සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම තමාගේ අණසක යටතට ගත් ‘‘මහා ඇලෙක්සැන්ඩර්’’ අධිරාජයාගේ සිරුර ද මී පැණියේ බහා තැන්පත් කරන ලද අතර එංගලන්තයේ විසූ අති දක්‍ෂ හමුදාපාලකවරයකු වූ ‘‘නෙල්සන් සාමි”ගේ සිරුර බ‍්‍රැන්ඩි යොදා එම්බාම් කරන ලදී. අපේ රටේ විසූ අග‍්‍රගන්‍ය යතිවරයාණන් වහන්සේ කෙනකුන් වන සුප‍්‍රකට කවියකු වූ ‘ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය අදත් ‘ගෝවේ’ එක්තරා ස්ථානයක ජරා නොවන සේ සකසා ඇත්තා සේ ම රුසියාවේ ”ලෙනින්”, චීනයේ ‘‘මාවෝ සේතුං’ වැනි සුප‍්‍රකට රාජ්‍ය නායකයන්ගේ සිරුරු ද එම්බාම් මගින් කල්තබාගෙන ඇත.


මළ සිරුරු වැඩි කලක් හෝ තමන්ට ඇවැසි කලක් ඔසුගන්වා තැබීමේ මේ ක‍්‍රමය ලොවපුරා විහිදී ඇත්තේ මිසරයේ පිරමිඩ සංස්කෘතියෙන් බව ඉතිහාසඥයන්ගේ අදහසකි. ආදී මිසර වාසීන් මියගිය තම ඥාතීන්ගේ සිරුරු අති ප‍්‍රබල සුවඳ විලවුන් ගල්වා කාන්තාරයේ වැලි යට සඟවා තැබීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගිය බව පුරාවිදු දරුවෝ සොයාගෙන තිබේ. මෑත යුගයක එහි කරන ලද පුරාවිදු කැණීම්වලදී වැලි යට තිබූ සුවඳවත් මළසිරුරු සොයාගත හැකි වූ අතර ඒවා වසර 4000ක් 5000ක් වැනි දීර්ඝ කාලයක් ජරා ජීර්ණ නොවී ඇත්තේ වැලිකතරේ අධික තාපය සහ සුවඳ විලවුන් වල ආශ්චර්යය නිසාය. ක‍්‍රි. පූ. 4500 දී පමණ නොගැඹුරු වූ වැලි වළවල්හි  මළ සිරුර තැන්පත් කිරීම ආරම්භ වූයෙන් ඒවා අධික ලෙස වැලි රත්වීම මත ‘දර ලී’ තරමට ‘කර වී’තිබිණ.

අද වත්මන් ලොව මෙන්ම එදා මිසරයේ විසූ ප‍්‍රභූ පැළැන්තියේ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේ සිරුරු ද චිරාත් කාලයක් තබා ගත යුතු යයි දැරූ සංකල්පනාව මත පෙර කී ක‍්‍රමයට වඩා නව මං සොයමින් දියුණු අඩියකට පත් ඔවුහු ‘‘පිරමීඩ‘’ නිර්මාණය කරන්නට පවා ඉදිරිපත් වූහ. පැරණි ලොව පුදුම හතට ඇතුළත් මිසරයේ රාජකීය සොහොන් ‘පිරමිඞ්’ නමින් ප‍්‍රචලිත වූයේ ඉන් අනතුරුවය.

මිසරයේ පිරමීඞ්වල තැන්පත් කොට ඇති ආදී කාලීන ශ්‍රේෂ්ඨ රාජකීයයන්ගේ සිරුරු ඉතා දිගු කලක් මුළුල්ලේ ස්ථාවරව තබාගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය ලොව මවිත කරවනසුළුය. නවීන විද්‍යාවට පවා ඉමහත් අභියෝගයක් වූ මෙම මළසිරුරු හෙවත් ‘‘මමී’’ පුරා වසර දහස් ගණනාවක්ම නොනැසී පවත්වා ගෙන යන්නට ආදීයේ විසූ මිසර කාර්මිකයන් කරන ද එම්බාම් ක‍්‍රමය අදටත් ප‍්‍රසිද්ධ රහසක්ව පවතී.

මීට වසර දහස් ගණනකට පෙරතුව පිරමීඞ්වල තැන්පත් කළා වූ රාජකීය මළ සිරුරු හෙවත් ‘මමී’ තවමත් එදා මෙන්ය. ඇතැම් ඒවා අඩ නින්දේ මෙනි. තවත් ඒවා හි විශ්මයද ශෝකය ද සතුටද පළ කෙරෙයි. සමහර මමී උසුළු විසුළු රූපයකි. එහෙත් දුඟඳක් තබා  අමිහිරි බවක්වත් ඒවා හි නැත. ඇමෙරිකානු ජාතික ‘‘කාවර්ඞ්ද කාටර්’ විද්වතාණන් විසින් කරන ලද නයිල් නදීබඩ විශ්මිත කැනීමකද හමුවූ ‘තුතන් කාමන්’ පාරාවෝ රජුගේ මළ සිරුර මත එතුමාගේ දේවිය විසින් තබන්නට ඇතැයි විශ්වාස කරන රතු රෝස මල් පොකුර අද පිපුණාක් මෙන් ජීවමාන වුවද එය තබන ලද්දේ ක‍්‍රි.පූ, 3000 දී වීම මොන තරම් මවිතයට පත් කරවනසුළුද?  කැණීම් කරන වකවානුව වන විටත් පුරා වසර 4200ක් තරම් ගතවී තිබුණ නමුත් එදා ‘තුතන් කාමන්’ රජු අදත් එසේමය. කි‍්‍ර.පු. 5900කට පෙර මියගිය ‘රැම්සේ’ රජුගේ මළ සිරුර තැන්පත් කළ පිරමීඩය තුළින් පුරා වසර 6000කට පසු ඔහු යළිත් මිනිස් ලොවට දර්ශනය වූයේ එදා මෙන්මය.

මෙතරම් දීර්ඝ ඉතිහාසයකට මළ සිරුරු කල්තබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට කිසිදු ලිඛිත හෝඩුවාවක් මේ වන තුරුත් මිසරයෙන් හමු වී නැත. පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රහසක් වශයෙන් තබාගන්නට ඔවුන් ගිවිසගෙන ඇත්තා සේය.එහෙත් මේ මහත් අභිරහස පිළිබඳව දැනට ලොවට ඉතිරි වී ඇති එකම ලිඛිත සාක්ෂිය ක‍්‍රි.පූ. 5 වැනි සියවසෙහි ග‍්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ ‘හෙරොඩෝටස්’ගේ වාර්තාවක් පමණි. එවකට විසූ මිසර රාජකීයයන්ගේ මළ සිරුරු බෙහෙත් ගල්වා ‘එම්බාම්’ කරමින් ‘මමී’ බවට පත් කරවන අයුරු ඔහු සියැසින්ම දැක ඇති අතර එය විශ්මය ජනක ලෙස මතු පරපුර වෙනුවෙන් ලියා තිබේ.

‘‘මිසරයේ රාජකීය ප‍්‍රභූවරයකු මිය ගිය පසු පූජකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පෙරහරකින් නයිල් ගඟ බඩට එය ගෙන යන ලදුව සුවිශේෂ ඔරුවක පටවා ගෙඟහි බටහිර වෙරළ දක්වා ගෙන යයි. එම වෙරළබඩ තනා ඇති විශේෂ කුටියකට ගෙන යන මළ සිරුර සුවඳ විලවුනෙන් නහවා මිනිය කපන්නා වූ ප‍්‍රධාන ශල්‍ය කාර්මිකයාට (එම්බාම් කරු) භාරදෙයි. ප‍්‍රධාන ශිල්පියා ඊටම සුදුසු වූ ඇඳුමින් සැරසී වෙස් මුහුණක් ද පැළඳ කාරියට සූදානම් වෙයි. පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන ‘‘අනුබීස්’ නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් 5ක් පමණ දිගට කපා දමයි. ඒ සමගම ඔහු එතැනින් ඉවත්වන අතර පාරිශුද්වන්තයකුගේ සිරුර කෙලෙසූ අයකු ලෙස ඔහු ලූහුබඳිමින් පහර දෙන සම්ප‍්‍රදායික සංකේතාත්මක දඬුවමකට මුහුණ දෙන්නට ද සිදුවෙයි.

මෙම ක‍්‍රියාවලියෙන් පසුව දීර්ඝ වූ කි‍්‍රයාවලියකට මුල පුරයි. පලා ඇති උදර කුහරයෙන් එළියට ගන්නා අතුණු බහන්, පෙනහලූ, වකුගඩු සහ සෙසු අවයව පරෙස්්සමින් කපා බඳුන් හතරකට දමයි. සිරුර පුරා ඇති සියලූම නාළ පවා එළියට ඇද දැමුව ද කිසි විටෙකත් හදවතට හානියක් නොකරයි. (මීට හේතුව ජීවත්ව සිටියදී ඔහු මිනිසකු වශයෙන් කරන ලද පව්xපින් ආදිය එලොවදී මැන බැලීමට හදවත අත්‍යවශ්‍ය යයි ඔවුන් සිතන බැවිනි)
කෙසේ නමුත් මුළු සිරුරම හිස් බෙනයක් බවට පත් කරන අතර කිසියම් දියර ඔසුවක් මගින් ඇතුළත හොඳින් සෝදා හරියි. එය ඔවුන් කීවේවත් කියන්නේවත් නැති රහස් ඔසුවකි. අනතුරුව සිරුරේ පිටතට එල්ල වෙන මැසි මදුරු උවදුරු වැඩලීම සඳහා තවත් සුවඳ ඔසුවක් ආලේප කරනු ලබයි. අනතුරුව කෙරෙන්නේ සිරුරේ ඇති තෙතමනය ඉවත් කිරීමේ කාර්යයි.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හතරෙන් තුන් පංගුවක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාමය මියගිය සිරුර ඉක්මනින්ම කුණුවී ජරා ජීර්ණ වී යන්නේ. එනිසා ඔවුන් එහි අන්තර්ගත ජලය (තෙතමනය) ඉවත් කිරීම සඳහා කිසියම් නොදන්නා වූ ගුප්ත ක‍්‍රමයක් කරන ලද බව හෙරොඩෝටස් දක්වයි. මෙය මහත් වූ අභිරහසක් බැවින් ඒ පිළිබඳව ඔහුගේ සටනෙහි කිසිදු තොරතුරක් නොදැක්වෙන අතර එය කරන්නට ඇත්තේ මෙලෙසින් යයි වත්මන් විදු දරුවන් දක්වා තිබේ.
සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඞ් යන රසායනිකයන්ගේ එකතුවෙන් නිර්මාණය වන ‘නේට්රන්’ නමැති රසායන ද්‍රව්‍ය මළ සිරුර වටා ගොඩගැසීමෙන් සිරුරේ තෙතමනය ඉවත් කරන්නට ඇත. නේට්රන් නමැති රසායන ද්‍රව්‍යයට මිනිස් සිරුරක පවතින තෙතමනය ක‍්‍රමානුකූලව උරාගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන් විසින්ද පුරා දින 30-40 අතර කලක් මළ සිරුර වටා මෙම රසායනිකය ගොඩ ගසා තබන්ට ඇත.


මළ සිරුර එම්බාම් කොට පිරමිඩයක තැන්පත් කිරීමට සුදුසු වනතුරු දින 40 ක් පමණ ගත වෙන බව ‘හෙරොඩෝටස් දක්වා ඇති සටහනත් මළ සිරුරක්  එම්බාම් කරන්නට දින 40ක් පමණ ගතවෙන බවත් බයිබලයේ දක්වා ඇති සටහනත් අනුව ඉහත කී වත්මන් විදු මතය පිළිගැනීමට හේතු තිබේ.


මළ සිරුරේ තෙතමනය ඉවත් කිරීමෙන් අනතුරුව සිරුරේ ඇතුළත හිස් වූ කුහරය විශේෂ වූ ලී කුඩු හෝ රසායනික ඔසුවක් යෙදු රෙදි වලින් පුරවයි. ඉන් පසු උදරය පැළු සිදුර රන් පතුරකින් අවහිර කොට මසා දමයි. මළ සිරුරේ නියපොතු ආදිය සායම් ආලේප කිරීමෙන් පසු හිසකෙස් සැකසීම මියගිය අය පුරුෂයකු නම් ඔහු ජීවත්ව සිටිය දී හිස පීරන අයුරින්ද කාන්තාවක නම් සුදුසු පරිදි ගෙතීමකින් ද  කොණ්ඩය සකස් කරයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී පැවැති අයුරින්ම ඔහුගේ හෝ ඇයගේ මුහුණ පිළිබිඹු කිරීම සඳහා දෙනෙත් වලට මැණික් ගල් විශේෂයක් උපයෝගී කරගන්නා අතර මුළු සිරුරම මිසරයටම ආවේණික වූ සුවඳ විලවුන් බඳුනක බහාලයි. අවශ්‍ය පරිදි මී පැණි ගල්වා දමන සිරුර රෙදි යාර 150ක  ප‍්‍රමාණ ගෙන තදින් ඔතා දමමින් සියලූ කාර්යයන්ම නිමා කෙරෙයි.

වටිනා ලෝහමය පෙට්ටියක තැන්පත් කරන දේහය හිමිකරුවා පුරුෂයකු නම් දෙඅත් පපුව මත තබා බැඳගෙන සිටින අයුරින් ද කාන්තාවක නම් දෙඅත් දෙපසට තබමින් ද සකස් කරගනී. පසුව සියලූ ශල්‍ය කටයුතු නිමාව දුටු දේහය කලින් සකසන ලද පිරමීඩය වෙතට ගෙනයයි. මෙලොව වාසය කරද්දී ඔහු ගත කළ අයුරින්ම පරලොවදී ද ගත කිරීම සඳහා ඔහු පි‍්‍රය කළ ආහාරපාන, ඇඳුම් බැඳුම්, සටන්වලට අවශ්‍ය කඩු, දුණු, ඊතල, ගමන් කිරීම සඳහා ඔරු පාරු, රැවුල් බෑම සඳහා දැලිපිහි, මෙන්ම වියදම් වෙනුවෙන් රන් මිණි මුතු ද මළ සිරුර සමගම පිරමීඩයේ තැන්පත් කරයි. සියල්ල නිමා වෙන්නේ දැවැන්ත ගල්කුට්ටි වලින් සැකසුණු පිරමීඩයෙහි දේහය තනිකර දමා සදාකාලයටම වසා දැමීමෙනි.
පිරමීඩය තුළ හිරවූ දේහය වෙනුවෙන් සාදයක් පැවැත්වීම ඉන් අනතුරුව කෙරෙයි. ඒ වෙනකක් නිසා නොව ඔවුන්ගේ පරලොව රජු වශයෙන් සැළකෙන ‘‘ඔසිරිස් (ධීෂඍෂී) දෙවියා සැනසීම සඳහාය. මියගිය පුද්ගලයාගේ හදවත කිරා බලන්නේ මේ දෙවියන් විසින්ය. (එහෙයින්ය ඔවුන් මළ සිරුරේ සියලූම අංග ඉවත් කළ ද හදවත ඉවත් නොකරන්න) මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි. පින් කාරයකු නම් ඔහුට හෝ ඇයට එළොවදී නිත්‍ය සැනසීම හිමිවෙයි. පිරමීඩයක් තුළ සදාකාලයටම තැන්පත් වන මිසර ‘මමී’මේ විදියටම නිමාව දකී.

උබේසේකර කුමාරසිංහ නිකවැරටිය