වරින්වර හමන සුළගට සෙලවෙන ගහක අතුවලින් පිටවන ශබ්දය හැරුණු විට කුඹුකන් ඔයේ මාලූන් උඩපනින ශබ්දය ඝන අන්ධකාරය තුළින් ඇසේ. ඒ හඩ අබිබවමින් නිශාචර සතෙකුගේ හඩ තැළීම ප‍්‍රදේශය පුරාම දෝංකාර දෙයි. ඈත ගංඉවුරේ එළි කිහියකද පෙනේ. ඒ අතර ඈතින් බෝධි වන්දනාකරන බැතිමතුන්ගේ ගායනාහඩ පරිසරයට ගෙනාවේ අමුතුම මිහිරියාවකි. නින්දේ පසුවූ තව පිරිසක් තිගැස්සී අවදිවූයේ කුඩා දරුවෙකුගේ විළාපය ඇසීමෙනි. ගස්යට මෙන්ම කූඩාරම්වලත් පැදුරු, ඉටිකොළ ආදිය එළා නිදාවුන්  අය ඒ විලාප හඩ ඇසුනු දෙස කොහේදැයි විපරම්කරන්නට විය. ‘‘කුඹුකන් ඔයේ ඉවුර පැත්තෙන් ඇහුණේ’’ කෙනෙක් කියන්නට විය. උදෑසනම අවදිවන කුරුල්ලන් එකා දෙන්නාගේ හඩ වනාන්තරය තුළින් ඇසුනත් පරිසරය තවමත් අදුරුය. එකිනෙකා කවුරුන්දැයි නොහදුනන කණ්ඩායම් කිහිපයකම අය නිහඩවම හඩ ඇසුනු දෙසට ඒ වනවිටත් දිවගොස් හමාරය. නිහඩ බව බිදලමින් කාන්තාවකගේ හඩක් ඇසෙන්නට විය. ‘‘අනේ දරුවට සතෙක් ගැහුවා......’’ ඒ එක්කම විදුලි පන්දම් එළියකින් කුඩා දරුවෙකු වත්තම් කරගෙන එන කිහිපදෙනෙකුගේ ඡායාවන් අඩඅදුරේම කාගේත් නෙත ගැටුණි. ‘‘අනේ මොකද වෙලා තියෙන්නේ’’ හිමිදිරි පාන්දර අවදිව කුඹුකන්ඔයේ මුහුණ දොවමින් සිටි අයද එහි දුවවිත් විමසන්නට විය. ‘‘අපි දේවාලේ පූජාවට යන්න කියලා හිතාගෙන මුහුණ හෝදන්න කූඹුකන් ඔයට ගියා දරුවා ඔයේ ඉවුරේ හිටියේ. මොකෙක්ද කෑවෝ කියලා දරුවා කෑගැහුවා. අනේ මේ බලන්න සර්පයෙකුගේ දත්පාරවල්.’’ දැරියගේ මව යැයි විශ්වාස කළහැකි කාන්තාවක් එක හුස්මට කියාගෙන ගියේය. තවමත් ප‍්‍රදේශය පුරා ඇත්තේ අදුරය. මේ වනවිට දැරිය වටකරගෙන ලොකු පිරිසකි. ඒ අතර පිරිස අතරින් මැදිවියේ පිරිමියෙකු එහි ආවේය. ’‘මොකද වුණේ’’ දැරියගේ මව සිද්ධිය ඔහුට කීවේය. තුවාලය පිරික්සු ඔහු මතුරන්නට විය. දැවිල්ල නිසා බෙරිහන් දෙමින් සිටි දැරියගේ කැගැසීම ක‍්‍රමයෙන් අඩුවිය. ටික වෙලාවක් මැතිරූ මේ වැඩිහිටියා දැරිය අමතමින් ‘‘ දැන් රිදෙනවා අඩුයිද’’ විමසිය. ඇය හිසනමා ‘‘ඔව්’’ යැයි පිළිතුරු දුන්නත් ඇගේ දෙනෙත් වල තිබු බිය, සන්තාසය විදුලි පන්දම් එළිවලින් ඉස්මතුව පෙනුනේ අනෙක් අයද ත‍්‍රාසයට පත්කරවමිනි. මැතිරීම කළ වැඩිහිටියා විදුලිපන්දමක් ඉල්ලාගෙන කැලේ ඇතුළට ගියේ ‘‘ඔහොම පොඞ්ඩක් දරුවා අල්ලා ගන්නට’’ යැයි කියමිනි. මොහොතකින් එළියට පැමිණි ඔහු කැලෙන් කඩාගත් කොළ ටිකක් අසළවු පොල්කටුවක් ගෙන එහිදමා කෙටුවේය. ඒ කොළටික ඉස්මත් එක්කම දැරියගේ සිරුර සර්පයා කෑ තුවාලය මත තැබීය. ‘‘දැන් ඔන්න මම විස බැස්සුවා. බයවෙන්න දෙයක් නෑ කොහාට හරි එක්ක ගිහිං ප‍්‍රතිකරයක් ඉක්මනට කරන්න’’ මේ වැඩිහිටියා පිරිසට අවවාද දෙද්දී එහි සිටි හැමෝම දිගු සුසුම් හෙළුහ. ‘‘අපේ ඥාතියෙක් මහ ට‍්‍රැක්ටරයක් ගත්තා. ඉතිං ඒ සතුටට කතරගම දෙවියන්ට පූජාවක් තියන්න කියලා හිතාගෙන අපි පවුල් කිහිපයක් කැඹිළිත්ත දේවාලයට ආවා. කොටියාගලින් ට‍්‍රැක්ටරක් කුලියට අරගෙන ආවේ. ගෑණු අය කිහිප දෙනෙකුත් ආවා. අපිට දේවාලෙට යන්න හම්බවුනේ නෑ. මුහුණ හෝදන්න ලැබුණේත් කිහිප දෙනෙකුට විතරයි. දරුවට සර්පයෙක් දෂ්ඨකළා’’ දැරියගේ නඩයේ පිරිමියෙක් කිහිපදෙනෙකු සමග කීවේය. ‘‘මේන් කාපු සතා. පෙනුමෙන් නම් පොළොන් තෙළිස්සෙක්. ඔයගොල්ලෝ ඉක්මනට දරුවා රෝහලකට ගෙනියන්න. ඒ යනකොට මේ සතාත් අරගෙනම යන්න’’ සර්පයෙකු සහිත බෝතලයක් පෙන්වමින් කෙනෙක් කීවේය. ඒවනවිටත් එහි දෙසිය පනහක් තුන්සියයක්වු පිරිසක් තැන තැන රැස්වී හිමිදිරියේ වු මේ සිදුවීම ගැන කතා කරන්නට විය. මේ මීට දින කිහිපයනට පෙර කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ මහකැබිලිත්ත දේවාලයට පිවිසීම සදහා බැතිමතුන් වාහන වලින් පැමිණ නවතින කුඹුකන්ඔයේ ඉවුරේදී සිදුවු සිදුවීමකි. ‘‘මේ කාණ්ඩෙ ගෑණු අයත් අරගෙන ඇවිත් තියෙන්නේ. කතරගම දෙවියන් වැඩහිටින මහකැබිලිත්තේ සියඹලා දේවාලෙට ගෑණු අය සාමාන්‍යයෙන් යන්නේ නෑනේ. අනික මේ අය වැඩි කාලයක් පේවෙලා නෙවෙයිලූ ඇවිත් තියෙන්නේ. අද බලන්ඩකෝ හයසියක් විතර මිනිස්සු ඇවිල්ලානේ. ඒ අතරත් ගෑණු ඉන්නවා. දැන් මේක පූජා බිමක් නොවන තැනට වැටෙන්නයි යන්නේ. භක්තියට එන අයට මේ පිරිස් බාදාවක්. නිකරුනේ මෙහෙට එන්න එපා කියන එකද දන්නේ නෑ මේ සිද්ධියෙන් පෙන්නුම් කළේ.’’ කිහිපදෙනෙකු එසේ කතාකරනු ඇසිණි. සර්පයා දෂ්ඨකළ දැරිය අගේ දෙමාපියන් සහ තවත් කිහිප දෙනෙක් සමග පසෙකය. වරින්වර ඔවුන් හමුවට ආ අය යම්යම් දේ විමසමින් ආපසු යති. දැන් අදුර පහව ගොසිනි. කුඹුකන්ඔය ඉවුර දැඩි කලබලකාරීය. පිරිසක් ඔයේ බැස දියනාති. තව පිරිසක් ශරිර කෘත්‍ය කරගගැනීම පිණිස එතැන ඇති වැසිකිළියට යාමට පෝලිමේය. තවත් තැනක සුදුපිරුවට අ`දින පිරිසකි. අල්ලාප සල්ලාපයේ යෙදෙන්නෝද ඒ අතරය. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ කිහිප තැනම මුරුතැන් පූජාව සකසන බැතිමතුන්ය. පූජාවන් රැගෙන ඔය තරණය කරන සුදුවතින්  සැරසුනු  බැතිමතින් මෙන්ම පුජාවන් පවත්වා ආපසු එන බැතිමතුන්ගේ දසුන්ද දෙනෙත්වලට ගෙන දුන්නේ පහන් බවකි. සර්පයා දෂ්ඨකළ දැරිය කොටියාගල හරහා රෝහලකට ගෙන යන්නේ නම් මොනරාගල රෝහලට කිලෝමීටර් හැටකට ආසන්න  දුරක් තිබේ. දැරිය රෝහලට ගෙනයන්න ඔවුන් පැමිණි කණ්ඩායමේද උවමනාවක් පෙනෙන්නට නොවුණි. නමුත් ඇගේ දිවි බේරාගන්නටනම් එය කළ යුතුය. දැරියගේ මාපියෝ අසරණව සිටිති. වන්දනාවේ මෙහි පැමිණෙන සෙසු වාහනවල ඉඩක්ද නැත. මේ අතර මහකැබිලිත්තට නිතරම යනඑන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සමග පැමිණි කණ්ඩායම ඒවනවිට පුජාවන් පවත්වා අවසන් කර මෙගොඩට පැමිණ තිබුණි. සාමාන්‍යයෙන් එසේ පැමිණ දහවල් ආහාරයට යමක් කුඹුකන්ඔය ඉවුරේදීම පිසගෙන ඒවාත් රැුගෙන ආපසු පිටත්වීම සිරිතය. නමුත් මේ දැරියට පිහිටවිය යුතුයැයි විමල්ගේ හිත කියන්නට විය. තම කණ්ඩායමට ඒ ගැන විමල් කීවේය. ‘‘ආ ඒකට කමක් නෑ අපි ලෙඩාව අරගෙන යමු. ඒ පිනත් කතරගම දෙවියන්ට ලැබෙයි’’ පිරිසේ කෙනෙක් කීවේ මහකැබිලිත්තට ඇවිත් තවත් පිනක් කරගන්නට ලැබුණු සතුට පිටකරමිනි. ඒ අනුව පාන්දර හයට පමණ සර්පයා දෂ්ඨකළ දැරියත් ඇගේ අම්මාත් තාත්තාත් රැගෙන විමල්ගේ පිරිස ඔහුගේ ජිප් රථයෙන් පිටත්වූහ. කැලැවේදී කිසිදු බාධාවක් නොවී  පිරිස කුමණ වනාන්තරයෙන් එළියට ආවේ කොටියාගල ගමටය. එතැනින් මොණරාගලට පැමිණෙනවිට පස්වරු දෙකට ආසන්න ව තිබිණි. පිරිස  රෝගී දැරිය මොනරාගල රෝහලට ඇතුළුකර විමල් ඇතුලූ පිරිස පිටත්ව ගියේ දැරියත් ඇගේ මාපියනුත් මොරණගාල නගරයට ආසන්න පදිංචිකරුවන් වු නිසාය. මහකැබිලිත්තට එන පිරිස් දැන් එතැනට ඇවිත් කරන්නේ මහ විනාශයකි. කලකට පෙර එහි තිබු සුන්දර පරිසරය දැන් වැනසෙමින් පවති. පූජාවන් ස`දහා ගෙනෙන තැඹිලි කෝම්බ තැන තැන දමාගොසිනි. ඉටිකොළ, පෝරකවර, පොල්කටු, මැටි මුට්ටි වනාන්තරයේ තැනින් තැන දමා ඇත. කතරගම දේව අඩවිය වැනසීම තමන්ටම අවැඩක් කගරන්නා මගක් බවට බොහෝ දෙනාගේ අදහසයි. මේවනවිට මහකැබිලිත්තේ හාස්කම් නැතැයි ඔප්පුකර පෙන්වීමට එහි එන්නෝද සිටිති. ඒඅතර සමහරු කාන්තාවන්ද කැදවාගෙන එති. දින කිහිපයක් පේවී (සියලූ දුසිරිත්වලින් වැළකී) පැමිණීම බැතිමතුන්ගේ සිරිතක් වුවද අද එහි එන්නෝ වැඩිදෙනෙක් එසේ නොකරන බව බැලූ බැල්මට පෙනේ. නමුත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්නටනම් තෙරුවන්ගුණ සිහිකර ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන් හි යෙදී දෙවියන්ට පිං අනුමෝදන් කළ යුතුය. එසේ කිරීමෙන් හැර යම් පිහිටක් ආරක්‍ෂාවක් පැතීමෙන් ඵලක් නොවනු ඇත. අනුන්ට පළිගහන්නට, විපත් කරන්නට යැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලීමෙන්ද ඵලක් නැත. කතරගම පිහිටි දේවාලයට නොගොස් මහකැබිලිත්තට ආවාට ගියාට පැමිණිම දිගුකාලින්ව හෝ විපාක දෙන කරුණකැයි මෙහි වසර ගණන් තිස්සේ යනඑන සහ පුදපුජා පවත්වන භක්තිවන්තයෝ කියති. කතරගම දෙවියන් ගැන සදහන් කරනවිට කතරගම කිරිවෙහෙර භූමියද කිසිවෙකුටත් අමතක කළ හැකි තැනක් නොවේ. කතරගම වන්දනාවේ එන වැඩි දෙනෙක් කිරි වෙහෙර වදින්නට නොඑති. දේවාලයට පුජා වට්ටියක් පූජාකර ආපසු යන පිරිස් වැඩිය. එහෙත් කතරගම කිරිවෙහෙර චෛත්‍ය මළුවේදී සුදු ඇදගත් තාපස වෙස් ඇති උපාසක ඇත්තෙකු දුටු බොහෝ දෙනෙක් රටේ විවිධ ප‍්‍රදේශවල සිටිති. ඒ හැම කෙනෙක්ම මේ උපාසක ඇත්තා දැක ඇත්තේ චෛත්‍ය මලූවට පැමිණ ආමිස හා ප‍්‍රතිපත්ති පුජාවන් පැවැත්වීමේදී හෝ ඉන් අනතුරුව බව කියති. රාත‍්‍රී දහය එකොළහට පමණ කිරිවෙහෙර වන්දනා කළ පිරිසක් අතර සිටි මැදිවියේ කාන්තාවකට චෛත්‍ය මළුවේ භාවනාකරන උපාසක ඇත්තෙකු දැක තිබේ. තමන්ගෙනා හදුන්කූරු තෙල්, කපුරු, පහන්තිර ටිකක් ඒ ඇත්තාට දෙමුයැයි   කිරිවෙහෙර වන්දනා කර ආපසු පඩිපේලි කිහිපය බසින අතරේ සෙසු පිරිසට යෝජනා කළාය. සෙසු අය කීවේ තමන් එවැන්නෙකු චෛත්‍ය මළුවේදි නොදුටු බවයි. එහෙත් මේ කාන්තාව තමන් එවැනි උපාසක ඇත්තෙකු දුටු බවත් පවසා ඔහුට පුජාභාණ්ඩ ටිකක් පරිත්‍යා කිරිමට යළි යද්දී ඒ ඇත්තා දකින්ට ලැබී නැත. පසුව මේ කාන්තාව තම නඩයේ විහිළුවටද පාත‍්‍රව තිබේ. නමුත් එවැනි දසුන් කිරිවෙහෙර චෛත්‍ය මලූවේදී දුටු කිහිප දෙනෙකුම සිටීම නිසා මේ කාන්තාව කී දෙය සත්‍යයකැයි අනික් අයද විශ්වාස කරන්නට වුහ.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 මහ කැබිලිත්ත දේවාල බිමේ බැතිමතුන් ගෙනා  කුරුම්බා කෝම්බ සහ වලං ආදිය වනයේ තැනතැන දමා ඇති අයුරු කතරගම කිරිවෙරෙ චෛත්‍ය භුමිය