සටහන - චමින්ද මුණසිංහ

ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන. රටේ ඇතිව තිබෙන වෙනසත් සමග මේ තත්ත්වයේ වෙනසක් පිළිබඳව බලාපොරොත්තු තැබීමට හැකිය. ආයෝජකයන්ට ආර්ථිකයේ අනෙක් අංශවලට විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකි වාතාවරණයක් රටේ නිර්මාණය වෙමින් පැවතීම සුබවාදී තත්ත්වයකි. 

ආර්ථිකය සහ භූ දේශපාලනය ද මෙතැනදී අවධානය යොමුවිය යුතු කරුණකි. ආර්ථික වර්ධනය බටහිර සිට ක්‍රමයෙන් ආසියාව දෙසට ගමන් කරමින් පවතින ආකාරය එහිදී දැක ගන්නට පුළුවන. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දීයාව යන රටවල් තම ආර්ථික සැලසුම් වෙනස් කරගෙන ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට යොමුවීම එයට හේතුවය. චීනය මෙතැන දී ප්‍රමුඛ බව අමතක නොකළ යුතුය. වසර 2050 පමණ වනවිට ලෝකයේ බලවත්ම ආර්ථික වන්නේ චීනය බව විශ්ලේශකයන්ගේ අදහසය. දෙවැනි තැන ඇමරිකාවට හිමිවනු ඇතැයි ඔවුහු පවසති. තුන්වැනි ස්ථානය ඉන්දියාවටත් හතරවැනි ස්ථානය ජපානයටත් යනාදී වශයෙන් ආසියාතික රටවල් ඉදිරියට එන බවට ලක්ෂණ පෙන්නුම් කර තිබේ. 
මේ ආකාරයට ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාවට යොමු වන්නේ ඉහතකී රටවල් ආර්ථික සැලසුම්වල කළ වෙනස්කම්ය. ඒ වගේම ඔවුන් සතු මානව සම්මත මේ වර්ධනයට බලපෑ අනෙක් ප්‍රධාන කරුණය. ලෝකය ගමන් කරන ආකාරය, දේශපාලනික, සමාජීය වශයෙන් හැසිරෙන ආකාරය බටහිරටම කේන්ද්‍රවී තිබුණි. ‘ලෝක බලවතුන්’ බටහිරින් ආසියාවට මාරුවන විට නැතිනම් ආසියානු  රටවල් ලෝක බලවතුන් බවට පත්වන විට ලෝක ක්‍රමවේදය (අදරකා දාැර) ද වෙනස් වනු ඇත. ආර්ථික සහ දේශපාලන බලවතුන් ක්‍රමයෙන් ආසියව දෙසට ගමන් කරනවිට එයට ගැළපෙන ලෙස අප වෙනස්විය යුතු ආකාරය සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. නවීකරණය යනු බටහිකරණය නොවන බව අප මීට පෙර ලිපියකින් සාකච්ඡා කළෙමු. එම කරුණ මෙමගින් තවදුරටත් තහවුරු වනු ඇත. නවීකරණය පිළිබඳව නැතිනම් මේ වෙනසත් සමග ඉදිරියට යාම සම්බන්ධව නිදහස්ව සිතීම අවශ්‍යය. 
ආසියාකරයේ ඇතිවන ශීඝ්‍ර ආර්ථික වර්ධනයෙන් ලංකාවට ප්‍රයෝජනයක් ගන්නේ කෙසේදැයි දැඩිව සැලකිල්ලට ගත යුත්තකි. ඉන්දියාව, චීනය, වියට්නාමය යන රටවල මිනිස් සම්මත සෑහෙන පමණ තිබේ. බංගලාදේශය ද මෙයට උදාහරණයකි. එහෙත් ලංකාවේ අපට එම මිනිස් සම්පත නැත. මෙතැන දී මිනිස් සම්පත වශයෙන් අදහස් කෙරෙන්නේ ජනගහනයයි. එනිසා අපේ මිනිස් සම්පත පවතින්නේ කුමන ආකාරයකින් දැයි සොයා බැලිය යුතුය. පවත්නා වාතාවරණය යටතේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ආසියානු වර්ධනයෙන් උකහා ගැනීමට නිෂ්පාදන කර්මාන්තය යොදා ගැනීමට හැකිවන්නේ නැත. එනිසා ඉන් ඔබ්බට ගිය ක්‍රමවේද කෙරෙහි අවධානය යොමන්නට සිදුවනු ඇත. 
දැනුම මුල් වූ ආර්ථිකයක් කරා යාමට අපට පුළුවන. ආසියාවේ අනෙක් ආර්ථික සමග ඉදිරියට යාමට අපට ඇති හොඳම ක්‍රමවේදයක් වන්නේ එයයි. ලංකාව කෙරෙහි සැමගේම අවධානය යොමුවී තිබෙන්නේ භූගෝලීය වශයෙන් බෙහෙවින්ම වැදගත් තැනක පිහිටා තිබීම නිසාය. භූගෝලීය වශයෙන් රටේ පිහිටීමේ වැදගත් කමේ ප්‍රයෝජනය උපරිමයෙන් ගැනීමටද වගබලා ගත යුතුය. ඒ අපේ ආර්ථිකය දියුණුකර ගැනීමටය. ආසියානු රටවල් දියුණුවීමත් සමග එම රටවල ධනය වැඩිවනු ඇත. මේ නිසා ධනවතුන් සංඛ්‍යාව ද වැඩිවන බව පැහැදිලිය. මධ්‍යම පංතිකයන්ද වැඩිවීම මෙහිදී අනිවාර්යෙන්ම සිදුවන්නකි. මේ පිරිසේ අවශ්‍යතා ආර්ථිකයේ ප්‍රමුඛ අංගයක්වීම වැළැක්විය නොහැක. මුල් කාලයේ බටහිර රටවල් දියුණුවන විට ඔවුන්ගේ සමාජ හැසිරීම ද වෙනස් වුණි. පරිභෝජනය ඉහළ යාම මධ්‍යම පංතියේ වර්ධනයත් සමග ජනිත වන අනිවාර්ය ප්‍රතිඵලයකි. සංචාරකයන් ඉහළ යනු ඇත. 
ආසියානු මධ්‍යම පංතියේ වර්ධනය අපේ ආර්ථිකය දියුණුවට යොදා ගන්නේ කෙසේද? මේ අයගෙන් ආර්ථික ප්‍රයෝජන ගන්නේ කෙසේද?
එය මේ පසුබිමේ අවධානයට ගතයුතු ප්‍රමුඛ සාධකයකි. අපේ රටේ සංචාරක කර්මාන්තය ඉහළම මට්ටමට දියුණු කිරීමට ආසියානු මධ්‍යම පංතියේ වැඩිවීම හොඳ අවස්ථාවකි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාකාරකම් රැසකි. සංචාරකයන් සියලු දෙනාම පැමිණෙන්නේ රට නැරඹීමට පමණක් නොවේ. අපේ නිෂ්පාදන මේ අයට අලෙවි කිරීමේ අවස්ථාව ද තිබේ. ඒ වගේම සංචාරක හෝටල් ව්‍යාපාරය දියුණු වීමට ද මෙය රුකුලකි. වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නෝ මධ්‍යම පාංතිකයෝය. එම වියදම් කිරීමේ හැකියාව වැඩිවන සංචාරක පරිසරයක් ලංකාවේ නිර්මාණය කිරීමෙන් රටට ලැබෙන ආදායම් වැඩිකර ගැනීමට පුළුවන. ඇතැම් දේ සරළ කාරණා වන්නට පුළුවන. එහෙත් ඒවා සුළු කොට නොතකා උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි පරිදි හැඩ ගස්වා ගත යුතුය.
මේ සමගම මුලින් කී දැනුම් ආර්ථිකයට වැඩියෙන් බර තැබිය යුතුය. ආසියාවේ අනෙක් රටවල ආර්ථික දියුණුවන විට දැනුම් ක්ෂේත්‍රයේ අවකාශ පුළුල් වනු ඇත.  එම අවකාශය පිරවීමට අපට යම් දායකත්වයක් ලබාදිය හැකි පරිසරය සකසා ගන්නට පුළුවන. ඒ වගේම රට තුළද දැනුම් ආර්ථියකට පෙළ ගැසෙන ආකාරයේ ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වයක් දිය යුතුය. බොහෝ අංශ ඒ වෙනුවෙන් තවම හැඩ ගැසී නැත. තොරතුරු තාක්ෂණය පරිගණක දැනුම වර්ධනය යනාදී අංශවල නව්‍යතා හඳුනා ගනිමින් ඒවා අපේ ආර්ථික දියුණුවට ඉවහල් වන ආකාරයට යොදා ගැනීමට කටයුතු කරන්නට පුළුවන. දියුණුවන ආසියානු ආර්ථිකවල දැනුමට ඇති අවස්ථා අපේ රටට වාසිදායක වන ආකාරයට විවරකර ගැනීමට අවධානය යොමු කළ යුතුය.
භූගෝලීයව පිහිටීමේ වටිනාකමට නිවැරදිව වටහාගෙන ආර්ථික දෘෂ්ටියෙන් ඒ දෙස බැලිය යුතුය. සිංගප්පූරුව දියුණු වූයේ ඔවුන්ගේ පිහිටීමේ උපරිම ප්‍රයෝජන ලබාගෙනය. ඒ රට දියුණු කළේ වරාය යොදා ගෙනය. ඒ ආකාරයට ප්‍රයෝජන  ගත හැකි වරාය කීපයක් අපට ද තිබේ. කොළඹ, හම්බන්තොට ඒ අතර ප්‍රමුඛය. ත්‍රීකුණාමලය වරායද මෙහිදී වැදගත්කමක් දරන බව පැහැදිලිය. මේ වරාය තුන ආශ්‍රිත කර්මාන්ත පුර බිහි කරන්නට පුළුවන. විවිධ සේවා සපයන මධ්‍යස්ථාන බවට මේවා පරිවර්තනය කිරීමේ හැකියාව තිබේ. සෑම දෙයක්ම සිදු වෙමින් තිබෙන්නේ ලංකාවට වාසිවන ආකාරයටය. ආර්ථිකය බටහිරින් ආසියාවට මාරුවීමත් අපට ඇති සම්පත්, අවස්ථා පාවිච්චි කරන්නේ කෙසේදැයි ගැඹුරින් සිතා බැලිය යුතුය.
කර්මාන්ත කලාප හරහා නිමි භාණ්ඩ වෙළඳ පොළට සැපයීමට අපට පුළුවන. මධ්‍යම පාංතිකයා දියුණු වීමත්  සමග ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වන නිසා ඒ හරහා අපට සෑහෙන වාසියක් ලබාගත හැකිය. මේ අයට අවශ්‍ය භාණ්ඩ සපයන හොඳම මධ්‍යස්ථානය වන්නේ ලංකාවය. පුරාණයේ සේද මාවතෙන් වුයේද මෙම කරුණමය. භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කළ හැකිය. ‘රෝඞ් ඇන්ඞ් බෙල්ට්’ සම්බන්ධව ලෝකය බියවී ඇත්තේ එයට ඇති චීන සම්බන්ධය නිසාය. එහෙත් අප බැලිය යුත්තේ එයින් අපට ගත හැකි ප්‍රයෝජන දෙසය. ආසියාවේ ඇතිවන වර්ධනයක් සමග අප නිසි ලෙස සැලසුම් කළොත් ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව තිබේ. එම අවස්ථාව ගිලිහී යාමට ඉඩ හැරිය හොත් වෙනත් රටවල් ඉන් ඵල නෙළාගනු ඇත. නිසි වෙලාවට නිසි සැලසුමට නිසි තීරණ ගතහොත් සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන. එනිසා මේ අවස්ථාවේ දී හරි ක්‍රමයට සිතා සැලසුම් සකස් කළොත් ආසියාවේ අනෙක් රටවල් සමග ඉදිරියට යන්නට පුළුවන.