රට තුළ ගිනියම්වී ඇති වර්ජන රැල්ල නීති ක්‍ෂේත‍්‍රයේ සීතල අරගලය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ප‍්‍රබලයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ මතවාදයි මේ.

 

ආණ්ඩුවක් මේ තරම් හිතුවක්කාරී වෙන්න නරකයි

ප‍්‍රශ්නය:- එජාපය තුළ තිබූ ඇතුළේ අර්බුදය නිමාවෙමින් තිබුණත් පසුගිය පළාත් සභා තුනේ ඡන්දයේදී ආණ්ඩුවේ ඡන්ද අඩුවී එජාප ඡුන්ද වැඩි වුණත් එජාපය එතැනදීත් පැහැදිලි පරාජයක් ලැබීම ගැන ඔබ මොකද කියන්නේ?. පිළිතුර:- බැලූ බැල්මට මතු පිටින් ආණ්ඩුව ජය ගත්තා වගේ පෙනුනත් ප‍්‍රතිඵල විග‍්‍රහ කිරීමේදී ආණ්ඩුව විශාල පසුබෑමකට ගිහින්. එජාපය ඉදිරියට ගොස් ඇති බව පැහැදිලි වෙනවා. ගිය මහා මැතිවරණයට වඩා ආණ්ඩුවේ ඡන්ද 61,420 ක් මේ පළාත් තුනේදී අඩුවෙලා. එජාප ඡන්ද ප‍්‍රතිශතයක් ලෙස 25% සිට 35% ඉක්මවා වැඩිවී තිබෙනවා. වැදගත්ම කාරණාව තමයි ඔය පළාත් තුනේ ආණ්ඩුවට එරෙහිව ඡන්ද 51% ක් ලැබෙන විට ආණ්ඩුවට ලැබී තිබුණේ 48% ක් පමණක් වීමයි. ආණ්ඩුව දැන් ගිනි ගනිමිනුයි ඉන්නේ. මේ ඡන්ද පැවැත්වූවේ ස්වාධීන කොමිෂන් ක‍්‍රියාත්මක කළ 17 වැනි සංශෝධනය අහෝසි කරල ඒකාධිපති 18 වැනි සංශෝධනය ගෙනැවිත්. ඒ අසාධාරණ වට පිටාව තුළයි. ඒ නිසා පොලිසිය රාජ්‍ය සේවය, මැතිවරණ දෙපාර්තමේන්තුව ක‍්‍රියා කරන්නේ ආණ්ඩුවට හා ජනාධිපතිට  ඕනෑ විදියටයි. මේ සියලූ අංශ ආණ්ඩුවට වාසි ලෙස මැතිවරණය මෙහෙයවූ අයුරු අපි ඇස් දෙකෙන්ම දැක්කා. සමහර පොලිස් ස්ථාන, රජයේ කන්තෝරු සන්ධානයේ මැතිවරණ කාර්යාල ලෙසයි ක‍්‍රියා කළේ. බර්ටි පේ‍්‍රමලාල් කියලා තිබුණා ඡන්දය දවසෙත් එස්.එම්. රංජිත්ලා උදලූ තල බෙදුවා කියලා. උදලූයි දෑකැතියි, වතුර මෝටර්, වතුර ෆිල්ටර්, මදුරු දැල්, හට්ටි, වළං, පිඟන්, කෝප්ප, සෙල්ලම් බඩු බෙදලා ගොවියාට රු. ලක්ෂයක වන්දි දෙනවා කියලා. අන්දලායි මේ ඡන්දය ආණ්ඩුව ජයගත්තේ. සිල්ලර බඩුවලට හා රැවටිලිවලට අහු වූ ජනතාවට උතුර දකුණ සොයා ගන්න බැරුවයි දැන් ඉන්නේ. රැවටුණු ජනතාවට හුළං. මැතිවරණ කොමසාරිස්ට පවා මම කිව්වේ සම ක‍්‍රීඩා පිටියක ඡන්ද පවත්වන්න කියලයි. මොකද එක ක‍්‍රිකට් ටීම් එකකට 11 දෙනෙකුයි අනිත්පැත්තට ඊට වැඩි පිරිසකුයි ක‍්‍රීඩා කරන ක‍්‍රමයක් නැහැ. ඒත් මෙතැන සිදුවෙන්නේ ඒ වගේ වැඩක්. සම පිටියක ඡන්ද තිබ්බොත් විතරයි ඒක සාධාරණ ඡන්දයක් වෙන්නේ. අපි පාසල් යන කාලේ අනිල් මුණසිංහ මහතා ලංගම සභාපති කමෙන් ඉවත්වී අගලවත්තට තරග කළා. බස් එකක් ඡන්ද වැඩට යොදාගත් නිසා ආසනය අහිමි වුණා. ඒත් අද රජයේ වාහන 500 කට වඩා මේ ඡන්දවලදී ආණ්ඩුව වෙනුවෙන් යොදවා ගත්තා. කිසිම දඬුවමක් නැහැ. පහත් විදියට ඡන්ද පවත්වන රටක් බවට ලංකාව දැන් පත්වෙලා.

 

ජාතික ආදායමෙන් 96% ක් ලෝකෙට ණය පොලී ගෙවනවා

ප‍්‍රශ්නය:- ආණ්ඩුව විසින් බලය, රාජ්‍ය සම්පත් පාවිච්චි කරලා ජනතාව අන්දලා හරි ඡන්ද දිනීම කරනවා නම් ඒකත් ඔවුන්ගේ හැකියාව නේද? පිළිතුර:- ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එහෙම කරන්න බැහැ. ඒකාධිපති අන්ත දුෂිත රටවල්වලයි මේ වගේ දේවල් සිදුවෙන්නේ. අද රටේ නීති ක‍්‍රියාත්මක වීමක් නෑ. දේශපාලනයට  ඕනෑ දේ තමයි නීතිය ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ. ගමේ අසරණ මිනිහා හැම අතින්ම පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ඔවුන් ගමේ පොලිසියෙන්, නිලධාරීන්ගෙන්, දේශපාලකයාගෙන් පීඩනයට පත්වෙනවා. ඒ එක්කම මේ ගමේ මිනිස්සු හිටියාටත් වඩා දුප්පත්වෙලා දැන් ඉන්නේ. එහෙම අය ආණ්ඩුවෙන් දෙන පොඩි පොඩි තෑගිවලටත්, බොරු පොරොන්දුවලටත් රැවටෙනවා. ගෙඟ් ගහගෙන යනකොට පිදුරුගහෙත් එල්ලෙනවා කියන්නේ ඒකටයි. නොමිලේ පොහොර දෙනවා. ඒ බාල පොහොරවල ආසනික් තිබෙනවා. වකුගඩු රෝග පැතිරෙන්නේ ඒකයි. ඒත් ජනතාව සිල්ලර තෑගි බෝගවලට රැවටෙන තරම් අසරණ වෙලා අද ඉන්නේ. විපක්ෂයට තෑගි බෝග දෙන්න ක‍්‍රමයක් නැහැ. ඒකයි දුප්පත්කමේ ගැලූණු මිනිස්සු සුළු තෑගිවලට රැවටිලා ඡන්දය ආණ්ඩුවට දුන්නේ.   ප‍්‍රශ්නය:- නැගෙනහිරදී ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 02 ක් ලැබෙද්දී විපක්ෂයට 04 ක් ලැබුණත් ආණ්ඩුව පළාත් සභාවේ බලය අල්ලා ගැනීම ගැන එජාප ස්ථාවරය කුමක්ද? පිළිතුර:- මේ ආණ්ඩුව ජන මතයට කිසිසේත්ම සලකන්නේ නැති බව හා සුළු ජාතීන්ගේ අයිතීන්ට කිසිසේත්ම සලකන්නේ නැති බවයි. එතැනදීත් ආණ්ඩුව පෙන්නුම් කළේ. ජනතාව මේ ආණ්ඩුවට ලබාදුන් බලය ජනතාවට එරෙහිව මේ වගේ පහත් ලෙස පාවිච්චි කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ ඉඳල නෑ. අනික මුස්ලිම් කොංග‍්‍රසය මැතිවරණ කාලේ ආණ්ඩුවට විරුද්ධව කතා කරලා මුස්ලිම්වරු තුළ තිබූ ආණ්ඩු විරෝධය හරහා ඒ ඡන්ද ලබා ගත්තා. පසුව ඒ නායකයන් තම සුඛ විහරණය සඳහා මුස්ලිම්වරු ආණ්ඩුවට විකුණුවා. ඇත්ත ඒකයි. හකීම් විපක්ෂයේ ඉන්න කාලේ 17 සංශෝධනය වර්ණනා කරමින් ආණ්ඩුව ඒක අහෝසි කිරීම ගැන ලොකුවට කතා කළා. දැන් 17 නෙවෙයි ඒකාධිපති 18 හොඳයි කියලයි එයා කියන්නේ. මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් හා හෘද සාක්කියක් නැතිවීමයි පුදුමය වෙන්නේ.   ප‍්‍රශ්නය:- උතුරු මැද පළාත් සභාවේ සභාපතිකමට පත්වුනේ ආණ්ඩුව යෝජනා කළ අය නොව එජාපය යෝජනා කළ පුද්ගලයායි. ඔබේ ප‍්‍රතිචාර. පිළිතුර:- මින් පැහැදිලි වෙන්නේ සන්ධානය තුළ අද ඇති දෙකඩවීම හා බිඳ වැටීමයි. පළාත් සභා තුළ නෙවෙයි මේ තත්ත්වය පාර්ලිමේන්තුව තුළත් තිබෙනවා. ඒක පුපුරා යන්නේ මෙහෙම නෙවෙයි. මොකද මේ ආණ්ඩුව කරන ගසා කෑම් ජනතාව ඇන්දවීම සංවර්ධනයේ නාමයෙන් කරන ප්‍රෝඩාව ජනතාවට සහන නොදීම නීතිය කැලේට දැක්කවීම වෘත්තීය සටන් මර්දනය කැපිලි කෙටිලි ආදී පහත් වැඩ ගැන ආණ්ඩුවේ ඉන්න හෘද සාක්ෂියක් ඇති හැමෝම හොඳටම කළ කිරිල ඉන්නේ. ඒක යම් වෙලාවක පුපුරා යනවාමයි. අද ආණ්ඩුවේ මැති ඇමැතිවරු කී දෙනෙක් පස්සෙන් බුද්ධි අංශ දාල තියෙනව ද කියලා ඇමැතිවරුමයි කියන්නේ.   ප‍්‍රශ්නය:- අද මේ රටේ සංවර්ධන වේගය 08% ක් ය. ඒක පුද්ගල ආදායම ඩොලර් 2700 ක්ය, විදෙස් ආයෝජකයො, සංචාරකයෝ හුඟක් එනවාය ආදිය ආණ්ඩුව කිව්වත් ජීවිත පරදුවට තබා තම අතදරුවන් සමග පවා ජනතාව අනාරක්ෂිත මාළු බෝට්ටුවලින් දියුණු රටවලට පැන යාමේ සමාජ හා ආර්ථික පසුබිම ගැන එජාපය මොකද කියන්නේ? පිළිතුර:- ආණ්ඩුව කියන ආර්ථික කතා ආශ්චාර්යය කතා පට්ටබල් බොරු බව ජනතාව දැන් දන්නවා ආණ්ඩුව ඔය කියන සංවර්ධනය හා රටේ ආර්ථික දියුණුව ඇත්ත නම් ඒවා ජනතාවගේ සාක්කුවට දැනෙන්න  ඕනෑ. ඒත් අද එදා වේල කන්න බැරි බඩගිනි ජනතාවක් ඉන්නේ. ඒ මදිවාට රට තුළ සුළු ජාතීන්ට සැලකීමක් නෑ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ. මාධ්‍ය නිදහස නීතියේ ස්වාධීන බව නෑ, පැමිණිලිකරු අන්තිමේ විත්තිකරු බවට පත්වෙන පහත් පසුබිමක් රටේ තියෙන්නේ. අර ගුටිකාපු මේජර්ට වුණෙත් ඒකයි. අනික සුදු වාහනවලින් අතුරුදහන් කරනවා. රැකියා නෑ. මහින්ද චින්තන පොතේ තියෙන්නේ එක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කම්හලක් හදලා රැකියා 500 ක් දෙනවා කියලයි. එහෙම දෙයක් කරලා තියෙනවද? සරසවි ඇදුරන් පාරට දාලා උගතුන් තකන්නෙ නැති නිදහස් අධ්‍යාපනය අවුල් කරන පිස්සුම නටන ආණ්ඩුවක් යටතේ කනත්ත මිසක් මොන ආශ්චාර්යද? කියල තේරෙන නිසයි මිනිස්සු දේපොළ පවා විකුණලා ජීවිතයත් එපා කියලා රට යන්නේ. අහුවෙන අය කූඩුවේ දානවා මිසක් මේ සමාජ ආර්ථික ප‍්‍රශ්නයට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑ. ඛේදවාචකය ඒකයි. ආණ්ඩුව ජනමාධ්‍යවලින් පෙන්වන ආශ්චර්ය කිසිදා නොලැබෙන බව දන්න නිසයි ජනතාව අද රට යන්නේ. අද මේ රටට සංචාරකයො එනවා. ඒක ඇත්ත. ග‍්‍රීසිය තුළ හැමදාම සංචාරකයො ලක්ෂ 10 ක් ඉන්නවා. ඒත් අද ලෝකයේ ලොකුම ආර්ථික අනාථයා ග‍්‍රීසියයි. අනික අද මේ රටේ ණය වාරික හා පොලී ගෙවන්න ලංකාවේ ජාතික ආදායමෙන් 96% ක් වැය වෙනවා. රටේ ආශ්චර්ය ඒකෙන්ම පේනවා. ඒත් අනිත් වැඩ කරන්න ආණ්ඩුව අතපය දිග ඇරලා රටයි ජනතාවයි උගස් කරලා ණය ගන්නවා. ණය අරන් නිවැරදිව ආයෝජනය කරනවා නම් කමක් නෑ. ගසාකන එක කිරීමයි ගැටලූව වෙන්නේ. එජාපය මහවැලිය හදන්නත් එදා ණය ගත්තා.  ඒත් වසර 5-6 කින් ඒ මුදල සොයා ගත්තා. අද ගන්නා ණය වලින් 30% ක් ගසාකෑමට ලක්වෙනවා. ජනතාව අනාථ වෙන්නේ ඒ තුළයි. මිනිස්සු රට පනින්නේ ඒකයි. එදා මහවැලියෙන් ලාභ ලැබුවාට අද හම්බන්තොට වරාය, නොරොච්චෝලේ විදුලි බලාගාරය අධිවේග ඇතුළු හුඟක් දේ අලාභයි. ඒත් සමහරුන්ගේ සාක්කුවලට හොඳයි. මහවැලියෙන් අක්කර ලක්ෂ 05 ක් අස්වැද්දුවා. ජල විදුලිබලාගාර 06 අදත් හොඳට වැඩ. ඒත් අද හම්බන්තොට වරායට නැව් නෑ. නොරොච්චෝලේ අවුරුද්දට දහ පාරක් කැඩෙනවා. 30% ක් ගසා කන්න පුළුවන් දේවල් ආණ්ඩුව කරන්නෙ රටම ජනතාවට පාඩු වුණත් තමන්ට පාඩු නැති නිසයි. රටේ ආර්ථිකය සමෘද්ධිමත් නම් විරැකියාව අඩුවෙලා නම් ආශ්චර්ය අත ළඟ නම් ජනතාව මෙහෙම රට යාවිද? අනික රට යන්නේ දෙමළ අය විතරක් නෙවෙයි සිංහල මුස්ලිම් අයත් ඉන්නවා. රටේ ආර්ථික හා සමාජ ඛේදවාචකය ඊට හේතුවයි. දිනකට 11 ක් දිවි නසා ගන්නවා. දින 4 කට වරක් එක් අයෙක් අතුරු දහන් වෙනවා. ඉතින් මිනිස්සු ඉඳීවිද? 8000 ක් අතුරුදන්වී ආගිය අතක් නෑ. ලලිත්-කූගන් කෝ?

 

අධ්‍යාපනයට 6% දෙන්න ආණ්ඩුවට බැරි ඇයි?

ප‍්‍රශ්නය:- අද නීති ක්‍ෂේත‍්‍රය තුළ විශාල සීතල අරගලයක් තිබෙන තරම්. නීතිඥයෙකු වූ ඔබ මේ සංවාදයට එක්වන්නේ කවර ආකාරයෙන්ද? පිළිතුරු:- අද නීතිය කැලේ දක්කන පසුබිමක් තියෙන්නේ. කවුරුත් ඊට එරෙහිව දිවි හිමියෙන් ක‍්‍රියා කළ යුතුයි. ජන මාධ්‍ය ඒ සඳහා පෙර මුණ ගත යුතුයි. උසාවියට ගල් ගහලා විනිශ්චයකාරවරුන්ට තර්ජන කරලා තීන්දු වෙනස් කරන්නට බලපෑම් කළ ඇමැතිවරුන්ට දඬුවමක් නැහැ. ගාල්ලේ පාසලක ළමයි විදුහල්පතිට ගල් ගහලා වාහන කුඩු කළේ ඒ ආදර්ශ තුළයි. රටේ අවනීතියට ආණ්ඩුවයි මුල් වුණේ. දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නම් පළාත් සභාවලින් අවසර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා. පළාත් සභා වලට අයත් විෂයන් 29 ක් දිවි නැගුම පනත හරහා යළි මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා නම් පළාත් සභාවලින් අවසර ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. මේක ආණ්ඩුවට රිදුනා. අධිකරණය හීලෑ කරගන්න හිතුවේ ඒකයි. ඒ අනුව ජනාධිපති ලේකම් අධිකරණ සේවා කොමිසමට ලිපියක් යැව්වා ජනාධිපති හා සාකච්ඡාවකට එන්න කියලා. සාකච්ඡා කරන්නේ මොනවාදැයි නොදන්වා ඒ කොමිසමේ නිලධාරීන් සාකච්ඡාවකට කැඳවීමම අධිකරණයට ඇඟිලි ගැසීමක්. අධිකරණයේ ස්වාධීනත්වයට අකුල් හෙළීමක්. මොකද අධිකරණ සේවා කොමිසම ස්වාධීන එකක්. කාටවත් යටත් නෑ. ඒකට සාමාජිකයො පත් වෙන්නේ අග‍්‍රවිනිශ්චයකාරතුමාගේ නිර්දේශ තුළයි. කොමිසමේ අය අග‍්‍රවිනිශ්චයකාරතුමිය හා සෙසු විනිශ්චයකාරවරු සාකච්ඡාවට ආවෙ නෑ. කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා අදීන අවංක කෙනෙක්. ඔහු මේ ගැන නිවේදනයකුත් නිකුත් කළා. ඒ නිසා ඔහුට ගුටිකන්නත් සිදුවුණා. අපට බලපෑම් එනවා කියලයි ඉන් කියවුණේ. අධිකරණය රැක ගැනීම ජනතාවගේ වගකීමක්. දැන් ආණ්ඩුව කියනවා අපි අධිකරණයට ඇඟිලි ගහන්නෙ නෑ කියලා. ඇඟිලි ගහන්නයි 17 වළදාලා ආණ්ඩුව විසින් 18 සංශෝධනය ගෙනාවේ.   ප‍්‍රශ්නය:- දිවි නැගුම පනත සියලූ පළාත් සභාවලින් සම්මත විය යුතු වුවත් උතුරු පළාත් සභාවක් නැතිවීම ගැටලූකාරී නැද්ද? පිළිතුර:- විශාල ගැටලූකාරී තත්ත්වයක් එතැන තියෙන්නේ. උතුරු පළාත් සභාව නැති නිසා ඒ ආණ්ඩුකාරයා අත්සන් කළාම ඇති කියලා ආණ්ඩුව කියනවා. ඒක සම්පූර්ණ වැරදියි. ආණ්ඩුකාරයා ජනතාව පත්කළ කෙනෙක් නෙවෙයි. මෙහෙම වැරදි විදියට පනත් සම්මත කරන්න ගියොත් ඒ හරහාත් රටේ නීතිය වල් වැදේවි. මේ ගැන නඩු රැසක් ආණ්ඩුවට විරුද්ධව වැටේවි. අනික එක පළාත් සභාවකින් හෝ දිවි නැගුම පනත පරාද වුණොත් පනත ඉවරයි. පළාත් සභාවලට අයිති විෂයන් 29 ක් දිවි නැගුමට අයිතියි. ඒ නිසා ආණ්ඩුව බලය බෙදලා සුළු ජාතීන්ට සාධාරණය ඉටු කරන බව කතාවට කිව්වට දීපු බලයක් යළි මධ්‍යම ආණ්ඩුවට අරන් සමෘද්ධි සල්ලි වලටත් වැඬේ දෙන්නයි ආණ්ඩුව හදන්නේ. සමෘද්ධි නියාමකයන් හා සමෘද්ධිලාභීන් මේ පනත තුලින් අනාථ වෙනවා. ඔවුන්ට තාම මේක තේරෙන්නෙ නෑ.   ප‍්‍රශ්නය:- සරසවි ආචාර්ය මණ්ඩල අවුල නිම තවම නොවීම ගැටලූකාරී නැද්ද? පිළිතුර:- ආණ්ඩුවක් මේ තරම් හිතුවක්කාරී වෙන්න නරකයි. මේ ප‍්‍රශ්නයේදී එජාපය දේශපාලන වාසි ගත්තෙ නෑ. නිදහස් අධ්‍යාපනය රැකගැනීමටත්, 06% ක මුදලක් ඊට වෙන් කිරීමටත්, ඇදුරන්ගේ වැටුප් ඉහළ දැමීමටත් එජාපය එකඟයි. ආචාර්යවරු රට යාම වළකන්න ඉහළම වැටුප් දීම අත්‍යවශ්‍යයයි. අනික යුද්ධ කාලේත් 03% ක් අධ්‍යාපනයට වෙන් කළා. දැන් ඒක 1.8% ට බස්සලා. ඊළඟ අයවැයෙන් එක 1.5% ට තවත් බැස්සීම අනාගත පරපුර වැනසීමක්. ආරක්ෂාව හා නාගරික සංවර්ධනයට 9.5% ක් වෙන් කරන ආණ්ඩුව අධ්‍යාපනයට 06% ක් වෙන් කරන්න මැලි ඇයි කියලයි අපි අහන්නේ.

 

එජාප උප සභාපති, මහනුවර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග