රාජ්‍ය ව්‍යාපාර රටටත්, ජනතාවටත් මහා භාණ්ඩාගාරයටත් මහා බරකි. එසේ වී තිබෙන්නේ ඇයි? සහ ඉන් මිදිය හැක්කේ කෙසේ ද? මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වන ඩැනී අතපත්තු මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

රාජ්‍ය ව්‍යාපාර රටක ආර්ථිකයට ඉතා ප්‍රබල ශක්තියක් සපයන ආයතන විශේෂයකි. එහෙත් අද ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර ආණ්ඩුවලට මහා බරකි. රාජ්‍ය අරමුදල් ගිල දමන බිහිසුණු රාක්ෂකයෙකි. රජයේ අයවැයෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට වෙන් කිරීමට සිදුවී තිබේ. ඒවා ආණ්ඩුවට උදව් කරනවා වෙනුවට ආණ්ඩුවේ තියෙන සම්පත් ටිකත් නාස්ති කරයි.

 නිදහසින්  පසු ගෙවුණු දසක හතේදීම විවිධ ආණ්ඩු විවිධ අරමුණු, විවිධ දෘෂ්ටිවාද ඔස්සේ එනම් ධනේශ්වර ක්‍රමය, සමාජවාදය වැනි දේශපාලන දර්ශන මත පදනම්ව රාජ්‍ය ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබේ. ඒ සංඛ්‍යාව 527 කි. එහෙත් වාර්ෂික වාර්තා නිසිලෙස ඉදිරිපත් කරන්නේ ඒ ආයතනවලින් 52 ක් පමණකි. වැදගත් රාජ්‍ය ව්‍යවසායන් ලෙස හැඳින්වෙන්නේ ඒ 52 පමණකි. බැංකු, රක්ෂණ, වරාය, බලශක්ති, වැවිලි කර්මාන්ත, ප්‍රවාහන හා ගුවන් සේවා වැනි ක්ෂේත්‍රවලට ඒ 52 අයත් වෙයි. සතොස වැනි ජනතාවට  අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණන රාජ්‍ය ආයතන ද ඒ 52 අතර පවතී.

මුදල් අමාත්‍යාංශයේ 2019 වාර්ෂික වාර්තාව අනුව ඒ රාජ්‍ය ව්‍යවසායන් 52 හි තිබෙන වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 9115 කි. ඒ වත්කම්වලින් ඒ ආයතන උපයා තිබෙන ආද‌ායම පවතින්නේ සෘණ අගයකය. ඒ කියන්නේ ඉපයූ ආද‌ායමට වඩා පාඩු වැඩි බවය. බැංකු හා රක්ෂණ සමාගම් ලාබ උපයන බව සත්‍යයකි. එහෙත් ඒ ආයතනවල ලාබය අනෙක් ආයතනවල පාඩුවලින් කැපී යයි. වරාය ද ලාබ ලබන ආයතනයකි. හම්බන්තොට වරාය ඉදිකළ සමයේ වරාය සංස්ථාව පාඩු ලැබුවත් දැන් යළිත් ලාබ ලබයි. 2019 දී මේ ආයතන 52 ශුද්ධ වශයෙන් ලබා තිබෙන  පාඩුව රුපියල් මිලියන 2400 කි. කෝටිවලින් නම් 240 කි. එය ටිකක් හොඳ තත්ත්වයකි. 2018 පාඩු ප්‍රමාණය රුපියල් මිලියන 28,000 කි. එනම් කෝටි 2800 කි. 2019 දී පාඩු අඩු වූයේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු අඩු වූ නිසාය.

 තෙල් සංස්ථාවේ පාඩු අඩු වූයේ ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල පහත වැටීම නිසාය. තෙල් සංස්ථාව  පාඩු වැඩියෙන් ලබන ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාරයකි. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට නොලැබුණාට එය සංස්ථාවට ලැබුණේය. 2020 මුල් මාස හතරේ දී ඒ රාජ්‍ය ව්‍යාපාර 52 ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 30,270 කි. ඒ තත්ත්වයට හේතු වූයේ කොරෝනා නිසා ව්‍යාපාර කටයුතු බිඳ වැටීමය.

රාජ්‍ය ව්‍යාපාර වෙන වෙනම ගෙන කතා කළහොත් විදුලිබල මණ්ඩලය 2019 දී ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 85,000 කි. තෙල් සංස්ථාවේ පාඩුව 2019 දී රුපියල් මිලියන 12,000 කි. 2018 දී තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 1,06,000 කි. කෝටිවලින් නම් 10,600කි. එයාර් ලංකා සමාගමේ පාඩුව 2019 දී රුපියල් මිලියන 44,000 කි. 2019 දී ජල සම්පත් මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 2100 කි. 2019 දී දුම්රිය සේවය ලැබූ පාඩුව රුපියල් මිලියන 7600 කි. 2019 දී ලක් සතොස ලැබූ පාඩුව රුපියල් මිලියන 3000 කි. ලුණු සංස්ථාවේ 2019 පාඩුව මිලියන 11 කි. එහෙත් ඊට පෙර වසරවල ලංකා ලුණු සංස්ථාව ලාබ ලබා තිබේ.

 රාජ්‍ය ව්‍යාපාරවල පවතින මේ අකාර්යක්ෂමතාව රාජ්‍ය මූල්‍යයට නැතහොත් රජයේ මුදල්වලට බලපාන ආකාරය ඉතා භයානකය. රජයේ මුදල් කළමනාකරණයට විශේෂයෙන් අය වැය ලේඛනයට බලපාන ආකාරය ඉතාමත් භයානකය. මක් නිසාද යත් මේ ආයතන නඩත්තුවට අයවැයෙන් වාර්ෂිකව විශාල මුදලක් වෙන්කිරීමට සිදුවී තිබෙන බැවිනි. එසේම මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙවනවාට අමතරව ඒ ආයතන රාජ්‍ය බැංකුවලින් ණය ද ගනී. රජයේ සහතිකය නිසා බැංකු ද ඒ ආයතනවලට බය නැතිව ණය දෙයි.

 ඒ නිසා ඒ ආයතන බය නැතිව අත දිගහැර ණය ද ගනී. ලංකා ඛනිජ තෙල් සංස්ථාව 2020 අප්‍රේල් මාසය අවසන් වන විට එසේ ගෙන තිබෙන සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන පන්ලක්ෂ අනූදෙදහස් හත්සිය තිහකි. (මිලියන 5,92,730) රුපියල් කෝටිවලින් නම් 59,273 කි. තෙල් සංස්ථාව ඒ ණයට පොලිය ද ගෙවිය යුතුය. එවිට ඒ ආයතනයේ ණය බර තවත් වැඩිවෙයි. නැතහොත් එහි පාඩු තවත් වැඩිවෙයි. එසේ වන්නේ ණය සඳහා ගෙවිය යුතු පොලිය ද ඔවුන්ගේ වියදම්වලට (පිරිවැයට) එකතුවීම හේතුවෙනි.

 තෙල් සංස්ථාවේ ණය බර හා වියදම් එසේ මහා පරිමාණයෙන් ඉහළ ගොස් තිබෙන්නේ වෙනත් රාජ්‍ය ව්‍යාපාර තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ගැනීම නිසාය. නැතහොත් ඒ ආයතන මගින් ගත් තෙල්වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසාය. ලංකා විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සේවය වැනි රාජ්‍ය සංස්ථා තෙල් ගන්නේ තෙල් සංස්ථාවෙනි. ඒ අත්පිට මුදලට නොව ණයටය. දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනාගමන මණ්ඩලය ද සංස්ථාවෙන් තෙල් ගන්නේ ණයටය. බොහෝ විට ඒ ණය ගෙවන්නේ ණය වූ ආයතනයෙන් නොව මහා භාණ්ඩාගාරයෙනි. තෙල් සංස්ථාව ලාබ ලැබිය හැකි ආයතනයකි. එහෙත් එසේ නොවන්නේ වෙනත් රාජ්‍ය ආයතනවලට ණයට දෙන තෙල්වලට ලැබිය යුතු මුදල් නිසි කලට වෙලාවට නොලැබීම නිසාය.

රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුවලින් එසේ මහා පරිමාණයෙන් ණය ගැනීම නිසා රාජ්‍ය බැංකු ද බංකොළොත් වෙයි. බැංකු තිබෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට ණය දි දී ඒවා නඩත්තු කිරීමට නොවේ. බැංකු තිබෙන්නේ රටේ සංවර්ධනයට හා ආයෝජනයට ණය දීමටය. බැංකුවල වගකීම විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට ද‌ායක වීමය. එහෙත් ඒ වගකීම හා කාර්යභාරය පැත්තක දමා දූෂිත හා අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නඩත්තු කරමින් විනාශය කරා යාමට රාජ්‍ය බැංකුවලට ද සිදු වී තිබේ. දිගින් දිගටම එසේ වුවහොත් වන්නේ රාජ්‍ය බැංකු ද කඩාවැටීමය.

රාජ්‍ය ව්‍යාපාර මේ තරම් අකාර්යක්ෂම වීම සියලු රාජ්‍ය ව්‍යවසායන්ට අද‌ාළ මහ පොදු සාධකයකි. බැංකු ලාබ ලැබුවාට ඒවා ද අකාර්යක්ෂමය වාණිජ බැංකුවලට ඉහළින් තිබෙන මහා බැංකුව ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වීම එයට එක් නිදසුනකි.
රාජ්‍ය ව්‍යාපාර දියුණු වෙමින් පවතින රටවල පමණක් නොව දියුණු රටවල ද තිබේ. සිංගප්පූරුව, ස්වීඩනය හා නෝර්වේ වැනි සංවර්ධිත රටවල ද රාජ්‍ය ව්‍යාපාර පවතී. එහෙත් අපේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල පවතින තත්ත්වය ගැන රටවැසියන්ට කිසිසේත් සතුටු විය නොහැකිය.

වෙළෙඳ පොළ ක්‍රමය නැතිනම් විවෘත ආර්ථික ක්‍රමය සර්ව නිර්දෝෂි ක්‍රමයක් නොවේ. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වන්නට වුවහොත් ඒකාධිකාර, කථිපයාධිකාර සේම විවිධ දූෂණ සේම භීෂණ ද සිදුවිය හැකිය. ඉල්ලුම හා සැපයුම මත සියල්ල සිදුවන්නට ඉඩ හැරියොත් ජනතා සුබසාධනය යන්නේ වළ පල්ලටය. ඒ නිසා ධනේෂ්වර රටවල් ද ජනතා සුබසාධනය සඳහා විවිධ ආකාරවලින් ආර්ථිකයට මැදිහත් වෙයි. වෙළෙඳ පොළට කළ නොහැකි, කරන්නේ නැති හා කළොත් අකාර්යක්ෂම විය හැකි අංශ හෝ ව්‍යාපාර රජය විසින් කරනු ලබන්නේ එහෙයිනි. මිශ්‍ර හා සංවෘත ආර්ථික ක්‍රම පවතින රටවල සේම ධනේශ්වර රටවල ද එසේ සිදුවෙයි.

 වෙළෙඳ පොළ ක්‍රමයට නැතහොත් පෞද්ගලික අංශයට දුම්රිය සේවා පවත්වාගෙන යා නොහැකිය. මක් නිසාද යත් ඒ සඳහා විශාල මුදල් සම්භාරයක් අත්‍යවශ්‍ය නිසාය. ඒ නිසා එවැනි සේවා පවත්වාගෙන යාමට සිදුවන්නේ රජයටය. ඒ හේතු මත ධනේෂ්වර රටවල ද රාජ්‍ය ව්‍යවසායන් ඇතිවෙයි.

 ඒකාධිකාරියක් ඇතිවිය හැකි ක්ෂේත්‍ර පෞද්ගලික අංශයට පමණක් පැවරීමෙන් ජනතාව සූරාකෑමට ඔවුනට අවස්ථාව උද‌ාවෙයි. විදුලි බලය හා ජල සම්පාදනය හොඳ උදාහරණ දෙකකි. විදුලිය හා ජලය සැපයීම පෞද්ගලික අංශයට පමණක් පැවරුවහොත් ඒකාධිකාරියක් හෝ කථිපයාධිකාරියක්  ඇතිවීම වැළැක්විය නොහැකිය. එසේ වුවහොත් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාව සූරාකෑමය. ඒ නිසා බොහෝ රටවල ඒ ක්ෂේත්‍ර පවතින්නේ රජය යටතේය. පණිවිඩ හුවමාරු නැතිනම් ටෙලිකොමියුනිකේෂන් වැනි ක්ෂේත්‍ර ද බොහෝ රටවල පවතින්නේ රජය යටතේය. එසේම උපාය මාර්ගික වශයෙන් වැදගත් බැංකු, රක්ෂණ, වරාය, බලශක්ති වැනි ක්ෂේත්‍ර ද සියයට සියයක් පෞද්ගලික අංශයටම භාර නොකිරීම ධනපති රටවලට ද ස්වභාවයකි.

පෞද්ගලික අංශය ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය කිරීම නිසා ඕනෑම රටක දුප්පතුන්ට හෙවත් අඩු ආද‌ායම්ලාභීන්ට හිංසා පීඩා සිදුවිය හැකිය. ඒ නිසා එවැනි සමාජ කණ්ඩායම්වලට සහන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට ධනේෂ්වර රටවලට ද සිදුවෙයි. ඒ නිසා ආර්ථිකයේ සියලු අංශ පෞද්ගලික අංශයටම ලියා නොදීම ධනේෂ්වර රටවල ද ස්වභාවයකි. එහෙයින් අත්‍යවශ්‍ය සේවා සැපයීමට පමණක් නොව අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවියටත් රජය මැදිහත් වෙයි. ලංකාවේ සතොස හා සළුසල ඊට උද‌ාහරණ දෙකකි. ලංගම හා දුම්රිය රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වාගෙන යාම සේවා අංශය සම්බන්ධයෙන් දැක්විය හැකි උද‌ාහරණ දෙකකි. රජය ආර්ථික ව්‍යාපාරවලට පිවිසෙන්නේ මැදිහත් වන්නේ එවැනි උසස් පරමාර්ථවලිනි. එය නොදියුණු රටවල සේම දියුණු රටවල ද ස්වභාවයකි.

 පෞද්ගලික අංශයට සාර්ථකව ඉටුකළ හැකි ඇතැම් ව්‍යාපාරවල රජය නිරත වන්නේ වෙනත් හේතු මතය. දේශපාලන අවශ්‍යතා, සතුරන්ගෙන් පලිගැනීම, වෙනත් දෘෂ්ටිවාද යනාදී සාධක මත ඇතැම් ව්‍යාපාර රජය යටතේ පවත්වාගෙන යයි. වතු ජනසතු කිරීම ඊට එක් උද‌ාහරණයකි. එය කළේ දේශපාලන දෘෂ්ටිවාදයක් මතය. පෞද්ගලික වතු රජයට පවරාගෙන යළි සමාගම්වලට පැවරීම සිදුවූයේ දේශපාලන දෘෂ්ටිවාද මතය පෞද්ගලික බස් රජයට පවරාගෙන යළි බස් සමාගම් ගොඩනැගීම සහ යළි ලංගම යටතට ගැනීම ද දේශපාලන දෘෂ්ටිවාද මත සිදු වූ දේවල්ය. ධනවාදය සමාජවාදය වැනි දෘෂ්ටිවාද ගැන සිතා එසේ කළා මිස ඒවා රටට ගැළපෙන ක්‍රමය කුමක්දැයි තුලතාත්මකව සිතා බලා කළ දේවල් නොවේ. මරද‌ානේ බුහාරි හෝටලය රජයට පවරා ගැනීම ඊට තවත් කදිම නිදසුනකි. වතු ජනසතු කිරීම හා යළි ඒවා වැවිලි සමාගම්වලට දීමත් සම්පූර්ණයෙන්ම අසාර්ථක බව දැන් ඇස් පනාපිට සනාථ වී තිබේ. රන් පවුම් වතුවලට හා අවසානයේ රටේ ආර්ථිකයට මේ විනාශය සිදුවූයේ රටට ගැළපෙන ක්‍රමය කුමක්දැයි තුලනාත්මකව, සංසන්දනාත්මකව සලකා නොබලා දේශපාලන හා වෙනත් පෞද්ගලික දෘෂ්ටිවාද මත වතු ජනසතු කළ නිසාය. වතු ජනසතු කිරීම සම්පූර්ණයෙන්ම වැරැදි තීන්දුවකි. ඉන් රටේ ආර්ථිකයට සිදුවූයේ විනාශයකි.

රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අද පවතින්නේ ඒ ගැටුම්ය. මහජනතාවට අත්‍යවශ්‍යව තිබෙන්නේ ඒ රාජ්‍ය ව්‍යාපාරවලින් විශිෂ්ට සේවයකි. උපරිම සුබසාධනයකි. එහෙත් රාජ්‍ය ව්‍යාපාර පාලනය කරන නියෝජිතයන්ට එවැනි වුවමනාවක් නැත. ඒ නියෝජිතයාගේ අරමුණ වන්නේ තමන් පත්කළ බලධාරියාගේ අවශ්‍යතා හා අභිලාෂ ඉටුකිරීමය. මහජනයාට අයිතියක් තිබුණාට බලයක් නැත. ඒ නිසා රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයට මහජනයාට සම්බන්ධ විය නොහැකිය. ඇඟිලි ගැසිය නොහැකිය. ජනතාවට බලය ලැබෙන්නේ මැතිවරණයකදී පමණය.

 ජනතාව ඒ ගැන සොයන්නට උනන්දු වන්නේ නැත. උනන්දුවක් ඇතිවීමට ඔහුට අවශ්‍ය තොරතුරු ලැබෙන්නේ ද නැත. ඒ නිසා සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තම හිතූ මනාපෙට කටයුතු කරගෙන යයි. අධ්‍යක්ෂ මණ්ඩලය පත්කළ බලධාරීන් බලන්නේ ඒ ආයතනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටය. තම බලය තහවුරු කරගන්නේ කෙසේ ද, නැවත බලය ලබා ගන්නේ කෙසේ ද සහ සිටින තැනින් ඉහළට යන්නේ කෙසේ දැයි සොයාබලා ක්‍රියාත්මක වෙනවා මිස ආයතනයේ පැවැත්ම හෝ ජනතා සුබසාධනය ගැන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කළ ඇමැති සිතන්නේ නැත. තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට සේවකයන් පිරවීම, තම අනුග්‍රාහකයන්ට ටෙන්ඩර් ලබා දීම, කොමිස් ලබා දීම, ඥ‌ාති මිත්‍රයන්ට සංග්‍රහ කිරීමට සේම තම දේශපාලන ව්‍යපෘතිවලට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමටත් ඇමැතිවරයා යොදා ගන්නේ තම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරය. ඇමැතිවරුන් සේම ආණ්ඩු ද රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එලෙසිනි. රාජ්‍ය ව්‍යවසායන් මෙතරම් පාඩු ලබන්නේ එහෙයිනි. මේ රාජ්‍ය ව්‍යාපාරවල දූෂණ ඉහවහා ගොස් පවතී. ජනතාවට  ඉටුවන්නේ නාමික සේවයකි.

 ඇතැම් ආයතනවල දක්ෂ කළමනාකරුවන් සිටිය හැකිය. එහෙත් ඔවුනට නිදහසේ තීරණ ගෙන ක්‍රියාත්මක විය නොහැකිය. දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ස්වාධීනව කටයුතු කළ නොහැකිය. පිරිවැය ආවරණය වන ලෙස මිල තීරණය කිරීමේ හැකියාව ද කළමනාකාරුවන්ට තිබිය යුතුය. පිරිවැයට වඩා අඩු මිලකට භාණ්ඩ හා සේවා සැපයීම ද රාජ්‍ය ව්‍යාපාර පාඩු ලැබීමට හේතුවකි. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට මෙය බරපතළ හේතුවකි. එහෙත් එහිදී පිරිවැය වැඩිවීමට දූෂණ හා අකාර්යක්ෂමතා බලපා තිබෙන බව ද නොසලකා හළ යුතු නොවේ. රාජ්‍ය ව්‍යාපාරවල පවතින මේ සකලාන්තරාය සර්වෝපද්‍රවයන් දූරීභූත කළ හැකි නම් රාජ්‍ය ව්‍යාපාරවලින් ලාබ ලැබිය හැකිය.

ඇත්තෙන්ම ලාබ ලැබිය යුතුය. රාජ්‍ය ව්‍යාපාර එතැනට ගෙන ආ හැක්කේ නිවැරැදි දැඩි තීන්දු ගැනීමෙනි. ඒ සඳහා මූලිකව අවශ්‍ය වන්නේ දැඩි දේශපාලන අධිෂ්ඨානයකි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)