ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් යැයි ඔබ කොතෙකුත් පවසා ඇත. සැබැවින්ම එය පුදුමාකාරය. විටෙක සතුටුවන අප ඒ සැණින්ම දුකකට ඇදවැටෙන අවස්ථාවලට මුහුණ දීමට සිදුවිය හැකිය. මාපියන් හැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් සතුටෙන් තැබීමටය. ඔවුන් හැම දෙයක්ම කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත් තමන් දරුවන් සතුටෙන් තැබීමට යැයි සිතමින් කරන 1

 

දේවල් දරුවන් විපතට පත් කරනු ඇතැයි හෝ ඔවුන්ගේ ජීවිතයෙන් සතුට උදුරා ගනීවි යැයි කිසිවිටෙකත් මාපියන් සිතන්නේ නැත. එහෙත් අද සමාජය තුළ මාපියන් දරුවන්ගේ සතුට වෙනුවෙන් කරන සමහර කැපකිරීම් පෙරළා ඔවුන්ගේ දුකට හේතු සාදමින් තිබේ. 

 

 
තමන්ගේ දුගී දුප්පත්කම දරාගන්න බැරි මාපියෝ තමන්ගේ දරුවන්ට ඒ දුක දරන්නට ඉඩක් නොතබා විදේශගත වෙති. පුංචි දරුවන්ට මුදල්වල වටිනාකම හෝ අවශ්‍යතාවයන් දැනෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය කරන්නේ දෙමාපියන්ගේ ආදරය හා රැුකවරණයය. ඒ නිසා පුංචි දරුවන් සිටින්නේ අම්මාගේ ඇෙඟ් එල්ලීගෙනම බව අප දැක ඇතිවා සේම අපි ද එය අත්විඳින්නෙමු. එහෙත් අප එකිනෙකාට මුහුණ දීමට සිදුව තිබෙන අත්දැකීම්, වටපිටාවන් එකිනෙකට වෙනස්ය. ඒ නිසා දරුවන් පිළිබඳ ප‍්‍රශ්නවලදී අපි එක එක්කෙනා තෝරන උත්තරත් එකිනෙකට වෙනස්ය. 

6
‘‘දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී’’ කියලා පැරණි කවියකින් අප අසා ඇත. එය සැබෑවකි, දුප්පත්ව ඉපදෙනවාට වඩා මියයාම සැපකැයි සමහරුන්ට සිතෙන්නේ ඒ නිසාය. ප‍්‍රශ්න වැඩි වූ විට සිය දිවි නසාගන්නේ ද ඒ නිසාය. උගත්කමේ වපසරියත් පටුවෙමින් දුප්පත්කමත් ඒ සමගම පිටුපසින් පැමිණ තිබෙන අවස්ථාවක ජීවිතයේ ඇතිවන ප‍්‍රශ්නවලට සොයන උත්තර තවත් ප‍්‍රශ්න රාශියක ආරම්භයක් වනු ඇත. මන්ද දුප්පත්කම පියමන් කිරීමට ඔවුන්ට සොයන්නට තිබෙන උත්තර ප‍්‍රමාණය ඉතාමත්ම සීමිත වන බැවිනි. කාන්තාවක නම් ඔවුන් එක්කෝ ඇඟළුම් කම්හලක සේවයට යා යුතුය. නැත්නම් මෙහෙකාර සේවය සඳහා විදේශගත විය යුතුය. එහෙත් ඇඟළුම් කම්හලක සේවය කර ලැබෙන සොච්චම පවුලේ ප‍්‍රශ්න විසඳීමට තබා තමන්ගේ අවශ්‍යතාවන් ටිකවත් විසඳාගැනීමට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඒ නිසා මාපියෝ පහසුවෙන්ම තෝරාගන්නා පිළිතුර විදේශගත වීමය. මව විදේශගත වන විට දරුවන් නිතැතින්ම ආච්චි අම්මාට බාරවේ. චාතූර්යාට සිදුවුණෙත් මෙවැනි අත්දැකීමකට මුහුණ දීමටයි. ඒ මවක ලෙස නොව පුංචි දියණියක ලෙසයි.


චාතූර්යා ඇගේ මවත් සමග පුංචිම පුංචි කාලය ගෙව්වේ බොහොම සතුටෙනි. අගහිඟකම් තිබුණත් ඒ කැදැල්ල සතුටෙන් පිරුණේ අම්මාත් තාත්තාත් දෙදෙනා ආදරයෙන් ජීවත්වූ නිසාය. අම්මා චාතූර්යාට මල්ලී කෙනෙක්ද රැුගෙන ආවාට පසුව ක‍්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වන්නට විය. සත්‍ය වශයෙන්ම මල්ලී ගෙදරට එන විටත් පවුලේ දෙදරුම ආරම්භ වී තිබුණි. චාතූර්යාගේ තාත්තා ඇයත් මල්ලීත් සමග අම්මාව තනිකර දමා ගියේ ඇයට අවුරුදු දෙකක් පමණ වන වයසේදීය. ඉන්පසු ඇයත් මල්ලීත් හදාගැනීමට අම්මා බොහෝ දුක්මහන්සි වූවාය. අම්මා නගරයේ තේ කඩයක වැඩට ගියාය. අම්මා එනතුරු චාතූර්යාත් ඇගේ මල්ලීත් බලාගත්තේ ඇගේ ආච්චි අම්මාය. මේ විදිහට දුක්විඳගෙන අම්මා උපයන සොච්චම ජීවත්වීමට ප‍්‍රමාණවත් වුණේ නැහැ. මහ ගෙදර අයිති බාප්පාටය. බාප්පා පුංචි අම්මාව එක්කගෙන ආ පසු අම්මාට තවත් ඒ ගෙදර සිටීමට ඉඩක් නැති තත්ත්වයක් ඇති විය. ඒ නිසා ඔවුන්ටම කියලා ගෙයත් දොරක් හදා ගැනීමේ අරමුණ ඇතිව අම්මා ඩුබායි ගියාය.


    චාතුූර්යාගේ අම්මා විදේශගතව වසර දෙකක් පමණ සිට ලංකාවට පැමිණ ගේ හදන්නට පටන් ගත්තාය. ඒ අතර ඇයට දෙවන විවාහයකටද අවස්ථාවක් ලැබුණි. ආච්චි අම්මාද ඊට කිසිදු විරෝධයක් නොදැක්වූයෙන් අම්මා දෙවන විවාහයද සිදුකර ගත්තේය. ඉන්පසු අම්මා චාතූර්යාට තවත් නංගි කෙනෙක් හා මල්ලියෙක් ගෙනත් දුන්නාය. නංගිලා මල්ලිලා සහ බාප්පා සමග චාතූර්යා නැවතත් සතුටෙනි. එහෙත් නිවසේ ඉතිරි වැඩකටයුතු අවසන් කර ගැනීම සඳහා යැයි කියමින් අම්මා නැවතත් විදෙස්ගත වූවාය. ඒ වන විට චාතූර්යාගේ වයස අවුරුදු අටක් පමණ වන්නට ඇත. 


චාතූර්යාගේ ජීවිතේ එක ලෙස එක රිද්මයකට ගලායාමට දෛවය ඉඩ දෙන්නේම නැතුවා සේය. නැවතත් චාතූර්යා නංගිලා මල්ලිලා සමග ආච්චි අම්මාට බාර වූවාය. නමුත් වෙනසක් ඇත. ඒ තාත්තාට වඩා බාප්පා චාතූර්යලා ගැන සොයා බැලීම හොඳින් සිදුකිරීමය. එහෙත් අම්මා නැති අඩුව වයසින් වැඩෙත්ම චාතූර්යාට දැඩිව දැනෙන්නට විය. ඇය වැඩිවියට පැමිණෙන විටත් චාතූර්යාගේ මව සිටියේ විදේශගතවය. අම්මා ඇයට රන් ආභරණ, ඇඳුම් පැළඳුම් සියල්ල ඩුබායිවලින් එවා තිබිණ. ඇය ඉන් සතුටට පත් වුවත් අම්මා නැති අඩුව මකන්නට කිසිවෙකුටත් නොහැකි විය. 


ඇයට අවුරුදු දොළහක් පමණ වන විට තරුණයෙක් ළං විය. ඔහු ශිරන්තය. චාතූර්යාට වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල් එනම් විසිහත් හැවිරිදි තරුණයෙකි. ශිරන්ත සමග ඇතිකරගත් සම්බන්ධය නිසා ඉගෙනීමට යොමුව තිබුණ චාතූර්යාගේ මනස වෙනම පැත්තකට යොමුවන්නට විය. මේ බව ඉව වැටුණ වහා බාප්පා ඇයට අවවාද කළේය. ආච්චි අම්මාද ඇයට අවවාද කළාය. එහෙත් ඒ කිසිවකටත් ඇහුම්කන් දිය නොහැකි ලෙස ඇයට ශිරන්තගේ සමීපකම, ආදරය හිතට අමුතු හැඟීමක් ගෙන දෙන බැඳීමක් සේ දැනෙන්නට විය.  මේ නිසා ඉගෙනීම කඩාකප්පල් කරගත් චාතූර්යා අවුරුදු දාහතරක් වන විට ශිරන්ත සමග රහසිගතව පළා ගියාය.


මේ සිදුවීම කනවැටුණ වහා චාතූර්යාගේ මව ලංකාවට පැමිණියාය. චාතූර්යා හමුවී නැවත ඇය නිවසට කැඳවාගෙන ඒමට උත්සාහ කළාය. එහෙත් ඒ කිසිවකින් පලක් නොවූ තැන ඇයට නීතියෙන් විවාහ විය හැකි වයසක් නොවුණද විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ඉඩකඩ හා වියහියදම් අම්මා සැපයුවාය. අවුරුදු පහළොවක් වන විට චාතූර්යා ද මවක වූවාය. එහෙත් මවක ලෙස දරුවෙකු බලා කියා ගැනීමට තරම් දැනුමක් ඇයට නොවිණ. චාතූර්යාගේ මව ඇයට සියලූ ආකාරයෙන්ම ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා වියහියදම් ලබාදුන්නාය. චාතූර්යාගේ දරුවාට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට ශිරන්ත ඇය අතහැර වෙනත් කාන්තාවක සමග පළා ගියේය. චාතූර්යා කුඩාකලදී මව මුහුණ පෑ අත්දැකීමටම නැවත චාතූර්යාට මුහුණ දීමට සිදුවන ලෙස ඇගේ දෛවය කවදා කවුරු කෙසේ ලීවාද කියන ප‍්‍රශ්නයක් ඥාතීන්ට හා අසල්වැසියන්ට මතුවිය. 


කෙසේ වුවද ඇයට තවත් වසරක් පමණ වන විට නැවත විවාහයක් කරගැනීමට ඉඩක් ලැබිණ. ඒ අවුරුදු දාහතක වයසේදීය. ඒ වන විට ඇය සමග විවාහ වූ දෙවැනි සැමියා වන දුෂ්මන්තගේ වයස අවුරුදු දහ අටකි. ඒත් මේ කිසිවක් නීත්‍යනුකූල විවාහයන් වූයේ නැත. ඒ තවමත් චාතූර්යා නීත්‍යානුකූලව විවාහ විය හැකි වයසක පසු නොවීම නිසාය. කෙසේ වුවද දුෂ්මන්ත ඇයට ආදරයෙන් සැලකුවේය. අම්මා ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ලබාදුන්නාය. මේ විදිහට ඇය සිය සැමියා දුෂ්මන්ත සමග කාලය සතුටෙන් ජීවත් වීම ඇරඹුවාය. අවුරුදු දහඅටක් වන විට චාතූර්යා දෙවන පුතු ද බිහි කළාය. මේ අතර ඇය නගරයට ගිය අවස්ථාවක පැරණි මිතුරියක හමුවිය. 


කලකින් හමුවූ මිතුරිය කොළඹ ජීවත්වන බවත් ඇයද විවාහ වී සිටින  බවත් සැමියාද කොළඹ කෙනෙක් බවත් තමන්ට බොහොම සරු බවත් චාතූර්යාට පැවසුවාය. ඇය සමග බීම බෝතලයක් බොන්නට ගිය චාතූර්යාට තමන් සමග කොළඹ පැමිණ රස්සාවක් කළ හැකි බව මිතුරිය පැවසුවාය. මෙයින් සතුටට පත් චාතූර්යා පුතා සිය ආච්චි අම්මා වෙත දමා කොළඹ රස්සාවකට ගියාය. ඒ සැමියාගේ විරෝධය මැදය. එහිදී චාතූර්යාව හෙරොයින් භාවිතයට ඇබ්බැහි කර ගැනීමට මිතුරිය සමත් වූවාය. මිතුරිය සිටියේ කොළඹ අනවසර නිවාස ලෙස හැඳින්වෙන පැල්පත් නිවාසයකය. ඇගේ සැමියා හෙරොයින් ජාවාරමේ නිරත වූවෙකි. රස්සාව කර හම්බකරන සියල්ල චාතූර්යා හෙරොයින් සඳහා වැය කළේය. අවසානයේදී ඇය බේරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්විය. මිතුරියගේ නිවස වැටලූ අවස්ථාවක චාතූර්යා ද අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් පැකට්ටුවක් ළඟ තිබූ නිසාය. මාස කිහිපයක් බන්ධනාගාරගතව සිටි චාතූර්යා නැවත නිදහස්ව පැමිණ සිය ගමට ගියේ දුෂ්මන්තගෙන් සමාව ඉල්ලා හඬා වැටෙමිනි. 


දුෂ්මන්ත ඇයට සමාව දුන්නේය. එසේම ඇයට නැවත ජීවිතය හදාගැනීමට අවස්ථාවද දුන්නේය. මෙලෙස නැවත ගමේ නැවතී ගෙදර දොර කටයුතු කරගෙන මවක ලෙස සියලූ දේ සොයා බලමින් චාතූර්යා මුහුකුරා වැඩුණාය. මේ කාලය තුළ ඇය ලද අත්දැකීම් වයසට වඩා ඇය මෝරා වැඩුණු තරුණියක බවට පත්කර තිබුණේය. ඇයට අවුරුදු විසි එකක් වන විට තෙවන දරුවා බිහි කළාය. තෙවන දරුවාට ද වසරක් පමණ වනතුරු හැල හැප්පීම් මැද වුවත් හොඳින් ජීවත්වූ චාතූර්යා සිය මාමණ්ඩිය එනම් දුෂ්මන්තගේ පියා සමග ප‍්‍රශ්නයක් ඇතිකර ගත්තාය. ඒ දුෂ්මන්ත ගමෙන් බැහැරව කුලී රැුකියාවකට ගොස් සිටියදීය. මෙයින් මාමණ්ඩිය සමග අමනාප වූ චාතූර්යා නැවත කොළඹ මිතුරියගේ නිවසට ගියේ සිඟිති පුතුද රැගෙනය. 


දැන් චාතූර්යා නැවතත් සුපුරුදු පරිදි හෙරොයින් භාවිත කරන්නට පටන් ගත්තාය. ඇය ඒ සඳහා මුදල් සොයා ගත්තේ දරුවා සමග කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන මංසන්ධිවල හිඟමනේ යෙදීමෙනි. ඇය සිඟමන් යැද ලැබෙන මුදල් හෙරොයින් භාවිතයට ගන්නා බව පොලිසියේ ඇසට යොමුවී තිබිණ. ඒ නිසා ඇය පොලිස් අත්අඩංගුවට පත්විය. ඇය පෙර වැරදි සහිත කාන්තාවක වන්නාසේම දැඩිව හෙරොයින් භාවිතයට ඇබ්බැහිවී සිටින්නියක නිසා අධිකරණයෙන් ඇයව පුනරුත්ථාපනයට යොමු කරනු ලැබිණ. ගංගොඩවිල නිවර්තන නිවාසය කරා ඇය පැමිණි ගමන යෙදුණේ ඒ ආකාරයෙනි.


චාතූර්යා නිවර්තන නිවාසයට යොමු වන විට ඇගේ දරුවා පරිවාස භාරයෙන් ළමා නිවාසයකට යොමු කෙරිණ. තවමත් දුෂ්මන්ත ඇයට ආදරය කරන්නේය. එහෙත් නීතියෙන් විවාහ වී නැති නිසා දුෂ්මන්තට චාතූර්යා බලන්නට පැමිණිය නොහැකිය. බාප්පාටද ඇය බැලීමට අවස්ථාවක් නැත. ඒ නිසා ඇය බැලීමට පැමිණෙන්නේ මල්ලීය. නමුත් තවමත් චාතූර්යාට නිදහස් වී යාමට නොහැකිය. ඒ සඳහා ඇය තමන්ට ස්වාධීනව ජීවත්වීමට හැකි මාර්ගයක් සකසාගත හැකි බව පෙන්විය යුතුය. චාතූර්යා නිවර්තන නිවාසයේ සිට ඒ වෙනුවෙන් පුහුණුවන්නීය. දැන් ඇයට සබන් හැදීමට හැකිය. රෙදි බතික් කිරීමට හැකිය. තවදුරටත් ඒ පුහුණුව සම්පූර්ණ කළ පසු මාස කිහිපයකින් නැවත ගමට යාමට මග පෑදෙනු ඇති බවට චාතූර්යාට විශ්වාසයක් ඇත. මේ වන විට අවුරුදු විසිතුනක් වන චාතූර්යාගේ වැඩිමහල් දරුවා පාසලේ තෙවන වසරේ ඉගෙනුම ලබයි. දෙවන දරුවා ද දැන් පාසල් යාම අරඹා සිටින්නීය. තුන්වන දරුවා ළමා නිවාසයක භාරයට පත්ව සිටි. මේ සියල්ල සිදුවන්නේ චාතූර්යාගේ පවුලේ නිසි පැවැත්ම බිඳ වැටුණ පසුබිමකය. 


පවුල යනු සමාජයේ තැනුම් ඒකකයයි. එවන් පවුල් සංස්ථා බිඳ වැටුණ පසු සමාජයට එක්වන නව පරම්පරාව කෙබඳු විය හැකිද? චාතූර්යා අපට සපයන්නේ ඊට උදාහරණයකි. දරුවන්ට අවශ්‍ය වන්නේ සැපසම්පත්ය, බඩුබාහිරාදියය, සෙල්ලම් බඩු හා ඇඳුම් පැළඳුම්ය, ගෙවල්දොරවල්ය කියා සිතනා මාපියන්ට කිසි දිනක දරුවෙකුගේ අනාගතය යහපත් කළ නොහැකි බව චාතූර්යා අපට පෙන්වා දෙයි. හෙට අනිද්දා දවසක චාතූර්යා ආපසු නිවසට යනු ඇත. ඇගේ සැමියා මෙන්ම බාප්පාද කිසි විටක ඇයට එරෙහිව කටයුතු නොකළ නිසා මෙලෙස නැවත නිවසට යාමට වරම් ලැබුණද එසේ නොවුණේ නම් ඇගේ ඉරණම කෙබඳු වනු ඇතිද? කෙසේ වුවද ඇයගේ ජීවිතයේ ඇති කළ හැලහැප්පීම් ඇගේ දරුවන්ට ද බලපානු ඇත. ඒ නිසා අනාගතයේ ඇගේ පවුලෙන් සමාජයට එක්වන මේ දරුවන් යහපත් ක‍්‍රියාවන්වල යෙදෙන යහපත් තරුණ පිරිසක් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද?


මේ ක‍්‍රියාවලිය දිගින් දිගටම සිදුවනු ඇත. මේ චක‍්‍රය නැවැත්විය හැක්කේ කොතැනකින්ද? අප වැඩිහිටියන් ලෙස සිතිය යුත්තේ ඒ පිළිබඳවය. 


(තොරතුරු සපයා ගැනීමේදී සහය දුන් බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ බී.එච්.සී. ශිරෝමාලී මහත්මියටත් මෙත්සෙවන නිවර්තන නිවාසයේ අධිකාරි ජේ. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තුතිය.)

 

m