අටවන පාර්ලිමේන්තුවේ සිවුවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ.

නව සභාවාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ අද පෙරවරු 10 ට ය. ජනාධිපතිවරයා පැමිණීමට පෙර පෙරවරු 9 සිට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුකෙරේ.

ජනාධිපතිවරයා ආරක්‍ෂක රථ, පෙරටුකර ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. ආරාධිත අමුත්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමෙන් පසුව සහ ජනාධිපතිවරයා පැමිණීමට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල පියගැටපෙළ අසලදී කතානායක කරු ජයසූරිය සහ මහලේකම් ධම්මික දසනායක විසින් ජනාධිපතිවරයා පිළිගනු ලබයි. ඉන් අනතුරුව ජනාධිපති ධජය උඩුකුඹු කිරීම සිදුවේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වෙද්දී පාසැල් ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කරති. ඉන් අනතුරුව ගරු බුහුමන් සහිතව වේත්‍රධාරී මණ්ඩලය, කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන එනු ලබයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ඔහු මුලසුන ගැනීමෙන් අනතුරුව නව සභාවාරය ආරම්භ කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 33 (2) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සිදුවේ. ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ සභා රැස්වීම පැයක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බවය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තබනු ලබයි.

ඉන්පසුව ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ පිහිටි අමුත්තන්ගේ භෝජනාගාරයේදී එම තේපැන් සංග්‍රහය පැවැත්වෙන අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතා නායකවරයා, විපක්‍ෂනායකවරයා සහ මැති ඇමතිවරුද ආරාධිතයෝද ඊට සහභාගී වෙති.

1947 වර්ෂයේ සිට මේ දක්වා පනස්වාරයකට අධික අවස්ථා ගණනකදී පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබේ.

1978 වසරින් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පමණ පවත්වා තිබේ. පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින පැවැත්වීය. එය උත්සවශ්‍රීයෙන් පැවැති අතර ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් එහි මූලාසනය හෙබවීය.

මුවර් ආණ්ඩුකාරවරයා එදින රාජාසන කතාව කළේය. රාජාසන කතාව යනු නව සැසිවාරයක ආරම්භ කරන අවස්ථාවේ සිදුකරන ප්‍රධාන කතාවය.

ලංකාව නිදහස ලැබීමට පෙර ආණ්ඩුකාරවරයා රාජාසන කතාව පවත්වා තිබෙන අතර නිදහස ලැබීමෙන් පසුව තත්ත්වය වෙනස් විය. ඉන්පසුව ආග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මුලාසනය හෙබවීය.

තවද ආණ්ඩුකාර තනතුර වෙනස්වී ආග්‍රාණ්ඩුකාර තනතුර ස්ථාපිත වූ පසුව ආග්‍රාණ්ඩුකාරවරු රාජසන කතාව පැවැත්වූහ. සර් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා සහ පසුව 1964 වසරේදී විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා රාජාසන කතා පවත්වා තිබේ.

මේ අතර දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘතකර ඇත්තේ දෙවන එළිසබත් රැජිණ විසිනි. 1954 වසරේ අප්‍රේල් මස 12 වැනිදින මහ රැජිණ උත්සවාකාරයෙන් ආරම්භ කර රජාසන කතාව සිදුකළ බව ද සඳහන් වේ.

පසුකාලීනව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවයකින් තොරව ආරම්භකර ඇති අවස්ථා ද තිබේ. 1978 නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ නව සභා සැසිවාරය ආරම්භයේදී රජාසන කතාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් එය සුවිශේෂී තත්ත්වයක් බවත් යහපාලන ආණ්ඩුව උදම් ඇනුවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇගමැති රනිල් වික්‍රමසිංහ එකල මහත් පරිශ්‍රමයක් දරා 19 වැනි සංශෝධනය සම්මත කර ගත්හ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ව්‍යවස්ථා සභාවට බලතල පැවරීම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේත්තුවට පැවරීම 19 වැනි සංශෝධනයේ ධනාත්මත කරුණු ලෙස යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළහ. ඊට අමතරව තවත් පිරිසක් ද එය අනුමත කළහ. එහෙත් වර්තමාන ආණුඩුව 19 වැනි සංශෝධනය ගැන දක්වන්නේ වෙනත් අදහසකි.

ඉකුත්දා කොළඹදී පළාත්පාලන නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්විණ. කොළඹ ජනාධිපති මන්දිරයක පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා පළාත්පාලන නියොජිතයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබිණ. ජනාධිපතිවරයා පළාත්පාලන නියෝජිතයන්ගේ මේසයෙන් මේසයට ගොස්  ඔවුන්ට කතා කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක්. එම සංශෝධනය ඉවත් කරන්න ඔනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින්. ඒ නිසා ඉදිරි මහමැතිවරණය ඉතා වැදගත්. ගම්වලට ගිහින් මේ බව ජනතාවට අවබෝධ කර දිය යුතුයි. මීළඟ මහ මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බලයක් ලබා ගන්න ඕනේ. යැයි ජනාධිපතිවරයා පළාත්පාලන නියෝජිතයන් හමුවේ කීවේය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම සඳහා යෝජනාවක් ඉදිරිපත්කිරීමට සුදානම් වෙයි. ඔහු පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ලෙස නව පනත් කෙටුම් පත් දෙකක් සකස් කර ඇති අතර ඒවා මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන සංශෝධන හඳුන්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සහ විසිදෙවන සංශෝධන වශයෙනි.

එම සංශෝධන හරහා විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත බලතල ලබාදීමටය. ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යධුරයත් තවත් අමාත්‍යධුර දැරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ. මීට අමතරව රාජ්‍ය ඇමතිවරුන්, කැබිනට් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව හතළිහේ සිටි තිහ දක්වා අඩුකළ යුතු බවද එහි සඳහන් වේ.
මීට අමතරව අග්‍රවිනිශ්චයකාරවරයා, අභියාචනාධිකරණ සභාපතිවරයාද අනෙකුත් විනිසුරුවන්ද පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය අනවශ්‍ය බවත් එහි බලය ජනාධිපතිවරයාට පැවරීමටත් විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ සඳහන්වේ.

මීට අමතරව ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයින් ඉවත් කිරීමේ බලයද ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර ජනාධිපතිවරයා වෙත පැවරීමට මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ.

1978 දී ජනාධිපති ජයවර්ධන මහතා විසින් හඳුන්වා දෙන ලද සමානුපාත මැතිවරණ ක්‍රමය යටතේ කිසියම් පක්‍ෂයක් දිස්ත්‍රික්කයේ මැතිවරණයකදී භාවිත වූ සමස්ත ජන සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 12 ක ප්‍රතිශතයක් මන්ත්‍රීවරයකුගේ තේරී පත්වීම සඳහා ලබා ගත යුතුය. එහෙත් එය ප්‍රේමදාස ජානාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක අෂ්රෆ් මහතාගේ ඉල්ලීම පරිදි එය සියයට 5 දක්වා බැස්සුවේය. එය වර්තමානයේ ද ක්‍රියාත්මකය.

එම ප්‍රතිශතය හේතුවෙන් සුළු දේශපාලන පක්‍ෂවලට යම් සහනයක් හිමි වූ බව පිරිසකගේ අදහසය. එහෙත් තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එම සියයට පහේ ප්‍රතිශතය හේතුවෙන් සුළු දේශපාලන පක්‍ෂ කේවල කිරීමේ අත්‍යවශ්‍ය අසාධාරණ බලයක් ලබාගත් බවය. ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් ආසන 110 ක් ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න සුළු දේශපාලන පක්‍ෂයක මන්ත්‍රීවරුන් පස් හයදෙනකුගේ සහය ගන්න වෙනවා. මේ සුළුපක්‍ෂ මහපක්‍ෂයට කේවල කරනවා. සහාය අරගෙන ආණ්ඩුව පිහිටවූ පසුව ප්‍රශ්න රැසක් ඇති වෙනවා. ඒ නිසා සියයට පහේ ප්‍රතිශතය සියයට 12.5 දක්වා වැඩිකළ යුතුයි. මුලදී තිබ්බෙත් ඒ ප්‍රතිශතයම තමයි. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ සංශෝධනය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි. විජයදාස රාජපක්‍ෂ සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත ද යන්න සැක සහිත බව එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන්ගේ අදහස වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන විසි එක්වන සංශෝධනය සහ විසිදෙවැනි සංශෝධනය මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබෙන අතර සති දෙකක කාලයක් ඇතුළත ඕනෑම පුරවැසියකුට එම යෝජනාවලට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරිය හැකිය.

එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් පිල අලුත් දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කිරීමේ අදහස තාවකාලිකව අතහැර දමා තිබේ. මහමැතිවරණයක් අතළඟ තියාගෙන අලුත් පක්‍ෂ හද හදා ඉන්න බැහැ. ඒකට දැන් කාලයක් නැහැ. අපට අවශ්‍ය හැම කොටසක්ම එකතු කරගෙන මහමැතිවරණයට මුහුණ දෙන්න. තනතුරු අපේක්‍ෂාකරගෙන කරන දෙයක් නෙමෙයි මේක යැයි සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයා සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව ගැටලුව හා අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් රනිල් සජිත් අතර සාකච්ඡා වට කීපයක් පැවැත්විණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් සජිත් අතර තවත් සාකච්ඡාවක් අද හෙටම පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම විදේශ සංචාරය සඳහා තෝරාගත්තේ ඉන්දියාවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපති ගෝඨාභය ඉන්දියාවේ දින දෙකක සංචාරයක නිරත වූයේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මීලඟ විදේශ සංචාරය ලබන මාසයේ සිදුවනු ඇතැයි පැවසේ. ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත්තේ චීන රජයයි. ඒ අනුව ජනාධිපතිවරයා චීන ජනපති ෂී-ජින්පින් හමුවීමට නියමිත අතර එහිදී දෙරටටම පලදායි සාකච්ඡා සිදුවනු ඇතැයි පැවසේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් කාලයේ අවස්ථා දෙකකදී මෙරටට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ශ්‍රී ලංකා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද පැවසේ.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නවක අපේක්‍ෂකයන් පිරිසක් ඉදිරිපත් කිරීමට සුදානම් වෙයි. කොළඹ ගම්පහ සහ කළුතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකටම මෙවර නවක අපේක්‍ෂකයන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඉකුත් දින කීපය පුරාම ආරංචි පැතිර ගියේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිත බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහු කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කිරීමට එරෙහිව එම දිස්ත්‍රික්කයෙන් විරෝධතා මතුව ඇතැයි ද එම පක්‍ෂ අරංචි මාර්ග කියයි. ඒ අනුව තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කිරීම කෙරෙහිද ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් තම තමන්ගේ දිස්ත්‍රික්කවලට නවක අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වමින් සිටින බවද පැවසේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක ධුර සඳහා ජේ්‍යෂ්ඨ ඇමතිවරුන් කීප දෙනෙකු අපේක්‍ෂාවෙන් පසුවන බව දැනගන්නට තිබේ. සභානායක ධුරයට ග්‍රීලනිප හා වෙනත් දේශපාලන පක්‍ෂයක ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර සීතල යුද්ධයක් හට ගෙන තිබෙන බවටද ආරංචි පැතිර යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පසුව ඇමරිකාව බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිතුත්වීමෙන් පසුව බැසිල් රාජපක්‍ෂ ඇමරිකාව බලා පිටත්ව ගිය ද නැවත දිවයිනට පැමිණෙන දිනයක් ගැන සඳහන් වූයේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ ආරංචි  මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ක්‍ෂ හිටපු ඇමතිවරයා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බවය.

කස්තුරි