිපත් වූ ලලිතා පද්මිණීත් මියන්මාරයෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සේවිකාවකුත්, තායිලන්තය හා මාලි රටෙන් ඉදිරිපත් වූ වෛද්‍යවරු දෙදෙනකුත් ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරින් හතර දෙනා ලෙස තායිලන්තයේ බැංකොක් නුවරදී තේරී පත්වූහ. මේ තරගයට ලෝකයේ රටවල් 104ක සෞඛ්‍ය නිලධාරින් 1100ක් ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ ලලිතා පද්මිණී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තේරී පත්වීම අති විශාල ජයග‍්‍රහණයකි.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල නගරයේ කුඩා කඩ කාමරයක සිය සැමියාත් දරු තිදෙනාත් සමග දිවි ගෙවූ ලලිතා පද්මිණී මහත්මිය ලංකාවට ගෙන දුන්නේ ඉමහත් කීර්තියකි. ලංකාවෙ 13000 (දහතුන් දාහක්) පමණ වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් අතරින් ඈ ඉතා දක්‍ෂ මෙන්ම අවංකවම සිය රාජකාරිය ඉටුකර ඇති බවට ඈ ලෝකය හමුවේ හෙළිදරව් කළාය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අනෙකුත් රටවල් හමුවේ ඉහළින්ම පවතින බව ඈ ලොව හමුවේ කීවාය. රටට මානව හිමිකම් චෝදනා එල්ල වෙද්දී ඈ ලෝකය හමුවේ කීවේ ජාති ආගම් කුල මල බේද නොමැතිව උතුම් සත්කාරයක් ලෙස ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ කටයුතු හොඳින් සිදුවන බවය. ඇය ලංකාව ඉහළින්ම ඔසවා තබන්නට කටයුතු කළාය. මේ නිසාම රටේ රාජ්‍ය නායකයා මෙන්ම මැති ඇමතිවරුන්, විශේෂයෙන්ම තම දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය සේවිකාවක් රටට ගෙන දුන් කීර්තිය හමුවේ සෞඛ්‍ය ඇමති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඈට අවංකවම සුබ පැතූ බව ඈ කීවාය.

කුඩා කඩ කාමරයක දිවි ගෙවමින් රාජකාරිය උතුම් ලෙස සලකා ජාත්‍යන්තර සම්මානයකටද පාත‍්‍ර වූ ලලිතා පද්මිණී ගැන අප රටේ මාධ්‍යයද ඉහළ ප‍්‍රචාරයක් ලබා දුන්නේය. ඇයට හිමි තැන ලබා දෙන්නට මාධ්‍යය එලෙස කටයුතු කළේය. මේ සියල්ලද සමගින් ලලිතා පද්මිණීට නව නිවසක් තනා දෙන්නට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා ‘‘ජනසෙවන කැපකරු’’ නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්‍ෂ 15ක මුදලක් ලබා දුන් අතර දැඩි අධිෂ්ඨාන ශක්තියකින් හෙබි ලලිතා පද්මිණී නම් වූ දිරිය කාන්තාවගේද උපරිම ශක්තිය යොදවා ඇය නව දෙමහල් නිවසක් ඉදිකර පසුගියදා එහි පදිංචියට ගියාය.

එහිදී ඈ ඉරිදා ලංකාදීප හමුවේ පැවසුවේ තමන් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වුවද රාජකාරී කටයුතු හමුවේ කලකිරීමකින් සිටින බවකි. ඇය මෙලෙස කීවාය.

ලංකාවට ලොකු ගෞරවයක් ගෙනාව කියලා නිහතමානීව මා ඇත්තටම සතුටු වෙනවා. ජාත්‍යන්තර සම්මාන දෙකක් ගෙනැල්ලා මා අද රාජකාරී කරද්දී අසීරුතාවකට පත්වෙලා ඉන්නෙ. 1998 ජුලි 07 දා මට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක ලෙස පත්වීම ලැබුණ දවසෙ ඉඳලම මා වැඩ කළේ දිඹුලාගල සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ මැදගම පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසයේ. මේ කොටසේ ගම්මාන ආශ‍්‍රිතව කොටි තර්ජන බහුලව තිබුණ. ඒත් මම මගේ රාජකාරිය අතපසු කරල නෑ. අම්මලා අහනවා මිස් එන්න බය නැද්ද අහවල් තැන කොටි කපල කියලා... මට ඒත් බයක් දැනුනෙ නෑ... මම ඒ අම්මලාට, දරුවන්ට මගෙ සේවය ලබා දුන්නා.

එයාලගෙ ආශිර්වාදය ඇත්තටම මට ලැබුණා. මා ක්‍ෂේත‍්‍රයේ යනකොට මම මගෙ කිරි දීලා දරුවො නළවගත්තා. මගෙ දරුවා පුංචි කාලෙ එක අම්මා කෙනෙක්ගෙ දරුවෙක් හොඳටම අඩනවා. මම ක්‍ෂේත‍්‍රයෙ යනකොට ඒ දරුවගෙ අම්මා ගුරුවරියක්. එයා වැඩට ගිහින් අත්තම්මා ළග පුංචි එකා දාලා... අත්තම්ම ළඟ පුංචි එකා හොඳටම අඩනවා බඩගිනි වෙලා.. මම මගෙ ගමන නතර කරලා ඒ අත්තම්මගෙන් අහලා මා මගෙ කිරි ටික ඒ දරුවාට පොවලා නිදි කරවලා ආවේ.

අද ඒ දරුවො පාරේ මුණ ගැහුනාමත් මට දණ ගහලා වදිනවා. මට සතුටක් වගේම වේදනාවක් දැනෙන්නේ.. මෙයාල මගෙන් අහන්නෙ අනේ මිස් ඔයා ඔච්චර ලොකු ගෞරවයක් රටට ගෙනත් දීලත් තවම උසස් වීමක් ලැබුණේ නැද්ද කියලා.... මම ක්‍ෂේත‍්‍රයෙ ඇවිදිනකොට හැමෝම මගෙ ළඟට ඇවිත් අහන්නෙ එහෙම’’

මට දැන් මේක මානසික වදයක් වෙලා. මට මුලදී මෙහෙම දැනුනෙ නෑ. මා හරිම ආශාවෙන් මේ රාජකාරිය කළේ. ඇත්තටම මට දිරිගැන්වීමක් ලැබුණේ නෑ. රටට ලොකු ගෞරවයක් ගෙනාවාට හැමෝම ඇගයීමකට ලක් වෙනවා. උසස් වීමක් ලැබෙන්නෙ නෑ. අපේ ආයතනය පැත්තෙන් මගෙත් එක්ක වැඩ කරන අනෙක් අයත් අද මේකම අහනවා. ලලිතා මිස් ඔයා වැස්සෙත් තෙම තෙමී වැඩියෙන් වැඩ කරලා ජාත්‍යන්තර සම්මාන පවා ලබලා ඔයාට මොනවද ලැබුණේ අහනවා.. අපි ගන්න පඩියම තවම ඔයත් ගන්නෙ. අපට තිබෙන වරප‍්‍රසාද විතරමයි ඔයාට තිබෙන්නෙ කියලා එයාල කියනවා.’’

මේක මට විතරක් නෙමේ මේ ක්‍ෂේත‍්‍රයේ අනෙක් අයටත් මේ දේ බලපානවා. ඔවුන් උනත් දිරිමත් වෙන්නෙ නෑ. මම එදා වගේම අදටත් ක්‍ෂේත‍්‍රයේ තවමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් ලෙස වැඩ කරනවා. එක අඩියක් ඉස්සරහට ගියෙ නෑ.’’

සුදුසුකම් සපුරලා තිබෙන නිසා පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක ලෙස පුහුණුව ලබා දෙන්න කියලා මම ඉල්ලීම් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගෙන් ඉල්ලීම් කළා. සෞඛ්‍ය ඇමතිතුමාගෙන් මේ පිළිබඳව ඉල්ලීමක් කළා. ඔවුන් ඒවා අනුමත කරලා මාව පරිපාලන සෞඛ්‍ය සේවා නිලධාරි පුහුණුවට බඳවා ගන්න කියලා පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය දැනුවත් කළා. ඒත් මාව පුහුණුවට බඳවා ගත්තෙ නෑ...

සෞඛ්‍ය ඇමතිතුමාට මම නිතර ගිහින් කරදර කළේ නෑ... එතුමා හිතාගෙන හිටියෙ මා පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි පුහුණුවේ ඉන්නෙ කියලා.. එතුමාට මා මෑතකදි කිව්වා මාව පුහුණුවට අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් නිදහස් කරලා නෑ කියලා. ඇමතිතුමා මේ ගැන කනගාටු වුණා. එතුමා නිලධාරින්ට මේ සම්බන්ධව උපදෙස් ලබා දීලා තිබුණෙ. කාගෙ හරි මොන සංගම්වලින් හරි මට කැපිල්ලක් තිබෙනවා. ඒ නිසයි මට මගෙ සුදුසුකම්වලට නිසි තැන නොලැබුණේ. මේ සිදුවීම්වලින් මා කලකිරිලා ඉන්නෙ..’’

මට මේ ගැන හරිම දුකක් තිබෙන්නෙ. මගේ වෘත්තියට ගෞරවයක්, මා ගෙනාපු ජාත්‍යන්තර සම්මානවලට මගෙ ආයතනයෙන් පිළිගැනීමක්, ලැබුණෙ නෑ.. මම මේ සම්මානය ලබා ගත්තෙ මට නොවේ. රටට.. මම එදා බැංකොක් නුවරදී මට සම්මාන ලබා දෙනකොට කථා කළෙත් මගෙ රට ගැන.. අප රටේ සෞඛ්‍ය සේවාව ගැන... ඒත් ඉතිං කියන්න කනගාටුයි සම්මාන පිට සම්මාන ගෙනැල්ලත් මම තවම ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියමයි.’’
‘‘මම මගෙ රස්සාවට ආසයි ආදරෙයි.. කුස්සියෙන් ගෙට ඇතුල්වෙලා ගේ ඇතුලෙ වළං මුට්ටිවලට පවා එබිල බලලා සාලෙන් එළියට එන්න පුළුවන් රස්සාවක් මේක.. ඒත් අද ගමේදී අම්මලා අහන දේවල්වලින් මම මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නෙ.’’

‘‘මේ පීඩනයත් එක්ක තව දුරටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ලෙස මට ක්‍ෂේත‍්‍රයෙ වැඩ කරන්න ශක්තියක් නෑ. ඒ නිසාම මා අරලගංවිල ප‍්‍රාදේශීය රෝහලට මාරුවක් ඉල්ලාගෙන ආවා. මිනිස්සුන්ට මාව දුකක්.. ඒ දුක නිසාමයි මිනිස්සු මගෙන් ළෙංගතුව අහන්නෙ.. ඇයි මිස් තවම මෙතැනම ඉන්නෙ කියලා. ඇය හැඟුම්බරව කීවාය.