ශ්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසය දහදියෙන් ලෙයින් සහ කඳුළෙන් ලියැවූවකි. එදා කම්කරු අරගල වලට පන්නරය ලබා දෙන්නට සටන් කළ සහෝදරවරුන් අද දින සැමරෙන්නේ ගෞරවයෙනි. මෙරට කම්කරු සටන් ඉතිහාසයේ පොලිස් වෙඩි පහරකින් මියගිය මුල්ම කම්කරුවා දිවි පිදු ස්ථානය අද බොහෝ දෙනකුට අමතකය. එහෙත් ඒ සටන මෙරට වෘත්තිය අරගල වංශකතාවේ රන් අකුරින් ලියැවී තිබේ.

 

වතු බංගලාව

 

හේවාහැට ආසනයට අයත් මුල්ඔය වත්තේ කම්කරුවෝ 1940 ජනවාරි මස 01 දා වැඩවර්ජනයක් ආරම්භ කළෝය. මෙම වර්ජනයට නායකත්වය දුන්නේ සමසමාජ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ ආචාර්ය කෝල්වින් ආර්.ද. සිල්වා මහතා සභාපතිත්වය දැරූ සමස්ථ ලංකා වතු කම්කරු සංගමයයි. මුල්ඔය වත්තේ මුළු කම්කරුවන් 1200න් 800ක්ම කොල්වින්ගේ සංගමයේ සාමාජිකයෝ වූහ. වත්තේ සේවක ප‍්‍රජාව අතර ජනප‍්‍රිය පුද්ගලයකු හා ගුරුවරයකු වූ ජෙගනාදන් නමැත්තා අසාධාරණ ලෙස ස්ථාන මාරු කිරීමට එරෙහිව ආරම්භ කළ වර්ජනය උග‍්‍රවීමත් සමඟ මර්දනය නැගී ආවේය. වතුකම්කරු නායකයකු වන වේළුසාමි නමැත්තා අත්අඩංගුවට ගෙන සිරගත කැරිණි.

දිනෙන් දින තත්ත්වය උග‍්‍රවෙද්දී කම්කරුවන්ගේ ඉවසීම ඉක්මවා ගියේ්ය. බි‍්‍රතාන්‍ය පාලක පක්‍ෂය ඔවුනට නයාට අඳුකොළ මෙන්විය. මුල්ඔය සටන අනෙක් වතුවලටත් පැතිරෙනු ඇතැයි බියවූ සුද්දෝ තත්ත්වය පාලනය කිරීමට කම්කරුවන්ට වෙඩි තබන්නට පොලිසියට අණ කළෝය.

පොලිසිය ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා කම්කරු සටන් ඉතිහාසයේ ප‍්‍රථම වරට වතු කම්කරුවකු ජීවිතක්‍ෂයට පත්විය. පොලිස් සැරයන් සුරවීරගේ වෙඩිපහරින් එසේ සටන වෙනුවෙන් දිවී පිදුවේ ගෝවින්දන් නැමති වතුකම්කරුවාය.

ගෝවින්දන්ගේ මරණයත් සමඟ මහා වියවුලක් හටගැනිණ. අවසානයේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට ගෝවින්දන්ගේ මරණය ගැන සොයා බලන්නට රාජකීය කොමිෂමක් පත්කරන්නටද සිදුවිය. මෙම මුල්ඔය රාජකීය කොමිසම දීර්ඝ කාලයක් මහනුවරදී සිද්ධිය ගැන සාක්ෂි විමසීය. ආචාර්ය කොල්වින් දින 27 කම්කරුවන් වෙනුවෙන් කොමිසම හමුවේ කරුණු දැක්වීය. මේ නිසා ජාතික දේශපාලනයේ මහා සසල වීමක්ද වාර්තා විය. ඒ අනුව මෙම අර්බුදය ගැන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හටගත් මතගැටුම් ආණ්ඩුකාරවරයා සමඟ හටගත් අර්බුදයක් බවට පත්වී පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයම එකවර ඉල්ලා අස්විය. එහිදී හටගත් රාජ්‍යතාන්ත‍්‍රික අවුල සමතය කරන්නට ආණ්ඩුකාරවරයාට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.

ගෝවින්දන්ගේ ජීවිත පූජාව නිසා වතුකම්කරුවන්ට ජයග‍්‍රහණ ගණනාවක් හිමිවිය. ඉන් පළමුවැන්න වතුකම්කරු වැටුප ශත 16කින් ඉහළ දැමීමයි. ඊට අමතරව වතුවල වෘත්තිය සංගම් වලට ඉහළ පිළිගැනීමක්ද ලැබිණි. ගෝවින්දන්ගේ මරණය ගැන හොයන්නට පත්කළ කොමිසම මගින් මරණය අසාධාරණ යැයි තීන්දු කළේය. එහෙත් වෙඩි තැබීම ක්‍ෂණික තීරණයක වරදක් නිසා වූ බවද නිගමනය කැරිණි.

කෙසේ හෝ මුල්ඔය වත්තේ මහ සටන හා මෙරට කම්කරු සටන් ඉතිහාස පොතේ ගෞරවනීය පරිච්ඡේදයක් සටහන් විය. එදා ඒ මහ සටන පැවැති  මුල්ඔය වත්ත අද ඉතා සාමකාමී සන්සුන් සුන්දර වතුයායකි. ඉතිහාසයේ සටන් පිළිබඳ මතකය අනුව පසුගියදා මා මුල්ඔය වත්තට පිවිසෙද්දී මුලින්ම දුටුවේ කම්කරු සටනේදී දිවි පිදු ගෝවින්දන් සිහිවීම පිණිස තනා ඇති කුඩා ස්මාරකයයි.

 

තේ කම්හල

 

මේ සුන්දර වතුයායේ වකුකම්කරුවෝ සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවෙමින් සිටියදී පුස්සැල්ලාව වැවිලි සමාගම විසින් පාලනය කරන මුල්ඔය වතුයායේ සමූහ කළමනාකරු සුභාෂ් අබේවික‍්‍රම මහතා අප මුණ ගැසී ඓතිහාසික මුල්ඔය වත්තේ ආගිය කතා ගණනාවක්ම පැවසීය. ‘‘ලංකාවේ මුල්ම තේවත්ත වන ලූල්කඳුර වත්ත පටන් අරගත්තේ 1867දී. ඒ ආසන්න කාලයකදී තමයි මුල්ඔය වත්ත පටන් ගත්තෙ. මේ වත්ත අක්කර වලින් 1500ක් විශාලයි. අද කම්කරුවො 700 විතර ඉන්නව. මුල්ඔය වත්ත උඩරට පුස්සැල්ලාව ප‍්‍රදේශයටයි අයත් වෙන්නෙ. මේ වත්ත ඉතිහාසයට ගිය තැනක්. සුභාෂ් අබේවික‍්‍රම මහතා වත්තේ ඉතිහාස කතාවේ අප නුදුටු පැති ගණනාවක් හෙළිදරව් කරමින් නැවතත් කතාව ආරම්භ කළේය.

‘‘සමසමාජ පක්‍ෂයට උදව් කරන්න ආපු ඔස්ටේ‍්‍රලියානු ජාතික කම්කරු නායකයකු වන බ්‍රෙස්ගර්ඞ්ල්ගෙ කැපවීම නිසයි උඩරට වතුවල වෘත්තීය සටන් පටන් අරන් තිබෙන්නෙ. ලෝක වැඩවර්ජන ගැන තිබෙන සුප‍්‍රකට සඟරාවක මේ මුල්ඔය වර්ජනය ගැන පමණයි අදටත් සඳහන් වෙන්නෙ. ඒක එතරම් දරුණු වර්ජනයක් බව එයින් පේනව. ඒ කාලෙ වෘත්තිය සමිති නායකයො කිව්වෙ තේ හැදුවම රතුපාට වෙන්නෙ විශේෂ ජීව ගුණයක් නිසා නොවෙයි වතුකම්කරුවන්ගෙ ශරීරයේ තිබෙන ලේවල සාරය තේ ගස විසින් උරාගැනීම නිසා කියලයි.

ඒ අතීත උරුමය සහිත මුල්ඔය වත්ත අද සශ්‍රීක තේ වගාවක් සහිත ස්ථානයකි. ප‍්‍රදේශයේ තේ නිෂ්පාදනය කෙරෙන සෙසු තේවතුවල නිෂ්පාදනවලට වඩා ඉහළ මිල ගණන්වලට පසුගියදා කොළඹ තේ වෙන්දේසියේදී මුල්ඔය තේ අලෙවිවූ බව සුභාෂ් අබේවික‍්‍රම පවසයි.

දැනට දිනකට තේ දළු කිලෝ දස දහසක් පමණ ලබාගන්නා මුල්ඔය වත්තේ දළු නෙලීමේ ක‍්‍රමවේදය විශේෂ ප‍්‍රමිතිකරණයකට ලක්කොට තිබේ. ඒ නිසා

සමූහ කළමනාකරු සුභාෂ් අබේවික‍්‍රම

රසයෙන් හා ගුණයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙන බව සුභාෂ් වැඩිදුරටත් පවසයි.

මෙරට වතු කම්කරු සටන් ඉතිහාසයේ තෝතැන්නක් බඳු මුල්ඔය කම්කරු සටන ඉඳහිට සිහිපත් කිරීමෙන් නොනැවතී එය සිනමා සිත්තමක් ලෙස සමාජ ගතකිරීමට සැරසෙන සිනමාකරුවකුද අපට මුල්ඔය වත්තේදී මුණ ගැසිණ. ඔහු නිලේන්‍ද්‍ර දේශප‍්‍රියයි. මුල්ඔය මුල් සටන සිනමාවට නැගීම සඳහා තමන් දිගුකාලීන පර්යේෂණයක නිරතවන බව නිලේන්‍ද්‍ර අප සමඟ පැවසීය.

එදා මහ සටනක් සිදුවූ මුල්ඔය අද ඉතා සෞම්‍ය කාලගුණයක් හා දේශගුණයක් ඇති සුවබර ඉසව්වකි. බැලූ බැලූ අත දිස්වන නිල්ල මෙන්ම දියබැඳි ජලාශ, සුන්දර තණ පිටිය අලංකාර මල් ආදියෙන් ඒ අතීත සටන් බිමට සෞන්දර්යයක් එක්කර තිබේ. ලංකාවේ වෘත්තිය සටන් අරගල ගැන සොයා බලන කෙනෙකුට මුල්ඔය වත්ත වටිනා තැනකි. එහි වත්මන් සමූහ කළමනාකරු සුභාෂ් අබේවික‍්‍රම මුල්ඔය වත්ත සුන්දර තැනක් ලෙස නඩත්තු කිරීම නිසා මේ අතීත සටන් බිමේ විචිත‍්‍රත්වය හා මනරම් බව සුරක්‍ෂිත වී තිබේ.

 

සටහන සහ ඡායාරූප - රන්ජිත් ආනන්ද ජයසිංහ

 

සොබා සිරිය