සන්‍ධ්‍යා සිරි නරඹමින් තිසා වැවේ වැව් කණ්ඩිය දිගේ ඇවිද යන නව යොවුන් තරුණයකි. මඟ දෙපස හමුවන පුද්ගලයන් ඔහුට වැඳ නමස්කාර කරමින් එකත්පස්ව හිඳී.  ඔහු ඔවුන් සැමටම මඳහස පාමින් සමහර විට සුහදව කතා කරමින් සිට තමන් ආ ගමනේ යෙදේ. හිමිදිරි උදෑසන සිට සියොතුන් කැදළි කරා ඇදෙන මොහොත දක්වා........ හේන් කුඹුරු වතුපිටිවල ගොවිතැන් කටයුතුවල යෙදුන ගොවියන් ගෙවිලියන් ජලස්නානය සඳහා පැමිණ ඇති හෙයින් තිසා වැව ද ජනී ජනයා ගෙන් පිරී ඉතිරී ගොසින් ය.
දියකාවුන්.... හංසයන් වැනි ජලතර පක්‍ෂීන් වැව් දිය මත දිය කෙළිත්දී... දිය කිඳුරියන් බඳු වූ දඟකාර නව යෞවන තරුණියන්ද..... දඟකාර බවක් පාමින් ජල කී‍්‍රඩා කරති. ඔවුන් ඇඳ සිටින දිය රෙදි කඩ ද ඇඟටම ඇලී ගොසින්ය. ගත දැවටුන රෙදි කඩක් නැතුවා සේ ය. දිය කිඳුරියන් බඳු එවන් අඩ නිරුවත් කාන්තාවන් දෙස හොර ඇහින් නෙත් යොමු කරන පිරිමින්ද එමටය. මෙවන් අවස්ථාවක එසේ නොබලන්නේ නම් ඒ ද පුදුමයකි. නිරුවත් කතකට වඩා ඇඟටම ඇලී ගිය දිය රෙද්දක් ඇඳ සිටින ගැහැණියගේ අඩ නිරුවත් දර්ශනය ඉතාමත් මනස්කාන්ත ය. ඇඟටම ඇලී ගිය දිය රෙද්දක් ඇඳ සිටින අඩ නිරුවත් ගැහැණිය බවුන් වඩන තවුසකුගේ වුව දැහැන බිඳ දැමීමට තරම් සමත් ය.

වැව් කණ්ඩිය දිගේ ඉදිරියට පියවර ඔසවන මේ නව යොවුන් තරුණයා දුටු දිය කෙළිමින් සිටි තරුණියන් සහ සැම දෙනාම මේ කිසිවක් සිදු නොවුන පරිද්දෙන් ජලස්නානය කරන්නට වූහ.  ඔහු..... වැව් බැම්ම මත ඇවිද ගෙන එන්නේ, දමිළ පර සතුරා ගෙන් රට, දැය සමය බේරා ගෙන මුළු රටම එක්සේසත් කර ගෙන ධර්මිෂ්ඨව රට පාලනය කරන ශී‍්‍ර ලංකාධීෂ්වර දුටුගැමුණු නරපතියන්ගේ පුත් සිරි ලක අනාගත රජු බවට පත්වීමට නීත්‍යනුකූලව හිමිකම් කියන යුව රාජ පදවිය හොබවන සාලිය කුමාරයායි.

සන්‍ධ්‍යා සිරි නරඹමින් මෙසේ ඇවිද යන සාලිය කුමාරයාට ඈත තියාම මධුර මනෝහර කට හඬකින් ගී ගයන හඬක් ඇසී ඒ ගැන විමසිලිමත් වෙත්දී ඒ හඬ ඇසෙන්නේ පහළින් ඇති රන් මසු උයනින් බව වැටහුනේය.

ගී හඬට වශී වුණු කුමාරයා තමන් යන්නට ආ ගමන මොහොතකට අමතක කර දමා මියුරු හඩින් මේ ගී ගයන්නේ කවුරුන්දැයි දැන ගැනීමේ කුහුල් සිතින් රන් මසු උයනේ ඒ ගී හඬ ඇසුණු දෙසට පියමන් කළේය. හෝපළු, මුරුත, පලොල්, අගිල්, නා, අරලිය වැනි පුෂ්ප වෘක්‍ෂයන්ගෙන් සැදුම් ලත් නෙක විසිතුරු මේ පුෂ්ප උද්‍යානයේ පොකුණුවල ඉතාමත් අලංකාර කණක පැහැයෙන් යුත් මත්ස්‍ය විශේෂයක් සිටින නිසා මේ උයන රන් මසු උයන නමින් චිරප‍්‍රසිද්ධ විය. අනේක විධ තුරුලතාවන් ගෙන් අලංකෘත මේ පුෂ්ප උද්‍යානයේ එක් කෙළවරක පිහිටියේ මහින්‍ද මහ රහතන් වහන්සේ මොහොතක් විවේක සුවයෙන් ගත කළා යයි කියන ඉසුරුමුණි විහාරයයි.

මධුර මනෝහර කර්ණ රසායන ගී හඬ ඇසෙන්නේ මලින් බරවුන හෝපළු (අසෝක) රුකක් මුදුනෙනි. මියුරු කට හඬ වගේම රූ සිරියෙන්ද අග තැන්පත් සුරලියක් හෝපළු මල් නෙළමින් සිටින අයුරු දුටු සාලිය කුමාරයාගේ සිත මඳක් තිගැස්සිණ.  ඔහුට බියක්ද ඇති විය. හෘද ස්පන්දනය වේගවත් විය. දෙව් ලොවෙන් බට සුර ලියක්..... නො එසේ නම් නා ලොවින් පැමිණි නාග කන්‍යාවියක්.... (සාලිය කුමාරයාගේ මව නාග ගෝත‍්‍රික කුමරියකි). නැති නම් වන දෙව් ලියක්....ජය ශී‍්‍ර මා බෝ සමිඳුන් හෝ රත්නමාලි සෑ රදුන් වඳින්නට මල් නෙළමින් සිටින්නේදැයි ඔහුට කුහුලක් ඇති විය. මොහොතක් වෙලා කල්පනා කළ සාලිය කුමාරයා බියෙන් සහ සැකයෙන් යුතුව..... මල් නෙළමින් සිටි ලිය ඇමතුවේය.

හදිසියේ තමන් අමතන ලද පිරිමි කටහ`ඩින් ඇය තිගැස්සී ගියාය. රාජකීය පුෂ්ප උද්‍යානයේ අනවසරයෙන් මල් නෙළීම බලවත් වරදක් බව පසක් වූයේ ඇයට ඒ මොහොතේය.  තමා සිදුකර ඇත්තේ බලවත් වරදක් බව ඇයට වැටහිණි. අමතකවීමකින් කියන ලද ගී පද ඇසුණු උද්‍යාන පාලකයා පැමිණියේ යයි ඇය බිය වුවාය.  බියෙන් යුතුව පහළ බැලූ ඇය, තමා දෙස බලා සිටින පුද්ගලයා දැක තව තවත් බිය වූවාය.

ඇයට තමා සිටින්නේ කොහිදැයි අමතක වූවාය. හෝපළු රුකෙන් ඉක්මණින්ම පහළට බසින්නට ගිය ඇය, තැබූ එක් පයක් ලිස්සා ගිය බැවින් පොළොවට පියවර කිහිපයක් තිබියදී ඇය බිමට ඇද වැටෙන්නට ගියත්, පහළ සිටි තැනැත්තා ඇය බිමට වැටෙන්නට නොදී අල්ලා ගත්තේය...... අභාග්‍යයකි. .... පහළට ඇද වැටෙත්දී..... ඇය ඇඳ සිටි සළුව අත්තක පැටලූණෙන්.... ඇයගේ ගතින් බාගයක්ම නිරාවරණය විය. ලජ්ජාවෙන් මුසපත් වුණු ඇය අත්තෙන් වහා සළුපට ඉවත්කර ගැනීමට තැත් කළත්.... සිදු වුනේ ඇගේ ඉක්මන්කමත්, කළබලයත් නිසා අත්තෙන් සළුව ඉවත් කිරීම කෙසේ වෙතත්, ඇයගේ ගත තව තවත් නිරාවරණය වීම පමණකි. ගසෙන් වැටෙන්නට නොදී ඇය බේරා ගත් මේ නව යොවුන් කඩවසම් තරුණයාගේ මැඳිහත්වීමෙන් හෙවත් තරුණයා විසින් ඇගේ හැඳිවත් සළුව අත්තෙන් මුදවාලීය.

ඇය ඔහු හඳුනා ගත්තත්, ඔහු ඇය හඳුනන්නේ නැත. ගසෙන් වැටෙන්නට නොදී අල්ලා ගත් අයුරින්ම තවමත් ඇගේ අත ඔහුගේ අතේ රැඳී ඇත. ඇය බිය වුණාය. ඔහු ගෙන් අත මුදවා ගැනීමට ඇය තැත් කළාය. මල් නෙළමින් සිටි තමන්ට අසුවුණු මේ සුරවමියගේ තොරතුරු කිසිත් නොදැන ඇය මුදවාලන්නට අකමැති වුණ කුමාරයා, ඇයගේ සියුමැලි අත තව තවත් තදින් ග‍්‍රහණය කර ගත්තේ ඇය පලා යයිදෝ යන සැකයෙන් යුතුවය.

බයටත්.... ලජ්ජාවටත් පත් ඇය හැඬුවාය. ඉකි බිඳ බිඳ හැඬුවාය. ඇය හඬන්නේ බයටත් ලජ්ජාවටත් වඩා මොහොතකට පෙර ඇය ලජ්ජාවට පත් කළ අවසානාවන්ත සිදුවීම බව ඔහුට වැටහුනි.  ඔහු ඇයගේ සියුමැලි අත ග‍්‍රහණයෙන් මුදා හළේය. කටහඬට මෙන්ම ඇයගේ රූපශ‍්‍රියාවට ද වශීවී ගිය සාලිය කුමාරයාට තමන් තවමත් නොදන්නා මේ සුරූපි ලාලනිය ගැන අනුකම්පාවක් ඇති විය.  මොහොතක් වෙලා නිහඬව සිටි රාජ කුමාරයා සිය කට හඬ අවදි කළේය. ඇය කවුරුදැයි විමසුවේය...... ලජ්ජාව මුසු බියෙන් තවමත් කඳුළු වගුරන මේ නයන දේහිනිය කපා හෙළු ගසක් මෙන් ඔහුගේ දෙපා මත වැඳ වැටුණාය.  ක්‍ෂණිකව පසෙකට පැනගත් කුමාරයා ඇය නැඟිට සිටුවා ඇයගේ නයන යුගෙන් ගලන කඳුළැල් දහරා තම අත් පිස්නා කඩෙන් පිස දමා.... තමා දුටුගැමුණු මහ රජතුමාගේ පුත් සාලිය බවත්, කිසිවකටත් බිය නොවී ඇයගේ වත ගොත විස්තර පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

කුමාරයාගේ කාරුණික භාවය හමුවේ තවදුරටත් ඇයට මුණිවත රැුකීමට නොහැකි විය. ඉකි බිඳුම හමාර කළ ඇය..... ඈ ගැන සියලූම තොරතුරු ඔහු හමුවේ තැබුවාය...... නමින් මාලා බවත්, තිසා වැවට නුදුරු හෙල්ලෝලිගම, ගම නායකයා තම පියා බවත් ඔහුට පැවසූ ඇය ..... විශේෂයෙන්ම තමන් කුළ හීනයන් බව සඳහන් කළාය. ඉසුරුමුණි විහාරය වැඳීමට යාමට මල් නෙළා ගැනීමට පැමිණි බවත්...... අනවසරයෙන් මල් නෙළා කළ වරදට සමා වෙන ලෙසත් ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුවැ ඉල්ලා සිටියාය.  ඇයගේ කතාව අවසානයේ ඇය දිව්‍ය අප්සරාවක් හෝ නාග කන්‍යාවක් හෝ වෙනත් ගදඹු ලියක් හෝ නොවන බවත් මනුස්ස දෘහිතාවක් බවත් පසක් කර ගත් සාලිය කුමාරයාට...... තමන් කවුද ?..... කාගේ කවුද ?.... යන වග අමතකවී ගියේය. ඇගේ රූප සොබාවට ......කට හඬට..... අහිංසකකමට...... වශීවී ගිය කුමාරයාට ඈ ගැන අමුතු ලෙන්ගතුකමක් හා වචනයෙන් විස්තර කළ නොහැකි ස්නේහයක් ඇති විය.  ඔහුට නොදැනීම ඇය පිළිබඳ සිතක් පහළ විය.

හිරු අස්ථානගත වෙමින් පවතී. තමාගේ පියා  සිය ප‍්‍රමාදය ගැන දැනටමත් කළබලවී සිටින්නට පුළුවන් බවත්, සමහරවිට ප‍්‍රමාදය නිසා දැනටමත් තමා සොයා ගෙන එනවාදැයි තමන්ට සැක බවත්...... ඔහු හමුවේ ඈ අවිහිංසකව කඳුළු පිරි දෙනෙතින් යුතුව ප‍්‍රකාශ කළාය. මාලාගේ කතාව සාලිය කුමාරයා පිළි ගත්තේය. බුදු හිමි පුදන්නට ඇය නෙළු අසෝකා මල් බිම පුරා විසිරී තිබුණ බැවින් කුමාරයා ඇයට මල් කිණිති කිහිපයක්ම නෙළා දුන්නේය. එපමණක්ද නොව හෙටත් මේ වෙලාවට තමන් ඇය බලාපොරොත්තු වන බැවින් හෙටත් පැමිණෙන මෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම හමුවේ ඇය බිය වුණාය.  වචනයක්වත් නොදෙඩූ ඇය  බිය මුසු දෙනෙත් ඔහු කරා එල්ල කළාය.

මොහොතක් වෙලා ඇය දෙස බලා සිටි කුමාරයා ඇයගේ සුමුදු අතක් අල්ලා ගත්තේය. එනවද ? යළිත් ඔහු විමසුවේය.  ඔහුගේ කාරුණික භාවය ඉදිරියේ ඇයට එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි විය. ලජ්ජාවෙන් සිනාසුන ඇය බිම බලා ගෙන පයේ මා පට ඇඟිල්ලෙන් පොළොව හෑරීමට පටන් ගත්තාය. ඇය වහා සිය අත පසෙකට ඇද ගෙන මොහොතක් බලා සිට පසෙකට හැරී දිව ගියාය.

සාලිය නම් වූ රජ කුමාරයාත්.... මාලා නම් වූ චංඩාල දෘහිතාවත් ඒ මොහොතේ දෙපසකට වෙන්වී ගියේ සුවහසක් ප‍්‍රාර්ථනා සමුදායක් සමඟින්ය. පසු දිනට පහන් විය.  ඔවුන් දෙදෙනා දෙපසට වී සිතුවේ, කාලය ගෙවී යන්නේ වෙනදාටත් වඩා හෙමින් බවය. මළ හිරු බැස යන සැන්දෑ යාමයේ පෙර දින මෙන් ඔවුන් දෙදෙනා රන් මසු උයනේ මලින් බරව ගිය හෝපළු රුක යටදී හමු විය. කාලය කෙමෙන් කෙමෙන් මුහුකුරා ගෙවී ගියේ ආලය.... ආදරය යන අකුරු හතේ බල මහිමය ස්ථිර ආලය හමුවේ ජාති.... ආගම්....කුල.... ගෝත‍්‍රවලින් වෙනස් කළ නොහැකි බව කියා පාමින්ය.

දුටුගැමුණු රජතුමාට සහ සාලිය කුමාරයාගේ මෑණියන් නාග ගෝත‍්‍රික බිසවට මේ ආදර අන්දරය රහසක් වුවත්, තවත් පිරිසකට ඒ රහසක් වූයේ නැත. හෙළ බිමේ රජ කිරුළට ඇස ගසා ගන සිටින පිරිසක් සාලිය කුමාරයා යන එන ගමන් බිමන් ගැන සිටියේ ඉතාමත් සෝදිසියෙන්ය. වට්ඨගාමිණී අභය කුමාරයාද සද්ධාතිස්ස රජතුමාගේ බාල පුතනුවන් වුවත් ඔහු සාලිය කුමාරයා හා සම වයස් විය. ඒ නිසාම ඔහු සහයෝගය දැක් වූයේ සාලිය යුව රජ කුමාරයාටය.
සාලිය කුමාරයා බොහෝවිට ගමන් ආවේ ගියේ වට්ඨගාමිණී අභය කුමරුන් සමඟින් ය. ඉඳහිට අවස්ථාවක දෙදෙනාට තනිව ගමන් යන්න සිදු වූ අවස්ථාද තිබේ. සාලිය කුමරාට හෙල්ලෝලිගම මාලා තරුණිය හමුවුණේ එසේ තනිවම ගිය අවස්ථාවක ය. එසේ තනිව ගියත් තමන්ට හමු වූ සුරූපී තරුණිය ගැන පුවත වට්ඨගාමිණීට පැවසුවේ පුවත රස කරමින් ය.  

වට්ඨගාමිණී කුමාරයා සාලිය කුමාරයාට පැවසුවේ මේ සම්බන්‍ධතාවයට රජතුමා අකමැතිවන බවත්, ඒ නිසා එම අදහස අත්හරින ලෙසත් ය. විශේෂයෙන්ම අනාගත රජකම ලබාගැනීමට මෙම සම්බන්‍ධය මහත් වූ බාධකයක් බවය. සාලිය කීවේ මාලා හමුවේ රජකම පයේ පෑගෙන දුවිල්ලක් තරමටවත් නොවටිනවා කියාය.

එක්තරා දිනයක අනුරාධපුර දුටුගැමුණු මාලිගය ඉදිරිපිට දැක ගන්නට ලැබුණේ කිසියම් පිරිසක් විසින් හොර රහසේ ගෙනවිත් තබා ගොස් තිබුණු ශෛලමය පුවරුවක නෙළන ලද මිථුන රූපයකි. එම මිථුන කැටයමේ පුරුෂයාගේ රුව සාලිය කුමාරයාගේ රුව හා සමාන විය. මේ පුවත දැන ගත් රජතුමා සහ බිසව එතනට ගොස් එම කැටයම නරඹා මාළිගාවට පැමිණියේ ඉතාමත් ශෝකයෙන් යුතුවය. එයට හේතු වූයේ සාලිය කුමාරයාගේ මේ අසම්මත වූ පේ‍්‍රමය නොව, මෙම අලජ්ජි ක‍්‍රියාව කළවුන් කවුදැයි ඔහු තේරුම්ගත් නිසාය.

ඔහු සිය මලණුවන් වූ සද්ධාතිස්සයන් මහ වාසලට ගෙන්වා හොඳ හැටි දෝෂාරෝපණය කළේය. තම සුළු පියාණන්ගේ දරුවන් වූ තමාගේත් සොහොයුරන් වූ කුමාරවරුන්ගේ රජකම ලබාගැනීමට කෑදර සිතින් කරන ලද මේ නින්දිත වූ ක‍්‍රියාව ගැන කළකිරුන සාලිය යුව රජ කුමරා සිය පියාණන් හමුවට ගොස් වැඳ එකස්පස්ව සිට මෙසේ කීවේය.

”පියාණනි, මට සමාවෙන්න.... මට ඔබතුමාට යමක් පවසන්න අවසරද ?...”

”ඔව්.... කියන්න ඇති දෙය නොවලහා කියන්න පුත ....”

”පියාණනි..... ඔබ තුමා ගෙන් පසු මෙරට රජකම හිමිවන්නේ මට බව මේ රට සෑම වැසියකුම දන්නා කාරණයක්.... ඒත් පියාණනි....ථූලත්‍ථන අයියා සමඟ එක්වුනු ලජ්ජතිස්ස, ඛල්ලඨනාග අයියලා දෙන්නා ඔබතුමාගෙන් පසු රජකිරුළ ලබාගන්න නොයෙක් විධියේ වැරදි ක‍්‍රියාවන් සිද්ධ කරනවා.... මේ සිද්ධ කරලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. මේ රටම දන්නවා මේක කෙරුවේ කවුද ?... ඒ ඇයිද ?.... කියලා. මේක මගේ නොව ඔබතුමාගේ කීර්ති නාමයටත් කැළලක්. ඒ වගේම අනාගත රජකමටත් කැළලක්...... පියතුමනි, මට සමාවෙන්න......මම තීරණය කළා අනාගත රජකම පමණක් නොව දැන් මට පවරා තිබෙන යුව රජකමද පසෙකට දමා හෙල්ලෝලිගම ගම් නායකයාගේ දුව කරකාර බැඳ ගෙන ඒ පළාතෙම පදිංචිවී ගොවිතැන් බත් කර ජීවත් වෙන්න.....පළාතම බත බුලතින් සශ‍්‍රික කරන්න. පියාණනි, මගේ තීරණයට විරුද්ධ වෙන්න එපා..... මට ඒ සඳහා අවසර දෙන්න. ඔබතුමා ගෙන් පසු රජකම මගේ සුළු පියාණන්ට පවරන්න......”

සිය පුත් වූ සාලිය කුමාරයාගේ කතාවට හොඳින් සවන් දුන් රජතුමා නළලේ අත ගසා ගෙන මොහොතක් වෙලා කල්පනා කළේය. රජතුමා සාලිය කුමාරයා ඇමතුවේය.

”පුත සාලිය.... ඔබ ගෙන ඇත්තේ ඉක්මන් තීරණයක් බව පෙනේ.....නැවතත් හොඳින්  සිතා බලා තීරණයක් ගැනීම නොවෙද හොඳ...?..”
”නැහැ පියාණනි,.... මම මේ තීරණය ගත්තේ හොඳින් සිතා බලා.... රජ කිරුළට වඩා මට ඒ චංඩාල දෘහිතාව වටිනවා..... බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ඔබතුමාට වැටහෙනවා නොවෙද.... චංඩාලයන් කවුද යන වග....?.

”හොඳයි..... පුත.... ඒ ඔබේ තීරණය නම් මම එයට කිසිවිටකත් විරුද්ධ වන්නේ නෑ...” තමන්ගේ  අතිජාත පුතනුවන් වූ සාලිය කුමාරයා ගත් නොසැලෙන තීරණයට දුටුගැමුණු රජතුමා පමණක් නොව සාලිය කුමාරයාගේ මෑණියන් වූ නාග ගෝත‍්‍රික කුමාරිය ද ආශීර්වාද කළෝය. කුමාරයා නැවතත් රජතුමා ඇමතුවේය.

”පියාණනි.... මට තවත් ඉල්ලීමක් තියනවා.... ඒ මගේ අවසාන ඉල්ලීමයි.... එයද ඔබතුමා ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.....”
”ඔව්..... පුත කියන්න.... මට ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ..... ඔබ අනාගත රජකම අතහැර දමා හෙල්ලෝලිගම අසෝක මාලා විවාහ කර ගත්තත්.... රටම දන්නවා, ඔබ මගේ පුතනුවන් බව. මේ කල්පය පවතින තාක් මේ රටේ වැසියෝ ඔබ මගේ පුතනුවන් බව දන්නවා.... ඒ නිසා නොවලහා කියන්න ඔබගේ ඉල්ලීම කුමක්ද කියා.....”

”ඔව්.... පියාණෙනි, ඔබතුමාටත්.... මටත් කැළලක් වුනත්.... ඒ මූර්තිය ඉතාමත් අගනා නිර්මාණයක්... දක්‍ෂ ගල් වඩුවෙකුගේ උසස්ම වූ කලා කෘතියක්..... ඒ නිසා මේ ශෛලමය කැටයම අද පමණක් නොව අනාගතයේදීත් ලෝකයාටම දැක ගැනීමට සාලිය අසෝක මාලා පෙම් පුවත දැන ගැනීම සඳහා මාලාත් මමත් මුණ ගැසුන රන්මසු උයනේම සවි කරන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා....”

”ඔව් ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවි.....”

සඳුන් ගසක එති සමන් ලතාවක මෙන් ඔවුන් ආදරයෙන් බැදෙත්දී.... ස්ථිර ආලය නිසාම හෙල්ලෝලිගම මාලා නම් වූ චංඩාල දෘහිතාව නිසා ..... දුටුගැමුණු පුත් සාලිය කුමාරයා සිය රජ සැප සමඟ රජ කිරුළද හැර දමා නව දිවියක් ගත කරනු පිණිස සඳළු තලයෙන් බිමට බැස මාලාගේ අත ගත්තේය.

සාලිය අසෝක මාලා පෙම් පුවත  කාලයේ වැලි තලාවෙන් වැසී ගියත්...පස්වැනි සියවසේ අනුරාධපුර ගල් වඩුවන්ට ඒ අසහාය පෙම් පුවත කාලයේ වැලි තලාවෙන්  වසා දැමීමටවත්..... අමතක කර දැමීමටවත් නොහැකි විය. මේ ශෛලමය මිථුන රූපය ඉහත සියවසට අයත් වුවත්, එය නිර්මාණය කළේ සාලිය කුමාරයා ජීවත් සිටි අවස්ථාවේද?... නොඑසේ නම් ඔවුන් මිය ගොස් කලකට පසුද කියන්නට නොහැකිය. ඒ කෙසේ වුවද... ස්ථිර ආදරයේ බල පරාක‍්‍රමය අනාගත පරපුරටත් දැක බලා ගත හැකි අන්දමින්, හෙවත් ඉර හඳ පවතිනාතාක් කල් සදා පවතින්නට ඔවුන් සාලිය අසෝක මාලා පෙම් යුවළ ගල් පුවරුවේ නෙළුවේය.  ඒ අනභිභවනීය අපූර්වතම නිර්මාණය  රන්මසු උයනට යාබද ඉසුරුමුණි විහාරස්ථ පොකුණෙහි ගල් බැම්මේ සවිකළේ අනාගත පරපුරට දැක බලා ගැනීම පිණිසය. අව්වට වේළෙමින්, වැස්සට තෙමෙමින් කාලයාගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වුණු ඉසුරුමුණි පෙම් යුවළ අද අව්, වැසි සුළං තර්ජනයෙන් බේරාගැනීමට ඉසුරුමුණි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත්තේ විශේෂ රැකවරණය යටතේය.

 සාලිය x අසෝක මාලා පෙම් පුවත  යි  ඉසුරුමුණි මිථුන රූපයේ කතාවයි මෙයින් නිමා වේ.


(සාලිය අශෝක මාලා පේ‍්‍රමපුවත පසුබිම් කරගෙන ලියැවුණු නව ප‍්‍රබන්ධයකි)

 

ජයන්ත විජේරත්න හේරත් - රත්නපුර