කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61.00කින් හා කිලෝවක පැකට්ටුව රුපියල් 163.00කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණයකර ඇත. රටේ ජීවන වියදම එන්න එන්නම ඉහළ යමින් පවතිද්දී කිරිපිටි මිල ඉහළයාම තවත් බරක් වී ඇත. ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇණීමක් වැනිය. මිල වැඩිවීම්වලට සාපේක්ෂව ජනතාවගේ ආදායම ඉහළයාමක් සිදුවී නැත. සිව් දෙනකුගෙන් යුතු පවුලකට ග‍්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් පාවිච්චි කළ හැකි අවම දින ගණන හතරක් හෝ පහකි. මාසයකට අවශ්‍ය පිටි පැකට් ප‍්‍රමාණය පහකි. පිටි පැකට් 5කට මාසයකට වැයවන අමතර මුදල රුපියල් 305.00කි. මේ මුදල වැය වන්නේ දිනකට එක කිරි කෝප්පයක් පාවිච්චි කිරීම සඳහාය.

වසරකට ආනයනය කරනු ලබන කිරිපිටි ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 82,000කි. දේශීය කිරි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 7000කි. මෙරට කිරි නිෂ්පාදනය පිළිබඳව ප‍්‍රධාන ගැටලූ දෙකකි. එකක් දියර කිරි භාවිතයට ජනතාව පුරුදුවී නොසිටීමයි. දෙවැන්න නම් රටපුරා කිරි එළදෙනුන් ලක්ෂ 12ක ප‍්‍රමාණයක් සිටියත් එයින් කිරි ලබා ගන්නේ එළදෙනුන් 2,50,000කගෙන් වීමයි. මෙයින් පෙනී යන්නේ 9,50,000ක් කිරි එළදෙනුන්ගේ කිරි ප‍්‍රයෝජනයට නොගන්නා බවයි.

ජනතාව වැඩි කැමැත්ත දක්වා ඇත්තේ පිටි කිරිවලටය. එයට හේතු ගණනාවකි. ඉක්මනින් පිළියෙළ කර ගත හැකිවීම, කල් තබා ගැනීමේ පහසුව, පහසුවෙන් ගෙනයා හැකිවීම, ජනපි‍්‍රය බව, ආකර්ශනීය දැන්වීම් යනාදි හේතු මත ජනතාව පිටිකිරිවලට වැඩි කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත නිසා වර්ෂයකට මෙ. ටො. 89,000ක ප‍්‍රමාණයක් පරිභෝජනය කරති.

මේ කැමැත්ත නිසා පිටිකිරි මිල ඉහළ යනවිට එය ජනතාවට තදින් දැනීමට පටන් ගෙන ඇත.

ලෝක වෙළෙඳපොළේ පිටිකිරි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 3700 සිට 5200 දක්වා වැඩිවූ නිසා කිරි පැකට්ටුවේ මිල වැඩිවිය යුතු බව කිරි සමාගම්වල ඉල්ලීම වී තිබුණි.”පුදන කොටම කාපි යකා” කිව්වා සේ කිරිපිටි සමාගම් ඉල්ලන විටම මිල වැඩි කිරීමට අපේ පාරිභෝගික සේවා අධිකාරිය සැදී පැහැදී සිටින බවක් නම් පෙන්නුම් කරයි. සමාගම් අතරින් නවසීලන්ත කිරිපිටි සමාගම් පහසුවෙන් පරාජය භාරගන්නා ආයතන නොවන බවද සඳහන් කළ යුතුයි. එයට හේතුව ඔවුන් මේ රටේ පිටිකිරි අලෙවියෙන් අධික ලාභ ඉපයීම බව විශ්වාස කළ හැකිය.

කිරිපිටිවල රසායනික ද්‍රව්‍ය අඩංගු බවට මහා පරිමාණයෙන් ප‍්‍රචාරයක් සිදුවී තිබුණත් කිරිපිටි සමාගම් සැලූණේ නැත. ඔවුන් නිර්දෝෂි වූ පසු තිබුණාටත් වඩා හොඳින් දැන් ප‍්‍රචාරක කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. කිරිපිටි පැකට්ටුවකින් මෙම සමාගම් ලබන ලාභය අඩුම වශයෙන් රුපියල් 30.00ක් බව දැන ගන්නට ඇත.

ඒ ලාභයට අමතරව ප‍්‍රචාරණ කටයුතු, නොමිලයේ කිරි බෙදාදීම්, අනුග‍්‍රහ දැන්වීම්, විදේශ සංචාර සඳහා එම සමාගම් ලක්ෂ ගණනින් මුදල් වැය කරති. මේ ප‍්‍රචාරණ කටයුතු අවම වූවානම් ඒ වැයවන මුදල පාරිභෝගිකයාට ලාභයක් ලෙස සැලසීමට හැකියාව ඇත. එහෙත් ඒ සඳහා සමාගම් උනන්දුවන බවක් හෝ උනන්දු කරවන බවක් හෝ පෙනෙන්නට නැත.

කිරිපිටි සමාගම් තව තවත් ශක්තිමත් වන්නේත් කිරිපිටි මිල ඉහළ යන්නේත් කිසියම් අදෘශ්‍යමාන හේතුවක් මතද? යන සැකය කිසිවකුට ඇතිවේ නම් එය සාධාරණය.

කිරිපිටි සමාගම් ඉල්ලීම් කළ කිසිදු අවස්ථාවක මිල වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවන් ඇද්දැයි සැකසහිතය. බොහෝ විට සිදුවන්නේ ප‍්‍රමාදවී හෝ අනුමැතිය ලබාදීමයි.

 

 

 

 

මේ මිල වැඩි කිරීමට එරෙහිවීමට හා කිරිපිටි භාවිතයෙන් ඉවත් කිරීමට ඇති එකම විසඳුම දියර කිරි භාවිතයයි. ඒ සඳහා ප‍්‍රමාණවත් එළ ගවයෝ සිටිති. එහෙත් දියර කිරි භාවිතය සඳහා ජනතාව නැඹුරු කරවීමට විධිමත් වැඩපිළිවෙළක් තවමත් හරියාකාරව කි‍්‍රයාත්මක නොවන බව නම් කිව යුතුයි.
දේශීය කිරි ප‍්‍රචලිත කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයෙන් ලැබෙන සහාය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කිව යුතුයි. සතොස වැනි රජයේ වෙළෙඳ ආයතනවල විදේශ පිටිකිරි සඳහා ලබාදී ඇති අවස්ථාව දේශීය කිරි සඳහා ලබාදිය යුතු බව දේශීය ව්‍යාපාරිකයන්ගේ අදහස වී ඇත. සුපිරි වෙළෙඳසල්වල දියර කිරි පැකට් තට්ටු ගණනින් පිරී ඇත.

දේශීය කිරි භාවිතයට ජනතාව නැඹුරු කිරීම කිරිපිටි මිල ඉහළයාමේ ප‍්‍රශ්නයට හොඳම විසඳුම බව වැඩිදෙනාගේ අදහස වී ඇත. ඒ සඳහා අදාළ අමාත්‍යාංශ එකිනෙකාට වගකීම පවරා ඇඟ බේරාගැනීමේ කි‍්‍රයාවලියෙන් ඉවත්විය යුතුවේ.

අද සිදුවී ඇත්තේ පශු සම්පත් තමන්ට අයත් විෂය පථය නොවන බව පවසා වෙළෙඳ අමාත්‍යාංශය ඇඟ බේරා ගැනීමයි. පශු සම්පත් අමාත්‍යාංශය දේශීය කිරි ප‍්‍රමාණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

ඇතැම් කිරිපිටි සමාගම්වලින් ලැබෙන කොමිස් මුදලට යටවී සිටින දේශපාලනඥයන් හා නිලධාරීන් ඒ තත්ත්වයෙන් ඉවත්වන තුරු රටේ ජනතාවට කිරිපිටි මිල ඉහළයාම වැළැක්විය නොහැකිවනු ඇත. අවංක චේතනාවෙන් කටයුතු කරනවා නම් විදේශ පිටිකිරිවලට දක්වන ප‍්‍රතිචාරවලින් ඉවත්විය යුතුවේ.

 

 

 

කිරි හරක් ඉන්න මේ රටේ කිරිපිටිවලට මුදල් වැය කරන එක අපරාධයක් 

පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක



කිරිවලින් රට ස්වයංපෝෂිතය. පිටරටින් පිටිකිරි ගෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ. අපේ ශ‍්‍රමිකයින් පිටරටින් හම්බ කරල එවන ඩොලර් පිටිකිරි සඳහා පිටරටට ලබාදිය යුතු නැහැ. මේ බව කියන්නෙ මේ රටේ කිරි හදන ආයතනයේ අයිතිකරු වශයෙන්. මම පශු සම්පත් මණ්ඩලයෙ සභාපති ලෙස දෙවරක් කටයුතු කළා.

මේ රටේ එළදෙනුන් ලක්ෂ 12ක් ඉන්නවා. එයින් කිරි ලබාගන්නේ 2,40,000ක ගෙන් පමණයි. අයවැය කතාවෙදි කිව්වේ මේ රටේ සියයට 53ක් කිරි නිෂ්පාදනය තිබෙන බවයි.

කිරි නිෂ්පාදනය පිළිබඳ දත්තවල ගමේ නිවසේ එළදෙන බැඳගෙන ලබා ගන්නා කිරි පිළිබඳව මෙම දත්තවල සඳහන් වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් විශාල තේ කොම්පැණිවලින් සියයට 40ක් නිෂ්පාදන එනවා. ඉතිරිය කුඩා තේ වගාකරුවන්ගෙන්. ඒ වගේ කිරි නිෂ්පාදනයත් නිවාස මට්ටමින් සිදු වෙනවා. ඒවා දත්තවලට ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේ සියයට 53ට වඩා කිරි නිෂ්පාදනයක් මේ රටේ සිදුවෙනවා. නමුත් කතා කරන්නෙ රසායන ද්‍රව්‍ය මෙලමයින් තිබෙන කිරි ගැනයි. මම දියර කිරි පැකට් හදන්නෙ මාසෙකට දවසයි. හේතුව හැදුවට විකුණා ගන්න බැහැ. සුපර් මාර්කට්වල රාක්ක අපේ රටේ දියර කිරි පැකට්වලින් පිරිල තියෙනවා.

අපි කවුරුත් පිටි කාල තේ බොන්නෙ නැහැනේ. අපි පිටි අරගෙන ගිහිල්ල වතුර දාලා දියකරල කිරි හදා ගන්නවා.

 


ප‍්‍රශ්නය - අපේ රටේ ජනතාව තවම දියර කිරිවලට හුරු වෙලා නැහැ.

පිළිතුර -  මේ රටේ පිටරටින් ගේන වස නිසා දියර කිරිවලට හුරු වෙලා නැහැ. අපිට මෙතෙක් කල් කිරි වික්කේ මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 2000කට. ඒ කිරිපිටි පරීක්ෂා කළාම ඒවායේ විෂ රසායන තිබුණා. දැන් පිටිකිරි රේගුවෙන් එළියට දෙන්නෙ පර්යේෂණ කරලා. ඒ ගේන පිටි එළකිරිවලින් හදපුවද කියල බලනවා. දැන් කියනවා ලංකා ආණ්ඩුවෙන් උසස් තත්ත්වයේ පිටිකිරි ඉල්ලන නිසා ඩොලර් 550කින් මිල වැඩි වෙලාලූ. 2000 එක 2550ක් වෙන්න අරාබියේ යුද්ධය තියෙද්දි තෙල්වත් ඔය තරම් මිල ඉහළ ගියේ නැහැ. කිරිපිටි ගණන් ගියේ හොරකම් කළ බටර්, ප්‍රෝටීන් නිසා. දැන් කිරිපිටි මේ රටට ගේන්න කලින් පරීක්ෂා කරනවා. ජරා කිරි ගේන්න බැහැ. හොඳ තත්ත්වයේ පිටිකිරි ගේන නිසා මිල වැඩි කරන්නලූ.

හරක් ලක්ෂ 12ක් ඉන්න මේ රටේ පිිටිකිරිවලට මේ තරම් මුදලක් වැය කිරීම මොන අපරාධයක්ද? රටපුරාම හරක් ඉන්නවා. ඒත් හැම කඩයකම නිල්පාට කොළ අලවලා නවසීලන්තයෙ කිරි විකුණනවා. මේක නැතිනම් රටේ ජනතාව එළකිරි බොනව නේ.

යාපනය ජනගහනය 2,50,000යි. හරක් ඉන්නවා. 2,83,000ක්. යාපනයෙ ඉන්න ජනගහනයට වඩා හරක් ඉන්නවා. ඒ වුණාට යාපනයෙ කඩවල් පුරාම නවසීලන්තයෙ පිටිකිරි විකුණනවා. කිරි කර්මාන්තයෙ යෙදී සිටින ව්‍යාපාරිකයෙක් වූ මම මේ රටේ කිරි ගන්නෙ සල්ලි දීලා. මේ ව්‍යාපාරය කරන්නෙ පිටරටින් ගේන පිටිකිරි නතර කිරීමටයි. රටට ඩොලර් ගේන්නෙ අපේ කාන්තාවො. ඒ සල්ලිවලින් රටට ප‍්‍රයෝජනවත් කොයි තරම් දේවල ගන්න පුළුවන්කම තිබෙනවද? 
මේ රටේ තියෙන කිරි වෙනුවට පිටිකිරි පිටරටින් ගෙන්වන්නෙ මොකටද? කිරි විකුණල ජීවත් වෙන්න මට අවශ්‍ය  නැහැ. මට ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් තියෙනවා.

පිටිකිරි මිල වැඩි කරන්න කියල රටේ ජනතාව කිව්වෙ නැහැනේ. මේ කාලකණ්ණි ව්‍යාපාරිකයෝ මොකක් හරි මෙහාට ගෙන්නල විකුණ ගන්න මිල වැඩි කිිරීමක් ඉල්ලූවා. අපේ දරුවට වස විස තිබෙන කිරි ගෙන්න ගන්න මිල වැඩි කළා. හරි නම් කළ යුත්තේ ඒ ආයතන බ්ලැක් ලිස්ට් කරන එක නේද? මේ කිරිපිටිවල රසායනික ද්‍රව්‍ය තිබිල අහුවුණා. මේවා පොවන්නෙ අපේ දරුවන්ට නේ. චීනයෙ විෂ රසායන කිරිපිටි විකුණලා 9 දෙනෙක් එල්ලලා මැරුවා. නවසීලන්තයෙන් ගිහිල්ල සමාවෙන්න කියල සියලූම කිරිපිටි චීනයෙන් අරගෙන ගියා. අපි මිල වැඩි කරලත් දෙනවා. තව වස විස බීපං කියලා.

ගිය වසරේ මෙ. ටො. 83,000ක් කිරිපිටි නවසීලන්තයෙන් ගෙන්නුවා. අද ඒක 40,000කට බැහැල තියෙනවා. මෙ. ටොන් එකක් 5500 ගානෙ 40,000 ගණන් බලන්න. හම්බන්තොට වරායෙ ණය ටික ගෙවල ඉවර කරන්න පුළුවන්. මිල වැඩි කරල දීපු නිසා පාඩු නැතිව තවත් දුවන්න අවස්ථාව ලබාදී තිබෙනවා.

මම කිරි හදල විකුණන්නෙ ශත පහක ලාභයකට නොවෙයි. මගේ කිරි පැකට් එකත් සල්ලි දීලයි ගන්නෙ. 
පිටරටින් කිරිගේන එක නතර කරන්න පුළුවන්. සතොස තවම විකුණන්නෙ වසදාපු කිරිපිටි. මගේ කිරි නිෂ්පාදන විකුණන්න කොමිෂන් එක වශයෙන් රුපියල් 125.00ක් ඉල්ලනවා. ඇයි එච්චර ගාණක් දෙන්නේ. ගුණාත්මක නොවන දෙයක් කඬේ මුදලාලි ලව්වා ජනතාවගෙ ඇෙඟ් ගහනවා. ඒත් ගුණාත්මක කිරි විකුණන්න සතොසෙන්වත් ඉඩ නැහැ.
දේශීය කිරි නිෂ්පාදනයට තියෙන බාධා තමයි පිටරටින් පිටිකිරි ගෙන්වීම. මේක නතර කරන්න අවශ්‍යයි. රටේ ජනතාව දේශීය කිරිවලට නැඹුරු කිරීමට නම් එය කළ යුතුයි. මීට අමතරව රාජ්‍ය අලෙවිසල්වල දේශීය කිරි අලෙවියට ප‍්‍රමුඛ ස්ථානය ලබාදිය යුතුයි. 

 

 

 

මිල වැඩිකළ ප්‍රමාණය මදි 

ෆොන්ටේරා සමාගමේ අධ්‍යක්ෂ (මානව සම්පත් හා ආයතනික කටයුතු) රොෂාන් කුලසූරිය


 

කිරිපිටි මිල වැඩි කිරීමට අවසර දී ඇති ප‍්‍රමාණය ගැන අප තෘප්තිමත් නැහැ. ලෝක වෙළෙඳ පොළේ පවත්නා මිල ගණන් අනුව මේ වැඩි කළ මිල ප‍්‍රමාණවත් නැහැ. අවමය රුපියල් 250.00කින් වත් මිල වැඩිවීමක් අවශ්‍යයි. මේ වැඩිකළ ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන නිසා අදාළ බලධාරින් සමඟ සාකච්ඡුා පැවැත්වෙනවා. ප‍්‍රමාණවත් නොවුණත් මේ වැඩි කළ ප‍්‍රමාණය ගැන තරමක් දුරට හෝ තෘප්තිමත් වෙනවා.

ප‍්‍රශ්නය -  ඔබේ ආයතනය මගින් ප‍්‍රචාරක කටයුතු හා අනෙකුත් සුභසාධන වියදම් නතර කරන්නේ නම් ඔබට යම් ලාභයක් ලැබිය හැකියි නේද? 

පිළිතුර -  මේ ආයතනය වසර 25ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන එන ආයතනයක්. ප‍්‍රචාරක කටයුතු අපි වැනි ආයතනයකට ආයෝජනයක්. අලෙවිකරණය ආර්ථික විද්‍යාවෙ මූලධර්මයක්. අපි විකුණන භාණ්ඩයෙ හොඳ නරක අඩංගු දේ පාවිච්චි කරන ආකාරය මේ වගේ දේවල් පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කරන්න, ප‍්‍රචාරක කටයුතු අවශ්‍යයි. අනිත් කරුණ විදේශ සංචාරය. ශ‍්‍රම බලකාය වෘත්තිමය වශයෙන් දියුණුවක් ලැබීමට නම් ඔවුන්ට පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ පුහුණුව රටට ආයෝජනයක්. 

එවැනි ආයෝජන අපතේ යන වියදම් වශයෙන් අප සලකන්නෙ නැහැ. ඒවා අත්‍යවශ්‍ය වියදම්. ලෝක වෙළෙඳපොළේ පිටිකිරි මිල ඉහළයාම නිසා ඊට සමානව මෙරට මිල වැඩිවීමක් අවශ්‍යයි. එසේ නොවන්නට ආයතනයක් පවත්වාගෙන යාම දුෂ්කරයි. 

 


 

 

 

සමාගම් ඉල්ලන විදිහට මිල වැඩි කරන්න බෑ 

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (මිල අංශය) රොහාන් මීවනගේ


 

කිරිපිටි මිල වැඩි කිරීම සඳහා සමාගම් ඉල්ලීම් ගණනාවක් කර තිබුණා. අවම වශයෙන් රුපියල් 250.00ක මිල වැඩිවීමක් අවශ්‍ය බව ඉල්ලූවා. එහිදී පාරිභෝගික අධිකාරිය මගින් කිරිපිටි ආනයනික ආයතනවල සමීක්ෂණයක් කළා. ඔවුන් ආනයන කරනු ලබන කිරි පිටි ප‍්‍රමාණය, ලබන ලාභය ආදී වශයෙන් සියලූ කරුණු සළකා බලා කිසියම් අවම ප‍්‍රමාණයකින් පිටිකිරි මිල වැඩි කිරීමට සිදුවුණා. මේ මිල වැඩිවීම සිදුවූයේ මාස 20කට පසුවයි.

 

ප‍්‍රශ්නය -  ආයතන ඉල්ලන පමණින් මිල වැඩි කරනවා නම් මෙවැනි අධිකාරියක් කුමටද?
පිළිතුර - 
 නෑ. මේ අධිකාරිය නොතිබුණා නම් කිරිපිටි ආයතන හිතුමතේ මිල වැඩිවීම් කරාවි. ඒක වළක්වන්න බැරි වෙනවා. පාරිභෝගික අධිකාරිය මගින් මිල පාලනය කරන නිසා තමයි මේ තරම් අවම ප‍්‍රමාණයකින්වත් මිල වැඩි කරල පාරිභෝගිකයට සහනයක් ලබාදී තිබෙනවා. මිල වැඩි කිරීමේ කාලය මාසයකින් කල් දා ගත්තා.

 


ප‍්‍රශ්නය -  කිරිපිටි ආනයනික සමාගම් මේ මිල වැඩි කිරීම ගැන තෘප්තිමත් නැහැ. යළි මිල වැඩි කිරීමක් ඉල්ලූවොත්.
පිළිතුර - 
 පාරිභෝගික අධිකාරිය හැම විටම පාරිභෝගිකයට සහනයක් ලැබෙන ආකාරයට කටයුතු කරන ආයතනයක්. සමාගම් ඉල්ලන ඉල්ලන පරිදි මිල වැඩිවීම් අනුමත කිරිමට සූදානම් නැහැ. මෙවර මිල වැඩි කළේ වසරකට පසුවයි.

 

 
ප‍්‍රශ්නය -  කිරිපිටි මිල ඉහළයාම වැළැක්වීමට අධිකාරිය දකින විසඳුම් මොනවද?
පිළිතුර - 
 කිරිපිටි ආයතන විශාල මුදලක් වැය කරන ප‍්‍රචාරක කටයුතු සීමා කරන ලෙසට ඉල්ලා තිබෙනවා. ශුභ සාධන කටයුතු ”නොමිලයේ කිරි සැපයීම” සීමා කළ හැකියි. විදේශ සංචාරයන් සීමා කළ හැකියි.