ඩ්‍රොන යානාවලින් පහරදීමේ සහ ඉලක්කකොට ඝාතනය කිරීමේ බුෂ් සහ ඔබාමා පරිපාලනයේ කි‍්‍රයාමාර්ග මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් ප‍්‍රකාශ කළේය. ලෝකයේ බොහෝ රටවල මහජන විප්ලව සිදුවන සමයක ඇමෙරිකා එක්සත් ජනපදය කළ යුතු වන්නේ ”නීතියේ මූලික නීති සහ යුක්තියේ  මූලධර්ම” දුර්වල කිරීම නොව ඒවා තවත් ශක්තිමත් කිරීම බව ඒ මහතා වැඩි දුරටත් පැවැසීය. එක්සත් ජනපදය විදේශයන්හි සිදුකරන ඩ්‍රොන යානා ප‍්‍රහාර සහ ඉලක්කගත ඝාතන මගින් පෙන්නුම් කරන්නේ තම සතුරන්ට වාසිදායක වන හා මිතුරන් හුදෙකලා කරන ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කි‍්‍රයාවන්හී ඇමරිකාව නියැලී සිටින බව යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතා ප‍්‍රකාශ කළේය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් කාටර් මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ ඇමෙරිකාව ”මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප‍්‍රමුඛ කාර්ය භාරය අතහරිමින් සිටින” බවයි. ඇමෙරිකානු පාලනයෙන් ඔහු ඉල්ලා සිටියේ මෙම තත්ත්වය ආපසු හරවමින් සදාචාරාත්මක නායකත්වය නැවත දිනාගන්නා ලෙසයි. ජෝර්ජ් බුෂ්ගේ සහ බරක් ඔබාමාගේ පාලනයන් ගැන තියුණු විවේචනයක යෙදෙමින් ඔහු ප‍්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ඉහළම නිලධාරීන් විදේශවල තමන්ගේම පුරවැසියන් ඇතුළු පුද්ගලයන් ඉලක්ක කොට ඝාතනයේ යෙදීම ගැන හෙලිදරව් වූ කරුණු මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෑතකදීම ලැබුණු හිත් රිදවන සාක්ෂි බවයි. පසුගිය සඳුදා පුවත්පතකට කාටර් ප‍්‍රකාශ කොට තිබෙන්නේ ලෝකය පුරා විප්ලව රැුල්ලක් ගමන් කරන අවස්ථාවක ඇමෙරිකාව කළ යුත්තේ නීතියේ මූලික නීති හා යුක්තියේ මූලධර්ම දුර්වල කිරීම නොව ඒවා තවත් ශක්තිමත් කිරීම බවයි. නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් නැවතත් බලයට පත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබාමාට ඒ සඳහා මාස කිහිපයක් තිබියදී එල්ලවූ මෙම විවේචනය මගින් ඩ්‍රොන ප‍්‍රහාර හා අත්අඩංගුවේ රඳවා ගැනීම් දැඩි ලෙස හෙළා දැක ඇත. අතීතයේද තම රට වැරැදි කොට ඇතත් පසුගිය දශකයේ සිදුවූ විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝනයන් අතීතයෙන් සම්පූර්ණයෙන් වෙනස්වූ තත්ත්වයක් බව කාටර් පැවැසීය. සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ”දෙපාර්ශ්වයේම විධායකයන් විසින් අනුමත කොට ඉදිරියට ගෙනගොස් ඇත්තේ මහජනතාවගේ අනුමැතියකින් තොරව” බව කියන නොබෙල් සාම ත්‍යාගලාභියා වැඩිදුරටත් කියන්නේ එහි ප‍්‍රතිඵලය ලෙස සිදුවී තිබෙන්නේ ”මෙම තීරණාත්මක ප‍්‍රශ්න සම්බන්ධයෙන් සදාචාරාත්මක අධිකාරයක් සහිතව කතා කිරීමට අපරටට තව දුරටත් නොහැකිවීම” බවයි. එක්සත් ජනපදයේ නායකත්වයෙන් 1948 දී සම්මත කරගත් මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය යොදාගත් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් හා ජාත්‍යන්තර ප‍්‍රජාව එමගින් ලෝකයේ බොහෝ රටවල ඒකාධිපති පාලනයන් වෙනස්කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට කටයුතු කොට ඇති අතර රටවල් තුළ මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලදීත් නීතියේ පාලනය තහවුරු කරන්නටද ඔවුනට හැකිවී තිබේ. එම මූලධර්ම ශක්තිමත් කරනවා වෙනුවට අපගේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාද විරෝධී ප‍්‍රතිපත්ති මගින් එම ප‍්‍රකාශනයේ වගන්ති 30 න් අඩු තරමින් 10 ක් පැහැදිලිව ම උල්ලංඝනය කොට ඇත. ”කුරිරු, අමානුෂික හෝ නින්දාසහගත සැලකීම් හෝ දඬුවම් තහනම් කිරීමේ වගන්තියද එයට ඇතුළත්ය. ත‍්‍රස්තවාදී සංවිධානයකට හෝ එයට සම්බන්ධ සංවිධානයකට සම්බන්ධ යැයි සැක කරන තැනැත්තකු කාල නියමයකින් තොරව රඳවා ගැනීමට ජනාධිපතිට ඇති අයිතිය නිත්‍යානුකූල කරන පනතක් එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සම්මත කළ බව කාටර් මහතා ප‍්‍රකාශ කළේය. මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ සඳහන් තවත් මූලධර්ම දෙකක් වන භාෂණයේ නිදහසට ඇති අයිතිය මෙන්ම වරදක් ඔප්පු වන තෙක් නිදොස් යැයි සැලකීම යන මූලධර්ම දෙකම මෙම නීතිය මගින් උල්ලංඝනය වී ඇත. අනවසරයෙන් දුරකථන සංවාදවලට සවන්දීමත් අපගේ විද්‍යුත් සන්නිවේදනවලට ඇතුළු වී ඒවා සොයා බැලීමට ආණ්ඩුව කි‍්‍රයා කිරීමත් මගින් අපගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය විශාල ලෙස උල්ලංඝණය වෙයි. පුද්ගලයකුගේ පෙනුම ඔවුන් ආගම අදහන ස්ථානය හෝ ආශ‍්‍රය කරන අය අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ජනපි‍්‍රය රාජ්‍ය නීති මගින් ඉඩ සලසා තිබේ.   කාටර් මහතා මෙසේද ප‍්‍රකාශ කොට ඇත. ”ඩ්‍රොන ප‍්‍රහාරයකින් මිය ගිය  ඕනෑම තැනැත්තකු ත‍්‍රස්තවාදී සතුරකු යැයි කීමේ අහඹු නීතිය හැරුණු විට අසල සිටින ස්තී‍්‍රන් හා ළමයින් මියයාම නොවැළැක්විය හැකි සේ පිළිගෙන තිබේ. මේ වසරේ ඇෆ්ඝනිස්ථානයේ පුරවැසි නිවාස වෙත එල්ලවූ මෙබඳු ඩ්‍රොන ප‍්‍රහාර 30 කට වැඩි ප‍්‍රමාණයකින් පසුව ඒවා නවතා දමන ලෙස ජනාධිපති හමීඞ් කර්සායි ඉල්ලීමක් කළේය. එසේ වුවද යුද ප‍්‍රදේශ නොවන පාකිස්තානයේ, සෝමාලියාවේ සහ යේමනයේ ඒවා තවමත් කි‍්‍රයාත්මකය. මේ එක් එක් ප‍්‍රහාරය වොෂින්ටනයේ ඉහළම බලධාරින් විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ප‍්‍රහාරවලින් අහිංසක පුරවැසියන් කී දෙනෙකු මිය ගියේ දැයි කිසිවකු දන්නේ නැත. මීට පෙර කාලයකදී නම් මෙබඳු තත්ත්වයක් ගැන හිතා ගැනීමට වත් නොහැකිය. කියුබාවේ ගුවත්තනා ඕ බේ කඳවුරේ රඳවා සිටින සිරකරුවන් 169 දෙනා ගැන සඳහන් කරමින් කාටර් ප‍්‍රකාශ කළේ ”ඒ අය අතරින් අඩක් පමණ නිදහස් කිරීම සඳහා නිදොස් කොට ඇතත් ඔවුන් කවදා හෝ නිදහස් කිරීමට තිබෙන්නේ ඉතා සුළු අවස්ථාවක් බවයි.නඩු විභාගවලට යොමු කළ සුළු පිරිස සම්බන්ධයෙන් වුවද (හමුදා අධිකරණවල පමණි) ඔවුන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීමට සිය වතාවකට වඩා ජල ප‍්‍රහාර එල්ල කිරීම, ආයුධ පෙන්වා තර්ජනය කිරීම, ඔවුන්ගේ මවුවරුන්ට ලිංගික අපචාර කිරීමට තර්ජනය කිරීම වැනි වධ දීම් සිදුකළ බව  ඇමෙරිකානු බලධාරීන් විසින් හෙළිකරනු ලැබ ඇත. එම හෙළිකිරීම් චෝදිතයන්ගේ ආරක්ෂාව සඳහා සාක්ෂි ලෙස භාවිත කිරීම ඒවා සිදුවූයේ ජාතික ආරක්ෂාව සඳහා යැයි ආණ්ඩුව ප‍්‍රකාශ කිරීම නිසා නොහැකිවී තිබීම විස්මිත තත්ත්වයකි. මෙහි සිටින අනෙක් බොහෝ සිරකරුවන්ට නඩු පැවරීමක් හෝ ඇසීමක් කිසිවිටෙක සිදු නොවන තත්ත්වයක් පවතියි. ලෝකය වඩාත් අරක්ෂාකාරී තත්ත්වයට පත් කරනවා වෙනුවට ”ඇමෙරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම අපගේ සතුරන්ට ආධාරයක් වන අතර මිතුරන් හුදෙකලා කිරීමක් වන බව” ඔහු ප‍්‍රකාශ කළේය.   උනන්දුවක් දක්වන පුරවැසියන් ලෙස අප කළ යුතු වන්නේ අපේම ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති සහ බොහෝ කාලයක් තිස්සේ කි‍්‍රයාවට නැගූ ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම අනුව සදාචාරාත්මක නායකත්වය යළිත් ලබා ගැනීම සඳහා මෙම තත්ත්වය ආපසු හරවන ලෙස වොෂින්ටන් නායකත්වයට අවබෝධය ලබාදීම යැයි කාටර් මහතා වැඩිදුරටත් පැවසීය.
පරිවර්තනය - සී.ජේ. අමරතුංග
ඇමෙරිකා හිටපු ජනාධිපති ජිමී කාටර් ඇමෙරිකාවේ ඩ්‍රෝන යානා ප‍්‍රහාර ඩ්‍රෝන යානා ප‍්‍රහාරයක්