ප‍්‍රභාකරන් සමග රාත‍්‍රී භොජන සංග‍්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවන්නේ මරාගෙන මැරෙන කොටියකුට පමණි. ඒ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයෙන් පසුව ඔහුට ඉලක්කයක් ලැබේ. ඒ ඉලක්කය සපුරා නොගෙන මිසක ආපසු හැරීමට ඔහුට අයිතියක් නැත. කොටි සංවිධානයට ඔහු පිළිබඳ අවසන් මතකය වන්නේ සුනු විසුණුව ගිය ඔහුගේ සිරුර පමණි. එහෙත් ඉතිහාසය වෙනස් වී තිබේ. ප‍්‍රභාකරන් සමග රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගී වී මරාගෙන මැරෙන ඉලක්කයක් ද සහිතව එතැනින් එළියට පිවිසි ඔහු අද මා ඉදිරියේ සිටී. අපි ඔහුට කුමරන් යැයි කියමු. විශේෂත්වයකි. ඔහුට හොඳින් සිංහල භාෂාව හැසිරවිය හැකිය. ‘‘ඔව්, අපි වගේ අයට ලංකාවේ කොතැනට යන්න වෙයිද දන්නේ නැනේ. ඒ නිසා භාෂා දැනගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. අපට විශාල  ප‍්‍රහාරයකට ලක් වෙන්න කලින් මම කොළඹ එන්න තමයි සැලසුම් කරගෙන සිටියේ. එක පාරටම කොළඹත් එක්ක සම්බන්ධිකරණය නැතිව ගියා. පොට්ටු අම්මාන් මට කිව්වා. ‘‘වැඬේ අවුල් දැන් කොළඹ යන්න එපා’’ කියලා ඉරණම කැරකෙමින් තිබුණේ එසේය. ඔහු සත්‍ය වශයෙන්ම මරාගෙන මැරෙන කොටියෙකි. වයස අවුරුදු 27 කි. සිහින් කෙසඟ සිරුරකින් හෙබි ඔහු අඩි හයක් පමණ උසය. මුහුණේ කිසිදු ප‍්‍රසන්න බවක් නැත. ලේ සිඳී මස් දියවී කේඩෑරි වී ගිය මුහුණේ රැඳී තිබුණේ රෞද්‍ර බවක් පමණි. ඔහු තව අයකුගේ මුහුණක් දෙස බලා කතා නොකරයි. ඉවත බලාගෙන කතා කරන ඔහු කිසිදු සංවේදී බවක් නැති බවක් අඟවයි. ‘‘ඒ අපේ පුහුණුවේ හැටි. අනුකම්පාව, දුකක් වගේ දෙයක් අපේ හිතට ආවොත් අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා. මම කා එක්කවත් හිනාවෙන්න නෑ. කාගෙවත් හිනාවක් දිහා බලන්නෙත් නෑ’’ කුමරන් කියයි. ඒ මරාගෙන මැරෙන කොටින්ගේ හැටිය. ඔහු අප සමග කතා කළේ ඔහුගේම  ඕනෑකමටය. එහෙත් මඳ වේලාකවක් කතා කරනවිට ඔහු පිළිතුරු දෙන්නේ මගේ  ඕනෑකමට කතා කළා සේය. ඒ ඔවුන්ගේ හැටිය. සංවේදී සියලූ ඉඳුරන් නැසූ හිත් පිත් නැති රූපකායක් බවට පත් වී සිටී. ‘‘මම එල්.ටී.ටී.ඊ. වුණේ කැමැත්තෙන්මයි’’ ඔහු කියයි. එයට බල පෑ හේතු මොනවාද? ඔහුගේ පවුල් පසුබිමෙන් ඒ සඳහා පෙළඹවීමක් තිබිණි ද මම සිතුවෙමි. මගේ සිතැඟි හඳුනා ගත්තාක් මෙන් ඔහු කතා කළේය. ඔහුට සහෝදර සහෝදරියෝ හතර දෙනෙකි. එක් අක්කා කෙනෙක් ද නැගණියක් ද මල්ලිලා දෙදෙනෙක් ද ඔහුට සිටිති. එහෙත් ඔහු කියන්නේ දන්න කියන කාලයේ සිටම ඔහු පවුලෙන් දුරස්ව සිටි බවකි. ‘‘හේතුවක් කියන්න තේරෙන්නේ නෑ. මට ගෙදර එපා වුණේ පුංචි කාලෙදිමයි. මාව ස්කෝලේ යැව්වත් මට ස්කෝලේ යන්න ආශාවක් තිබුණේ නෑ. මම කට්ටි පැන්න. පුංචි කාලෙත් ගෙදර නොගිහින් දවස් දෙක තුන ඉන්නවා. හොරකම් කරනවා. මිනිසුන්ගෙන් ගුටි කනවා. පාරේ නිදා ගන්නවා. ටික දවසක් යනකොට මාව පවුලෙන් අයින් කරලා වගේ හිටියේ. මට  ඕනෑ වුණේ මට  ඕනෑ විදියට ජීවත් වෙන්නයි. යාපනය නගරයට කිට්ටුව ගමක උපන් ඔහු පුංචි සන්දියේ සිටම රස්තියාදු කාරයකුගේ, මදාවියකුගේ, පෝරිසාදයකුගේ චරිතයට පණ දුන්නේය. ඔහු සමාජයෙන් ආදරයක්, අනුකම්පාවක් ලැබුණේ නැත. ඔහුට ඒවා හඳුනා ගැනීමට ද අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු තුළ පාදඩයකුට අවශ්‍ය සියලූ ගුණාංග යහමින් උස් මහත් වෙමින් තිබුණේ එසේය. එහෙත් ඒ ජීවිතයේ බොහෝ දුර යාමට ඔහුට හැකි වූයේ නැත. සමාජයේ පාදඩයැයි හැඳින්වෙන චරිත වටාද එල්.ටී.ටී.ඊ. දැල එළෙමින් තිබිණි. ගෙයක්-දොරක්-ජීවිතයක් නැති මෙබඳු තරුණයන් බොහෝ පහසුවෙන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් කළ හැකි බව එල්.ටී.ටී.ඊ.ය අත්දැකීමෙන්ම දැන සිටියේය. කුමරුන් එල්.ටී.ටී.ඊ. දැලට හැසුවිය. ඒ 2005 වසරේදීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය වසා දැමූ මාවිල්ආරු සොරොව්ව විවෘත කරමින් ආරක්‍ෂක හමුදා ජාතියේ දෙවැනි නිදහස් අරගලයට මුල පුරා තිබුණේ මෙම යුගයේ දී ය. කුමරුන් වැනි පාදඩයකුට වුවද එල්.ටී.ටී.ඊ.යේ විශාල වගකීම් බාර ගැනීමට සිදු වූයේ එම පරිසරය තුළය. ‘‘මම මාස 6ක් පුහුණු වුණා. කිලිනොච්චියේ සිවනේෂන් කඳවුරේ තමයි පුහුණු වුණේ. මාත් එක්ක 150ක විතර පිරිසක් පුහුණු වුණා. පුහුණුවට අවුරුද්දක් විතර ගත වුණා.’’ මේ වනවිට කොටි සංවිධානයේ යුද ආධිපත්‍ය බරපතළ ලෙස අභියෝගයට ලක් වෙමින් තිබිණි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයකයන් සංවිධානය තුළ රඳවා ගැනීමට නායකත්වයට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූ මෙම යුගයේදී කුමරන් වැනි ආතක් පාතක් නැති තරුණයෙක් මහත් අභිරුචියෙන් සටන් බිමේ ඉදිරියට යාමට රුචිකත්වයක් දැක්වූහ. ‘පුහුණුවෙන් පස්සේ මාව ආයෙත් විශ්ව මඩුවේ පුහුණු කඳවුරකට දැම්මා. මං දැන ගත්තා ඒක විශේෂ පුහුණුවක් කියලා. ඒක මෝටර් පුහුණු පාඨමාලාවක්. ඒකෙන් පස්සෙ මාව මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලට දැම්මා.’’ මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ල කොටස් දෙකකට බෙදා තිබිණි. අවදානම අඩු කලාපය කොටි කාන්තා බළකායටත් අවදානම වැඩි කලාපය කොටි බළකායටත් පවරා තිබිණි. එම බෙදීම ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් දැන සිටියේයැයි එල්.ටී.ටී.ඊ. නායකයෝ නොසිතූහ. එබඳු තොරතුරු ආරක්‍ෂක හමුදා අතට පත්වේයැයි එල්.ටී.ටී.ඊ. නායකයෝ කිසිවිටෙකත් නොසිතූහ. දිනය 2006 වසරේ ඔක්තෝබර් මස 9 වැනි දාය. කුමරන්ට ඒ දිනය හොඳට මතකය. ‘‘හමුදාව එක පාරටම අපේ කෙල්ලේ ඉන්න පැත්තට ගහන්න පටන් ගත්තා. ඉන්ටවල් එකක් තිබ්බෙම නෑ. දිගටම ගැහුවා. පැය විසි හතරෙම ගැහුවා. දෙවැනි දවසෙත් ගැහුවා. හමුදාව ලයින් එක කඩාගෙන  ඉස්සරහට ආවා. ඒ වෙනකොට අපේ කෙල්ලො පනහක් වගේ පිරිසක් තමයි ඉතුරු වෙලා හිටියේ. අපටත් එතැනට යා ගන්න බෑ. අන්තිමට සංවිධානයෙන් අපේ කෙල්ලන්ට කිව්වා ‘සයනයිඞ් කන්න’ කියලා සමහරු සයනයිඞ් කෑවා. තව සමහරු පුපුපුරුවා ගත්තා. හමුදාවට අහුවෙයි කියන බයට තමයි එහෙම මැරුණේ.’’ මෙබඳු ප‍්‍රහාර නිසා කුමරුන්ගේ සිත තුළ ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි දැඩි වෛරයක් හට ගත්තේය. ඒ වෛරය නිසා ඔහුට මරාගෙන මැරෙන එක ඉතාම සුළු දෙයක් බවට පත් වී තිබිණි. ඒ බව ඔහු ඉහළ නායකයන්ට කීවේය. සාමාජිකයන් සටන් බිමෙන් පලා යමින් සිටින මොහොතක කුමරන් වැනි තරුණයන්ගේ ඉදිරිපත් වීම කොටි නායකත්වය පවා විමතියට පත් කරන්නක් විය. ‘‘මම කිව්වා මට මරාගෙන මැරෙන බළකායට ඇතුල් වෙන්න  ඕනෑ කියලා. ඊට පස්සේ මාව තෝරා ගත්තා. මුලතිව්වල සාලෙයි කියන ප‍්‍රදේශයේ තමයි පුහුණු කඳවුර තිබුණේ. මාස තුනක් විතර කාලයක් මම පුහුණු වුණා’’ සාලෙයි හි පිහිටි මුහුදු කොටි බළකායේ තෙමසක පුහුණුව පිළිබඳව මම ඔහුගෙන් විමසුවෙමි. ‘‘බෑ බෑ ඒවා කියන්න බෑ. කියන්න බැරි තරම් ඒවා එතැන වෙනවා. බලූ මස් පවා කන්න වෙනවා.  සමස්ථ පුහුණුවම ඔහු වචන කිහිපයකට කෙටි කළේය. මුහුදු කොටි බළකායේ පුහුණුවෙන් පසුව කුමරන්ට මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ භූමිකාවට පණ දීමට සිදුවිය. ‘‘ඒ බෝම්බ ඇඳුම ඇඳගෙන පුහුණු වෙන්න  ඕන. ශරීරයට තුවාල නොවන විදියේ උපක‍්‍රම පාවිච්චි කරමින් බෝම්බ ඇඳුම පුපුරවා ගන්නේ කොහොමද කියලා පුහුණු වුණා. ඊට පස්සේ මට ඉක්මනින්ම  ඕනෑ වුණේ ටාර්ගට් එකකට යන්නයි.’’ ටාර්ගට් හෙවත් ඉලක්කයක් ලැබෙන තුරු කඳවුරු භූමියෙන් පිටතට යාමට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අවසර නැත. එහෙත් සුසෙයි හා පොට්ටු අම්මාන් වැනි ඉහළම කොටි නායකයන් ළඟින් ආශ‍්‍රය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ. කුමරන්ට ද එම අවස්ථාව හිමි විය. දිනය 2008 වසරේ මාර්තු මාසයේ දිනයකි. කුමරන්ට ඒ දිනය හරියටම මතක නැත. ඔහුට හිිදිරියේම පණිවිඩයක් ලැබිණි. ‘අද රාත‍්‍රියට විශේෂ ගමනක් යන්න තියෙනවා. සූදානම් වෙන්න.’’ එම පණිවිඩයට අනුව කුමරන් සූදානම් වී සිටියේය. සවස හතට පමණ වීදුරු කළු කළ සුඛෝපභෝගී ජීප් රියක් කඳවුරට ආවේය. එහි සිටියේ මුහුදු කොටි බළකායේ නායක සුසෙයි ය. ඔහු පැමිණ සිටියේ කුමරන් රැුගෙන යාමට ය. මුලතිව් මහ ගණ වනාන්තරය පීරාගෙන ජීප් රිය ඉදිරියට ඇදුණේය. වාහනය මැද සුඛෝපභෝගී මාලිගයකි. ඒ වන විටත් ඒ වටා සන්නද්ධ කොටි රංචු පිටින් සිටියහ. කුමරන් මාලිගයට ඇතුල් විය. කොටි සංවිධානයේ ඔත්තු සේවා ප‍්‍රධානි පොට්ටු අම්මාන් පළමුව පැමිණ කුමරන්ට අතට අත දුන්නේය. කොටි සංවිධානයේ ඉහළ පෙළ නායකයෝ පහළොස් දෙනෙක් පමණ එහි පැමිණ සිටියහ. කොහෙන් කාහොම ආවාදැයි කාටවත් තේරුම් ගත නොහැකි විය. ක්‍ෂණයකින් එතැන ප‍්‍රභාකරන් මතුවිය. මරාගෙන මැරෙන කොටියකුට ප‍්‍රභාකරන් සමග රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව තමන්ට ලැබී ඇති බව කුමරන් තේරුම් ගත්තේය. මේ වූ කලී තමන් ගෙවා දමන ජීවිතයේ අවසන් දින කිහිපය බව කුමරුන් සැක හැර දැන ගත්තේය. නායකයන් සමග එකම මේසයේ සිට රාත‍්‍රි ආහාරය ගැනීමේ අවස්ථාව කුමරන්ට හිමි විය. ඉන් පසු ප‍්‍රභාකරන් සමග ඡායාරූප රැසකට පෙනී සිටීමට ද ඔහුට සිදුවිය. මෙම කි‍්‍රයාදාමය අවසන් වූයේ ප‍්‍රභාකරන්ගේ අවවාදයක් සමගය. ‘‘කිසිම වෙලාවක කලබල වෙන්න එපා. එහෙම වුණොත් සියල්ලම විනාශ වෙනවා. කැපවීම වගේම බුද්ධියත් මෙතැනදි අතිශයින්ම වැදගත් වෙනව. නිකම් එහාට මෙහාට දුවන්න එපා. ප‍්‍රතිඵලයක් අපට අවශ්‍යයි. අන්න ඒ ප‍්‍රතිඵලය ලැබෙන විදියට මැරෙන්න.’’ ඒ ප‍්‍රභාකරන් කී වචන පෙළයි. කුමරන් ඇස් පියාගෙන ඒ අවවාදය අසා සිටියේය. සියල්ලෙන් ඉක්බිති කුමරන්ට එතැනින් සමු ගැනීමට අවසර ලැබිණි. පසුදාට පහන් විය. මුහුදු කොටි බළකායේ සුසෙයි ආවේය. ඔහු ආවේ කුමරන්ට ඉලක්කයක් ද සහිතවය. පුල්මුඩෙයි මුහුදේ යාත‍්‍රා කරන නාවික හමුදා ඩෝරා යාත‍්‍රාව කොටි සංවිධානයට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරමින් තිබිණි. එම ඩෝරා යාත‍්‍රාව විනාශ කිරීම කුමරන්ට පැවරුනු වගකීම විය. කුඩා බෝට්ටුවක පුපුරණ ද්‍රව්‍ය සියල්ල නිසිලෙස ගබඩා කරගෙන කුමරන් මුහුදට බැස්සේය. ඩෝරා යාත‍්‍රාවේ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහිත යාත‍්‍රාව හප්පා තමනුත් විනාශ වී ඩෝරා යාත‍්‍රාවත් විනාශ කිරීම කුමරන්ගේ කාර්ය බවට පත් වී තිබිණි. ඒ මොහොතේ මොකද හිතුණේ. මම ඇසුවෙමි. ගොඩාක් සතුටු වෙච්ච දවසක්. මම බලාපොරොත්තු වෙන් හිටියේ අන්න ඒ දිනය එනකම්. ඉතින් මට ඉතිරි වෙලා තිබුණේ සතුටක් විතරයි’ කුමරන් කියයි. මුහුදු කොටින්ට මාරාන්තික තර්ජනයක් එල්ල කළ නාවික හමුදා ඩෝරා යාත‍්‍රාව දැන් එතැයි දැන් එතැයි සිතමින් කුමරුන් ඈත මුහුදේ බලා සිටියේය. ‘‘ඒත් ඩෝරා එක ආවේ නෑ. මම ඒ විදියට දවස් පහක් බලාගෙන හිිටියා. සමහර විට මෙහෙම ප‍්‍රහාරයක් එල්ල කරන්න ඒ මුහුදු සීමාවේ මරාගෙන මැරෙන මුුහුදු කොටියෙක් ඉන්නවා කියලා නාවික හමුදාවට ආරංචි වුණාද දන්නේ නෑ. ඩෝරා එක ආවේ නෑ. මම කලින් දීපු උපදෙස්වලට අනුව ඊට පස්සෙ  ආපසු කඳවුරට ගියා.’’ ඉරණම නූලෙන් වෙනස් වී ගියේ එසේය. ‘‘අන්තිම කාලේ මුහුදට යන්න බැරි වුණා. අපේ ඔක්කොම දේවල් විනාශ වෙලා තිබුණේ. ඊට පස්සෙ අපි මිනිස්සු එක්කම වෙල්ලමුලි වයික්කාල්වලට ආවා.’’ එසේ පැමිණි ජනයා ජනයා මේ වන විට කුපිතව කොටි සංවිධානයට එරෙහිව ප‍්‍රහාර එල්ල කරමින් සිටියහ. ‘‘දැන් මේ අයව නවත්තගන්න බෑ. මේ අයව හමුදා පාලන ප‍්‍රදේශයට යවමු.’’ කොටි නායකයෙක් කීවේය. ඒ ජනතාව බාරව ආවේ කුමරන්ය. ‘‘මම ආවේ ඒ මිනිසුන්ව පිටත් කරන්නයි. වෙල්ලමුල්ලිවයික්කාල් වලට ආවට පස්සේ මමත් ඒ අයත් එක්කම හමුදා පාලන ප‍්‍රදේශයට ආවා. මට ආපහු හැරිල යන්න කම්මැලි හිතුණා.’’ කුමරන්ගේ කතාව එපරිදිය. කතාබහ නිමවීමෙන් පසුව  සමු ගැනීමෙන් තොරව ඔහු නැගී සිට යන්නට ගියේය. ඔව් ඒ මරාගෙන මැරෙන කොටින්ගේ හැටිය.
සටහන-  ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරු ඇලෙක්සැන්ඩර් බාලසූරිය.