තමන් ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රමාණය සීමිත වුවද, ඒ සියල්ල පිළිබඳව ජනතාවගේ දෑස් යොමු කරගන්නට සමත් විය. ඒ විතරක් ද නොව ප්‍රේක්ෂක, විචාරක ඇගැයීමට ද ලක්විය. එපමණක් ද? ඒ සියල්ල මෙරට මෙන්ම ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර විය. හරවත් සුභාවිත කලාවක් වෙනුවෙන් වේදිකාවෙත් රිදී තිරයෙත් පුංචි තිරයෙත් දස්කම් දැක්වූ මේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා නමින් ප්‍රසන්න ජයකොඩි ය. ඔහු පිළිබඳ අද දවසේ දී අපට කතාබහ කරන්නට නිමිත්තක් උදා වී තිබේ.

ඒ ප්‍රසන්නගේ අලුත්ම සිනමා නිර්මාණය “සංසාරේ දඩයක්කාරයා’‘ ඊයේ (04) සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත වීම ආරම්භ වූ නිසාවෙනි. එදා වේදිකාවේ ‘සෙවණැලි සහ මිනිස්සු” පුංචි තිරයේ ‘නිසල විල, ඉමදිය මංකඩ, සඳ අමාවකයි, හදවිල සක්මන’ මෙන්ම රිදී තිරයේ “සංඛාරා, කර්ම, 28” වැනි නිර්මාණ ඉදිරිපත් කළ මේ දක්ෂ තරුණ නිර්මාණකරුවා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අද දවසේ දී තම හැකියාවන් පෙන්නුම් කරන්නේ සැමගේ ප්‍රසාදයට ලක්වෙමිනි. “සංසාරේ දඩයක්කාරයා” සමග ඔහුගේ කියමන කුමක් ද? එය දැන ගැනීමේ අරමුණින් මෙවර ආරාධිත කතාබහට ඔහු එක්කර ගත්තෙමු. මේ එම සංවාදයේ සටහනයි. 

● ඔබ මෙවර සිනමාවට රැගෙන එන්නේ ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගමයන්ගේ කෘතියක්. ඇයි එවැන්නකට ඔබ සිත යොමු කළේ? ඒ කෘතිය ඔබට එතරම් ආශත්ත වුණා ද?

ලංකාවේ සාහිත්‍යකරුවන් අතරින් සයිමන් නවගත්තේගම ලොක්කා මම හඳුනාගෙන තිබෙනවා. ඔහු තමයි පොළොවෙන් උපන් කෘතියක් වෙන ඒවාට සම්මිශ්‍රණය නොවී අප අතරට ගේන්නේ. ඒවාට වෙන වෙන තර්ක දේශපාලන විග්‍රහ තිබෙනවා. නමුත් කෙසේ කවුරු කීවත් එයාගේ කෘති මේ පොළොවෙන් උපන් බීජවලින් එන්නේ. එයින් හැදෙන විචිත්‍ර භාෂාවන් එක්ක, විචිත්‍ර රූප රචනයක් ඔහු ළඟ තිබෙනවා. ඒක හරි සංකීර්ණයි.

සයිමන් ලොක්කාගේ “දඩයක්කාරයාගේ කතාව” කෘතිය චිත්‍රපට 10කට විතර දේවල් තිබෙනවා. මේ පොතෙන් ෆිල්ම් එකක් කරන්න නොවෙයි වෙන්නේ සීරියස් එකක් කරන්නයි. මම සයිමන් ලොක්කාගේ සියලුම පොත්පත් හෙමින් සීරුවේ කාලයක් තිස්සේ කියවලා තිබෙනවා. අවසානයේ දී මම මෙය තෝරාගත්තේ. මේ පොතේ එක පරිච්ඡේදයක් පමණයි. ඒ පරිච්ඡේදය අරගත්තාම එක දෙබසක්වත් තිබුණේ නෑ. ඒ පරිච්ඡේදය මා විස්තාරණය කළා මගේ නිර්මාණය දක්වා. ඒක මගේ දෘෂ්ටියෙන් මම විස්සාරණය කළා. ඒක ඇතුළේ සයිමන් ලොක්කා දැකපු ලෝකය වගේම ඔහුගේ පොත් ටිකෙත් මම කියවා ගත්ත රූප ටික, අරක තුළින් දකින්න පටන් ගත්තා. පොඩි සංකෂිප්තයක් විතරයි. මා හිතන්නේ එයාගේ එක පොඩි මයිල් ගහක් ගලවාගෙන එය කීතු කීතුවලට කඩලා තමයි මේ වැඬේ කළේ. එහෙම නැතුව සයිමන් කියවා ගැනීම නොවෙයි මෙයින් මා සිදු කළේ.

● බොහෝවිට ඔබ අතින් නිර්මාණය වන චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය, බෞද්ධ දර්ශනයත් එක්ක බැඳී පවතින බවත් පෙනෙන්නට තිබෙනවා. එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබෙනවා ද?

මම බොහෝ විට දාර්ශනික මතයක් එක්ක තමයි ඉන්නේ. බහුතරයක් ඉන්නේ දේශපාලනික දැක්මක් එක්කයි. මම පොඞ්ඩක් දාර්ශනික පැත්තට බර හාදයෙක්. ඒක අස්සේ ඕනෑම මනුස්සයකුට, එයාට තිබෙනවා එයාගේ සම්භවයත් එක්ක තිබෙන ගනුදෙනු ටිකක්. අපි උපන්නේ බෞද්ධ පරිසරයක් ඇතුළේ. ආගම නොවෙයි. එතනින් එහාට තිබෙන පැත්තක් තමයි මම මෙතනින් ගේන්නේ. ආගම්වල කෙරෙන්නේ මනුස්සයා දඩයම් කරන එකයි. කැලේ ඉන්න දඩයක්කාරයා සත්තු දඩයම් කරනවා. මේ දඩයක්කාරයෝ දෙන්නා අතර තිබෙන සංවාදයක් තමයි මම මේ චිත්‍රපටයෙන් ගේන්නේ. සොබා දහමයි, ආගම් දහමයි දෙක අතර තිබෙන ද්වන්ධයක් මේ ඇතුළේ තිබෙන්නේ.

මෙහි බෞද්ධ දෘෂ්ටිය තිබෙනවා. අද වන විට බුදුන් වහන්සේ දෙසූ දේ නොවෙයි පන්සලේ තිබෙන්නේ. දේශපාලනික රාමුවක් ඔස්සේ හදාගත්ත අවශ්‍යතා ටිකක් එහි තිබෙන්නේ. දඩයක්කාරයා කියනවා පෝයට බණ කියන්න එපා හාමුදුරුවනේ. කොටියා මිනිසුන් මරයි කියලා. හාමුදුරුවෝ කියනවා. කැලේ ඉන්න තිරිසනෙක් හින්දා පෝයට බණ කියන එක නවත්වන්න පුළුවන් ද කියලා. එතනම වැටහෙනවා නේ ද ආගමික දේශපාලනයක් කියලා. දඩයක්කාරයාට යම් කිසි නීති මාලාවක් තිබෙනවා. චර්යා ධර්ම ටිකක් තිබෙනවා. ඒවා කඩලා තමයි, ඔහුට සිද්ධ වෙනවා අර ජීවිත වෙනුවෙන් සතා මරන්න. කවදාවත් දඩයක්කාරයෙක් අනවශ්‍ය ප්‍රයෝජනයකට සතෙක් මරන්නේ නෑ. නමුත් මේ වෙලාවේ මේ කාරණය නිසා සිද්ධවෙනවා සතා මරන්න. මිනිහා පව් කියලා හිතන තැන එදා තමයි සිද්ධ කරන්නේ. එතකම් මිනිහා පව් සිද්ධ කරගෙන නෑ සත්තු මැරුවාට. මම කියන්නේ මෙතනින් එහාට ගිය සොබාදහමේ චින්තාවක් ඇතුළට ගේන්න අවශ්‍යයි කියලයි.

ථෙරවාදී බෞද්ධ දර්ශනය හා මහායානික බෞද්ධ දර්ශනය අතර සම්මිශ්‍රණයකින් එහාට ගිය ස්වාභාවයක් සයිමන් නවගත්තේගම මහත්මයාගේ තිබෙනවා. ඒ දෘෂ්ටිය හරහා වෙන වෙන තැන්වලට ඔහු ගමන් කරනවා. සොබා දහම පුදුම විදියට ඔහු ගරුකොට ගන්නවා. ඒක ඇතුළේ තමයි මම මේ කියන දේවල් දකින්න තිබෙන්නේ. බෞද්ධ දර්ශනය අතික්‍රමණය කරපු තැනක් තමයි මෙහි තිබෙන්නේ.

● අද දවසේ දී මිනිසුන්ගේ සිත් තරගකාරී ලෝකයක් වෙතට යොමුවෙලා තිබෙන්නේ. එවැනි වාතාවරණයක මිනිසුන්ට හිතන්න යමක්, අවබෝධ කරගන්න යමක් මේ චිත්‍රපටය හරහා පුළුවන් වෙයි කියා ඔබ හිතනවා ද?

පසුගිය වකවානුවේ සිදු වූ දේවල් හා මේ දේශපාලනික රාමු අස්සේ මිනිසුන්ට කිසිම දෙයක් ඔලුවට යන ස්වාභාවයක් නොවෙයි තිබෙන්නේ. හැබැයි අපි වෘත්තීය වශයෙන් කලාකරුවෝ සහ වෘත්තීය වශයෙන් මෙහි නියැළෙන්නෝ. මේ චිත්‍රපටය අද දවසේ දී අතිශය වැදගත් කියා මා සිතනවා. වැරැදිලා හෝ මේ අවස්ථාවේ රිලීස් වෙන එක වැදගත්. අපි ප්ලෑන් කරන්නේ නැතුව මේ වගේ වාතාවරණයක රිලීස් වෙන එක ඉතා සතුටට කරුණක්. මොකද අද වන විට මේ චිත්‍රපටය කාලීනයි.

අද දවස වන විට සියලු ආගම් ඇතුළේ දරුණු දේශපාලනික ව්‍යසනයක් කරනවා ලෝකයටම ආගම කියන එක බැහැර කරන්න ඕනේ කියන තැනට ඇවිල්ලා. බුදුන්, ජේසු, මහම්මද් කියන ශාස්තෘවරුන් කිසිම කෙනෙක් ඔවුන්ගේ දර්ශනවාදයක් ගෙනහැර පෑවාට ඒවා ඇතුළේ මේ කියන දේශපාලනයක් තිබුණේ නෑ. ඒ දර්ශනය අරගෙන මේ අයගේ දේශපාලන වුවමනාවට දඩමීමා කරගෙන, ඒවායින් මිනිසුන්ගේ ලස්සනට ආධ්‍යාත්මයේ බඩ බොකුවලින් අල්ලා පාලනය කරනවා. මිනිසුන්ට එයින් ගැළවෙන්න බැහැ. නීතියෙන් ගැලවුණත්, ආගමේ දේශපාලනයෙන් ගැළවෙන්න නැහැ. ඔවුන්ගේ ආත්මයම අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීම හරි දරුණුයි. ඒක ඛේදවාචකයක් ඒ වෙනුවෙන් මිනිස්සු ආධ්‍යාත්මයෙන්ම බැඳෙනවා. හරි වැරැද්ද නොතකා ආධ්‍යාත්මයෙන්ම බැඳෙනවා. පසුගිය වකවානුවේ අපි ඒ දේ දුටුවා. ආගමික නායකයෝ දේශපාලනඥයෝ වෙනවා. ඒ අය දේශන දෙන්න පටන් ගන්නවා. මේක හරි අර්බුදකාරියි. මේ අර්බුදකාරී තැනකට අරන් ඇවිල්ලා තිබෙන්නේ වෙනින් කවුරුවත් නොවෙයි. ආගමේ දැනට ඉන්න දේශපාලනඥයෝ. මේ කාරණයට හොඳම කාලීන පිළිතුරක් තමයි “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටය.

● සිනමාශාලාවලට සෙනඟ තවමත් එන්නේ නැතුව, බියෙන් සිටින කාලයක තමයි ඔබ චිත්‍රපටය අවදානමක් අරන් තිරගත කරන්නේ. ඒක ලොකු අභියෝගයක් නේද? හැබැයි ඔබ කියූ ආකාරයට නම් ඒක වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් ලෙසයි මට නම් පෙනෙන්නේ. එහෙම නේද?

 

ඇත්තටම මේ කතාව, මේ චින්තනය මිනිස්සු අතරට අරන් යන්න පුළුවන් නම්, අපිට කරන්න පුළුවන් ලොකුම සේවයක් මේ වෙලාවේ. ජනමාධ්‍යවලින් මා ඉල්ලන්නේත් එයට උදව් කරන්න කියලයි. මොකද මේක ලොකු ව්‍යසනයක්. මේක දේශපාලනඥයෝත් ලස්සනට භාවිත කරනවා. ආගමික නායකයෝත් ආගමික චින්තනය මේ වෙලාවේ අනවශ්‍ය විදියට පාවිච්චි කරනවා. ඒක අස්සේ මිනිස්සු පිස්සු වැටිලා. වෙන වෙන තැන්වලින් හිටගෙන ඉන්නේ. ආගම් සියල්ලේම මේ ව්‍යසනය මා දකිනවා. මේක අස්සේ මීට වඩා සබුද්ධික තැනකට මිනිසුන්ගේ කියවීම, මිනිසුන්ගේ දැක්ම යොමු කරන්න පුළුවන් නම් අර අන්ධ තැනින් ගලවලා එතනින් එහාට හිතන්න පුළුවන් තැනකට, විවාදයක් විදියට ගේන්න පුළුවන් නම් යම්කිසි පිරිසකගේ ඇස් ඇරේවි. ඒකත් එක්ක මිනිසුන්ට කතාබහක් ඇතිවුණොත් අර කියන අන්ධ තැනින් යම්කිසි මට්ටමකට හරි ගැළවෙන්න පුළුවන්. මොකද ඒකට ප්‍රතිවිරුද්ධ පිරිසක් හරි ගොඩනැගෙනවා. ඒ හින්දා මේ වෙලාවේ මේ චිත්‍රපටයේ තිබෙන දෘශ්‍යය බැලූවිට පව හා පින අතර ගැටුමක් තිබෙන්නේ. හැම ආගමකම ආත්මය කියන සංකල්පය එක්තරා ආකාරයකට තිබෙනවා. ඒක දඩමීමා කරගෙන මිනිසුන්ව දරුණු විදියට මෙහෙයවනවා. මේ ආත්මීය සංකල්පයටත් එහා ගිය තැනකට මේ චිත්‍රපටය මම ගේනවා. බුදුන් වහන්සේත් දේශනා කළේ අනාත්මයි කියලයි. නමුත් ආගමික නායකයන් මේ බය ඇති කරලා මිනිසුන් පොළඹවා ගෙන ඉන්නවා. ඊට පස්සේ වෙන හානියට තමයි අද අපි මුහුණපා සිටින්නේ.

● ඔබ සිනමාකරුවකු ලෙස දේශීය සිනමාව අද හැසිරෙන ආකාරය දකින්නේ කොයි ආකාරයට ද?

ඒක සිතාගන්න බැහැ. මණ්ඩල දැන් අයින් කළා කියනවා. ඇත්තටම කිසිම දෙයකට කිසිම දෙයක් කියන්න බැරි මෙච්චර අස්ථාවර දේශපාලන රාමුවක් අස්සේ, කරන කිසිම දෙයක් ගැන අපට තීරණයක්, අදහසක් දෙන්න බැහැ. අපි හරිම අවිනිශ්චිතයි. සිනමා කර්මාන්තය හරිම අවිනිශ්චිතයි. මට මේ මොහොතේ නැතුව වෙන හොඳ මොහොතක් බලලා රිලීස් කරන්න හිතුණත්, එවැනි මොහොතක් උදාවෙයි ද කියලා හිතන්න බැහැ. එතකොට මට හිතෙන්නේ මේ මොහොතෙම මේක එළියට දාගන්න පුළුවන්නම් කියලයි. ඒ තරම් අවිනිශ්චිත ස්වභාවයක් මෙහි තිබෙන්නේ.

දැන් මිනිස්සු දහ පහළොස්දෙනෙක් ඉන්නවා ජනාධිපති වෙන්න බලාගෙන. එතනම විහිළුවක්. සාමාන්‍යයෙන් ඉතිහාසයේම එක්කෙනයි දෙන්නයි බලාගෙන ඉන්නේ. දහ පහළොස් දෙනෙක් ඒ ගොල්ලොම එනවා කියලා ඒ අය හිතාගෙන ඉන්නවා. මිනිස්සුත් එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම හරි අස්ථාවර ස්වාභාවයක් තිබෙන්නේ. ඔය කාරණය මේකටත් බලපානවා.

● ඔය අවිනිශ්චිතභාවය නැතිකරන්න නේද කමිටු දාලා වාර්තා එළිදක්වලා, දැන් යළිත් කෙටුම්පත් හදන්න සිනමා කර්මාන්තයේ බලධාරීන් කටයුතු කරන්නේ. ඔබ මේ පිළිබඳව දැනුම්වත් ද? මේවා දේශපාලනඥයන්ගේ වුවමනාවන් මත කරන පැලැස්තර දැම්මක් නේද?

පැහැදිලිව හැමදාම, හැමෝම මේ කාලානුරූපීව මේකට විවිධ දේවල් කරමින්, වාර්තා හදමින් කෙටුම්පත් හදමින් ඉන්නවා විතරයි. නමුත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒ කාලයට යම්කිසි දෙයක් කරනවා මිසක් තවම නම් මම පැහැදිලි එකක් මෑත කාලීනව දැකලා නෑ. සමිති සමාගම් පවා ඒකරාශී වෙලා කරන ගොඩාක් දේවල්, අවසානයේ තනි පුද්ගල අවශ්‍යතාවන් මත සිද්ධවෙන්නේ. පුද්ගලිකව තමන්ගේ ප්‍රශ්න විසඳගන්න එක එක්කෙනා එක එක පැතිවලින් බලනවා මිසක් පොදුවේ මේක ගැන හිතන ස්වාභාවයක් නෑ. මම නම් දැන් ගොඩාක් දේවලට සහභාගිවෙන්නේ නෑ. එහෙම සහභාගිවෙලා හිත නරක් කරගන්නවාට වඩා හොඳයි පැත්තකට වෙලා වෙන දෙයක් ඔහේ බලාගෙන ඉන්න එක. මොකද පොදු කාරණා නෑ. පෞද්ගලික අවශ්‍යතා තිබෙන්නේ. පොදු තීරණ ගන්නවා පෞද්ගලික ඒවාට. එතකොට අපි මොකටද ආවේ කියලා පස්සේ දුක්වෙන්න වෙනවා. ඊට වඩා හොඳයි අපි සද්ද නොකර පැත්තකට වෙලා ඉන්න එක.

● අපේ දේශීය සිනමාවට දැන් අවුරුදු 72ක් ගතවෙලා. එහෙම වෙලත් ඇයි අපට දේශීය සිනමාව රැකගන්න නිශ්චිත වැඩපිළිවෙළක් සකසාගන්න බැරි වුණේ?

ඔය කාරණයේ පැති කීපයක් තිබෙනවා. එක එක බල අරගල තිබෙනවා. චිත්‍රපට සංස්ථාව පසුගිය වකවානුවේ හරියාකාර තැනක තිබිලා නෑ. අපි සිනමාවට පැමිණි කාලයේ ඉඳලා නම් එහෙම එකක් අපි දැක්කේ නෑ. මා හිතන්නේ තිස්ස අබේසේකර මහත්මයා හොඳ තැනකට ගේන්න බැලුවා. නමුත් එතනින් එහාට ඒක ඇති වුණේ නෑ. මොකද ඒකට හැමදාම එක එක බලපෑම් තිබුණා. සිනමාශාලා ස්වාභාවය, ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන කාලය, සිනමාශාලාවල තිබෙන ප්‍රමාණය, නිෂ්පාදක ලැබෙන ප්‍රතිශතය, නිර්මාණයේ ගුණාත්මක බව සුරැකීමට ක්‍රමවේදයක් වැනි මේ කියන හැම පැත්තෙන්ම එකම නීතියක්වත් හරියට ක්‍රියාත්මක නෑ. මණ්ඩල ක්‍රමය හෝ මණ්ඩල නොවන ක්‍රමයක් හරි ඒක නිශ්චිත ප්‍රතිපත්තියක් මේක ඇතුළේ තිබුණේම නෑ. දැනටත් අපි දන්නේ නෑ කොයි එකද ක්‍රියාත්මක වෙන්නේ? කොයි එකද ක්‍රියාත්මක නොවෙන්නේ කියා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ වෙන දෙයක්. ඔතන දී කොහොමටත් මේ වගේ කර්මාන්තයක් පවතින්න බැහැ.

සිනමාවෙන් යැපෙන මිනිස්සු අද නෑ. ඉතිං එතකොට කර්මාන්තයක් තිබෙන්නේ කොහොමද? 70 දශකයේ තිබූ ඒ සිනමාව අද නෑ. කවුරුවත් මෙයින් යැපෙන මිනිස්සු නැත්නම් කර්මාන්තයක් නොවෙයි. එහෙම ප්‍රායෝගික තැනකට කියන්න ජාතික ප්‍රතිපත්තියක් ඕනේ. ශාලාවෙන් විතරක් සිනමාවෙන් ආදායම් හොයන්න බැහැ. ඒක තේරුම් ගත යුතු කාලයක්. ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී ශාලාවලට එන්නේ නෑ. ආසාව තිබුණත් වෙලාවක් නෑ. නිෂ්පාදකයා සියලුම වියදම් දරලා අවුරුදු ගණන් බලා ඉඳලා පිටපත් ගහලා ප්‍රදර්ශනයක් කරලා ප්‍රචාරණයටත් කටයුතු කරලා අන්තිමට ප්‍රමාද වෙලා සල්ලි සොයන මනුස්සයා වෙලා. මෙහෙම නිෂ්පාදකයෝ හිඳියි ද? පළමුවෙන්ම මේ මනුස්සයා සුරැකිය යුතුයි. එතකොට මෙය රැකේවි. යහපත් තැනකට සිනමාව රැගෙන යාවි. ඔහු සුරකින්න ක්‍රමවේද වර්තමානයේ ගොඩක් තිබෙනවා. මේවා රාජ්‍ය පාලනයක් මගින් හරි විදියට කර නිෂ්පාදකට මුදල් ලැබෙන ක්‍රමයක් හදනවා නම් ඔවුන් මේ තුළ දිගටම රැඳේවි. ලැබෙන මුදල් අද කොල්ලකන්නේ වෙන අයයි. ඒක හරිම අසාධාරණයක්. අද සියල්ල වෙනස්වෙලා. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් විය යුතුයි. ඒක තවම වෙලා නෑ. පරණ ක්‍රමයම තවම හදන්න ට්‍රයි කරනවා. ඒක හරියන්නේ නෑ. මේවා ගැන හිතන්නේ නැතිව සිනමාව කර්මාන්තයක් ලෙස පවතින්න විදියක් නෑ.

● මේ සියලු කාරණා දෙස බලද්දි අලුතින් එන සිනමාකරුවකුට විශාල අභියෝගයක් එල්ල වනවා නේද? ඔවුන් අද ඉබාගාතේ යන පිරිසක් බවට පත්වෙලාද?

ඊළඟ පරම්පරාවට මාර ප්‍රශ්නයක් තමයි. ඒ පරම්පරාව කරන්න හදන දේවල් වුණත් මිනිස්සු දන්නෙත් නෑ. පේන්නෙත් නෑ. ඊළඟට තව ප්‍රශ්නයක් තිබෙනවා. 2000 වසරෙන් පස්සේ ඇති වූ පරම්පරාවට මේ සිනමාව අදාළම නෑ ඔවුන්ට. ඔවුන් කිසිම සිනමාපටයක් නරඹලා නෑ. බොහොම අහම්බෙන් පිරිසක් විතරයි නරඹා ඇත්තේ. ගීත, රූපවාහිනි වැඩසටහන් කිසිම දෙයක්, මේ පත්තර කිසිම දෙයක් බලන්නේ නෑ. කියවන්නේ නෑ. එතකොට ලොකු අර්බුදයක තිබෙනවා මේ රටේ අපි දන්නේ නැතිවුණාට.

මේ පරම්පරාව 2050 වනවිට 50% ඉක්මවනවා. එතකොට මේ ආකෘතිය අරගෙන යන්නේ වයසක මිනිස්සු ටික විතරයි. මොකද අර පරම්පරාව තමයි රටේ හැමතැනම ඉහළ තැන්වල ඉන්නේ. ඉස්සර පියවරෙන් පියවර හැමදේම පැමිණියේ. දැන් ලොකු පිම්මක් ඇවිත්. අපිට වඩා වේගයෙන් ලෝකය සංවර්ධනය වුණා. අන්තර්ජාලය හරහා සියල්ල සම්බන්ධ වුණා. අලුත් අය වේගයෙන් ලෝකයත් එක්ක යනවා. පරණ අය පුරුදු සම්ප්‍රදාය ගරු කරමින් ගමන් යනවා. මේ පරස්පරය හරි දරුණුයි. ප්‍රේක්‍ෂකයෝ නැතිවෙන්න හා සිනමා කර්මාන්තය නැතිවෙන්න තවත් හේතුවක් මේ කාරණය.

ඒ සිනමාව ගේන්න අපට ප්‍රේක්‍ෂකාගාරයකුත් නෑ. ඒ ගොල්ලෝ මේ රටේ දේවල් පැත්තකට දාලා බාහිරින් ලැබෙන  දේවල් විතරක් විඳිමින් ජීවත් වෙනවා. පර්යේෂණ කරනවා කිව්වාට ඒවාත් සාර්ථකයක් නෑ. අපට ඒවා සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. උදාහරණ විදියට නොව යූටියුබ්වල දකින “රෙෆරන්ස්” විතරයි. ඒ පරම්පරාවත් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. මොකද ‘රෙෆරන්ස්” මතින් හැදෙන පරම්පරාවක් මොකද මේ රටේ එහෙම සංස්කෘතියක් නෑ. අපි දූපතක්. අපිට සම්මිශ්‍රණය වෙන්න රටක් නෑ. ඉන්දියාවත් හරි දුරයි. අපි හරි හුදකලා වෙච්ච ස්වභාවයක්. අර අන්තර්ජාලයේ ලැබෙන දත්ත රෙෆරන්ස් මත ඒ පරම්පරාව දියුණු වෙන්නේ. ඒ පරම්පරාවත් දුර්වලයි. ඊළඟට අපට වෙන්නේ මොකක්ද? මේ අතර ලොකු ගැප් එකක් තිබෙනවා. මේක රාජ්‍ය යාන්ත්‍රණය දකින්න ඕන කාරණයක්. ඒ අයට 2025 වගේ ඡන්දයකට ගිය විටකදී වැටහේවි මේ අර්බුදය. එතකම් තේරෙන්නේ නෑ. 

 

සංවාද සටහන - සමන්ත යහම්පත් 

yahampath2009@gmail.com