ඉතා සංකීර්ණ ප‍්‍රශ්න රාශියකට මුහුණදීමට  ඕනෑම රටක සමාජයකට සිදුවනු ඇත. මේ තත්ත්වයට මුහුණදීමට විවිධාකාර ආයතන පිහිටුවා අදාළ සංකීර්ණ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ උත්සාහයේ සෑම රටක්ම නිරත වනු ඇත. එහෙත් මේ ආයතනවලින් බලාපොරොත්තුවන අරමුණු ඉටු නොවනවිට අදාළ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට එම ප‍්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. උග‍්‍රවනු ඇත. එවිට එය එදිනෙදා ජීවිතයටත් අනාගතයටත් හානිකර ලෙස බලපෑම වැළැක්විය නොහැක.

මේ ආයතන පිහිටුවන්නේ සමාජමය වශයෙන් යම් කාර්යභාරයක් ඒවායෙන් ඉටුකර ගැනීමටය. මේ ආයතන පිහිටුවන්නේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම උදෙසා නොවේ. යමෙක් කුමන ආයතනයක වැඩ කළත් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒවා වැළැක්වීමේ හැකියාවක් නැත. ඒ වගේම ඒවා වැළැක්විය යුතු නැත. ප‍්‍රශ්නය වන්නේ පෞද්ගලික අභිමතාර්ථවලින් ඔබ්බට ගොස් සමාජමය වශයෙන් ලැබිය යුතු ප‍්‍රතිඵල නොලැබෙන විටය. මේ ආයතන දුර්වල වී තිබෙන්නේ ඇයි? එයට බලපා තිබෙන හේතු කවරේද? සමාජ යහපත වෙනුවෙන් පිහිටුවා තිබෙන ආයතන එම සමාජ වගකීම අභිබවා තම පෞද්ගලික අවශ්‍යතා,  ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට පමණක් සීමා වීම මේ දුර්වලතාවට හේතු වී තිබේ.

අධ්‍යාපනය උදාහරණයක් වශයෙන් ගත හැකිය. අධ්‍යාපන ආයතනවලින් අප බලපාපොරොත්තුවන්නේ විශාල සමාජ කාර්යභාරයකි.

එය විවිධ පුද්ගලයන්ට පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදාගත හැකි ආයතනයක් නොවේ. දේශපාලනික ආයතන, අධ්‍යාපනික ආයතන, ආර්ථිකමය වශයෙන් පිහිටුවා ඇති යම් යම් ආයතන තිබේ. විවිධ ආර්ථික අරමුණු ඉටුකර ගැනීමට පිහිටුවා ඇති ආයතන රාජ්‍ය අංශයේ තිබේ. බැංකු, රාජ්‍ය ව්‍යවසාය ආයතන, ප‍්‍රවාහන අංශයේ ආයතන, නීතිය හා සාමය උදෙසා පිහිටු වූ ආයතන, පොදු පහසුකම් සපයන ආයතන, ස්වාභාවික සම්පත් ආරක්ෂාකර ප‍්‍රවර්ධනය කරන ආයතන, තරුණ, ළමා, කාන්තා. වැඩිහිටියන් සම්බන්ධ ආයතන ආදී වශයෙන් සමාජයේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම පිහිටු වූ ආයතන රාශියකි. පළාත් පාලන ආයතන ද රාශියකි. මේ සියල්ලේ අවසාන අපේක්්ෂාව වන්නේ සංවර්ධන කාර්යය ශක්තිමත් කිරීමය.

මේ ආයතන පද්ධතියේ සේවයේ නිරත පිරිස මිලියන 1.5ක් පමණය. එය ශ‍්‍රම බලකායෙන් විශාල පිරිසකි. සමාජමය වශයෙන් කොතරම් ප‍්‍රතිලාභයක් මේ ආයතන පද්ධතියෙන් ලබාගැනීමට හැකි වී තිබේ ද යන ප‍්‍රශ්නය අද වනවිට සමාජය හමුවේ තිබේ. මේ කාරණය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබේ. අප සමාජමය වශයෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තුවන කාර්යභාරය මේ ආයතන පද්ධතියෙන් ඉටුකර ගැනීමට හැකි වී නැත. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විවේචන තිබේ. පළාත් සභා සම්බන්ධව ද ඇත්තේ විවේචනයකි. ඒ වගේම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ විවේචනයකි. දේශපාලනිකව පිහිටුවා ඇති ආයතන සමාජයේ බරපතළ ආකාරයෙන් ප‍්‍රශ්න කෙරෙමින් පවතී. රාජ්‍ය ආයතන සම්බන්ධව බරපතළ විවේචනයක් සමාජයේ පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. කාලයක් තිස්සේ මේ ආයතන ගමන්කර ඇත්තේ පරිහානියටය. ඇතැම් රාජ්‍ය ආයතන බිඳවැටෙන මට්ටමට පරිහානියට ගොසිනි. මේවායෙන් බලාපොරොත්තුවන පරමාර්ථ වෙනුවට හාත්පසින්ම වෙනස් කටයුතු මේ ආයතනවලින් සිදුවුණි.

මේ සමඟම නීතිය හා සාමය සම්බන්ධ ආයතන පිළිබඳව ඇත්තේ ද විවේචනයකි. මේ ආයතනවලින් සමාජය බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවීම මෙසේ විවේචන එල්ල වීමට ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන සාධකයකි. සුබසාධන ආයතන කෙරෙහි මතුව ඇත්තේ විවේචනයකි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය, සමාජ ආරක්ෂණය හා සම්බන්ධ ආයතනවලින් සමාජයට ඉටුවිය යුතු සැබෑ මෙහෙය ඉටුවනවාදැයි ප‍්‍රශ්නයකි. ක‍්‍රීඩා කටයුතු, තරුණ කටයුතු යනාදී සෑම ආයතනයක්ම සමාජයේ විවේචනයට ලක්ව ඇත්තේ ඒවායේ අභිමතාර්ථ සාධනය නොවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

කුමන කෝණයකින් බැලූවත් මෙය ඛේදනීය තත්ත්වයකි. එසේ නම් කළ යුත්තේ මේ ඛේදනීය තත්ත්වයෙන් මිඳීමට කටයුතු කිරීමය. මේ ආයතනවලින් සමාජයට ඉටුවිය යුතු වගකීම්, ප‍්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේද? ඒ සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග මොනවාද යනාදිය ගැන බරපතළ සාකච්ඡුාවක් ඇතිවිය යුතුය. මිලියන 1.5ක පමණ පිරිසක් මේ ආයතන පද්ධතියෙන් කිසියම් ප‍්‍රතිලාභයක් ලබන බව සැබෑවකි. ඔවුන් ලබාදෙන ශ‍්‍රමයට වටිනාකමක් ලැබීම සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත. එහෙත් එය පමණක් ප‍්‍රමාණවත් නැත. එහෙත් මේවායෙන් සමාජයට ප‍්‍රතිලාභ ලබාදීමට නම් ආයතන ප‍්‍රතිසංවිධානය කිරීම, ප‍්‍රකෘතිමත් කිරීම අවශ්‍යය. ඒ වෙනුවෙන් වූ ක‍්‍රියාවලියක් අපට තිබේ ද යන්න ද අවධානයට ගත යුත්තකි. නවීන අදහස් අනුව මේ ආයතන ඔසවා තැබීම අවශ්‍යය. ඒ සමඟම මේ ආයතනවල කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට යම් යම් ක‍්‍රියාමාර්ගවලට යොමුවිය යුතුය. ඒ වගේම මේවායේ කටයුතු ඇගයීම ද වුවමනාය.

අධ්‍යාපනය ගතහොත් ප‍්‍රධාන වශයෙන් අංශ තුනකි. පාසල් පද්ධතිය ඉන් එකකි. විශ්වවිද්‍යාල පද්ධතිය දෙවැන්නය. මෙයට අමතරව වෘත්තීමය වශයෙන් අධ්‍යාපනය ලබාදෙන ආයතන තිබේ. පාසල් පද්ධතිය ගතහොත් එයින් ඉතා පුළුල් කාර්යභාරයක් වේය යන්න බලාපොරොත්තුවය. ළමයින් සහ තරුණයන් සමාජයට වැඩදායක, දැක්මක් ඇති, බුද්ධිමත් පුරවැසියන් හැටියට දායාද කළයුත්තේ පාසල් පද්ධතියෙනි. එහෙත් මේ පරමාර්ථය ඒ ආකාරයෙන්ම පාසල් පද්ධතියෙන් ඉටුවනවා ද යන ප‍්‍රශ්නය සමාජය දෙස විමසුම් සහගතව බලන විට මතුවන ප‍්‍රශ්නයකි. විභාග සමත්කර රැුකියාවක් ලබාගැනීමට අවශ්‍ය කරන පසුබිම සකසනවා හැරුණු විට පුළුල් සමාජ අවශ්‍යතාව පාසල් පද්ධතිය හරහා ගොඩනඟා තිබේද? ජීවන කුසලතා ඔප්නැංවීමට ක‍්‍රියාමාර්ග ගෙන තිබේ ද? ජීවත්වීමට අවශ්‍ය වන්නා වූ කුසලතා පාසල් පද්ධතියෙන් ලබාදීමට පුළුවන.

ලාංකික සමාජය බහුජාතික සහ බහුආගමික පසුබිමක් සහිතය. ඒ නිසාම පවතින්නේ සංකීර්ණ සමාජ පසුබිමකි. සමාජ සංහිඳියාව සම්බන්ධයෙන් කලක පටන් සාකච්ඡුාවක් ද මතුව තිබේ. ජාතික ආගමික සංහිඳියාව අභියෝගයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ සමාජයේ නොයෙක් ප‍්‍රශ්න මතුවුණි. ඇතැම් ප‍්‍රශ්න බෙහෙවින්ම බරපතළ සහ කනගාටුදායක තත්ත්වයට පත් වූ බව මෑත ඉතිහාසයෙන්ම පැහැදිලිය. ඒ නිසා මේ ජාති, ආගම් සමබරතාවකින් පවත්වා ගැනීම අවශ්‍යය. විශේෂයෙන්ම සංහිඳියාව ගොඩනැගීමේදී මේ සමබර තත්ත්වය අතිශය වැදගත් වනු ඇත. මේ වටපිටාව පාසල් පද්ධතිය හරහා ගොඩනංවා ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා වූ අධ්‍යාපනික ක‍්‍රමවේද භාවිතය අනාගතයට අතිශය වැදගත් සාධකයක් වනු ඇත. එහෙත් එවන් දායකත්වයක් පාසල් පද්ධතියෙන් ලැබෙනවා ද යන ප‍්‍රශ්නය තිබේ. ඉතා හොඳ පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිකර ගතයුතුය. මේ සියල්ල ගත්විට අධ්‍යාපනික ආයතනවලින් සමාජමය වශයෙන් අපට ලැබිය යුතු ප‍්‍රතිලාභය.

විශ්වවිද්‍යාල පද්ධතියෙන් බලාපොරොත්තු වන්නේ පාසල් පද්ධතියට එහාගිය පරමාර්ථය. පර්යේෂණ, නව දැනුම සොයා යාම, ඒවා සමාජ සංවර්ධනයට දායක කිරීම විශ්වවිද්‍යාල පද්ධතියෙන් සිදුවිය යුතුය. ප‍්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් මේ කටයුතු සිදුවනවා ද කියාය. විශ්වවිද්‍යාලවලින් එළියට එන පිරිසට පවා පැහැදිලි අනාගතයක් ගොඩනගා ගැනීමේ ප‍්‍රශ්නයක් තිබේ. කෙසේ වෙතත් මේ අධ්‍යාපන පද්ධතියෙන් බලාපොරොත්තු වන්නා වූ සමාජ ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකි වී නැත.

මේ ආකාරයට විවිධ ක්ෂේත‍්‍ර දෙස විමසුම් සහගතව බලන විට ආයතනික පද්ධතිය සමාජයට අවශ්‍ය ආකාරයට හැඩගැසී නැති බව පැහැදිලි වනු ඇත. පෞද්ගලික පරමාර්ථ මේ ආයතන පද්ධතියෙන් ඉටුකර ගත්ත ද සමාජමය වශයෙන් වූ මෙහෙවර නිසිලෙස ඉටු නොවීම බරපතළ කාරණාවකි. ඒ නිසා මේ ආයතන සමාජ මෙහෙවර නිසි පරිදි ඉටුකරන ආයතන බවට පරිවර්තනය කිරීමේ වුවමනාවක් තිබේ. පාර්ලිමේන්තුව හරහා විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිය. රටේ, සමාජයේ පවතින ප‍්‍රශ්න පුළුල්ව සාකච්ඡුා කර තීන්දු තීරණවලට එළඹීමට පුළුවන. ජාතික ප‍්‍රතිපත්ති සකස් කළ හැකිය. මෙය ඉතා වැදගත් වූ කාර්යයකි. අයවැය ගතහොත් ප‍්‍රතිපත්තිමය ගැටලූ තිබේ. රටේ ආර්ථික අතිරික්තය මෙහෙයවන්නේ කෙසේද? මෙය සැලැස්මකට අනුව තර්කානුකූල පදනමක් මත මෙහෙයවූයේ නැත්නම් එම ආර්ථික අතිරික්තය සමාජයට හානිකර අතිරික්තයක් වන්නට පුළුවන. ඒ නිසා මේ ආර්ථික අතිරික්තය සමාජයට ඵලදායක ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුවෙන් මතුවිය යුතුය. එහෙත් අද එවැන්නක් දකින්නට ලැබෙන්නේ නැත. මහා ධනයක් වැයකර දියහැකි සියලූ වරප‍්‍රසාද මේ අයට ලබා දුන්න ද ඒ හරහා සමාජයට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද කියා සිතා බැලිය යුතුය.

පළාත් සභා පළාත් පාලන ආයතනවලින් නිසි වගකීම් ඉටුකරනවා ද? පළාත්වල කටයුතු මෙහෙයවීම ප‍්‍රාදේශීය සංවර්ධනය සම්පූර්ණයෙන්ම පාහේ මේ ආයතනවලින් සිදුවිය යුතුය. පළාත් සභා නවයක් පිහිටුවා ඒ ඒ පළාත්වල කටයුතු මෙහෙයවීමට අවශ්‍ය පසුබිම සකසා තිබේ. ඒ ඒ පළාත්වලට ආවේණික ශක්‍යතා තිබේ. ඒවා හඳුනාගෙන ඒ මත එම පළාත් වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතුය. ඒවා සිදුවනවා ද? පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ද එසේමය. මේවායෙන් සිදුවිය යුතු කටයුතු ගැන වාර්තා  ඕනෑතරම් තිබේ. යෝජනා තිබේ. ඒවා මත මේ ආයතන මෙහෙයවූවා නම් අද මුහුණ දෙන අර්බුද බොහොමයක් නැත. කුණු අර්බුදයක් අද මතුවන්නේ නැත. මේ ආයතන මහජන මුදලින් පිහිටුවා මහජන මුදලින් නඩත්තු කරමින් සිටිය ද ඒවායෙන් බලාපොරොත්තුවන සේවාව අපේක්‍ෂිත මට්ටමින් ලබා ගැනීමට කිසිසේත් හැකි වී නැත. ඒ නිසා මේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය.

අනෙක් සියලූ ආයතන සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එකී කරුණමය. දැනුම මත පදනම්ව තර්කානුකූල පදනමක පිහිටා වෘත්තිකයන් ලවා ආයතන මෙහෙයවීමට ක‍්‍රියා නොකිරීම නිසා ප‍්‍රශ්න රාශියක් ඇති වී තිබේ. පෞද්ගලික බූදල් බවට මේ ආයතන පත්කිරීම නිසා ආයතන අර්බුදයට ගොස් තිබේ. ඒ නිසා මේ ආයතන පද්ධතිය ප‍්‍රතිසංස්කරණයට ලක්කිරීම වුවමනාය. යම් උපායමාර්ගික සැලැස්මක් මේ ආයතනවලට අවශ්‍යය. එසේ නැතිව බලාපොරොත්තුවන සමාජ පරමාර්ථ කරා මේ ආයතන මෙහෙයවීමට හැකි වන්නේ නැත. ජනතාවට බරක් නොවී සමාජයට ප‍්‍රතිලාභ ලබාදෙන ආයතන බවට රටේ ආයතන පද්ධතිය පත් කිරීමට පුළුල් ජාතික වැඩපිළිවෙළකට යා යුතුය. එසේ නැතිව නමට ආයතන පැවැතීමේ ප‍්‍රතිඵලයක් නැත.